“මහජන ආරක්ෂාව හා යහපත තහවුරු කිරීමේ සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමේ” ව්‍යාජය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු මස අගදී ප්‍රකාශයට පත් කල මර්දනීය හදිසි නීතිය පාලක පක්ෂයේ බහුතරයේ සහයෝගයෙන් මෙම මස මුලදී පාර්ලිමේන්තුව තුල සම්මත කෙරුනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), 'ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතියට විරුද්ධ වනු!' යන මැයෙන් නිකුත් කල ප්‍රකාශයෙන් පැහැදිලි කල පරිදි, ආන්ඩුව තොරොම්බල් කරන 'මහජන ආරක්ෂාව' ට විපරීතව මෙම නව නීති රෙගුලාසි වල සැබෑ ඉලක්කය වනුයේ, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය හා ගම්බද පීඩිත ජනයා වෙයි.
මෙම රුදුරු නීති රෙගුලාසි සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂවලින් සහ ව්‍යාජ-වාම සංවිධාන වලින් එල්ල වූයේ දියාරු සහ ව්‍යාජ විරුද්ධත්වයක් පමනි. එම තතු තුල, නව රෙගුලාසි වලින් කම්කරු-පීඩිත මහජනතාව ඉදිරියේ මතුව ඇති අන්තරායන් සහ අභියෝග පැහැදිලි කරමින්, ඔවුන් ඊට එරෙහිව සංවිධානය කිරීම සඳහා සසප පෙරමුන ගෙන සිටියි.
රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය මර්දනයට එරෙහි කම්කරු පංතික වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී පැවත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීම ගොඩනැගීමේ කොටසක් ලෙස සසප විවිධ ක්ෂේත්‍රවල කම්කරුවන්, තරුනයන් ඇතුලු අවශේෂ පීඩිතයින් අතර ආරම්භ කර ඇති සාකච්ඡා වලදී හදිසි නීතියට එරෙහි උද්ඝෝෂනයට තීරනාත්මක සහායක් ගොනුවිය.
කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන දිනූශ පැවසුවේ මහජනතාව තමාට එරෙහිව දැඩි කෝපයකින් පසුවන බව දන්නා අන්ඩුව ඒ ගැන පලකරන භිතිය මෙම නීති රෙගුලාසි පැනවීම හරහා ප්‍රකාශයට පත්වන බවයි. “හදිසි නීති පැනවීමෙන් ජනාධිපතිට ලැබෙන අසීමිත බලතල දිහා බැලුවම තේරෙන්නෙ එහි යොමුව විරෝධතා ඇතුලු අනෙකුත් කම්කරු පන්තියේ අරගල තලාදැමීම දිහාවට බවයි. දැනටමත් ගුරුවරුන්ගේ අරගලයක් යනවා. පෙට්‍රෝලියම් සේවකයන් සහ සෞඛ්‍ය සේවකයෝ අරගල වලට ප්‍රවිශ්ඨ වෙමින් ඉන්නව. උපාධිධාරී තරුනයො රැකියා නැතිවීම නිසා කෝපයෙන් ඉන්නේ. මේ කන්ඩායම් තමයි ආන්ඩුවේ ඉලක්කය වන්නේ”යැයි ඔහු පැවසීය
මෙම හදිසි නීති වල අන්තරාය නොතකා හැරීම සම්බන්ධයෙන් ඔහු ඊනියා විරුද්ධ පක්ෂ වලට චෝදනා කලේය. “මිනිස්සුන්ට මේ විදිහෙ ප්‍රහාරයක් එල්ල කරලා තියෙද්දිත් ඔවුන් කතා කරන්නේ වෙන වෙන දේවල් ගැන. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව ඇතුලෙ කෑ ගහනවා. පුබුදු ජයගොඩ මාධ්‍ය සාකච්ඡා තියනවා. ඒත් ඒවායේදී ඔවුන් කතා කරන්නෙ වෙන වෙන දේවල්. මිනිස්සු මුහුන දෙන සැබෑ ප්‍රශ්න යට ගහනවා”.
මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට එරෙහිව 2015 දී මතු වූ මහජන විරුද්ධත්වය මෙම කන්ඩායම් විසින් අවමංගතකොට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල බව ඔහු සිහිපත් කලේය.
“මේ දවස් වල ලංකාවේ මහා ව්‍යාපාරිකයින් වන වන ධම්මික පෙරේරා වැනි අය තමයි වසංගතයට මුහුන දෙන්නේ කොහොමද කියලා මාධ්‍යයට ඇවිත් ආන්ඩුවට උපදෙස් දෙන්නේ. ඔවුන් අරගෙන එන්නේ කම්කරු පන්තියට මුලුමුනින් සතුරු යෝජනාවන්. පෙරේරා ඇතුලු ධනපතියන් ලාභ පොදි ගසාගන්නා අතරේ භාන්ඩ වලට සියයට තුනක කොවිඩ් බද්දක් පනවන්නැයි ආන්ඩුවට යෝජනා කරනවා. මේවා මිනිස්සුන්ගේ තියෙන විරුද්ධත්වය තවත් වැඩි කරනවා”යැයි ඔහු පැහැදිලි කලේය.
ආන්ඩුව සූදානම් කරන ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ බංකොලොත්කම මිසක් හැකියාවක් නොවන බව පැවසූ දිනූශ ඊට මුහුන දිය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් හරහා පමනක් බව පැහැදිලි කරමින් සසප ගෙනයන උද්ඝෝෂනයට තම සහයෝගය පලකරන බව පැවැසීය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු පුස්තකාල සහායකවරයකු වන උපාලි සේනාරත්න ස්වකීය අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, 1953 සිට මේ දක්වා හදිසි නීතිය යොදගෙන ඇති මර්දනකාරී ස්වභාවය සසප ප්‍රකාශනය කියවීමෙන් හොඳින් වටහාගත් බවයි. “එය සම්පූර්නයෙන්ම කම්කරු-පීඩිත ජනතාවන් මර්දනය සඳහා යොදාගැනුනු එකක්”
“ආන්ඩුව දැවැන්ත ඩොලර් හිඟයක ඉන්නෙ. අනිත් පැත්තෙන් විදේශ නය ගෙවීමේ ගැටලුවක් පවතිනවා. අත්‍යවශ්‍ය භාන්ඩ මිල දරන්න බැරි විදිහට අහස උසට නැඟලා. කොවිඩ් වසංගතයේ දරුනු පැතිරීම ඒ ඔක්කොමටත් වඩා භයානකයි. දහස් ගනන් මිනිස්සු තවත් ඊට ගොදුරු වේවි. තව් තවත් මහජන විරුද්ධත්වය ඉහලයන එක ආන්ඩුවට වලක්වන්න බැහැ. 53 හර්තාලයටත් වඩා විශාල මහජන විරෝධයක් ලඟදීම පුපුරා යන බව ආන්ඩුව දන්නවා. හදිසි නීතිය පනවමින් ආන්ඩුව සූදානම් වෙන්නේ දරුනුම අන්දමින් එම විරෝධය තලා දැමීමටයි. කම්කරු පන්තිය මේ පිලිඹඳව ගැඹුරින් වටහාගෙන ඊට එරෙහිව සටන් කිරීමට සූදනම් වීම හදිසි අවශ්‍යතාවයක් ලෙස ඉස්මතුවී තිබෙනවා” යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දැක්වීය.
පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කම්කරුවෙකු වූ නුවන් පැවසුවේ දිගින් දිගටම හාල් මෝල් සහ සීනි ගබඩා වටලන ආකාරය මාධ්‍යය හරහා ප්‍රදර්ශනය කලේ හදිසි නීතියේ සැබෑ අරමුනු වසන් කිරීමට සහ එය යුක්ති සහගත කිරීමට කල මවා පෑමක් ලෙස බවයි. “දැන් සහල් නිෂ්පාදනය සහ බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බව සියලු මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙම නම් හදිසි තත්වය ඉවත් කල යුතුයි. නමුත් එය දිගටම ගෙනියනවා. එය ඉතා අනතුරුදායක ලෙස ජනාධිපතිට අත විශාල අත්තනෝමතික මර්දන බලතල ඒකරාශී කරගැනීමක්” ඔහු අවධාරනය කලේය.
තමන් තරුනයෙකු ලෙස මෙම හදිසි නීතියේ භයංකාරත්වය අත්විඳි අයුරු ඔහු මෙසේ පැහැදිලි කලේය: “හදිසි නීතිය පිලිබඳව මම මුලින්ම ඇහුවේ 88-89 භිෂන කාලයේ. ඒ කාලේ හදිසි නීතියට මුවාවෙලා තරුනයන් විශාල ප්‍රමානයක් ඝාතනය කිරීම ඇතුලු මහජනතාවට විරුද්ධව විශාල අපරාධ එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව සිදුකලා. පොලීසිය සහ හමුදාව ඉතාම දරුනු සෝදිසි කිරීම් සිදු කලා. මේ සෝදිසි කිරීම්වලදී සැකයට භාජනය වෙච්ච අය අතුරුදහන් උනා. බොහෝ අවස්ථාවල පැරා මිලිටරි කන්ඩායම් විසින් ඝාතනය කලා. මහමග හැමතැනම මිනී දැකගන්න ලැබුනා.” මෙම ඇත්දැකීම් කිසිඳු මාධ්‍යක් විසින් මේ මොහොතේ සිහිපත් නොකරන්නේ හදිසි නීතියේ බියකරු බව මහජනතාවට අවබෝධ කර ගෙන ඔවුන්ගේ පැත්තෙන් විරුද්ධත්වයක් එතැයි පවතින භීතිය නිසා යැයි ඔහු පැවසීය.
ආන්ඩුව ක්‍රියාත්මක වෙන්නේ එදාටත් වඩා ගැඹුරු ආර්ථික අර්බුදයක් තුල බැවින් මර්දනය වඩ වඩාත් දරුනු ලෙස ඉදිරියට යාහැකිව තිබෙන අතර අත්‍යවශ්‍ය සේවා නියෝග සහ හදිසි නීතිය පිලිබඳව හීන් කෙඳිරිල්ලක් හෝ නොනගන වෘත්තිය සමිති යටතේ තම අරගල ජයගත නොහැකි බව කම්කරුවන් අවබෝධ කර ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.
ලංකා දුම්කොල සමාගමේ සේවයේ නියැලී සිටි විශ්‍රාමිකයෙකු වූ කරුනාතිලක පැවසුවේ ආන්ඩුව හදිසි තත්වය පැනවීම සාධාරනීකරනය කිරීමට ඉදිරිපත් කල 'ජනජීවිතයට අතශ්‍යවශ්‍ය සැපයුම් හා සේවා සැපයීම' යන්න 'බොරුවක්' බවයි. 'ඇත්තටම සිද්ධ වෙන්නේ, ආහාර සඟවලා තියෙනවා කියන මහා ව්‍යාපාරිකයන්ගේ එම භාන්ඩ රජය සන්තක කරනවා වෙනුවට ආන්ඩුව ඔවුන්ට වැඩියෙනුත් මුදල් දී එම භාන්ඩ මිලට ගැනීම යි'. මේ තත්වය තුල හාල්, පරිප්පු ඇතුලු ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි මට්ටමින් ඉහල ගොස් ඇති බව ඔහු කීවේ ය.
'ආන්ඩුව දැනටමත් තමාට විරුද්ධව අදහස් දක්වන මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ගනනාවක් ඉලක්ක කරගෙන මර්දනයක් දියත් කරලා තියෙන ආකාරය බැලුවාම හදිසි නීති තත්වයත් පාවිච්චි කරගෙන ආන්ඩුව ඉදිරියේදී ගෙන ඒමට නියමිත මර්දනකාරී පාලනය ගැන අදහසක් ඇති කරගන්න පුලුවන්. 70 ගනන්වල තරුන කැරැලි මර්දනය කරන්න ඒ කාලේ සිරිමාවෝ බන්ඩාරනායකගේ ආන්ඩුව මේ විදියටම හදිසි නීතිය පාවිච්චි කරපු හැටි මට මතකයි' යනුවෙන් කරුනාතිලක අතීතය සිහිපත් කලේ ය. 'කම්කරුවෝ අතීත අත්දැකීම්වලින් ඉගෙන ගෙන මේ ප්‍රහාරයට ශක්තිමත්ව මුහුනදීමේ සූදානම ඇති කරගත යුතුයි. සසප ගෙන යන උද්ඝෝෂනය එහිදී තීරනාත්මක කාර්භාරයක් ඉටුකරනවා.'
විශ්‍රාමික වතු කම්කරුවෙකු වූ ටී.සවරිමුත්තු පැවසුවේ හදිසි නීතිය මිනිසුන්ට ප්‍රමානවත් ලෙස ආහාර සැපයීම සඳහා යැයි ආන්ඩුව කරන ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
විශේෂයෙන් අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල දෙගුන වීම නිසා ආහාර මිලදී ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුන දෙමින් සිටින වතුකරයේ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් එන්න එන්නම මුහුන දෙන කඨෝර කොන්දේසි ඔහු විස්තර කලේය. දරුනු ලෙස සූරා කැවෙන එම කම්කරුවන්ට ලබාදෙන සොච්චම් වැටුප් උද්ධමනකාරී ආර්ථිකය තුල රැකෙන්නට ප්‍රමානවත් නොවේ.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙන ගිය වාර්ගික යුද්ධය තුලදී දෙමල මහජනතාවන්ටත් සමස්තයක් ලෙස කම්කරු පන්තියටත් එරෙහිව පනවනු ලැබූ හදිසි නීතියෙ හි තමාද ගොදුරක් වූ අයුරු සවරිමුත්තු පැහැදිලි කලේය.
“එල්ටීටීඊයට සහයෝගය දුන්නා යැයි බොරු චෝදනා උඩ 1996 මාර්තුවේදී මාව අත්අඩංගුවට ගෙන ලිඳුල පොලිසියේ මාස පහක් රඳවා තබා ගත්තා. පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර එවීමෙන් මාස 18කට පසුව මාව නිදහස් කලා. මේ හදිසි නීතියේ තිබෙන භයානකකම තමයි, මට කල ආකාරයට කිසිඳු චෝදනාවක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කර තැබිය හැකිවීම. එවැනි කාලයක් යලි එන බව මට දැනෙනවා.”
හෝමාගම ප්‍රදේශයේ පාසලක තාක්ෂන ගුරුවරයෙකු වන කොඩිතුවක්කු පැවසුවේ වෘත්තීය සමිති මේ හදිසි නීතිය පිලිබඳව අනතුර පෙන්නා නොදෙන නිසා මර්දනය තමන් ආසන්නයටම එනතුරු කම්කරුවන් එය නොදකිනු ඇති බවයි. “ධනපති මාධ්‍ය හැම එකක්ම මේ දිනවල තමන්ගේ වචන හසුරුවන්නේ හරිම පරිස්සමෙන්. ඔවුන් හදිසි නීතිය ගැන ආන්ඩුවෙන් සෘජු ප්‍රශ්න නොඅසා එම මර්දනය දිගටම අරගෙන යාමට අවශ්‍ය වාතාවරනය සකස් කරල දෙනවා”
මේ දිනවල කම්කරුවන් අතර කෙරෙන එදිනෙදා සාකච්ඡාවන් තුල හදිසි නීතිය සහ අතවශ්‍ය සේවා නියෝග වලට මුහුනදෙන්නේ කෙසේද යන්න ප්‍රමුඛ මාතෘකාවක් විය යුතු බව ඔහු පැවසුවේය. “එවැනි සාකච්ඡාවක් වලක්වාගෙන සිටීමට එරෙහිව ඔවුන් වෘත්තීය සමිති වලට අභියෝග කරන්න අවශ්‍යයයි”.
ගුරුවරුන්ගේ අරගලයට විරුද්ධව ආන්ඩුව ප්‍රහාරය දැඩි කරද්දී, උද්ඝෝෂන පැවත්වීමට, වර්ජනය කිරීමට, වෘත්තීය සමිති වලට බැඳීමට යනාදියට ව්‍යවස්ථාවේම අවකාශය තිබෙන නිසා ආන්ඩුවට ගුරු අරගලය මර්දනය කරන්න බැරි බව පවසමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ තම ෆේස්බුක් පිටුවේ පලකල අදහස් වලට ඔහු විරුද්ධ විය. “හදිසි නීතිය යටතේ ජනාධිපතිට ඕනෑම නීතියක් කනපිට හරවන්න පුලුවන්. මේ ධනපති නීති වලින් කම්කරුවන්ට කිසිම ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඕනෑම ක්ෂේත්‍රයක කම්කරුවන් ඉදිරියේ තිබෙන විසඳුම වෙන්නෙ අනිත් ක්ෂේත්‍රවල කම්කරුවන් සමඟ ඒකාබද්ධ වී ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමයි”.