[මෙය The oligarchs’ election යන මැයෙන් 2024 ඔක්තෝබර් 21 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
2024 ජනාධිපතිවරනය තුල, පෙර පැවති මැතිවරන පවා අභිබවා යන මට්ටමට, දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන ප්රකෝටිපතියන් අතලොස්සකගේ සහ ධනපති කතිපයාධිකාරීන්ගේ දැවැන්ත සෘජු මැදිහත්වීමක් ආධිපත්‍යය දරයි.
ලෝකයේ ධනවත්ම මිනිසා වන එලොන් මස්ක්, මින් ඉදිරියට මැතිවරනය දක්වා සෑම දිනක ම, එක්සත් ජනපද ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ පලමු සහ දෙවන සංශෝධන තහවුරු කිරීම සඳහා දක්ෂිනාංශික පෙත්සමකට අත්සන් කරන්නන් අතරින් තෝරාගත් පුද්ගලයෙකුට ඩොලර් මිලියනයක චෙක්පතක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ, මෙම සත්‍යය මේ සති අන්තයේ විචිත්‍රවත් ලෙස නිදර්ශනය විය. ටෙස්ලා සහ X (ට්විටර්) ප්‍රධානී මස්ක් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 250 යි) සෙනසුරාදා (19) ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පෙන්සිල්වේනියාවේ පැවැත්වූ රැලියකදී, ලබා දෙන මුදල් පිලිබඳ මෙම ප්‍රකාශය කලේය.
ඩොලර් මිලියන 75 ක පරිත්‍යාගයකින් මස්ක් විසින් පිහිටුවන ලද ට්‍රම්ප්-හිතවාදී දේශපාලන ක්‍රියාකාරී කමිටුවක් වන ඇමරිකා පීඒසී (America PAC) වෙතින් මුදල් ලැබෙනු ඇත. අන්ත දක්ෂිනාංශික ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අර්ථකථනය කරන ලද පරිදි, “භාෂනයේ නිදහස” (සමාජ මාධ්‍යවල ෆැසිස්ට් පෝස්ටු පල කිරීම් මැඩලීමේ ප්රයත්නයන්ට එරෙහිව) සහ පුද්ගලික “ගිනි අවි අයිතිවාසිකම්” සඳහා සහය දැක්වීම සඳහා යොමු කරන ලදැයි කියනු ලබන අන්තර්ජාල පෙත්සම, ඇමරිකා පීඒසී විසින් පිහිටුවන ලද්දකි.
ජයග්‍රාහකයින් සඳහා වන එකම අවශ්‍යතාවය වන්නේ ඔවුන් ලියාපදිංචි ඡන්දදායකයින් වීම සහ ජනාධිපති තරඟයේ දී වඩාත් තියුනු තරඟයක් පවතින ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් ආදි “තීරනාත්මක” ප්‍රාන්ත (“battleground” states) හතෙන් එකක ජීවත් වීමයි.
ට්‍රම්ප්ට දේශපාලන සහයෝගය උත්පාදනය කිරීම සඳහා මස්ක් ඇමරිකා පීඒසී ඔන්ලයින් පෙත්සම භාවිතා කර ඇත. අත්සනක් ලැබෙන සෑම යොමු කිරීමක් සඳහාම ඔහු මුලින්ම ඩොලර් 47 ක් පිරිනැමීය (ලබන මාසයේ තේරී පත්වන ජනාධිපතිවරයා, ට්‍රම්ප් හෝ හැරිස් වේවා, එක්සත් ජනපද ඉතිහාසයේ 47 වැනියා වනු ඇත). ඔහු පසුව, නවතම ප්රචාරක ප්‍රයෝගය තීරනය කිරීමට පෙර, දිරි දීමනාව ඩොලර් 100 දක්වා ඉහල නැංවීය.
මස්ක් මාස තුනකට පෙර ට්‍රම්ප්ගේ ව්‍යාපාරයට මුලුමනින්ම සම්බන්ධ වූ දා සිට, ‘මේක් ඇමරිකා සුපර් අගේන් සුපිරි පීඒසී' ව්‍යාපාරය වෙත ඩොලර් මිලියන 150 ක් පරිත්‍යාග කල බැංකු ධනයේ උරුමක්කාරයා වන තිමති මෙලන් (පවුලේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 14 යි) සමඟ එකතු වෙමින් ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ මුල්‍ය ආධාරකරුවන් හතර දෙනාගෙන් කෙනෙකු බවට පත්ව ඇත; මිරියම් ඇඩෙල්සන් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 35 යි) 'ප්රිසර්ව් ඇමරිකා සුපර් පීඒසී' වෙත ඩොලර් මිලියන 95 ක් ලබා දී තිබේ; සහ රිචඩ් උයිලේන් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 6 යි) 'රිස්ටොරේෂන් පීඒසී' වෙත ඩොලර් මිලියන 49 ක් පොම්ප කලේය.
ට්‍රම්ප් පිටුපස සිටින පාලක පන්තියේ කොටස, ව්‍යවස්ථාපිත පාලන ආකාරවලින් විවෘතව ම බිඳී වෙන්වෙමින් ද, “ඇතුලත සිටින සතුරාට”, එනම්, සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිපත්තිවලට එරෙහි සියලු විරුද්ධත්වයන්ට එරෙහිව ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රහාරයට පිටුබලය දෙමින් ද සිටී.
කෙසේ වෙතත්, පසුගිය සතියේ පල වූ ෆෝබ්ස් සඟරාවේ ලිපියක සිරස්තලයේ සටහන් ව ඇත්තේ, “කමලා හැරිස්ට, ට්‍රම්ප්ට වඩා ප්රමුඛ ලෙස සහාය දක්වන ප්රකෝටිපතියන් වැඩි” බවයි. ෆෝබ්ස් හි වර්ගීකරනයට අනුව, රිපබ්ලිකානුවන් පිටුපසින් සිටින 50 දෙනාට සාපේක්ෂව, ඩිමොක්රටික් අපේක්ෂිකාවට සහාය දක්වන ප්රකෝටිපතියන් 79 ක් වාර්තා වී තිබේ.
හැරිස්ට සහය දක්වන කන්ඩායම්වලට අවම වශයෙන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කල ප්රකෝටිපතියන් 28 දෙනා අතර, හිටපු ගූගල් ප්‍රධාන විධායක නිලධාරී එරික් ෂ්මිට් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 38 යි); මයිකල් බ්ලූම්බර්ග් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 105 යි); හෝම් ඩිපොට් සම-නිර්මාතෘ ආතර් බ්ලැන්ක් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 9.5 යි); කාගීල්ස් ෆුඩ් එම්පයර් හි උරුමක්කාරයා වන ග්වෙන්ඩොලින් සොන්තයිම් මේයර් (ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 5.1 යි) සහ තවත් බොහෝ අය සිටිති.
ධනේශ්වර කතිපයාධිකාරයේ ඩිමොක්රටික් පාර්ශවය සඳහා ප්රමුඛ පීඒසී ය වන 'ෆියුචර් ෆෝවඩ්', ප්‍රධාන වශයෙන් කැලිෆෝනියාවේ 'සිලිකන් වැලි' හි ඩිමොක්රටික්-ගැති තොරතුරු තාක්ෂන ප්‍රධානීන්ගෙන් ඩොලර් මිලියන 700 ක් රැස් කරගෙන ඇත. එක් වාර්තාවකට අනුව, ෆේස්බුක් සම-නිර්මාතෘ ඩස්ටින් මොස්කොවිට්ස්, 2020 සිට ඩොලර් මිලියන 50 කට වැඩි මුදලක් ලබා දී ඇත.
පීඒසී මුදල්, අපේක්ෂකයින් සහ සංගත මගින් පාලනය වන පක්ෂ දෙක විසින් සෘජුවම රැස් කරන ලද අතිවිශාල මුදලට අමතරව ය. ෆෙඩරල් මැතිවරන කොමිසමේ නවතම ගොනු කිරීම්වලට අනුව, හැරිස් ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමේ කමිටු, ඩිමොක්රටික් ජාතික කමිටුව සහ ප්‍රාන්ත ඩිමොක්රටික් පක්ෂ කමිටු මේ වසරේ තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 652 ක් රැස්කර ඇත. මෙය, සැප්තැම්බර් 30 න් අවසන් වූ එම මාස තුන තුල ට්‍රම්ප් ව්‍යාපාරය සහ රිපබ්ලිකන් පක්ෂය විසින් රැස් කරන ලද ඩොලර් මිලියන 340 මෙන් දෙගුනයකි.
මෙම දැවැන්ත මූල්‍ය සම්පත් මුලුමනින්ම පාහේ යොමු කර ඇත්තේ, තරඟකාරී ප්‍රාන්ත හතට සහ විශේෂයෙන්ම, ට්‍රම්ප් 2016 දී හිලරි ක්ලින්ටන්ට එරෙහිව ජයග්‍රහනය කල සහ 2020 දී ජෝ බයිඩෙන්ට පරාජය වූ ඊනියා 'නිල් පවුර' ලෙස හඳුන්වන උතුරු කාර්මික ප්‍රාන්ත වන පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් වෙතට ය.
වැඩිම මැතිවරන ඡන්ද සහිත තරඟකාරී ප්‍රාන්තය වන පෙන්සිල්වේනියාවේ පමනක්, ඇඩ්ඉම්පැක්ට් (AdImpact) සමාගමට අනුව - ඩිමොක්රටික් පක්ෂය ඩොලර් මිලියන 275.1 ක් සහ රිපබ්ලිකානුවන් ඩොලර් මිලියන 222.5 ක් ලෙස, ධනේශ්වර පක්ෂ දෙක වෙලඳ දැන්වීම් සඳහා ඩොලර් බිලියන භාගයකට ආසන්න මුදලක් වැය කර ඇත. ජෝර්ජියා සහ විස්කොන්සින් ට පසුව, මිචිගන් එම එකතුවට ලඟා වෙමින් සිටී.
තරඟකාරී ප්‍රාන්තයක රූපවාහිනිය නරඹන හෝ අන්තර්ජාලයට පිවිසෙන ඕනෑම අයෙක්, සාමාන්‍යයෙන් ෆැසිස්ට්වාදී චරිත ස්වභාවයක් ඇති (නිතර පාහේ සංක්රමනිකයන් රාක්ෂකරනය කරන) ට්‍රම්ප්ගේ හෝ (වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වයන් ගැන සැලකිලිමත් වන ධනවාදයේ ආරක්ෂකයා ලෙස නිරූපනය කරන කෝටිපති) හැරිස්ගේ මැතිවරන ප්‍රචාරන ආයාචනාවලට ගොදුරු වේ.
ධනේශ්වර කතිපයාධිකාරයේ දැවැන්ත භූමිකාව, මධ්‍යස්ථ බේරුම්කරුවෙකු නොව, පන්ති පාලනයේ උපකරනයක් වන රාජ්‍යයේ යථාර්ථවත් පිලිබිඹුවකි.
ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය, මැද පෙරදිග හා රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීම, ප්රජාතන්ත්රවාදී පාලන ස්වරූපයන් බිඳවැටීම සහ සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය ඇතුලු එක්සත් ජනපදයේ සහ ලෝකයේ ජනගහනය මුහුන දෙන මූලික ප්‍රශ්න පිලිබඳ නිශ්ශබ්දතාවයේ කුමන්ත්රනයක කොන්දේසි යටතේ මැතිවරනයම දිග හැරේ.
ප්රකෝටිපතියන් තමන් කැමති අපේක්ෂකයින් මිල දී ගැනීම සම්බන්ධයෙන් තරඟ කරන අතර, ඕනෑම අව්‍යාජ විරුද්ධත්වයක් බැහැර කරනු ලැබේ. මස්ක්ගේ ඩොලර් මිලියනයක ගෙවීම් ගැන අදහස් දක්වමින් සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝසප් කිෂෝර් මෙසේ සඳහන් කලේය:
එක්සත් ජනපදයේ තුන්වන පාර්ශ්වයන්ට සහ ස්වාධීන අපේක්ෂකයින්ට, ඡන්ද පත්‍රිකා ප්‍රවේශ නීති, ආවරනය සීමා කිරීම්, මාධ්‍ය වාරනය දක්වා විශාල ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගවලින් සෑම වාරයකදීම බාධා කරනු ලැබේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය 2024 අලුත් අවුරුදු කතුවැකි ප්‍රකාශයේ මෙම දැවැන්ත සමාජ ආගාධයේ ඓතිහාසික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කලේය. අපි මෙසේ ලිව්වෙමු:
පන්තිය හා ආර්ථික බලය පිලිබඳ මූලික ප්රශ්නය ද ඒ නිසා ම ධනවාදය පෙරලා දැමීම සඳහා ගෝලීය පරිමානයකින් කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අවශ්‍යතාව ද නොතකමින්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම හා ෆැසිස්ට්වාදයට එරෙහි ව සටන් කිරීම ගැන කරන සියලු කතා, කුහක ද දේශපාලනික ව බෙලහීන පූච්චානමක් ද වෙයි. බිලියනපතියන්ගේ ධනය අස්වාමික කොට, විශාල කොටස් හිමියන්ට වන්දි ගෙවීමකින් තොර ව යෝධ සංගත පුද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතාවේ පදනම මත පවත්වාගෙන යන, මහජන-පාලිත උපයෝගීතාවන් බවට පරිවර්තනය කරනු ලැබිය යුතු ය. (වෘත්තීය මිලිටරිය, පොලීසිය හා ඔත්තු සේවා වැනි) ධනපති රාජ්‍යයෙහි ප්රජාතන්ත්ර-විරෝධී ආයතන හා මර්දනීය උපකරන අහෝසි කර, ලෝක පරිමානයකින් ප්රජාතන්ත්රවාදී හා සැලසුම්ගත ආර්ථිකයක් ස්ථාපිත කරනුවස් කම්කරුවන්ගේ පාලනයේ හා බලයේ සංවිධාන විසින් ඒවා විස්ථාපනය කරනු ලැබිය යුතු ය.
2024 මැතිවරන උද්ඝෝෂනයේ අත්දැකීම, මෙම තක්සේරුවේ සත්‍යයත්, කම්කරු පන්තියට ප්රජාතන්ත්රවාදය සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, කතිපයාධිකාරීන්ගේ ධනය අත්පත් කර ගැනීමේ දේශපාලන අරගලය සමග ඒකාබද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවයත් අවධාරනය කරයි.