ආර්ථිකය පිරිහීම සහ කොවිඩ්-19 වසංගතය නරක අතට හැරෙන තතු හමුවේ දශක කිහිපයකින් පසු ව කියුබාව තුල විශාලත ම විරෝධතා දකින්නට ලැබෙයි

[මෙය Cuba sees largest protests in decades as economy deteriorates and COVID-19 pandemic worsens යන මැයෙන් 2021 ජුනි 12 පල වූ ලිපියේ පරිවර්තනයයි]

1994 පටන් දක්නට ලැබුන විශාලතම විරෝධතා උද්ඝෝෂන රැල්ලට හවානා සහ අනෙකුත් නගරවල ද දිවයින පුරා ද දහස් ගනනක් දෙනා සම්බන්ධ වූහ. කලින් හටගත් මැලේකොනසෝ විරෝධය මෙන්ම වර්තමාන විරෝධතා රැල්ල ද වසර ගනනාවක ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හටගෙන ඇත. කොවිඩ්-19 වසංගතය කියුබානු ආන්ඩුවේ සුලු ධනේශ්වර ජාතිකවාදී ඉදිරිදර්ශනයේ දිරාපත් වූ අත්තිවාරම් හෙලිදරව් කිරීමේ ප්‍රේරක සිදුවීමක් ලෙස ඉස්මතු විය.

ආන්ඩු විරෝධීන් 2021 ජූලි 11 වන ඉරිදා කියුබාවේ හවානාහි පැවැත්වූ පෙලපාලියක්. (ඡායාරූප අනුග්‍රහය ඒපී/ එලියානා අපොන්ට්)

අගනුවරට නිරිත දෙසින් පිහිටි නගර සභාවක් වන සැන් ඇන්ටෝනියෝ ඩි ලොස් බාඕස් හි විරෝධතා ආරම්භ වී ඇත. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරනය වන වීඩියෝ අනුව, ඒවා හවානා ඇතුලු වෙනත් නගර වලට ද, සන්තියාගෝ ද කියුබා, සැන්ටා ක්ලාරා, මතන්සාස්, සියෙන්ෆියුගෝස් සහ හොල්ගුයින් ඇතුලු රටේ ප්‍රධාන නගර බොහොමයක මෙන්ම පල්මා සෝරියානෝ වැනි කුඩා නගර ගනනාවකට ද පැතිර ගියේය.

සමහර විරෝධතාකරුවන් “නිදහස” සහ “ආඥදායකත්වය එපා” ඇතුලු සටන් පාඨ හඬ නැඟූ අතර තවත් සමහරු, සාගින්න සහ ආහාර හිඟය වැඩි වීම ද ඩෙල්ටා ප්‍රභේදය ආරම්භ වී පැතිර යාමෙන් පසුව කොවිඩ්-19 සඳහා එන්නත් සහ වෙනත් වෛද්‍ය පහසුකම් ද සමහර අවස්ථාවල ඉල්ලා සිටියහ. ආනයනික භාන්ඩ උද්ධමනකාරී මිලකට ගත හැකි, ඩොලර් වලට ප්‍රවේශය ඇති, සමහර අය ගනුදෙනු කරන “ඩොලර් වෙලඳසැල්” අසමානතාවයේ සංකේතයක් ලෙස පුලුල් ලෙස පිලිකුලට ලක්ව ඇති අතර, විරෝධතාකරුවෝ ඒවා කොල්ල කෑවෝ ය.

අත්අඩංගුවට ගැනීම සහ කඳුලු ගෑස් ද වෙනත් මර්දනකාරී ක්‍රියාමාර්ග ද ගැනීම නිසා විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් බොහොමයක් ඇති විය. සමහර අවස්ථාවල දී විරෝධතාකරුවන් පොලිස් මෝටර් රථ පෙරලා දැමීමට හෝ ගල් හා කොන්ක්‍රීට් කුට්ටි වලින් ඒවාට පහර දීමට පෙලඹුනි. විරෝධතා මැඬීමේ අරමුනෙන් ආන්ඩුව වරින් වර අන්තර්ජාල ප්‍රවේශය කපා හැරියේ ය.

අත්අඩංගුවට ගත් අය අතර “කොමියුනිස්ටාස්” සමඟ සම්බන්ධ වූ ෆ්‍රෑන්ක් ගාර්ෂියා හර්නාන්ඩෙස් සහ වෙනත් අය ද වූහ. 2019 මැයි මාසයේදී, පැබ්ලෝවාදීන් හා ව්‍යාජ වමේ අනෙකුත් නියෝජිතයින් සහභාගී වූ, “ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ ජාත්‍යන්තර අධ්‍යයන ඉසව්ව ” සම්මන්ත්‍රනයේ සංවිධායක ලෙස කටයුතු කල ගාර්ෂියා හර්නාන්ඩෙස්, මෙම සමුලුවට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (අයිසීඑෆ්අයි) සහභාගී වීම වලක්වාලීමේ ලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය.

විරෝධතාකරුවන් අතර බොහෝ ව්‍යාකූලතා පැවතිය ද බොහෝ දුරට ඔවුන්, කම්කරුවන් හා තරුනයින් වීදි වලට ගෙන එනු ලැබූ හේතු වලින්ම මෙහෙයවනු ලැබූ බව පෙනෙන්නට තිබුනි: එනම් වඩ වඩාත් දරාගත නොහැකි ජීවන තත්වයන් සහ දේශපාලන මර්දනය උග්‍ර කිරීම ය. කියුබානු විරෝධතා පැන නැංවීමට බලපෑ හේතු සාධක, කොලොම්බියාවේ දිග්ගැස්සුනු මහජන උද්ඝෝෂන වලට සමාන ය. ඒවා වඩාත් කුරිරු ලෙස මර්දනය කල නමුත්, එක්සත් ජනපද මාධ්‍යයේ අවධානයට ලක් වුනේ සුලු වශයෙනි.

ගැඹුරු අර්බුදයක පවතින වෙනිසියුලාවෙන් ලැබෙන සහනාධාර පහත වැටීම නිසා දැනටමත් දුෂ්කර තත්වයකට පත්ව ඇති රටේ ආර්ථික තත්ත්වය, කොවිඩ්-19 වසංගතය නිසා ජාත්‍යන්තර සංචාරක ආදායම ඇන හිටීම නිසා ද 1908න් පසුව සීනි අස්වැන්න අවම මට්ටමකට වැටීමෙන් ද තවදුරටත් උග්‍ර කෙරුනි. නිල වශයෙන් ආර්ථිකය සියයට 11 කින් හැකිලී ගිය අතර, එය 1993 න් පසු විශාලතම සංකෝචනය විය.

විදේශ මුදල් ඉපැයීම් පහත වැටීමේ ප්‍රතිපලයක් ලෙස දිවයිනට කෙරෙන ආනයනය සියයට 40 කින් පහත වැටී ඇති අතර, මූලික වෙලඳ භාන්ඩ ලබා ගැනීම සඳහා පැය ගනන් දිනපතා පෝලිම්වල ලැග සිටීම පිලිබඳ ව පුලුල් කෝපයක් ඇති ව තිබේ.

වසංගතයට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය පිලිබඳ ව ද දැන් දැඩි කෝපයක් ඇති වෙමින් තිබේ. ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් තිබිය දී දිනකට සිදු වන මරන සංඛ්‍යාව අහස උසට නැඟී ඇති අතර, මාතාන්සාස්හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ආසන්න ව තිබේ. කියුබාවේ නව ආසාදිත 6,422 ක් වාර්තාවන තතු හමුවේ, වසංගත රෝග විද්‍යා පිලිබඳ ජාතික අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස්කෝ ඩුරන් සිකුරාදා වීඩියෝ සම්මන්ත්‍රනයක දී පැවසුවේ “වසංගතය ආරම්භයේ පටන්, කියුබාව මුහුන දුන් නරක ම දිනය මෙය යැයි මා කිව යුතු නැත” යනුවෙනි.

දින කිහිපයකට පසු ඉරිදා තුල කියුබාව, රෝගීන් 6,923 ක් සහ මරන 47 ක් වාර්තා කල අතර, එය මිලියන 11.2 ට අඩු ජනගහනයක් සහිත රටක සිදු වී ඇත. 2020 දී රෝගීන් 12,200 ක් පමනක් දිවයිනෙන් වාර්තා වූ අතර, 2021 දී සංඛ්‍යාව 232,000 ක් දක්වා ද මරන 146 සිට 1,579 දක්වා ද ඉහල ගොස් තිබේ. මේ වන විට රටෙහි ක්‍රියාකාරී රෝගීන් 32,000 කට අධික සංඛ්‍යාවක් සිටී.

මෑත සිදුවීම් වලින් අඩකට වඩා වාර්තා වන්නේ, පසුගිය වසරේ නොවැම්බරයේ දී ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය සඳහා නැවත විවෘත කරන ලද මාතාන්සාස් පලාතේ ය. එක්සත් ජනපදය ඇතුලු වෙනත් තැන්වල දී මෙන්ම, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය ආර්ථික අවශ්‍යතාවන්ට යටත් කර ඇත. ආසාදිත සංඛ්‍යාව ඉහල යාමත් සමඟ පලාත තුල රෝහල් ඇඳන් හිඟ වී ඇති අතර එමඟින් රෝගීන් නිවසේ “රෝහල් ගත” කිරීමට ආන්ඩුවටට සිදු ව ඇත.

කියුබාවේ ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් ඉරිදා රූපවාහිනියේ පෙනී සිටිමින්, “දැන් කියුබානු පලාත් සමූහයක ප්‍රමානවත් පහසුකම් නොමැති හෙයින් අප රෝහල්ගත කිරීම ක්‍රියාත්මක කල යුතුයි” යනුවෙන් පිලිගැනීමෙන් පසු ව, කියුබානුවන්ගෙන් ඉල්ලා සිටියේ, “වඩාත් සෘජු ලෙස වගකිව යුතු සහභාගීත්වය” යි.

කියුබාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මන්දගාමී වී ඇති අතර, කියුබානුවන් මිලියන 3 ක් පමනක් අවම වශයෙන් එක් එන්නතක් ලබාගෙන ඇති අතර සම්පූර්න එන්නත ලබාදී ඇත්තේ සියයට 15 ට පමනි. පිටරට නිෂ්පාදිත එන්නත් ආනයනය කරනවා වෙනුවට කියුබාව විසින් පැරනි එන්නත් සංවර්ධන තාක්ෂනයන් භාවිතා කරමින්, සොබෙරනා -02 සහ අබ්දලා යන එන්නත් නිපදවා ඇත. එම එන්නත් කිහිපයක් ගත යුතුව ඇත. කියුබානු අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ, සියයට 92 ක් පමන පලදායී වන නමුත් අබ්දලා එන්නත සඳහා සති දෙකක පරතරයක් ඇතිව මාත්‍රා 3 ක් අවශ්‍ය වන බවය. අධ්‍යයනය ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර පරීක්ෂනය පැවැත්වුනේ ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛත්වය ගැනීමට පෙර ය.

1994 දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් විරෝධතා නතර කරන ලෙස විරෝධතාකරුවන්ගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතිරාවය කිරීමේ උත්සාහයක යෙදෙමින් ඩයස්-කැනල්, ඉරිදා සැන් ඇන්ටෝනියෝ ඩි ලොස් බැනෝස් විරෝධතාකරුවන් හමුවීමට පැමිනි අතර, පුලුල් ලෙස විදුලිය ඇනහිටීම් වලින් හෙම්බත්ව සිටින බව වාර්තා වන බොහොමයක් නිවැසියන්ගෙන් ප්‍රශ්න ඇසීමට නිවාස කිහිපයකට ඇතුලු වූ බව වාර්තා විය. .

එක්සත් ජනපදයේ පිටුබලය ලත් “ප්‍රජාතන්ත්‍රවාදී” යයි කියා ගන්නා නායකයින් ගෙන් ස්වාධීන ව, ජනතා කොටස්වල සැබෑ දුක්ගැනවිලි වලට ආන්ඩුව ඇහුන්කන් දිය යුතු යයි සඳුදා රූපවාහිනියේ පෙනී සිටිමින් ඩියාස්-කැනල් ප්‍රකාශ කල නමුත්, විරෝධතා දැක්වීම සඳහා මෙම බලවේග විසින් ජනතාව මෙහෙයවා ඇති බව කියා සිටියේ ය. “සැබෑ ලෙස ම යමෙකු අතෘප්තියට පත්විය හැකි බව අපි අපේ ජනතාවට පැහැදිලි කල යුතු නමුත් අප බියවද්දා ඇති බව ද පැහැදිලි ව දැකගත හැකි විය යුතුයි”, ඔහු පැවසී ය.

වෙනත් තැනක දී ඩියාස්-කැනල් ප්‍රකාශ කලේ, “ලොව පුරා වසංගතය පැතිර නොතිබුනා නම් වුව ද කියුබානු-ඇමරිකානු මාෆියාව, සමාජ ජාලවල බලපෑම්කරුවන්ට සහ යූ ටියුබ්කරුවන්ට ඉතා හොඳින් ගෙවා, සමස්ත ව්‍යාපාරයක් නිර්මානය කර රට පුරා උද්ඝෝෂන කැඳවුම් කරනු ඇති ” බවයි. විරෝධතාවලින් පසුව, ඩියාස්-කැනල් ආන්ඩුවට සහයෝගය දැක්වීම සදහා “විප්ලවවාදීන් වීදිවලට කැඳවූ.” ඔහු “සටන් කිරීමේ නියෝගය ලබා දී ඇත” පැවසු අතර වඩාත් භයානක ලෙස “අපි ඕනෑම දෙයක් කිරීමට සූදානම්” යැයි පැවසී ය.

බටහිර අර්ධගෝලයේ කටයුතු පිලිබඳ කාර්යාංශයේ වැඩ බලන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජුලී චුන් මෙයට තරවටු කලා ය. ඇය ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සටන් කිරීම සඳහා “කියුබාවේ” කරන කැඳවීම් ගැන අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු. සාමකාමී රැස්වීම සඳහා කියුබානු ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු. අපි සන්සුන්ව ක්‍රියා කරන ලෙස ඉල්ලන අතර ඕනෑම ප්‍රචන්ඩ ක්‍රියාවක් හෙලා දකින්නෙමු. ”

ලේ වැගිරීමකින් කියුබානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා මියාමි නගරාධිපති ෆ්‍රැන්සිස් සුවාරෙස් එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් ඉල්ලා සිටියේ ය. ඒ අතර බිඩෙන් පරිපාලනය, කුහකකමෙන් ඉහවහා ගිය නිල ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඉන් කියුබානු ආන්ඩුවට බල කෙරුනේ, කියුබානු ජනතාවට “සාමකාමී විරෝධතා දැක්වීමටත් සිය අනාගතය පිලිබඳ තීරන ගැනීමටත් ඇති අයිතියට ගරු කරන ලෙස” හා “තෙමේ පොහොසත් වනවාට වඩා මේ වැදගත් මොහොතේදී අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමයි.”

#SOSCuba නම් හැෂ් ටැගය භාවිතා කරන සමාජ මාධ්‍යවල සහාය ලැබී ඇති, ඖෂධ හා සැපයුම් සඳහා “මානුෂීය මඟක්” විවෘත කිරීම සඳහා කරන කැඳවුම වඩාත් නරුම ඇමතුම්වලින් එකකි. මේ ආකාරයෙන් මානුෂීය ආධාර ඉල්ලා සිටීම, 2019 දී කොලොම්බියාව හා වෙනිසියුලාව යා කරන ෆ්‍රැන්සිස්කෝ ඩි පෝලා සැන්ටැන්ඩර් පාලම හරහා “මානුෂීය රථ පෙලක්” දැක්කීමට ගත් උත්සාහය සිහිපත් කරයි. සීඅයිඒට සම්බන්ධ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (යූඑස්ඒඅයිඩී) මඟින් ලබාදෙන සැපයුම්, වෙනිසියුලානු මිලිටරිය විශාල වශයෙන් හැර යාමටත් මදුරෝ නෙරපා හැරීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීමටත් තුඩු දෙනු ඇතැයි වෙනුසියුලාවේ ඇමරිකානු රූකඩයෙක් වන ජුආන් ගයිඩෝ හා දක්ෂිනාංශික විපක්ෂය බලාපොරොත්තු වුහ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කූටෝපායන් ප්‍රතික්ෂේප කරමින් කියුබානු කම්කරුවන්, අත්අඩංගුවේ රඳවා ගෙන සිටින සියලු විරෝධතාකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය. අන් සෑම රටක දී ම මෙන්ම, වසංගතය පාලනය කිරීමට සහ මූලික සමාජ ගැටලු පවා විසඳීමට ඇති එකම ක්‍රමය, සමාජයේ ඉරනම කම්කරුවන් තමන් අතට ගැනීමයි. කියුබානු කම්කරු පන්තියට ඇති එක ම මාර්ගය වන්නේ, හජාජාක විශ්ලේෂනයෙන් විස්තාරනය කර ඇති පරිදි, කියුබානු විප්ලවයේ පාඩම් සහ කැස්ත්‍රෝවාදයේ සමස්ත අත්දැකීම් පිලිබඳව හදාරමින් කියුබාවේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැඟීමට කටයුතු කිරීමයි.