ජවිපෙ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිත සමුලුව: සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයට එරෙහි අරගලය අවමංගත කිරීමේ උත්සාහයක්

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය (සෞසේවෘසස) විසින් ජූනි 14 වෙනිදා කොලඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ දී සමුලුවක් පැවැත්වීය. “පෞද්ගලික ගෙවන වාට්ටු ක්‍රමය හරහා නිදහස් සෞඛ්‍ය සේවය වලපල්ලට යවන ආන්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහි වෘත්තීය සමිති නියෝජිත සමුලුව” එහි තේමාව විය. සෞසේවෘසස යනු, සමස්ත ලංකා හෙද සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය (සලවෛනිස) , සමස්ත ලංකා සුව සේවා සංගමය හා සමස්ත ලංකා රෝහල් ඕවර්සියර්ස් සංගමය ඇතුලු ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත සෞඛ්‍ය වෘත්තීය සමිතිවල එකතුවකි.

සමුලුවේ සැබෑ අරමුන වුයේ, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වර්ධනය වන විරෝධය වික්‍රමසිංහ ආන්ඩුව ට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන තුලට කොටුකිරීම සහ ජවිපෙ නායකත්වය දරන ජාතික ජනබලවේගයේ (ජාජබ) ධනපති දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ව්‍යායාමයට සෞඛ්‍ය සේවකයන් ගැට ගසා ගැනීමයි.

සමුලුවේ ප්‍රධාන කථිකයන් වුයේ සෞසේවෘසස සභාපති සමන්ත කෝරලේආරච්චි සහ සලවෛනිස ප්‍රධාන ලේකම් ජයන්ත බන්ඩාර යි.

ගෙවන වාට්ටු ක්‍රමය තුලින් නිදහස් සෞඛ්‍ය සේවය වලපල්ලට යැවීමේ වැඩපිලිවෙලක් රජය ආරම්භ කර තිබෙන බව පැවසූ කෝරලේ ආරච්චි ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයන් සහ ජනතාව අතර පෙත්සමක් මේ මාසයේ අත්සන් කිරීම සහ බෞද්ධ මහානායක භික්ෂූන්, කතෝලික අගරදගුරු ඇතුලු ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, සෙසු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමට පියවර ගන්න බවත්, ඊලඟ මාසයේ 'වෘත්තීය සමිති අරගලයකට' යන බවත් පැවසීය.

“පෞද්ගලීකරන ක්‍රියාවලිය පරාජය කරන්න ඕන. ලත් තැන ම ලොප් කරන්න ඕන, ඒකට පහර දෙන්න ඕන” යයි බොරු කයිවාරුවක් ගැසූ කෝරලේආරච්චි, “දියුනු සෞඛ්‍ය සේවයකට යන්න ඕන. මේ පාලකයෝ ඒක කරන්නේ නැහැ. තියෙන ටික ආරක්ෂා කරගෙන ජනතාවාදී පාලනයක් යටතේ අපි හොඳ වැඩපිලිවෙලකට යනවා. ඒ සඳහා ජනතාවාදී පාලනයකට යන්න අවශ්‍ය පාර සකස්කිරීම තමයි මේ වැඩපිලිවෙලත් එක්ක අපි කරගෙන යන්නේ” පැවසීය.

'ජනතාවාදී පාලනයක්' යනුවෙන් කෝරලේ ආරච්චි සඳහන් කරන්නේ ජාජබ ධනපති ආන්ඩුවකි.

ජේ.ආර්.ජයවර්ධන වෛද්‍යවරුන්ට පුද්ගලිකව වෛද්‍ය සේවයේ යෙදීමට අවසර දුන් බවත් මහින්ද රාජපක්ෂ 2006 පුද්ගලික රෝහල් ලියාපදිංචි කිරීමේ පනත ගෙනා බවත් සඳහන් කල වෛද්‍ය බන්ඩාර නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීමට එරෙහිව 'ලොකු අඛන්ඩ සටනක් අවශ්‍ය' බව පැවසීය. 'අඛන්ඩ සටන' ගැන ඔහු විස්තර නොකල නමුදු එය කෝරලේආරච්චි ඉදිරිපත්කල වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ සහ ජාජබ ආන්ඩුවක් බලයට ගෙන ඒම මිස අනෙකක් නොවේ.

රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ස්ථාපිත කිරීම ඩොලර් බිලියන තුනක විස්තීරන නයක් ලබා දීමට අදාලව ජාතන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා ආන්ඩුවට විධානය කර ඇති රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, රැකියා, වැටුප් සහ සමාජ සුබසාධන කප්පාදුව ඇතුලු ආර්ථික කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. සෞසේවෘසස හෝ ජවිපෙ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත.

මුදල් ඇමති වරයා ද වන ජනාධිපති වික්‍රමසිංහ ඔහුගේ 2023 වසර සඳහා වූ අයවැය කතාවේ දී 'රජයේ රෝහල් තුල යලි ගෙවන වාට්ටු ස්ථාපිත කලයුතු' බවත් 'එහි පලමු අධියර ලෙස ජාතික සහ මූලික රෝහල් තුල මෙම ක්‍රමය ක්‍රියාත්මක කලයුතු' බවත් යෝජනා කලේ ය.

මෙම යෝජනාව ක්‍රියාවට දැමීම පසුගිය මාසයේ කැබිනට් මන්ඩලය විසින් අනුමත කෙරුනි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුනවර්ධන ආන්ඩුවේ තීරනය ගැන මැයි 9 වෙනිදා මෙසේ ප්‍රකාශ කලේය: “නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියට සමගාමීව ගෙවන වාට්ටු පද්ධතිය ස්ථාපිත කෙරෙනු ඇත. මෙම වාට්ටු සාධාරන ගෙවීමේ ක්‍රමයකින් ලබා ගත හැකි අතර එම පහසුකම් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට රාජ්‍ය රෝහලකට යා හැකිය.'

ගුනවර්ධන සඳහන් කරන 'සාධාරන ගෙවීමේ ක්‍රමය' තීරනය කෙරෙනු ඇත්තේ සෞඛ්‍ය සේවය ලාභ ඉපයීම සඳහා වානිජකරනය කිරීමේ පදනම මතය. ගෙවන වාට්ටු සඳහා මානව සම්පත්, වෛද්‍ය උපකරන හා ඖෂධ සම්පාදනය දැනට සිටින අතිශයින් ම අප්‍රමානවත් වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මන්ඩලය සහ සීමිත උපරකන තුලින් සිදුවනු ඇත.

නිදහස් සෞඛ්‍ය සේවය බරපතල කඩා වැටීමකට මුහුන පා ඇත. එය ඒ සඳහා අරමුදල් සම්පාදනය අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් පසුගිය දසක කිහිපය තුල ක්‍රමානුකුලව කපාහැරීමේ ප්‍රතිඵලයකි. ගෙවන වාට්ටු යටතේ සිදු වනු ඇත්තේ එය තවදුරටත් තීව්‍ර කෙරෙමින් නිදහස් සෞඛ්‍ය සේවය මුලුමනින් ම විනාශ කිරීමකි.

සෞසේවෘසස සටන 'වලපල්ලට වැටී ඇති' නිදහස් සෞඛ්‍ය සේවය 'ගොඩගැනීමේ' සටනක් යැයි කෝරලේආරච්චි කරන ප්‍රකාශය කුහකය. නිදහස් සෞඛ්‍ය සේවය 'වලපල්ලට වැටීම' සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ සමිතියමත් වගකිව යුතුය. අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට සහ පුද්ගලික සෞඛ්‍ය සේවය වර්ධනය කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතරින් මතු වූ විරෝධය, සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති සමග ශ්‍රම විභජනයක යෙදෙමින්, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ සීමිත සහ නිස්සාර උද්ඝෝෂනවලට කොටුකර විසුරුවා හැරීමට සෞසේවෘසස කටයුතු කලේය.

අනෙක් අතට, ජාමූඅ හි විධානයන් මත නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කරන බවට වික්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කරන සෞසේවෘසස සහ එය මෙහෙයවන ජවිපෙ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. සමගි ජන බලවේගය (සජබ) හා ජවිපෙ ඇතුලු විරුද්ධ පක්ෂවලට වික්‍රමසිංහ ආන්ඩුව සමග තිබෙන්නේ උපායාත්මක මත භේදයක් පමනි: එනම් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මුලුමනින් ක්‍රියාවට දැමීමට වික්‍රමසිංහ ආන්ඩුව අසමත් වනු ඇත යන්නයි. එය වඩා රුදුරු ලෙස ක්‍රියාවට දැමීම සඳහා සජබ හා ජවිපෙ ආන්ඩු බලය අල්ලා ගැනීමේ බල අරගලයක යෙදී සිටිති.

ශ්‍රී ලංකාව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා 'ජනතාවට නීරස සහ ජනතාවත් සමග ගැටෙන' වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට සිදුවන බව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කල අතර ඔක්තෝබර් මාසයේ ස්වර්නවාහිනී වැඩ සටහනකදී ද ජාමූඅ සමග 'කටයුතු කිරීමට' සිදුවන බව පැවසීය.

ඊට එරෙහිව මතුවන කම්කරු පන්තියේ සහ පීඩිත මහජනතාවගේ විරෝධය නිර්දය ලෙස මර්දනය කිරීමට අවශ්‍ය මර්දන යාන්ත්‍රනය ජවිපෙ දැන් සිට ම සුදානම් කරමින් සිටී. කම්කරු පංතියට එරෙහි ෆැසිස්ට් මුගුරු ලෙස යොදා ගැනීමටත්, හමුදාව සමග වඩාත් සමීප සබඳතා ගොඩනගා ගැනීමටත්, විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් ජාජබ තුල සංවිධානය කිරීම එහි එක් පියවරකි.

දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය තුල දී ධනපති පාලක පන්තියට මුක්කුව සැපයීම, ආරක්ෂක හමුදාවන් සමග සමීපව කටයුතු කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම සහ යුද්ධ කාලපරිච්ඡේදය තුල රැකියා, වැටුප්, ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව පැනනැගුන කම්කරු පන්තික අරගල කොටි ත්‍රස්තවාදයට සහයෝගය දෙන බවට චෝදනාකරමින් ඒවා මර්දනය කිරීමට පාලක පන්තියට සහයෝගයදීම සම්බන්ධයෙන් ජවිපෙ ට සහ එහි වෘත්තීය සමිති වලට කුප්‍රකට වාර්තාවක් ඇත. එහෙයින් 'ජනතාවාදී පාලනයක්' ගැන ජවිපෙ සහ එය විසින් මෙහෙයවන වෘත්තීය සමිති විසින් කෙරෙන සීනිබෝල කතාවලට කම්කරුවන් නො රැවටිය යුතුය.

කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන, මහව්‍යාපාරිකයේ සහ ආයෝජයින්ගේ ලාභ උත්පාදක උත්සුකතාවයන් ආරක්ෂාකරන තවත් ධනපති ආන්ඩුවක් නොව; ජාමූඅ කප්පාදු පිලිවෙත් හා විදේශ නය ගෙවීම් ප්‍රතික්ෂේප කරන, කර්මාන්ත, බැංකු හා මහා ව්‍යාපාර සහ මහා පරිමාන වතු ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන හා කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරන කම්කරු-ගොවි ආන්ඩුවකි.

එම සටනෙහි තීරනාත්මක සාධකය වන්නේ ජවිපෙ ඇතුලු සියලු ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ කම්කරුවන්ගේ හා ගම්බද ගොවීන් ඇතුලු දුගී ජනයාගේ ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ ගොවිජනතාවගේ සහයෝගය සහිත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීම යි

සමාජවාදී සමානතා පක්ෂය ඒ සඳහා සටන් වදින කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය යි. මෙම වැඩපිලිවෙල සකච්ඡා කිරීම පිනිස ජුලි 6 වෙනිදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ සවස 4 ට පවත්වන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන්න.

Loading