වතුකරයේ හා වරායේ කම්කරු අරගලවල පාඩම්

පසුගිය දින වලදී ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් කම්කරු කේන්ද්‍රස්ථානයන් වන, වතුකරයේ සහ කොලඹ වරායේ පංති අරගල දෙකක් පුපුරා ගියේය ගියේය. මූලික දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා දෙලක්ෂයකට ආසන්න වතු කම්කරුවෝ පෙබරවාරි 5දා එක් දින වර්ජනයක නිරත වූ අතර, වෘත්තීය සමිති වතු සමාගම්වල අවශ්‍යතාවයන් ඉටු කරමින් නැවතත් එම අරගලය පවා දී ඇත. කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු සටන්කාමිත්වය ඉන්දියානු විරෝධයක් තුල ගිල්වා දැමූ වෘත්තීය සමිති, පුද්ගලීකරනය ඉදිරියට ගෙනයාමේ ආන්ඩුවේ වැඩපිලිවෙල පිලිගනිමින්, අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය අත්හලේය.

දිනක මූලික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා 2015 දී ආරම්භ කල වතු කම්කරු අරගලය, වසංගතය හමුවේ වේගයෙන් ගැඹුරු කෙරුනු දුෂ්කර ජීවන කොන්දේසි යටතේ යලි පුපුරා ගියේය. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගෙන් බහුතරයක් ජීවත් වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ, හැටන්, බගවන්තලාව, නෝර්වුඩ්, මස්කෙලිය, තලවකැලේ ඇතුළු ස්ථාන කිහිපයක හර්තාල් ව්‍යාපාර සංවිධාන කර තිබූ අතර, කුඩා වෙලෙන්දෝ සිය කඩ සාප්පු වසා දමා වර්ජනයට සහාය පල කල හ. කෙටි දුර බස් ධාවනය නතර කෙරුනු අතර, පාසල් ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම හා සේවයට වාර්තා නො කිරීම මගින් වර්ජනයට සහයෝගය දැක්වූහ.

වතු කම්කරුවන්ගේ වැටුප් උද්ඝෝෂනයට සහාය පලකරමින් හැටන් නගරයේ කඩ සාප්පු වසා දැමේ

පෙබරවාරි 5 වතු කම්කරු වර්ජනය කැඳවුම් කර තිබුනේ ආන්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසිනි. 2015 ජීවන වියදම සලකා ඉදිරිපත් කෙරුනු රුපියල් දහසක දෛනික වැටුප අදදින කිසිසේත් ප්‍රමානවත් නොවන තතු යටතේ, සීඩබ්ලිව්සී ය මෙම අරගලය කැඳවූයේ ඉල්ලීම රුපියල් දහසේ සීමාවේ රඳවා, කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් වලක්වමින් අරගලය දියකර හැරීම සඳහාය.

පෙබරවාරි 8 දින කම්කරු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති වැටුප් පාලක සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරුනු, රුපියල් 900 ක මූලික දෛනික වැටුපක් සහ රුපියල් 100 ක දෛනික දීමනාවක් ලබාදීමේ යෝජනාව වෘත්තීය සමිති විසින් පිලිගෙන ඇත්තේ රුපියල් දහසේ මූලික වැටුප් ඉල්ලීම පවා අත් හරිමිනි. කෙසේවෙතත්, රුපියල් 900ක මූලික වැටුප හෝ ලබාදීමට වතු සමාගම් මෙතෙක් අනුමතිය පල කර නොමැත.

මෙම තීරනයෙන් පසුව, අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ඔහුගේ නිල නිවසට ගිය සීඩබ්ලිව්සී ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන්, නියෝජ්‍ය සභාපති සෙන්තිල් තොන්ඩමන් සහ භාන්ඩාගාරික මරුතපාන්ඩි රාමේෂ්වරන් රජයට ස්තූති කල බව වාර්තාවේ. ආන්ඩුවට බරපතල අභියෝගයක් ලෙස වර්ධනය වීමට නියමිතව තිබූ අරගලයක් තම සමිතිය මැදිහත්වී ලොප්කර දැමූ බව රාජපක්ෂට සහතික කරමින් ආන්ඩුව තුල තම ස්ථානය තහවුරුකර ගැනීම සීඩබ්ලිව්සී නායකයන්ගේ ගමනේ අරමුන වූවාට සැක නැත.

'ඉහල වැටුප් හා සේවා අයිතීන් සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කරනු! ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන හිසින් සමාජවාදී සමනතා පක්ෂය (සසප ), පෙබරවාරි 3 දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා වතු කම්කරුවන් වෙත ඉදිරිපත් කල ක්‍රියාමාර්ගයේ මෙසේ සඳහන් කෙරිනි:

'රාජපක්ෂ පාලනයේ ඍජු හවුල්කරුවෙකු වන සීඩබ්ලිව්සී හා අනෙකුත් සමිති වර්ජනය කැඳවා ඇත්තේ, ශීලාචාර ජීවිතයක් සඳහා ප්‍රමානවත්වන වැටුපක් සඳහා අරගලයකට ඒමෙන් කම්කරුවන් වලක්වා ආන්ඩුවේ, වතු සමාගම් වල සහ වෘත්තීය සමිතිවල සම්මුතියකට ඔවුන් යටත් කිරීම සඳහාය.' සසප හි එම පෙරදැක්ම මුලුමනින්ම සනාථ වී ඇත.

කොලඹ වරාය කම්කරුවන්ගේ අරගලය වැඩී ආවේ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) ඉන්දියානු අදානි සංගතයට සම්බන්ධිත සමාගමකට පැවරීමට එරෙහිවය. පසුගිය වසරේ ජූලි 31දා 10,000කට අධික කම්කරුවෝ මෙම පුද්ගලීකරන වැඩපිලිවෙලට විරුද්ධත්වය පල කරමින් වැඩ වර්ජනයට එලැඹියහ. අගමැති මහින්ද රාජපක්ෂ දුන් ව්‍යාජ පොරොන්දුවක් මත සමිති නායකයෝ එම වර්ජනය අත් හලහ.

නමුත්, 2021 ජනවාරි මාසය වනවිට ආන්ඩුව ප්‍රකාශ කලේ, 2019 දී ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව ඊසීටී යේ සියයට 49 ක කොටස් ඉහත සමාගමට පවරා දීමට සිදුවන බවයි. ඊට එරෙහිව පැනනැගි කම්කරු විරෝධය හමුවේ, වරාය වෘත්තීය සමිති සන්ධානය ජනවාරි 29 දින සිට 'අකුරට වැඩ කිරීමේ' විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල අතර කම්කරුවෝ 10000ක් පමන ඊට සම්බන්ධ වූහ. වරාය අධිකාරිය යටතේ පවතින ගාල්ල වරායේ කම්කරුවෝ ද ඊට සහයෝගය පල කරමින් පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කලහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරාය සේවා සමිතිය සහ ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතිය ඇතුලු වෘත්තීය සමිති 23ක සන්ධානය එම විරෝධතාවය කැඳවූයේ, හුදෙක් නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට එරෙහිවය. මෙම වෘත්තීය සමිති කිසිවක් පුද්ගලීකරනයට විරුද්ධ නොමැත.

වරාය කම්කරුවෝ 1999 සිට වරාය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව සටන් වැදී ඇති අතර, වෘත්තීය සමිති කර ඇත්තේ එම අරගල කඩාකප්පල් කොට පාවාදීම පමනි. 1999 දී දකුනු ආසියා ගේට්වේ පර්යන්තය (එස්ඒජීටී) පුද්ගලීකරනය කිරීමට එරෙහි ව වරාය කම්කරුවෝ කාර්මික ක්‍රියා මාර්ගයකට පිලිපන් අතර වෘත්තීය සමිති එම අරගලය පාවාදුන් හ. 2013 දී කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (සීඅයිසීටී) පුද්ගලීකරනය කිරීමට නැවතත් මෙම සමිති දායක වූහ.

2021 ජනවාරි මාසයේ ඉහත සමිති සන්ධානය, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජනතා විමුක්ති පෙරමුන, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ වෙනත් වෘත්තීය සමිති එක්ව, 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින්අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගොඩනගමින්, පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු විරෝධය 'ඉන්දියානු විරෝධී දේශප්‍රේමයක්' තුල කොටු කිරීමට වැඩ කලහ.

පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව, කුප්‍රකට වර්ගවාදී බෞද්ධ භික්ෂුවක වන ඇල්ලේ ගුනවංස සමග වරාය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක

කොලඹ වරාය පුද්ගලීකරනයට එරෙහි අරගලය, ශ්‍රී ලංකාවේ ද, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව ද කම්කරු පන්තිය මුහුන දෙන භූ-දේශපාලනික ප්‍රශ්න සමග අත්‍යන්තයෙන් බැඳී ඇති බවත්, ශ්‍රී ලංකාව තුල චීනයේ ආනුභාවයට වල කැපීම පිනිස, ඇමරිකාව සහ ඉන්දියාව එක්ව ක්‍රියාවට නංවන සැලසුම්වල කොටසක් ලෙස ඉන්දියානු ආන්ඩුව කොලඹ වරාය තුල තම පය ගසා ගැනීමට යත්න දරන බවත් සසප ලෝසවෙඅ හරහා නිරන්තරව පෙන්වා දුන්නේ ය. චීනයට එරෙහි ඇමරිකානු යුද මූලෝපායික වැඩකටයුතුවල පෙරමුනු රාජ්‍යයක් ලෙස ඉන්දියාව ක්‍රියා කරන බව ද එහිදී පැහැදිලි කෙරුනි.

ජනවාරි 21 දා ලෝසවෙඅ හි පලවූ ලිපියක ඉහත කරුනු පැහැදිලි කරමින් වරාය කම්කරුවන්ගේ අරගලයට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේ මෙසේය: 'ගෝලීකරනය වූ ධනපති ආර්ථිකය තුල ලාභ ශ්‍රමය සොයා ලොවපුරා හඹායන ප්‍රාග්ධනයට සහ එහි මූලෝපායික සැලසුම් වලට එරෙහි කම්කරු පංතියේ සටන, අනිවාර්යයෙන්ම, ලාභය අරමුනු කරගත් 'ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සටනකි. එය අධිරාජ්‍යවාදයට එරෙහි මෙන්ම, එහි බත්බැලයන් වන තම රටේ 'ධනපති පංතියට, ධනපති ආන්ඩුවට සහ ධනපති රාජ්‍යයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනකි.'

ඉන්දියානු කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පංතියේ එකමුතුව මේ සඳහා අනිවාර්ය වන බවත්, ඉහත කී 'ජාතික ව්‍යාපාරයේ' අරමුන එවන් ක්‍රියාමාර්ගයකින් වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය සන්නද්ධ කිරීම වලකාලීම බවද එම ලිපියෙන් පෙන්වා දුනි.

කෙසේ නමුත්, 'අකුරට වැඩ කිරීම' අඛන්ඩ වැඩ වර්ජනයක් බවට පරිවර්තනය කරන බවට සමිති තර්ජනය කරත්ම, වසංගතයෙන් මහජනතාව මුදාගැනීම සම්බන්ධයෙන් ආන්ඩුව දැක්වූ සාපරාධී නොතැකීම සහ වසංගතයෙන් උග්‍ර කෙරුනු ආන්ඩුවේ ප්‍රහාර හමුවේ

කෝප ගැන්වී සිටින අවශේෂ කම්කරුවන්, වෘත්තීය සමිතිවල ස්වෝත්තමවාදී ස්වභාවය නො තකා, වරාය අරගලය සමග ඒකාබද්ධවීමේ හැකියාව ගැන ගනන් බැලූ ආන්ඩුව, ඊසීටී ය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග අත්සන්කර තිබූ අවබෝධතා ගිවිසුමෙන් ඉවත්ව, ඊසීටී ය වරාය අධිකාරිය යටතේ “සංවර්ධනය” කරන බව පෙබරවාරි 1 දා නිවේදනය කලේය.

දක්ෂිනාංශික ජාතිකවාදී කොටස්වල-එනම් මෑත මැතිවරනවලදී රාජපක්ෂ විසින් බලමුලුගන්වන ලද බලවේගම-මෙම“විරෝධය” තමන්ගේ පාලන තන්ත්‍රයේ බිඳෙනසුලු බව හෙලිදරව් කරනු ඇතැයි යන ජනාධිපති රාජපක්ෂ කනස්සල්ල ද මෙම තීරනය පිටුපස විය.

“ජාතික ව්‍යාපාරයේ” සියලු සංවිධාන ආන්ඩුවේ තීන්දුව ජයග්‍රහනයක් ලෙස පිලිගනිමින් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයද අවසන් කලහ.

ඉන්දියාව තෘප්තිමත් කිරීමේ උත්සාහයක් දැරූ ආන්ඩුව, වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට පොරොන්දු විය. ආන්ඩුව සූදානම් වන්නේ වෘත්තීය සමිතිවල සහයෝගයෙන්, වරාය අධිකාරිය යටතේ පවතින ගාල්ල වරායේ අක්කර 7කට ආසන්න භූමි භාගයේ මෙන්ම, ත්‍රිකුනාමල වරායේ සහ දික්ඕවිට වරායේ ද, පුද්ගලික අංශය සමග එක්ව මෙහෙයුම් දියත් කිරීමට බව වරාය අධිකාරියේ සභාපති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කල බව පෙබරවාරි 4 දින හිරු ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය.

පුද්ගලීකරනයට එරෙහි කම්කරු විරෝධය ඊනියා 'නැගෙනහිර ජැටිය බෙිරා ගැනීමේ සටනක' කොටුකොට ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට ගැම්ම සපයාදුන් මෙම 'ජාතික ව්‍යාපාරයට' සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ නරුම ලෙස කියා සිටියේ “නැගෙනහිර ජැටිය විකුනන්න එපා කියන සටන් පාඨය ජයග්‍රහනය කර' ඇති බවයි.

පුද්ගලීකරනය පරාජය කිරීමට සහ වරාය කම්කරුවන්ගේ වැටුප් අරගල ජයග්‍රහනය කිරීමට පෙසප යෝජනා කරන්නේ, වර්ගවාදීන්, ධනපති පක්ෂ සහ ඊනියා සමාජ ක්‍රියාකාරිකයන් එක්ව ගොඩනගන 'ජාතික ව්‍යාපාරය' බඳු ප්‍රතිගාමී 'මහජන ව්‍යාපාරයන්' ය. මෙම 'මහජන ව්‍යාපාර' තොරොම්බල් කරන ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය ඇතුලු ජාතිකවාදයේ හා දේශප්‍රේමයේ විෂ ප්‍රතික්ෂේප කරමින් කම්කරුවෝ ඉන්දියාවේ හා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ විය යුතු ය.

කොවිඩ් 19 වසංගතයෙන් මිලියන සංඛ්‍යාත ජීවිත බිලි ගනිද්දී, ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යමින් තම ජීවිත අනතුරේ හෙලීමටත්, වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා තම උරමත පැටවීමටත්, රටක් රටක් පාසා ධනපති පාලකයන් ක්‍රියාවට නංවා ඇති පිලිවෙත් වලට එරෙහිව කම්කරු පංතිය ජාත්‍යන්තර පරිමානව අරගලයට පිවිසෙමින් සිටී. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සහ වරාය කම්කරුවන්ගේ අරගල මෙම ජාත්‍යන්තර වර්ධනයේ ප්‍රකාශනයකි.

මෙම අරගල තලා දැමීම සඳහා, ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ධනපති පාලකයෝ ආඥාදායක පාලන රූපයන් කරා වේගයෙන් මාරු වෙමින් සිටිති. වෘත්තීය සමිති වනාහි, කම්කරු පංතිය මෙම ප්‍රහාරයන්ට යටත් කිරීමේ දැනුවත් උපකරන බව ජාතිකව සහ ජාත්‍යන්තරව වඩවඩාත් තහවුරු වෙමින් පවතී. අවශ්‍ය වන්නේ වෘත්තීය සමිති වලින් බිදීගත්, ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරන ගැනෙන සහ කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය කරන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු වරායේ හා වතුකරයේ ගොඩනැගීමයි.

2021 පෙබරවාරි 06 දා ලෝසවෙඅ හරහා සසප නිකුත් කල ප්‍රකාශයෙහි සඳහන් කල පරිදි, 'සියලු සමාජ අයිතීන් රැකීමේත් පුද්ගලීකරනය පරාජය කිරීමේත් එකම ඉදිරි මාවත වන්නේ, මහා බැංකු, සංගත හා වතු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමත්, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමත් ය. මෙම ක්‍රියා මාර්ගය ක්‍රියාවට දැමීම සඳහා ගම්බද දුගීන් සහ අනෙකුත් පීඩිත ජනයා රැලි කරගන්නා කම්කරු පන්තිය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදිය යුතු ය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් වන මෙය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගෙඩනැගීම සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ. සසපට බැඳී එම අරගලය ඉදිරියට ගෙන යන මහජන පක්ෂය ලෙස එය ගොඩනැගීමට එක් වන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.'

Loading