සහෝදර, සහෝදරියනි,
2025 වසර, ලොවපුරා වෙසෙන ඔබ ඇතුලු බිලියන සංඛ්‍යාත තරුනයන්ට, කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට ඉතා තීරනාත්මක වසරක් වනු ඇති බව පලමුවෙන්ම අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.
වඩ වඩාත් ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඇතුලු ලොව පුරා ධනපති ආන්ඩු, ඔබේත්, කම්කරු පීඩිත මහජනතාවගේත්, මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය වැනි සමාජ අයිතීන් වලට සහ භාෂනයේ සහ රැස්වීමේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට දැවැන්ත ම ප්‍රහාරයක් එල්ල කරනු ඇත.
මෙම වසර ආරම්භ වීමත් සමග පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී අපි මෙය අත්වින්දෙමු. එහි දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ (පීඑස්එස්ඒ) අනුග්‍රහයෙන්, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද?“ යන මාතෘකාව යටතේ, ජනවාරි 03 දා පැවැත්වීමට නියමිතව තිබූ සසජාතශි රැස්වීම විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එදින උදේ වරුවේ තහනම් කෙරුනි.
විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම, දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා වෙත දන්වා සිටියේ, රැස්වීමේ මාතෘකාව “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙනෙන පරිදි සංශෝධනය කරන ලෙසත්, එසේ නොවුවහොත්, ඉහත රැස්වීම වහාම අත්හිටුවීමට සිදුවන බව සැලකිල්ලට ගන්නා” ලෙසයි.
භාෂනයේ නිදහසට එල්ල කල මෙම ප්‍රහාරයට එරෙහි ව ශිෂ්‍යයන්ගෙන්, ශාස්ත්‍රාලිකයන්ගෙන් සහ කම්කරුවන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ, වැඩබලන උපකුලපතිගේ ලිපියේ අන්තර්ගතයෙන් සපුරා ම වෙනස් වූ අන්තර්ගතයක් සහිත ප්‍රකාශයක්, ජනවාරි 10 දා උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් නිකුත් කලේ ය. එයට අනුව රැස්වීම තහනම් කෙරී ඇත්තේ, අවසර ගැනීමේ පටිපාටිය අනුගමනය නොකල බැවිනි.
ඔබ දන්නා පරිදි, සසජාතශි, පීඑස්එස්ඒ අනුග්‍රහයෙන් පසුගිය දෙවසර තුල, විවිධ මාතෘකා යටතේ රැස්වීම් 5 ක් පවත්වා ඇති නමුත්, මෙවන් පරිපාලනමය පටිපාටි හරස් කිරීමක් සිදුව නොමැත. එසේනම් මෙම රැස්වීමට එරෙහි ව එම පටිපාටි හරස් කරන්නේ ඇයි?
එම රැස්වීමේ මාතෘකාව, ජාමූඅ කප්පාදු ක්‍රියාවට නැංවීමට කැපවී සිටින ජවිපෙ/ජාජබ “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන” බැවින්, මෙම තහනම ආන්ඩුවේ මැදිහත්වීමෙන් ගනුලැබූ තීන්දුවක් බව නිසැක ය. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව සිටින ඔබ හා කම්කරුවන් අතරින්, ප්‍රහාර පරාජය කිරීම සඳහා සසජාතශි ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සහයෝගය ගොනුවනු ඇතැයි විශ්වවිද්‍යාල බලධාරීන් සහ ආන්ඩුව කනස්සල්ලට පත්වී තිබේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන ඔබ දැනටමත්, නේවාසිකාගාර, දේශන ශාලා සහ ආචාර්යවරුන්ගේ හිගයකට මුහුන දී සිටී. ලැබෙන සොච්චම් මහපොල ශිෂ්‍යාධාරය ඉහල යන ජීවන වියදම පියවා ගැනීමට කිසිසේත් ප්‍රමානවත් නොවේ. එම කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමට එරෙහිව දැනටමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සටනට පිවිස සිටිති.
සසජාතශි රැස්වීම පැවැත්වීමට තිබූ දිනට පෙර දින, විශ්වවිද්‍යාලය තුල සීසීටීවී කැමරා සවි කිරීම, සවස 6.30 න් පසු සරසවියේ රැඳී සිටීම තහනම් කිරීම හා ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පන්ති තහනම් කිරීම ආදී ප්‍රහාරයන්ට එරෙහි ව සිසු විරෝධතා පැවතුනි. අනතුරුව, අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි ව, පේරාදෙනියේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක ශිෂ්‍ය විරෝධතා පැන නැගුනි.
මෙම තතු යටතේ, ජනවාරී මස 15 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සියලුම ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා පියවර ගත්තේ ය. පසුව එම තහනම ඉවත් කෙරුන ද විරෝධතා සහ රැස්වීම් පැවැත්වීම ඇතුලු ඔබ සතු ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත දැඩි සීමාවන් පැනවීම සඳහා ආන්ඩුවේ සහ විශ්වවිද්‍යාල පරිපාලනයේ සූදානම ඉන් පෙන්නුම් කෙරුනි.
දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය සසජාතශි රැස්වීමට අවසර ලබා ගැනීමේදී, සිසු සංගම් මෙතෙක් සාමන්‍යයෙන් අනුගමනය නොකල ක්‍රියා පටිපාටියක්, එනම්, ප්‍රධාන ආරක්ෂක නිලධාරී, විනය පාලක, සහ අනෙකුත් නම් නොකල නිලධාරින් හරහා උපකුලපතිගේ අවසරය ලබා ගැනීම දක්වා වන පටිපාටිය අනුගමනය කොට නැතැයි කියා තිබේ. මේ ආකාර වූ විධි විධාන හරහා යාමට සියලු ම සිසු සංගම්වලට මින් ඉදිරියට බල කෙරෙනු ඇත.
'ආන්ඩුවට අභියෝගයක් වන” හෝ බලධාරීන් අකැමැති සටන් පාඨ හෝ මාතෘකා මත දේශන හෝ රැස්වීම් පැවැත්වීමට නොහැකි වනු ඇත. මෙය ඇත්තෙන් ම විශ්වවිද්‍යාල තුල විවිධ තේමා යටතේ රැස්වීම්, වාදවිවාද, සංවාද ආදී විවිධ මාධ්‍යයන් මගින් සිය බුද්ධිමය අවි මුවාත් කර ගැනීමට ඔබට ඇති අයිතිය, භාෂනයේ, ප්‍රකාශනයේ හා සංවිධානය වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමක් නොවේද?
ලෝකය පුරා ධනපති පාලනයන් මෙවැනි ප්‍රහාර මුදා හැර ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බිලියනපතියන්ගේ අවශ්‍යතා පරිදි කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කරමින් ෆැසිස්ට් පාලනයක් වර්ධනය කරමින් සිටී. මිලියන 30 ක සංක්‍රමනික කම්කරුවන් පිටුවහල් කිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරනයට එරෙහිව දැන් ඇමරිකාව පුරා විරෝධතා පැන නැග ඇත. අධ්‍යාපනයට වෙන්කර ඇති ඩොලර් බිලියන 80 ආන්ඩුව අතට ගෙන ඇති ට්‍රම්ප්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව බිඳ හෙලීමට සුදානම් වන බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේය. ට්‍රම්ප්, රටවල් ගනනාවකින් කෙරෙන ආනයන මත සුවිසල් තීරු බදු පනවා ලෝක ආර්ථිකයට දරුනු ප්‍රතිවිපාක අත්කර දෙමින් තුන්වන ලෝක යුද්ධයක් දිසාවට වන අධිරාජ්‍යවාදී යුද ධාවනය වේගවත් කර ඇත.
සහෝදර, සහෝදරියනි, ලෝකය පුරා වැඩෙන මෙම අර්බූදයේ තියුනු ප්‍රකාශනයක් ශ්‍රී ලංකාව තුල පසුගිය වසර කිහිපය තුල ඔබ අප අත්දැක ඇත. ලංකාවේ සාම්ප්‍රදායික ධනපති පක්ෂවලට එරෙහි මහජන වෛරය ගසා කමින් බලයට පැමිනි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන්ගේ අයිතීන් මිරිකමින් වික්‍රමසිංහ ආන්ඩුව අරඹා තිබූ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයමින් අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ගේ, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ මලු පිරවීම සඳහා ජාමූඅ නියම කල නියෝග අකුරටම ක්‍රියාවට දමමින් සිටී.
රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් පෞද්ගලීකරනය, රාජ්‍ය අංශයේ ලක්ෂ ගනනක රැකියා කප්පාදුව, වැට් ඇතුලු දන්ඩනීය බදු ඉහල දැමීම හා මේ වනවිට පන අදින තත්වයට පිරිහෙලා තිබෙන අධ්‍යාපන හා සෞඛ්‍යය සේවා තවදුරටත් කප්පාදුවට ලක් කිරීම ජාමූඅ වැඩපිලිවෙලට අන්තර්ගත වේ.
ජාජබ/ජවිපෙ, දෙස් විදෙස් මහ ව්‍යාපාරිකයන්ගේ හා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ විශ්වාසය දිනා ගත් ලංකාවේ ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති බවත්, බලයට පත්වුවහොත් ජාමූඅ කප්පාදුව වික්‍රමසිංහ ආන්ඩුවටත් වඩා රුදුරුව ඉදිරියට ගෙන යෑම සඳහා ආඥාදායක පාලනයක් කරා ගමන් කරනු ඇති බවත් පෙන්වා දුන්නේ සසජාතශි හා ඊට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.
සහෝදර, සහෝදරියනි,
ධනපති ප්‍රහාර පරාජය කිරීමටත්, විශ්වවිද්‍යාල තුල සංස්කෘතික සහ බුද්ධිමය ජීවිතය පුනර්ජීවනය කිරීමටත් අතීත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් විශ්වවිද්‍යාල තුල යලි පනගැන්වීම අත්‍යවශ්‍ය ය. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භක කාලපරිච්ඡේදයේ දී ශිෂ්‍ය සංගම් හා ආචාර්යවරුන් අතර, තම දේශපාලන අදහස් සම්බන්ධව නිදහසේ වාද විවාද පැවැත්වීමේ හා නිදහස් අධ්‍යාපන අයිතිය උදෙසා සටන් වැදීමේ සම්ප්‍රදායක් පැවතුනි. ට්‍රොට්ස්කිවාදී බෝල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පී) කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ගෙන ගිය අරගලය නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමේ මූලික ක්‍රියාකලාපය ඉෂ්ඨ කලේ ය.
නමුත්, මාවෝවාදය, චේ ගුවේරාවාදය වැනි ප්‍රති-මාක්ස්වාදී දෘෂ්ටිවාදයන් හා සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ ජවිපෙ හා එහි අන්ඩක් ලෙස 1970 අග වැඩ ඇරඹූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය (අවිශිබම) එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට මුලුමනින්ම හතුරුව පිහිටියේ ය. පසුගිය දශක හතරට වැඩි කාලපරිච්ඡේදයක් ජවිපෙ හා ජවිපෙන් භේද වූ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ක්‍රියාත්මක අවිශිබම යේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනය නැති බවත් ඇත්තේ “ශිෂ්‍ය දේශපාලනය“ කියමින් ඔවුන්ගේ ධනපති ගති දේශපාලනය ක්‍රියාත්මක කරති.
විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස රැස්වීමක් තහනම් කර, පසුව උපකුලපති විසින් ශිෂ්‍ය සංගම් තහනම් කර තිබිය දී මෙම සංවිධාන සිදු කලේ කුමක් ද?
ජවිපෙ පාලනය යටතේ පවතින පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමය හෝ අවිශිබමය හෝ සසජාතශි රැස්වීම තහනම් කිරීමට විරුද්ධත්වය පල කලේ නැත. පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමයේ හා තවත් පීඨ සංගම් නායකයෝ උපකුලපති සමග සාකච්ඡා කල අතර එහිදී කිසිදු විරෝධතාවයක්, රැස්වීමක් නො පවත්වන බවට ඔහුට ප්‍රතිඥා දුන්හ.
අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙසප, සමස්ත නිදහස් අධ්‍යාපන කප්පාදුවට යටින් පවතින ධනේෂ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය පිලිබඳව ශිෂ්‍යයන්ගේ අවධානය යොමු නො කරන්නේ ඔවුන්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන බැවිනි. ඔවුන් පදනම් වී ඇත්තේ, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන ව්‍යාජය මත ය.
වැටුපේ සැබෑ වටිනාකම් ඛාදනයට, රැකියා කප්පාදුවට හා දරුනුවන රැකියා කොන්දේසිවලට එරෙහිව කම්කරු පන්තිය ද අධ්‍යාපන හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ජාජබ/ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද අරගලයට එලඹිය යුතුවේ, එවෙනි අරගල ඉදිරි සති, මාසවල පුපුරා යාමට නියමිත ය.
නමුත්, 2022 ලංකාවේ මහජන නැගිටීම ඇතුලු ජාත්‍යන්තර අත්දැකීම්වල පාඩම වන්නේ, එවන් අරගල පැන නැගුන ද, නිවැරදි ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් සම්පාදනය කරන මහජන විප්ලවවාදී පක්ෂයක් නොමැති වූ විට එම අරගල වලට සාර්ථක විය නොහැකි බවයි.
ජාතිකව, ධනපති ක්‍රමය තුල මහජනයාගේ කිසිදු ප්‍රශ්නයක් විසඳා ගත නො හැකි බව අපි කියා සිටින්නෙමු. කෘතීම බුද්ධිය ඇතුලු විද්‍යාව තාක්ෂනය තුල මානව වර්ගයා අත්පත් කරගෙන තිබෙන අද්විතීය ජයග්‍රහන උපයෝගී කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සමාජ අයිතීන් තහවුරු කල හැක්කේ ද, මානව වර්ගයාගේ ආර්ථික සමාජ-සංස්කෘතික ජීවිතය නව ඉහලකට ඔසවමින් සමාජ සමානතාවය තහවුරු කල හැක්කේ ද, අතලොස්සකගේ ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ජාත්‍යන්තර සමාජවාදය යටතේ පමනි.
දැන්, තරුනයන් සහ ශිෂ්‍යයන්, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ඓතිහාසික ශක්‍යතාවය සහිත ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්වෙමින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරව ගොඩනැගීමට එකතුවීම අවශ්‍යය ය. පහත ඉල්ලීම් මත සටන් වදින ලෙස ද අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
• සසජාතශි රැස්වීමට පැනවූ තහනම ඉවත් කරනු!
• භාෂනයේ නිදහසට අත නො තබනු !
• විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු !
• සියලු දෙනාට ප්‍රවේශ විය හැකි ලෙස නිදහස් අධ්‍යාපන අවස්ථා පුලුල්
කිරීමට බිලියන ගනන් මුදල් යොදවනු!
• සෑම විශ්වවිද්‍යාලයක් තුලම සසජාතශි ශාඛා ගොඩනගමු!
ඒ සමගම, සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකින සහ එම රැස්වීම යලි පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස බල කරන විරෝධතා ලිපි විශ්වවිද්‍යාල බලධාරීන් වෙත යවමින් අපගේ උද්ඝෝෂනයට සම්බන්ධ වන්න.