වරාය කම්කරුවන්ට පැනවූ "අත්‍යවශ්‍ය සේවා" නියෝගය පිලිගනිමින් වෘත්තීය සමිති ආන්ඩුවේ මර්දනය සමග පෙල ගැසෙයි

කොලඹ වරාය තුල කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යද්දී, සෞඛ්‍යාරක්ෂනයෙන් තොර ව වැඩෙහි යෙදවීමට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු විරෝධය මැඩ බලහත්කාරයෙන් වැඩට දැක්කීම සඳහා, නොවැම්බර් 17 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වරාය අධිකාරිය 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට පත් කලේය. සමස්ත කම්කරු පන්තියට අනතුරු අඟවමින් රාජපක්ෂ ගත් මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට විවෘත ව ම සහයෝගය ලබාදෙමින් වරාය වෘත්තීය සමිති ආන්ඩුව සමග පෙල ගැසී ඇත.

නොවැම්බර් 19 දා, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන, කොලඹ වරායේ ජය බහාලුම් පර්යන්තය තුල (ජේසීටී) කල 'නිරීක්ෂන චාරිකාවකට', පොදුජන පෙරමුනට අයත් වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ (වාකසේප්‍රස) සභාපති සංජය කුමාර වැලිගම හා ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න සහභාගී වී ඇත. අබේගුනවර්ධන පැමිනියේ, කම්කරුවන්ගේ පැමිනීම තවදුරටත් අඩු මට්ටමක පවතින්නේනම්, 'අත්‍යවශ්‍ය සේවා විධිවිධාන' යටතේ, මිලිටරිය සහ පොලීසිය යොදවා කම්කරුවන් කුදලා ගෙනැවිත් වැඩෙහි යෙදවීමට අවශ්‍ය පියවර ගැනීමට බව නිසැකය. වාකසේප්‍රස හි නායකයන් සහභාගි වී ඇත්තේ එම 'චාරිකාවට' ය.

වකසේප්‍රස නායකයන් මෙ ලෙස ඝෘජු ව ම 'අත්‍යවශ්‍ය සේවා විධිවිධාන' වලට සහයෝගය දෙන අතරේ, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ සමස්ත ලංකා පොදු සේවක සංගමය සහ සෙසු වෘත්තීය සමිති එම නියෝගයට එරෙහි ව වචනයක් හෝ නොකියා නිහඬ ව ම ඊට සහයෝගය දෙමින් සිටිති.

ආරක්ෂිත වැඩපිලිවලකින් තොරව කම්කරුවන් සේවයට කැඳවීමේ පාලකයන්ගේ නියෝගයන්ට කම්කරුවන් නතු කර දීම සඳහා වෘත්තීය සමිති ආරම්භයේ සිට ම පෙනී සිටියේ කම්කරුවන්ට දෝෂාරෝපනය කරමිනි. ඔක්තෝබර් 30 වන දින, වාකසේප්‍රස ට සම්බන්ධ 'වැඩ බිම' මුහුනු පොතේ සටහනකට අනුව, සේවකයන් වැඩට ගෙන්වාදීම භාර ගන්නා බවට වාකසේප්‍රස නායකයන් පාලකයන්ට පොරොන්දු වී ඇත.

වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම් වූ පීසීආර් පරීක්ෂනය සියල්ලන්ට ලබා දීම හා විද්‍යාත්මක ව සකසන ලද විශේෂ ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා දීම වැනි ඉල්ලීම් වලට පටහැනි ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින්, අනාරක්ෂිත ව කම්කරුවන් වැඩෙහි යෙදවීමේ වගකීම මෙම සමිතිය භාර ගෙන ඇත.

මුහුනුපොතෙහි සඳහන් පරිදි අත්‍යවශ්‍ය සේවා නියෝගය පැනවීමට වාකසේප්‍රස සිය අනුමැතිය ලබා දී තිබේ. 'වෘත්තිය සමිතිය ගරු ඇමතිතුමා, සභාපති තුමා, කොට්ඨාස ප්‍රධානීන් සමග සාකච්ඡා කොට සේවය සඳහා වාර්තා කිරීමට ප්‍රවාහන පහසුකම්, අත්‍යවශ්‍ය සේවා පදනම මත වාර්තා කිරීමට අවශ්‍ය පසුබිම, නවාතැන් පහසුකම්, පැමිනීමේ දීමනාවක්, අමතර අතිකාල ප්‍රමානයක් සහ ආහාර සම්පාදනය කිරීමට කටයුතු කරන මෙන්' සමිතිය යෝජනා කල බවත් 'ඒ සදහා ප්‍රතිචාර ලැබුනු බවත්' එහි සඳහන්වේ. ජීවිත ආරක්ෂාව සදහා කම්කරුවන්ගේ ඉල්ලීම් මෙහි දී දැනුවත්ව ම කපා හැර ඇත.

ඉන් අනතුරු ව, 'කම්කරුවන් සේවයට ගෙන්වා ගැනීමට වෘත්තීය සමිතිය දරන ප්‍රයත්නය' ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින' වාකසේප්‍රස, 'රටක් වශයෙන් එය ඉටුකිරීම අපගේ යුතුකම වේ' යයි සඳහන් කරයි. වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා සාධාරන ඉල්ලීම් ඉදිරිපත් කරන කම්කරුවන්ට දෝෂාරෝපනය කරමින් වාකසේප්‍රස මෙසේ පවසයි: 'මල මිනියක් හෝ පුච්චාගෙන කන පටු දේශපාලන මතවාද පතුරවමින් ආයතනය තුල කාර්මික සාමය කඩකරන්නන්ගේ ප්‍රචාරයට හසු නොවන්න.'

වෘත්තීය සමිතීන්හි මෙම ක්‍රියා කලාපය කම්කරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. 'මුල සිටම වෘත්තීය සමිති කියා සිටියේ පාලකයන්ගේ අනට කීකරුව අනාරක්ෂිත තත්වයේ දී ම කම්කරුවන් සේවයට වාර්තා කල යුතු බව' යැයි වරාය අධිකාරියේ ජය බහාලුම් පර්යන්තයේ කම්කරුවෙක් පැවසුවේ ය.

'ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 18 දින පලවූ ලිපිය මම කියෙව්වා. එය ඉතා නිවැරදි ව වරාය කම්කරුවන් පමනක් නොව සියලු කම්කරුවන් මුහුන දෙන ආනාරක්ෂිත තත්වය පැහැදිලි කරනවා. එම ලිපියේ සඳහන් පරිදි සෙසු කම්කරුවන් වරාය අධිකාරිය කම්කරුවන්ට පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝගයට එරෙහි ව නැගී සිටිය යුතුයි. කම්කරුවන් ස්වාධීන ව සංවිධානය විය යුතු” යැයි ඔහු තව දුරටත් කියා සිටියේ ය.

ඔහු මෙසේ ද පැවසී ය: “වරාය පුද්ගලීකරනය සමග වරාය අධිකාරිය යටතේ සේවය කල කම්කරුවන් බෙදා වෙන්කිරීමට වෘත්තීය සමිති දායක වුනා. 1998 දී, කොලඹ වරායේ රැජින පාලම 'සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්' නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ 'චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්' සමාගමට පැවරීම ආදී පියවර මගින් ඒකාබද්ධව සිටි කම්කරුවන් බෙදා වෙන්කරනු ලැබුවා. මෙම කම්කරුවන් ඒකාබද්ධ කිරීමට වෘත්තීය සමිති කටයුතු කලේ නැහැ. උදාහරනයක් කියනවා නම් වරාය අධිකාරිය යටතේ ම පවතින ඉන්ජිනේරු අංශයෙ මොකද වෙන්නේ කියල අපි අද දන්නෙ නැහැ.'

'මිනිස් බල කම්කරුවන් සම්බන්ධ ව කවර හෝ වගකීමක් වෘත්තීය සමිති භාර නොගන්නා' බව පවසමින් ඔහු සමිති වලට විරෝධය පල කලේය.

කම්කරු පන්තිය බෙදා වෙන්කිරීම සදහා වෘත්තීය සමිති කටයුතු කරන තත්වයේදීමත්, වරාය පුද්ගලීකරනය සඳහා ආන්ඩු ගන්නා පියවරයන්ට කම්කරුවන් යලි යලිත් විරෝධය දක්වා ඇත. අගෝස්තු 5 දා පැවති මහ මැතිවරනයට යන්තම් දින හතරකට පෙර, කොලඹ වරායේ කම්කරුවන් 10,000 ක සහභාගිත්වයෙන්, නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව කල වැඩ වර්ජනයෙන් වරාය අධිකාරියේ සියලු අංශයන්හි වැඩ නතර වූ නමුත්, වෘත්තීය සමිති ඔවුන්ගේ අරගලය පාවා දුන් හ.

ලෝකයේ අන් සෑම ආන්ඩුවක් මෙන් ම රාජපක්ෂ පාලන තන්ත්‍රය ද සංගත ප්‍රභූවේ ලාබ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා, වසංගතය නොතකා කම්කරුවන්ට ආපසු වැඩට යන ලෙස බල කරමින් සිටී. වරාය තුල පමනක් නොව ඇඟලුම් කම්කරුවෝ, සෞඛ්‍ය සේවකයෝ මෙන්ම සෙසු කම්කරුවෝ මෙම අනතුරට මුහුන දෙති. අත්‍යවශ්‍ය නියෝගය පනවා කම්කරුවන් බරපතල තර්ජනයකට ඉලක්ක කර ඇත්තේ මේ පසුබිම තුලය.

නොවැම්බර් 20 දින ලෝසවෙඅ හි පලකර ඇති සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය පරිදි 'වරාය කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර වැඩෙන විරෝධය වැදගත් වර්ධනයකි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගනිමින්, තම සෞඛ්‍යය හා ආරක්ෂාව රැක ගැනීමට අවශ්‍ය පියවර ස්ථාපිත කර ගැනීම සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ වැඩපොල ක්‍රියාකාරී කමිටු හා සුරක්ෂිතතා කමිටු ඔවුන් විසින් ගොඩනගා ගත යුතු ය.'

'කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම ඉලක්ක කරගත්, ශ්‍රී ලංකාව පුරා හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් සඳහා තම අරගලය ඒකාබද්ධ කරගන්නා ලෙස අපි කම්කරුවන්ට කැඳවුම් කරමු.' මෙම ප්‍රකාශය හදාරා සසප සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස අපි වරාය මෙන් ම සෙසු කම්කරුවන්ගෙන්ද ඉල්ලමු.

Loading