පැට්කෝ වැඩ වර්ජනයේ සිට වසර හතලිහක්: හතරවන කොටස

කම්කරු පන්තියට ඉදිරි දර්ශන දෙකක්

මෙය Forty years since the PATCO strike: Part four - Two perspectives for the working class මැයෙන් 2021 අගෝස්තු 8 වැනි දා ඉංග්‍රීසි බසින් පල කෙරුනි.

කොටස් පහකින් යුතු “පැට්කෝ වැඩ වර්ජනයේ සිට හතලිස් වසරක්” ලිපි මාලාවේ සිව්වැන්න මෙයයි. අවසාන කොටස ඉදිරියේදී සිංහල භාෂාවෙන් පල වනු ඇත.

පලම ටස/වන ටස/වන ටස/හතරවන‌කොටස/ පස්වන කොටස

“රේගන් මහතා සඳහා ඍජු ව ම වැඩ කරන සාමාජිකත්වයක් සහිත එක් වෘත්තීය සමිතියක්, නීති-විරෝධී වැඩ වර්ජනයක් හරහා සුවිශේෂී වැටුප් වැඩි කරගැනීමක් කරා ලඟා වන්නේ නම්, එය රේගන්ගේ ආර්ථික වැඩ සටහනේ අවසානය වනු ඇත. ඔහුගේ පූච්චානම් කවරක් වුවත්, රේගන් පරිපාලනය උද්ධමනය අඩු කිරීම පිලිබඳ ව බරපතල ලෙස සිතන්නේ නැතැයි ආයෝජකයන්, බැංකුකරුවන් හා නය ගන්නන් ක්ෂනික ව නිගමනය කරනු ඇත. රේගන් මහතා නිරපේක්ෂ වසයෙන් ම දැන් කෙලින් සිටිය යුත්තේ ඒ නිසා ය.” -වොෂින්ටන් පෝස්ට්

“කම්කරු දෙපාර්තමේන්තුවේ සහයෝගය වහා ම පැමිනිය යුතු ය. නැතහොත් පැට්කෝ සමිතිය මිය යනු ඇත.” - පැට්කෝ සභාපති රොබට් පෝලි, ලේන් කර්ක්ලෑන්ඩ්ට යැවූ ලිපිය, දෙසැම්බර් 21, 1981

“මධ්‍යම රාත්‍රීයේ මත්පැන් තොල ගා ගත් සටන්කාමියෙකු මෙන්, මහා වැජ වර්ජනයක් කැඳවීම පහසුයි. එහෙත් ඔබ වගකිව යුතු නායකයෙක් නම්, විපාක ද තක්සේරු කල යුතු යි.” -ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලේන් කර්ක්ලෑන්ඩ්

**

ගුවන් සේවා කර්මාන්තයේ හෝ ඉන් ඔබ්බේ කම්කරුවන් ආවරනය වන පරිදි, වැඩ වර්ජනය කවර ආකාරයකින් හෝ විස්තාරනය කිරීම “දිවි නසා ගැනීමක්” වනු ඇතැයි, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නිලධාරීහු තර්ක කල හ. වෘත්තීය සමිතිය තලා දැමීමේ මෙහෙයුම සූදානම් කිරීමේ දී, කාටර් පරිපාලනයේ භූමිකාව නො තකා හරිමින්, පැට්කෝ සමිතියට එරෙහි පියවර සඳහා වගකිව යුත්තේ රේගන් බවත්, 1982 මැතිවරනයේ දී රිපබ්ලිකානුවන්ගේ පරාජය සූදානම් කිරීම සහ ඩිමොක්‍රටික් නීති සම්පාදකයන්ට ආයාචනා කිරීම අවශ්‍ය වනු ඇති බවත්, කම්කරු නිලධරය තර්ක කලේ ය. මැතිවරන දිනය “දෙ වැනි කම්කරු දිනය” ලෙස ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලේන් කර්ක්ලෑන්ඩ් විසින් සඳහන් කෙරුනි.

වර්කර්ස් ලීගය ඊට සහමුලින් ම විරුද්ධ ආස්ථානයක් ඉදිරිපත් කලේ ය. රේගන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලෙසත්, ගුවන් සේවා කර්මාන්තය පුරා වැඩ වර්ජනය ව්‍යාප්ත කරන ලෙසත්, අරගලයේ වෛෂයික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මහා වැඩ වර්ජනයක් දක්වා එය වර්ධනය කරන ලෙසත්, එය කැඳවුම් කලේ ය. එය සමිති නිලධරයන්ගේ පරාජකවාදී ආස්ථානයට වඩා කම්කරුවන්ගේ චින්තනය පැහැදිලි ව උදීරනය කලේ ය.

රේගන්ගේ දින නියමය ලඟා වෙද්දී, චිකාගෝ පාලන මධ්‍යස්ථානයේ ‌ෙමම පිකට් වැට වැනි මහජන පිකට් වැටවල් පැට්කෝ ලෝකල් සභා විසින් දියත් කලේ ය. (ලෝසවෙඅ මාධ්‍ය)

එහෙත් මේ සඳහා, හුදෙක් කාර්මික අරගලය පමනක් නො ව, නිලධරයට හා ද්වි-පක්ෂ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක් ද අවශ්‍ය වූ බව වර්කර්ස් ලීගය අවධාරනය කලේ ය. නව පක්ෂයක්, එනම් වෘත්තීය සමිති හා සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ලේබර් පක්ෂයක් ගොඩනැගිය යුතු විය. මේ සඳහා ලඟා වීමට, හදිසි කම්කරු සම්මේලනයක් කැඳවුම් කරන ලෙස, වර්කර්ස් ලීගය කම්කරුවන් අතර උද්ඝෝෂනය කලේ ය.

බුලටින් පත්‍රය වැඩ වර්ජනයේ අර්ථභාරය ක්ෂනික ව මැන ගත්තේ ය. 1981 අගෝස්තු 4දා එහි සංස්කරනයෙහි ප්‍රධාන ලිපිය “ඒඑෆ්එල්-සීඅයිඕව ගුවන් ගමන් පාලක වැඩ වර්ජනයට සහයෝගය දිය යුතු යි: පන්ති බෙදුම පැහැදිලියි” යි යන හිසින් යුත් කර්තෘ මන්ඩල ප්‍රකාශයක් විය. “වෘත්තීය සමිති කුඩු පට්ටම් කර දමන රේගන් පරිපාලනයට එරෙහි ව, වැඩ වර්ජජිත ගුවන් ගමන් පාලකයන්ට සහයෝගය දීම සඳහා සමස්ත කම්කරු පන්තියේ ශක්තිය බලමුලුගන්වන ලෙස” එය වෘත්තීය සමිති ව්‍යාපාරයට කැඳවුම් කලේ ය.

ලිපිය වැඩි දුරටත් මෙසේ ඉදිරියට ගියේ ය:

විරැකියාව ඉහල නංවමින්, ආරක්ෂක රෙගුලාසි වැනි ධනපති සූරාකෑම සීමා කරන සියලු සීමාකිරීම් අතුගා දමමින් සහ දශක ගනනාවක වෘත්තීය සමිති අරගල හරහා දිනා ගත් ජීවන තත්ත්වයන් විනාශ කරමින්, පසුගිය 50 වසර තිස්සේ කම්කරු පන්තිය විසින් දිනාගත් සමාජ නීති හා වැඩසටහන් ආපසු හැරවීම ඉලක්ක කරගත් ආර්ථික හා සමාජ ප්‍රතිවිප්ලවයක, පසුගිය මාස හය තිස්සේ රේගන් පරිපාලනය නියුක්ත ව සිටී. මහා සමාගම් හා ධනවතුන්ගේ අවශ්‍යතා සඳහා මුලුමනින් ම සූදානම් කරන ලද ඉතිහාසයේ විශාලත ම බදු කප්පාදුව සම්මත කිරීම සමගින් මෙය කුලුගැන් වී තිබේ.

ජාත්‍යන්තර යන්ත්‍ර ශිල්පී සංවිධානය (අයිඒඑම්) ඇතුලු ගුවන් සේවා කර්මාන්තයේ කම්කරුවන් නියෝජනය කරන අනෙකුත් වෘත්තීය සමිතිවලින් හදිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ලිපිය කැඳවුම් කලේ ය. කාර්මික ක්‍රියා පතුරුවා, රේගන් පරිපාලනයෙහි පිලිවෙත්වලට එරෙහි මහා වැඩ වර්ජනයක් දක්වා පලල් කරන ලෙස එය අවධාරනය කලේ ය.

ලිබරල් වේවා කොන්සවේටිව් වේවා, අතිමහත් ලෙස ගුවන් ගමන් පාලකයන් ව හෙලා දකින ප්‍රවෘත්ති මාධ්‍ය විසින් අවබෝධ කර ගන්නා කරුනක් වන්නේ, රේගන් “ සමස්ත පාලක පන්තිය වෙනුවෙන් කතා කරමින් සිටිති” යි යනුවෙන් ලිපිය සටහන් කලේ ය. අගෝස්තු 4දා වොෂින්ටන් පෝස්ට් කතුවැකිය සඳහන් කල පරිදි:

රේගන් මහතා සඳහා ඍජු ව ම වැඩ කරන සාමාජිකත්වයක් සහිත එක් වෘත්තීය සමිතියක්, නීති-විරෝධී වැඩ වර්ජනයක් හරහා සුවිශේෂී වැටුප් වැඩි කරගැනීමක් කරා ලඟා වන්නේ නම්, එය රේගන්ගේ ආර්ථික වැඩ සටහනේ අවසානය වනු ඇත. ඔහුගේ පූච්චානම් කවරක් වුවත්, රේගන් පරිපාලනය උද්ධමනය අඩු කිරීම පිලිබඳ ව බරපතල ලෙස සිතන්නේ නැතැයි ආයෝජකයන්, බැංකුකරුවන් හා නය ගන්නන් ක්ෂනික ව නිගමනය කරනු ඇත. රේගන් මහතා නිරපේක්ෂ වසයෙන් ම දැන් කෙලින් සිටිය යුත්තේ ඒ නිසා ය.

වැඩ වර්ජනයේ ආරම්භක දවස්වල දී, තමන්ගේ වැඩ වැරීම ජයග්‍රහනය සඳහා ප්‍රමානවත් බව ගමන් පාලකයෝ විශ්වාස කල හ. ඔවුන්ගේ වැඩවල තීරනාත්මක හා අවිස්ථාපනීය ස්වභාවය, රේගන් පරිපාලනයට සාකච්ඡා කිරීම සඳහා බලකරනු ඇතැයි බොහෝ දෙනා සිතූ අතර, නව ගමන් පාලකයන් පුහුනු කිරීමේ පිරිවැය, පැට්කෝ සමිතියට ලබා දෙන සම්මුතිවාදී වැටුප් වැඩි කිරීමකට වඩා ඉතා මිල අධික විය.

චිකාගෝ අසල අව්රෝරා ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ පැට්කෝ පිකට් වැටක් (ලෝසවෙඅ මාධ්‍ය)

“ධනවතුන් මෙම වැඩවර්ජනයේ බලපෑමට පත් ව සිටිනවා” යි නිව් යෝක් නගරයේ ලාගුවාර්දියා ගුවන් තොටුපොලේ වසර 13ක පලපුරුද්දක් සහිත ගමන් පාලකයෙක් වූ නෝමන් හොකර්, වැඩ වර්ජනයේ පලමු සතියේ බුලටින් පත්‍රයට කීවේ ය. “ඔවුන් කෝපරේට් ගුවන් ගමන් අඩු කරමින් අනෙකුත් සියලු ගුවන් ගමන් කපා හරිනවා. මෙහි සිටින්නේ ආර්ථිකයෙන් සියයට 27කට වග කියන කම්කරුවන් 16,000ක්.”

වැඩ වර්ජනය ආරම්භ වූ විට, හොරිකඩයන් 4,669ක්, වැඩ පරීක්ෂකයන් 3,291ක්, මිලිටරි ගමන් පාලකයන් 800ක් සහ වැඩ වර්ජනයේ නියුතු ව සිටි 12,000ක් විසින් ඇති කරන ලද ඌනතාව මගහැරීම සඳහා අලුතෙන් බඳවාගත් 1,000ක් මත එෆ්ඒඒ රැඳී සිටියේ ය. වැඩ වර්ජනය ආරම්භ වීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, ගුවන් ගමන් ධාරිතාව සියයට 75ක් දක්වා ලබාගෙන ඇතැයි මධ්‍යම ආන්ඩුව කියා සිටියේ ය. එහෙත්, හොරිකඩ ශ්‍රම හමුදාව මොන ම ආකාරයකින් වත්, වැඩ වර්ජිත කම්කරුවන්ගේ හැකියාව හා ගුනාත්මක භාවය සමගින් ගැලපුනේ නැත. (1)

“මම උත්සුකයි. මට වලක්වන්න පුලුවන් වුනා නම්, මම අද ගුවන් යානයක සිටින්නේ නැහැ” යි ලාගුවාර්දියාහි වැඩ වර්ජිත ගමන් පාලකයෙකු වූ මිච් කුක් බුලටින් පත්‍රයට කීවේ ය. “මේ දැන් ගොඩනැගිල්ලේ වැඩ පරීක්ෂකවරු හා ඇගයීම් ප්‍රවීනතා සංවර්ධන විශේෂඥයන් තිදෙනෙක් සිටිනවා. සාමාන්‍යයෙන් එහි පුද්ගලයන් 10ක් සිටිනවා. මෙය පාලනය කිරීම සඳහා මිලිටරි ගමන් පාලකයන් ගෙන ඒමට ඔවුන්ට හැකි බව සිතීම විකාරයක්. මේ මිනිසුන්ගේ හැකියාවන් කවරක්දැයි වෘත්තීය සමිතිය අවබෝධ කරගන්නවා. අපේ වෘත්තීය සමිතිය ශක්තිමත් ව හා එක්සත් ව සිටිනවා.”

සත්‍ය වසයෙන් ම පැට්කෝ කම්කරුවන් දොට්ට දැමීම, ගුවන් මගීන් ව බරපතල ලෙස විපත්තියේ හෙලී ය. “සමහර අවස්ථාවල දී, සංවර්ධනාත්මක ගමන් පාලකයන්ට උදේ පත්වීමේ ස්ථීරත්වය ලබා දී, එදින ම සන්ධ්‍යා භාගයේ වෙනත් සංවර්ධනාත්මක ගමන් පාලකයෙකුට එම පාලක තනතුරේ ම රැකියා පාදක පුහුනුව උදේ පත්වීම ස්ථීර වූ පාලකයන් විසින් පවත්වාගෙන ගියේ” යි ජාතික ප්‍රවාහන ආරක්ෂක මන්ඩලය (එන්ටීඑස්බී) පසුව සොයා ගත්තේ ය.

එෆ්ඒඒ ආයතනය කැලිෆෝනියාවේ සැන් ජෝස් අසල සිදු වූ මරනීය ගුවන් යානා අනතුරක වරද ගුවන් නියමුවා මත පැටවී ය. සැහැල්ලු ගුවන් යානා දෙකක්, නගරයේ ගුවන් තොටුපොලට ප්‍රවිෂ්ට වෙමින් සිටින අතරතුර, පිටත් වන ස්ථානයට සැතපුම් දෙකක දුරකින් සිටිය දී එකිනෙක හා ගැටුනේ, එක් පුද්ගලයෙක මරනයට පත් කරමින් හා දෙදෙනෙකුට තුවාල සිදු කරමිනි. අගෝස්තු 17දා ගුවන මැද දී සිදු වූ ගැටීම සැන් ජෝස් ගුවන් තොටුපොලෙහි ඉතිහාසයේ පලමුවැන්න වූ අතර, හොරිකඩයෙකු වූ ගුවන් ගමන් පාලකයා එෆ්ඒඒ විසින් පැය ගනනක් ඇතුලත වගකීමෙන් නිදහස් කලේ ය. ගුවන් අනතුරක් සම්බන්ධයෙන් ගමන් පාලකයෙකු වගකීමෙන් නිදහස් කල පලමු අවස්ථාව ද එය විය. පැට්කෝ සමිතිය විමර්ශනයෙන් පිටස්තර ව තබන ලද පලමු මාරාන්තික හදිසි අනතුර ද එය විය.

1982 ජනවාරි 13දා, 78 දෙනෙකු මරා දමමින්, ගුවන්ගත වීමෙන් මොහොතකට පසුව, එයාර් ෆ්ලොරිඩා බෝයිං 737 යානයක් වොෂින්ටන් ඩීසීහි පොටෝමැක් ගංගාවට ඉහලින් පිහිටි පාලමකට කඩා වැටීම ප්‍රධාන අනතුරකි. මෙම ව්‍යසනයට ගමන් පාලකගේ යම් දෝෂයක් හේතුවිය හැක්කේ, පිටත් වීමට පෙර විස්තීර්න කාලයක් පොරොත්තුවේ සිටීමේ දී යානය මත හිම ඇවිරී තිබීම, අනතුරට හේතුව වී තිබෙද්දී ය.

ඉන් දවස් 10කට පසුව, බොස්ටන්හි ලෝගාන් ගුවන්තොටුපොලේ දී සිදු වූ ගුවන් යානා අනතුරකට හේතු වූ සාධකය ද, ගමන් පාලකගේ දෝෂයක් බව ජාතික ප්‍රවාහන ආරක්ෂක මන්ඩලය (එන්ටීඑස්බී) සොයාගත්තේ ය. මෙම අනතුර යානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ මරනයට හේතු විය. වැඩ වර්ජනය අවසන් වීමෙන් සෑහෙන කාලයකට පසුව, දුෂ්කර කාලගුන කොන්දේසි යටතේ, පියාසර කරමින් සිටි නියමුවන්ට ප්‍රමානවත් උපදෙස් සම්පාදනය කිරීමට හොරිකඩ ගමන් පාලකයන් අසමත් වූ බව පිලිගනිමින්, මගීන් 153ක් මරා දමමින් 1982 ජූලි 9දා සිදු වූ පෑන් ඇම් 759 යානයේ අනතුර සඳහා වගකීම මධ්‍යම ආන්ඩුව භාරගත්තේ ය. (2)

ගුවන් ගමන් සැලසුම්වලට අත්දැකීම් රහිත හෝ අදක්ෂ ගුවන් ගමන් පාලකයන් උපදෙස් දීමේ ප්‍රතිඵලයක් ලෙස, ආසන්න වසයෙන් ඉලක්ක වැරදී ගිය බොහෝ අවස්ථා තිබුනේ ය. ගුවන් ගමන්වල යෙදෙන මගීන්ගෙන් එෆ්ඒඒ මෙම තොරතුරු සැඟවූ අතර ම, කැනේඩියානු ගුවන් ගමන් පාලක සංවිධානය (සීඒටීසීඒ), “ආසන්න වසයෙන් ඉලක්ක වැරදී ගිය” අවස්ථා ගනනාවක් ද ඇතුලු ව, වැඩ වර්ජනයෙන් යන්තම් සතියකට පසු එක්සත් ජනපදය හා කැනඩාව හෝ කැනේඩියානු දේශසීමාව අසල ගමන් පථයේ, අනාරක්ෂිත සිද්ධි 41ක් ලේඛනගත කලේ ය.

පැට්කෝ සමිතිය විනාශ කිරීම සඳහා ගුවන් මගීන්ගේ ජීවිත අවදානමේ හෙලීමට රේගන් සම්පූර්නයෙන් ම කැමැත්තෙන් පසු විය. පැහැදිලි ව ම, ගමන් පාලකයන්ගේ ම කොන්ත්‍රාත් සාකච්ඡාවලට වැඩි බොහෝ දේ, මෙම වැඩ වර්ජනයේ දී පරදුවට තැබී තිබුනි.

තමන්ගේ අරගලය දියත් කරනු ලබන්නේ සමස්ත කම්කරු පන්තිය වෙනුවෙන් යයි තමන් දැකගන්නා බව බොහෝ වැඩ වර්ජකයෝ බුලටින් පුවත්පතට කීවෝ ය. ඔවුන් පරාජය වුවහොත්, වෘත්තීය සමිති දඬුගැසීමේ උද්ඝෝෂනය සමස්ත ආර්ථිකය පුරා පැතිර යනු ඇතැයි ඔවුහු කී හ. මෙම හේතු නිසා ම, බොහෝ ගමන් පාලකයෝ හා අනෙකුත් කර්මාන්තවල සාමාන්‍ය කම්කරුවෝ, පැට්කෝ සමිතිය අරගලයේ දී තනි කර දැමිය නො හැකි බව අවබෝධ කරගත් හ.

“ප්‍රධාන කාරනය වන්නේ, රේගන් පැට්කෝ සමිතිය හසුරුවන ආකාරය, ඔහු පොදුවේ වැඩ වර්ජනත් සමස්ත කම්කරු ව්‍යාපාරයත් හසුරුවන ආකාරයට පූර්ව නිමිත්තක්” බව ලැගුවාර්දියා ගමන් පාලක නෝමන් හොකර් බුලටින් පුවත්පතට අගෝස්තු 5දා කීවේ ය. “මෙහි දී අපි දැඩි ව සිටිනවා.”

රේගන් පරිපාලනයෙහි ප්‍රහාරයේ ඓතිහාසික ස්වභාවය හඳුනාගත් අනෙකුත් කර්මාන්තවල කම්කරුවන් වෙතින්, ඒකාබද්ධ ක්‍රියාවක් සඳහා වන කැඳවීම් ඉස්මතු වීම ඇරඹුනි. බුලටින් පත්‍රය සහ වර්කර්ස් ලීගය මෙම මනෝගතිය විශාලනය කල හ. “ගුවන් ගමන් පාලකයන් පිටුපස කම්කරුවන් බලමුලු ගන්වනු: ඒඑෆ්එල්-සීඅයිඕ මහා වැඩ වර්ජනයක් කැඳවිය යුතුයි!” යි මුල් පිටු බැනර සිරස්තලයක් අගෝස්තු 7 වැනි දා සිකුරාදා බුලටින් පත්‍රය පල කලේ ය.

නිව් යෝක් නගරයේ ප්‍රවාහන කම්කරු සමිතියේ (ටීඩබ්ලිව්යූ) 100 ලෝකල් සභාවේ විධායක මන්ඩලයේ සාමාජික එඩ් වින්, අගෝස්තු 15දා ජේඑෆ්කේ ගුවන්තොටුපොල අසල ගමන් පාලකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් 400ක් පමන සහභාගි වූ රැලියක් ඇමතී ය. වර්කර්ස් ලීගයේ නායක සාමාජිකයෙක් ද වූ වින්, පැට්කෝ සමිතියට සහයෝගය පිනිස හදිසි ක්‍රියාවන්ට කැඳවුම් කරමින් හා සමස්ත ඒඑෆ්එල්-සීඅයිඕව විසින් මහා වැඩ වර්ජනයක් කැඳවිය යුතු බව විධානය කරමින්, ඊලඟ ටීඩබ්ලිව්යූ විධායක මන්ඩලයේ රැස්වීමට හඳුන්වා දිය යුතු යෝජනාවක් කියවී ය.

එම සතියේ ම, අයිඒඑම්හි හවුස්ටන් 15 ලෝකල් සභාව, මහා වැඩ වර්ජනයක් කැඳවන ලෙස බල කරමින්, කර්ක්ලෑන්ඩ්ට හා අයිඒඑම් සභාපති විලියම් වින්පිසින්ගර්ට විදුලි පනිවුඩ යැවී ය.

මහා වැඩ වර්ජනයක් සඳහා පවතින මනෝගතිය, වෘත්තීය සමිති නිලධාරීන්ට පවා පිලිගැනීමට බල කෙරුනි. පැට්කෝ සමිතියට සහයෝගය පිනිස, මිචිගන්හි ඒඑෆ්එල්-සීඅයිඕ ශාඛාව මහා වැඩ වර්ජනයක් පිලිබඳ කැඳවන්නේ දැයි, මිචිගන්හි ඒඑෆ්එස්සීඑම්ඊ නිලධාරියෙකු වූ රැල්ෆ් ලිබෙරාතෝගෙන් බුලටින් පත්‍රය අගෝස්තු 16දා ප්‍රශ්න කලේ ය. “අපේ සාමාජිකයන් අතර මේ පිලිබඳ අතිමහත් කතා පැවතී ඇතත්, අපි එය නො කරන්නේ මන්දැයි බොහෝ අය විමසමින් සිටිනවා” යි ලිබෙරාතෝ කීවේ ය.

ඒ හා සමාන ව, “මහා වැඩ වර්ජනයක් සඳහා වන හැඟීම ශක්තිමත් හා වැඩෙමින් පවතිනවා” යි මිනේසොටා ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ඩේවිඩ් රෝ අගෝස්තු 26දා බුලටින් වාර්තාකරුවෙකුට කීවේ ය. තමන් මහා වැඩ වර්ජනයකට සහයෝගය දෙන බව කී ඔහු, අවසන් තීරනය රැඳී ඇත්තේ සම්මේලනයේ විධායක කවුන්සිලය අත බව කීවේ ය. සැප්තැම්බරයේ දී, මිනේසොටා ඒඑෆ්එල්-සීඅයිඕ වාර්ෂික සමුලුවේ දී රැස්වූ නියෝජිතයන් 800ක්, ජාතික පරිමාන මහා වැඩ වර්ජනයක් කැඳවන ලෙස ඒඑෆ්එල්-සීඅයිඕ වෙත කැඳවුම් කිරීමට පක්ෂ යෝජනාවක් ඒකච්ඡන්දයෙන් අනුමත කල හ.

මහා වැඩ වර්ජනයක් සඳහා අතිමහත් බහුතර සාමාන්‍ය කම්කරුවන් අතර මනෝගතියක් පැවතුනු බව, සැප්තැම්බර් පසු භාගයේ කර්ක්ලෑන්ඩ් පිලිගත්තේ ය. “කිසිදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මගේ ජීවිත කාලය තුල මෙතරම් ලිපි ලැබුනේ නැහැ. මට විදුලි පුවත්, ලිපි හා කාඩ් විශාල ප්‍රමානයක් ලැබී තිබෙනවා” යි කර්ක්ලෑන්ඩ් කීවේ ය. “සියයට 90ක් පමන ගමන් පාලකයන්ට පක්ෂපාතයි, ඒවායින් සියයට 50ක් විතර මහා වැඩ වර්ජනයක් නො කැඳවීම ගැන මාව හෙලා දකිනවා.” (3)

එහෙත් වෘත්තීය සමිති නිලධරයෝ මහා වැඩ වර්ජනයක් සඳහා කැඳවුම් ප්‍රතික්ෂේප කල අතර, “මහ රෑ මත් පැන් තොල ගා ගත් සටන්කාමියෙකු වීම හා මහා වැඩ වර්ජනයක් කැඳවීම පහසුයි, ඒත් වගකිව යුතු නායකයෙක් නම් විපාක ද සලකා බැලිය යුතුයි” යි කර්ක්ලෑන්ඩ් ප්‍රකාශ කලේ ය.

වැඩ වර්ජනය ඇරඹෙන විට රේගන්ගේ ක්‍රියාව කොතරම් ප්‍රකෝපකාරී වී ද කිවහොත්, ඒඑෆ්එල්-සීඅයිඕ විධායක සභාව හා මහා මන්ඩලය චිකාගෝහි සුඛෝපභෝගී හ්යාත් රිජන්සිහි දී සමුලුව පවත්වමින් සිටිය හ. වැඩ වර්ජනය පිලිබඳ ප්‍රවෘත්තිය කන වැකීමෙන් ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයෝ අන්දුන් කුන්දුන් වූ හ. ඉතිහාසඥ ජෝසෆ් මැක්කාටින්ට අනුව, “පැට්කෝ සමිතිය ඒඑෆ්එල්-සීඅයිඕට අනුබද්ධ එකක්” බව සමහර වෘත්තීය සමිති නායකයන් “දැන සිටියේ යන්තමිනි.”

ගුවන් ගමන් පාලකයන්ගේ පැවැත්ම ගැන දැන සිටි අය, ප්‍රමුඛ වසයෙන් උත්සුක වූයේ, මහ ව්‍යාපාරිකය සමග වන ඔවුන්ගේ නව “ඒකාබද්ධ” මිත්‍රත්වයන්ට, වැඩ වර්ජනය මගින් ඉදිරිපත් කල හැකි දුෂ්කරතාවන් ගැනයි. පැට්කෝ සමිතිය තලා දැමීමේ දී, රේගන් පරිපාලනය සමග සම්මාදම් වීමට ඒඑෆ්එල්-සීඅයිඕ සූදානම් බව, විධායක කවුන්සිල රැස්වීම රේගන් පරිපාලනයට පැහැදිලි සංඥා යැවී ය.

චිකාගෝ රැස්වීම, වෝල්ටර් රූදර් සම්මේලනයෙන් ඉවත් කිරීමෙන් පසු පලමු වරට, යූඒඩබ්ලිව් හා එහි සභාපති ඩග්ලස් ෆ්‍රේසර් සාදරයෙන් පිලිගත්තේ ය. ක්‍රයිස්ලර් සමාගමේ සංගත මන්ඩලවල බලගතු ධනපතියන් සමග පයුරු පාසනයන් පවත්වමින් සිටි ෆ්‍රේසර්, “වැඩ වර්ජනය කම්කරු ව්‍යාපාරයට මහා හානියක් කල හැකි” යි විපිලිසර විය.

බුලටින් පත්‍රය අගෝස්තු 7දා මෙසේ අදහස් දැක්වී ය: “කොතරම් අත්‍යසාමාන්‍ය තර්කයක් ද! (රේගන්) කම්කරු පන්තික පවුල් මිලියන ගනනක් දරිද්‍රතාවට ඇද හෙලීමට උත්සාහ දරන නමුත් මේ ආන්ඩුවට එරෙහි ව සටන් කිරීම ‘කම්කරු ව්‍යාපාරයට විශාල හානියක් කල හැකි’ යි ෆ්‍රේසර් අනතුරු අඟවයි.”

ඒඑෆ්එල්-සීඅයිඕ විධායක කවුන්සිලය 1981 අගෝස්තු 6දා ආරම්භ වී අවසන් වුවත්, ගුවන් ගමන් පාලකයන් වෙනුවෙන් ඇඟිල්ලක් වත් එසවූයේ නැත. යන්තම් මාසයකට පසු 1981 සැප්තැම්බර් 3දා, ඒඑෆ්එල්-සීඅයිඕ සාමාජික සමිතියක් වන එක්සත් වඩු කාර්මික සහෝදරත්වයේ වාර්ෂික සම්මේලනය ඇමතීමට රේගන්ට අවසර දෙන ලදී. ඔහු මෙම අවස්ථාව යොදාගත්තේ සංවිධිත කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයක් දියත් කිරීමට යි. රැස්ව සිටි නියෝජිතයෝ ආචාරශීලී ලෙස අසුන් ගෙන සිටිය හ. (4)

ඒඑෆ්එල්-සීඅයිඕ හා එය සමන්විත වූ වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් කැඳවන්නේ නැත්නම්, ඔවුන් අඩු තරමින් පැට්කෝ පිකට් වැටවලට සහභාගි විය යුතු ව තිබුනි. අගෝස්තු 7 තරම් මුල දී ම, සියලු ඒඑෆ්එල්-සීඅයිඕ සමිතිවලට විදුලි පනිවුඩ යැවූ පැට්කෝ සභාපති රොබට් පෝලි ඉල්ලා සිටියේ, රට පුරා ගුවන් තොටුපොල සිය ගනනක පැවති පිකට් වැටවල් හරහා නො යන ලෙස යි.

එහෙත් වෘත්තීය සමිති මූලධර්මයේ අ යන්න ආ යන්න වූ පිකට් වැටවලට ගරු කිරීම වත් නො කරන ලදී. “කම්කරු නිවස්නයෙන්” උදවුවක් පැමිනියේ නැත.

සත්‍ය වසයෙන් ම, ගුවන් සේවා යාන්ත්‍රික ශිල්පීන්, ගුවන් නියමුවන්, ගුවන් යානා උපස්ථායකයින්, බහාලුම් හසුරුවන්නන් යනාදී ගුවන් සේවා කර්මාන්තයේ අනෙකුත් වෘත්තීය සමිතිගත කොටස්වලින් එකක් වත් වැඩ වර්ජනය කර හෝ අඩු තරමින් පිකට් වැටවලට සම්බන්ධ වී තිබුනේ නම්, පැට්කෝ සමිතියේ ස්ථානය සුවිශාල ලෙස ශක්තිමත් ව තිබෙනු ඇත. වැඩ වර්ජනයේ ඉරනමට වඩාත් ම තීරනාත්මක වූයේ, ගුවන් සේවා කර්මාන්තයේ වඩාත් ම වැදගත් වෘත්තීය සමිති දෙක වූ, ජාත්‍යන්තර යන්ත්‍ර ශිල්පී සංගමය (අයිඒඑම්) හා ගුවන් සේවා නියමුවන්ගේ සංගමය (ඒඑල්පිඒ) යි. රේගන්ගේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පසුව මතක් කල පරිදි, මහා වැඩ වර්ජනයකින් තොර ව, අයිඒඑම් හා ඒඑල්පීඒහි ක්‍රියා විසින් ම වෘත්තීය සමිතිය තලා දැමීමේ උද්ඝෝෂනය පරාජය කල හැකි ව තිබුනි. “යන්ත්‍ර ශිල්පීන් වැඩ වැරුවේ නම්, අපට ඒක දරාගන්න බැරි වේවි” යි ඔහු පිලිගත්තේ ය. “එය මගින් සෑම ගුවන් තොටුපොලක් ම වසා දමා තිබෙනු ඇති.” (5)

ස්වයං-ප්‍රකාශිත “සමාජවාදියෙකු” හා උපකල්පිත සටන්කාමියෙකු වූ අයිඒඑම්හි වින්පිසිංගර්, පිකට්වැටවලට ගරු කිරීම පිලිබඳ ව පූච්චානම් දෙඩුවේ ය. සමහර අයිඒඑම් ලෝකල් සභා හෙමින් වැඩකිරීම් ආරම්භ කල ද වින්පිසිංගර් හා ජාත්‍යන්තර සමිතිය වචනවලට වඩා දුර ගියේ නැත.

ගුවන්සේවා කර්මාන්තයෙහි ඔහුගේ සාමාජිකයන් අතරින් සහයෝගිතා වැඩ වර්ජනයක් කැඳවීමේ අභිප්‍රායයක් තිබෙන්නේදැයි බුලටින් වාර්තාකරුවෙක් වින්පිසිංගර් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් විමසී ය. “මගේ සාමාජිකයන් 40,000ක් වෙනුවෙන් සමිතිය දිවිනසා ගන්නේ නැත” යි වින්පිසිංගර් සඳහන් කලේ ය. “සමහර විට එය සමස්ත සමිතියට ම මලබෙරය හඬවනු ඇති.”

ඒඑල්පීඒහි ජේ. ජේ. ඕ’ඩොනල් වැඩ වර්ජනයට සහයෝගය දක්වන බව ව්‍යාජ ව ඇඟවීමට තරම් වත් කරදර නො වී ය. පැට්කෝ පිකට්වැටවලට සහයෝගය දැක්වීම සඳහා ඔහු ඔහුගේ සාමාජිකයන්ට කැඳවුම් නො කරන බව ඒඑෆ්එල් විධායක කවුන්සිලයට දැනුම් දුන්නේ ය. ගමන් පාලකයන් නෙරපා දැමීම, ගුවන් ගමන්වල ආරක්ෂිත භාවය අඩු කල බවට පැට්කෝ සමිතිය කල සඳහන් කිරීම් සමග වාචික ව තර්ක කරමින්, ඕ’ඩොනල් දැනුවත් ව වැඩ වර්ජනය පරාජය කිරීම සඳහා ක්‍රියා කලේ ය. “අනිවාර්ය ආරක්ෂක අවදානමක්” සුදුසුකම් රහිත ගමන් පාලකයන් විසින් නිර්මානය කල බව සොයාගත් ඔහුගේ ම වෘත්තීය සමිතියේ ආරක්ෂක කොමිසමක් මෙම ආස්ථානය ඛන්ඩනය කලේ ය. (6)

සත්‍ය වසයෙන් ම, වැඩ වර්ජනයට සහයෝගය දීම සඳහා ඒඑල්පීඒ සමිතියට මධ්‍යම කම්කරු නීති උල්ලංඝනය කිරීම වත් අවශ්‍ය වූයේ නැත. 91.3 අංක දරන මධ්‍යම ගුවන්සේවා රෙගුලාසිය, පියාසර කොන්දේසි අනාරක්ෂිත ද නැද්ද යන්න පිලිබඳ අවසන් වචනය තිබෙන්නේ ගුවන් නියමුවන් අත බව තහවුරු කරයි.

ගමන් පාලකයන් විස්ථාපනය කොට පත්කරනු ලැබ, අධික ලෙස වැඩ කල ගමන් පාලකයන් අතර පැවති අධික තෙහෙට්ටුව නිසා, බරපතල “ආරක්ෂක බලපෑමක්” හා “අධි විභව අන්තරායක්” පිලිබඳ ව අනතුරු ඇඟවූ රහසිගත වාර්තා, ඕ’ඩොනල්ට ඔහුගේ ම ගුවන් ගමන් පාලන කමිටුවෙන් නිරතුරු ව ලැබුනි. “ආරක්ෂක අවදානමක් වැලැක්වීම සඳහා, ගමන් පාලකයෙක් නියමුවෙකු නියමිත පථයෙන් අපගමනය වී ඇතිදැයි හසුකර ගැනීමේ හැකියාව දුරස්ථ වේ” යි එක් ගුවන් නියමුවෙක් කමිටුවට ලියා තිබුනි. මෙම අනතුරු ඇඟවීම් දිගට ම පැවතුනි. ඒඑල්පීඒ සමිතියේ සාමාජිකයන් අතරින් අනුග්‍රාහී වැඩ වර්ජනයක් ප්‍රේරනය කිරීම සඳහා, එය කලයුතු ව තිබුනේ ඒවා සාමාන්‍ය සාමාජිකයන් අතර ප්‍රසිද්ධ කිරීම පමනි.

“සත්‍යය සැඟවීමකින් තොර ව, මෙම රටෙහි ගුවන් ගමන් පාලන පද්ධතිය සුරක්ෂිත බව මට කිව හැකි යි. එය අනාරක්ෂිත නම්, ඒ පිලිබඳ ව පලමුව කතා කරන අය වන්නේ අපි යි” අගෝස්තු 19දා ප්‍රකාශ කරමින්, ඕ’ඩොනල් ඔහුගේ ම සාමාජිකත්වයට නිර්ලජ්ජිත ව බොරු කීවේ ය. මෙම ප්‍රකාශය කල දිනයේ ම, සාමාන්‍ය ගුවන් යානා දෙකක් කැලිෆෝනියාවේ සැන් ජෝස් අසල දී ගැටුනේ, එක් යානයක නියමුවෙක් මරුමුවට පත් කරමිනි.

පැට්කෝ සමිතියට එරෙහි ඕ’ඩොනල්ගේ හොරිකඩ මෙහෙයුම, ඔහු ඔහුගේ ම ගුවන් නියමුවන්ට එරෙහි ව දියත් කරමින් සිටි ප්‍රහාරයේ අත්‍යවශ්‍ය කොටසක් විය. ගුවන් ගමන් පාලකයන් ඔවුන්ගේ වැඩ වර්ජනය දියත් කරන විට පවා, පෑන් ඇම් නියමුවන්ගේ වැටුප් සියයට 10කින් කැපීමට හා එක්සත් ගුවන්යානා නියමුවන්ගේ මාසික පියාසර කාලය සියයට 30කින් ඉහල දැමීමට ඕ’ඩොනල් සාකච්ඡා කරමින් සිටියේ ය. ඕ’ඩොනල් ව තම සහකාර කම්කරු ලේකම් ලෙස නම් කරමින්, ඔහු ඉටුකල සේවාවන්ට 1983 දී රේගන් උපහාර දැක්වී ය.

ඒඑෆ්එල්-සීඅයිඕව රේගන් සමග කුමන්ත්‍රනය කිරීම ගැන ඒ සමයේ දී ගමන් පාලකයන් දැනුවත් ව සිටියේ නැත. එහෙත්, අගෝස්තු 13 තරම් මුල්කාලයේ දී ම, ධවල මන්දිරය සමග පවත්වන රහසිගත තිරයෙන් පිටුපස සාකච්ඡා සඳහා, කර්ක්ලෑන්ඩ් උත්සාහ දැරී ය. පෝලි, වෘත්තීය සමිතියේ නායකයින් හා සටන්කාමී ගමන් පාලකයන් දොට්ට දැමීම සඳහා සෙනෙට් බහුතර නායක හොවාඩ් බේකර්ට ඉදිරිපත් කරමින්, අගෝස්තු 14දා කර්ක්ලෑන්ඩ් යෝජනාවක් යැවී ය. යලි බඳවාගත් කම්කරුවන්ට දඩයක් ගෙවීමට හා වැඩ වර්ජනය නො කරන බවට යලි දිවුරුම් දීමට බලකෙරෙනු ඇත. ඊට ප්‍රතික්‍රියා වසයෙන්, වෘත්තීය සමිතිවල දුක්ගැනවිලි විමර්ශනය කිරීම සඳහා මුහුන බේරාගැනීමේ “කරුනු සොයන” කොමිසමක් රේගන් විසින් පත්කරනු ඇත.

වෘත්තීය සමිතියේ කම්කරුවන් “මෙම රහසිගත යාන්ත්‍රනයන් ගැන දැනුවත් ව නො සිටි” බව මැක්කාටින් ලියයි. වැඩ වර්ජනයට වලකැපීම සඳහා කර්ක්ලෑන්ඩ් තිරයෙන් පිටුපස සිට ක්‍රියා කරද්දී, “ජාතික පරිමාන වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ බිඳ දැමීමට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි යන්න අරබයා ඒඑෆ්එල්-සීඅයිඕ සාමාන්‍ය සාමාජිකයන්ට දිශානතියක් ලැබුනේ නැත” යි ඉතිහාසඥයා තව දුරටත් පවසයි.

“කල යුත්තේ කුමක්දැයි සාමාජික වෘත්තීය සමිති ම තීරනය කල යුතුයි. මම එම තක්සේරුව කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ” යි කර්ක්ලෑන්ඩ් ප්‍රකාශ කලේ ය. (7)

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයේ පූර්න ගැඹුර ගැන කිසි දිනෙක දැනුවත් විය නො හැකි වනු ඇති වුවත්, පැට්කෝ කම්කරුවන් දොට්ට දමමින් රේගන් ඉදිරියට ගියේ, අනුග්‍රහශීලී ක්‍රියාවන්ට එලඹෙන්නේ නැති බවට ඒඑෆ්එල්-සීඅයිඕ ලබාදුන් ඍජු සහතික වීම් සමගින් යයි සුරක්ෂිත ව උපකල්පනය කල හැකි ය. කුමන්ත්‍රනයේ එක් උදාහරනයක් ඉස්මතු වූයේ, වැඩ වර්ජනයෙන් පසුව පමනි. ඇමරිකානු ගුරු සම්මේලනයේ (ඒඑෆ්ටී) සභාපති වූ ඇල්බට් ෂැංකර් සහ මධ්‍යම කම්කරු සබඳතා අධිකාරියේ ලියොන් බී. ඇපල්වයිට් 1981 සැප්තැම්බරයේ දී ප්‍රසිද්ධ නො කල රාත්‍රී භෝජනයක් පැවැත්වූයේ, මධ්‍යම කම්කරු නීතිය භව්‍ය ලෙස උල්ලංඝනය කරමින් පැට්කෝ සිදුවීම සාකච්ඡා කරමිනි. පැට්කෝ සමිතියේ සහතිකය අවලංගු කිරීමේ නීතියට පක්ෂ ව ඇපල්වයිට් සමාප්ත කලේ ය. (8)

ඩිමොක්‍රටික් දේශපාලනඥයන්ට පීඩනය යෙදීමේ ඒඑෆ්එල්-සීඅයිඕ ඉදිරි දර්ශනය සේවය කලේ, වැඩ වර්ජකයන් දුර්මුඛ කිරීමට හා පලල් කම්කරු පන්තිය අවමංගත කිරීමට පමනි. ඩිමොක්‍රටිකයන්ගෙන් ගුවන් ගමන් පාලකයන්ට අනුග්‍රහය දක්වමින් යම් නො පැහැදිලි ප්‍රකාශ කිරීම් තිබුන එතරම් ම ප්‍රමානයක් වැඩ වර්ජනය හෙලාදුටුවෝ ය. විශේෂයෙන් ම යූඒඩබ්ලිව් සමිතිය විසින් “කම්කරුවන්ගේ මිත්‍රයෙක්” ලෙස ඔජ වඩවන ලද තෙමේ මත් හිටපු මෝටර් රථ කම්කරුවෙකු වූ ඩිට්‍රොයිට්හි ඩිමොක්‍රටක් නගරාධිපති කෝල්මන් යං, පැට්කෝ සමිතියට තදින් විරුද්ධ ව සිටීම ගැන රේගන් “වීරයෙක්” ලෙස නම් කිරීමට පවා ඉදිරියට යමින්, “ප්‍රකෝපිත” ඉල්ලීම් මත “ජාතිය නිවාස අඩස්සියේ තබා ගැනීම” ගැන වැඩ වර්ජකයන්ට චෝදනා කලේ ය.

රේගන් පරිපාලනය බිය වූයේ ජාත්‍යන්තර වෘත්තීය සමිති පැට්කෝ සමිතියට සහයෝගය දෙනු ඇත යන්න ගැනයි. ක්‍රියාකාරීත්වයේ ස්වභාවයෙන් ම ගුවන් ගමන් පාලනය ගෝලීයකෘත කර්මාන්තයක් වී, අනෙකුත් රටවල ගමන් පාලකයන් ඔවුන්ගේ ඇමරිකානු සහෝදරයන්ට රේගන් බලකරන ඕනෑ ම සහනයක් මත රැඳී සිටීමට සිදුවන බවට ගනන් බැලිය හැකි වුවත්, මෙම වැඩ වර්ජනය විවිධාකාරයේ ජාතික ව පාදිත වෘත්තීය සමිතිවල ජාත්‍යන්තර ඒකාබද්ධතාවක අසමර්ථතාව පිලිබඳ වෛෂයික පාඩමක් විය.

අනෙකුත් රටවල ගුවන් ගමන් පාලක වෘත්තීය සමිතිවලට ක්‍රියාකිරීමට හැකි නො වූයේ, එක හා සමාන කොන්දේසිවලට එරෙහි ව අරගලයේ යෙදෙමින් සිටි ජාත්‍යන්තර ව සාමාන්‍ය ගමන් පාලකයන් අතර පැට්කෝ සමිතියට පලල් සහයෝගයක් පැවතීම නො තකා ය. 1970 ගනන්වල දී කැනේඩියානු, මෙක්සිකානු, ජර්මානු, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා ඕස්ට්‍රේලියානු ගමන් පාලකයෝ වැඩ වර්ජන, ලෙඩ නිවාඩු හා අකුරට වැඩ කිරීම් දියත් කර තිබුනි.

ඇත්ත වසයෙන් ම, පැට්කෝ වැඩ වර්ජනයේ පලමු දවස්වල දී, ඇමරිකානු ගමන් පාලක පද්ධතිය අනාරක්ෂිත බව පවසමින්, කැනේඩියානු ගුවන් ගමන් පාලක සංවිධානය (සීඒටීසීඒ), අත්ලන්තික් සාගරය හරහා වූ ගුවන් අවකාශයෙන් එක්සත් ජනපදය බලා පිටත් වුනු යානාවල් හැසිරවීම ප්‍රතික්ෂේප කලේ ය. රේගන් පරිපාලනය විසින් පොලඹවන ලද කැනේඩියානු ආන්ඩුව, කැනේඩියානු ගමන් පාලකයන්ට යටත් වන ලෙස පීඩනය යෙදූ අතර, සීඒටීසීඒ සිය වර්ජනය අගෝස්තු 12දා ආපසු කැඳවූයේ, අගෝස්තු 16දා පෘතුගීසි ගමන් පාලකයන්ගේ තවත් අනුග්‍රහශීලී වර්ජනයක් හටගැනීමට පෙර ය. යම් කාලයක් යන තෙක්, පෘතුගීසි ගමන් පාලකයෝ එක්සත් ජනපදයට යන යානා හැසිරවීම ප්‍රතික්ෂේප කල හ. ස්පාඤ්ඤ ගමන් පාලකයන් ද අනුග්‍රහශීලී හෙමින් වැඩ කිරීමක් ආරම්භ කලේ ය. ඕස්ට්‍රේලියාවේ සිට පැමිනි සමහර එක්සත් ජනපද යානා ද නවතා දැමුනි.

ඔවුන්ගේ වෘත්තීය සමිති යටත් වුව ද, යුරෝපයේ, ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ ගමන් පාලකයෝ අඛන්ඩ ව පැට්කෝ සමිතියට ආධාර ලබා දුන් හ.

විවිධ ජාතික ගමන් පාලක වෘත්තීය සමිතිවල සංවිධානය වන ජාත්‍යන්තර ගුවන් ගමන් පාලක සංවිධානවල සම්මේලනය (අයිඑෆ්ඒටීසීඒ), පැට්කෝ සමිතියට සහයෝගය දෙන ලෙස සාමාජිකයන්ගෙන් පැමිනි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, අගෝස්තු 22දා ඇම්ස්ටර්ඩෑම්හි පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් කැඳවී ය. එහෙත්, වසර ගනනාවකට පෙර පැට්කෝ සමිතිය මෙම සංවිධානයෙන් ඉවත් වී තිබුනේ, ඇමරිකානු වෘත්තීය සමිතිවල ආන්තික ජාතිකවාදය පිලිබිඹු කරමිනි.

සැලසුම් කොට තිබූ හදිසි රැස්වීමට පෙරාතුව, අගෝස්තු 13දා, රේගන් පරාජය කල හැකි ව තිබුනා ම වූ ක්‍රියාවක් වූ, එක්සත් ජනපදය බලා යන ගුවන් යානා වර්ජනය කිරීම අවිනිශ්චිත ව ප්‍රමාද කිරීමට අයිඑෆ්ඒටීසීඒ තීරනය කලේ ය. රැස්වීමේ දී මත්, වර්ජනයක් සඳහා බහුතරයක් ලබා ගැනීමට හැකි වූයේ නැත.

එක්සත් ජනපදය තුල, වොෂින්ටනයේ යෝධ සහෝදරත්ව දින රැලිය, රේගන්ගේ පිලිවෙත්වලට එරෙහි ව සටන් වැදීමට කම්කරු පන්තිය තුල තිබූ මනාපය පෙන්නුම් කලේ ය. කම්කරු පන්තික ප්‍රතිරෝධයේ එක ම ප්‍රකාශනය එය පමනක් නො වී ය.

සැප්තැම්බර් 7දා නිව් යෝක් නගරයේ පැවති රේගන්ට එරෙහි කම්කරු දින විරෝධතාවක් 250,000ක් ආකර්ශනය කරගත්තේ ය. සහන ඉල්ලීම්වලට එරෙහි ව සහ අත්අඩංගුවට ගැනීම් හා ආපසු වැඩට යාමට දුන් නියෝග ප්‍රතික්ෂේප කරමින්, සැප්තැම්බර් 8දා ෆිලඩෙල්ෆියාවේ රාජ්‍ය පාසල් ගුරුවරු වැඩ වර්ජනයට පිලිපන් හ. අවුරුද්ද මුල දී, ගල් අඟුරු පතල් කම්කරුවන් 6,000ක් හා ඔවුන්ගේ පවුල් කලු පෙනහලු රෝග ප්‍රතිලාභ ආරක්ෂා කරමින් විරෝධතාවේ යෙදී තිබුනු අතර, කොන්රේල් හා ඈම්ට්‍රැක් මත අරමුදල් කපා හැරීමට එරෙහි ව දුම්රිය කම්කරුවන් 20,000ක් පෙලපාලි ගොස් තිබුනි. මධ්‍යම ඇමරිකාව තුල රේගන්ගේ මිනීමරු පිලිවෙත්වලට විරුද්ධ ව කම්කරුවන් හා තරුනයන් 100,000ක් පෙලපාලි ගොස් තිබුනි.

පරිපාලනයේ වෘත්තීය සමිති දඬුගැසීමේ ධාවනයට හා පන්ති යුද පිලිවෙත්වලට විරුද්ධ ව ඒඑෆ්එල්-සීඅයිඕව විසින් අවසර දුන් පලමු හා අවසන් වැදගත් ක්‍රියාව සහෝදරත්ව දිනය බව සනාථ විය.

1981 නොවැම්බර් 3දා පැට්කෝ සමිතිය නිල වසයෙන් සහතිකහරනය කිරීමෙන් -ඇමරිකානු ඉතිහාසය තුල එවන් ක්‍රියාවක් සිදුකල පලමු අවස්ථාව එය විය- පසුව, ඒඑෆ්එල්-සීඅයිඕව ප්‍රසිද්ධියේ යටත් විය. යූඒඩබ්ලිව් සභාපති ෆ්‍රේසර්ගේ වචනවලට අනුව, “යුද්ධය අවසන් ය.”

සංවිධිත ශ්‍රමයේ අනෙකුත් අංශවලට පූර්වාදර්ශනය කල අන්තරාය කෙරෙහි නො දැනුවත් ලෙස, මධ්‍යම කම්කරු සබඳතා අධිකාරියේ තීරනය “මෙම කුඩා වෘත්තීය සමිතිය බිඳ දැමීම සඳහා එයට ඇති යෝධ බලය භාවිතා කිරීමට ආන්ඩුවට ඇති හැකියාව තහවුරු කරති”යි කර්ක්ලෑන්ඩ් ප්‍රකාශ කලේ ය.

නොවැම්බරය මුල දී පැවති ඒඑෆ්එල්-සීඅයිඕ ද්වි-වාර්ෂික සමුලු රැස්වීමට පෙර, බුලටින් පත්‍රය අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය. “වෘත්තීය සමිති මත පදනම් වන ලේබර් පක්ෂයක් ගොඩනැගීම හරහා ධනපති පිලිවෙත්වලට එරෙහි ව, ඩිමොක්‍රටික් පක්ෂයෙන් තීරනාත්මක බිඳී වෙන් වීමෙන් හා කම්කරු පන්තිය බලමුලුගැන්වීමෙන් තොර ව රේගන්ට එරෙහි සටනක් නොමැති ය යන සත්‍යයට මෙම සම්මේලනය මුහුන දිය යුතු ය.”

ඒ වෙනුවට, ගමන් පාලකයන්ට සහයෝගය දීම පිනිස සංයුක්ත ක්‍රියාවක් ගැනීමෙන් තොර ව, සම්මේලනය කැඳවා විසිර ගියේ ය. “නිලධරයෙහි පන්ති සහයෝගිතා පිලිවෙතේ පූර්න බංකොලොත් භාවය” මෙමගින් සනාථ කල බව බුලටින් පත්‍රය සටහන් කලේ ය. “‌ඓතිහාසික ව එය අවසානයි” යි එය ඊට එකතු කලේ ය. වර්කර්ස් ලීගයේ පුවත්පත මෙසේ ඉදිරියට ගියේ ය: “කම්කරු පන්තිය විසින් දිනාගත් මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමට ධනවාදයට එරෙහි අරගලයක් අවශ්‍ය බව පැහැදිලි වන්නේ යම් තරමකට ද ඒ තරමට ම නිලධරය ධනපති පිලිවෙත්වලට හා වී සිටී.”

“පැට්කෝවට මිය යාමට ඉඩ නො දෙන” ලෙස ඉල්ලමින්, දෙසැම්බරයේ දී පෝලි කර්ක්ලෑන්ඩ්ට ලීවේ ය. “කම්කරු සහයෝගය ඉක්මනින් ම ලැබිය යුතුයි. නැත්නම් පැට්කෝව මිය යාවි. එම මරනය සමගින් අප සාක්ෂි දරනු ඇත්තේ හුදෙක් සංවිධිත ශ්‍රමයේ එක් අංශයක විනාශය පමනක් නො ව, වඩා වැදගත් ලෙස කැපවීමේ හා ආඩම්බරයේ පුනර්ජීවනයක් ජනනය කර ඇති ධෛර්යයක් සහිත සාපේක්ෂ ව කුඩා වෘත්තීය සමිතියක් තලා දමනු ලැබීමයි” යි පෝලි සඳහන් කලේ ය.

තමන්ගේ වෘත්තීය සමිතිය ගලවා ගැනීමට, මංමුලා සහගත ව ප්‍රයත්න දරමින් පෝලි 1981 දෙසැම්බර් 31දා ඉල්ලා අස් විය. මෙම මස් රාත්තල රේගන්ගේ ධවල මන්දිරය සැනසුවේ නැත.

වැඩ වර්ජනය තුල ඉටුකල භූමිකාව නිසා බන්ධනාගාරයට නියම කරන ලද ටෙක්සාස්හි ගමන් පාලකයන්ගෙන් එක් අයෙක් වූ ගැරී ග්‍රීන්, 1982 ජනවාරි 29දා මහා වැඩ වර්ජනයක් කැඳවුම් කරන ලෙස ඉල්ලමින් කර්ක්ලෑන්ඩ්ට ලීවේ ය. මෙම විවෘත ලිපිය බුලටින් පත්‍රයේ පලකරන ලදී.

“ජනාධිපති රේගන් පැට්කෝ සමිතියට එරෙහි සටන ජයග්‍රහනය කරමින් සිටින අතර, කම්කරු ව්‍යාපාරය විසින් ඉඩ දෙන තාක්කල් සියලු වෘත්තීය සමිතිවලට එරෙහි ඔහුගේ අනාගත සටන් ජයග්‍රහනය කරනු ඇත. මෙම අරගලය අවසානයකට ගෙන ආ හැකි හා වෘත්තීය සමිති නායකයන්ගේ විශ්වාසවන්ත භාවය පුනස්ථාපනය කල හැකි එක ම මාවත වන්නේ ජාතික වැඩ වර්ජනයකි”යි ග්‍රීන් ලීවේ ය. සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයේ ගමන් පාලකයන් 180 දෙනෙකුගේ රැස්වීමක් මෙම ලිපියට අනුමැතිය දුන්නේ ය.

මහා වැඩ වර්ජනයක් සඳහා සහයෝගයක් නැතැයි වංක ලෙස කියාපාමින් ද 1982 මැතිවරනවල දී ඩිමොක්‍රටිකයන් තෝරා පත්කිරීමේ ප්‍රයත්නයන් වෘත්තීය සමිති විසින් දෙගුන තෙගුන කල යුතු යයි යෝජනා කරමින් ද කර්ක්ලෑන්ඩ්ගේ කාර්යාලය මෙයට ප්‍රතිචාර දැක්වී ය.

පැට්කෝ පවුල් සඳහා තිබූ සහයෝගය දුර්මුඛ කරන ලදී. 1982 පෙබරවාරිය වන විට ඒඑෆ්එල්-සීඅයිඕව පැට්කෝ පවුල් 1,407කට ඩොලර් 646,000ක් පමනක් බෙදා හැර තිබුනේ, එක් පවුලකට ඩොලර් 500ට අඩුවෙන් වියදම් කරමිනි. (9) පැට්කෝ සමිතියට ආධාර වසයෙන් යූඒඩබ්ලිව් සමිතිය යන්තම් ඩොලර් 100,000ක් පමනක් ප්‍රදානය කලේ, 1980 ගනන් මුල දී වසරකට ඩොලර් මිලියන 56කට අධික සාමාන්‍ය ආයෝජනවලින්, යූඒඩබ්ලිව් සන්තක ව තිබූ ආදායම් මුලුමනින් ම උපුටා ගනිද්දී ය. (10)

1982 ජුනි මාසයේ දී, පැට්කෝ සමිතිය සහතිකහරනය කරමින් මධ්‍යම කම්කරු සබඳතා මන්ඩලය ගෙන තිබූ තීරනය ඩීසීහි එක්සත් ජනපද අභියාචනාධිකරනය වීසින් අනුමත කරන ලදී.

පෝලිගෙන් පසු පැට්කෝ සභාපති ධූරයට පත් වූ ගැරී ඊඩ්ස්, වෘත්තීය සමිතියට එරෙහි ව ගුවන් සේවාවන්ට ප්‍රදානය කර තිබූ හානි ගෙවීම් ඩොලර් මිලියන 39ට අධික මුදලක් අත්කරගෙන තිබීම මධ්‍යයේ, 1982 ගිම්හානයේ දී, සිය සමිතිය දියකර හරින ලෙස බංකොලොත් නඩුවක් ගොනු කලේ ය.

මතු සම්බන්ධයි

**

පාදක සටහන්

(1) ග්‍රීන්හවුස්, ස්ටීවන්. මහා තදබදය: ඇමරිකානු කම්කරුවන්ට දුෂ්කර කාල සීමාවල්. (ඉංග්‍රීසි) පලමු සංස්කරනය. නිව් යෝක්: ඇල්ෆ්‍රඩ් ඒ. නොෆ්. 2008: 81; මැක්කාටින්, ජෝසෆ් ඇන්තනී. ගැටීමේ මාවත: රොනල්ඩ් රේගන්, ගුවන් ගමන් පාලකයන් සහ ඇමරිකාව වෙනස් කල වැඩ වර්ජනය (ඉංග්‍රීසි), 2013: 296-297, 301.

(2) නෝඩ්ලන්ඩ්, විලිස් ජේ. නිහඬ ආකාශ: ගුවන් ගමන් පාලකයන්ගේ වැඩ වර්ජනය (ඉංග්‍රීසි), වෙස්ට්පෝට්, කොන්.: ප්‍රේගර්, 1998: 149-150.

(3) “ඒඑෆ්එල්-සීඅයිඕ වෙතින් ක්‍රියාකාරීත්වයක් නැත,” බුලටින්. නොවැම්බර් 3, 1981: 15.

(4) මැක්කාටින්, ගැටීමේ මාවත: 317-318.

(5) මැක්කාටින්, ගැටීමේ මාවත: 292.

(6) නෝඩ්ලන්ඩ්, නිහඬ ආකාශ: 125-126.

(7) මැක්කාටින්, ගැටීමේ මාවත: 315.

(8) නෝඩ්ලන්ඩ්, නිහඬ ආකාශ: 147-148.

(9) මින්චින්, තිමති ජේ. ශ්‍රමය ප්‍රහාරයට යටත් ව: 1979 පටන් ඒඑෆ්එල්-සීඅයිඕ ඉතිහාසයක් (ඉංග්‍රීසි). චැපල් හිල්: උතුරු කැරොලිනා විශ්ව විද්‍යාල ප්‍රකාශන, 2017: 66.

(10) මැක්ලෝෆ්ලින්, මාටින්, කෝපරේට්වාදය හා යූඒඩබ්ලිව්: සහනවලට පිටුපසින් පවතින්නේ කුමක් ද- ඒවාට එරෙහි ව සටන් වදින්නේ කෙසේ ද (ඉංග්‍රීසි). ඩිට්‍රොයිට්: ලේබර් ප්‍රකාශන, 1983:16