වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත රාජ්‍ය සේවකයන්ගේ දීපව්‍යාප්ත උද්ඝෝෂනයක්

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්, ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය, නොවැම්බර් 29 වෙනිදා සිට දෙසැම්බර් 6 දක්වා, රාජ්‍ය සේවකයන්ගේ දීපව්‍යාප්ත උද්ඝෝෂනයක් කැඳවා ඇත. සංවර්ධන, කෘෂි පර්යේෂන, කලමනාකරන නිලධාරීන්ගේ සහ ග්‍රාම නිලධාරීන් ගේ ද, කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන්ගේ ද සමිති ඇතුලත්, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 35 කින් ඉහත සමිති සම්මේලනය සමන්විත වෙයි.

සියලුම රාජ්‍ය සේවකයන්ට අවම වශයෙන් රුපියල් 10,000 මාසික වැටුප් වැඩිවීමක් ලබාදීම, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂනයේ නිදහසට පනවා ඇති තහංචි ඇතුලු ඔවුනට එරෙහි රාජ්‍ය මර්දනය නතර කිරීම සහ විශ්‍රාමික වයස් සීමාව අවුරුදු 55 ලෙස යලි තහවුරු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් වේ.

උද්ඝෝෂනය කැඳවා ඇත්තේ, දැරිය නොහැකි මට්ටම් වලට බඩුමිල ඉහලයාමෙන් ජීවන තත්වයන් හි සිදුව ඇති බරපතල කඩාවැටීම හමුවේ සමස්ත කම්කරු පන්තිය තුල රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පන්ති පාලනය කෙරෙහි බරපතල කෝපයක් වර්ධනය වන තතු තුලය.

අයවැයට පෙරාතුව සිටම, ගත වූ මාස කිහිපය තුල වැටුප් ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරුවරු, සෞඛ්‍ය සේවකයෝ, සංවර්ධන නිලධාරීහු, ඇතුලු ලක්ෂ ගනනක් රාජ්‍ය සේවකයෝ වර්ජන සහ උද්ඝෝෂන වල නිරත වුහ. ගුරුවරු දින සියයකට වැඩි කාලයක් මාර්ගගත ඉගැන්වීම් වර්ජනය කල අතර, නොවැම්බර් 8 දා සංවර්ධන නිලධාරීහු සහ නොවැම්බර් 9 වෙනිදා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවෝ වැඩිවැටුප් ඉල්ලා රටපුරා උද්ඝෝෂන වල යෙදුනාහ. මෙම සියලු අරගල, ධනපති ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තරව වර්ධනය වන පංති අරගල මාලාවේ කොටස් වෙති.

හෙටින් ආරම්භ වන සතියේ වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙන රාජ්‍ය සේවකයන්ගේ වත්මන් වැටුප් මට්ටම්, වැඩිවන ජීවන වියදමට අලගු තැබීමටවත් නොසෑහේ. උදාහරනයක් ලෙස කෘෂිකර්ම පර්යේෂන හා නිෂ්පාදන සහකාරවරයෙකුගේ මාසික වැටුප රුපියල් 34600 කි. ගමන් වියදම් සහ ලිපිද්‍රව්‍ය සඳහා ලැබෙන්නේ රුපියල් 400-600 ක් වැනි සොච්චම් මාසික දීමනාවකි. කිසිදු දීමනාවක් හෝ අතිකාල දීමනාවක් ගෙවනු නොලැබේ. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දී නිකුත් කල නිල සමීක්ෂන වාර්තාවකට අනුව, එකල පවා හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවම වශයෙන් රුපියල් 63,000ක් අවශ්‍යව තිබූ තතු යටතේ, අදදින රුපියල් 35,000 ක වැටුපකින් පවුලක අවම අවශ්‍යතා සපුරා ගැනීම පවා කිසිසේත් කල නොහැක්කකි.

'සමිති සම්මේලනය' විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම රුපියල් 10,000 ක සොච්චමකට සීමාකොට ඇත්තේ මෙම තතු තුලයි. නොවැම්බර් 13 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමුකල ලිපියකින් 'සම්මේලනය' ඉල්ලා සිටි රුපියල් 18,000 ක වැටුප් වැඩිවීම, නිලධරය විසින් රුපියල් 10,000 ට සිඳුවා ඇත්තේ සාමාජිකත්වයෙන් කවර හෝ විමසීමකින් තොරවයි.

තම සම්මේලනය කවර හෝ දේශපාලන පක්ෂයකට ගැතිනොවූ 'ස්වාධීන' සංවිධානයක් බව එහි ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක ලෝසවෙඅ ට ව්‍යාජ ලෙස පැවසූ නමුදු, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එය දක්වන පරම ගැතිකම ප්‍රකාශයට පත් කරමින් ඔහු ඒ හුස්මටම කියා සිටියේ, 'ආන්ඩුව මුහුන දී සිටින අර්බුදය සලකා බලා' අවම වැටුප් වැඩිවීම රුපියල් 18,000 සිට 10,000 දක්වා අඩු කිරීමට තීරනය කල බවයි.

හෙට්ටිආරච්චි ඇතුලු 'සම්මේලනය' පමනක් නොව, අනෙක් සියලුම වෘත්තීය සමිති ධනපති අර්බුදයේ බර කම්කරු පංතියේ උරමත පැටවීමට විවෘතව සහාය දෙන්නෝ වෙති. ගුරු සංගම් විසින්, පසුගිය ගුරු වැටුප් අරගලය, මුල් වැටුප් ඉල්ලීමෙන් තුනෙන් එකකට පාවා දුනි. මූලික වැටුපෙන් සියයට 78 ක් වන වසංගත දීමනාවක් ඉල්ලා සෞඛ්‍ය සේවකයන් ආරම්භ කල අරගලය, රුපියල් 7500 ක තෙමසක දීමනාවකට පාවාදීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමිති එලෙසම ක්‍රියා කලහ.

මෙම 'සමිති සම්මේලනය' ද ඇතුලු සියලු වෘත්තීය සමිති, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය, ආන්ඩුවට කන්නලවු කිරීමේ හෝ පීඩනය යෙදීමේ ක්‍රියාමාර්ග තුල දියකර හැරීමේ භූමිකාවක දැනුවත්ව යෙදී සිටිති. 'සම්මේලනය' ජනාධිපති රාජපක්ෂට යැවූ ඉහත ලිපියේ, ඉල්ලීම් සම්බන්ධයෙන් 'ඔබතුමා සහ රජය දක්වන උනන්දුව සහ කැපවීම දෙස අපි බලා සිටින්නෙමු' යයි සඳහන් කෙරී තිබුනි. ලිපියට මෙතෙක් කිසිදු පිලිතුරක් හෝ ලැබී නැති බව සම්මේලනයේ ජාතික සංවිධායක බස්නායක විසින්ම ලෝසවෙඅ ට පැවසුවේ ය.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිගේ 'කැපවීම' බලා සිටීමේ මර උගුල්තුල රාජ්‍ය සේවකයන් සිර කිරීමේ ව්‍යායාමයක සමිති නිලධරය මෙසේ යෙදී සිටිද්දී, ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවයම කැබලි කිරීමට 'කැපව' සිටී. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය අංශ කීපයක් හැර අනෙක් සියලු අංශ පුද්ගලීකරනය ආන්ඩුවේ පිලිවෙතයි. 'රාජ්‍ය සේවය රටට බරක්' යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කල ප්‍රසිද්ධ ප්‍රකාශය ගලා එන්නේ මෙම රුදුරු පිලිවෙතිනි. එම තතු තුල, මුදල් ඇමතිගේ එකී ප්‍රකාශය ඉල්ලා අස්කර ගතයුතු බවට 'සමිති සම්මේලනය' කරන ඉල්ලීමමත් අභූතයකි.

වසංගතය මඟින් තීව්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව හැරී සිටින්නේ, බඩුමිල ඉහල දැමීම, වක්‍රබදු ඉහල දැමීම, වැටුප් සහ රැකියා කප්පාදුව හා සෙසු සමාජ සහන කප්පාදු හරහා එහි සමස්ත බර කම්කරු-පීඩිත මහජනයා මත පැටවීමට ය. අයවැය තුලින් මෙම ප්‍රහාරයන් රුදුරුම ආකාරයෙන් ක්‍රියාවට දමා ඇත.

අයවැය මගින් සෞඛ්‍ය, සමෘද්ධි, ජල සම්පාදන, කාන්තා හා ලමා සංවර්ධන සහ ග්‍රාමීය නිවාස වැනි සමාජ සේවා සඳහා අරමුදල් බිලියන ගනනක් කප්පාදු කර ඇති අතර, මිලිටරිය සහ පොලිසිය සඳහා ප්‍රතිපාදන ඉහල නංවා ඇත. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල ලෙයින් මැඩීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරුකර ගැනීම ජනාධිපති රාජපක්ෂගේ එල්ලයයි.

පසුගිය සතිය මුලදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හරහා සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත යොමුකරනු ලැබූ චක්‍රලේඛයකින් “රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා” බවට කරන ලද තර්ජනය මෙම වැඩකටයුතු සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

මෙම ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට ඇති කැමැත්ත සහ අධිෂ්ඨානය කම්කරුවන් සෑම අතින්ම ප්‍රදර්ශනය කර ඇති අතර, රාජ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද යන්න පිලිබඳව දේශපාලනික හා ක්‍රියාමාර්ගික පැහැදිලිකමක් නොමැතිකමයි.

කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ, ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් දියත් කෙරෙන අරගලයක් තුලින් පමනි. ධනපති ක්‍රමයට හාත්පසින්ම බැඳුනු 'සමිති සම්මේලනය' ඇතුලු සියලු වෘත්තීය සමිති, වැඩෙන කම්කරු පංතික අරගල විරෝධතා වට වංගු තුල සිරකර, එවන් ව්‍යාපාරයක ගෙල සිරකිරීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින් සිටී.

වැටුප් ඇතුලු තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් විසින් තම අතට ගත යුතුය. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් වෘත්තීය සමිති වලින් ස්වාධීනව සෑම වැඩපොලකම සහ නිවස්නා ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, එම කමිටුවල සන්ධානයක් හරහා රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සුදානම් කල යුතුය.

Loading