ඩේලිමිරර්, ඉන්දීය ගොවි උද්ඝෝෂනවලට එරෙහි මෝදි ආන්ඩුවේ අවලාද පුනරුච්ඡාරනය කරයි

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ආන්ඩුවේ ආයෝජක ගැති කෘෂි පනත් හකුලා ගැනීමට බල කරමින් එරට ගොවියෝ දිල්ලි අගනුවරට පිවිසෙන මාර්ග වාඩිලා ගෙන උද්ඝෝෂනයේ යෙදී සිටිති. පසුගිය නොවැම්බර් 26 වැනි දා, ඉන්දියාවේ මිලියන ගනන් කම්කරුවන් සහභාගි වූ ජාතික මහා වැඩ වර්ජනයට සමගාමී ව ගොවියන් දිල්ලිය කරා තම විරෝධතා පා ගමන ආරම්භ කලේ පොලිස් තර්ජන සහ වෙනත් නොයෙක් ආකාරයේ බාධා කිරීම් මැද ය.

දෙසැම්බර් 2 වැනි දා බදාදා, 'දිල්ලියේ ගොවි විරෝධතා සහ සික්වරුන්ගේ නැගීම' (Farmer protests in Delhi and the rise of the Sikhs) යන මැයෙන් පල කෙරුනු ඩේලිමිරර් පුවත්පතේ කතුවැකිය, එම මාතෘකාවෙන් ම දැක්වෙන පරිදි මෙම ගොවි ව්‍යාපාරය සාවද්‍ය ව වාර්ගික පදනමක් මත පිහිටුවා පින්තාරු කර තිබුනේ මෝදි ආන්ඩුවේ පනත් මහජන හිතකාමී ඒවා ලෙස ද ව්‍යාජ ව හුවා දක්වමිනි.

“එම නීති කෘෂි ඒකාධිකාරයන් බිඳීම, විශේෂයෙන් ම කලක් තිස්සේ පවතින අස්වැනු වෙන්දේසි ක්‍රමය නැතිනම් මන්ඩි වෙලඳපොල ක්‍රමය බිඳීම අරමුනු කර ගනී. … සාමාන්‍ය පාරිභෝගිකයාගේ සුභසිද්ධිය තකා කෘෂි නිෂ්පාදනවල මිල පහත හෙලීම මෝදි ආන්ඩුව ගෙනා පනත්වල අරමුනු බව සක්සුදක් සේ පැහැදිලි ය. කෙසේ නමුත්, භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන සන්ධානයට මේ ක්‍රියාවලියේ දී විශේෂයෙන් ම සික් සාධකය සලකා ගොවීන්ගේ වුවමනාවන් නොතකා සිටීමට නොහැකි වනු ඇත” යැයි කතුවැකිය ලියයි.

දෙසැම්බර් 10 වැනි දා, කර්නාටක ප්‍රාන්තයේ බෙන්ගාලූරු නගරයේ දී ටොයෝටා මෝටර් රථ කම්කරුවෝ සහ ගොවියෝ මෝදි ආන්ඩුවේ ආයෝජක ගැති ප්‍රතිපත්තිවලට එරෙහි ව ඒකාබද්ධ විරෝධතාවක් පවත්වමින්.

මේ පනත් පාරිභෝගිකයන් හෝ ගොවීන්ට වාසි සැලසීමට යයි මෝදි ආන්ඩුව දෙසාබාන ව්‍යාජ ප්‍රචාරය ඩේලිමිරර් කතුවරයා ද අනා ඇත. මෙය සත්‍යය කනපිට පෙරලිමකි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි ගනනාවකින් පෙන්වාදී ඇති පරිදි, ඇත්ත වශයෙන් ම මෙය මැයි මාසයේ දී මෝදි ආන්ඩුව කොවිඩ්-19 ගෝලීය වසංගතයට “රංචු ප්‍රතිශක්තිකරන” පිලිවෙතක් නිවේදනය කරමින් පොරොන්දු වූ, “ක්ෂනික පිමිවලින්” ආයෝජක ගැති ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමකි.

සැප්තැම්බර් මාසයේ පැවැත්වූ පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකින්, ගොවි විරෝධී පනත් සමග ම කම්කරුවන්ට සංවිධානය වීමට හා වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය අපරාධයක් බවට පත් කරන සහ ෆැක්ටරි හිතුමතේ වසා දැමීමමටත් කම්කරුවන් දොට්ට දැමීමටත් ඉඩ සලසන කම්කරු විරෝධී නීති සම්මත කරවා ගැනුනි.

මේ යටතේ සත්‍ය වශයෙන් ම සිදු කෙරී ඇත්තේ ඉන්දියාවේ කෘෂිකර්මාන්තය දේශීය සහ විදේශීය ප්‍රාග්ධනයට විනිවිදීමට තිබූ බාධක ඉවත් කර දැමීමයි. මේ අනුව, ඉන්දියාවේ බෝග 23කට පනවා තිබූ පාලන මිල අහෝසි කිරීමත්, කෘෂි නිෂ්පාදන මන්ඩි වෙලඳ ක්‍රමයට පිටතින් අලෙවි කිරීමට ඉඩ සලසා දීමත් මහාසංගත වෙනුවෙන් නියම කර ගත් බෝගයක් නියම කල මිලකට වගා කිරීමේ කොන්ත්‍රාත් වගා ක්‍රමයකුත් හඳුන්වා දෙනු ලැබෙනු ඇත.

මින් වඩාත් පීඩාවට පත් වෙනු ඇත්තේ ඉන්දියාවේ ගොවීන්ගෙන් සියයට 86ක් වන අක්කර පහක් දක්වා වන කුඩා පරිමාන ඉඩම් හිමි දුගී ගොවියෝ ය. ඉනුත්, සියයට 23ක් ජීවත් වන්නේ දරිද්‍රතා මට්ටමට පහලිනි.

ඉඩම් ගැටලුව, කෘෂි නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති වීම සහ නය බර ගොවීන් පෙලන ප්‍රධාන හේතු කාරනා ය. පසුගිය වසර 20ක කාලය තුල ගොවීහු 300,000ක් පමන දෙනා සිය දිවි නසා ගෙන ඇත. ගොවි ජනයා අතර අසමානතාව දිනෙන් දින තව තවත් ඉහල යමින් පවතී. 2002-2003 වසරවල දී සුලු ඉඩම් හිමියන්ගේ ආදායම මෙන් හත් ගුනයක් වූ මහ ඉඩම් හිමියන්ගේ ආදායම 2012-13 දී නව ගුනයක් දක්වා වර්ධනය වී ඇති බව 2015 අධ්‍යයනයක් සඳහන් කරයි.

දිල්ලිය වටා ඇති ප්‍රාන්ත වන හර්යානා, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ්, උත්තරාන්චල් සහ පන්ජාබය යන ප්‍රාන්තවල ගොවීන් බහුතරයකින් මෙම දිල්ලි වටලෑමේ විරෝධතා ව්‍යාපාරය සමන්විත වුවත් දුරස්ථ ප්‍රාන්තවල ගොවියෝ ද තම පූර්න සහයෝගය මෙම විරෝධතාවයට පල කරති.

මෙම පලල් මහජන සහභාගිත්වය, ඉන්දියාවේ ගොවි අරගලය සීක් වරුන්ගේ උද්ඝෝෂනයක් ලෙසට ඩේලිමිරර් හංවඩුවේ පල්ල ගලවයි. එහි ප්‍රචාරය බීජේපී ආන්ඩුවේ ප්‍රචාරයමයි. ඇරත්, ඉන්දියාවේ ගොවි අරගලයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ, කිසිදු ධනපති ආන්ඩුවකට විසඳිය නොහැකි වූ, එමෙන්ම එම පාලනයන් විසින් ගොවීන් මත පැටවූ පීඩනයන්ට එරෙහිව කැකෑරෙන ගැඹුරු විරෝධයයි.

පොලිස් බාධා කිරීම් මැද ම, බටහිර බෙංගාලය, දකුනුදිග ඉන්දියානු ප්‍රාන්ත වන මහාරාෂ්ට්‍රය, අන්ද්‍රා ප්‍රදේශය, තමිල්නාඩුව සහ කේරලයෙන් පමනක් නොව කාශ්මීරයෙන් පවා දිල්ලි සීමාවන් වෙත පැමිනෙන ගොවීන් සම්බන්ධ පුවත් වාර්තාවන් දිනපතා දැකගත හැකි ය.

හින්දුස්ථාන් ටයිම්ස් දෙසැම්බර් 7 වැනි දා පල කල වාර්තාවක් මෙ ලෙස දුර ප්‍රාන්තවල සිට විරෝධතාවන්ට පැමිනි අය සමග කල සම්මුඛ සාකච්ඡා කීපයක් පල කලේ ය. ආන්ද්‍රා ප්‍රාන්තයේ ගෝධාවරි දිස්ත්‍රික්කයේ ගමක සිට දිල්ලි සීමාවේ විරෝධතාවන්ට පැමිනි ගොවියෙක් මෙසේ පැවසිය: “ගොවීන්ට ජල ප්‍රහාරක සහ කඳුලු ගෑස් මගින් පහර දෙන ආකාරය අපි රූපවාහිනියෙන් දැක ගත්තා. ඔවුන්ට රටේ සහය අවශ්‍යයි. ඒ නිසයි අපි හතර දෙනෙක් එකතු වෙලා කෝච්චියෙන් දිල්ලියට ආවේ.”.

ඉහත දැක්වූ අවලාද වලින් නොනවතින ඩේලිමිරර් කතුවැකිය මෙම සමස්ත ගොවි ව්‍යපාරය කැනේඩියානු සහ යුරෝපීය සික් ජාතික සහ සික් ජාතික නොවන දේශපාලකයන්ගේ “තදබල පිටුබලයක්” ලබන ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දුන්නේ “ඒ අතර ඉන්දියානු සික් ජාතිකයන් වෙනුවෙන් වෙන ම රාජ්‍යයක් සඳහා වන ඛාලිස්ථාන් ව්‍යාපාරය වෙනුවෙන් විවෘත ව ම පෙනී සිටින ඩයස්පෝරා සික් ජාතිකයෝ ද වෙති” යැයි ලියමිනි.

කොංග්‍රස් පක්ෂයේ පිටුබලය ඒවා පැන නැගීමට සාධකයක් ලෙස ද කතුවැකිය පෙන්වා දෙයි. “ගොවීන් මධ්‍යම ආන්ඩුවට එරෙහි ව උසි ගැන්වීම සම්බන්ධයෙන් කොංග්‍රසය නිතර ම චෝදනා ලබයි. මේ වතාවේ ද, කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිත් ඔහුගේ සහෝදරිය ප්‍රියංකාත් කෘෂි පනත්වලට එරෙහි ව හඬ නගනු දැක ගත හැකි විය” යනුවෙන් එය ලියයි.

මෙම ප්‍රකාශ, කොංග්‍රස් පක්ෂය විසින් ගොවි අරගලය මෙහෙයවන බවට බොරුවක් ගොතනවා පමනක් නොව, එම අරගලයට එරෙහිව බීජේපී ය විසින් ගෙනයන ප්‍රචාරයට සහයෝගය දීමකි.

නොවැම්බර් 30 වැනි දා, බිජේපී ජාතික මහ ලේකම් වන දුශ්‍යන්ත් කුමාර් ගෞතම්, “මෙම විරෝධතාව තුල ‘ඛාලිස්ථානය දිනේවා!’, ‘පාකිස්ථානය දිනේවා!’ වැනි ඉන්දියන් විරෝධී සටන් පාඨ නැගෙනවා. මේවා පිටුපස සිටින්නේ කවුදැයි ඔබ කල්පනා කර බැලිය යුතුයි” යැයි ප්‍රකාශ කලේ ය.

ඛාලිස්තාන් ව්‍යාපාරය යනු 1970 සහ 1980 ගනන්වල දී පන්ජාබයේ වෙන ම ධනේශ්වර රාජ්‍යයක් ස්ථාපිත කිරීමට සටන් වැදුනු සුලුධනේශ්වර ව්‍යාපාරයක් වන අතර ඉන්දිරා ගාන්ධිගේ ආන්ඩුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ව එය රුදුරු ම ආකාරයෙන් තලා දැමීමට කටයුතු කලේ ය. ඉන්දිරා ගාන්ධි තම සික් ආරක්ෂකයෙකු අතින් ඝාතනය වූ පසු සික් වාර්ගිකයන්ට එරෙහි සංහාරයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ දියත් කෙරුනි.

මෙම ගොවි ව්‍යාපාරය වාර්ගික පදනමකින් බිඳීමට සික් විරෝධී වර්ගවාදය ඇවිලීමේත්, බෙදුම්වාදී ව්‍යාපාරයක් යයි හංවඩු ගසා මර්දනයක් දිගේලි කිරීමේත් අරමුන ඇතිව එල්ල කෙරෙන බීජේපී නරුම අවලාදයන්ගේ පුනරුච්ඡාරකයෙක් බවට කතුවැකිය පත් ව ඇත.

කොවිඩ්-19 වසංගතය විසින් උග්‍ර කෙරී ඇති සමාජ ආතතීන් සහ මෝදි ආන්ඩුව කෙරෙහි දැවැන්ත මහජන කෝපය මෙම ගොවි ව්‍යාපාරය හරහා ප්‍රකාශනයක් අත්පත් කර ගැනීමට ඇති නැඹුරුව මෙම වැඩෙන පුලුල් සහයෝගය යටින් පවතින අතර, මේ කරුන ම පාලක පන්තිය තැති ගන්වා ඇත. මෙම වසර මුල මෝදි ආන්ඩුවේ මුස්ලිම් විරෝධී පුරවැසි පනතට එරෙහි ව වාර්ගික පදනම් ඉක්මවා යමින් දැවැන්ත මහජන විරෝධතා පැන නැංවුනි.

කෙසේ නමුත් දැන් දින 20කට ආසන්න කාලයක් බීජේපී ආන්ඩුව සමග සාකච්ඡාවල රස්තියාදු වෙමින් ගොවි අරගලය දියාරු කර දැමීමට ගොවි සමිති ද, සීපීඅයි, සීපීඑම් සහ සීපීඅයි-එම්එල් වැනි ස්ටැලින්වාදී පක්ෂ ද කටයුතු කරමින් සිටිති. ස්ටැලින්වාදී පක්ෂ ප්‍රාන්තීය ධනපති පක්ෂ සහ කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත වෙමින් මෙම විරෝධය කොංග්‍රසයේ අත යටට තල්ලු කිරීමට කටයුතු කරයි.

ඊනියා සංශෝධන කීපයකට මෝදි ආන්ඩුව සමග එකඟ වෙමින් ධනපති ප්‍රහාරය පෙරට ගෙන යාමට මොවුහු උර දෙනු ඇත. නැතහොත් කල්යල් බලා මෘග මිලිටරි හෝ ෆැසිස්ට් පන්නයේ ප්‍රහාරයක් විරෝධතාවන්ට එරෙහිව ආන්ඩුව සූදානම් කරනු ඇත. ඉන්දියාව ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඉවත දමමින් විදේශ ප්‍රාග්ධනයට විවෘත කෙරුනේ 1990 දී ස්ටැලින්වාදී පක්ෂවල ආධාරය ලද කොංග්‍රස් ආන්ඩුව යටතේ යි.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති අභියෝගය නම් දුගී ගොවි ජනතාවට නායකත්වය දෙමින් ඔවුන් තමන් වෙත දිනාගෙන, ඉන්දියාවේ මහ ධනපති පන්තියේ හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්ත දක්ෂිනාංශික මෝදි ආන්ඩුවට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

මිරර් ඇතුලු ලංකාවේ සංස්ථාපිතයේ මාධ්‍ය රාජපක්ෂ ආන්ඩුවේ “වසංගතය සමග ජීවත් වීමේ” ප්‍රතිපත්තිය සමග පෙල ගැසී එහි උද්ඝෝෂකයන් බවට පත් ව සිටිති. ධනපති ආර්ථික අර්බුදය කම්කරු පීඩිත මහජනතාවගේ වියදමින් පියවා ගැනීමට පෙරට ගත යුතු කම්කරු විරෝධී නීති සම්බන්ධයෙනුත් කම්කරුවන් සහ ගොවියන් නාගරික දුගීන් ඇතුලු පීඩිතයන් අතරේ කඳු ගැසෙන සමාජ ආතතීන් පුපුරා යාමක් සම්බන්ධයෙනුත් ධනපති මාධ්‍ය සංවේදී ය.

ඩේලිමිරර් කතුවැකිය මෙම මෝදි ආන්ඩුවේ ප්‍රහාර පාරිභෝගියන්ට සහන සැලසීමට ගෙනෙන නීති සංශෝධනයක් හැටියට පෙන්වා දීමට උත්සහ දරන්නේ ලංකාවේ ධනපති පන්තිය ද වසංගතට මුවා වී සමාජ දේශපාලන අයිතීන්ට එරෙහි ප්‍රහාරය ඉදිරියට ගෙන යමින් පවතින පසුබිමක ඒවාට සහාය දෙමිනි.

Loading