"වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සමිති එකමුතුවේ" නායකයෝ උද්ඝෝෂනයක් පවත්වති

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ නැ‌ගෙනහිර පර්යන්තය ඉන්දියානු 'අදානි සමාගමට පැවරීමට එරෙහිව' නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ නායකයෝ, දෙසම්බර් 17 දින, 'නිහඩ කලු විරෝධතාව' නමින් උද්ඝෝෂනයක් පැවැත්වූහ. ජාතිකවාදී ඉල්ලීම් කිහිපයක් මත කැඳවා තිබූ එය, වරාය පුද්ගලීකරනයට එරෙහිව වැඩෙන සේවක විරෝධය දියකර හැරීමේ හා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කම්කරුවන් අතර ජාතිකවාදී බෙදීමක් ඇතිකරන ප්‍රතිගාමී උද්ඝෝෂනයකි.

නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව යනු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පාලනය කරන වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, වානීජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් නිදහස් පක්ෂයේ වරාය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිතිවල එකතුවකි.

ඉහත 'එකමුතුවෙන්' බෙදාහල පත්‍රිකාවක් මගින් විරෝධතාවයට කැඳවා තිබුනේ සමිති එකමුතුවේ, නායකයන්, එහි නිලධාරීන් හා ක්‍රියාකාරීන් පමනි. එය වරාය කම්කරුවන් උද්ඝෝෂනයට සම්බන්ධවීම වැලැක්වීමේ දැනුවත් තීන්දුවකි.

වෘත්තීය සමිතිවල නොමග යැවීම් පැවතිය දී ම, ජූලි මාසයේ දී, වරාය පෞද්ගලීකරනයට එරෙහි ව කම්කරුවෝ දහස් ගනනින් සහභාගී වෙමින් විරෝධතා පැවැත් වූහ.

ජූලි මාසයේ සමිති නායකයන් දොඹකර මුදුනට නැගගෙන කල වඳ විරෝධය ප්‍රතික්ෂේප කල කම්කරුවෝ සමිතිවලට පිටින් අරගලයකට එලඹුනහ. වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවා නියෝගවලට යටත් කරමින් එහි කම්කරුවන් දඬු ගැසීමේ රාජපක්ෂ ආන්ඩුවේ මර්දනයට වෘත්තීය සමිති සහයෝගය දුන්නේ යලි එවන් අරගල මතුවීම කල්තියාම වැලක්වීමේ දුෂ්ට අරමුන ඇතිවය.

පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර බලගතු විරෝධයක් පවතින නමුත්, සමිති ආන්ඩුවට පක්ෂපාතී බව දන්නා නිසා සමිති නායකයන්ගේ පුහු උද්ඝෝෂන කෙරෙහි කම්කරුවන් සලකන්නේ පිලිකුලින් බව වරාය කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

වෘත්තීය සමිතීවවල ප්‍රයත්නය වන්නේ, 'ඉන්දියානු අදානි සමාගම පලවා හරිනු'යනුවෙන් ඉන්දියානු විරෝධයක් අවුලුවා පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ අරගලය ප්‍රතිගාමී ජාතිකවාදී මාවතකට තල්ලු කොට ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමය. 'සිංහලේ' සංවිධානයේ සහයෝගය ඔවුන්ට ලැබෙන බව “වරාය එකමුතුව “ නම් වෘත්තීය සමිති එකමුතුවේ මුහුනු පොතේ සටහනක ඇත.

සිංහලේ සංවිධානය මැඩිල්ලේ පඥ්ඥාලෝක භික්ෂුවගේ නායකතස්වය සහිත සිංහල-බෞද්ධ ස්වොත්තමවාදී වර්ගවාදී නඩයක් විසින් මෙහෙයවන අරටුවටම ප්‍රතිගාමී සංවිධානයකි. එය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රීලපොපෙ බලයට ගෙන ඒමට දරදිය ඇද්දේය. එම සංවිධානය ද වරාය සමිති එකමුතුව සමග තකට තක ගැලපෙන පරිදි නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පැවරීමට විරුද්ධව ජාතිකවාදී උද්ඝෝෂනයක නිරතව සිටී.

කුප්‍රකට වර්ගවාදීන් වන ආන්ඩුවේ කොටස්කාර ජාතික නිදහස් පෙරමුනේ විමල් වීරවංශට සහ පිවිතුරු හෙල උරුමයේ උදය ගම්මන්පිලට ද ඔවුන්ගේ ආධාරයට පැමිනෙන ලෙස සමිති එකමුතුවේ නායකයන් ඉල්ලා ඇත. පුද්ගලීකරනයට එරෙහිව වරාය කම්කරුවන්ගේ අව්‍යාජ අරගලයක් මතුවීම වලක්වා ඔවුන්ව අතිශය ප්‍රතිගාමී අගාධයකට දැමීමට සමිති නායකයන් උත්සාහ කරන බව අපි වරාය කම්කරුවන්ට අනතුරු අඟවමු.

වෘත්තීය සමිති විසින් නිකුත් කරන ලද පත්‍රිකාවක සඳහන් කර ඇති සටන් පාඨ මෙසේය: 'නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පමනක් ක්‍රියාත්මක කරනු!, නගෙනහිර පර්යන්තයට රැගෙන ඒමට උත්සාහ දරන ඉන්දියානු අදානි සමාගම පලවා හරිනු!, ජාතියේ ඩොලර් උල්පත ශ්‍රී ලංකා වරාය අධිකාරිය සුරකමු!, ජාතික සම්පත් විදේශීයකරනය නතරකරනු!'

ඔවුන්ගේ සටන පුද්ගලීකරනයට එරෙහිව නොව හුදෙක්ම ඉන්දියානු සමාගමට පැවරීමට එරෙහිවය. කම්කරුවන්ගේ පඩි පත හෝ කැපකර වරාය අධිකාරිය යටතේ නැගනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල සොයාදෙන බවත් ලාභ උත්පාදනය කර දෙන බවටත් ඔවුහු රාජපක්ෂ ආන්ඩුවට සහතික වෙති.

උද්ඝෝෂනය තුල දී මාධ්‍යට කතා කල, ආන්ඩුව සමග සමීප සම්බන්ධතාවක් ඇති සමිති නායකයෙකු වන, වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ශ්‍යාමාල් සුමනරත්න ආන්ඩුවේ ආරක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙමින් මෙසේ පැවසීය:'නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට අපි සූදානම්. රටේ වටිනාම සම්පත ආරක්ෂා කිරීමට රජය කැමති නම්, එහි ආයෝජකයින් වීමට අපි සූදානම්'.

“නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත තම නියෝජිතයන් යවන ලෙස අපි ඇමති විමල් වීරවංශට සහ ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරනවා. මෙය සිදු කරන්නේ කෙසේදැයි අපි පෙන්වන්නෙමු.' යනුවෙන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ආන්ඩුවට බොරු ගර්ජනාවක් කලේ ය.

මෙම වර්ගවාදී උද්ඝෝෂනයනට පොහොර දමමින් දෙසම්බර් 21 වෙනිදා දි අයිලන්ඩ් පත්‍රය මෙසේ සදහන් කරයි:'වත්මන් රජය කෙරෙහි මහජන අප්‍රසාදය පැහැදිලිව පෙනේ. එහි දැඩි විවේචකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය දුන් සහ එහි මැතිවරන ජයග්‍රහන සහතික කිරීම සඳහා වෙහෙස නොබලා වැඩ කල බොහෝ දෙනෙක් සිටිති; ඔවුන්ට ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගනනාවක් ඇතුලත් ය.'

වරාය අධිකාරිය පිහිටුවන ලද්දේ 1979 ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන තහවුරු කල නිදහස් ආර්ථික වැඩපිලිවෙල යටතේ, රජය සතු ආයතන, අධිකාරිත්වයන් සහ රාජ්‍ය සමාගම් බවට පත් කිරීමේ කොටසක් ලෙසය. එතැන් පටන් වරායේ සියලු පාලනය අධිකාරිය යටතට පත් කෙරුනි. මේ වන විට පුද්ගලීකරනයේ කොටසක් ලෙස කොලඹ වරායේ කොටස් දෙකක් හා හම්බන්තොට වරාය චීනයට හා දේශීය ආයෝජකයන්ට පවරා ඇත.

ඇමරිකාවේ භූ-දේශපාලනික අවශ‍්‍යතා සඳහා ලංකාවේ මූලෝපායික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව ජපානය සමග එක්ව කොලඹ වරායේ ත්‍රෛ-ජාතික ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සමග 2019 දී ගිවිසුමක් අත්සන් කර ඇත. ඉන්දියාව වෙනුවෙන් සම්බන්ධ වන්නේ ඉන්දීය ආන්ඩුව සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති අදානි සමාගමය. ශ්‍රී ලංකාව, එහි සියයට 51 ක හිමිකාරිත්වයක් දරනු ඇති අතර අනෙක් හවුල්කරුවන් ඉතිරි සියයට 49 යේ හිමිකාරිත්වය දරයි. චීනයට අයත් කොලඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තය (සීඅයිසීඅයි) අනික් පසින් ක්‍රියාත්මක වේ.

නොවැම්බර් 3 වන දින බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවට පවතින භූ-දේශපාලනික උවමනාව මෙසේ පෙන්වාදෙයි: 'ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය එක්ව සංවර්ධනය කරන ලද මෙම ව්‍යාපෘතිය පුනර්ජීවනය කිරීමේ කටයුතු සිදුවන්නේ චීනය සමඟ කලාපීය ආතතීන් ඉහල යන මොහොතකය. ඉන්දියාව, ජපානය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රෙිලියාව සාමාජිකත්වය දරන අවිධිමත් ක්වාඩ් (චතුෂ්කය) කාන්ඩය ඉන්දු-පැසිෆික් කලාපයේ බීජිංහි බලපෑමට ප්‍රතිවිරුද්ධ ලෙස සැලකේ.'

මෙම කොන්දේසි පෙන්වා දෙන්නේ කලාපයම යුද ගැටුමක අන්තරායකට මුහුන දෙන බවය.

ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව, මෙම ගිවිසුම ක්‍රියාත්මක කරන බව ඉන්දියාවේ බලපෑම් මත කිහිප වරක්ම කියා සිටි නමුත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවූයේ කරුනු දෙකක් මතය: පලමුවැන්න, එයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් වර්ධනයවීම සම්බන්ධ භීතියයි. දෙවැන්න ආන්ඩුව මුහුනදී ඇති බරපතල ආර්ථික අර්බුදය මැද චීනයෙන් විශාල නය මුදලක් ලබා ගැනීමේ උත්සුකයයි. ඉදිරි වසර තුන තුල ආන්ඩුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හතර බැගින් විදේශ නය ගෙවිය යුතුය.

අගෝස්තු මාසයේ මුල පුද්ගලීකරනයට එරෙහිව වරාය අධිකාරියේ සියලු අංශයන් හි කම්කරුවන් 10000ක් පමන සහභාගීත්වයෙන් පැනනැගුන කම්කරු අරගලය මෙම සමිති එකමුතුව විසින් පාවා දෙනු ලැබුවේ නැ‌ගෙගනහිර පර්යන්තය අදානි සමාගමට නොපවරන බවට අගමැති පොරොන්දු වූ බව පවසමිනි. එය පචයකි. ඔහු සමිති නායකයන්ට පවසා තිබුනේ ඉන්දියානු ආන්ඩුව සමග ගැටීමෙන් පසුගිය වතාවේ තම ආන්ඩුව බිද වැටුන බවත් තව සැරයක් 'කෙලවගන්න බැරි' බවයි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනය දෙසට වඩාත් නැඹුරුවීම නිසා ඇමරිකාව හා ඉන්දියාවේ මැදිහත්වීමෙන් එම ආන්ඩුව පෙරලාදමා 2015 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පත් කෙරුනි.

කැබිනට් මන්ඩලය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පැවරීම අනුමත කල බව ලංකා වෙබ් නෙට් දෙසැම්බර් 15 වාර්තා කලේ ය. කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීමට, නැගෙනහිර පර්යන්තය නොවිකුනන බවත් ආයෝජකයන් කැදවීම පමනක් සිදු කරන බවත් ආන්ඩුව පවසයි. ආයෝජකයා තෝරාගැනීමෙන් පසුව ආයෝජකයාට කොටස්වලින් සියයට 49ක අයිතිය පවරා, වරාය අධිකාරිය අතේ සියයට 51ක අයිතිය තබා ගන්නා බව වරාය ඇමති රෝහිත අබේගුනවර්ධන මාධ්‍යයට කියා ඇත:“මේ සඳහා අපට ඉන්දියාවෙ රජය ආයෝජකයෙක් යෝජනා කරලා තියෙනවා.ඒ 'ඉන්දියාවේ ප්‍රධාන සංගතයක් වන අදානි සමාගමයි”

එහෙත් 'ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ යෝජනාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරනයක් ගෙන නැතැ' යි කැබිනට් මන්ඩලයේ සම ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසූ බව දෙසැම්බර් 18 වෙනිදා දී අයිලන්ඩ් පත්‍රය වාර්තා කලේ ය.

'නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට රජය තීරනයක් ගෙන නැති' බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශකල බව බව වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි. ඔහුට අනුව පසුගිය ගිවිසුම කොන්දේසි වෙනස් කර ක්‍රියාවට දමනු ඇත. කෙසේ වෙතත්, ඇමරිකාවේ දකුනු ආසියානු මූලෝපායික සහකරු වන ඉන්දියාව සමග සම්බන්ධතා බිඳීමට ආන්ඩුවට නොහැකිය. ආන්ඩුව බලයට පත්වූ තැන් සිට ඉන්දියාව සමග මූලෝපායික, ආර්ථික හා දේශපාලන සබදතා තර කරගෙන ඇත. වරාය කම්කරුවන් මුහුනදී ඇත්තේ බර පතල අන්තරායකාරී තත්වයකටය.

පුද්ගලීකරනය යටතේ පසුගිය වසර කිහිපය තුල වරාය අධිකාරියේ රැකියා 10000ක් පමන අහෝසි කර ඇත. අඩු වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි යටතේ මිනිස් බල කම්කරුවන් විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවයි. පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන්ගේ විරෝධතා වැඩෙන්නේ මෙම තත්වය තුලය.

වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ට එරෙහිව ධනපති රාජ්‍යයේ උපකරන ලෙසයි. මෙම සමිති වලින් ස්වාධීන වූ, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කරගන්නා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

කම්කරුවන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් දියත් කිරීමට හා තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට එරෙහිව කලාපයේ හා ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව තහවුරු කරගනිමින් සටන් කල හැකි වන්නේ එවන් ක්‍රියාකාරී කමිටු හරහා පමනි.

සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කම්කරුවන් ඉදිරියට යායුතුය. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී මෙම වැඩපිලිවෙලට සටන් වදින්න.

Loading