රාජ්‍ය සේවකයන්ට එරෙහිව ආන්ඩුව මර්දන නීති පනවයි

ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම දැවෙන අවශ්‍යතාවයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි 27 හා ජූනි 2 දින නිකුත් කල ගැසට් නිවේදන මගින් දස ලක්ෂයක් පමන රාජ්‍ය සේවකයන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා තිබේ.

සියලු සෞඛ්‍ය සේවකයින් මෙන්ම වරාය, දුම්රිය, බස් රථ ගමනාගමන, ඛනිජ තෙල්, ගෑස්, රාජ්‍ය බැංකු හා රක්ෂන කම්කරුවන්ද; රජයට අයත් ආහාර බෙදාහැරීමට සම්බන්ධ හා පලාත් සභා නවයේ හා ආන්ඩුවේ පරිපාලන සේවකයන්ද මෙම නියෝගයන්ට යටත් කර තිබේ.

1979 දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රථමයෙන් ගෙන ආ මෙම නීති වලට අනුව ව්‍යවස්ථාව තුල සහතික කෙරී ඇති නිදහසේ කතා කිරීමේ හා වැඩ වර්ජනය කිරීමේ අයිතීන් ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසිවේ. එම නියෝග කඩ කරන කම්කරුවන්ට එරෙහිව හමුදාව සහ පොලිසිය යෙදීමට එමගින් ආන්ඩුවට “නීත්‍යානුකූල” හැකියාව ලැබේ.

අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කරන කම්කරුවන්, රැකියාවෙන් දොට්ට දැමීම, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්” ලබාදීම සහ “චංචල හා නිශ්චල දේපොල” රජය සන්තක කිරීම ආදී දඬුවම් වලට යටත් කල හැකිය. වෘත්තීයමය බලපත්‍ර ඉවත් කිරීමට හා රුපියල් 2,000 හා 5,000 අතර දඩයකට ඔවුන් බඳුන් කල හැකි නිතිමය ප්‍රතිපාදන එම නියෝගයෙන් සම්පාදනය කෙරේ.

මෙම නියෝග කඩ කිරීම සදහා “කායික ක්‍රියාවක් හෝ ඕනෑම කතාවක් හෝ ලේඛනයක්” හරහා “පොලඹවන, ප්‍රේරනය කරන හෝ දිරිමත් කරන” ඕනෑම පුද්ගලයෙකු ද දඩ, දේපොල අත්පත් කරගැනීම් හා වසර පහ දක්වා වන සිර දඬුවම්වලට යටත් කල හැකිය.

කෝවිඩ් වසංගතය දරුනු ලෙස පැතිරීමට ඉඩ සැලසෙන අයුරු ඊනියා සංචරන සීමා තුල ආර්ථිකය විවෘතව තබා ඇති ආන්ඩුව මහා ව්‍යාපාරික ලාභ අවශ්‍යතා ඉටු කරමින් සිටියි. පරීක්ෂන අවම කර තිබෙන තතු යටතේ පවා පලවන නිල සංඛ්‍යාලේඛන අනුව ආසාදිත සංඛ්‍යාව දිනකට 3000ට ආසන්න වන අතර රටෙහි සිටින රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවයි. දිනක මරන සංඛ්‍යාව 50 ඉක්මවමින් වාර්තා වෙමින් පවතී.

මෙම පසුබිම තුල වසංගතයට එරෙහි සටනේ ඉදිරිපෙල සිටින සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් අතර ආන්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව කෝපය වැඩෙමින් තිබේ.

වසංගතය ව්‍යසනකාරී ව පැතිරීම හේතුවෙන් රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී තිබේ. සෞඛ්‍ය සේවක සේවිකාවන් හට අවශ්‍ය එන්නත්, නිසි ආරක්ෂක ඇඳුම් සහ උපකරන ලබා නොදීම හේතුවෙන් ඔවුන් රෝගයේ හා මරනයේ අනතුරට ඇද දමා ඇත.

ඔක්සිජන්, වෛද්‍ය උපකරන, බෙහෙත් හා දැඩි සත්කාර ඇඳන් වල හිඟය මෙන්ම විශාල වශයෙන් පවතින සේවක හිඟය රෝගීන් මත මෙන්ම සෞඛ්‍ය සේවක සේවිකාවන් මතද යොදා ඇත්තේ කොඳු කැඩෙන පීඩනයකි. දැනටම සිය ගනනක් සෞඛ්‍ය සේවකයින් කොරෝනා ආසාදිතයින් වී ඇති අතර අවම වශයෙන් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

අති මහත් බහුතරයක් කම්කරු-දුගී ජනයා වන කොරෝනා රෝගීන් හට සිදුව ඇත්තේ රෝහල් ඇඳන් නොමැති කම නිසා කිසිදු ප්‍රතිකාරයකින් තොරවම නිවෙස් තුල හෝ මහ මග වාහන තුල මිය යාමටයි. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල නොහැකි තතු තුලත් “අත්‍යවශ්‍ය” ලේබලය යටතේ ලාභ ගැරීමට විවෘත කර ඇති ඇඟලුම් ඇතුලු අනෙකුත් කම්හල් තුලින් සිය ගනන් කෝවිඩ් රෝගීන් නොකඩවා බිහිවේ. ආන්ඩුවේ නියෝග මත රාජ්‍ය හා පුද්ගලික ආයතන ප්‍රධානීන් කැඳවන සියලු සේවක සේවිකාවන් වසංගතයේ මුව විටට ඇද දැමීම සිදු කෙරෙමින් පවතී.

මැයි 10 දා ආන්ඩුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුනසිංහ ලවා සෞඛ්‍ය සේවකයන්ට “ජන මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම“ වලකා ලන නියෝගයක් නිකුත් කෙරිනි. සෞඛ්‍ය සේවකයන් හට වසංගතය වැලඳුනහොත් එසේ වන්නේ සෞඛ්‍ය සේවකයන්ගේම වරදින් වන බව තහවුරු කිරීමේ තවත් චක්‍රලේඛයක් ආන්ඩුව ගෙන ආවේය.

මෙම අත්‍යවශ්‍ය සේවා නියෝග රාජපක්ෂ ආන්ඩුව සමස්ත කම්කරු පංතියට එල්ල කරන ප්‍රහාරයේ තීරනාත්මක පියවරකි.

මෙම රුදුරු නීති පිලිබඳව මුලුමනින්ම නිහඬව සිටින වෘත්තීය සමිති, ව්‍යාජ වමේ පක්ෂ සහ ඊනියා විරුද්ධ පක්ෂ, එම නීතිවල පවත්නා බරපතල ඇඟවුම් වසන්කොට, කම්කරුවන් අන්ධකාරයේ ගිල්වා තබා ආන්ඩුවේ දඬු අඬුවට ඔවුන් හසු කරදීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

ආන්ඩුව විසින් සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයන්ට හමුදාව යොදවමින් ඒ්වා කඩා කප්පල් කිරීමේ පෙරහුරු දැනටම පවත්වා තිබේ. පෙබරවාරි 24 - 25 සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මන්ඩල වල දීපව්‍යාප්ත වර්ජනය බිඳ දැමීමට ආන්ඩුව ක්‍රියා කලේය. සෞඛ්‍ය සේවක සේවිකාවන් කොලඹ ජාතික රෝහල ඉදිරිපිට පවත්වා ගෙන ගිය විරෝධතා සත්‍යග්‍රහය කඩා බිඳ දැමීම සඳහා ආන්ඩුව, ජූනි 3 රාත්‍රියේ හා ජූනි 4 දින, පොලිස් හමුදාවක් යෙදවීය.

ගැඹුරු කරමින් සිටින මෙම මර්දනය වසන් කරන ව්‍යාජ වම හා සමිති, ආන්ඩුවට බලපෑම් දමා තම ඉල්ලීම් දිනා ගත හැකිය යන මිථ්‍යාව කම්කරු පන්තිය තුල වගාදිගා කරති. මෙම ද්‍රෝහිත්වයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීන ක්‍රියාමාර්ගයක් මත සංවිධානය වීමේ තීරනාත්මක අවශ්‍යතාව සෞකක්‍රික වේ අපි පෙන්වා දෙමු.

කම්කරු පන්තියේ ශක්තිය ජාත්‍යන්තරව මුදා හැරීම මත මෙම ක්‍රියා මාර්ගය පදනම් විය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන සංවිධාන ව්‍යුහය ලෙස, ශ්‍රේනි හා පාර්ශ්වික ලෙස කම්කරුවන් බෙදන කට්ටිවාදී වෘත්තීය සමිති වලට විපරීතව, සියලු කම්කරුවන් හට ඒකාබද්ධව සටන් කල හැකි වන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම අත්‍යවශ්‍යය.

ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, නවසීලන්තය, ඔස්ට්‍රෙලියාව හා ඊශ්‍රායලය වැනි රටවල සෞඛ්‍ය සේවක සටන් පැන නැගීම වාර්තා වෙමින් තිබේ. ලංකාවේ ආන්ඩුව මෙන්ම ලොව පුරා ධනපති ආන්ඩු කම්කරුවන්ට එරෙහිව දිගේලි කර ඇති මර්දනයට එරෙහිව කම්කරුවෝ පෙල ගැසෙමින් සිටිති. ලංකාවේ සෞඛ්‍ය කම්කරුවන් “තනිවී” නොමැත.

රෝහල් ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ආයතන තුලත්, අනෙකුත් ක්ෂේත්‍රයන්ට අයත් වැඩපලවල හා කම්හල් තුලත් මෙම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම දැවෙන අවශ්‍යතාවකි. එම ක්‍රියාකාරී කමිටු, අනෙකුත් රටවල කම්කරු පන්තිය ගොඩ නගන ක්‍රියාකාරී කමිටු සමග ජාත්‍යන්තර ජාලයක් ලෙස පෙල ගැසෙමින් කම්කරු පන්තියේ සමස්ත ශක්තිය බලමුලු ගන්වා මුදා හල යුතුය.

එම පදනම මත, සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ලෝක සංවිධානය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භකත්වය සහ නායකත්වය ගෙන ඇති 'කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය' ගොඩනැගීම සඳහා ඉදිරියට පැමිනෙන ලෙස සෞඛ්‍ය සේවක සේවිකාවන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading