මෝදි ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහි ව මිලියන ගනන් ඉන්දියානු කම්කරුවෝ ජාතික මහා වැඩ වර්ජනයට එක්වෙති

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දෙන ආන්ඩුවේ ආයෝජක-ගැති ආර්ථික ප්‍රතිසංස්කරනවලට සහ ඒ හා සම්බන්ධ කප්පාදු පියවරයන්ට එරෙහි ව, ඉන්දියාව පුරා මිලියන ගනන් කම්කරුවෝ ඊයේ (නොවැම්බර් 26) එක් දින මහා වැඩ වර්ජනයකට එක් වූ හ.

සංවිධායකවරුන් කී පරිදි මිලියන 250ක ජනකායක් සම්බන්ධ වූ මෙම යෝධ බලමුලුගැන්වීම, හුදෙක් මෝදි පරිපාලනයට පමනක් නො ව, සමස්තයක් ලෙස ඉන්දියාවේ ධනේශ්වර පාලනයට එරෙහි ව වැඩෙන මහජන කෝපයෙහි බලගතු ප්‍රකාශනයකි. රැකියා හා වැටුප් මෙන් ම, වැඩ හා ජීවන කොන්දේසිවලට පාලක ප්‍රභූව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව සටන් වැදීමට කම්කරුවන්ගේ සූදානම එමගින් ප්‍රදර්ශනය කරයි.

ඉන්දියාවේ ජාතික පරිමාන වැඩ වර්ජනය අවස්ථාවේ පෙලපාලිකරුවෝ දුම්රිය මාවතක් අවහිර කරති, 2020 නොවැම්බර් 26 වැනි දා බ්‍රහස්පතින්දා. (ඒපී ඡායාරූප/ බිකාස් දාස්)

ආදායම් බදු නො ගෙවන සියලු පවුල්වලට මසකට රුපියල් 7,500ක මුදලක් ලබා දීම, ගොවි-විරෝධී නීති හා කම්කරු-විරෝධී නීති සංග්‍රහයන් හකුලා ගැනීම, සියල්ලන්ට සමාජ රැකවරනය සැපයීම, වැඩ පටිපාටි කම්කරුවන් ඇතුලු සියලු සේවකයන්ට ජීවන දර්ශකයට ගැලපෙන පරිදි මසකට අවම වසයෙන් රුපියල් 21,000ක (එක්සත් ජනපද ඩොලර් 100ක පමන) වැටුපක් ගෙවීම, අයදුම් පත්‍රය භාර දීමෙන් දවස් 45ක කාලයක් ඇතුලත වෘත්තීය සමිති අනිවාර්යයෙන් ලියා පදිංචි කිරීම, ආන්ඩුවේ හා රාජ්‍ය අංශ සේවකයන් බලහත්කාරයෙන් නියමිත කලට පෙර විශ්‍රාම යැවීම අවසන් කිරීම සහ මහජන සෞඛ්‍යයට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 6ක් හා අධ්‍යාපනයට සියයට 5ක් වෙන් කිරීම වැඩ වර්ජකයන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් විය.

ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) ඇතුලු මධ්‍යම වෘත්තීය සමිති 10ක් විසින් වැඩ වර්ජනය කැඳවනු ලැබි ය. එම වෘත්තීය සමිති දෙක ප්‍රධාන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙක වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපිඑම්) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන පක්ෂ දෙකෙහි වෘත්තීය සමිති සම්මේලන වේ.

විරුද්ධ පක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ වෘත්තීය සමිති අංශය වන ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී), තමිල්නාඩු පක්ෂයක් වන ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් (ඩීඑම්කේ) පක්ෂයට අනුබද්ධිත කම්කරු ප්‍රගතිශීලී පෙරමුන අනෙකුත් සමිති සම්මේලන අතරට ඇතුලත් විය. පාලක බීජේපීය නායකත්වය දෙන භාරතීය මස්දූර් සංග් (බීඑම්එස්-ඉන්දීය කම්කරු සංගමය) වර්ජනයට සහභාගි නො වී ය.

කර්මාන්තය, රැකියාව හා ප්‍රදේශය අනුව කම්කරු සහභාගිත්වය වෙනස් වුනු අතර, බැංකු, තෙල් පිරිපහදු, වානේ කම්හල්, විදුලි බල කම්හල්, ගල් අඟුරු පතල් හා ආරක්ෂක නිෂ්පාදන කම්හල් ඇතුලු රාජ්‍ය අංශ ඒකකවල කම්කරුවෝ ජාතික වර්ජනයට සහභාගි වූ හ. ඔවුන් සියලු දෙනා මෝදි ආන්ඩුවේ පුද්ගලීකරන පියවරයන්, එහි කොන්ත්‍රාත් ශ්‍රමය දිරිමත් කිරීම, වැඩ වර්ජනය කිරීමට කම්කරුවන්ට තිබෙන අයිතිය සීමා කරන නව ප්‍රතිගාමී “කම්කරු ප්‍රතිසංස්කරන” හකුලා ගැනීම ඉල්ලා සිටිය හ.

කේරලය, තෙලන්ගානා හා පුදුචෙරි යන දකුනේ ප්‍රාන්ත, නැගෙනහිර ඔඩිෂා හා ඊසානදිග ඇසෑම් යන ප්‍රාන්තවල මිලියන ගනන් කම්කරුවන් “සම්පූර්න වසා දැමීම්” ඇති කරවමින් වැඩ නැවැත්වූ අතර, අනෙකුත් බොහෝ ප්‍රාන්තවලට එම බලපෑම දැනුනේ ය. දිල්ලිය ඇතුලු රට පුරා ප්‍රධාන පුරවර හා නගරවල දී විරෝධතා රැලී පවත්වන ලදී.

ස්ටැලින්වාදී සීපීඑම් නායකත්වය දෙන වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ (එල්ඩීඑෆ්) ප්‍රාන්ත ආන්ඩුව වැඩ වර්ජනයට සහයෝගය දුන් කේරලය මුලුමනින් ම ඇන හිටවනු ලැබිනි. ප්‍රාන්ත ආන්ඩුවට අයත් කේඑස්ආර්ටීඑස් බස් රථ ධාවනය නො වී ය; පුද්ගලික බස් රථ, මෝටර් රික්ෂෝ රථ හා ටැක්සි ධාවනය නො වූ අතර ආන්ඩුවේ කාර්යාල හා ප්‍රධාන ව්‍යාපාර වසා දැමුනි.

දුම්රිය සේවා ද නවත්වන ලද වර්ජනය, ජවාද්පූර්, ගාරියා හා දක්ෂින් බාරසාත් ඇතුලු නැගෙනහිර බටහිර බෙංගාල ප්‍රාන්තයේ විවිධ පුරවරවල මාර්ගයන්හි වාහන ගමන් කිරීම, විශාල වසයෙන් ඇද වැටීම දැක ගත්තේ ය. මහ ඇමතිනී මමතා බැනර්ජි නායකත්වය දෙන ප්‍රති-කොමියුනිස්ට්වාදී ත්‍රිනමූල් කොංග්‍රස් (ටීඑම්සී) ප්‍රාන්ත ආන්ඩුව මීට කලින් වර්ජකයන්ට එරෙහි ව රුදුරු නෛතික ක්‍රියා මාර්ග ගැනීම සහ පොලිස් හා මැර ප්‍රචන්ඩත්වය යොද ගැනීම කර තිබුන ද මෙවර වැඩ වර්ජනය නැවැත්වීමට උත්සාහ කලේ නැත. දක්ෂිනාංශික ටීඑම්සීය, ලබන වසරේ ප්‍රාන්ත මැතිවරනයට මුහුන දෙන අතර, එහි දී ප්‍රධාන විරුද්ධවාදියා වන්නේ බීජේපීය යි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ පනත යොදාගෙන වර්ජනය තහනම් කිරීමට, බිජු ජනතා දාල් (බීජේඩී) පක්ෂය නායකත්වය දෙන ප්‍රාන්ත ආන්ඩුව දැරූ උත්සාහය නො තකා, ඔඩිෂා ප්‍රාන්තයේ කම්කරුවෝ වර්ජනයට එක් වූ හ.

සලේම් ස්ටීල්, චෙන්නායි අවට පිහිටි එම්ආර්එෆ් හා අශෝක් ලේලන්ඩ්, තිරුපූර්හි ඇඟලුම් කම්හල්, සිවාකාසිහි ගිනිකෙලි කර්මාන්තශාලා මෙන් ම තොරතුරු තාක්ෂන අංශයේ සේවකයන් ඇතුලු දකුනේ තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ අංශවල කම්කරුවෝ වැඩ නතර කල හ.

කොරෝනා වෛරස් වසංගතය විසින් නිර්මිත ව්‍යසනකාරී කොන්දේසි අරබයා වැඩෙන මහජන කෝපය මධ්‍යයේ, කම්කරු පන්තියේ කිසිදු මහා පරිමාන ක්‍රියාවක් කෙරෙහි සංගත ප්‍රභූවට පවතින භීතිය පෙන්නුම් කරමින්, ඊයේ වැඩ වර්ජනයේ මාධ්‍ය අනාවරනය අල්ප වී ඇත.

මරුති සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) තාවකාලික කමිටු නායකයෝ, ඊයේ ගුර්ගාඕන්හි දී විරෝධතාවක් පැවැත්වූ හ. දිල්ලියට ආසන්න ව පිහිටන, කම්කරු පන්ති සටන්කාමීත්වයේ කේන්ද්‍රයක් වී තිබෙන යෝධ ගුර්ගාඕන්-මනේසාර් කාර්මික තීරුවෙහි ප්‍රධාන වෘත්තීය සමිති ඔවුන්ගේ සාමාජිකයන් ව වර්ජනයට කැඳවා නො තිබුනු බව ඔවුහු ලෝසවෙඅ වෙත කීවෝ ය. මනේසාර්හි මරුති සුසුකි මෝටර් රථ එකලස් කම්කරුවන් විසින් එම්එස්ඩබ්ලිව්යූ සමිතිය බිහි කලේ, සමාගමේ පන්දම්කාර සමිතියකට විරුද්ධ ව ය.

සමාගම විසින් පවත්වාගෙන යන වහල් ශ්‍රම කොන්දේසිවලට එරෙහි ව, 2011-12 සමයේ එම්එස්ඩබ්ලිව්යූ සාමාජිකයෝ සටන්කාමී අරගල මාලාවක් ම සංවිධානය කල හ. සමාගම හා ආන්ඩුව ඒකාබද්ධ ව, මෙම සටන්කාමී කම්කරුවන්ට එරෙහි ව සිදු කල පලිගැනීමක දී, එම්එස්ඩබ්ලිව්යූ සමිතියේ විධායක කමිටුවේ සියලු සාමාජිකයන් 12 දෙනෙකු ඇතුලු කම්කරුවන් 13 දෙනෙකුට, ව්‍යාජ මිනීමැරුම් චෝදනා මත නඩු පවරා, 2017 මාර්තු මාසයේ දී ඔවුහු ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබූ හ.

සියලු භාෂාමය, ආගමික හා කුල භේද කපාගෙන ඊයේ පැවති වැඩ වර්ජනය, ඉන්දියානු කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව බලගතු ලෙස ප්‍රදර්ශනය කිරීමක් විය. මෙය, මුස්ලිම්වරුන් හා අනෙකුත් ආගමික සුලුතරයන් ඉලක්ක කරගෙන මෝදි ආන්ඩුව ගෙන යන නිර්දය හින්දු ස්වෝත්තමවාදී ප්‍රහාරයට සහ වාර්ගික-ප්‍රාදේශීය, කුලවාදී හා ප්‍රජාගනවාදී බෙදීම් පාලක ප්‍රභූව විසින් අනවරත ව ඇවිලවීමට එරෙහි ව බලගතු ප්‍රහාරයක් වේ.

300කට අධික ගොවි සංවිධානවලින් සැදුම්ලත් වේදිකාවක් වන සමස්ත ඉන්දීය කිසාන් සන්ඝාර්ෂ් සම්බන්ධීකරන කමිටුව (ඒඅයිකේඑස්සීසී) විසින් කැඳවුම් කරන ලද, දෙදින ජාතික ගොවි විරෝධතාවක් හා “දිල්ලි චාලෝ” පෙලපාලියක්, ඊයේ මහා වැඩ වර්ජනය සමග සමපාත ව පැවතුනි. එහි ප්‍රධාන ඉල්ලීම වන්නේ, මෝදි ආන්ඩුව විසින් මෑත දී සම්මත කරවා ගත් කෘෂිකර්මානත්යට සම්බන්ධ නීති තුනක් කටුගා දැමීම යි. වගා කිරීම, වෙලඳාම, ගබඩාකරනය අත්‍යවශ්‍ය ආහාර ධාන්‍ය ඇතුලු කෘෂිකාර්මික භාන්ඩවල මිල නියම කිරීම මත ආධිපත්‍යය දරනු ඇත්තා වූ යෝධ කෘෂිව්‍යාපාරවල ආධිපත්‍යයට, මෙම පියවරයන් මගින් ගොවීන්ව යටත් කරයි.

“දිල්ලි චාලෝ” පෙලපාලිය හා සම්බන්ධීකෘත අනෙකුත් ගොවි විරෝධතා ක්‍රියාවන් අවහිර කිරීමට අධිෂ්ටානවත් වූ බීජේපීය පාලනය කරන හර්යානා, මධ්‍ය ප්‍රදේශ් හා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආන්ඩු පැරා මිලිටරි හමුදා හා පොලීසිය දිගේලි කල හ.

ජාතික අගනුවර භූමි ප්‍රදේශය (එන්සීටී), දිල්ලිය, පන්ජාබ් හා උත්තර් ප්‍රදේශ්වල හර්යානා ප්‍රාන්ත දේශ සීමා අවහිර කිරීමට ප්‍රාන්ත බලධාරීහු පොලීසිය බලමුලුගැන්වූ හ. ගොවීන් එන්සීටී වෙත පෙලපාලියෙන් පැමිනීම වැලැක්වීමට මාර්ග බාධක ඉදිකරන ලදී. මධ්‍යම රාත්‍රීයේ ගොවි නිවාස වෙත කඩා පැන, සිය ගනනක් අත් අඩංගුවට ගැනීමට ද හර්යානා බීජේපී ආන්ඩුව පොලීසිය මෙහෙයවී ය. මෝදිගේ මධ්‍යම ආන්ඩුව ද ඒ හා සමාන ව දිල්ලි-හර්යානා දේශ සීමාවට පොලීසිය හා පැරා මිලිටරි හමුදා දිගේලි කලේ ය.

මධ්‍යම වෘත්තීය සමිති සම්මේලන 10ක් හා අනෙකුත් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ වැඩ වර්ජනය කැඳවූ අතර, ප්‍රධාන දේශපාලන භූමිකාව ඉටු කරන ල්දදේ ස්ටැලින්වාධී සීඅයිටීයූව හා ඒඅයිටීයූසීය විසිනි.

මෝදි ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන් අතර පවතින අධිෂ්ටානයට විපරීත ව, ස්ටැලින්වාදී වෘත්තීය සමිති වර්ජනය කැඳවූයේ, විරෝධය වාෂ්ප කොට, ස්ටැලින්වාදීන් කොංග්‍රස් පක්ෂය හා විවිධාකාර ප්‍රාදේශීය ධනපති පක්ෂ සමග පවත්වා ගෙන යන අවස්ථාවාදී සන්ධානයන් පිටුපස, කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් අතර වැඩෙන විරෝධය ගාල් කිරීමට යි. මෙම න්‍යාය පත්‍රය හා ගැලපෙන ලෙස, කොංග්‍රසයේ හා ඩීඑම්කේහි වෘත්තීය සමිති සම්මේලන වන අයිඑන්ටීයූසී හා එල්පීඑෆ් සමග සීඅයිටීයූව හා ඒඅයිටීයූසීය ඒකාබද්ධ වෙමින්, එම ධනපති පක්ෂ “කම්කරුවන්ගේ මිතුරන්” යි ඔජ වැඩූ හ.

කොංග්‍රස් පක්ෂය හා ඩීඑම්කේ සමග ඒකාබද්ධ වීමේ දීර්ඝ හා ගඳ ගසන ඉතිහාසයක් සහිත ස්ටැලින්වාදියෝ, 2019 මැයි මහා මැතිවරනයේ දී මෙම පක්ෂ සමග සන්ධානගත වූ හ. මේ මස මුල පැවති බිහාර් ප්‍රාන්ත මැතිවරනයේ දී, කොංග්‍රස් පක්ෂය හා දූෂිත කුලවාදී ප්‍රාදේශීය ධනපති පක්ෂයක් වන රාස්ට්‍රීය ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත ව ඔවුහු තරඟ කල හ. තමිල්නාඩුව, බටහිර බෙංගාලය හා ඇසෑම් ප්‍රාන්ත සඳහා ලබන වසරේ පැවැත්වෙන මැතිවරනවල දී කොංග්‍රස් පක්ෂය සමග සන්ධානයකින් තරඟ කිරීමට ඔවුහු සැලසුම් කරති.

පසුගිය මාර්තු මාසයේ පැනවූ සූදානම් රහිත කොරෝනා වෛරස් අගුලු දැමීමට පෙරාතු මාසවල දී ම, මෝදිගේ බීජේපීය නායකත්වය දෙන ආන්ඩුවට එරෙහි මහජන කම්කරු පන්තික විරෝධය වැඩෙමින් පැවතුනි.

ආන්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරන පියවරයන්ට එරෙහි ව, මේ හා සමාන ව මිලියන කිහිප ගනනක් සහභාගි වූ ජාතික මහා වැඩ වර්ජනයක් ජනවාරි 8දා පවත්වන ලද්දේ, ප්‍රතිගාමී මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) එරෙහි බහු-ජනවාර්ගික විරෝධතා හා පෙලපාලි පැවැත්වෙද්දී ය. මෙම ක්‍රියාවන්ට පෙරාතුව මෝටර් රථ කර්මාන්තය තුල වැඩ වර්ජන රැල්ලක් පැවතුනි.

සීඒඒ කෙරෙහි කෝපය පුපුරා යාමට මුහුන දුන් මෝදි ආන්ඩුවට, යම් කාලයකට අඩිය පස්සට ගැනීමට බල කෙරුනි. එහෙත්, වසංගතය විසින් නිර්මානය කරන ලද අන්තරායකාරී කොන්දේසි, එම විරෝධතා මර්දනය කිරීම පිනිස යොදාගැනීමට මෝදි සමත් විය.

ආන්ඩුව වසංගතය හසුරුවන විනාශකාරී ස්වභාවය විසින් නිෂ්පන්න කරනු ලබන සෞඛ්‍ය විනාශය හා සමාජ ව්‍යසනය මධ්‍යයේ, අට මසක් ගත වූ තැන, කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ වඩා බලගතු ව්‍යාපාරයක් ඉස්මතු වී ඇත.

ඉදිරියට යාම සඳහා, ලාභ පද්ධතිය ආරක්ෂා කරන ස්ටැලින්වාදීන් හා ඔවුන්ගේ දිගුවක් වන මාඕවාදීන්ගෙන් දේශපාලනික ව හා සංවිධානාත්මක ව බිඳී වෙන් විය යුතු ඉන්දියානු කම්කරු පන්තිය, ධනවාදයට එරෙහි ව සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකට සටන් වැදීමට, ගොවීන් හා අනෙකුත් පීඩිත ජනයා රැලි කරගත යුතු ය.

[මෙම ලිපිය නොවැම්බර් 27 වැනි දින ජාත්‍යන්තර සංස්කරනයේ පල විය.]

Loading