ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ විශේෂඥයන් ඒකාබද්ධව කොවිඩ්-19 පාලනයට අත්‍යවශ්‍ය හදිසි පියවර යෝජනා කරයි

ලංකාවේ කොවිඩ්-19 වෛරසයේ අන්තරායකාරී ව්‍යාප්තිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) මෙහෙය වීමෙන්, පසුගිය සතියේ පැවැත්වූ බව එම සංවිධානයේ වෙබ් අඩවිය වාර්තා කරයි. එම සාකච්ඡාවට, ලෝසෞස ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී ආචාර්ය/වෛද්‍ය ඔලීවියා නීවරස්, ලෝසෞස අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්, හොංකොං මහජන සෞඛ්‍යය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා ගුනරත්න ඇතුලු ප්‍රකට වෛද්‍ය වෘත්තීකයන් 15 ක පමන පිරිසක් සහභාගි වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා ශාඛාව

 එම සාකච්ඡාවේ දී රට තුලත් ජාත්‍යන්තරවත් උද්ගතව ඇති වසංගත තත්වය සලකා බලා ඇති අතර, අවසානයේදී ඔවුනගේ ඒකාබද්ධ නිරීක්ෂන සහ නිගමන සහිත වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. ඉදිරි සතිවල ලංකාවේ කෝවිඩ් වසංගත තත්වය අතිශයින් නරක අතට හැරෙන තත්වයක් පවතින බව පවසන එම වාර්තාව, දැන් ගන්නා තීන්දු මිලියන සංඛ්‍යාත ලාංකියකයන්ගේ ජීවිත කෙරෙහි බලපාන බවත්, ඉදිරි සති තුන හතර රෝග ව්‍යාප්තිය හා ජීවිත ගලවා ගැනීම අතින් තීරනාත්මක බවත් අවධාරනය කරයි. 

'COVID-19 රෝගීන් මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් කලමනාකරනය දුෂ්කර කරමින් රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය එයට දරාගතහැකි සීමාව කරා පැමින ඇත. සෞඛ්‍ය වෘත්තිකයන් සහ වසංගතය වැලැක්වීමේ කාර්ය මන්ඩලය (උදා: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු)) ආසාදනය වෙමින් පවතින අතර හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා මානව සම්පත් ප්‍රතිපත්ති සකස් කල යුතුය. පද්ධතිය පාලනය කල නොහැකි තත්වයට වේගයෙන් ගමන්කල හැකි “අවධි ලක්ෂ්‍යයක්” ඇත.'

සීග්‍රයෙන් ව්‍යාප්තවන ඉන්දියානු ප්‍රභේදය ලංකාවෙන් හමු වී තිබෙන පසුබිම තුල එහි ව්‍යාප්තියක් එන්නත්වලට ප්‍රතික්‍රියා නොදක්වන තත්වයක් නිර්මානය විය හැකි බවත්,  එන්නත්කරනය මගින් ප්‍රතිශක්තිය වැඩී රෝග ව්‍යාප්තිය අඩු කිරිමට තවත් සති 6-8 අතර කාලයක් ගත වන බැවින් එන්නත්කරනය පමනක් දැන් මුහුන දී සිටින අර්බූදයට පිලියම නොවන බවත් වාර්තාව කියා සිටී.  

ඉහත නිරීක්ෂන මත පිහිටා ගනිමින් පලමු පියවර ලෙස නිර්දේශ කර ඇත්තේ, නව ආසාදනවීම් හැකි ඉක්මනින් නවතා දැමීම සඳහා සමාජ සංචරනය බලගතු ලෙස සීමා කිරීමට ඉක්මන් පියවර ගතයුතු බවයි. ඒ අනුව, සමාජ සංචරනයන් බහුල ස්ථාන සති 2-3 ට වසා දැමීම හෝ සීමා කිරීම කලයුතු බව වාර්තාව කියා සිටී. දෙවන පියවර ලෙස නිර්දේශ කර ඇත්තේ, බරපතල තත්වයට පත්වන රෝගීන් හා මරන අවම කිරීමට ආන්ඩුව මේ වන විට ක්‍රියාවේ යොදවා ඇති ආසාදිත රෝගීන් නිවෙස් තුල රැඳවීම ඇතුලු සායනික රෙගුලාසි වෙනස් කිරීම හා දැඩි සත්කාර ඒකක සහ රෝහල් පහසුකම් ඉහල නැංවීමයි. 

ලෝසෞස සාකච්ඡාව තුල ඉදිරියට ගැනුනු සෞඛ්‍යය කාර්ය මන්ඩල රෝගයට ගොදුරු වීම මාරක ප්‍රතිඵල අත්කර දෙන්නකි. දැඩි සත්කාර ඒකකවල විශේෂිත පුහුනුව ලැබූ වෛද්‍යවරුන් හා හෙදියන් රෝගයට ගොදුරු වීම හා එවැනි පුහුනුවක් හදිසියේ ලබා දිය නො හැකි වීම නිසා ඇති වී තිබෙන තත්වය බරපතල එකකි. දිනෙන් දින එවැනි සිද්ධීන් වාර්තා වෙමින් පවතී. පුත්තලම් දිස්ත්‍රික්කයේ මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරු 8 ක් හෙදියන් 15 ක් ඇතුලු සෞඛ්‍යය කාර්ය මන්ලයේ 29 ක් ආසාදිත වීමෙන් ඊයේ එම රෝහල වසා දමා තිබේ. මේ වන විට ආසාදිත වී ඇති සමස්ත සෞඛ්‍ය සේවකයන් ගනන 3,00 ට අධිකය.    

එන්නත්කරනය රෝගය මැඩලීමේ එකම ක්‍රමය බව පවසමින් අගුලු දැමීමට එරෙහිව ආන්ඩුව ගෙනයන පිලිවෙත වෛද්‍ය විශේෂඥයෝ ප්‍රතික්ෂේප කරති. මේ වසරේ ජනවාරී 29 දා සිට තවමත් ජනගහනයෙන් එන්නත්කරනයට ලක් කොට ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. බස්නාහිර පලාතින් පිටත ජනයාට එන්නත් ලබා දීමක් තවම අරඹා නැත. බස්නාහිර පලාතේ එන්නත් මධ්‍යස්ථාන 47 ක් හා රජයේ රෝහල් 25 ක් මගින් එන්නත් ලබා දීම සිදු වන අතර මධ්‍යස්ථාන වැඩි කරමින් එන්නත්කරනය සැලසුම් සහගතව සිදු කිරීමට අවශ්‍ය පුහුනු සෞඛ්‍යය සේවකයන් නොමැතිවීම හේතුවෙන් එන්නත් මධ්‍යස්ථානවල තදබදය සහිත දිගු පෝලිම් වල පැය ගනන් රැඳී සිටීමෙන් රෝගය බෝවීමේ බරපතල අවදානමක් නිර්මානය කෙරී පවතී.  

වෛද්‍ය විශේෂඥයන් ඉදිරිපත් කර ඇති මෙම බරපතල තත්වය මගින් පෙන්නුම් කෙරෙන්නේ, අවම වශයෙන් සති 2 ට හෝ රට පූර්න අගුලු දැමීමකට යටත් කිරීම හා බිලියන ගනන් මුදල් සම්පාදනය කරමින් මහජන සෞඛ්‍යය සේවාවන් කඩිනමින් නගා සිටුවීම අත්‍යවශ්‍ය බවයි. 

නමුත්, පූර්න අගුලු දැමීමක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොව, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තැබීමේ ලොව පුරා ධනපති ආන්ඩුවල සාපරාධි පිලිවෙතයි. වසංගතය මධ්‍යයේ ලොවපුරා ආන්ඩු, මහ ව්‍යාපාරිකයන්ගේ හා මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වටිනා මුදල් නෝට්ටු අලුතින් මුද්‍රනය කොට පොම්ප කලහ. 

මුල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කොට ඇති මෙම 'ව්‍යාජ ප්‍රාග්ධනයට' සැබෑ වටිනාකම් අත්කරදිය හැක්කේ කම්කරු පංතියෙන් අතිරික්ත වටිනාකම් උකහා ගැනීමෙනි.  අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට දැක්කීමේ සාපරාධී පිලිවෙත යටින් පවත්නේ මෙම ධනපති අවශ්‍යතාවය යි.

එමෙන්ම, ගෝලීය වසංගතයට විද්‍යාත්මකව තහවුරු කෙරුනු එන්නත් සොයාගෙන තිබියදීත් එය අවශ්‍ය හදිසිභාවයෙන් බෙදා හැරීම වලකාලනු ලබන්නේ මහා ඖෂධ සමාගම්වල ලාභ අපේක්ෂාවන් සහ මහ බලවතුන් විසින් ක්‍රියාවට නගා ඇති ඖෂධ ජාතිකවාදයයි. 

ලංකාවේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර නො ගැනීම සම්බන්ධව වර්ධනය වන මහජන විරුද්ධත්වය හමුවේ ආන්ඩුව පසුගිය සති අන්තයේ සීමිත සංචරන සීමා පැනවීමක් ක්‍රියාවේ යෙද වූ අතර ලබන සති අන්තයේ සිට ද තවත් සතියක කාලයකට ද එම පියවරම ගෙන තිබේ. මෙය සිදු කෙරෙන්නේ, කඩින්කඩ පැනවෙන මෙම සීමිත සංචරන සීමා රෝග පාලනයට කිසිසේත් ප්‍රමානවත් නොවනබවට වෛද්‍ය විශේෂඥයන් කරන අවධාරනය මුලුමනින්ම ඉවත දමමිනි. ආන්ඩුව නැවත නැවතත් කියා සිටින්නේ, රෝගය බෝ කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති ඇඟලුම් වැනි අපනයන කර්මාන්ත සංචරන සීමා පැනවුවද විවෘතව තැබිය හැකි බවයි. 

මුදල්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ, සති අන්තයේ සංචරන සීමා පැනවීම් හේතුවෙන් රජයට රුපියල් කෝටි 6,000 ක පාඩුවක් සිදු වී ඇති බවයි. සංචරන සීමා ක්‍රියාත්මක කල ද රක්ෂන ඇතුලු අංශ කිහිපයක් ක්‍රියාත්මක වීමෙන් දල ජාතික නිෂ්පාදිතයට සිදු වූ දිනක පාඩුව කෝටි 1,500 ක් බව කබ්රාල් පැවසීය. 

“කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කලමනාකරනය කිරීමේ වැඩපිලවෙලකට ගමන් කිරීම ඉතාම වැදගත් බවත්, මේ අවස්ථාවේ වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට“ යයි කබ්රාල් නරුම ලෙස ප්‍රකාශ කරයි.  

කබ්රාල්ගේ ප්‍රකාශ තුලින් එලිමහනට විත් ඇත්තේ, ධනේශ්වර රාජ්‍යය හා කම්කරු පීඩිත මහජනයාගේ සමාජ අවශ්‍යතා අතර පවතින පරිපූර්න නො පෑහීම යි. කබ්රාල්ගේ ප්‍රකාශය ප්‍රතිරාව දෙන්නේ, දෛනිකව මිනිසුන් මිලියන භාගයක් පමන වෛරසය ආසාදනයට ගොදුරු වෙමින් 4,000 ක් පමන මරනය පත්වෙමින් පවතිද්දී “ඉන්දියාව බේරාගත යුත්තේ අගුලු දැමීමකින්“ යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කල ප්‍රකාශ සමගයි. 

පෞද්ගලික දේපල සහිත ධනපති ආර්ථික ක්‍රමය තුල “ලොකු, කුඩා' සෑම රටකම ධනපති පාලක පන්තීන් “ආර්ථිකය ආරක්ෂා කිරීම' යනුවෙන් අදහස් කරන්නේ, මහ ව්‍යාපාරික ධනපතියන්ගේ ලාභය ආරක්ෂා කිරීමයි. 

ඒ බව සනාථ කිරීමට වසංගතය තුල ලංකාවේ ඇඟලුම් ඇතුලු ප්‍රධාන කර්මාන්ත පවත්වා ගෙන යන ආකාරය විමසා බැලීම පමනක් වුව සෑහේ. මේ වන විට 2,000 ක් ඉක්මවූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවෙන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ කර්මාන්ත බහුල බස්නාහිර පලාතෙනි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදියන්ගෙන් වැඩිම පංගුව වාර්තා වන්නේ අපනයන ප්‍රවර්ධන කලාප පිහිටි කටුනායක සහ බියගම යන ප්‍රදේශ වලිනි. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ මේවන විට කම්හල් 55 ක 1,464 දෙනෙකු අසාදනය වී ඇති බව මැයි 10 දා අද පුවත්පත වාර්තා කලේ ය. 

ඊට අමතරව පානදුර මෝදර පිහිටි ඇඟලුම් කම්හලකින් ආසාදිත කම්කරුවන් 450 ක් සොයා ගෙන ඇතැයි ලංකාදීප ඊයේ වාර්තා කර තිබේ. දැනට වාර්තා වන තොරතුරුවලට අනුව ඇඟලුම් කම්කරුවන් තිදෙනෙක් මේ වන විට මරනයට පත්ව තිබේ. ඊයේ දිනයේ මරන 34 ක් වාර්තා වීමෙන් පසු ලංකාවේ සමස්ත කොවිඩ් මරන 1,000 සීමාව ඉක්මවා 1,015 ලෙස වාර්තා වේ.   

අවශේෂ කර්මාන්ත ශාලාවල සහ රාජ්‍ය ආයතනවල අනාරක්ෂිත කොන්දේසි යටතේ තදබදයෙන් පිරුනු පොදු ප්‍රවාහන සේවා තුල කම්කරුවන් වැඩට දැක්කීම අඛන්ඩව සිදුවෙමින් පවතී. 

මෙමගින් බලගතු ලෙස සනාථ වන්නේ, 'සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා සහ කර්මාන්ත සම්පූර්නයෙන්ම වසා දැමිය යුතු යැයි කම්කරු පන්තිය බල කල යුතු' බවටත්, 'අත්‍යවශ්‍ය සේවාවන්හි සේවය කරන අයට වෛරසය ආසාදනය නොවීමට නිසි ආරක්ෂාවක් ලබා දිය යුතු' බවටත්, 'රැකියා අහිමිවන අයට සම්පූර්නයෙන්ම වන්දි ගෙවිය යුතු' බවටත්, 'දුප්පත් ගොවීන්, ධීවරයින් සහ කුඩා ව්‍යාපාර සඳහා සමාජ සහයෝගය ලබා දිය යුතු' බවටත්, සමාජවාදී සමානතා පක්ෂය මැයි 08 දා නිකුත් කල ප්‍රකාශය  ඉදිරිපත්කරන ඉල්ලීම් වල වලංගුභාවයයි. 

Loading