ජාතික ජන බලවේග (ජාජබ) / ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ) ආන්ඩුවේ අගමැති අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ඔක්තෝබර් මාසයේ 17 වනදා විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් සමග කල සාකච්ඡාවකදී ශිෂ්‍යයෝ මුහුන දෙන දැවෙන ප්‍රශ්න වලට කඩිනමින් විසඳුම් ලබාදිය නොහැකි බව සඳහන් කලාය.
මහපොල ශිෂ්‍යාධාරය දෙගුනයකින් වැඩි කිරීම, නේවාසිකාගාර ගැටලු, ආචාර්යවරුන්ගේ හිඟය, අධ්‍යාපනය පෞද්ගලීකරනය නතර කිරීම යන කාරනා වලට අදාලව ඇය මෙම ප්‍රකාශය කරන ලදී.
මෙම සාකච්ඡාවේදී මූලිකත්වය ගත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) යි. ශිෂ්‍යයන් අතර තමන් මුහුන දෙන දුෂ්කර සමාජ ආර්ථික කොන්දේසි පිලිබඳව දශක ගනනක් තිස්සේ කඳුගසෙන විරුද්ධත්වයක් පවතී. කෙසේ වෙතත්, ආන්ඩුවේ ප්‍රතිචාරය පෙන්නුම් කලේ මීට පෙර ධනපති ආන්ඩු මෙන්ම ජාජබ/ජවිපෙ ආන්ඩුව ද ශිෂ්‍යයෝ මුහුන දෙන මෙම ප්‍රශ්න කෙරෙහි දක්වන නොතකා හැරීමයි.
ශිෂ්‍යයන්ගේ වැඩෙන විරුද්ධත්වය ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම සඳහා යොමු කිරීමේ දීර්ඝ ඉතිහාසයක් අවිශිබමට ඇත. අගමැතිනිය සමග සාකච්ඡාවෙන් පසු සිසු ගැටලු ගැන ඇගේ නොතැකීම පිලිබඳව මාධ්‍යයට කරුනු දැක්වූ අවිශිබම කැඳවුම්කරු,ඉන්ද්‍රජිත් මධුශාන් ආයතන මට්ටමින් සිසු ප්‍රශ්න ගැන උද්ඝෝෂනය කරන බව කියා සිටියේය. පසුගිය දින කිහිපයක් ජයවර්ධනපුර, සබරගමුව, කැලනිය විශ්ව විද්‍යාලයන්හී එසේ උද්ඝෝෂන පැවැත්විනි.
තවත් වටයක උද්ඝෝෂන වලින් පලක් ඇත්දයි ඒවාට උනන්දුවෙන් සහභාගිවන සිසුවෙක් ප්‍රශ්න කලහොත්, මොනවා හෝ ලැබෙනු ඇතැයි මධුශාන් කියනු නිසැක ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනයෙන් මෙහෙයවෙන අවිශිබම නායකයන්ට ඇත්තේ ධනපති ක්‍රමය තුල විසඳුම් සෙවීමේ වැරහැලි ක්රියාමාර්ගයකි.
පහත පලකර ඇති සිසු ගැටලු කිහිපය වුව පෙන්නුම් කරන්නේ අර්බුදයෙන් වියරුවී සිටින ධනපති ක්‍රමය තුල ඒවාට විසඳුම් නැතිබවයි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය සති කිහිපය පුරා විවිධ විශ්ව විද්‍යාල වල “අධ්‍යාපන ඇමති අමරසූරිය ශිෂ්‍ය නායකයින්ගේ ඉල්ලීම් ඉවතලයි” ලිපිය බෙදා හරිමින් ශිෂ්‍යයන් සමග ඔවුන් මුහුන දෙන සමාජ ආර්ථික ගැටලු පිලිබඳව සාකච්ඡා කලහ. අධ්‍යාපන කටයුතු අඛන්ඩව ගෙන යාම සඳහා තමන් මුහුන දෙන මෙම ප්‍රශ්න විසඳීමේ හදිසිභාවය සිසුහු පෙන්වා දුන්හ.
වයඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි උසස් තාක්ෂන ආයතනයේ ශිෂ්‍යාවක් වන තරුෂි කියා සිටියේ සිසුන් 1000ක් පමන අධ්‍යාපනය ලබන තම ආයතනයේ කිසිදු ශිෂ්‍යයෙකුට නේවාසිකාගාර හිමි නොවන බවයි. එමෙන්ම ශිෂ්‍යාධාර ලෙස ලැබෙන්නේ රුපියල් 4000 ක් පමනි. එය සිසුන්ගේ බෝඩිම් ගාස්තු ගෙවීමට පවා නොපෑහෙන බව ඇය සඳහන් කලාය.
ඉහල යන වියදම් හේතුවෙන් බොහෝ විට ආහාර වේල් මග හැරීමට බවා සිදුව ඇති බව තරුෂි කීවාය. “මං තව ලමයි පස් දෙනෙක් එක්ක ඉන්නේ. කඩෙන් කන එක වියදම් නිසා පොඩි කුස්සියක අපි ගෙවල්වලින් බඩු ගෙනත් උයා ගන්නවා. වියදම් වැඩි නිසා බොහෝ දවස්වලට වේල් දෙකයි කන්නේ.”
ඇයගේ පියා බ්ලොක් ගල් නිෂ්පාදනය කර පවුල නඩත්තු කරයි. තමන්ට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටින බැවින් ප්‍රමානවත් වියදමක් ගෙදරින් නො ලැබෙන බව ද ඇය ප්‍රකාශ කලා ය. මේ හා සමාන කොන්දේසි වලට ලංකාව පුරා විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පොදුවේ මුහුන දෙති. ඉහල යන ජීවන වියදම් යටතේ දෙමව්පියෝ අධ්‍යාපනයට වියදම් වෙන් කරන්නේ ඉමහත් අසීරුතාවයන්ට මුහුන දෙමිනි.
වයඹ විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ ශිෂ්‍යාවක් කියා සිටියේ තම ආහාර වියදම් දැරීමට සතියකට රුපියල් 3000 ක් පමන දෙමාපියන් ලබා දෙන බවයි. එවැනි මුදලක් දෙමාපියන් ලබා දෙන්නේ ඔවුන් නිසි පරිදි ආහාර නො ගැනීමෙන් බව ඇය කියා සිටියා ය.
මීට අමතරව විශ්ව විද්‍යාල තුල වියදම් කප්පාදු කිරීමේ අරමුනින් තාවකාලික පදනම් යටතේ සොච්චම් පඩියකට ආචාර්යවරුන් බඳවා ගැනෙයි. පරිගනක සන්නිවේදන අංශයේ තාවකාලික පදනමේ රැකියා කරන තරුන ආචාර්යවරයෙක් කියා සිටියේ මාස හයකට වරක් කොන්ත්‍රාත් පදනමෙන් මෙම විෂය සඳහා ආචාර්යවරු බඳවා ගන්නා බවයි. ඔහුට මසකට හිමිවන්නේ රුපියල් 40,000ක වැටුපකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග යටතේ ක්‍රියාවට දමා ඇති බදු පිලිවෙත් හේතුවෙන් ස්ථිර පදනම යටතේ විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්යවරුන්ගේ ජීවන කොන්දේසි ද ඛාදනය වී ඇත. සසජාතශි සාමාජිකයන්ට ආචාර්යවරියක් කියා සිටියේ තම වැටුපෙන් රුපියල් 18,000 ක් පමන උපයන විට බද්දට කැපෙන බවයි. ඇයගේ මාසික වැටුප 100,000ට මඳක් වැඩි මුදලකි.
මේ හේතුකොට ගෙන බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදෙස් රටවල රැකියා සොයා සංක්‍රමනය වීම නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය සැලකිය යුතු මට්ටමක් කරා ඉහල නැග ඇත. මෙම බද්ද ඉහල නැංවීම ජාමුඅ 2023 ලබාදුන් ඩොලර් බිලියන 3ක නයට ගැටගසා ඇති කොන්දේසි වල මූලික කරුනකි. මෙම ජාමුඅ වැඩපිලිවෙල ම අනුගමනය කරමින් සිටින ජාජබ ආන්ඩුවේ අමරසූරිය සාකච්ඡාවේදී සඳහන් කලේ උපයන විට බද්ද පිලිබඳව සමාලෝචනය කල යුතු බවයි.
ආචාර්යවරිය සඳහන් කලේ ගුරු ශිෂ්‍ය අනුපාතය දැන් විශාල ලෙස ඉහල ගොස් ඇති බවයි. ඊට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම වැනි පැලැස්තර ඇලවූවද ඒවා සාර්ථක නොවන බව ඇය සඳහන් කලාය.
සංඛ්‍යා ලේඛන වලට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා ආචාර්යවරුන් 12,900 ක් අවශ්‍ය නමුත් දැනට සේවයේ සිටින්නේ 6,548 ක් පමනකි. මේ හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වීමේ අද්දරට පැමින ඇත. හිඟය හේතුවෙන් විශ්ව විද්‍යාල තුල ඇතැම් පාඨමාලා පවා ක්‍රියාත්මක වන්නේ අසීරුවෙනි. කෙසේ වෙතත් අධ්‍යාපන ඇමතිනිය මෙයට ශිෂ්‍ය සංගම් සමග පැවති සාකච්ඡාවේදී ප්‍රතිචාර දක්වා තිබුනේ එය කඩිනමින් විසඳිය නොහැකි බව කියමිනි.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුවෙක් සඳහන් කලේ මේ වන විට තමන් පැමින මාස අටක් ගත වූවත් මහපොල ලැබී ඇත්තේ එක් මාසයක් සඳහා පමනක් බවයි. “ඉතිරි මාස හතේ හිඟය ලබන වසරේ ලබාදෙන බවට පොරොන්දු වී” ඇති බව ඔහු කීවේය.
ආපන ශාලා වල ආහාර මිල ගනන් සැලකිය යුතු මට්ටම් වලින් ඉහල ගොස් ඇති බව සඳහන් කල ඔහු කීවේ යම් ආකාරයක හෝ ගුනාත්මක භාවයෙන් යුතු කෑම වේලක් ගැනීමට රුපියල් දෙසියපනහක පමන මුදලක් වැය වන බවයි.
යාපනය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂනයේ යෙදුනු සසජාතශි කන්ඩායමට මුන ගැසුනු ශිෂ්‍යයෝ සඳහන් කලේ මේ හා සමාන කොන්දේසිය. විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුවෙකු වන කුසල් පැවසුවේ දෙමව්පියන්ට අධ්‍යාපන වියදම් දරා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇති බවයි.
“මගේ මව ගුරුවරියක් නිසා මහපොල ලැබෙන්නෙ නෑ. කලින් තීන්දු කෙරුනු වැටුප් වැඩිවීමෙන් මවට රුපියල් 10,000ක පමන වැඩි වීමක් ලැබීමට තිබුනා. එය තම පවුලේ වියදම් කලමනාකරනයට ප්‍රමානවත් වැඩි වීමක් නොවුනත් එවැනි සුලු වැඩි වීමක් පවා නතර කිරීම ප්‍රශ්න සහගතයි,” ඔහු සඳහන් කලේය.
ජීවන වියදම ඇතුලු ආර්ථික ප්‍රශ්න ශිෂ්‍යයන් මත පැටවෙන අතර අනෙක් පසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විභාග බරින් පවා හෙම්බත් ව සිටින බව කුසල් කීවේය. ඉක්මනින් සමාසික අවසන් කිරීම සඳහා පාලනාධිකාරීන් ගෙන යන වැඩ කටයුතු හේතුවෙන් සිසුන්ට සාමාජ ජීවිතය පවා අහිමි කර ඇත.
ඇතැම් ශිෂ්‍යයෝ පවසා සිටියේ ඇතැම් විට පෙර දැනුම් දීමකින් තොර ව ම පරීක්ෂන පැවැත්වෙන බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍යයන් පූර්න කාලීන ව අධ්‍යයන කටයුතුවල නිරත වීම අපේක්ෂා කල ද ඔවුන්ට ඒ සඳහා වාතාවරනයක් නිර්මානය කෙරී නැත. මේ තත්වය තුල ශිෂ්‍යයෝ පාඨමාලා හැර යන කොන්දේසි නිර්මානය වී ඇත.
තවත් පලමු වසර සිසුවෙක් වන සඳරුවන් පවසා සිටියේ තමුන් නේවාසිකාගාර ගැටලුවට දැඩි ව මුහුන දී සිටින බවයි. සිසුන්ට නේවාසිකාගාර පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සැපයෙන්නේ පලමු වසරේ දී සහ අවසන් වසරේ දී පමනි. දෙවැනි වසරට යාමේ දී පෞද්ගලික නවාතැනක් සොයා ගැනීමට සිදු වේ. සාමාන්‍යයෙන් සිදු වන්නේ සිසුන් කීප දෙනෙකු එකතු වී නිවාසයක් කුලියට ගෙන බෝඩිම් නිවාසයක් ලෙස පවත්වා ගැනීමයි.
“විශ්වවිද්‍යාලය අසල බෝඩීම් මිල අධිකයි. සාමාන්‍යයෙන් නිවසක් සඳහා රුපියල් ලක්ෂයකට අධික මාසික කුලියක් ගෙවිය යුතු යි. මන් තවත් සිසුන් 12 දෙනෙකු සමගින් ලබන වසර සඳහා දුෂ්කර සෙවුමකින් පසු රුපියල් 110,000කට කුලියකට ගත් නිවසක ඉන්නේ. ඒකෙත් එක්කෙනෙක් මාසෙකට 8500 ගෙවන්න ඕනේ,” සඳරුවන් කියා සිටියේය.
භෞතීය විද්‍යා ධාරාවෙන් උපාධිය හදාරන මධූක වියදම් ඉහල ගොස් ඇති ආකාරය පැහැදිලි කලේය. “මාසික ව ආහාර සඳහා රුපියල් 20 000කට ආසන්න වියදමක් යනවා. බෝඩිම් ගාස්තු වලට රුපියල් 10000 ක් වියදම් වෙනවා. මේ වියදම් තාත්තගෙ රස්සාවේ ආදායමත් එක්ක පෑහෙන්නෙ නෑ. මේ නිසා අමතර රැකියාවලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ.”
තාත්තා පින්තාරුකරුවෙකු බවත් ඔහුට කොන්ත්‍රාත් ලැබෙන්නේ නම් මාසික ව 50 000ක් වැනි මුදලක් උපයා ගත හැකි බවත් මධූක පැවසීය. මේ නිසා තමන්ට තම පියාගෙන් නොයැපී අමතර රැකියාවන්ට යොමු වීමට බල කෙරී ඇති බව ඔහු සඳහන් කලේ ය. විශ්වවිද්‍යාලයෙන් ලැබෙන මාසික ව රුපියල් 4000ක ශිෂ්‍යාධාරයට මෙම වියදම් වලට ප්‍රමානවත් නොවන බව ඔහු කීවේය.
මෙම කොන්දේසි ගසා කමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ ශ්‍රමය සූරා කනු ලැබීම ම ඉලක්ක කර ගත් මෑන්පවර් ආයතන බිහි ව ඇත. ඔහු පවසා සිටියේ මෙබඳු ආයතන හරහා තමන්ට වේටර් වැඩ, පිරිසිදු කිරීමේ රැකියා ආදිය ලැබෙන බවත් තමන්ට ලැබෙන වේතනයෙන් ඇතැම් විට වැඩි පංගුවක් මෙම තැරැවුකරුවන් ලබා ගන්නා බවත් ය. උදාහරනයක් වශයෙන් රුපියල් පන්දහසක් සම්පූර්න දිනක් වේටර්වරයෙකු ලෙස වැඩ කිරීමට ගෙවන්නේ නම් ඉන් රුපියල් 3,000ක් ම තැරැවුකරු ලබා ගනී.
මෙම කොන්දේසි පෙන්නුම් කරන්නේ පසුගිය දශක ගනනාව තිස්සේ ධනපති ආන්ඩු අධ්‍යාපනය මත සහ මහජනතාවගේ සමාජ ආර්ථික කොන්දේසි මත එල්ල කල ප්රහාරයන් ශිෂ්‍යයන්ට බලපා ඇති ආකාරයයි. පසුගිය වසර දෙක තුල ජාමුඅ කප්පාදු නියෝග යටතේ මෙම ප්‍රහාර තවදුරටත් තියුනු කෙරිනි.
සිසුන් මුහුන් දෙන ප්‍රශ්න කම්කරුවන් හා දුගීන්ගේ කටුක කොන්දේසිවල ම කොටසකි. ආන්ඩුවේ ප්‍රමුඛතාවය පවතින්නේ ඒවා විසඳීම සඳහා නොව ජාමුඅ කප්පාදුව ක්‍රියාවට දැමීම සඳහාය. ඒ සඳහා ඉඟි පල කරමින් රාජ්‍ය සේවකයන් සඳහා ලබා දීමට නියමිතව පැවතුන වැටුප් වැඩිවීම ආන්ඩුව අත්හිටවූයේය.
මහමැතිවරනයෙන් පසු ජාමුඅ ඇප නයෙහි සිව්වන වාරිකය පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය නිදහස් කිරීම සඳහා නම් ජාමුඅ හි කප්පාදු නියෝග ආන්ඩුව ඉටු කර තිබිය යුතුවේ. කලින් ආන්ඩු මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ද පවසන්නේ, ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ පසු අනෙක් ප්‍රශ්න විසඳිය හැකි බවයි.
මෙම තතු තුල අවිශිබම යලිත් නොවැම්බර් 6 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවීමට ගිය අතර ඉන් පසුව මාධ්‍ය වෙත සඳහන් කලේ ආන්ඩුව ශිෂ්‍යයෝ මුහුන දෙන ප්‍රශ්න වලට “කඩිනම් විසඳුම්” දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. යලි යලිත් අවිශිබම උත්සාහ දරන්නේ ශිෂ්‍යයන්ගේ වැඩෙන විරුද්ධත්වය ධනපති ආන්ඩු තුල සිර කිරීමටය.
මෙම ප්රහාරයන්ගේ මූලය පවතින්නේ ගැඹුරුවෙමින් පවතින ධනපති ක්රමයේ අර්බුදය තුලය. අධිරාජ්‍යවාදී රටවල් පටන් සෑම රටකම ඔඩුදුවා ඇති අර්බුදය තුල පාලක පන්තීන්ගේ ප්‍රමුඛතාව එහි බර වැඩකරන ජනයා මත රුදුරු ලෙස පටවා ලාභ රැක ගැනීමයි. මෙම ධාවනයේ දී සෑම රටකම ප්‍රථම ගොදුර බවට පත්ව ඇත්තේ සුභසාධන කපා හෙලිමයි.
ධනපති ක්‍රමයට ගැසී ඇති සංවිධානවලට ධනපති පන්තිය වෙතට හිඟන පාත්තරය දික්කරනවා හැරෙන්ට වෙන ක්‍රමයක් නැත. ධනපති ක්‍රමය තුලට ඔවුන්ගේ මුල් කෙතරම් ගැඹුරට ඇදී ඇත්ද යත් ඉන් පිටස්තර ක්‍රමයක් ගැන සිතීමට පවා ඔවුන්ට නොහැකිය.
සසජාතශි මෙම කොන්දේසි පෙරලා දැමීමට දේශපාලන අරගලයක් යෝජනා කරමින් අධ්‍යාපනයට සහ මහජනතාවගේ අවශ්‍යතා සඳහා වෙන් කිරීමට අවශ්‍ය මුදල් සහ සම්පත් අත්පත් කර ගැනීමට සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරයි.
• මහා සමාගම්, වතු සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු!
• ජාමූඅ කප්පාදු සහ පුද්ගලීකරනය එපා! සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
ලාභය සඳහා නොව මනුෂ්‍ය අවශ්‍යතාවන් සඳහා නිෂ්පාදන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තිය, සෙසු පීඩිත ජනයාගේ සහාය ඇතිව, තමන් අතට බලය ගෙන කම්කරුවන්ගේ හා ගොවින්ගේ ආන්ඩුවක් පිහිටුවිය යුතුවේ. මෙය ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කරන අරගලයක කොටසකි.
ශිෂ්‍යයන්ගේ සහ මහජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳිය හැකි එකම වැඩපිලිවෙල මෙයයි.