පැට්කෝ වැඩ වර්ජනයේ සිට වසර හතලිහක්: තුන්වන කොටස

වැඩ වර්ජනය

[මෙම ලිපිය 2021 අගෝස්තු 7 වැනි දා Forty years since the PATCO strike: Part three යන මැයෙන් ඉංග්‍රීසියෙන් පල විය.]

කොටස් පහකින් යුතු “පැට්කෝ වැඩ වර්ජනයේ සිට හතලිස් වසරක්” ලිපි මාලාවේ තෙවැන්න මෙයයි. ඉතිරි කොටස් ඉදිරියේදී සිංහල භාෂාවෙන් පල වනු ඇත.

පලමු කොටස/දෙවන කොටස/තුන්වන කොටස/හතරවන‌කොටස/ පස්වන කොටස

මෙන්න, අපි වැඩේ පටන් ගන්නවා” -නෝමන් හොකර්, ලගාර්දියා ගුවන් ගමන් පාලකයා බුලටින් පත්‍රයට කියයි, අගෝස්තු 5, 1981

“එක ම නීති-විරෝධී වැඩ වර්ජනය අසාර්ථක වන වැඩවර්ජනයයි.” -රොබට් පෝලි

1981 අගෝස්තු 3 වැනි දා පැට්කෝ වැඩ වර්ජනය ආරම්භ විය. වැඩ වර්ජනයට පක්ෂ ව, එක්සත් ජනපදයේ ගුවන් ගමන් පාලකයන්ගෙන් සියයට 90ක් පමන ඡන්දය දුන් අතර, 13,000ක් පමන වැඩ වැරූ හ.

පාලකයන්ගේ වෘත්තීය සමිතිය තලා දැමීමේ සැලසුම, බොහෝ කලකට පෙර සැලසුම් කර තිබුනු බව, රීගන් පරිපාලනයේ ප්‍රතිචාරය පැහැදිලි කලේ ය. 1947 දී සම්මත කරන ලද කම්කරු පන්ති-විරෝධී ටාෆ්ට්-හාට්ලේ පනතේ ජාතික හදිසි අවස්ථා වගන්තිය ක්ෂනික ව රීගන් තම සේවයට කැඳවා ගත්තේ, පැය 48ක් ඇතුලත පෙරලා වැඩට නො පැමිනි සියලු කම්කරුවන් නෙරපා හරිමිනි.

ඩිට්‍රොයිට් කම්කරු දින සැමරුමේ දී පෙලපාලියේ යෙදෙන පැට්කෝ වැඩ වර්ජකයන්ගෙන් කොටසක් (ලෝසවෙඅ මාධ්‍ය)

පැට්කෝ සමිතිය සමග සාකච්ඡා නො කරන ලෙස, රීගන් ප්‍රවාහන ලේකම් ඩ්‍රෑ ලුවිස්ට නියෝග කලේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ආන්ඩුව අපේක්ෂා කල එක ම ප්‍රතිඵලය වෘත්තීය සමිතිය විනාශ කර දැමීම යි.

එක්කෝ ආපසු වැඩට එනු, නැතහොත් නෙරපෙනු යන රීගන්ගේ තර්ජනයේ අවසන් කාල සීමාව අගොස්තු 5 වැනි දා බදාදා උදෑසන 11ට යෙදුනි. ඔරලෝසු 11 කනිසම නාද කොට, මහා පරිමාන දොට්ට දැමීම් නිල තත්ත්වයට පත්වූ විට, රට පුරා වෘත්තීය සමිති ශාලා, පිකට් වැටවල් හා වාහන නැවතුම්පොලවලට රැස්වූ ගුවන් ගමන් පාලකයන් දහස් ගනනක් “වර්ජනය කරනු! වර්ජනය කරනු! වර්ජනය කරනු!” යන සටන් පාඨ හඬ නැගූ හ.

නිව් යෝක් නගරයේ පර්යන්තයන්ගෙන් පැමිනි ගුවන් ගමන් පාලකයන් සිය ගනනක්, සිය ආධාරකරුවන් ද සමගින්, ලෝන්ග් අයිලන්ඩ්හි ඊස්ට් මෙඩෝහි දී රැස්වීමක් පැවැත්වූ හ. අවසන් කාල සීමාව පසුවෙද්දී, කවාකාර ව රැස්වූ ඔවුහු, එම කාල සීමාව ප්‍රතික්ෂේප කරමින්, තම මිට මොලවා ගත් අත් ගුවනට එසවූහ. රැස්වීමේ මැද, වැඩ වර්ජකයන් හයදෙනෙක්, ඇමරිකානු විප්ලවයේ සංකේතයක් වන, විශාල “මා මත පා නොතබනු” ධජයක් (Don’t Tread on Me flag) අල්ලාගෙන සිටිය හ. ඉන්පසු කම්කරුවෝ, ඒ අසල පිහිටි ට්‍රැකොන් (TRACON - පර්යන්ත රේඩාර් ප්‍රවිෂ්ට පාලන) පහසුකම දෙසට, පෙලපාලියෙන් ගිය හ.

ඩිට්‍රොයිට්හි ගුවන් ගමන් පාලකයන් 134න් 132 දෙනෙක් ම රීගන්ගේ පෙරලා වැඩට පැමිනීමේ නියෝගයට පිටුපෑහ. මහනගර සීමාවේ ගුවන් තොටුපොල අසල රැස් ව සිටි සෙනග ඇමතූ වෘත්තීය සමිතියේ උප සභාපති ස්ටීව් කොනාවේ “ආන්ඩුවට හා එෆ්ඒඒට අප ව බියවද්දන්න බැහැ. අපේ දුක්ගැනවිලි සැබෑ ඒවා, ඒවා සැලකිල්ලට ගන්නා තෙක් අපි මෙහි රැඳී සිටිනවා” යැයි කීවේ ය.

කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වෙද්දී, ලෝන්ග් අයිලන්ඩ්හි ඊස්ට් මෙඩෝහි රැස්වූ ගුවන් ගමන් පාලකයෝ, වැඩ වර්ජනය කිරීමට ඔවුන්ට තිබෙන අධිෂ්ටානය ප්‍රදර්ශනය කරමින්, ඇමරිකානු විප්ලවයේ බැනරයක් අල්ලාගෙන සිටිති. (ලෝසවෙඅ මාධ්‍ය)

ඔහියෝහි ලොරේන්හි දී, විශාලත ම ජාතික ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය වූ ඔබර්ලින්හි පැට්කෝ 203වන ලෝකලයේ 500ට අධික සාමාජික පිරිසක්, පෙරවරු 11 කාල අවසන් සීමාවට අහසට මිට මොලවා ගත් අත් ඔසවමින් ප්‍රතිචාර දැක්වූයේ “වර්ජනය!” යන සටන් පාඨය සමගිනි.

මිනේසොටාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පර්යන්ත දෙක අතරට, ගුවන් ගමන් පාලකයන් හා ආධාරකරුවන් පන්සියයක් එක්රැස්වූ හ.

වැඩ වර්ජකයන්ගෙන් අතිමහත් බහුතරය රීගන්ගේ ආපසු වැඩට යාමේ නියෝගය ප්‍රතික්ෂේප කල හ. පැට්කෝ සභාපති රොබට් පෝලි, එය ආන්ඩුවේ “දැඩි ෆැසිස්ට්වාදී උපායක්” ලෙස හැඳින්වී ය. එය ක්‍රියාවට දමමින්, ආන්ඩුව ප්‍රතිචාර දැක්වී ය. වැඩ වර්ජනයේ නායකයන් හා හොඳ ම සාමාන්‍ය කම්කරුවන් සිරගත කිරීම හැකියාවක් බවට පත් කරමින් හා වැඩ වර්ජකයන්ට වෘත්තීය සමිතියේ අරමුදල්වලින් ගෙවීම නීති-විරෝධී කරමින්, පරිපාලනය වැඩ වර්ජනය නීති-විරෝධී කරන උසාවි නියෝගයක් ලබා ගත්තේ ය.

ජාතික කම්කරු සබඳතා මන්ඩලය (එන්එල්ආර්බී) පැට්කෝ සමිතියේ සහතිකය අහෝසි කිරීම අපේක්ෂා කරමින් වහා ම නඩුවක් ගොනු කලේ ය. වැඩ වර්ජකයන්ගේ ඡායාරූප ලබා ගැනීමට හා වෙනත් ආකාරවලින් ඔවුන් ව බියවැද්දීමට, එෆ්බීඅයි ඒජන්තයන් හා මධ්‍යම හමුදා භටයන් දිගේලි කරනු ලැබිනි. තමන්ගේ ස්වාමිපුරුෂයා ආපසු වැඩට නාවොත්, තමන් දෙපොල දරුවෙකු හදා වඩා ගැනීමට දැරූ උත්සාහය අවහිර වනු ඇතැයි එෆ්බීඅයි ඒජන්තයෙකු තමන්ට කී බව පැට්කෝ වැඩ වර්ජකයෙකුගේ බිරිඳ වාර්තා කලා ය.

ආපසු නො එන ඕනෑ ම ගමන් පාලකයෙකුගේ සාමාජිකත්වය අහෝසි කරන බව, තුන්වන දිනයේ ධවල මන්දිර ප්‍රකාශක ඩේවිඩ් ගර්ගන් ප්‍රසිද්ධ කලේ ය. “ආපසු හැරීමක් නැහැ, දෙවන අවස්ථාවක් නැහැ” යි ඔහු කීවේ ය. “මධ්‍යම ආන්ඩුවේ රැකියාවක් දැරීමෙන් ඔවුන් ව සදාකාලික ව තහනම් කරනවා.”

විදෙස් රටවල අධිරාජ්‍යවාදී ගනුදෙනුවල පූච්චානම් යොදාගත් රීගන් පරිපාලනය, වැඩ වර්ජනය “ප්‍රාන ඇපයට ගැනීමේ තත්ත්වයක්” ලෙස හඳුන්වමින් තමන් “ත්‍රස්තවාදීන්” සමග සාකච්ඡා කිරීමට සූදානම් නැති බව නිවේදනය කලේ ය.

ඇමරිකානු පාලක පන්තිය, කම්කරුවන්ගේ දෑස් ඉදිරියේ, පන්ති සම්මුතියේ සමාජ කොන්ත්‍රාත්තුව ඉරා දැමී ය. 19වන ශතවර්ෂයේ කොල්ලකාරී කර්මාන්තකරුවන්ගේ කාලයේ මෙන්, නීතියේ හා උසාවිවල කුදුමහත් බලය, වැඩ වර්ජිත කම්කරුවන්ට එරෙහි ව ගෙන එන ලදී.

වැඩ වර්ජනයේ පැය ගනනක් ඇතුලත, මධ්‍යම දිස්ත්‍රික් උසාවි 40ක් විසින් වැඩ වර්ජනයට එරෙහි තාවකාලික තහනම් නියෝගයන් හා ආඥාවන් නිකුත් කල අතර, අවම වසයෙන් එක්සත් ජනපද නීතිඥයන් 12 දෙනෙක් වත් වෘත්තීය සමිති ලෝකල්වලට හා ඒවායේ නායකයන්ට එරෙහි ව උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝග ලබා ගත් හ.

පලමු වන දිනයේ, මධ්‍යම නිලධාරීහු පාලකයන්ගේ වැඩ වර්ජන අරමුදල ක්‍රියා විරහිත කල හ. මධ්‍යම දඩ මුදල් ක්ෂනික ව ම පැට්කෝහි ඩොලර් මිලියන 4ක් වූ වත්කම් අභිබවා ගියේ ය. එක් විනිශ්චයකරුවෙකු වූ හැරල්ඩ් ග්‍රීන්, එක් දිනකට ඩොලර් මිලියන 1ක දඩ මුදල් අයකර ගත්තේ ය. වැඩ වර්ජනය අවසන් වන විට, පැට්කෝ සමිතිය උසාවිය විසින් පනවන ලද ඩොලර් මිලියන 28.8ක හානි අත්විඳ තිබුනේ, එහි වත්කම් බොහෝ සෙයින් ඉක්මවා යමිනි.

විනිසුරුවරුන් ඉදිරියට ගෙන ආ පැට්කෝ වැඩ වර්ජකයන්ට දම්වැල් මාංචු දමා තිබුනි. සමස්තයක් ලෙස, පැට්කෝ වැඩ වර්ජකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් සිය ගනනක්, වැඩ වර්ජනය සමයේ දී පොලිස් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා ගැනීම කර තිබුනු අතර, 78 දෙනෙක් උසාවියේ දී චෝදනාවන්ට මුහුන දුන් හ. සිර දඬුවම් කාල සීමාව දවස් ගනනක සිට වසරක් දක්වා පරාසයේ පැවතුනි. අනෙක් සමහරු සමාව ගැනීමේ ගනුදෙනුවලට එලැඹුනු අතර, සමහරුන්ගේ චෝදනා ඉවත් කර ගැනුනි. උසාවි චෝදනාවලින් නිදහස් කරන ලද්දේ කුඩා සංඛ්‍යාවක් පමනි.

ගුවන් ගමන් පාලකයන් නෙරපනු ලැබ සිටි නිසා, නෛතික ව වැඩ වර්ජනයක යෙදිය නො හැකි ව සිටි නමුත්, සාමාන්‍යයෙන් කම්කරුවන්ට එල්ල කරන ලද අධිචෝදනාවන් වූයේ “නීති-විරෝධී” වැඩ වර්ජනයකට සහභාගි වීමේ චෝදනා ය. උසාවි විසින් පවා මෙය කල්පනා ලෝකීය තත්ත්වයක් පිලිගන්නා ලදී.

පැට්කෝ සමිතියේ කටුක හතුරෙකු වූ විනිසුරු ග්‍රීන්, සියලු දඩ වහා ම ගෙවන ලෙසත්, පිකට් කිරීම් අවසන් කිරීම සඳහා උසාවි ආඥාවක් නිකුත් කරන ලෙසත් රීගන් පරිපාලනය කල විධානයට එරෙහි ව අගෝස්තු 11 වැනි දා නියෝගයක් දුන්නේ, වැඩ වර්ජනයෙන් බලපෑමක් වී නැතැයි ආන්ඩුව යලි යලිත් කල කියාපෑම් විසින්, ගුවන් ආරක්ෂාවට වර්ජනයෙන් “පිරිමැසිය නො හැකි හානියක්” කර ඇතැයි යන ආන්ඩුවේ ම කියාපෑම විසංවාදී ව ප්‍රශ්නයට බඳුන් වන තත්ත්වයක් නිර්මානය වී ඇති බවට නිගමනය කරමිනි. “වැඩ වර්ජනයේ නො ‌යෙදෙනු යන නියෝගය,” ඔවුන් ව නෙරපා හැරීම මගින් “ඉටු කිරීම කල නො හැක්කක් බවට පත් කර තිබෙන” නිසා, පැට්කෝ සාමාජිකයන්ට “එය අපහාසයට ලක්කිරීමෙන් වැලකී නො සිටිය හැකි” බව ඔහු සටහන් කලේ ය.

අගොස්තු මැද දී අධිචෝදනාවට ලක් වූ චිකාගෝ ප්‍රදේශයේ එක් ගමන් පාලකයෙකු වූයේ කාල් කර්න් ය. අත්අඩංගුවට ගෙන හෝ චෝදනාවන්ට ලක් කර තිබූ අන් බොහෝ දෙනා මෙන්, කර්න් ද අරගලයේ අවංක නායකයෙකු විය. “මාත් අනෙකුත් අයත් ඉලක්ක කර තිබෙන්නේ, වැඩ වර්ජනය තුල අපේ ක්‍රියාකාරී භූමිකාව හා අවංක භාවය නිසා යයි මම හිතනවා” යි කර්න් කීවේ ය. “ඉතාමත් හොඳින් තෝරා බේරාගෙන නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, පැට්කෝ සමිතියේ වඩාත් ම ක්‍රියාකාරී සාමාජිකයන්ට එරෙහි ව යි.”

මධ්‍යම ගුවන්සේවා පරිපාලනයට (එෆ්ඒඒ) අයත් වූ, පැට්කෝ වැඩ වර්ජකයන්ට සහයෝගය පල කල හෝ ඔවුන් සමග මිත්‍රකම් පැවැත් වූ හෝ කම්කරුවෝ නෙරපා හරින ලදහ. ගමන් පාලකයන්ට ප්‍රසිද්ධියේ සහයෝගය දීම නිසා, ලෝන්ග් අයිලන්ඩ්හි ට්‍රැන්කොන් පහසුකමේ වැඩ පරීක්ෂකයෙකු වූ හැරී බ්‍රවුන් නෙරපා හැරුනි. ඉලිනොයිහි අව්‍රෝරා පාලක මධ්‍යස්ථානයේ ටෙලිටයිප් මුද්‍රන සේවිකාවක වූ ජැනිස් වේක්ෆීල්ඩ්, පිකට් වැටේ කම්කරුවන් බැලීමට යාම නිසා දොට්ට දැමුනි. යූඑස් එයාර්හි නියමුවෙකු වූ බ්‍රයන් පවර්-වෝටර්ස්ගේ වැඩ තහනම් කරන ලද්දේ, මගීන්ගේ ගුවන් ගමන ප්‍රමාද වන්නේ, පාලක ගොඩනැගිල්ල පාලනය කරන්නේ නුපුහුනු කම්කරුවන් විසින් නිසා බව මගීන්ට කීම හේතුවෙනි.

අගොස්තු 17 සඳුදා, ප්‍රවාහන ලේකම් ලුවිස් “වැඩ වර්ජනය අහවර” යි ප්‍රකාශ කලේ ය. වැඩ පරීක්ෂකවරුන් හා මිලිටරි භටයන් සමගින් හොරිකඩයන් යොදා ගෙන, ගුවන් ගමන් පාලක පද්ධතිය යලි යථා තත්ත්වයට පත් කරනු ඇති බව ඔහු කීවේ ය. තමන් හුදෙක් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරනවා පමනක් නො ව, කිසිදු කොන්දේසියක් යටතේ පැට්කෝ වැඩ වර්ජකයන් නැවත පිලි නො ගන්නා බව ද රීගන් පරිපාලනය පැහැදිලි කලේ ය.

පැට්කෝ කම්කරුවෝ පරාජය පිලිගත්තේ නැත. අගෝස්තු හා සැප්තැම්බර් මාස පුරා, සත්‍ය වසයෙන් ම, රීගන් පරිපාලනයේ මර්දනීය උපාමාරුවලට විරුද්ධත්වය අඛන්ඩ ව පැවතුනි. අගෝස්තු 23 වැනි දා 2,000ක් පමන සහභාගි වූ රැලියක් හූස්ටන්හි දී පැවැත්වුනි. අගෝස්තු 26 වැනි දා, 1,000ට අධික පිරිසක් නිවුන් නගරවල පැවති රැලියක දී එක්‍රැස් වූ හ.

1981 සැප්තැම්බර් ජාතික කම්කරු දිනය දා, 250,000ට අධික කම්කරුවන් පිරිසක් නිව් යෝක් නගරයේ පැවත් වූ විශාල පරිමාන පෙලපාලියක් මේ අතර විසාල ම විරෝධතා රැලිය විය. පෙරමුනේ හා මධ්‍යයේ පෙලපාලියෙන් ගිය පැට්කෝ සාමාජිකයන් 2,000 දෙනා ජයඝෝෂා පවත්වා පිලිගනු ලැබුනි. වුඩ්වර්ඩ් මාවතේ 3,000ට අධික පිරිසක් පෙලපාලි දැක්වූ ඩිට්‍රොයිට්වල දී ඇතුලු ව රට පුරා, පැට්කෝ සමිතිය පෙරමුන ගත් තවත් කම්කරු දින පෙලපාලි ගනනක් පැවැත්වුනි.

ආරම්භයේ දී ඒඑෆ්එල්-සීඅයිඕ සමිතිය සැප්තැම්බර් 19ට සහෝදරත්වයේ දිනය වොෂින්ටන් ඩී.සීහි පැවැත්වීමට කැඳවා තිබුනේ, රීගන් පරිපාලනයේ පිලිවෙත්වලට විරෝධය දැක්වීම වෙනුවට, වෝර්සෝහි ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයට එරෙහි පෝලන්ත කම්කරුවන්ගේ සොලිඩැරිටි ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පිනිස ය. සීඅයිඒ විසින් අරමුදල් සපයන ලද ඒඑෆ්එල්-සීඅයිඕ විදේශ ක්‍රියාකාරිකයෝ, පෝලන්ත ව්‍යාපාරය ධනපති-ගැති දිශාවක් දෙසට යොමු කිරීමට හැල්මේ උත්සාහ දරමින් සිටිය හ.

1981 සැප්තැම්බර් 19 වැනි දා රීගන්-විරෝධී, පැට්කෝ-හිතවාදී සොලිඩැරිටි දින පෙලපාලියක් වොෂින්ටන් ඩීසීහි කැඳවා තිබුනි (ලෝසවෙඅ මාධ්‍ය)

එහෙත්, පෙලපාලිය කැඳවීම ද එහි නම ම ද කම්කරුවන්ට ඔවුන්ගේ හඬ නැගීම සඳහා අවස්ථාවක් සම්පාදනය කලේ ය.

එක් ඉතිහාසඥයෙකුට අනුව, “(ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලේන්) කර්ක්ලෑන්ඩ්ගේ කාර්යාලය තුල උද්‍යෝගය වෙනුවට කාංසාව වඩ වඩා නිර්මානය කරමින්” විශාල සහභාගිත්වයක හැකියාව සහිත ව එලඹෙන පෙලපාලියේ විශාලත්වය පැහැදිලි වූ විට, ඒඑෆ්එල්-සීඅයිඕ නිලධාරී තන්ත්‍රය තැතිගත්තේ ය. (1) එක්සත් ආහාර හා වානිජ කම්කරු සමිතියේ සභාපති විලියම් වින් විසින් වෘත්තීය සමිතිවල පටු හා බංකොලොත් ඉලක්ක සම්පින්ඩනය කරනු ලැබුනි. “අපි ධවල මන්දිරයෙන් වැඩි දෙයක් ලබා ගන්නේ නැහැ, ඒත් තරමක දෙගිඩියාවක් පෙන්වා ඇති කොංග්‍රසය තුල සිටින අපේ සමහර මිතුරන්ට යම් ධෛර්යයක් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා” යි ඔහු කීවේ ය.

නිසැක ව ම, “කොංග්‍රසය තුල සිටින අපේ මිතුරන්” යන්නෙහි අර්ථය වූයේ ඩිමොක්‍රටික් පක්ෂය යි.

රීගන්ටත්, පැට්කෝ සමිතිය හා කම්කරු පන්තිය මතට ඔහු එල්ල කල ප්‍රහාරයටත් විරුද්ධ ව, යෝධ විරෝධතාවක් වේදිකාගත කිරීමට, කම්කරුවෝ පෙලපාලිය යොදාගත් හ. සමහර කම්කරුවෝ, පෝලන්තයේ ස්ටැලින්වාදී පාලනය විසින් කරගෙන ගිය රාජ්‍ය මර්දනය හා පැට්කෝ කම්කරුවන්ට එරෙහි රාජ්‍ය චෝදනා නැගීම අතර සන්සන්දනයන් පෙන්නුම් කරන සංඥා දරා සිටිය හ.

ඒඑෆ්එල්-සීඅයිඕ ලෝකල් සභා, අවම වසයෙන් කම්කරුවන්ගෙන් පිරී ගිය බස් රථ 3,000ක් සංවිධානය කල හ. රීගන්ගේ අයවැය කප්පාදුවේ බලපෑමට ලක්වූ සිවිල් අයිතිවාසිකම් කන්ඩායම් හා අනෙකුත් සංවිධාන මෙන් ම, රටෙහි සෑම වෘත්තීය සමිතියක් ම පාහේ නියෝජනය විය.

විශාල ත ම කොටස් අතරට, මෝටර් රථ කම්කරුවන් 30,000ක සහභාගිත්වය සහිත වූ යූඒඩබ්ලිව්, සාමාජිකයන් 20,000ක් ගෙන ආ ජාත්‍යන්තර යන්ත්‍ර ශිල්පී සමිතිය (අයිඒඑම්) සහ 20,000ක් බලමුලුගැන්වූ විදුලිබල කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය අයත් වූ හ. සහභාගිත්වය 30,000ක් යයි තක්සේරු කෙරෙන ඇමරිකානු ප්‍රාන්ත, කෝරල හා නාගරික සේවකයන්ගේ සම්මේලනය කොතරම් විශාල වී ද යත්, “එම කොටසට පෙලපාලියේ ඇවිද යාමට මිනිත්තු 40කට වඩා ගත වූ අතර, සමස්ත ව්‍යවස්ථා මාවත වෘත්තීය සමිතියේ කොල හා සුදු පැහැ බැනර, සටන් පාඨ පුවරු, ධජ හා ටී-ෂර්ට්වලින් පිරීගිය මුහුදක් විය” යි බුලටින් පත්‍රය වාර්තා කලේ ය. පැට්කෝ සමිතිය 6,000ක් හෙවත් වර්ජනයේ යෙදී සිටි අයගෙන් දල වසයෙන් අඩක් ගෙන ආවේ ය.

යෝධ පෙලපාලිය පැහැදිලි කලේ, රීගන්ට එරෙහි අරගලය විස්තාරනය කිරීම සඳහා, කම්කරු පන්තියට පලල් සහයෝගයක් පැවතුනු බව යි. එහෙත්, ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය එවන් අරගලයක් දියත් කිරීම අවධාරනාත්මක ව ප්‍රතික්ෂේප කල අතර, පලල් කම්කරු පන්තියේ සටන්කාමී ජීව ගුනය ක්‍රමයෙන් අභාවයට ගියේ ය.

පැට්කෝ වැඩ වර්ජනය හුදකලා කොට පරාජය කිරීමේ දී ඒඑෆ්එල්-සීඅයිඕ ඉටුකල භූමිකාව සහ අරගලය සමස්ත කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනයක් හා දේශපාලන සටනක් බවට ප්‍රසාරනය කිරීම සඳහා (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ) ට්‍රොට්ස්කිවාදී වර්කර්ස් ලීගය ඉදිරිපත් කල ඉදිරි දර්ශනය, මෙම ලිපි මාලාවේ ඊලඟ කොටසේ දී විභාගයට ගැනෙනු ඇත.

වෘත්තීය සමිතිගත ගුවන් කර්මාන්තයේ අනෙකුත් කම්කරුවන් විසින් දෛනික ව පසුකර ගිය පිකට් වැටවල් මත මාස ගනනක් තිස්සේ අඛන්ඩ ව රැඳී සිටිමින්, පැට්කෝ කම්කරුවෝ ඔවුන්ගේ අරගලය අඛන්ඩ ව පවත්වාගෙන ගිය හ. රාජ්‍ය මර්දනය වඩාත් ම සටන්කාමී හා අවංක නායකයන් ඉලක්ක කරගත් අතර, 1981 නොවැම්බරයේ දී ඒකාබද්ධ අපරාධ සඳහා නඩුවලට භාජනය කරන ලද ඩලස්-ෆෝර්ට් වර්ත් පැට්කෝ ලෝකලයේ නායකයන් තිදෙනා ද ඒ අතරට අයත් වූ හ.

සත්‍ය වසයෙන් ම ඔවුන් ව නෙරපා තිබුනු මධ්‍යම ආන්ඩුවට විරුද්ධ ව වැඩ වර්ජනය කිරීමේ අපරාධයට, 1983 මාර්තු මාසයේ දී, එක්සත් ජනපදයේ පස්වන සංචාරක අභියාචනාධිකරනය ලී ග්‍රාන්ට්, රොන් මේ හා ගැරී ග්‍රීන් යන තිදෙනා ව වසරකට මාස තුනක් සිරගත කිරීමට නියෝග කලේ ය. ඔවුන් තිදෙනා ම දවස් 90කට බන්ධනාගාරගත කල අතර, අපරාධකරුවන් ලෙස සලකා සිවිල් අයිතීන් ස්ථීර ව අහිමි කරන ලදී.

1983 දී සිර දඬුවම් නියම කරන ලද මධ්‍යම උසාවියෙන් පිටත රැඳී සිටින “ෆෝර්ට් වර්ත් නායකයන් තිදෙනා” -එනම්, ඩලස්-ෆෝර්ට් වර්ත් පැට්කෝ නායකයන් වූ රොන් මේ, ගැරී ග්‍රීන් හා ලී ග්‍රාන්ට් (ලෝසවෙඅ මාධ්‍ය)

ප්‍රසිද්ධ ආරක්ෂක උද්ඝෝෂනයට නායකත්වය දුන්නේ, ඒඑෆ්එල්-සීඅයිඕව නො ව වර්කර්ස් ලීගය යි. පැට්කෝ සමිතියට හා වැඩ වර්ජනය හේතුවෙන් චෝදනාවට ලක්කරන ලද එහි සාමාජිකයන්ට කම්කරු පන්තියේ සහයෝගය සඳහා ආයාචනා කිරීමට නිරන්තරයෙන් බුලටින් පුවත්පත යොදා ගනු ලැබුනි. විශේෂයෙන් ම රොන් මේ සඳහා පුවත්පත භාවිතා කලේ ය. එහි දී ඔහු හුදකලා නො වී ය. බුලටින් පත්‍රය බොහෝ පැට්කෝ සාමාජිකයන්ට කතා කල අතර, සම්පූර්න පිටු සම්මුඛ සාකච්ඡා හා වර්ජනයේ නායකයන්ගේ ලිපි නිරන්තරයෙන් පල කලේ ය.

1981 ඔක්තෝබර් 22 වැනි දා, මධ්‍යම කම්කරු සබඳතා අධිකාරිය ගුවන් ගමන් පාලකයන් නියෝජනය කිරීමට පැට්කෝ සමිතියට තිබූ සහතිකය අවලංගු කලේ ය. දැන්, එහි වැඩ වර්ජනය නීති-විරෝධී කොට එයට සහභාගි වූවන් අසාධු ලේඛනගත කලා පමනක් නො ව, වෘත්තීය සමිතිය ම ත් තව දුරටත් නීත්‍යානුකූල නො වී ය. 1982 ජුනි 11 වැනි දා මධ්‍යම අභියාචනාධිකරනයක් විසින් එම තීරනය තහවුරු කරන ලදී. 1982 ජූලි 2 වැනි දා මධ්‍යම ඈවරකරන උසාවියක් පැට්කෝ සමිතිය විසුරුවා හැරියේ ය. 1983 ගිම්හානයේ, ග්‍රීන්, මේ හා ග්‍රාන්ට් ඔවුන්ගේ සිර දඬුවම් ගත කිරීම ඇරඹූ හ.

මතු සම්බන්ධයි.

පාදක සටනහන්

(1) බූලේ, පෝල්: ව්‍යාපාර රැකගැනීම: සැමුවෙල් ගොම්පර්ස්, ජෝර් ජ් මීනි, ලේන් කර්ක්ලෑන්ඩ් සහ ඇමරිකානු කම්කරු ඛේදවාචකය (ඉංග්‍රීසි): නිව් යෝක්: මන්ත්ලි රිවීව් ප්‍රෙස්, 1999: 224.

Loading