කොවිඩ්-19 පුපුරායාම, වසංගතය පාලනය කර ඇති බවට ශ්‍රී ලංකාවේ ආන්ඩුව කරන කියාපෑම් හෙලිදරව් කරයි

ඔක්තෝබර් 4 දා පටන් ගත වූ සතිය තුල, සමස්ත කොරෝනා වෛරස් රෝගීන් ගනන දෙගුන වී 4,702ක් දක්වා ඉහල නැගි බව සහ මරන ගනන 13ක් වන බව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීහු ඊයේ වාර්තා කල හ. රටෙහි දිස්ත්‍රික්ක 24න් 22කින් ආසාදිතයන් වාර්තා වීමත් සමග රට පුරා කොවිඩ්-19 වසංගතයේ ක්ෂනික නැග්මක් ඇතිවිය හැකි බව සියලු දර්ශක මගින් පෙන්වා දෙයි.

අනෙක් රටවලට වෙනස් ව, තම පරිපාලනය යටතේ වෛරසය පාලනය කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දොඩවන පුරසාරම් වල පල්ල, නවතම සංඛ්‍යා ලේඛන මගින් ගලවා දමයි. ගෝලීය ආසාදන ගනන මිලියන 37 ඉක්මවද්දී හා මරන සංඛ්‍යාව ව මිලියනය අභිබවා යද්දී ශ්‍රී ලංකාවේ ආසාදන ගනන ඉහල යාම සිදු වී තිබේ.

ශ්‍රී ලංකාව තුල කලින් පැවති සාපේක්ෂ ව අඩු කොවිඩ්-19 ආසාදන ගනන, ප්‍රධාන වසයෙන් ක්‍රමානුකූල පරීක්ෂන සිදු කිරීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය යි. දිනකට අවම වසයෙන් පරීක්ෂන 5,000ක් වත් සිදු කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් ඉල්ලා ඇත.

ගම්පහ රෝහලට ඇතුලත් වූ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් සමාගමෙහි මිනුවන්ගොඩ කම්හලේ කම්කරු කාන්තාවකට කොවිඩ්-19 වැලඳී ඇති බව ඔක්තෝබර් 4දා තහවුරු විය. තමන් අසනීපවී ඇති බවත් ප්‍රතිකාරවලින් තොර ව වැඩ කල නො හැකි බවත් ඇය අවධාරනය කිරීමෙන් පසුව පමනක් බ්‍රැන්ඩික්ස් කලමනාකාරීත්වය ඇයට රෝහලට ඇතුලත් වීමට අවසර දුන්නේ ය.

සෞඛ්‍ය බලධාරීන් කම්හලේ අනෙකුත් කම්කරුවන් ද පරීක්ෂාවට ලක්කිරීම ආරම්භ කල අතර, එහි සේවයේ නියුතු 1,400 දෙනාගෙන් 1,000කට අධික පිරිසකට හා ඔවුන් ආශ්‍රය කල අයට වෛරසය ආසාදනය වී ඇතැයි සොයා ගැනින. සමහර කම්කරුවන් රෝහල් ගත කර ඇති අතර, සමහර අය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.

රටවල් කිහිපයක ම කර්මාන්තාශාලා පවත්වාගෙන යන බ්‍රැන්ඩික්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම රෙදිපිලි නිෂ්පාදන ආයතනවලින් එකකි. එය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින කම්හල් තුල කම්කරුවන් 50,000 පමන සේවයේ යොදවයි. ගැප්, වික්ටෝරියාස් සීක්‍රට් සහ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ඇතුලු එක්සත් ජනපදයේ හා යුරෝපයේ යෝධ සිල්ලර සංගතයන්ට එය රෙදිපිලි නිපදවයි.

කොලඹට ආසන්න ජනාකීර්න ප්‍රදේශයක් වන මිනුවන්ගොඩ නගරය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වේ. කටුනායක නිදහස් වෙලඳ කලාපය (කනිවෙක) ඇතුලු නිදහස් වෙලඳ කලාප හයක් පිහිටා ඇති මෙම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ආන්ඩුව විසින් අගුලු දමා තිබේ.

පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ බ්‍රැන්ඩික්ස් කම්කරුවෙක්, සේවකයන්ට යෝග්‍ය සෞඛ්‍යාරක්ෂන උපකරන සපයා නැති බවත්, ඔවුන් ව රුදුරු ලෙස සූරාකෑමට බඳුන් කරන බවත් කීවේ ය. කම්කරුවන්ගේ නිවාඩු කපා දමා වැඩ දිනය පැය 10ක් දක්වා දික් කර ඇත.

ආසාදිත කම්කරු කාන්තාව හඳුනාගනු ලැබීමට කලින් සතියේ සේවකයන් 200කට පමන උන රෝගය වැලඳී තිබුනු බව කම්කරුවා විස්තර කලේ ය. සේවකයන් ඔවුන්ගේ රෝගී තත්ත්වය පිලිබඳ ව වාර්තා කල විට, එය සාමාන්‍ය ප්‍රතිශ්‍යා රෝගයක් බවත් විදේශීය ගැනුම්කරුවෙකුගෙන් හදිසි ඇනවුමක් ලැබී ඇති නිසා නිෂ්පාදන ඉලක්ක සැපිරිය යුතු බවත් කියමින් කලමනාකාරීත්වය ප්‍රතිචාර දැක්වී ය. කම්කරුවන්ගේ නිවාඩු ද කපා දැමින.

අප්‍රේල් අග හා මැයි මාසයේ කම්හල් හා ආයතන යලි විවෘත කරන ලෙස ජනාධිපති රාජපක්ෂ නියෝග කල තැන් පටන්, බ්‍රැන්ඩික්ස් සමාගමේ පවතින ආකාරයේ අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසි ශ්‍රී ලංකාවේ සියලු කම්හල් වලට සහ ආයතනවලට පොදු ය. ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් කම්හල් ද කොරෝනා වෛරස් ආසාදන වාර්තා කර ඇති අතර, පසුගිය සතියේ දී කනිවෙක කර්මාන්තශාලා තුනක් වසා දැමුනි.

එහෙත් ඊයේ අදහස් දැක්වූ කනිවෙක සමාගම් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු කියා සිටියේ නිදහස් වෙලඳ කලාපය වසා නො දමන බව යි. කනිවෙකහි කම්කරුවන් 30,000ක් සේවයේ යෙදී සිටියත්, දිස්ත්‍රික්කයේ යාබද ප්‍රදේශවල පවතින ඇඳිරි නීතිය හා අගුලු දැමීම හේතුවෙන් සේවයට පැමිනෙන්නේ 8,000ක් පමනක් බව ඔහු සඳහන් කලේ ය.

අතිශය ඉහල ආසාදන අවදානමක් සහිත රෝගය විසින් මතු කෙරෙන තර්ජනයේ ගැඹුර නො තකා, ශ්‍රී ලංකාවේ ආන්ඩුව හා පාලක ප්‍රභූව ඔවුන්ගේ ගෝලිය සහකරුවන්ගේ පිලිවෙත ම අනුයමින් සිටිති: මානව ජීවිතවල පිරිවැය නො තකා ලාබ ගැරීම පවත්වාගෙන යා යුතු ය.

“සෞඛ්‍ය ආරක්ෂක විධික්‍රම සහිතව”, ආන්ඩුව, රට හා කර්මාන්තශාලා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව, ඊයේ ප්‍රනාන්දු සමග පැවති හමුවකින් අනතුරු ව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පැවසී ය.

ජාතික පරිමාන අගුලු දැමීමක් “බහුතර මහජනයාට හා ජීවනෝපායක් සොයා ගැනීමට උත්සාහ දරන්නන්ට පීඩාකාරී වනු ඇතැ” යි කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (එන්ඕසීපීසීඕ) සභාපති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නරුම ලෙස ප්‍රකාශ කලේ ය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ඉරනම ගැන අබමල් රේනුවක තැකීමක් කොලඹ ආන්ඩුවට නැත. රෝගය පැතිරීම වැලැක්වීමට කිසිදු බරපතල පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කල ජනාධිපති රාජපක්ෂ, කිසිදු සූදානමකින් හෝ කම්කරුවන් හා දුගීන්ට අවශ්‍ය ප්‍රමානවත් සමාජීය සහයෝගය සම්පාදනය කිරීමකින් තොර ව, මාර්තු 21දා හදිසි ජාතික පරිමාන අගුලු දැමීමක් පැනවී ය. ඉන් මාසයකට  පසුව, මහ ව්‍යාපාරිකයේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආර්ථිකය යලි විවෘත කිරීමට ආන්ඩුව පියවරගත්තේ ය.

සෞඛ්‍ය කම්කරුවන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සොයා ගැනීමෙන් අනතුරු ව, පසුගිය සතියේ, කොලඹ ජාතික රෝහලේ වාට්ටු දෙකක් හා ශල්‍යාගාරයක් වසා දැමුනු අතර, අනෙකුත් සමහර ප්‍රාදේශීය රෝහල්වලට ඒවායේ සමහර අංශ වසා දැමීමට බල කෙරුනි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කිහිප දෙනෙකුට ද රෝගය ආසාදනය වී තිබේ.

මහජනයාගේ සෞඛ්‍යය ගැන කිසිසේත් ම නො තකමින්, පසුගිය ඉරිදා, පස්වන ශ්‍රේනියේ ශිෂ්‍යයන් ලක්ෂ ගනනකට ශිෂ්‍යත්ව විභාගය පවත් වන ලද අතර, අගුලු දමන ලද ප්‍රදේශවල ශිෂ්‍යයන් ද ඒ අතර විය. ශිෂ්‍යයන් 350,000ක් සහභාගි වන හා සති ගනනක් පුරා පැවැත්වෙන උසස් පෙල විභාගය ඊයේ ආරම්භ විය.

“ප්‍රධාන ආසාදන පොකුර” බ්‍රැන්ඩික්ස් කම්හල පිහිටා ඇති මිනුවන්ගොඩට සීමා වී ඇති බව හා එය පාලනය කල හැකි බව කියමින්, වසංගතය පැතිරී යාමේ බරපතල කම ලඝු කිරීමට ආන්ඩුව උත්සාහ දරමින් සිටී.

එහෙත් ඔක්තෝබර් 5දා දෙරන රූපවාහිනී ජාලයට කතා කල රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයේ (එම්ආර්අයි) අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බන්ඩාර කීවේ, පසුගිය මාස කිහිපය තිස්සේ කොවිඩ්-19 වෛරසය ප්‍රජාව අතර තිබී ඇති බව හා තත්ත්වය භයානක බව යි.

“කෙසේ හෝ ජනවාරි සිට මේ දක්වා ප්‍රජාව අතර මේ වෛරසය තිබෙනවා. එහෙම නැත්නම් අපට රෝගියෙකු හමුවිය හැක්කේ කෙසේ ද?” යි බන්ඩාර රූපවාහිනී ජාලයට කීවේ ය. ආන්ඩුව එයට ප්‍රතිචාර දැක්වූයේ බන්ඩාර එම්ආර්අයි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට වෙනත් අයෙකු එම තනතුරට පත් කරමිනි.

වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නො තකා හල ආන්ඩුව, නව පැතිරීයාමේ වගකීම මාධ්‍ය හා මහජනයා මත පැටවීමට උත්සාහ කරමින් සිටී.

එන්ඕසීපීසීඕ රැස්වීමක දී කතා කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, “රටේ ජනමාධ්‍ය ආන්ඩුවේ දැනුවත් කිරීමේ උද්ඝෝෂනය අත්හැර" ඇතැයි ද, "(මහජනයා) රෝගයේ පැවැත්ම අමතක කොට ඇතැ” යි ද පැවසීය.

“වසංගතය පැතිරී යාම පාලනය කිරීමට ගන්නා ආරම්භකත්වයන්ට සහයෝගය දීමට මහජනයා හා මාධ‍්‍ය බැඳී සිටිනවා” යි රාජපක්ෂ සඳහන් කලේ ආන්ඩුවේ පහල පරීක්ෂන සංඛ්‍යාව ගැන කිසිදු සඳහනක් නො කරමිනි.

කම්කරු ඇමතිවරයා වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව රැකියා හා වැටුප් කප්පාදු පටවද්දී, ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් හෝ අවශ්‍ය සේවක සංඛ්‍යාව පමනක් කැඳවමින්, පුද්ගලික ආයතන යලි විවෘත කිරීමට අප්‍රේල් මාසයේ දී රාජපක්ෂ විධානය කලේ ය. සෞඛ්‍ය හා ආරක්ෂන රෙගුලාසි පවත්වාගෙන යාම පිලිබඳ ව ආන්ඩුව කල ප්‍රකාශ වතාවතක් පමනක් වූ අතර, හාම්පුත්තු ඒවා බොහෝ සෙයින් නො තකා හැරිය හ.

මීට අමතර ව, සිදු කරමින් සිටි  සීමිත පරීක්ෂන සංඛ්‍යාව ද ආන්ඩුව මුලුමනින් ම පාහේ නතර කලේ ය. ආන්ඩුව පරීක්ෂන ඇඳුම් කට්ටල 100,000ක් ඇනවුම් කිරීමට නිර්දේශ කර තිබුනු බව මාධ්‍ය කලින් වාර්තා කල ද එයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සම්පාදනය නො කලේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරන හෝ ප්‍රමාවනත් අරමුදල් ද සම්පාදනය නො කරමිනි.

කොවිඩ්-19 සඳහා වෙන් කොට තිබෙන රෝහල් 12 සතුව තිබෙන්නේ ඇඳන් 1,552ක් පමනක් බව හා එම රෝහල්වලට රෝගීන් 1,133 දෙනෙකු ඇතුලත් කොට තිබුනු බව ඔක්තෝබර් 9දා එන්ඕසීපීසීඕ වාර්තා කලේ ය.

ආන්ඩුව, පසුගිය සිකුරාදා, ලබන වසර සඳහා වන අයවැය ප්‍රතිපාදන නිවේදනය කලේ ය. ආරක්ෂක අංශ රුපියල් බිලියන 500ක් ලබා ගනිද්දී සෞඛ්‍ය අංශයට ලැබෙනුයේ  රුපියල් බිලියන 159ක් පමනි.

ආන්ඩුවේ ප්‍රමුඛතාව වන්නේ, මිලියන ගනනක් වන ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීම නො ව, ආන්ඩුවට හා පාලක ප්‍රභූවට විරුද්ධ ව අනිවාර්යයෙන් පුපුරා යනු ඇති මහජන සමාජ විරෝධය තලා දැමීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය ගොඩනැගීම යි.

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading