එක්සත් ජනපද මහ බැංකුව, ඇප ඉල්ලා සිටින මූල්‍ය වෙලඳපොලවල් හා සමාගම් ගලවා ගැනීමට උත්සාහ කරද්දී,

රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදුවලින් කම්කරුවෝ පීඩාවට පත්වෙති

මෙම ලිපිය 2020 මාර්තු 18 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අගුලු දැමීමේ ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු කම්කරුවන්ගෙන් පහෙන් එකක් පමන මේ වන විටත් රැකියා අහිමි වී හෝ සේවා කාලය අඩු කිරීමට මුහුනපා ඇති බව ඊයේ නිකුත් කල සමීක්ෂනයකින් හෙලිවේ. 

මහජන විකාශකයින්, එන්පීආර් සහ පීබීඑස් නිව්ස් අවර් විසින් මාරිස්ට් සංවිධානය සමඟ එක්ව පවත්වන ලද සමීක්ෂනයෙන්, වැඩිහිටි ශ්‍රම බලකායෙන් සියයට 18 ක් පීඩාවට පත්ව ඇති බව සොයාගෙන තිබේ.

අඩු වැටුප් ලබන්නන් මත යෙදී ඇති බලපෑම වඩාත් දරුනුය. සමීක්ෂනයට අනුව වසරකට ඩොලර් 50,000 ට වඩා අඩුවෙන් උපයන කම්කරුවන් සඳහා ඉහත අනුපාතය සියයට 25 දක්වා ඉහල ගොස් තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ කටයුතු කෙරෙහි වැඩෙන අවිශ්වාසයක් ද මෙම මත විමසුමෙන් පෙන්නුම් කෙරින. වෛරසය පැතිරීම නැවැත්වීමට ෆෙඩරල් ආන්ඩුව ප්‍රමානවත් උත්සාහයක් දරන බව කියා සිටියේ සියයට 46 ක් පමනි. පෙබරවාරියේදී එම ප්‍රතිශතය සියයට 61 විය.

ජනාධිපතිවරයා පවසන දේ කෙරෙහි තමන්ට හොඳ,  නැතිනම් විශාල විශ්වාසයක් ඇති බව කියා සිටියේ සියයට 37 ක් පමනකි.  සියයට 60 ක් කියා සිටියේ තමන්ට එතරම් විශ්වාසයක් හෝ කොහෙත්ම විශ්වාසයක් නොමැති බවයි.

එක්සත් ජනපදයේ රැකියා අහිමිවීම්, අගුලු දැමීම පැතිර යාමත් සමඟ ලොව පුරා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි පුනර්කරනය වන  බව සහතිකයි. ආපනශාලා, අවන්හල් සහ ආගන්තුක සත්කාර අංශය වැනි අනියම් හෝ අර්ධ-කාලීන ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් සේවයේ නියුතු කර්මාන්ත පලමුවෙන් පීඩාවට පත්ව ඇත.

විශාල සමාගම් සිය ජාත්‍යන්තර හා දේශීය ගුවන් ගමන් කාලසටහන් කප්පාදු කිරීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් සේවා කර්මාන්තයේ විශාල දොට්ට දැමීම් සිදුවීමට නියමිතය.

එක්සත් ජනපද රැකියා අහිමිවීම් පිලිබඳ සමීක්ෂන ප්‍රතිපල නිකුත්වුනේ, ෆෙඩරල් මහ බැංකුව මූල්‍ය වෙලඳපොලවල් ඇනහිටීම වැලැක්වීමට තවත් පියවර ගන්නා බව නිවේදනය කිරීමත් සමඟ ය.

15දා සවස මහ බැංකුවේ ප්‍රධාන මැදිහත්වීමකදී, පොලී අනුපාතය සියයට 1 කින් අඩු කල අතර, (දැන් මහ බැංකු පොලී අනුපාතය සියයට .25ක් පමනි) මූල්‍ය වත්කම් මිලදී ගැනීම හෝ ප්‍රමානාත්මක ලිහිල් කිරීම නැවත ආරම්භ කෙරේ. එය ඩොලර් බිලියන 700 ක් වනු ඇත.

1987 ඔක්තෝබර් මාසයේ “කලු සඳුදායින්” පසුව, 16දා වෝල් වීදිය සියයට 12 කට වඩා පහත වැටුනු අතර,  වෙලඳපොල කඩාවැටීම වැලැක්වීමට එම පියවර ප්‍රමානවත් නොවීය.

කොටස් මිල ගනන් ඊයේ තරමක් ඉහල ගිය අතර, ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 1000 කට වැඩි,   සියයට 5.2 කින් ඉහල නැඟුන අතර එස් ඇන්ඩ් පී 500 සහ නාස්ඩැක් දර්ශක සියයට 6 කින් පමන ඉහල ගියේය.

2008 මූල්‍ය අර්බුදයේ දී සිදු වූවාක් මෙන් සමස්ත ඇනහිටීමක් වලක්වා, කෙටිකාලීන නය වෙලඳපොලවල් සතුටු කිරීම  සඳහා මහ බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග දෙකක ප්‍රතිපලය වශයෙන් එම නැඟීම සිදුවිය.

තවත් සාධකයක් වූයේ, ධවල මන්දිරය ඩොලර් ට්‍රිලියන 1.2 ක ප්‍රධාන ආර්ථික පැකේජයක් දියත් කරන බවත් එමඟින් සමාගම්වලට දැවැන්ත දීමනා සහ පුරවැසියන්ට ගෙවීම් කරන බවක් ද දැනුම්ද‍ීමය.

ක්ෂනික “රෙපෝ” වෙලඳපොලේ අඛන්ඬ ඉහල යාම නිසා මහ බැංකුව නිවේදනය කලේ, සතිය අවසානය දක්වා දිනපතා ඩොලර් බිලියන 500 ක රෙපෝ මෙහෙයුම් සිදුකරන බවයි. කෙටිකාලීන මෙහෙයුම් සඳහා මුදල් යෙදවීමට හිලව් වශයෙන් මුදල් වෙනුවට එක්සත් ජනපද භාන්ඬාගාර බැඳුම්කර වැනි උසස් තත්ත්වයේ ඇපකරයක් ඉදිරිපත් කිරීම බැංකු හා මූල්‍ය ආයතන විසින් රෙපෝ වෙලඳපොල තුලදී සිදුකරයි.

අනෙක් ප්‍රධාන ක්‍රියාමාර්ගය වූයේ ඩොලර් ට්‍රිලියන 1.1 ක් වන වානිජ්‍ය පොරොන්දු නෝට්ටු වෙලඳපොලට මැදිහත් වීමට මහ බැංකුව ගත් තීරනයයි. මෙම වෙලඳපල කෙටිකාලීන( IOU) පොරොන්දු නෝට්ටු වලින් සමන්විත වන අතර සාමාන්‍යයෙන් දින 270 කට වඩා අඩු කාලයකදී කල් පිරෙන අතර සමාගම් විසින් ඔවුන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු සඳහා මුදල් යෙදවීම සඳහා ඒවා නිකුත් කරනු ලැබේ.

කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රතිපලයක් ලෙස වානිජ්‍ය පොරොන්දු නෝටටු  වෙලඳපොල “මෑත දිනවල සැලකිය යුතු පීඩනයකට” ලක්ව ඇති බව මහ බැංකුව සිය ප්‍රකාශයේ සඳහන් කරයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, නය ගැනීමේ පිරිවැය “මෑත සතිවල දී ඉහල ගොස් ඇති අතර, එමඟින් වෙලඳපල කැටි වී ඇති අතර, සමහර තැතිගත් සමාගම් ද්‍රවශීලතාවය ඉහල නංවා ගැනීම සඳහා තම බැංකුවලින් නය සහතික ලබා ගැනීමට පෙලඹී ඇත” යනුවෙනි.

2008 මූල්‍ය අර්බුදය අතරතුර, අවසන් වරට භාවිතා කරන ලද නව පහසුකම් නිර්මානය කිරීම සඳහා මහ බැංකුවට විශේෂ බලතල ඉල්ලා සිටීමට සිදු විය. නව නය ශ්‍රේනිය දීර්ඝ කිරීම සඳහා සිය මූල්‍ය කටයුතු මෙහෙයවන නිව්යෝර්ක් මහ බැංකුවට බලය පැවරීම සඳහා “අසාමාන්‍ය හා හදිසි තත්වයන්” යොදගත් බව එය සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින්, මැදිහත්වීම පවා අසීමිත විය යුතු යයි පැවසීය. මෙය ආර්ථිකය තුල නය කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරන නිසා නය වෙලඳපොල කැටි කිරීමක් පිලිබඳව පරිපාලනය හා මූල්‍ය බලධාරීන් බියට පත්ව සිටින බවට ලකුනකි.

“ද්‍රවශීලතා ගැටලු ඇති බව අපට සද්දයෙන් යුතුව සහ පැහැදිලිව ඇසුනා” ඔහු පැවසීය. “එය ඩොලර් ට්‍රිලියන 1 ක වෙලඳපොලක්. ෆෙඩරල් මහ බැංකුවට අවශ්‍ය පරිදි ඩොලර් ට්‍රිලියන 1 ක වානිජ්‍ය නෝට්ටු මිලදී ගැනීමට හැකියාව තිබේ. ”

නවතම පියවරයන් පවා ප්‍රමානවත් නොවූ නිසා ඊයේ සවස වෙලඳපල වසා දැමීමෙන් පසුව මහ බැංකුව තවත් පියවර ගත්තේය. සමහර කොටස්, නඟරසභා නය සහ ඉහල ශ්‍රේනියේ  ව්‍යාපාරික බැඳුම්කර මගින් අවරනය වන, ආන්ඩුවේ  අනුමත නය වෙලෙන්දන්ට, සුරක්ෂිතව මුදල් නයට ගත හැකි බව එය නිවේදනය කලේය.

නව පහසුකම මාස හයක් ක්‍රියාත්මක වන බව මහ බැංකුව පවසයි. ප්‍රාථමික වෙලඳුන්ට, එනම්, ප්‍රධානකොටම විශාල එක්සත් ජනපද හා ජාත්‍යන්තර බැංකු වලට “සුමට වෙලඳපල ක්‍රියාකාරිත්වයක් සහ ව්‍යාපාර සහ කුටුම්භ වලට නය දීමේ පහසුකම් සැලසීමට” එය ඉඩ සලසයි.

මුන්චින් කියා සිටියේ, මෙම නව පියවර, “ද්‍රවශීලතාවට විසඳුම් සෙවීමට” සහ “අරමුදල් වෙලඳපොලවල ඇති වන බාධාවන් අවම කිරීමට” උපකාරී වනු ඇති බවයි.

නය වෙලඳපොලවල කඩාකප්පල් වීම් වැලැක්වීමට මහ බැංකුව උත්සාහ කලත්, එක්සත් ජනපද සහ ගෝලීය ආර්ථිකයේ  තත්වය නරක අතට හැරෙමින් තිබේ.

සංචාරක සීමාවන් නිසා පීඩාවට පත්ව සිටින එක්සත් ජනපද ගුවන් කර්මාන්තය, මාස දෙකක් තුල  බංකොලොත් වීම වැලැක්වීම සඳහා ඩොලර් බිලියන 200 ක් දක්වා හදිසි ආධාර ලබා දෙන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා තිබේ.

ප්‍රධාන කර්මාන්ත ආයතනය වන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (අයිඒටීඒ) කියා සිටියේ, සමහර ගුවන් සමාගම් වඩා ශක්තිමත් ස්ථානයක සිටියද “බහුතරය සිටින්නේ ඉතා අඩමාන තැනක” බවයි.

අර්බුදයේ වේගය පෙන්නුම් කරමින් අයිඒටීඒ පවසා ඇත්තේ, නරකම අවස්ථාව වුනේ සතියකට පමන පෙර ලැබූ ඩොලර් බිලියන 113 ක පාඩුවයි. දැන් තත්වය “නිසැකවම” ඉතා පහත් තැනකට වැටී තිබෙන බවය.

නය ශ්‍රේනිගත කිරීමේ මූඩීස් ආයතනය, පුලුල් පරාසයක යුරෝපීය ගුවන් සමාගම් විසින් නිකුත් කරන ලද නයවල  ශ්‍රේනි පහත හෙලමින් සිටී.

එක්සත් ජනපදයේ දැවැන්ත ගුවන් යානා නිෂ්පාදකයා වන බෝයිං, ගුවන් කර්මාන්තයට ඩොලර් බිලියන 60ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.   සිය ඩොලර් බිලියන 13.8 ක මුලු නය මුදලම භාවිතා කර අවසන්ව ඇති බව සමාගම විසින් අනාවරනය කිරීමත් සමඟ මෙම ඉල්ලීම ඉදිරිපත් විය.

මැරියට් ඉන්ටර්නැෂනල් ගෝලීය හෝටල් සමූහය නිවේදනය කලේ, සිය දස දහස් ගනන් කාර්ය මන්ඬලය නොගෙවන නිවාඩු යවන බවයි.

යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් වන ෆොක්ස්වැගන්, ෆෝඩ්, ඩේම්ලර් බෙන්ස් සහ නිසාන් යන සමාගම් වැඩ නතර කර ඇති අතර කර්මාන්තයේ වැඩි කොටසක් ඇනහිට තිබේ.

ඊයේ, ගෝල්ඩ්මන් සැක්ස් සහ මෝගන් ස්ටැන්ලි හි ආර්ථික විද්‍යාඥයන් සෙසු අය සමඟ එක්ව කියා සිටියේ, ගෝලීය අවපාතයක් දිගහැරෙමින් ඇති බවයි. එකම ප්‍රශ්නය එය කොපමන කාලයක් පවතීද හා කොතරම් දරුනු වේද යන්නයි.

සැබෑ ආර්ථිකයේ පහත වැටීම, මූල්‍ය වෙලඳපොලවලට මැදිහත්වීම හෝ සමාගම් වලට තව තවත් දීමනා ලබාදීමෙන් නතර නොවනු ඇත. එක්සත් ජනපද සමීක්ෂන දත්ත වලින් හෙලි වන පරිදි එය ලොව පුරා දැවැන්ත දොට්ට දැමීම් සහ වැටුප් කප්පාදු සිදුකරමින් අඛන්ඩව ගැඹුරු වනු ඇත.

වෛරසය පැතිරීම පාලනය කරන තෙක් මෙම අර්බුදය පහව යන්නේ නැත. එහෙත් වෛරසය පැතිර යාම පාලනය කිරීමේදී මතුව තිබෙන ගැටලු, ප්‍රධානකොටම දශක ගනනාවක් තිස්සේ, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් මූලික සමාජ පහසුකම් කප්පාදු කිරීමේ ප්‍රතිපල වේ. ආන්ඩු එම කප්පාදු ක්‍රියාත්මක කලේ, මූල්‍ය වෙලඳපොලවල හා සමාගම් ප්‍රභූවේ අන පරිදිය.

දැන්, ඇප ඉල්ලා සිටින අය  යලිත් උත්සාහ කරන්නේ, සමාජයේ අවශ්‍යතාවන්ට එරෙහි ඔවුන්ගේ නිර්දය පන්ති යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය කම්කරු පන්තිය මත පැටවීමටය. 

Loading