[මෙහි පලවන්නේ Sri Lankan public sector workers hold nationwide protests to demand higher wagesමැයෙන් 2021 දෙසැම්බර් 3දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]
වැඩි වැටුප් ඉල්ලා සහ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර වලට විරෝධය දැක්වීම සඳහා මෙම සතියේ ශ්‍රී ලංකාව පුරා දහස් ගනනක් රාජ්‍ය සේවකයෝ විරෝධතා පැවැත්වූහ. සඳුදා සිට, පිට පිට පවත්වන ලද දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ග, රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ තීව්‍රවන අධිකාරීවාදයට එරෙහිව වැඩෙන කම්කරු පන්තියේ විරෝධය පිලිබඳ තවත් ඇඟවුමකි.
සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂන සහ ග්‍රාම නිලධාරීන්, කාර්යාල කාර්ය සහායකයින් මෙන්ම තැපැල් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් ද ඇතුලු රාජ්‍ය සේවකයෝ, නොවැම්බර් 29 දා, තම තමන්ගේ සේවා ස්ථානවලින් පිටත විරෝධතාවයේ නිරත වූහ. කොලඹ තැපැල් හුවමාරු කාර්යාලය, කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය, මහනුවර ගැටඹේ සහ ගාලු නගරයේ දේශීය ආදායම් කාර්යාලය යන ස්ථානවල උද්ඝෝෂන පැවැත්විනි.
කම්කරුවන් ඉල්ලා සිටින්නේ රුපියල් 10,000කින් (ඩොලර් 50) මාසික වැටුප වැඩි කරන ලෙස සහ විශ්‍රාම යන වයස අවුරුදු 55 සිට 65 දක්වා ඉහල දැමීමේ අයවැය සැලසුම් ඉවත් කර ගන්නා ලෙසයි. ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට පනවා ඇති තහනම ඉවත්කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය, කෘෂිකර්ම පර්යේෂන සහ නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ඇතුලු වෘත්තීය සමිති 35ක සන්ධානයක් වන ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (එස්එල්පීඕටීයූඑෆ්) විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි. දේශීය ආදායම් හා තැපැල් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති කිහිපයක් ද සහභාගී විය.
පසුදින, සෞඛ්‍ය සේවකයින් 1,000ක් පමන වැටුප් වැඩි කිරීමක් සහ අනෙකුත් ඉල්ලීම් පාදක කර ගනිමින් කොලඹදී සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලය දක්වා රථ පෙලපාලියක් පැවැත්වීය. සෞඛ්‍ය සේවකයෝ, එම ගැටලු මුල්කරගෙනම, පසුගිය මාසයේ දින දෙකක වැඩවර්ජනයක් ද පැවැත්වූහ. බදාදා කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සහායක සෞඛ්‍ය සේවකයින් 50 ක් පමන විරෝධතාවයේ නිරත වූහ.
ඊයේ, කොලඹ, මොරටුව, යාපනය, පේරාදෙනිය සහ මාතර ඇතුලු විශ්වවිද්‍යාල සියගනනක් අනධ්‍යයන සේවකයෝ තම විශ්වවිද්‍යාලින් පිටත විරෝධතාවල නිරත වූහ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආධාර ලබන විශ්වවිද්‍යාල 15 ක් ඇත.
පසුගිය මාසයේ මුල—නොවැම්බර් 8 සහ 9 යන දිනවල—100,000 කට අධික සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන් සහ දුම්රිය වැඩපොල සේවකයන් සහ පුද්ගලික අංශයේ කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, වැඩ වර්ජන සහ මහජන විරෝධතා පැවැත්වූහ.
ඉහල යන උද්ධමනය සහ ආන්ඩුව විසින් මිල පාලනයන් සියල්ලම පාහේ ඉවත් කිරීම, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල තියුනු ලෙස ඉහල යාමට මග විවර කර ඇති අතර වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලක් අවුලුවා ඇත.
නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන රේට්ටුව සියයට 9.9 දක්වා ඉහල ගියේය, එය වාර්ෂික පදනම මත මනිනු ලබන අතර, එය වසර 12 කින් වාර්තා වූ ඉහලම අගයයි. ආහාර උද්ධමනය එම මාසයේ දී සියයට 17. 5 දක්වා—ඔක්තෝම්බර් මාසයේදී සියයට 12.8 සිට—ඉහල ගිය අතර, ආහාර නොවන ද්‍රව්‍ය වල උද්ධමනය එම කාලය තුල සියයට 5.4 සිට සියයට 6.4 දක්වා ඉහල ගියේය.
පසුගිය මාසයේ අයවැයට පෙර, වෘත්තීය සමිති, කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කර දැමීමේ උත්සාහයක් ලෙස කැඳවූ, මහජන විරෝධතා සහ සීමිත වැඩ වර්ජන මගින් වැඩි වැටුප් ලබා දීමට ආන්ඩුවට බල කෙරෙනු ඇති බවට ව්‍යාජ ලෙස කියා සිටියහ.
කොවිඩ්-19 වසංගතය මගින් නාටකාකාර ලෙස වඩ වඩාත් නරක අතට හැරී ඇති ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තියේ උර මතට පැටවීම අරමුනු කරගත් රාජපක්ෂගේ රුදුරු කප්පාදු අයවැය මගින් මෙම මිථ්‍යාවන් සුනුවිසුනු කර දමන ලදී.
නොවැම්බර් 12 වැනි දින මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රකාශ කල පරිදි: “[අවම වශයෙන් තවත් වසරක්වත්] අපට රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් මහජන මුදල් වියදම් කිරීම කිසිසේත් කල නොහැක.”
එස්එල්පීඕටීයූඑෆ් නායකත්වය එයට ප්‍රතිචාර දැක්වූයේ, එහි සාමාජිකයින් සඳහා රුපියල් 18,000 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිමින් ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යවමිනි.
කෙසේ වෙතත්, පසුව වෘත්තීය සමිති සම්මේලනය “ආන්ඩුවේ අර්බුදය සැලකිල්ලට ගනිමින්” සිය වැටුප් ඉල්ලීම රුපියල් 10,000 දක්වා අඩු කල අතර, “අපි ඔබේ උත්සුකයන් සහ කැපවීම ඉතා උනන්දුවෙන් බලා සිටිමු” යැයි නිහීන ලෙස රාජපක්ෂට කීවේය.
එස්එල්පීඕටීයූඑෆ් ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක පසුව ලෝසවෙඅ වෙත පැවසුවේ තම ලිපිය සඳහා පිලිතුරක්වත් සම්මේලනයට නොලැබුනු බව ය, ශ්‍රී ලංකා ආර්ථිකයට “රාජ්‍ය අංශය දැරිය නොහැකි බරක්” යන ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස එය මුදල් ඇමතිවරයාට සානුකම්පික ආයාචනයක් නිකුත් කර ඇත.
මුදල් ඇමති රාජපක්ෂ කල “දැරිය නොහැකි බරක්” යන ප්‍රකාශය, ආන්ඩුව රාජ්‍ය අංශයේ කම්කරුවන් මත රුදුරු රැකියා විනාශයක් සහ පුද්ගලීකරන ප්‍රහාරයක් මුදා හරිනු ඇති බවට පැහැදිලි ඇඟවීමකි. මෙම ප්‍රහාරයට එරෙහිව සටන් කල හැක්කේ සානුකම්පික වෘත්තීය සමිති ආයාචනා මගින් නොව, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ දේශපාලන හා කාර්මික බලමුලු ගැන්වීමක් සූදානම් කිරීමෙනි, එයට එස්එල්පීඕටීයූඑෆ් දැඩි ලෙස විරුද්ධ වේ. දිවයින පුරා සිටින ඔවුන්ගේ වෘත්තීය සමිති සගයන් මෙන්, සම්මේලනයේ අරමුන වන්නේ, කම්කරුවන් නිෂ්ඵල විරෝධතා වෙත යොමු කර, පසුව ආන්ඩුව සමග තුච්ඡ ගනුදෙනුවක් සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීම ය.
ආන්ඩුව සිය ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමට නිර්භීත වන ඕනෑම රාජ්‍ය අංශයේ සේවකයෙකුට ප්‍රජාතන්ත්‍ර විරෝධී තහනම් සහ දැඩි දඬුවම් ද පනවා ඇත. “ආන්ඩුව සහ එහි ප්‍රතිපත්ති විවේචනය කරන” රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව “විනය ක්‍රියාමාර්ග” ගන්නා බවට තර්ජනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය මාසයේ අගදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවා ඇත.
බදාදා, සෞඛ්‍ය වෘත්තීය සාමූහිකයේ සම ලේකම් රවී කුමුදේශ් මාධ්‍ය හමුවකදී කියා සිටියේ, තම සන්ධානය, “රාජ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම බලවේගයක් සමග කොන්දේසි විරහිතව එක්වීමට” සූදානම් බවයි.
කුමුදේශ් එම බලවේග කවුරුන්දැයි නම් නොකල නමුත් වෘත්තීය සමිති සාමූහිකයේ අතීත වාර්තාවට අනුව, එය සෞඛ්‍ය සේවකයින්, සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුන වැනි පාර්ලිමේන්තු ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග අටවන, සන්ධාන මර උගුලකට ද්‍රෝහී ලෙස තල්ලු කිරීමක් වනු ඇත.
ඊයේ, විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව, එහි ක්‍රියාවන් “නිහඬ විරෝධතාවයක්” ලෙස විස්තර කර ඇති ක්‍රියාමාර්ගයකට සීමා කිරීමට කල හැකි සෑම දෙයක්ම කල අතර ඒ සඳහා සාමාජිකයින් බලමුලු ගැන්වීමට අපොහොසත් විය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දිවා ආහාර පැයේ විරෝධතාවක් අමතමින් වෘත්තීය සමිති සාමූහිකයේ සම ලේකම්වරයෙකු වන රුවන් ගජනායක කියා සිටියේ මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ අසාධාරනයක් සිදුවී ඇති බව පෙන්වීමට පමනක් බවයි. “මෙම විරෝධතාවයට බොහෝ දෙනෙක් සහභාගී වීම පුදුමයට කරුනක්. අපි බහුතර සාමාජිකයින්ට දැනුම් දුන්නේ නැහැ,” යැයි පැවසූ ඔහු, “අපිට දේශපාලන මතවාද අවශ්‍ය නැහැ” යයිද පැවසීය.
ශ්‍රී ලංකාවේ ධනවාදය සඳහා කාර්මික පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, කම්කරුවන්ගේ නැඟී එන සටන්කාමීත්වය ගැන වඩ වඩාත් චකිතයට පත් වන අතර එය මර්දනය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම සංවිධාන තුල සිරවී සිටිනතාක් ඔවුන්ගේ වැටුප්, රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත සමස්ත කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කල යුතුය.