“ගෙදර ආහාර වියදම් දැරුවාම පාසල් යන්න මුදල් නෑ” උසස් පෙල ශිෂ්‍යාවක් ප්‍රකාශ කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ ජාතික පාසලක කලා විෂය ධාරාවෙන් උසස් පෙල විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් තමන් මුහුන දෙන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට එල්ල වී ඇති ප්‍රහාර සම්බන්ධයෙන් ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සමග සාකච්ඡා කලා ය.

මේ වසරේ දෙසැම්බර් මස විභාගයට පෙනී සිටීමට නියමිත වුව ද ඇය පසුගිය මාස 06 ක කාලයක් පාසල් ගොස් නොමැති අතර, අමතර පන්තිවලට ද සහභාගී වී නැත. “ගෙදර ආහාර අවශ්‍යතා යන්තම් පිරිමසා ගැනීමට වියදම් දැරුවාම පාසල් යන්න පන්ති යන්න මුදල් ඉතුරු වෙන්නේ නෑ. මට මාසයක් පාසල් යන්න බස් ගාස්තු රුපියල් 5,000 ක් යනවා. පන්ති ගියොත් තව 2,000 ක් යනවා. දුම්රිය ගාස්තු තරමක් අඩු වූවත් පාසල් ඇරී එන්න දුම්රියක් තියෙන්නේ සවස 4.30ටයි. එහෙම තත්වයක් යටතේ කොහොම ද ඉස්කෝලේ යන්නේ” යැයි ඇය ප්‍රශ්න කලා ය.

පාසලට නිවසේ සිට ඇත්තේ කිලෝමීටර් 12 පමනක් වුවත් ඇයට ඒ සඳහා බස් රථ දෙකකින් ගමන් කිරීමට සිදු වේ. ඉන්ධන මිල ඉහල යෑම හේතුවෙන් අතුරු මාර්ගයේ ධාවනය වූ එකම පෞද්ගලික බස් රථය මේ වන විට ක්‍රියාත්මක නොවේ.

තදබදය අධික බස් රථයක පාපුවරුවේ එල්ලී යන පාසල් සිසුන් (ෆේස්බුක්)

විදුලි බිල ඉහල යෑම වැනි කරුනු හේතුවෙන් හලාවත, නාත්තන්ඩිය, මීගමුව වැනි නගරබද ව පිහිටා ඇති පෞද්ගලික උපකාරක පන්තිවල මාසික ගාස්තු රුපියල් 2,000 ඉක්මවා ඉහල ගොස් ඇතැයි ද විද්‍යා විෂයයන්හි ගාස්තු ඊටත් වැඩි යැයි ද ඇය පෙන්වා දුන්නා ය. පොත්පත්, අනෙකුත් ලිපි ද්‍රව්‍යවල මිල ගනන් කිහිප ගුනයකින් ඉහල ගොස් ඇත.

දරා ගත නොහැකි ලෙස ජීවන වියදම ඉහල ගියත් පවුලේ ආදායම් මාර්ග ඇහිරී ඇති ආකාරය ඇය විස්තර කලා ය. ත්‍රී රෝද රථ රියදුරෙකු වන ඇගේ පියාට මේ වන විට කිසිදු ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. සතියකට ලැබෙන පෙට්ට්‍රල් ලීටර් පහකින් රැකියාව කර ගත නො හැකි බව ප්‍රකාශ කල ඇය, ඉන්ධන මිල ඉහල යෑම හේතුවෙන් “හයර් එකේ ගාන කිව්වා ම මිනිස්සු හයර් යන්න එන්නේ නෑ” යයි කියා සිටියා ය.

ඇයගේ මව ප්‍රදේශයේ පිහිටි මල් ගොවිපලක රැකියා කර උපයන්නේ රුපියල් 22,000 ක් පමන සොච්චම් මාසික වැටුපකි. “ෆාම් එකේ මල් පිට රට යවලා විශාල ලාභ ගන්නවා. කම්කරුවන්ට සොච්චමක් දුන්නට එහි කලමනාකරුවන් ලක්ෂ ගනන් පඩි ගන්නවා” යනුවෙන් ඇය වෛරයෙන් ප්‍රකාශ කලා ය.

ඇයට වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියන් තුන් දෙනෙකු සිටී. විවාහක සහෝදරයා, ඔහුගේ බිරිඳ හා දරුවා ද එක් සහෝදරියක් ද ඇය සහ දෙමාපියන් සමග එකම නිවසේ වාසය කරති. විවාහක එම සොහොයුරා සමූපකාර දෙපාර්ථමේන්තුවේ අනියම් සේවකයෙක් ලෙස රැකියාවේ නිරත වෙයි. ඔහුට දිනකට ලැබෙන්නේ රුපියල් 1,500 ක මුදලක් පමනි. ඒ ලැබෙන මුදල ඔහුගේ මාස 06ක දරුවා ද ඇතුලේ පවුලේ වියදම්වලටත් ප්‍රමානවත් නැත. හෙද පාඨමාලාවක් හදාරන සහෝදරියට තවම රැකියාවක් නැත.

“අපි කලින් පාන්, ඉඳිආප්ප, රොටි වැනි ආහාර එක් වේලකට ගත්තා. නමුත් අපි දැන් තුන් වේලටම බත් කන්නේ එක ව්‍යංජනයක් එක්ක. කපන මාලු ග්‍රෑම් 250 ක් රුපියල් 700 ක් වෙනවා. මාලු, කරවල, බිත්තර මොකුත් අපි කාලෙකින් කෑවේ නෑ. නිසි පෝෂනයක් අපිට නෑ” යයි ඇය ප්‍රකාශ කලා ය.

මේ වසරේ අගොස්තු මාසයේ ලංකාවේ සමස්ත උද්ධමනය සියයට 64 ක් ලෙස වාර්තා විය. තිරිඟු පිටි මිල ඉහල යෑම හේතුවෙන් පාන් ඇතුලු පිටි ආශ්‍රිත නිෂ්පාදනයන්හි මිල තවත් ඉහල යෑමෙන් අගෝස්තු මාසයේ සියයට 90 ක්ව පැවති ආහාර උද්ධමනය වඩාත් ඉහල යනු ඇත.

ඉහත ශිෂ්‍යාව විස්තර කල ආර්ථික දුෂ්කරතා රටපුරා දහස් සංඛ්‍යාත දරුවන් මුහුන දෙන තත්වය පෙන්නුම් කරයි. එක්සත් ජාතීන්ගේ ලමා අරමුදලේ (යුනිසෙෆ්) දකුනු ආසියානු කලාපීය අධ්‍යක්ෂක ජෝජ් ලාරියා අජේට අනුව, ලොව ඉහල ම ලමා මන්දපෝෂනය ඇති රවවල් අතරින් ලංකාව හය වන ස්ථානයේ පසු වෙයි. රටේ දරුවන්ගෙන් හරි අඩකට ආහාර ආධාර අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

ප්‍රවාහන ගාස්තු, ආහාර පාන වියදම් හා පාසල් පොත්පත්, ලිපි ද්‍රව්‍ය, සපත්තු, බෑග්, නිල ඇඳුම් සඳහා යන වියදම් දරා ගත නො හැකි වීම හේතුවෙන් රටපුරා පාසල් ශිෂ්‍යයන්ගෙන් සියයට 30-40 ත් අතර ප්‍රතිශතයක් අඛන්ඩ ව පාසල් නොඑන බව වාර්තා වේ.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඇහිරීම සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ද ඇතුලුව බලයට පත් සියලු ආන්ඩු වගකිව යුතු අතර එය සමස්ත ධනේෂ්වර ක්‍රමයට එරෙහි බරපතල චෝදනා පත්‍රයකි. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා අධ්‍යාපන අයිතිය දිනා ගත හැකිය මිත්‍යාවන් වගාදිගා කරන ගුරු වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන හා ව්‍යාජ-වාම පක්ෂ ද දේශපාලනික ව ඊට වගකිව යුතු ය.

දරුවන් තවදුරටත් අධ්‍යාපනයෙන් විතැන් කොට ලමා ශ්‍රම සූරාකෑම වඩාත් ඉහල තලයකට නැංවීමේ කොන්දේසි සකසමින්, වයස අවුරුදු 16 ට වැඩි පාසල් දරුවන් පෞද්ගලික අංශයේ රැකියාවල යෙදවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව පියවර ගෙන ඇත.

මහජන විරුද්ධත්වය මගහැර යෑමේ ප්‍රයත්නයක් ලෙස ආන්ඩුවේ මෙම පියවර “අධ්‍යාපනය ලබන අතරතුර මුදල් උපයා ගැනීමට තරුනයන්ට අවස්ථාව සලසා දීමේ ඉදිරි පියවරක්” ලෙසත්, දරුවන් රැකියාවේ යොදවන්නේ දිනකට පැය හතරක් හෝ පහක් බැගින් සතියකට පැය 20 ක් පමනක් යයි කියා සිටී. මෙය තුච්ඡ ප්‍රලාපයකි.

බාල වයස්කාර දරුවන් රැකියාවල යෙදවීම වැලැක්වීමේ නීති පැවතිය දී, දූගී පවුල්වල වයස අවුරුදු 16ට අඩු දරුවන් පවා තම පවුලේ වියදම් පිරිමසා ගැනීම සඳහා විවිධ රැකියාවලට යොමු වීමේ ප්‍රවනතාවය අපි මීට පෙර සිට ම අත් දැක් ඇත්තෙමු.

ජාතික ලමා රක්ෂන අධිකාරියේ දත්තවලට අනුව වාර්ෂික ව පාසල් හැර යන සංඛ්‍යාව 2020 වන විට 20,000 ක් දක්වා ඉහල නැග තිබුනි. 2017 වන විට ලංකාවේ පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයන බව තවත් පරීක්ෂනයකින් හෙලිදරව් කෙරුනි. ගොවි, ධීවර ජනයා අතරත්, නාගරික දිලිඳු ජනයා හා වතු කම්කරුවන් අතරත් මේ තත්වය බරපතල ය.

වියදම් පිරිමසා ගැනීමේ අරමුනින් අදාල ශිෂ්‍යාව මීගමුව ප්‍රදේශයේ මාලු අපනයනය කරන කර්මාන්ත ශාලාවක රැකියාවට ගොස් ඇත. උදේ 8 සිට සවස 5 දක්වා සේවා කාලයක් සඳහා ඇයට ලැබුනේ දිනකට රුපියල් 1,200 ක් පමනි.

“ආන්ඩුව කියනවා රැකියා කරමින් ඉගෙන ගන්න කියලා. නමුත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමේ. පාසල් ලමයි කියලා කිව්වට මට කිසිම සහනයක් ඒ ෆැක්ටරියෙන් ලැබුනේ නෑ. අනෙක් සේවකයන්ගේම ඉලක්ක මටත් දුන්නා. කූල් රූම් ඇතුලේ පැය ගනන් වැඩ ගන්නවා. පාඩම් කරන්න වෙලාවක් නැති නිසා මම ඒ රස්සාවෙන් ඉවත් වුනා.”

උතුරු ප්‍රදේශයෙන් හා වතුකරයෙන් පැමිනි ද්‍රවිඩ කතාකරන තරුනියන් ද ඇතුලු ව එහි රැකියා කල බහුතරයක් අවුරුදු 15,16 වයසේ පාසල් යා යුතු වන තරුන තරුනියන් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලා ය.

දෙවසරකට පෙර උසස් පෙල අධ්‍යාපනය ආරම්භ කරන විට ඇගේ පන්තියේ ලමයි 40ක් පමන සිටි නමුත්, කොරෝනා වසංගතය මැද ඒ අතරින් 10 දෙනෙක් පමන අධ්‍යාපනය හැර ගොස් තිබේ. පාසල් හැරගිය එම සිසුන් යෙදුනු රැකියා පිලිබඳ ව ඇය මෙසේ විස්තර කලා ය: “තුන් දෙනෙක් රට ගියා. තව ගෑනු ලමයි දෙන්නෙක් ඇඟලුම් කම්හලක රැකියාවට ගියා. එක පිරිමි ලමයෙක් හමුදාවට ගියා. තවත් අය රෙදි කඩවල, පොත් කඩවල රැකියාවලට ගියා.”

වසංගතය හා ඉන්ධන හිගය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ප්‍රමාද වූ 2022 වසරේ පලමු වාර විභාගය මේ දිනවල පාසල් මට්ටමින් පැවැත්වුව ද රටපුරා පවතින කඩදාසි හිඟය හා මුද්‍රන ගාස්තුවල මිල ඉහල යෑම හේතුවෙන් රටපුරා බහුතරයක් පාසල් විභාගය පවත්වා නැත.

ඉහත ශිෂ්‍යාවගේ පාසලේ විභාගය පැවැත් වුවද විභාගයට ඇගේ පන්තියෙන් සහභාගී වී ඇත්තේ සිසුන් තිදෙනෙකු පමනි.

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් අතලොස්සක් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තබමින් වසංගතය පැතිරීමට ඉඩ හල ලොව පුරා ධනපති පාලක පන්තීන්ගේ එම සාපරාධි පිලිවෙත, වර්ධනය වන ලෝක යුද අන්තරාය හා ඒ හේතුවෙන් ලොව පුරා ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ඉහල යෑම සම්බන්ධයෙන් ඇය ධනේෂ්වර ක්‍රමය හෙලා දැක්කා ය.

“ලංකාවේ මේ තියෙන තත්වයට බලයට පත් සියලු ආන්ඩු වග කියන්න ඕන. ඒ වගේ ම අතලොස්සකගේ ලාභය වෙනුවට මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය හා බෙදාහැරීම සිදු කිරීමට නම් කම්කරු පන්තිය බලය ගත යුතුයි. මම සමාජවාදය ගැන වැඩිදුරටත් අධ්‍යයනය කරන්නත්, ගුරු සිසු දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්නත් කැමතියි.”

Loading