අධිකරන ක්‍රියාවලියෙන් බැහැර රාජ්‍ය ඝාතන කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි

පාතාල කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දා පොලීසිය විසින් ඝාතනයට ලක් කිරීමත් සමග අධිකරන ක්‍රියාදාමයකින් තොර ව සිදු කෙරෙන රාජ්‍ය මිනී මැරීම් යලි වටයකින් ඉස්මත්තට පැමින ඇත.

මැයි 11 සහ 13 යන ආසන්න දින දෙක තුල දී පිලිවෙලින් මාබුලගේ දිලිත් මෙලන් (ඌරුජුවා) සහ තාරක ධර්මකීර්ති (කොස්ගොඩ තාරක) යන අය මෙසේ පොලිස් ඝාතනයට ලක්වූහ. අවි ආයුධ සඟවා තිබූ බවට සැකකරුවන් සඳහන් කල ස්ථාන වලට ඔවුන් රැගෙන ගිය අවස්ථාවේ, පැන යාමට හෝ පොලීසියට පහර දීමට දැරූ උත්සාහයන්හි දී සිදුවූ වෙඩි තැබීම්වලින් ඝාතන සිදුවූ බව නිවේදනයට පත් කෙරුනි. මෙය මෙ වැනි ඝාතන වසන් කිරීමේ දී ඉදිරිපත් කෙරෙන සුපුරුදු ප්‍රබන්ධය වුව ද මෙම ඝාතනවල විශේෂත්වය වන්නේ ඒවා වඩාත් විවෘත ස්වභාවයක් ගැනීමයි.

මාබුලගේ ඝාතනයෙන් පසු මැයි 12 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සිරකරුවන් සුරැකීමේ කමිටුවේ නන්දිමාල් ද සිල්වා, ඔහුගේ ඝාතනයේ සාපරාධී ස්වභාවය හෙලිදරවු කලේ ය. මැයි 10 වැනි දා බූස්ස බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වූ සැකකරු බන්ධනාගාරය ඉදිරිපිට දී ම “යම් කන්ඩායමක්” විසින් පැහැර ගෙන නවගමුව පොලිස් ස්ථානයට ගෙනැවිත් ඇත. පසු ව රාත්‍රියේ දී ඔහුගේ පවුලේ අය නීතිඥයෙකු සමග නවගමුව පොලිස් ස්ථානයට පැමිනිය ද ඔවුන්ට දැන ගැනීමට ලැබුනේ ඒ වන විටත් ඔහුව විමර්ශනයක් සඳහා බැහැර ගෙන ගොස් ඇති බවය. එදින රාත්‍රියේ දී සැකකරු ඝාතනය කෙරුනි.

පසුගිය 13 වැනි දා අලුයම තාරක ධර්මකීර්ති නමැත්තා “විශේෂ මෙහෙයුමක් සඳහා” මීරිගම රේන්දපොල නමැති ස්ථානයට ගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ “සිදුවීමක” දී පොලිසිය ගිනිබලය භාවිතා කිරීමෙන් ඔහු මරනයට පත් වූ බව පොලිසිය නිවේදනය කලේ ය. කෙසේ නමුත් ඔහු ඝාතනය වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්වලින් ගත් ඡායාරූප කීපයක් ද ප්‍රසිද්ධ වී ඇති අතර ඒවායේ ඔහු පුටුවක් මත ඉන්දවා සිටින්නේ ද අත් පිටුපසට කොට මාංචු දමා හෝ ගැට ගසා ය.

ධර්මකීර්තිගේ මව, මාබුලගේ ඝාතනය ගැන උත්සුකයන් මතු කරමින්, තමපුතුගේ ආරක්ෂාව පතා නීතිඥයෙකු මාර්ගයෙන් පොලිස්පතිට ලිපියක් යොමුකොට ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද, ධර්මකීර්ති මරා දැමුනු දිනට පෙර දින රාත්‍රියේ, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිට ලිපියක් යොමු කර තිබේ. එසේ තිබියදී මෙම ඝාතනය ක්‍රියාවට දැමීම පොලිසිය නීතිය සම්බන්ධයෙන් කවර හෝ තැකීමක් ඇති බව මවා පෑමටවත් සූදානම් නැති බව පෙන්නුම් කිරීමකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය උක්ත ඝාතන හෙලා දකිමින් මැයි 13 නිකුත් කල ප්‍රකාශයක දී මෙසේ සටහන් කලේ ය: “මෙම ඝාතනවලට අධිකරනයෙන් පිටත ඝාතනවල සියලු ලක්ෂන ගැබ් ව පවතී. රජය තම භාරයේ පසුවන රැඳවියන්ගේ ආරක්ෂාව ගැන සහතික විය යුතු ය. රාජ්‍යයටත් පොලිසියටත් තම අත් අඩංගුවේ සිටින රැඳවියන්ගේ චරිතය හෝ ඔවුන්ට එල්ල කෙරී ඇති චෝදනාවල ස්වභාවය නොතකා ආරක්ෂාව සැපයීමට වගකීමක් ඇත.” මෙම නිරායුධ සැකකරුවන් මරනීය ප්‍රහාර එල්ල කිරීමකින් තොරව පාලනය කර නොගැනීමෙන් ඔවුන්ට අධිකරන ක්‍රියාමාර්ගයකට ලක් වීමට ඇති අයිතිය පොලිසිය විසින් උල්ලංඝනය කර ඇති බවට එම ලිපිය චෝදනා කරයි.

කෙසේ නමුත්, මෙම ඝාතනවලට ආන්ඩුව කොල එලිය දල්වා ඇත. හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, “පොලිස් වෙඩි පහරින් මිය යන්නේ අපරාධකරුවන්” යයි පවසමින් මෙම ඝාතන සාධාරනීයකරනය කලේය. පසුගිය වසරේ සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමති වශයෙන් පත් කෙරුනේ පොලිසිය "ප්‍රතිසංවිධානය" කිරීමට යැයි ප්‍රකාශ කරමිනි.

“පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය” ආඥාදායක පාලන තන්ත්‍රයක් තහවුරු කිරීම සඳහා පිනුම් පිත්තක් බවට ආන්ඩුව පත් කර ගෙන ඇත. මෙ බඳු ඝාතන පිලිබඳව ඉඟි කරමින් පසු ගිය ජූලියේ දී නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මෙසේ අනතුරු ඇඟවීය: “පාතාල නායකයින් කියල කියාගන්න අයට ඉදිරි දවස් වලදී වෙන්නෙ මොනවද කියල බලාගෙන ඉන්න.” ඔහු එසේ පැවසුවේ, ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නගේ ප්‍රධානත්වයෙන් “සුරක්ෂිත රටක්, විනයගරුක රටක්, ගුනගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජූනියේ දී ගැසට් කිරීමෙන් අනතුරු ව ය.

මේවායෙන් දිරි ගන්වනු ලැබූ අඟුලාන පොලිසිය, ජූලි මාස‍යේ දී ම, ත්‍රීරෝද රථයකින් ධීවර ආම්පන්න රැගෙන යමින් සිටි ධීවරයෙකු නතර කර ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කලේ ඔහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ යැයි චෝදනා කරමිනි. කොලඹ දුගී පවුල්වල තරුනයන් මත්ද්‍රව්‍ය චෝදනාවලට හසු කර අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් සහ ව්‍යාජ සාක්ෂි ඇටවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කුප්‍රකට ය.

පොලිස්-මිලිටරීකරනයට අනුපූරක ව, මහින්ද රාජපක්ෂ සමයේ මෙන්, කම්කරු-පීඩිත මහජනතාවට සහ තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මෙහෙයවීම සඳහා මැර කන්ඩායම් පෝෂනය කරන ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය, මිනීමැරීම්වලට අධිකරනයෙන් වරදකරුවන් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ ප්‍රේමලාල් ජයසේකර වැන්නවුන් පාර්ලිමේන්තුවට පවා ගෙන්නා ගනිමින්, තම පාක්ෂිකයන්ට සහ සහචරයින්ට මැරකම් සඳහා පූර්න අනුග්‍රහය ලබාදෙයි.

කෙසේ නමුත්, අධිකරන ක්‍රියාවලියෙන් බැහැර මෙම ඝාතන ක්‍රමවේදයන් වර්ධනය කොට තහවුරු කෙරුනේ කොලඹ පාලකයන් දෙමල පීඩිත ජනතාවට එරෙහිව ගෙනගිය දශක තුනක රුදුරු සිවිල් යුද්ධය තුලය. සිය ගනන් දෙමල තරුන-තරුනියන්, දේශපාලන විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් කවර හෝ අධිකරන ක්‍රියාවලියකින් තොරව අමුඅමුවේ මරා දැමුනි.

මහින්ද රාජපක්ෂ තන්ත්‍රයෙන් පසු බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එම ක්‍රමවේදයන් ඉදිරියටම ගෙන ගියේය. 2019 වසරේ පිලිපීනයේ සංචාරය කල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේගේ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” “ලෝකයට ම ආදර්ශයක්” ලෙස ඔජ වඩමින්, රාජ්‍ය මිනීමැරීම් සඳහා එබඳු පුහුනුවක් ශ්‍රී ලංකාවට ද ලබා දෙන මෙන් ඉල්ලා සිටියේ ය.

තම ආන්ඩුව මගින් එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් සහ පීඩිතයන් තලා දැමීමේ එල්ලයෙන් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ, එම වැඩපිලිවෙල වඩාත් විවෘත ව ම ඉදිරියට ගැනීමට “ජාතික ආරක්ෂාවත්”, “පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩීමත්” දැන් කොවිඩ්-19 වසංගතයත් යොදා ගෙන ඇත.

පොලිසිය, නිරෝධායන නීති කඩ කලේ යැයි කියන මහජනතාව කුදලා ගෙන යන අයුරු සහ පොලු මුගුරුවලින් පහර දෙන අයුරු මාධ්‍යවලින් පවා දැක ගත හැකි ය. වසංගතයෙන් ආරක්ෂාව ඉල්ලා සිටි රැඳවියෝ අනුරාධපුර, බෝගම්බර සහ මහර බන්ධනාගාර තුල දී ඝාතනය කරනු ලැබූහ.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් වෛද්‍ය විශේෂඥයන් කරන ලද නිර්දේශ මුලුමනින්ම ඉවත ලා, මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා දිගටම විවෘතව තබා ගනිමින් දහස් සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවට මරනයට ඇද දමා ඇති ආන්ඩුවක්, මෙම මෙම “සමාජ විරෝධීන්” ඝාතනය කරන්නේ, "මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්" ය යනුවෙන් කරන ප්‍රකාශ මුලුමනින්ම කුහක ය.

කොවිඩ්-19 වසංගතයෙන් උග්‍ර කෙරී ඇති සමාජ ආතතීන්, තම ආන්ඩුවට පමනක් නොව, ධනපති ක්‍රමයටම අභියෝග කරමින් පුපුරා යාමේ තර්ජනය පිලිබඳව සංවේදී රාජපක්ෂ පාලනය, එවන් පුපුරා යාමක් පූර්වභංග කරනුවස් සෑම මර්දන පියවරක්ම ක්‍රියාවට දමමින් සිටී. දින දෙකකට පෙරාතුව, රාජ්‍ය සේවාවන්ගෙන් අතිමහත් බහුතරය ආවරනය වන පරිදි පනවන ලද "අත්‍යවශ්‍ය සේවා" නියෝගය මෙහි ලා තීරනාත්මකය. මෙම නියෝගය යටතේ අදාල ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු කම්කරුවන්ට, වර්ජන සහ විරෝධතා ඇතුලු කවර හෝ පංති ක්‍රියාවක් තහනම් කෙරී ඇති අතර, එවැන්නක යෙදීම හෝ අනුබලදීම වසර ගනනාවක සිර දන්ඩනයකට යටත් කලහැකි වරදකි.

මෙම සන්දර්භය තුල, "පාතාලය මැඩීමේ" නමින් ආන්ඩුව වර්ධනය කරන අධිකරන ක්‍රියාවලියෙන් බැහැර ඝාතන ක්‍රමවේදය, මූලික වශයෙන්ම එල්ලවනු ඇත්තේ පංති අරගල වලට ඇදෙන කම්කරුවන්ට සහ අනෙකුත් පීඩිතයන්ට එරෙහිව ය. සුවිශේෂිතව, එම අරගල වලට නායකත්වය දෙන සංවිධානයන් ට සහ පුද්ගලයින්ට එරෙහිව ය.

මෙම ඝාතන සම්බන්ධයෙන් විපක්ෂ කරන "හෙලා දැකීම්" ද ආන්තික වශයෙන්ම කුහක ය. “අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දිය යුත්තේ නීතිය ක්‍රියාත්මක වීමෙනි” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. නීතිය ක්‍රියාත්මක වීමෙන් තොර ඝාතන යාන්ත්‍රනය ස්ථාපිත කෙරුනු කුරිරු සිවිල් යුද්ධය 1983 දී ආරම්භ කලේමත්, ඔහු නායකත්වය දෙන ජාතික සමගි ජන බලවේගයේ ගර්භාෂය වූ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආන්ඩුවක් විසිනි.

පොලිසිය-මිලිටරිය හෝ මැරයන් යොදා ගනිමින් සිදු කල ඝාතන සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් එජාප ට පවතී. දෙමල දේශපාලන සිරකරුවන් බන්ධනාගාර තුල ඝාතනය කරවූ එජාප ආන්ඩුව, 1988-89 සමයේ දකුනේ ගම්බද තරුනයන් 60,000ක් අමුඅමුවේ මරා දැමුවේ අධිකරන ක්‍රියාදාමයෙන් මුලුමනින්ම බැහැරව ය.

එම ඝාතන වලට ප්‍රධාන වගකිවයුත්තෙකු වන ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස, තම පියාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට දමන බවට නැවත නැවතත් සපථ වෙයි. ඔහු ද තම ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල පෙරට ගත්තේ, ආඥාදායක පාලනයක එල්ලයෙන් සිදු කෙරෙන මිලිටරීකරනයේ කඩතුරාව වන “ජාතික ආරක්ෂාව තහවුරු කිරීම" යි.

කම්කරු-පීඩිත මහජනතාව හමුවේ "වාම" මුහුනකින් පෙනී සිටින සංවිධාන අධිකරන ක්‍රියාදාමයෙන් බැහැර ඝාතන සම්බන්ධයෙන් කරන විවේචන වඩාත් විසකුරු ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය: “මේ සිද්ධිය පස්සෙ තියෙන එක් බියජනක අන්තරාවක් තමයි මේ තියෙන සමාජ ගිවිසුම පවා අවම මට්ටමේ ම බිඳ වැටීම. අපි මේ සමාජ ගිවිසුමට වඩා හොඳ සමාජ ගිවිසුමක් ගේනවා කියන එක මිසක ඔක්කොම අරාජික කරල දාන අදහසක නෙවෙයි ඉන්නේ”

එක් පංතියක් විසින් තවත් පංතියක් පාලනය කරන සමාජයක කවර ලෙසින් හෝ "සමාජ ගිවිසුමක්" පැවතිය නොහැක. ජයගොඩ පවසන "සමාජ ගිවිසුම" වනාහි අන් කිසිවක් නොව, කම්කරු පන්තිය පාලනය කිරීම සඳහා ධනපතියන් අතර ඇතිකරගත් ගිවිසුම යි. තම පාලන රූපයන් තුල යම් "ප්‍රජාතන්ත්‍රීය අංග ලක්ෂන" පැවතිතාක්, ධනපති පාලක පංතියට තමා ඇතිකරගත් ගිවිසුම "සමාජ ගිවිසුමක්" ලෙස කම්කරු පංතිය හමුවේ පින්තාරු කලහැකි විය.

කෙසේ නමුත් අදදින, කවර හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ආරක්ෂා කල නොහැකි පරිදි ලෝක ධනවාදය ඓතිහාසිකව පරිහානිගත වී ඇත. මේ ඓතිහාසික වෛෂයික සත්‍යයට විපරීතව ජයගොඩ පවසන්නේ, ධනපති ක්‍රමය තුලම ප්‍රජාතන්ත්‍රීය අංග ලක්ෂන තහවුරු කෙරෙන "වඩා හොඳ සමාජ ගිවිසුමකට" ධනපති පංතියට එලැඹිය හැකි බව යි. පෙසප හි දේශපාලනය යොමුව ඇත්තේ ධනපති පාලනය "අරාජික" කිරීමට නොවන බවට විවෘත සහතිකයක්ද ජයගොඩ ධනපති පාලකයන්ට ලබාදෙයි.

පෙසප ඇතුලු සියලු ව්‍යාජ-වාම සංවිධානයන් මෙම විසකුරු ප්‍රලාපය තොරොම්බල් කරන්නේ, ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරු වෙමින් සිටින ලෝක ධනවාදයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වලකනු පිනිසය.

Loading