[මෙය Roger Waters in concert: Art and politics in a time of crisis මැයෙන් 2022 ජූලි 26 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
කීර්තිමත් සංගීතඥයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ද, පින්ක් ෆ්ලොයිඩ් කන්ඩායමේ සම ආරම්භකයා හා 1968 ත් 1984 ත් අතරතුර එහි නිර්මානශීලී ධාවක බලවේගය වූ ද රොජර් වෝටර්ස් මේ දිනවල ඔහුගේ This is not a drill (මෙය සරඹ සංදර්ශනයක් නොවේ) නම් ප්‍රසංගය හා බහු මාධ්‍යයික ඉදිරිපත් කිරීම සමඟ උතුරු ඇමරිකාව සිසාරා සංචාරයේ යෙදී සිටී.
ජූලි 23 වන දින ඩෙට්‍රොයිට්හි නැවතුනු මෙම සංචාරය, එක්සත් ජනපදයේ හා ලොව මුලුල්ලේ පාලක ප්‍රභූවේ නිර්දයභාවය හෙලා දැකීමට වෝටර්ස්ගේ විස්තීර්න කලාත්මක ගීත සමුච්චය යොදා ගනී. එහි එන සෑම ගීයක් ම පාහේ, අධිරාජ්‍යවාදී යුද්ධය, ෆැසිස්ට්වාදය, ජාතිකවාදයේ හලාහල විෂ, සරනාගතයන් මුහුන දෙන තත්ත්වයන්, රාජ්‍ය මර්දනයට ඉලක්ක වූවන්, ලෝක ගෝලීය දරිද්‍රතාවය, සමාජ අසමානතාවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන ප්‍රහාරය හා න්‍යෂ්ටික මූලෝත්පාටනයක අන්තරාය ආදී වශයෙන් වූ, අපේ කාලයේ බලගතු ප්‍රයුක්තීන් කෙරේ යොමු කරන ලද ඒවා ය.
ඒ සා අසාමාන්‍ය වූ ද, වැදගත් වූ ද සිදුවීමක් ඒ පිලිබඳ විශේෂ සලකා බැලීමක් ඉල්ලා සිටී. ඒ, අන් සියල්ලටමත් වඩා, එය පෙර නොඇසූ විරූ අර්බුදයක කාල පරිච්ඡේදයක් තුල කලාව හා දේශපාලනය අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ කරුන, මිනිසුන් විශාල සංඛ්‍යාවකගේ තථ්‍ය අත්දැකීම් තුල උසස් හා හදිසි මට්ටමකට ඔසොවා තබන නිසා ය.
ඩෙට්‍රොයිට්හි ප්‍රසංගය අපූර්ව සංගීතමය, දෘශ්‍යමය හා බුද්ධිමය අත්දැකීමක් විය. This is not a drill ප්‍රසංගයට වෝටර්ස් එහි සුක්කානම දැරූ සමයේ පින්ක් ෆ්ලොයිඩ් ගීත ලැයිස්තුවෙන් මතකයේ රැඳී ගීත රාශියක් ඇතුලත් ව ඇති නමුදු, එය කිසිවිටෙක හෝ අතීත සාංකාව දල්වන සංචාරයක් නොවේ. ඇත්තෙන්ම කිසිවෙකු හෝ 'මොහොතකට සිය කම්කටොලු අමතක කිරීම' වෝටර්ස්ට අවශ්‍ය නොවේ. මෙම සන්ධ්‍යාව පුරා ම ඔහුගේ ප්‍රධාන සැලැකිල්ල යොමු වූයේ සිය ගීත දැන් දිග හැරෙමින් පවතින සමාජයීය හා දේශපාලනික වර්ධනයන්ට අනුරූප වන බවට සහතික වීමට ය.
වෝටර්ස්ගේ ඒකල නිර්මාන අතර වඩාත් ප්‍රකට නොවූ ගීතයක් වන 'ද පවර්ස් දැට් බී' (1987) ඉදිරිපත් කෙරුනේ පොලිස් වෙඩි තැබීම්වල හා මිලිටරි බෝම්බ දැමීම්වල දර්ශන තලයක් පසුබිම් කොට ගත් ඝෝෂාකාරී විලාසයකිනි. එක්සත් ජනපදය තුල හා සෙසු රටවල දී පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ දුසිම් දෙකකට ආසන්න පිරිසක් පිලිබඳ සිහි කැඳවීමේ පාඨ වලින් මෙකී රූප සංඥා කුලු ගැන්වේ. එම එක් එක් මරනය පිලිබඳ කෙරුනු එක් එක් සඳහන් කිරීමක් පාසා ප්‍රේක්ෂාගාරයේ කෝපාවිෂ්ඨ විරෝධය උත්සන්න විය.
'(වෙඩි සැර) පරාසයෙන් පිටත සිටීමේ නිර්භීතකම' යන අරුත් දෙන “The Bravery of Being Out of Range” නම් දැවෙනසුලු යුද විරෝධී ගීය ඉදිරිපත් කිරීමේ දී වෝටර්ස්, රොනල්ඩ් රේගන්ගේ සිට එම ධුරයේ කටයුතු කල සෑම එජ ජනාධිපතිවරයෙකුගේ ම රූ, ඔවුන්ගේ මිනීමරු විදේශ පිලිවෙත් පිලිබඳ විස්තාරනයන් ද සමඟ ගෙන එන්නේ ඒ එක එකක් සමඟ 'යුද අපරාධකරු' යන වචන පසුබිම් රූපයට උඩින් ප්‍රදර්ශනය කරමිනි. ජෝ බයිඩන් පිලිබඳ ව වෝටර්ස් සඳහන් කරන්නේ 'ඔහු තවම පටන් ගනිමින් සිටින' බවයි. 'Old timer, who are you gonna kill next?' ('පලපුරුදුකාර ජ්‍යෙෂ්ඨය, තොප ඊලඟට මරා දමන්නේ කවරෙක් ද?') යන අමතක නොවන ධ්‍රැව පදයෙන් යුත් ගීතයේ ස්වාරාරෝහ උත්කර්ෂයේ දී (crescendo), හදිසියේ ම, රක්ත වර්න ශ්‍රව්‍ය දෘශ්‍ය පිපිරීමක් ප්‍රේක්ෂාගෘහය වසා ගනී; එහි අරමුන වන්නේ මිලිටරි ඩ්‍රෝනයකින් හෝ ගුවන් යානයකින් එල්ල කෙරෙන වෙඩි ප්‍රහාරයක සංඥාව සම්පාදනය කිරීමයි.
බියකරු සිහිනයක් බඳු වූ 'Run Like Hell' ගීතය අවසානයේ, එතෙක් ප්‍රදර්ශනය වූ සජීවීකෘත රූප, නේවාසික වටපිටාවකට එක්සත් ජනපද හෙලිකොප්ටරයකින් මිසයිල ප්‍රහාර එල්ල කරන වීඩියෝ පටයක් බවට පරිවර්තනය වෙයි. එහි දැක්වෙන පාඨවලින්, එම වීඩියෝවේ ඇතුලත් වන්නේ 2007 වසරේ ඉරාකයේ දී සිවිල් වැසියන් හා මාධ්‍යවේදීන් 10 දෙනෙකුට මරනය ගෙන ආ ප්‍රහාරයේ සැබෑ වාර්තාගත වීඩියෝව බවට පැහැදිලි කෙරෙයි. තව දුරටත් එහි දැක්වෙන්නේ එම වීඩියෝව 'චෙල්සි මැනිං විසින් ධෛර්ය සම්පන්න ලෙස පිට කරනු ලැබ', 'ජුලියන් අසාන්ජ් විසින් ධෛර්යමත් ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලද' බවයි. ඉනික්බිතිව පසුතලය 'ජුලියන් අසාන්ජ් නිදහස් කරනු' හා 'ඝාතකයන් සිර ගත කරනු' යන වචනවලින් උදාරම් ආකාරයෙන් සරසනු ලබන්නේ එම සන්ධ්‍යාවේ ජනිත අතිශයින් ඝෝෂාකාරී ඔල්වරසන් දීම්වලින් ප්‍රේක්ෂාගාරය ගිගුම් දෙවමිනි.
ප්‍රසංගය අවසන් වන්නේ ආඪ්‍යවත් ලෙස දීර්ඝ කරන ලද ඉහල මට්ටමේ හා සිත් කලඹන සුලු සලකුනක් තබමිනි. වෝටර්ස්ගේ වාද්‍ය වෘන්දය පලමුව කීර්තිමත් 1973 Dark Side of the Moon ඇල්බමයේ එන ගීත සම්මිශ්‍රනයක් - “Us and Them,” “Any Colour You Like” සහ “Brain Damage” - ඉදිරිපත් කරයි. මේ එක එකක අනුක්‍රමයෙන් නැඟෙන සමූහ ගායනය, ලොව පුරා මිනිසුන්ගේ - අවසානයේ ඒවා සිය ගනනක් වන තුරු ක්‍රමානුකූලව ගුනනය වන - රූප සමුදායකට අනුයෝග කොට ඇත. යුද්ධයේ නව යෞවන ගොදුරු, කාර්මික කම්කරුවන්, මව්වරුන්, රෝගී දරුවන්, නිවාස අහිමි මිනිසුන් ආදී වශයෙන් පුලුල් පරාසයක මානවයන්ගේ රූ ඊට ඇතුලත් විය. ඒ වූ කලී, 'Brain Damage' ගීතයේ සමාප්තියෙහි දී දැවැන්ත පරිදර්ශනයක කූටප්‍රාප්තියට පත් වන කුලුනුබර හා මිනිසුන් ඒකාබද්ධ කරන රූ සරනියකි. එය, ලෝකයේ නැති වන්නට කෙතෙක් දේ ඇත්දැයි වෝටර්ස් විසින් කරනු ලබන සිහි කැඳවීමකි.
මෙම මිශ්‍ර සංගීතයෙන් ඉක්බිතිව වහා ඉදිරිපත් කෙරෙන්නේ වැඩි දෙනා නොදත්, එහෙත් බලගතු ගීයක් වන 'Two Suns in the Sunset' (1983) ගීයෙනි. වෝටර්ස් මෙම ගීතය හඳුන්වා දෙන්නේ න්‍යෂ්ටික යුද්ධයක වත්මන් අනතුරු පිලිබඳ සඳහනක් සහිතව ය. එමඟින් ඔහු පැහැදිලිව ම, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බලවතුන් දෙදෙනා පැටලී සිටින, යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එජ / නැටෝ විසින් කුපිත කරනු ලබන යුද්ධය දෙසට ඇඟිල්ල දිගු කරයි. ආරම්භයේ දී දැක්වෙන ගම්බද දර්ශනය හා ග්‍රාමීය පෙදෙසක රියක් පදවා ගෙන යන තනි පුද්ගලයෙකුගේ දීප්තිමත් සජීවිකෘත රූපය, බිය දනවන ආකාරයෙන් එහි ස්වභාවය වෙනස් කරයි. රූපයේ වූ 'දීප්තිමත් බව' නිකුත් කෙරෙන්නේ, දෘශ්‍ය පසුතලවල අප දුටු මහත් සංඛ්‍යාවක් මිනිසුන් පුලුස්සමින් නැඟී එන, න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමෙන් ඇති වන බිම්මලක රූපාකාරය ගත් න්‍යෂ්ටික වලාකුලෙන් බව අපට වැටහී යයි.
අප්‍රමාන සාහිත්‍යමය හා සංගීතමය ජර්නලයන්ගෙන් පොම්ප කරන, සෑම කලා හා නාට්‍ය පාසලකම උගන්වන සම්මුතික ඥානය විසින් අපට කියා දෙනු ලබන්නේ කලාව හා දේශපාලනය, තෙල් හා ජලය මෙන්, මුසු නො කිරීම වඩා උචිත බවයි. තරුන කලාකරුවන් තැති ගන්වමින් සමාජමය බැඳීම්වල අඥානකම පිලිබඳව ඔවුන්ගේ සිතට කා වැද්දවීම සඳහා අතීතයෙන් විවිධ අවවාදාත්මක නිදර්ශන නිතිපතා සම්පාදනය කරනු ලැබේ. වඩාත් සාමාන්‍ය ලෙස ගත් කල්හි පවා පවත්නා මතිය වන්නේ, සෞන්දර්යාත්මක මූලාංගය වූ කලී එය තුල ම පවත්නා හා එයින්ම පවත්නා දෙයක් බවයි. එනම්, ඒ වූ කලී, අතිමහත් ජනකායයන්ගේ ජීවිත හා උත්සුකයන් පිලිබඳව කල හැකි දේ අල්පතර වන, නැතහොත් ඒ පිලිබඳව කිසිවක් හෝ කල නොහැකි වටිනාකමක් බවයි. එය කෙසේද යත්, සෞන්දර්යාත්මක ආකෘතිය නිර්මානය කරන කලාකරුවා හා එය රස විඳින ප්‍රේක්ෂකයා හුදු හිස් යන්ත්‍ර වූ සෙයකි. එක් යන්ත්‍රයක් ආකෘතිය නිර්මානය කිරීම සඳහා ය; අනෙක එය ඇගයීම සඳහා ය.
නිල අනුවාදයට අනුව ඉදින් යම් කලාකරුවෙකු සතුව බලගතු දැක්මක් ඇත්තේ නම්, ඔහු හෝ ඇය එය තමාටම තබා ගැනීම වඩා උචිත ය. බොහෝ කලාකරුවෝ හා සංගීතවේදීහු, කනගාටුදායක ලෙස, මෙකී මතීන්ට අනුව කටයුතු කරති. එහෙත් වෝටර්ස් ඔවුන්ගෙන් එක් අයෙකු නොවේ. ඔහුගේ සමස්ත ප්‍රාසාංගික සංචාරයම එබඳු අදහස් ඕනෑකමින්ම හා සචේතනික ලෙස ප්‍රතික්ෂේප කිරීමකි. බහුමාධ්‍යයික ඉදිරිපත් කිරීමේ දැක්වෙන ආරම්භක පනිවුඩයකින් මෙය මනා ව කියැවේ: 'ඉදින් ඔබ, 'මම පින්ක් ෆ්ලොයිඩ් වෙත ඇලුම් කරමි. එහෙත් මට රොජර්ගේ දේශපාලනය පිලිගන්නන් රුස්සන්නේ නැත,' වර්ගයේ මිනිසුන් අතරින් එකෙකු නම්, ඔබ මේ දැන් ම අවන්හල කරා තොලොංචි වීම වඩාත් හොඳ ය.' කෙතරම් යෝග්‍ය හා ව්‍යක්ත කියමනක් ද! යථාර්ථයේ දී, පෙර කිසිදා නොවූ විරූ වියවුල්කාරී හා පීඩාකාරී අපේ යුගයේ කලාව, ඉදින් එය තමා තුල විරෝධයේ මූලාංගය ගැබ් කර නොගන්නේ නම්, කෙසේනම් එය අර්ථාන්විත වන්නේ ද? එය තම ප්‍රේක්ෂකයාට කුමක් නම් කියනු ඇති ද? කලාව හා දේශපාලනය අතර ව්‍යාජ දෙබෙදුම පිලිගන්නා, තම 'නිසි තැන' දන්නා, කලාකරුවා අවසානයේ කිසිවෙකුට එතරම් නොවටනා අයෙකු බවට පත්වනු ඇති අතර, නිසැකවම වැඩි කල් යා දෙනු නැත.
බලවතුන් එහි අනතුර හඳුනා ගෙන ඇත. This Is Not a Drill ප්‍රසංගයට කිසියම් ආධාරකාරී වාර්තාකරනයක අනුග්‍රහය ලැබුනු නමුදු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල එය පිලිබඳ වාර්තා නොකිරීම නිසැක ලෙසම පෙනී ගියේය. ටොරොන්ටෝ නගරයේ රාත්‍රී දෙකක් පැවැති සිය ප්‍රසංගය පිලිබඳව කිසිදු සැලකිය යුතු වාර්තාකරනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් වෝටර්ස් මෑතක දී ටොරොන්ටෝවේ මාධ්‍ය හෙලා දැක්කේය. විචාරකයෝ සිය සංගීතය කෝපාවිෂ්ට අප්‍රසන්න බවකින් තොරව තිබෙනු දැකීමට කැමැත්තෝය.
වෝටර්ස්ගේ ප්‍රසංගය නොතකා හැරීමට ගත් තීරනය, රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල සිදු කෙරෙන එජ-නැටෝ යුද්ධයට ඔහු දක්වන විරුද්ධත්වය සමඟ බැඳී ඇති එකක් විය යුතුය. මෙම සංගීතඥයා ගැටුම සම්බන්ධයෙන් මූලධර්මාත්මක ආස්ථානයක් ගෙන ඇත. ප්‍රතිගාමී රුසියානු ආක්‍රමනයට දෘඩතර ලෙස එරෙහි වන අතර ම, වෝටර්ස් මෙසේ අදහස් දැක්වීය: 'යුක්‍රේනයේ දිගු කල් ඇදී යන කැරැල්ල වොෂින්ටනයේ මැරවර උකුස්සන්ට අනගි එකක් වනු ඇත. ඔවුන් සිහින දුටුවේ එයයි.'
බැරෑරුම් කලා නිර්මානය හා තියුනු දේශපාලන විශ්ලේෂනය සංයෝජනය වූ, වෝටර්ස්ගේ සමාජයීය වශයෙන් අනුබද්ධ වූ ද, ඓතිහාසික වශයෙන් දැනුවත් වූ ද සංගීත ප්‍රසංගයෙන් සසල නොවී සිටීම නොකල හැක්කකි. වෝටර්ස් ඉදිරිපත් කරන්නේ ක්‍රමානුකූලව වර්ධනය කල දේශපාලන ඉදිරිදර්ශනයක් නොවේ, එය විශේෂිත ප්‍රවනතාවයක වැඩ පිලිවෙලකට වඩා බෙහෙවින් අඩු යමකි. This is Not a Drill ප්‍රසංගයෙන් ප්‍රකාශයට පත් වන්නේ අයුක්තියට, යුද්ධයට, නිල කුහකවතට හා මුසාවන්ට එරෙහි ගැඹුරු කෝපයයි.
තම වයසින් අඩක් වන පුද්ගලයෙකු සතු ජවය හා ජීව ගුනය සහිත 78 හැවිරිදි වෝටර්ස් මේ යෙදී සිටින්නේ අතීතකාමයේ සාංකා පුබුදුවන සංචාරයක නොවේ. ඔහුගේ වයසේ වෙසෙන සෙසු ප්‍රාසාංගික කලාකරුවෝ සංචාරය කරමින් සිය පැරනි ජනප්‍රිය ගීත ගායනා කරන්නේ ජීවත් වීමට අරමුදල් උපයා ගැනීම සඳහා යැයි සිතිය හැකිය. ඔවුන්ගෙන් අතිමහත් බහුතරයකගේ - විශේෂයෙන්ම 1960 ගනන්වල වියට්නාම් යුද්ධ-විරෝධී හා සිවිල් අයිතිවාසිකම් අරගල තුල සිය කලාවේ මුල් තිබූ කලාකරුවන්ගේ - කෝපාග්නිය දශක ගනනාවකට පෙර නිවී ගියේය. ඔවුහු සමාජය සමඟ සමාජයීය හා කලාත්මක සාමය ගොඩ නඟා ගත්තෝය. ඔවුන්ට දිගටම තම මුල් නිර්මාන ඉදිරිපත් කිරීමට සිදුව තිබෙන්නේ ඔවුන්ට කීමට අලුත් හෝ වැදගත් යමක් නොමැති නිසා ය. සියල්ලටම වඩා නරක ම දෙය වන්නේ, ඔවුන්ට ඇතැම්විට කෙනඩි මධ්‍යස්ථානයේ බහුමානය - ලේ වලින් පෙඟවුනු දෑතින් යුත් එජ ජනාධිපතිවරුන් විසින් තම ගෙල වටේ එල්ලනු ලබන අර විලිලජ්ජා දනවන 'පලල් දේදුනු වර්න පීත්ත පටිය' - පවා ලැබීමයි.
අනෙක් අතට වෝටර්ස් යනු 'පුරාවෘතගත චරිතයක්', එනම්, නෂ්ටාවශේෂයක් නොවේ. ඔහු දිගටම ජීවමාන, ක්‍රියාකාරී, සිතන මතන කලාකරුවෙක් ව සිටී. ඔහු තවමත් සිය කාර්යයේ නිරතව සිටී, තවමත් ඉදිරියට යමින් සිටී. ඔහුගේ කෘතිය තම කාලයේ තත්ත්වයන්ට බැරෑරුම් කලාකරුවෙකු විසින් දක්වනු ලබන ප්‍රතිචාරයකි.
පැය තුනක් පුරා පැවැත්වූ මෙම ප්‍රසංගය, ප්‍රවීන සංගීතවේදීන්ගේ සහභාගීත්වයෙන් යුත්, ශක්තියේ චාරිකාවක් වූයේය. වෝටර්ස් මෙම චාරිකාවේ සෑම ප්‍රසංගයකදීම, 'යථාර්ථයට එරෙහි විරෝධයක්... සෑම විටම සැබැවින්ම නිර්මානාත්මක කෘතියක් බවට පත් වේ”ය සහ කලාවේ සෑම නව ප්‍රවනතාවක්ම (මෙවැනි ස්ථාපනයන් සහිත ප්‍රසංගයක් 'නව ප්‍රවනතාවක්' ලෙස සැලකිය යුතුය) 'කැරැල්ලකින් ආරම්භ වී ඇත' යන ලියොන් ට්‍රොට්ස්කිගේ ප්‍රස්තුතවල සත්‍යතාව භාවිතයෙන් ඔප්පු කරයි.
වෝටර්ස් යනු ලෝකය පිලිබඳ සිය සංකල්පනයේ දී එඩිතර, බැරෑරුම්, හා එබැවින් ම නොපසුබට ඍජු ගුනයෙන් යුත් කලාකරුවෙකි. ඔහුගේ සිත් ඇද ගන්නා සුලු කලා කෞශල්‍යය සහ පවතින සමාජ පර්යායට ඔහු දක්වන විරුද්ධත්වය එකට සම්මිශ්‍රනය වී පවතී. ඒවා එකකින් අනෙක පෝෂනය කෙරේ. මෙය, පිලිගත් සීමාවන්ට ඔබ්බෙන් අඩිය තැබීමෙන් වැලකී සිටීමට ප්‍රවේශම්කාරී වන්නා වූ, උපක්‍රමශීලී හා නොගැඹුරු 'රැඩිකල්වාදය' මත පුරුද්දන ලද කිසියම් කෘත්‍රිම වාමවාදයක් නොවේ. වෝටර්ස් දීර්ඝ කාලයකට පෙර ම 'කැරලි ගැසීම' සිය ඇට හා ඇට මිදුලුවලට උකහා ගෙන ඇත්තෙකු වන අතර ඔහු දිගටම ජීවත් වන්නේ ද ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ද එයයි. විචාරාත්මක ව සිතීමට ද, පවත්නා තතුවලට එරෙහිව කෝපාවිෂ්ඨ වීමට ද, බිහි කල යුතුව ඇති නව හා වඩාත් හොඳ ලෝකයක් පිලිබඳව විශ්වාස කිරීමට ද ඔහු සිය ප්‍රේක්ෂකාගාරය පොලඹවයි.