ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ ජාතික අධ්‍යක්ෂිකා මාරියා ස්වාර්ට් වෙත විවෘත ලිපියක්

මාරියා ස්වාට්

ජාතික අධ්‍යක්ෂිකා

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්

මැයි 22, 2021

හිතවත් ස්වාට් මහත්මියනි,

1917 ඔක්තෝබර් විප්ලවයේ නායකයා සහ හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි, 1940 දී ඝාතනය කරනු ලැබීම සමරමින්, ප්‍රකාශ හා සටහන් පලකිරීම හා පතල කිරීම පිනිස, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) සංවිධානයේ සාමාජිකයන් විසින් පසුගිය සතිය තුල ට්විටර් ගිනුම් යොදාගෙන තිබෙන බව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මැයි 17දා වාර්තා කලේ ය.

එරික් ලන්ඩන් විසින් ලියූ එම වාර්තාව  තුල ලේඛනගත කල පරිදි, මෙම පෝස්ටු හා යලි යලිත් පලකල ට්විටර් පනිවුඩ පලකිරීමෙහි නිරත වූයේ, ඩීඑස්ඒහි දේශපාලනිකව අත්දැකීම් රහිත සාමාජිකයන් නො වේ. ලන්ඩන් ලියූ පරිදි:

“ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ සතුටු සැමරුම් සිදුකරන ඩීඑස්ඒ සාමාජිකයන් අතර එහි තරුන අංශයේ (වයිඩීඑස්ඒහි) ජාතික නිලධාරීන්, ශාඛා සභාපතිවරුන්, එහි සරසවි සමාජවල නායකයන්, ඩීඑස්ඒහි ප්‍රමුඛ පෙලේ පොඩ්කාස්ට් විකාශකයන් (ඩිජිටලීකෘත හඬ විකාශකයන්) මෙන්ම, ගාඩියන් හා ජැකොබින් සඟරාව වැනි ඩීඑස්ඒ අනුබද්ධ මාධ්‍ය නාලිකාවල සම්පත්දායකයෝ ද ඇතුලත් වෙති." .”

මෙම නායක ඩීඑස්ඒ සාමාජිකයන් අතර:

1. වයිඩීඑස්ඒ ජාතික සම්බන්ධීකරන කමිටු සාමාජික හා බර්ක්ලි විශ්ව විද්‍යාල ශාඛාවේ සම සභාපති නිකන් ෆයාසි

2. නිව් යෝක් නගරයේ ඩීඑස්ඒ මෙහෙයුම් කමිටු සාමාජික ජේක් කොලෝසා

3. වර්මන්ට් ඩීඑස්ඒ සංවිධායක වරයෙක් වන ඇලෙක්ස් ලෝසන්

4. පහල මැන්හැටන්හි ඩීඑස්ඒ සංවිධාන කමිටු සාමාජික හොන්ඩා වැං

5. චිකාගෝහි ප්‍රමුඛ පෙලේ ඩීඑස්ඒ සාමාජික කෙන්සෝ ෂිබාටා

6. ඩීඑස්ඒ සිලිකන් වැලි ශාඛාවේ සම සභාපති බ්‍රැන්ඩන් හෙන්රික්ස්

7. ඩීඑස්ඒ ජාතික මැතිවරන කමිටුවේ හිටපු සාමාජික නේට් නාවුෆ්

8. ඩීඑස්ඒ ජාතික දේශපාලනික අධ්‍යාපන කමිටුවේ සාමාජික හා උතුරු කැරොලිනාවේ චාලට්හි ඩීඑස්ඒ සම සභාපති ගයි බ්‍රවුන්

9. ඩීඑස්ඒ ජාතික දේශපාලන කමිටු සාමාජික බ්ලැන්කා එස්ටෙවෙස්

10. වයිඩීඑස්ඒ ජාතික සම්බන්ධීකරන කමිටු සාමාජික නේට් ස්ටුවර්ට්

11. ඩීඑස්ඒ සංක්‍රමනික අයිතිවාසිකම් කන්ඩායමේ සම සභාපති ඇලෙක්සැන්ඩර් හර්නැන්ඩෙස්

12. ඩීඑස්ඒ ජාතික මැතිවරන කමිටු සාමාජික ඔස්ටින් බින්ස්

13. පෙන්සිල්වේනියාවේ අයිරීහි ඩීඑස්ඒ ශාඛාවේ සම සභාපති කෝල් ෂෙන්ලි

14. නිව් යෝක් නගරයේ ඩීඑස්ඒ සංවිධාන කමිටු සාමාජික කේලීන් පේනා

15. ඩීඑස්ඒ ලොස් ඇන්ජලීස් කම්කරු කමිටු සාමාජික මයිකල් ලුම්ප්කින්

සිටිති.

මෙම ට්‍රොට්ස්කි-විරෝධී උද්ඝෝෂනයට ඩීඑස්ඒ නායක සාමාජිකයන් සම්බන්ධ වීම, ඩීඑස්ඒ සාමාජිකයන් දහස් ගනනක් විසින් කියවනු ලැබ ඇති, කොංග්‍රස් සාමාජිකා ඔකාෂියෝ-කෝටෙස් ගැන ලෝසවෙඅ විවේචනයට දක්වන සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් බව පැහැදිලි ව පෙන්නුම් කරයි. ලෝසවෙඅ යුක්තියුක්ත තර්කයන්ට පිලිතුරු දීමට උත්සාහ දරනු වෙනුවට, ඩීඑස්ඒ නායකයෝ දේශපාලනික අශ්ලීල රචනයේ මට්ටමට පසු බසිති. වොෂින්ටන් ඩීසීහි ප්‍රමුඛ ඩීඑස්ඒ සාමාජිකයෙක් වන බෙන් ඩේවිස්ගේ ට්විටර් පනිවුඩයක්, අයිස් පොරවක් අතින් ගෙන පිටුපස සිට ට්‍රොට්ස්කිට පහර දීමට සූදානම් වන ඝාතකයාගේ පින්තූරයක් අඩංගු කරගනී. “කඩාකප්පල්කරුවන් මුලිනුපුටා දමනු” නමැති සිරස් තලය මෙයට ඩේවිස් එක් කලේ, 1936 දී ස්ටැලින් සෝවියට් සංගමය තුල මුදාහල මිනීමරු ත්‍රස්තයට අවසර දෙමින්, ස්ටැලින් විසින් ම යොදාගත් වචන භාවිතා කරමිනි.

සමාජවාදී කම්කරු පන්තිය හා බුද්ධි ස්ථරය ඉලක්ක කරගෙන, 1936 හා 1940 අතර මුදාහල ම්ලේච්ඡ මර්දනයෙහි කූටප්‍රාප්තිය වූයේ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම යි. ස්ටැලින්ගේ පාලන තන්ත්‍රය කෙරෙහි පැවති සමාජවාදී විරුද්ධත්වය මකා දැමීම සඳහා ස්ටැලින් ගත් තීරනය, ආසන්න වසයෙන් ඝාතන මිලියනයක් ජනනය කලේ ය. හුදෙක් ට්‍රොට්ස්කිවාදී විපාර්ශවය පමනක් නොව, ඔක්තෝබර් විප්ලවය තුල හා සෝවියට් සමූහාන්ඩුවේ මුල් වසරවල, සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කල සියලු දෙනා එම ත්‍රස්තයට ගොදුරු වූවන් අතරට අයත් විය. ස්ටැලින්වාදී ත්‍රස්තය ප්‍රධාන පෙලේ සෝවියට් ලේඛකයන්, විද්‍යාඥයන් හා කලාකරුවන් ගොදුරු කර ගත්තේ ය.

සෝවියට් සංගමයේ දේශසීමාවෙන් පිටත දී, ස්පාඤ්ඥයේ පූමයේ නායක ආන්ද්‍රෙ නින් (මොහුට මැරෙන තුරු වධ දුනි) සහ ට්‍රොට්ස්කිගේ ලේකම් අරවින් වුල්ෆ් ඇතුලු සමාජවාදී නායකයන්, ජීපීයූ ඝාතක යන්ත්‍රනය විසින් මරා දැමුනි. ජෝර්ජ් ඕවල්ගේ හෝමේජ් ටු කැටලෝනියා ගැන සඳහන් නො කල ද, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය පිලිබඳ බර්නට් බොලෝටන්ගේ අධ්‍යයනය තුල, ධනේශ්වර මහජන පෙරමුනු ආන්ඩුවෙහි සමාජවාදී විරුද්ධවාදීන්ට එරෙහි ස්ටැලින්වාදී මර්දනයේ රුදුරු භාවය සූක්ෂම ලෙස විස්තර කරනු ලබයි. ප්‍රන්සයේ දී ජීපීයූව, ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් හා හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ඝාතනය කලේ ය. ස්ටැලින්වාදී ඝාතන එක්සත් ජනපදය තුලට ද විස්තාරනය විය. මොස්කව් අවනඩුවලට විරුද්ධත්වය පා තිබුනු ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂ සාමාජික ජූලියට් පොයින්ට්ස්, 1937 දී නිව් යෝක් නගරයේ දී පැහැරගනු ලැබූ අතර, ඉන් පසු කිසිදා දැකගැනීමට ලැබුනේ නැත. සුප්‍රකට ඉතාලියානු-ඇමරිකානු අරාජකවාදී නායක හා ස්ටැලින්වාදයේ විරුද්ධවාදියෙක් වූ කාලෝ ට්‍රෙස්කා, 1943 දී, නිව් යෝක් නගරයේ දී ඝාතනය කරන ලදී.

ඩීඑස්ඒ තම ඉතිහාසය ඇමරිකානු සමාජවාදී පක්ෂය දක්වා සලකුනු කරගනී. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමග තිබුනු සුප්‍රකට හා මූලික දේශපාලන වෙනස්කම් නොතකා, නෝමන් තෝමස් ඇතුලු එහි ප්‍රමුඛ පෙලේ නායකයන් බොහෝ දෙනෙක් මොස්කව් අවනඩුවලට විරුද්ධ වූ හ. දාර්ශනික ජෝන් ඩුවී සභාපති ධූරය දැරූ අවනඩු පිලිබඳ පරීක්ෂන කොමිසම ස්ථාපනය කරනු ලැබීමට ඔවුහු සහයෝගය දුන් හ. විස්තෘත විමසීම් හා පවතින සියලු සාක්ෂි විමර්ශනය කිරීමෙන් අනතුරු ව, එම කොමිසම, ට්‍රොට්ස්කි නිවැරදි බව ප්‍රකාශ කර, මොස්කව් අවනඩු වනාහි බොරු නඩු ඇටවීමක් යයි හෙලාදුටුවේ ය.

සමාජවාදී පක්ෂයේ ආස්ථානය, ස්ටැලින්වාදීන්ගේ කර්කශ හෙලාදැකීමට බඳුන් විය. ඔවුන්ගේ ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයන් අතර නෝමන් තෝමස් සිටියේ ය. තෝමස් “හිට්ලර්ට යටත් වී ට්‍රොට්ස්කි සමග එක් වුනා. මොස්කව් නඩු නෝමන් තෝමස්ගේ දේශපාලනික පිරිහීම ඇතුලු එවන් සියලු ගැටලුවලට ආලෝකයක් හෙලා තිබෙනවා” යි, 1938 මාර්තු 18දා කල කතාවක දී, ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දුන් ස්ටැලින්වාදී කකුල් ලෙවකන්නෙකු වූ අර්ල් බ්‍රවුඩර් ප්‍රකාශ කලේ ය.

ඩීඑස්ඒ සංවිධානයට බරපතල දේශපාලන ගැටලුවක් තිබේ. ස්ටැලින් හා ඔහුගේ ඒකාධිපතිවාදී නිලධාරී තන්ත්‍රික පාලනය විසින් සිදුකල අතිවිශාල අපරාධ සමග නිර්ලජ්ජිත සහයෝගය ප්‍රකාශ කරන පුද්ගලයන් එහි නායකත්වයට අයත් වෙයි. මෙය සරලව ඓතිහාසික නො දැනුමක් ලෙස විස්තර කරනු ලැබිය නො හැක. ට්‍රොට්ස්කි-විරෝධී උද්ඝෝෂනය ක්‍රියාශීලී ව ඉදිරියට දමන පුද්ගලයෝ, දේශපාලනික ආධුනිකයෝ නො වෙති.

එරික් ලන්ඩන්ගේ ලිපිය ලේඛනගත කල පරිදි, මෙම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකුට, ඇමරිකානු ප්‍රති-කොමියුනිස්ට්වාදයේ හා අධිරාජ්‍යවාදයේ කොටුපවුරක් වන ඩිමොක්‍රටික් පක්ෂය සමග සබඳතා තිබේ. එහි දේශපාලන මූලෝපායඥයෝ, සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත ධනපති-ගැති ඩිමොක්‍රටික් පක්ෂයෙන්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට උත්සාහ දරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, භයානක හතුරෙක් ලෙස දැක ගනිති. තීව්‍ර වෙමින් පවතින සමාජ අර්බුදය විසින් රැඩිකලීකරනය කරනු ලැබෙමින් පවතින කම්කරුවන් හා තරුනයන් ආකර්ශනය කරගැනීමට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට තිබෙන විභවය ගැන, එය බිය වෙයි. ඔකාෂියෝ-කෝටෙස් විසින් බයිඩන් පරිපාලනය ආරක්ෂා කිරීම පිලිබඳ ලෝසවෙඅහි විවේචනයට පවතින පලල් ව පැතිරුනු ප්‍රතිචාරය, මෙම විභවය තහවුරු කිරීමක් ලෙස දැකගනු ලැබී ය.

ට්‍රොට්ස්කිවාදයට එරෙහි ඔවුන්ගේ උද්ඝෝෂනයෙහි සාරභූත දේශපාලනික අරමුන වන්නේ: 1) ස්ටැලින්වාදයෙන් උරුම කරගත් ප්‍රතිගාමී ප්‍රති-මාක්ස්වාදී කැලිකසලවලින් ඩීඑස්ඒ ඇතුලත දේශපාලනික වාතාවරනය විස කැවීම සහ 2) ප්‍රති-කොමියුනිස්ට්වාදී, ස්වෝත්තමවාදී හා -අපි ඍජුවම කියමු- ලියොන් ට්‍රොට්ස්කිට එරෙහි හෙලාදැකීම්වල යුදෙව්-විරෝධී යටිපෙලට ඇද ගනු ලබන සමාජීය ව පසුගාමී පුද්ගලයන් ඩීඑස්ඒ වෙත ආකර්ශනය කරගැනීම යි. ඩීඑස්ඒ නායකයන් ට්‍රොට්ස්කිට එල්ල කරන ප්‍රහාරවලට සහයෝගී ලෙස පලකරනු ලැබ ඇති ට්විටර් පනිවුඩ අනුව නිගමනය කල හැක්කේ, සමාජවාදී සංවිධානයක තබා අව්‍යාජ ලෙස ප්‍රගතිශීලී සංවිධානයක් තුලවත් තැනක් නො තිබිය යුතු ආන්තිකව ප්‍රතිගාමී කොටස්, ඔබගේ සංවිධානයට මෙම උද්ඝෝෂනය විසින් ඇදගනු ලබන බව ය.

“ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය” මූර්තිමත් කරනවා යයි කියාපාන සංවිධානයක්, එහි වාමාංශික දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ප්‍රචන්ඩ තර්ජන කිසිදු ආකාරයකින් යුක්තියුක්ති කරන ප්‍රකාශනනො ඉවසන බව පැහැදිලි කල යුතු ය.

ස්ටැලින්වාදී බේගල් පුනර්ජීවනය කරන හා ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සමරන ට්විටර් පෝස්ටු හා අනෙකුත් මාධ්‍ය ජාල මත ප්‍රකාශන මුලුමනින් හෙලා දකින ලෙස හා ප්‍රතික්ෂේප කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගෙන් ඉල්ලා සිටී. ස්ටැලින්වාදී බේගල් ප්‍රචාරනය කරමින්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහි අතීත පමනක් නොව අනාගත ප්‍රහාරවලට අවසර දීම නො ඉවසන බවත්, තම සංවිධානයෙහි සාමාජිකත්වයට නො ගැලපෙන බවත්, ඩීඑස්ඒ පැහැදිලි කල යුතු ය.

අවසාන වසයෙන්, ඩීඑස්ඒ සමග තිබෙන දේශපාලනික වෙනස්කම් නො තකා, සමාජවාදී සමානතා පක්ෂය, ඔබගේ පක්ෂයට හා එහි සාමාජිකයන්ට එරෙහිව දේශපාලනික දක්ෂිනාංශයෙන් එන ප්‍රහාරවලින් සංගතික ලෙස ආරක්ෂා කර ඇති බව පෙන්වා දීමට මට ඉඩ දෙන්න. කොංග්‍රස් සාමාජිකා ඔකාෂියෝ-කෝටෙස් ආරක්ෂා කරන ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ප්‍රමුඛත්වයෙහි ලා පලකරනු ලැබ ඇත. සත්‍ය වසයෙන් ම, මිචිගන් ආන්ඩුකාර ග්‍රෙචන් විට්මර් වැනි ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් මත්, ඔවුන් අන්ත-දක්ෂිනාංශයේ ප්‍රචන්ඩ තර්ජනයට ලක්වී ඇති විට, අපි මෙම පිලිවෙත ම අනුගමනය කර ඇත්තෙමු.

මම ඔබගේ පිලිතුර අපේක්ෂාවෙන් සිටිමි.

මෙයට,

විශ්වාසී,

ඩේවිඩ් නෝර්ත්

ජාතික සභාපති

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)