පාර්ලිමේන්තුව යලි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය නියෝග කිරීමත් සමඟ නේපාලයේ දේශපාලන කැලඹීම් උත්සන්න වෙයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 06 දින Political turmoil in Nepal intensifies as Supreme Court orders reinstatement of parliament යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

නේපාල ශ්‍රේෂ්ඨාධිකරනය පෙබරවාරි 23දා, අගමැති කේ. පී. ෂර්මා ඔලි විසින් පහල මන්ත්‍රී මන්ඩලය විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි තීන්දු කල අතර, එය දින 13 තුල නැවත කැඳවන ලෙස නියෝග කලේය. එය අගමැතිට දේශපාලන පරාජයක් බවට පත් විය.

කේ. පී. ෂර්මා ඔලි [විකිපීඩියා වෙනි]

පාලක ස්ටැලින්වාදී නේපාල කොමියුනිස්ට් පක්ෂය (එන්සීපී) තුල මාස ගනනාවක් තිස්සේ පැවති ගැටුමකට ප්‍රතිචාර දක්වමින් ඔලි, විශ්වාසභංග යෝජනාවක් මග හැරීම සඳහා පලමුව පාර්ලිමේන්තුවට කල් තැබූ අතර, පසුව දෙසැම්බර් 20 වන දින එය විසුරුවා හැරියේය.

වසර දෙකකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔලී ගත් තීරනයට නේපාල ජනාධිපති බිදියා දේවි බන්ඩාරි අනුමැතිය ලබා දුන් අතර, අප්‍රේල් 30 සහ මැයි 10 යන දිනවල මහ මැතිවරනය පැවැත්වෙන බව ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුරුන්ද යන්න පිලිබඳව එන්සීපී හි සම සභාපතිවරුන් වන පුෂ්පා කමල් දහාල් සහ ඔලී අතර ගැටුම් ඇති විය. තම පක්ෂය වන නේපාල-මාඕවාදී මධ්‍යස්ථානය සහ ඔලිගේ නායකත්වයෙන් යුත් නේපාල එක්සත් මාක්ස්-ලෙනින්වාදී පක්ෂය අතර 2017 දී ඇතිකරගත් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට අනුකූලව පසුගිය වසරේ මැද භාගයේදී තමා අගමැති ධුරයට පත් විය යුතු බව දහාල් අවධාරනය කලේය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඔලී ගත් තීරනය අභියෝගයට ලක් කරමින් පක්ෂයේ දහාල් කන්ඩායම ඇතුළුව, විවිධ “සිවිල් අයිතිවාසිකම්” කන්ඩායම් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කරන ලදී.

අගවිනිසුරු කොලෙන්ද්‍රා ෂුම්ෂර් රානාගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක විනිසුරු මඩුල්ලක් ලෙස පෙනී සිටි විනිසුරුවරුන් පස්දෙනා ඒකමතිකව තීන්දු කලේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවය. ඔහුට බහුතරයක් නොමැති නිසා පාර්ලිමේන්තුව විසිරුවා හල බවට ඔලි කල ප්‍රකාශය, ඔවුන් ප්‍රතික්ෂේප කල අතර, ඔහුට “ජනතාව මත මූල්‍ය බර නොපටවා” ආන්ඩුවක් පිහිටුවා වෙනත් මාර්ග අනුගමනය කල හැකිව තිබුනේ යැයි කියා සිටියේය.

එහි නීතිමය තීන්දුව තිබියදීම ශ්‍රේෂ්ඨාධිකරන තීරනය පෙන්නුම් කරන්නේ, පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් ඔලීගේ වැඩ කටයුතුවලට සතුරු වන අතර ඔහුගේ දූෂිත හා වැඩි වැඩියෙන් අත්තනෝමතික පාලනයට එරෙහි වැඩෙන අතෘප්තිය ගැන සැලකිලිමත් වන බවයි.

අධිකරන තීන්දුවට පෙර හිටපු අගවිනිසුරුවරුන් සිව්දෙනෙකු - මින් බහදූර් රයාමාජි, කල්‍යාන් ශ්‍රෙෂ්තා සහ සුෂිලා කාර්කි, අනුප් රාජ් ෂර්මා, ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔලී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කලහ.

නිල තීන්දුවට දිනකට පෙර නේපාලයේ යුද හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් පූර්නා චන්ද්‍ර තාපා අගවිනිසුරු රානා හමුවිය. ඒ, වෙන කරුනක් ගැන යැයි පැවසුව ද රැස්වීම යොදාගෙන තිබූ වේලාවෙන් පැහැදිලි වන්නේ, විසුරුවා හැරීම පිලිබඳව සාකච්ඡා කල බවයි.

පෙබරවාරි 1 වන දින හමුදාව විසින් සිය බලය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි. කලින් පැවති නේපාල රාජාන්ඩුවේ කේන්ද්‍රීය බල කුලුනක් වූ හමුදාව, පරිපාලනය ගැඹුරින් අලලා ගත් දේශපාලන අර්බුදය තුල, ගැටලු නිරාකරනය කරන්නේ කෙසේද යන්න පිලිබඳව තමන්ගේම ගනන් ගැනීම් වල නිරතව සිටිනවා විය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් පසු ඔලී “සදාචාරාත්මක හේතුන් මත” ඉල්ලා අස්වනු ඇති බවට මාධ්‍ය අනුමාන කලද, ඔහු සිය තනතුරටම ඇලී සිටී. සියලුම පාර්ලිමේන්තු පක්ෂ දැන් ආන්ඩුවක් පිහිටුවීම සඳහා බලු පොරයකට සම්බන්ධව සිටිති.

නේපාල කොංග්‍රස් (එන්සී) නායක ෂර් බහදූර් ඩියුබා මීලඟ අගමැති වීමේ හැකියාව ගැන ගනන් බලමින් සිටී. “ඔලීව නෙරපා හැරීම” සඳහා නේපාල කොමියුනිස්ට් පක්ෂයේ දහාල්-මාධව් කුමාර් කන්ඩායම සමඟ අත්වැල් බැඳ ගැනීමට පක්ෂය පසුබට නොවිය යුතු බව එන්සී ප්‍රධාන ලේකම් ශෂාන්ක් කොයිරාල මාධ්‍යවේදීන්ට පැවසීය.

ඔලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කල හැකිද යන්න දහාල්-නේපාල කන්ඩායම ගනන් බලන අතර, ඒ සඳහා වෙනත් පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය වේ. කෙසේ වෙතත්, එසේ කිරීමට නම් එය විකල්ප අගමැතිවරයෙකු නම් කල යුතුය. ඔලි මේ වන විට වෙනත් පක්ෂ සමඟ සන්ධානයක් අපේක්ෂා කරන අතර බ්‍රහස්පතින්දා නේත්‍රා බික්‍රම් චන්ද්ගේ නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ තහනම ඉවත් කරන ලදි.

පාලක ප්‍රභූවේ ගැඹුරු බෙදීම්වලට යටින් පවතින්නේ, වසංගතයෙන් ජීවිත, රැකියා හා සමාජ තත්වයන් විනාශයට පත්ව ඇති කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ මහජන විරෝධයයි.

නේපාලයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව සාපේක්ෂකව 2,000 ට වඩා අඩු වන අතර වාර්තාගත ආසාදන සංඛ්‍යාව 200,000 ට වඩා වැඩි ය. මෙම සංඛ්‍යා, අඩු පරීක්ෂන මට්ටම්වල ප්‍රතිඵල බව විශේෂඥයෝ පවසති.

ආරම්භයේ සිටම ඔලි ආන්ඩුව, කොවිඩ්-19 නේපාල ජනගහනයට විනාශකාරී ආර්ථික බලපෑම් ඇති කල කොවිඩ්-19 ප්‍රහාරය නොසලකා හැර ඇත.

ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, නේපාලයේ 2020 දල දේශීය නිෂ්පාදන වර්ධනය, 2019 දී පැවති සියයට 7 ට සාපේක්ෂව සියයට 0.2 ක් පමනි. සංචාරක හා අවිධිමත් අංශයේ රැකියා අහිමිවීම් මඟින් පෞද්ගලික නය මට්ටම් නාටකාකාරව ඉහල දමා තිබේ.

ඔක්ස්ෆෑම් හි 2019 වාර්ෂික වාර්තාව සඳහන් කලේ, රටේ මිලියන 26 ක් වූ ජනගහනයෙන් මිලියන 8.1 කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙන බවයි. “කාන්තාවන් සහ ගැහැනු ලමයින් දුප්පත් වීමට වැඩි ඉඩක් ඇත… නේපාලයේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා ප්‍රමානයක් මන්ඳගාමී වර්ධධනයක් (stunted) දක්වන අතර, සියයට 10 ක් උග්‍ර මන්දපෝෂනයෙන් පෙලේ. නේපාලයේ ධනවත්ම සියයට 10 දෙනාගේ ආදායම දුප්පත්ම සියයට 40 ට වඩා තුන් ගුනයකටත් වඩා වැඩිය.

වාර්ෂිකව පුද්ගලයන් 500,000 කට වැඩි පිරිසක් ශ්‍රම බලකායට ඇතුලු වන නමුත් ඔවුන්ගෙන් සියයට 80 ක් පමනම සංක්‍රමනය වන්නේ, රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙනි. නේපාල කම්කරුවන්ගෙන් සියයට 32 ක් පමන සුලු ආදායමක් සඳහා සතියකට පැය 40 කට වඩා වැඩි කාලයක් වැඩ කරති.

ඔලී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව වැඩ වර්ජන හා උද්ඝෝෂන පුපුරා ගියේය. සමහරක් දේශපාලන පක්ෂ විසින් විරෝධතා කැඳවනු ලැබුව ද, සහභාගී වූවන් එසේ කලේ ඔවුනට මෙම සංවිධාන කෙරෙහි විශ්වාසයක් තිබූ නිසා නොව, සමස්ත පාලක පන්තියට එරෙහිව ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමට ය.

නේපාල දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතු සාධකය, ගෝලීය භූදේශපාලනික ආතතීන් සහ එදිරිවාදිකම් වේ.

චීනය අභිබවා යමින්” කත්මන්ඩු හි සිය අනුහස පුලුල් කර ගැනීමට, එක්සත් ජනපදය සහ ඉන්දියාව, උනන්දු වෙති. චීනය සිය පැත්තෙන් නේපාලයේ රැඳී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටී. ඉන්දියාව සහ චීනය යන දෙරටම, කත්මන්ඩු නුවර සාකච්ඡා සඳහා ඉහල පෙලේ නියෝජිතයින් යවා තිබේ.

පෙබරවාරි 26 වන දින ඉන්දීය තානාපති විනයා මොහාන් ක්වාත්‍රා කොංග්‍රස් සභාපති ඩියුබා හමුවිය. නේපාල කොන්ග්‍රස් පරිපාලනයට, නවදිල්ලිය කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ.

ඔලි පරිපාලනය සමඟ සමීප සබඳතා ඇති චීනය මුලින් උත්සාහ කලේ, අභ්‍යන්තර කල්ලි වෙනස්කම් සඳහා පැලැස්තර ඇලවීමට ය. කෙසේ වෙතත්, එන්සීපී භේදයෙන් නේපාල කොන්ග්‍රසය වාසි ලබන්නේ නම්, බීජිනය නව සන්ධාන ප්‍රතික්ෂේප නොකරනු ඇත. චීන තානාපති හූ යැන්කි කොන්ග්‍රස් නායකයා සමඟ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය විසින් නේපාලයේ බලපෑම සඳහා කරගෙන යන සටන ගැන මාර්තු 1 දා කත්මන්ඩු පෝස්ට් පුවත්පත මෙසේ ප්‍රකාශ කලේය. “එක්සත් ජනපදය ඇතුලු බටහිර බලවතුන්ගේ අවශතාවයන් ස්වාභාවිකවම ඉන්දියාව සමඟ සමපාත වේ. එහෙත් නේපාලය සම්බන්ධයෙන් ගත් කල, මහා බලවතුන්ගේ මෙම නිමක් නැති මැදිහත්වීම, දේශපාලන ක්‍රියාවලිය සමනය කිරීමකට වඩා, තවදුරටත් සංකීර්න කරනු ඇත. ”

නේපාලය භූ-දේශපාලනික සුලියේ ගැඹුරට ඇදී ගොස් තිබේ. ඒ අතරම, ස්ටැලින්වාදී-මාඕවාදී සංවිධාන ඇතුලු ධනවාදී පක්ෂ කිසිවකට නේපාලයේ කම්කරුවන් සහ දුප්පතුන් මුහුෙන දෙන සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි අතර, පාලක ප්‍රභූව සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත වාඩි වී සිටී.