ආන්ඩුව තෙල් සංස්ථාවේ සමිති නායකයින් සහ ක්‍රියාකාරීන්ට එරෙහි දඩයම තීව්‍ර කරයි

අනිවාර්ය නිවාඩු යවා සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරීන් 20 දෙනෙකුට එරෙහි දඩයම තවත් තීව්‍ර කරමින් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමේ ලිපි ජූනි 8 දා නිකුත් කර ඇත. දෙමසකට පෙරාතුව ඔවුන්ව අනිවාර්ය නිවාඩු යවන ලද්දේ සංස්ථාව පුද්ගලීකරනය කිරීමට එරෙහිව, මාර්තු 20 සහ 28 දිනවල කම්කරුවන්ගේ වැඩ වර්ජන හා වෘත්තීය සමිති නායකයන් ගේ උපවාසය මර්දනය කිරීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව මුදාහල රුදුරු දඩයමක කොටසක් ලෙසය. වර්ජන බිඳ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට තල්ලු කිරීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව සන්නද්ධ පොලීසිය සහ හමුදාව දහස් ගනනක් යොදවනු ලැබීය.

2022 අගෝස්තු 22 බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය

තෙල් සංස්ථා සමිති නායකයන් ට හා ක්‍රියාකාරීන් ට එරෙහි දඩයම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව මතුවන කවර හෝ විරෝධයක් රුදුරු ලෙස මර්දනය කරන බවට කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

ජනතා විමුක්ති පෙරමුනට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ සමගි ජන බලවේගයට අනුබද්ධිත සමිති ඇතුලු තෙල් සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති මෙම දඩයමට එරෙහිව කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඛනිජ තෙල් පොදු සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස) සහ ජාතික සේවක සංගමය ඉහත පක්ෂ වලට අනුපිලිවෙලින් අයත් වෙති.

මෙම දඩයමට පෙරාතුව පසුගිය වසරේ ඔක්තෝබර් 4 දා සංස්ථාවේ පාලනාධිකාරය විසින් ශ්‍රීලනිසේස ලේකම් බංඩාර අරඹෙකුඹුර ගේ වැඩ තහනම් කලේ ය. ඒ ඔහු සංස්ථාව විසින් ගෙන්වන ලද බොර තෙල් ප්‍රමිතියෙන් තොරයයි මාධ්‍යයට කල ප්‍රකාශයක් දඩමීමා කොටගෙනය. මෙම තහනමට එරෙහිව කම්කරුවන් සිය ගනනක් ඔක්තෝබර් 4 සහ 6 දිනවල දිවා ආහාර කාලය තුල පිකට් උද්ඝෝෂන පැවැත්වූහ. එහෙත් ඔහු යලි සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කල සංස්ථා බලධාරීන් මර්දනය තවත් තීව්‍ර කරමින් ඔක්තෝබර් 24 නිකුත් කල ගැසට් නිවේදනයක් මගින් සේවකයින්ට තම සේවා ස්ථානය තුල රැස්වීමේ අයිතියට තහංචි පැනවීය.

තෙල් සංස්ථාවේ සේවක දඩයම කම්කරු පන්තියට හා එහි සංවිධානවලට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව මුදාහැර ඇති පුලුල් රාජ්‍ය මර්දනයක කොටසකි. රක්ෂන සංස්ථාව පුද්ගලීකරනයට හා ආයතනය තුල සිදුවන දූෂනයන්ට විරුද්ධව උද්ඝෝෂනයන් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් රක්ෂන පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහ එහි ප්‍රචාරක ලේකම් නයෝමි හෙට්ටිආරච්චි දඩයමට ලක්කරමින් ඔවුනට දඬුවම් මාරුවීම් ලබා දී ඇත.

ඔවුන් දෙදෙනාට එරෙහිව සංස්ථා බලධාරීන් විසින් විනය පරීක්ෂනයක් පවත්වා ඇති අතර ඉන් වරදකරුවන් ලෙස තීන්දු කෙරුනොත් සේවයෙන් නෙරපීමේ තර්ජනයට ට ද ඔවුහු මුහුන දී සිටිති. ඊට අමතරව, රක්ෂන සංස්ථා නව සාමූහික ගිවිසුමට එරෙහිව, 2023 පෙබරවාරි 15 දා ප්‍රධාන කාර්යාල භූමියේ පැවත්වූ උද්ඝෝෂනයට මූලිකත්වය ගත් සටන්කාමි සේවකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට 'ආයතනය තුල ඒකරාශිවීම' යන චෝදනාව යටතේ අවවාදාත්මක ලිපි නිකුත් කර තිබේ.

දඩයමට එරෙහිව තෙල් සංස්ථාවේ සහ සෙසු කම්කරුවන් බලමුලු ගන්වනු වෙනුවට එය 20 දෙනාට එරෙහි පුද්ගලික දඩයමකට ඌනනය කර ඇති සමිති නායකයෝ මානව හිමිකම් කොමිසමට පැමිනිලි කිරීමෙන් සහ ධනපති දේශපාලන පක්ෂ පිටුපස බඩගෑමෙන් 'ප්‍රශ්නය විසඳා ගැනීමේ' නිෂ්ඵල සහ වඳ ප්‍රයත්නයක යෙදී සිටිති.

රාජපක්ෂ ආන්ඩුවේ සහ අනුප්‍රාප්තික වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ බලගතු උද්ඝෝෂන මතු විය. 2018 ඔක්තෝබර් මාසයේ ආන්ඩුවේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි නොතකා කාර්මික ශිල්පීන්, ලිපිකරුවන්, ඉංජිනේරුවන් විධායක නිලධාරීන් ඇතුලු 4000 ක් පමන සේවකයෝ ආයතනයේ සියලුම අංශවල වැඩ ඇන හිටුවමින් පුද්ගලීකරනයට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කලහ. පසුගිය වසරේ අගෝස්තු 22 දා එම කම්කරුවන් යලි වැඩ වර්ජනයක නිරතවුනු අතර ඉන් 1,500 ක් පමන සටන් පාඨ හඬ නගමින් කොලඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දක්වා විරෝධතා පෙලපාලියක නිරත වූහ.

කම්කරුවන් තුල බරපතල විරුද්ධත්වයක් සහ සටන් කිරීමේ උවමනාව තිබිය දී ම සංස්ථාව පුද්ගලීකරනයට විරුද්ධ අරගලය වෘත්තීය සමිති විසින් මුලුමනින් ම දියකර හරිනු ලැබ ඇත.

දඩයමට ලක් වී සිටින ශ්‍රීලනිසේසයේ සභාපති ජගත් විජේගුනවර්ධන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ට කල ප්‍රකාශයෙන් වෘත්තීය සමිතිවල වඳ පිලිවෙත හොඳින් එලිදරව් කෙරෙයි. ඔහු මෙසේ පැවසීය: “අපිට විරුද්ධව පරීක්ෂනයක් කරගෙන යනවා. රටේ දැනුවත් කරන්න ඕන අයව දැනුවත් කරලයි තියෙන්නෙ. වර්තමාන ජනාධිපති, හිටපු ජනාධිපතිතුමාව දැනුවත් කරලයි තියෙන්නෙ. අපි කම්කරු දෙපාර්තමේන්තුවට මානව හිමිකම් ආයතනයට පැමැනිලි කරල තියෙනවා. නඩුවක් දාන්න බලාපොරොත්තු වෙනවා. උද්ඝෝෂන මොනවත් සංවිධානය කරල නැහැ'

ඔවුන් අනුබද්ධිත ධනපති දේශපාලන පක්ෂ මෙන් ම, මෙම සමිති කිසිවක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත.

කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම සඳහා “ලාබ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නොකරන” ලෙස වෘත්තීය සමිති ආන්ඩුවට නිවට ආයාචනයන් කරති. 'දැන් තෙල් සංස්ථාව මාසෙකට රුපියල් කෝටි 16 ක් ලාබ ලබද්දී පුද්ගලීකරනය කරන්නේ කුමකටදැයි?' ශ්‍රීලනිසේස සභාපති විජේගුනවර්ධන පවසයි. ආන්ඩුවේ පිලිවෙත ක්‍රියාවට දැමෙන්නේ ලාබ-අලාබ මත නොව; ජාමූඅ කොන්දේසිවලට අනුවයි.

තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලිබල මන්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය, රක්ෂන සංස්ථාව හා රජයට අයත් බැංකු ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යහුකරනය කිරීමට නියමිතය.

එය පන් ලක්ෂයකට අධික කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන බරපතල ප්‍රහාරයකි. තෙල් සංස්ථාවේ පමනක් 4,200 වන එහි වර්තමාන ශ්‍රම බලකායෙන් 3700 ක ගේ රැකියා අහිමිකිරීමට නියමිතය. ඒ යටතේ දැනටමත් අතිකාල ගෙවීම් සීමා කිරීම, සුලු අතපසුවීමක දී පවා සේවයෙන් නෙරපීම සිදු කෙරෙමින් පවතී.

සංස්ථාව තුල රැකියා හා වැටුප් කප්පාදුව පිලිබඳව කම්කරුවෝ ලෝසවෙඅ ට විස්තර කලහ. පිරවුම් අංශයේ කම්කරුවකු මෙසේ පැවසීය. “මෙඩිකල් බෝනස් ගිය අවුරුද්දෙ සැප්තැම්බර් සහ මේ අවුරුද්දෙ අප්‍රේල් ගෙව්වෙත් නැහැ. මිනිස්සු හරිම පීඩනයෙන් ඉන්නෙ. ඕවර්ටයිම් සීමා කරලයි තියෙන්නෙ. කලින් අපි ඕවර්ටයිම් පැය 140 ක් කරත් දැන් 100 ට සීමා කරලයි තියෙන්නෙ.“

“සාමාන්‍ය සේවකයින් තුන්දෙනෙක් ඇමතිගෙන් අහල තියෙනවා අනිවාර්ය නිවාඩු යවන ලද 20 දෙනා ගැන සහ ආයතනය ගැන කුමක්ද වෙන්නේ කියල. ඒගොල්ල ගැන අහන්න එපා කියල ඇමති තර්ජනය කරල” යනුවෙන් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති කිසිවක් නොකරන බව ද සඳහන් කලේ ය. කලින් සුලු වරදක දී මාසයක් දෙකක් වැඩ තහනම්කොට නැවත සේවයට ගත් නමුත් දැන් කෙලින් ම සේවයෙන් ඉවත් කරන බව ද ඔහු පැවසීය.

ගරාජ් අංශයේ කම්කරුවෙක් මෙසේ පැවසීය:. “මගේ අංශයේ සේවකයින් 150 ක් ඉන්නවා. ඉස්සර තරම් නිදහසක් නැහැ. නිවාඩුවක් ගත්තත් අතපසුවීමක් නැතිව කරන්න ඕන. නැත්තනම් වැඩ තහනම් කරනවා. සේවකයෝ ඉන්නේ අවිනිශ්චිත තත්වයක. පුරප්පාඩු පිරවීමක් කෙරෙන්නේත් නැහැ. දැන් කාටවත් අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. නමුත් වෘත්තීය සමිති සම්පූර්නයෙන් ම නිහඬයි'

මෙම සමිති නායකයින් තම පක්ෂවල දේශපාලනය කල බව සහ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි අප්‍රේල් 28 සහ මැයි 6 වර්ජනවලට හෝ වරාය, ටෙලිකොම් වැනි ආයතන පුද්ගලීකරනයට එරෙහි උද්ඝෝෂන වලට සහය නොදුන් බව තවත් කම්කරුවෙක් පැවසුවේය. “ඒ ගොල්ල දිගටම හිටියේ ආන්ඩුවත් එක්ක සම්මුතියක” බව ඔහු කීවේය.

පුද්ගලීකරනයට ඉඩ සලසන 'ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ආන්ඩුව විසින් 2022 අගෝස්තු 12 දා ගැසට් කල විට වෘත්තීය සමිති කලේ එය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සහ දේව කන්නලව් කිරීමය. පනත මගින් විදේශීය සමාගම් වලට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීමට බලය පැවරිය හැකිය. ආන්ඩුව චීන සිනොපෙක්, ඕස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමරිකාවේ ආර්එම් පාර්ක්ස් යන සමාගම්වලට ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ. එක සමාගමකට 150 බැගින් ඉන්ධන පිරවුම්හල් 450 ඔවුන්ට පැවරෙයි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් මඩිනු පිනිස, මහජන ආරක්ෂක ආඥා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පුනරුත්ථාපන කාර්යාංශ පනත හා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා වාරනය කරන විශේෂ පනත් සම්මත කිරීමට තැත් කරමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව වෘත්තීය සමිති, මිලිටරිය සහ පොලීසිය මත වාරු වෙමින් ආඥාදායක පාලනයක ට කැසකවයි.

රාජ්‍ය මර්දනය ඉදිරියේ වෘත්තීය සමිතිවල නිවට යටත්වීම කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. දඩයමට ලක් කර සිටින සේවකයින් 20 දෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කර, කොන්දේසි විරහිතව හා හිඟ වැටුප් සහිතව වහාම සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් පුද්ගලීකරනය ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව රක්ෂන සංස්ථාවේ සහ අවශේෂ කම්කරුවන් එකාබද්ධ කෙරුනු අරගලයක් සංවිධානය කල යුතුය.

එවන් අරගලයක්, අනිවාර්යයෙන්ම, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිි දේශපාලන අරගලයකි. ඒ සඳහා, වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ විකල්ප සංවිධාන ලෙස, කම්කරුවන් අතරින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපලකම, කම්හල් තුල හා කම්කරු නිවහන් ප්‍රදේශ වල පිහිටුවා ගත යුතුය. සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව එම කමිටු හරහා තහවුරු කරගත හැකිය.

Loading