පාසල් ශිෂ්‍යාවගේ ඛේදජනක මරනයෙන් "වසංගතය සමග ජීවත්වීමේ" පිලිවෙතේ සාපරාධිත්වය යලි තහවුරු වෙයි

හලාවත නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ සිසුවියක් කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබමින් සිටියදී ජනවාරි 31දා මිය ගොස් ඇත. ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ රෝහලට ඇතුල් කිරීමෙන් පසුව සිදු කෙරුනු පරීක්ෂන මගිනි.

සිසුවිය ජනවාරි 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිනෙමින් සිටියදී හදිසියේ රෝගාතුර වී රෝහලට ඇතුල්කර බව පවුලේ ඥාතියෙක් ‘මාධ්‍යයට පවසා ඇත. මෙම ඛේදජනක සිද්ධිය මගින් යලිත් වරක් පැහැදිලි කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ගෙනයන “කොවිඩ් සමග ජීවත් වීමේ” පිලිවෙතේ මිනීමරු ස්වභාවයයි.

කෝවිඩ්-19 වෛරසයේ ප්‍රමුඛ ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත්වෙමින් ලංකාව තුල වසංගතය වේගයෙන් පැතිරෙද්දී, පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු නිෂ්පාදන විවෘතකොට, පැවති සීමිත මහජන සෞඛ්‍යාරක්ෂන පියවර සියල්ල අත්හැර දමා ඇති ආන්ඩුව රට සම්පූර්නයෙන්ම විවෘත කර ඇති තත්වය තුල, වෛරසයෙන් ආසාදිත පාසල් සිසුන් ඇතුලු දහස් සංඛ්‍යාත ජනයාගෙන් රෝහල් පිරී යමින් පවතී.

වැඩෙන ව්‍යසනය සලකුනු කරමින් මාස හතරකට පසු ඉරිදා දිනයේදී නිල දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යලිත් 1000 සීමාව ඉක්මවා ගියේය. දෛනික මරන සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහල යමින් පවතින අතර එදිනම මරන 20 ක් වාර්තා විය. සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇත. පසුගිය සතියේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 119 කින් ඉහල යෑමකි.

මෙසේ ආසාදනයන් සහ මරන ඉහල යෑමට මූලිකම හේතුව බවට පත් වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීමයි. සෙනසුරාදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව සඳහන් කලේ වෛද්‍ය පර්යේශනාගාර වලින් ලැබෙන තොරතුරු වලට අනුව ආසාදනයන්ගෙන් “සියයට 95 කට වැඩියෙන්” ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවූ ඒවා බවයි.

සිකුරාදා පැවැත්වූ පරීක්ෂනයන්හි දී, සාම්පල 88 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් 82 ක් හඳුනාගත් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති සහ සෛල වෛද්‍ය විද්‍යායතනය නිවේදනය කලේය. ඒ අනුව ලංකාව තුල සිදු කෙරෙන සීමිත පරීක්ෂන සංඛ්‍යාව හමුවේ පවා මුලු ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 350 ඉක්මවා ඇත.

ජනවාරි 27 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල වාර්තා වලට අනුව කොවිඩ් සඳහා වෙන් කර ඇති දැඩි සහ අධි සත්කාර ඇඳන් 70 න් 63 ක්ම මේ වන විට පිරී ඇත. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ සහ ජාතික රෝහල තුල ඉඩකඩ පිරී යමින් පවතින අතර කෑගල්ල රෝහලේ කොවිඩ් ලමා වාට්ටුවේ ඉඩ අවසන් වී ඇති බව මාධ්‍ය වාර්තා කලේය. අනිත් රෝහල් වලද තත්වය මේ හා සමානය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් 28 වනදා ද අයිලන්ඩ් පුවත්පතට සඳහන් කර තිබුනේ කොලඹ ජාතික රෝහල, නුවර සහ රත්නපුර ශික්ෂන රෝහල්, අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, මඩකලපුව සහ ත්‍රිකුනාමලය රෝහල් වල පරීක්ෂන කට්ටල හිඟය හේතුවෙන් රෝගීන් හඳුනා ගැනීමට කෙරෙන ඇන්ටිජන් පරීක්ෂන නවතා දැමීමට සිදුව ඇති බවයි. මෙම තතු පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව වසංගත පාලනය මුලුමනින්ම අත්හැර ඇති බවයි.

මෙම තත්වය මුලුමනින්ම වසන් කරමින්, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් “මට බය නැතුව කියන්න පුලුවන් අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට මේ රෝගීන් සංඛ්‍යාව දරාගන්න පුලුවන්” යැයි ජනවාරි 26 දා මාධ්‍යයට පැවසීය.

අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය දශක කීපය තුල ගෙනගිය කප්පාදු පිලිවෙත් හේතුවෙන් පැවති පහසුකම් පවා අහිමිව ගරාවැටී ඇති ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය, වසංගතයකට නොව සාමාන්‍ය තත්වයට පවා මුහුන දීමට අප්‍රමානවත් ය. සමස්ත ලංකාව පුරාම දැඩි සත්කාර ඇඳන් පවතින්නේ 700 කට ආසන්න සොච්චම් සංඛ්‍යාවකි. පසුගිය වසරේ වසංගතය පැතිරීම උච්ඡතම අවධියේදී රෝහල් පිරීගොස් ප්‍රතිකාර නොමැතිව රෝගීහු සිය ගනනින් මරනයට ගොදුරු වූහ.

ආසාදනයන් සහ මරන පිලිබඳ නිල වාර්තා පවා වසංගතයේ සැබෑ පැතිරීම අවතක්සේරු කෙරුනු ඒවාය. ඊට ප්‍රධානතම හේතුව බවට පත්වී ඇත්තේ ආන්ඩුව විසින් වසංගතයේ පැතිරීම සීමා කර පෙන්වීමට දෛනික පීසීආර් පරීක්ෂන කපා හැරීමයි. එහි සාමාන්‍ය අගය පවතින්නේ 8500 ආසන්න අගයකය. එසේ පැවතියදී පවා ආසාදිතයින් තහවුරු වීමේ ප්‍රතිශතය සියයට 10 ක ඉහල අගයක පැවතීමෙන් වසංගතය ඉමහත් වේගයෙන් පැතිරෙන බව සනාථ කරයි.

ජනවාරි 27 වනදා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මාධ්‍යයට ප්‍රකාශ කලේ “ආසන්න වශයෙන් දෙදහසක්” පමන දෛනිකව ආසාදනය වන බව පෙනෙන්නට ඇති බවයි. ආසාදනයන් වැඩිවීම හමුවේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඉඩ අවසන් වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේය. ඔහු අනතුරු අඟවා සිටියේ මෙම තත්වය දිගටම පැවතුනහොත් සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි වී මරන ඉහල යා හැකි බවයි.

ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක, “කොවිඩ් රැල්ලේ ඉහලට යන සුනාමියක්” අත් දකිමින් සිටින බව එදිනම මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත. වෛරසය සමාජගත වී ඇති බවට දක්නට ලැබෙන බවත් එය සංඛ්‍යා ලේඛන වලට වඩා වැඩි බවත් ඔහු පවසයි.

කෙසේ නමුදු, සැබෑ තත්වය මහජනතාවගෙන් වසන් කරනුවස්, වසංගතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීම කෙරෙහි රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයන්ට පනවා ඇති තහංචිය සහ 'වසංගතය සමග ජීවත්වීම' උත්කර්ශයට නංවමින් ආන්ඩුව සහ ධනපති මාධ්‍ය ගෙනයනය ප්‍රතිගාමී උද්ඝෝෂනයේ පීඩනය හේතුවෙන්, මෙම අනතුරු ඇඟවීම් පවා නිකුත් වන්නේ ඉතා සීමිත ආකාරයෙනි.

මෙම තතු තුල, වසංගතයේ සීඝ්‍ර පැතිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් කරන සීමිත ප්‍රකාශ වලින් පවා අතිමහත් බහුතරයක් අවසන් වන්නේ මහජනතාවට ප්‍රවේසම් වන ලෙසට සහ බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසට කෙරෙන ආයාචනා වලිනි. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් තාවකාලිකව වසා දැමීම, පරීක්ෂන සංඛ්‍යාව දැවැන්ත පරිමානයෙන් ඉහල නංවා ආසාදිතයන් හඳුනා ගනිමින් ඔවුන් හුදෙකලා කිරීම ආදී, ආන්ඩුව විසින් ගතයුතු අත්‍යවශ්‍ය මහජන ආරක්ෂන පියවර සම්බන්ධයෙන් ඔවුහු මුනිවත රකිති.

රට විවෘත කිරීමෙන් මහජනතාවට කටයුතු කිරීමට බල කෙරී ඇත්තේ තදබදයෙන් පිරුනු, කොවිඩ් සම්ප්‍රේශන මධ්‍යස්ථාන බඳු වැඩපලවල් සහ ප්‍රවාහන පහසුකම් මධ්‍යයේය. එවන් තතු තුල මහජනතාවට කෙරෙන ආයාචනා කුහකය. වසංගතය පැතිරීම සම්බන්ධ පූර්න වගකීම ආන්ඩුව සතුය. ආසාදනයන් පිලිබඳව එලිමහනට පැමිනෙන සීමිත වාර්තා මීට සාක්ෂි ය.

අනෙක් අතට ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය දැනටමත් පෙන්වා දී ඇති පරිදි එන්නත්කරනයෙන් පමනක් වසංගතය ජයගත නොහැක. ඔමික්‍රෝන් ප්‍රභේදය බිහිවීමට සහ එහි සීඝ්‍ර පැතිරීමට හේතුවී ඇත්තේ, 'වසංගතය සමග ජීවත්වීමේ' පිලිවෙත මත පාදක වූ ලොවපුරා ආන්ඩු එන්නත්කරනය එකම විසඳුම ලෙස උත්කර්ෂයට නංවමින්, වසංගතය පාලනය කිරීමට අත්‍යවශ්‍ය වන මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර ප්‍රතික්ෂේප කිරීමයි.

ආන්ඩුවේ මිනීමරු පිලිවෙත අනුයමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් බ්‍රහස්පතින්දා මාධ්‍යයට පැවසුවේ “අපගේ වර්තමාන මූලෝපාය රට විවෘතව තබාගනිමින් තත්වය පාලනය කිරීම” බවයි. වෙනත් ආකාරයකින් කිවහොත් ආන්ඩුවේ මූලෝපාය වී ඇත්තේ මහජනතාව හැකිතාක් වෛරසයට නිරාවරනය කරමින් මරනයට ගොදුරු කිරීමයි.

මෙම 'මූලෝපායට' සරිලන පරිදි නිරෝධායන රෙගුලාසි සංශෝධනය කිරීමට ද ආන්ඩුව පසුගිය දා පියවර ගත්තේය. ආසාදනයට ලක්වූ කම්කරුවන් පවා වැඩට යලි ගෙන්වීමට හැකිවන පරිදි, කොවිඩ් ආශ්‍රිතයින් පූර්න එන්නත්කරනයට ලක්වී ඇත්නම් සහ රෝග ලක්ශන නොපෙන්වන්නේ නම් නිරෝධායනයට ලක් නොකරන බව ආන්ඩුව නිවේදනය කලේය.

එහි ප්‍රතිවිපාක ප්‍රකාශයට පත් වෙමින් පවතී: රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුවේ සේවකයින් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී එහි අංශ තුනක් වසා දැමීමට සිදුව ඇති බව පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කෙරුනි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුල ද ආසාදිතයන් හමුවීම හේතුවෙන්, එහි ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත. ඉරිදා අද දෙරන වාර්තා කලේ දක්ෂින අධිවේගී මාර්ගයේ සේවකයින් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

විවෘත කර ඇති පාසල් සහ විශ්ව විද්‍යාල තුල ද තත්වය මේ හා සමානය. දිවයින පුරා සියලුම විශ්ව විද්‍යාල වලින් පාහේ මේ වන විට ආසාදනයන් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතින නමුත් ඒවායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතී. පසුගිය සතිය තුල කලුතර තිස්ස සහ කෙන්ගල්ල ජාතික පාසල් වලින් ආසාදිතයින් 13 දෙනෙකු සහ 5 දෙනෙකු හඳුනාගත් බව මාධ්‍ය වාර්තා කලේය.

ඉහත කොන්දේසි පෙන්නුම් කරන්නේ “රට විවෘත කර තබාගෙන තත්වය පාලනය කිරීමේ” මූලෝපායේ සාපරාධී ස්වභාවයයි. මෙම මූලෝපාය ගලා එන්නේ මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබෙන ධනපති නිෂ්පාදන ආර්ථික ක්‍රමයෙනි.

මෙම මිනීමරු පිලිවෙත දැනටමත් ලංකාව තුල පමනක් 610,103 ආසාදනයට ලක් කොට ඇති අතර ජීවිත 15,420 බිලිගෙන ඇත. ලොවපුරා ධනපති ආන්ඩු අනුයන මෙම පිලිවෙතේ ගෝලීය මානව වියදම, අවතක්සේරු කෙරුනු නිල සංඛ්‍යා ලේඛන වලට අනුව පවා, ජීවිත මිලියන 5.6 ක් සහ ආසාදන මිලියන 375 කි. ආසාදනය වී සුව වූවන් පවා දීර්ඝ කොවිඩ් වැනි තත්වයන්ගෙන් පීඩා විඳිති.

මෙම ව්‍යසනය නිමාකල හැක්කේ ජාත්‍යන්තර පරිමානවම ක්‍රියාවට දැමෙන කොවිඩ් තුරන් කිරීමේ මූලෝපායකින් පමනි. වෛරසය පැතිරීම නැවැත්වීමට අත්‍යවශ්‍ය වන මහජන සෞඛ්‍යාරක්ෂන පියවර සඳහා සහ රෝගයෙන් ආසාදිත සියල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සියලුම කොටස් ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතුය. මේ සඳහා සමාජ සම්පත් විශාල වශයෙන් යලි බෙදාහැරීමක් අවශ්‍ය වේ.

2020 මාර්තු 06 දා එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි, “ඒ සඳහා වන ප්‍රතිචාරය මෙහෙයවිය යුතු මූලධර්මය නම්, සමාජයේ අවශ්‍යතා වලට ලාභයේ අවශ්‍යතා යටපත් කල යුතුය යන්නයි. කොටස් වටිනාකම් සහ ලාභ පිලිබඳ ධනපති ගනන් බැලීම් වලින්, රෝගයට එරෙහි සටන සීමා කිරීමට, යටපත් කිරීමට හෝ වැලැක්වීමට ඉඩ නොතැබිය යුතුය.'