මෝදි ආන්ඩුව විරෝධතා මැද කම්කරු විරෝධී, ගොවි විරෝධී පනත් පාර්ලිමේන්තුව හරහා සම්මත කරවා ගනී

දිගුකාලීන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියාපටිපාටීන් අබමල් රේනුවකට නොතකමින්, නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විවෘත ව ම සංගතවලට හිතකර කෘෂි සහ කම්කරු නීති ප්‍රතිසංස්කරන හයක්, පසු ගිය මාසයේ කෙටියෙන් පැවැත් වූ ඉන්දියානු පාර්ලිමේන්තුවේ මෝසම් වැසි සැසියක [ඉන්දියානු පාර්ලිමේන්තුවේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වාරය මෙ නමින් හැඳින් වෙයි. - පරි.] දී විරෝධතා මැද ම සම්මත කරවා ගැනීමට කටයුතු කලේ ය.

2020 ජනවාරි 08 වැනි දින පැවති ඉන්දියානු මහ වැඩ වර්ජනයේ දී අහමදාබාද්හි කම්කරුවෝ සටන් පාඨ කියමින් [Credit: AP Photo/Ajit Solanki]

ප්‍රතිසංස්කරන පනත් තුනක් ඉන්දියාවේ දැවැන්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෑදර ජාත්‍යන්තර කෘෂි ව්‍යාපාර සංගතයන්ටත් ඔවුන්ගේ දේශීය තරගකරුවන් බවට පත් වනු ඇති ධනපතියන්ටත් හැර පියා දීම අරමුනු කර ගනී.

අනිත් තුන මහ පරිමාන කර්මාන්ත සහ වානිජ ව්‍යවසායන් වෙනුවෙන් රැකියා, වැඩ කොන්දේසි සහ විධිමත් ක්ෂේත්‍රයේ යැයි කියන සුලු කම්කරුවන් ප්‍රතිශතයේ අයිතීන් වෙත පූර්න පරිමාන ප්‍රහාරයක් නියෝජනය කරයි.

නව නීති රාජ්‍ය සහ පෞද්ගලික දෙ අංශයේ ම සියලු ම කර්මාන්තවලට පාහේ සහ “හර” නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට කොන්ත්‍රාත් පදනම යටතේ කම්කරුවන් බඳවා ගැනීමට අවසර ලබා දෙනු ඇත. මීට පෙර, හර කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ කම්කරුවන් යොදවා ගැනීම තහනම් කර තිබුනි.

වඩාත් අන්තරායකාර ලෙස, බීජේපී ආන්ඩුව කම්කරු නීතියට සිදු කර ඇති “ප්‍රතිසංස්කරන” කම්කරුවන්ට වෘත්තීය සමිතිවලට සංවිධානය වීමට හෝ වැඩවර්ජන සිදු කිරීමට දැවැන්ත නෛතික බාධාවන් පනවයි. මේ කරුන මින්ට් ව්‍යාපාරික සඟරාවේ අවධානයට මෙ ලෙස නතු විය: “නීති මාලාවේ තැති ගන්වනසුලු වගන්ති කීපයක් කම්කරුවන්ට වැඩ වර්ජන සිදු කිරීම නොහැකි කරවන සහ සාමකාමී වැඩ වර්ජන සංවිධානය සහ සහභාගී වීමේ නිදහස පවා අහුරා දමන නෛතික ආධිපත්‍යයයක් ගොඩ නගයි. මෙ වැනි කටයුතුවලට සහභාගී වීම හේතුවෙන් දඩ ගසනු ඇති අතර දඩ මුදල් සමාජ ආරක්ෂන අරමුදලට යෙදවෙනු ඇති.”

රජයේ විවිධ ආයතනවලට අනුව, ඉන්දියාවේ මිලියන 450ක් වන කම්කරු ජනගහනය අතරින් අඩු ම තරමේ සියයට 90ක් “අවිධිමත්” යනුවෙන් වර්ග කෙරෙන අංශයේ වැඩ කරති. මිලියන 405ක් වන මෙම කම්කරු ජනගහනයෙන් අතිබහුතරයකට මොන ම ආකාරයකවත් නෛතික ආරක්ෂනයක් නැත. බහුතරය සුලු වෙලෙන්දන් ලෙස නැතිනම් කුලී වැඩ කරමින් තම ජීවිකාව උපයා ගනිති.

සෙසු මිලියන 45ක් වන “සංවිධිත” අංශයේ කම්කරුවන්ගෙන් පඩි සහිත නිවාඩු, නිවාඩු, සහ විශ්‍රාම දීමනා වැනි සහතික කෙරුනු පහසුකම් ඇති පූර්න කාලීන් ස්ථිර රැකියා ඇත්තේ උපරිම වශයෙන් සියයට 29 කට නැතිනම් මිලියන 13ක් වැනි දෙනෙකුට ය.

2019 මැයි මාසයේ නිකුත් කෙරුනු රජයේ 2017-18 වාරික ශ්‍රම බලකා සමීක්ෂනය ඉන්දියාවේ මෙම සංවිධිත අංශයේ පවා රැකියාවල පවතින නොතිර බව සනාථ කරන්නකි. කෘෂිකාර්මික නොවන ස්ථිර කම්කරුවන් අතරින් සියයට 71.1ට ලිඛිත රැකියා ගිවිසුමක් නැත; 54.2ක් පඩි සහිත නිවාඩු සඳහා සුදුසුකම් නොලබයි; 49.6ක් කිසිදු සමාජ ආරක්ෂනයක් සඳහා සුදුසුකම් ලබන්නේ නැත.

තම සංගත හිතැති කම්කරු නීති සංශෝධනවලට ප්‍රගතිශීලි ආවරනයක් සම්පාදනය කිරීමේ ව්‍යාජ වෑයමක් දරමින් මෝදි ආන්ඩුව සඳහන් කරන්නේ තම සංශෝධනවල අරමුන විශ්‍රාමික දීමනා වැනි “සමාජ ආරක්ෂන” ක්‍රමවේදයක් අසංවිධිත අංශයේ කම්කරුවන්ට ලබා දීමට බවයි.

මෙය ප්‍රෝඩාවකි. මුල දී සඳහන් කල උපුටා දැක්වීමේ සඳහන් කෙරුනු පරිදි, මෙම දීමනා සඳහා අරමුදල්වලින් කොටසක් සම්පාදනය කෙරෙනු ඇත්තේ “නීති විරෝධි” වැඩ වර්ජනවල යෙදෙන කම්කරුවන්ගෙන් සොරකම් කිරීමෙනි. තව ද, මේ මොහොතේ දී, “සමාජ ආරක්ෂන” ක්‍රම සම්පූර්නයෙන් ම යෝජනාවක් පමනි. මේවා මොනවා ද, ඒවාට කෙසේ අරමුදල් සම්පාදනය කෙරෙනු ඇති ද යන්න ඉදිරියේ දී පිහිටු වීමට නියමිත ජාතික සමාජ ආරක්ෂන මන්ඩලය විසින් තීරනය කෙරෙනු ඇත. මෝදි ආන්ඩුව මීට ඉහත දී නිවේදනය කල නොයෙක් සමාජ ආරක්ෂන ක්‍රම අතිශය සොච්චම් ආධාරයක් සම්පාදනය කල අතර ඒවා බොහෝ විට ලාභ සොයන පෞද්ගලික මූල්‍ය සංගතවලට කලමනාකරනය සඳහා පැවරුනි.

මෝදි ආන්ඩුව වැඩපල ආරක්ෂිත බව ඉහල නැංවීමට ද පොරොන්දු දෙයි. නමුත්, මෙම වෙනස්කම් වලංගු වනු ඇත්තේ අඩු ම තරමේ කම්කරුවන් 250ක්වත් සිටින ව්‍යවසායන්ට පමනි. එනයින්, සියයට 90ක් වන ඉන්දියානු කම්කරුවන් මෙම නීතියෙන් ආවරනය වනු ලැබීමෙන් බැහැර ලා ඇත.

මෙම “විශාල” පරිමාන ව්‍යාවසායන්ට පවා, කාර්මික අනතුරක දී මිය යන කම්කරුවකුට ගෙවීමට සිදු වනු ඇති උපරිම වන්දිය ඉන්දියානු රුපියල් ලක්ෂයක් වැනි සුලු මුදලකි. ඉන්දියාවේ අඩු ම තරමේ, වසරකට කම්කරුවන් 48 000ක් කාර්මික අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන අතර, තවත් සිය දහස් ගනනක් දරුනු ලෙස තුවාල ලබති.

නව කම්කරු නීති යටතේ කම්කරුවන් 300 දෙනෙකුට වඩා අඩුවෙන් සේවයේ යොදවා ඇති සමාගම්වලට සේවයට බඳවා ගන්නා කම්කරුවන් හිතු මතයේ සේවයෙන් නෙරපීමටත්, ඕනෑ නම් කම්හල් මුලුමනින් ම වසා දැමීමටත් අවකාශ සැලසෙනු ඇත. වැඩිපුරම ඇත්තේ කම්කරුවන් 300කට අඩු පිරිසක් සේවයේ යොදවා ඇති සේවා ස්ථාන ය. මීට ඉහත දී, කම්කරුවන් සියයක් හෝ ඊට වඩා සේවයේ යොදවා ඇති සමාගම්වලට ස්ථිර කම්කරුවන් දොට්ට දැමීමට මත්තෙන් ආන්ඩුවේ අවසරය ලබා ගැනීම අනිවාර්ය විය.

මෙම සීමාවන් අහෝසි කර දැමීම සහ කොන්ත්‍රාත් ක්‍රමයට කම්කරුවන් බඳවා ගැනීම තව දුර පුලුල් කිරීම දේශිය සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දිගුකාලීන ව පැවති වුවමනාවකි.

දැවැන්ත ව්‍යාපාරවලට කම්හල් හෝ වෙනත් වැඩපල හෝ වසා දැමීමට මත්තෙන් හෝ රැකියා කප්පාදු කිරීමට මත්තෙන් හෝ ආන්ඩුවේ අනුමැතිය ලබා ගැනීම තව දුර පවත්වා ගත්තාය යන කරුන උලුප්පමින් ආන්ඩුව මහා ගෝසාවක් කලේ ය. නමුත්, සමීප ව බලන කල පෙනී යන්නේ මෙම සීමා කිරීම් කපටි ප්‍රයෝගයකට වැඩි දෙයක් නොවන බවයි. නව නීතිය සඳහන් කරන්නේ එවැන්නක් සඳහා අවසර ඉල්ලා දින 60ක් තුල අදාල වගකිව යුතු රජයේ ආයතනයෙන් පිලිතුරක් නොලැබෙන්නේ නම් එය අවසර අනුමත කිරීමක් වශයෙන් සැලකිය යුතු බවයි [අවධාරනය අපේ]. වෙනත් වචනයෙන් කියන්නේ නම්, හාම්පුතාට හිතුමතේ වැඩ කල හැකි ය.

කෘෂිකාර්මික “ප්‍රතිසංස්කරන” පනත් තුන ද එපරිද්දෙන් ම පුලුල් ලෙස බලපෑමක් ඇති කරන සහ සංගත ප්‍රභූවේ දිගුකාලීන ප්‍රතිගාමී ඉල්ලීම් ක්‍රියවට දමන ඒවා ය.

පාලක බීජේපීයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය විසින් බහුතරය හොබවන පාර්ලිමේන්තුවේ පහල සභාව වන ලෝක් සභාව හරහා කඩිනමින් සම්මත කරවා ගැනුනු කෘෂිකාර්මික පනත් කෙටුම්පත් රාජ්‍ය සභාවේ දී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාපටිපාටියක් වන කට වචනයෙන් කරනු ලබන ඡන්ද විමසීමකින් සම්මත කරගනු ලැබුනි.

මෙම ප්‍රතිඵලය ලබා ගත්තේ රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපති ධූරය දරන බීජේපී මන්ත්‍රී, මෙම පනත් කෙටුම්පත් සවිස්තර ව විභාග කිරීමට පාර්ලිමේන්තු පැනලයකයට යොමු කල යුතු යැයි ඉල්ලා සිටි විරුද්ධ පක්ෂයේ සාමාජිකයන් අට දෙනෙකු සභා ගර්භයෙන් නෙරපීමෙන් අනතුරු ව ය.

ගොවියන්ගෙන් එල්ල වන දැවැන්ත විරෝධයක් මැද බීජේපීය මෙම පනත් කෙටුම්පත් සම්මත කරවා ගති. මෙම ගොවීන්ගෙන් අති බහුතරය ඉතා ම කුඩා ඉඩම්වලට හිමිකම් කියන්නෝ වෙති. ඉන්දියාවේ ඉඩම් හිමිකාරීත්වය අනුවලට කැඩුනු ස්වභාවයක් දරන අතර ගොවීන්ගෙන් සියයට 86ක් ම හෙක්ටයාර 2කට (අක්කර 5) වඩා අඩු භූමියකට හිමිකම් කියති.

පනත් කෙටුම්පත් සම්මත කරවා ගැනීමට මත්තෙන් ගොවියන්ගෙත් ඔවුන්ගේ ආධාරකරුවන්ගේත් දැවැන්ත විරෝධතා පැවැත් විනි. උතුරු දිග ප්‍රාන්තයන් වන පන්ජාබයේ සහ හර්යානාවේ සිය දහස් ගනන් කෝපයට පත් ගොවියෝ අපකීර්තිමත් ඉන්දියානු පොලිසියේ කඳුලු ගෑස් සහ පහර දීම් විඳ දරා ගනිමින්, දින කීපයක් පුරාවට පාරවල් සහ දුම්රිය මාර්ග අවහිර කර තැබූහ.

නව කෘෂිකාර්මික පනත්වල කේන්ද්‍රීය අරමුන වන්නේ දශක ගනනාවක් පැරනි ප්‍රාන්ත ආන්ඩු මගින් කලමනාකරනය කෙරෙන සහ නියාමනය වන මන්ඩි යන නමින් හැඳින් වෙන කෘෂි නිෂ්පාදන වෙලඳපොල පද්ධතිය අහෝසි කර දැමීමයි. මෙම මන්ඩිවල මුල් බැස ඇති දූෂන අකාර්යක්ෂමතා පැවතියත් ගොවීන්ට තම කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට සහතික කෙරුනු ක්‍රමවේදයක් සැපයීමෙන් මේවා ඔවුන්ට ඇබින්දක් හෝ සහනයක් ව ඇත.

[මෙම ලිපිය 2020 ඔක්තෝබර් 2 වැනි දා ඉංගිරිසි බසින් පල විය.]

Loading