ඉදිරිදර්ශන

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

[මෙය Julian Assange is free, but the struggle to defend democratic rights continues යන මැයෙන් 2024 ජූනි 25 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය. අද පස්වරුවේ (ජූනි 25), උතුරු මරියානා දූපත්වල පිහිටුවා ඇති එක්සත් ජනපද අධිකරනයක් අභියාචනා ගිවිසුමකට අත්සන් තබමින්, ඔහුව පිටුවහල් කිරීමේ ඇමරිකානු උත්සාහය අවසන් කලේය; අසාන්ජ් නැවත ඕස්ට්‍රේලියාවට පැමිනෙමින් සිටී.

ජූලියන් අසාන්ජ් 2024 ජූනි 26 බදාදා මරියානා දූපත් වල සයිපාන්හි ෆෙඩරල් අධිකරනයෙන් පිටව යයි. [ඒපී ඡායාරූප/යූජීන් හෝෂිකෝ] [AP Photo/Eugene Hoshiko]

අනාගත පරම්පරාවන් අසාන්ජ් සදහටම දකිනු ඇත්තේ, භාෂනයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් වැදුනෙකු ලෙස ය. ඔහුට කල හිංසා පීඩාවන් නූතන ඉතිහාසයේ දරුනුතම දඩයමක් ලෙස සලකනු ඇත.

ජූලියන් අසාන්ජ් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය උනුසුම් සුබපැතුම් සමග ප්‍රීතිය ප්‍රකාශ කරයි. අසාන්ජ්ගේ හිංසනයට එරෙහිව සටන් කිරීමේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කල සියලු දෙනාට ද අපි සුබ පතන්නෙමු. මේ අතර ප්‍රමුඛ වන්නේ ඔහුගේ බිරිඳ ස්ටෙලා අසාන්ජ්, ඔහුගේ පියා ජෝන් ෂිප්ටන් සහ ඔහුගේ සහෝදරයා වන ගේබ්‍රියෙල් ෂිප්ටන් ය.

අසාන්ජ්ගේ ප්‍රමුඛ ප්‍රසිද්ධ ආරක්ෂකයින් අතර සංගීතඥ රොජර් වෝටර්ස් සහ මානව හිමිකම් උද්ඝෝෂක ක්‍රේග් මරේ ද වේ. අසාන්ජ් නිදහස් කර ගැනීම සඳහා වෙහෙස නොබලා සටන් කල ධෛර්ය සම්පන්න මාධ්‍යවේදී ජෝන් පිල්ගර් හෝ සුප්‍රසිද්ධ මහජනතාවට සතුරු රාජ්‍ය රහස් හෙලි කරන්නෙකු වන ඩැනියෙල් එල්ස්බර්ග් මේ දවස දැකීමට ජීවත් නොවූ බව අපි සටහන් කරන්නේ කනගාටුවෙනි.

අසාන්ජ් නිදහස් කිරීමට බයිඩන් පරිපාලනය ගත් තීරනය ප්‍රධාන දේශපාලන පසුබැසීමක් වෙනවාක් මෙන්ම, ඔහුට එරෙහි නඩුව ආරම්භයේ සිටම වංචාවක් වූ බවට එක්සත් ජනපද ආන්ඩුවේ තථ්‍ය පිලිගැනීමකි. එක්සත් ජනපදයේ ධෛර්යසම්පන්න මාධ්‍යවේදියෙකුගේ දේශපාලන බොරු-නඩු විභාගය, ඇමරිකානු අධිරාජ්‍යවාදය “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් ලොව පුරා කරගෙන යන යුද්ධවල ප්‍රෝඩාව හෙලිදරව් වනු ඇතැයි ධවල මන්දිරය ගනන් බලා ගත් තීරනයකි.

අසාන්ජ්ගේ තාඩන පීඩන, බොරුවේ සහ අපහාසයේ දූෂිත ව්‍යාපාරයකි. බුෂ්, ඔබාමා, ට්‍රම්ප් සහ බයිඩන් ඇතුලු අනුප්‍රාප්තික ජනාධිපති පාලන තන්ත්‍ර හතරක් මෙම නිර්භීත මාධ්‍යවේදියා නිහඬ කිරීමට උත්සාහ කලහ.

2006 දී ජූලියන් අසාන්ජ් විකිලීක්ස් ආරම්භ කරන ලද්දේ, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී” එක්සත් ජනපදය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය නීති විරෝධී ලෙස ආක්‍රමනය කිරීමෙන් පසුවය. විකිලීක්ස් යනු වැදගත් මාධ්‍යවේදීන් කල යුතු දේ කිරීමට තොරතුරු තාක්ෂනය භාවිතා කිරීමේ නිර්භීත සහ ඵලදායී මුලපිරීමකි: එනම්, ආන්ඩුවට සැඟවීමට අවශ්‍ය නීති විරෝධී ක්‍රියා හෙලිදරව් කිරීම යි.

2010 දී ජූලියන් අසාන්ජ් සහ විකිලීක්ස් එක්සත් ජනපද මිලිටරිය විසින් සිදු කරන ලද අනේකවිධ යුද අපරාධ හෙලිදරව් කරන ලේඛන මාලාවක් ප්‍රකාශයට පත් කලහ. ඉරාක යුද සටහන් (Iraq War Logs) සහ ඇෆ්ගන් යුද දිනපොත (Afghan War Diary), 1970 ගනන්වල පෙන්ටගනයේ පත්‍රිකා වලින් පසුව අධිරාජ්‍යවාදී සාපරාධීත්වය පිලිබඳ වඩාත්ම විස්තීරන හෙලිදරව්වකි.

ඉරාක ආක්‍රමනයේ සහ වාඩිලාගැනීමේ කොටසක් ලෙස එක්සත් ජනපද හමුදා විසින් සිවිල් වැසියන් 66,081 ක් ඝාතනය කිරීම 'ඉරාක යුද සටහන්' විස්තර කර ඇත. එක්සත් ජනපද හමුදා විසින් ඉරාකයේදී රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුලු නිරායුධ සිවිල් වැසියන් දුසිමකට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම පෙන්නුම් කරන සමූලඝාතන (Collateral Murder) වීඩියෝව ද විකිලීක්ස් ප්‍රසිද්ධ කලේය.

2010 නොවැම්බර් මාසයේදී විකිලීක්ස් එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කේබල් පනිවිඩ සිය දහස් ගනනකින් උපුටා ගැනීම් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කලේය. කුමන්ත්‍රන සැලසුම් කිරීම, එක්සත් ජනපදයේ රහස් වත්කම් ලෙස විදේශීය දේශපාලඥයින් වගාදිගා කිරීම සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අනෙකුත් ප්‍රහාර ඇතුලු අධිරාජ්‍යවාදී දේශපාලනයේ දෛනික නීති විරෝධී භාවය මෙයින් හෙලිදරව් විය.

ඊට ප්‍රතිචාර වශයෙන්, ස්වාධීන මාධ්‍ය ආයතන විරේක කර දැමීමේ සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක යාන්ත්‍රනයට මාධ්‍යවල පූර්න ලෙස අනුගත කර ගැනීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයක කොටසක් ලෙස එක්සත් ජනපද ඔත්තුසේවා ආයතන ජූලියන් අසාන්ජ් විනාශ කිරීමේ ව්‍යාපාරයක් උසිගැන්විය.

අනන්‍යතා දේශපාලනයට ලොල් වූ මධ්‍යම පන්තික ස්ථර සඳහා ප්‍රවේශයක් ලෙස සේවය කල බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මෙම චෝදනාවලට නීත්‍යානුකූල භාවය ලබා දීමට හැකි සෑම දෙයක්ම කලේය.

2010 දෙසැම්බරයේදී, ස්වීඩනයේ අභිචෝදකයන් අසාන්ජ්ට එරෙහිව ගොතන ලද ලිංගික අපචාර චෝදනා මත නඩුවක් ආරම්භ කරන ලද අතර, ඒ සියල්ල පසුව ඉවත් කර ගන්නා ලදී. අසාන්ජ් පිටුවහල් කිරීමට ස්වීඩන් බලධාරීන් ගත් උත්සාහයන් හේතුවෙන්—ඔහු එහි සිට එක්සත් ජනපදයට පිටුවහල් කල හැකිව තිබුනි—ඔහුට 2012 දී ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ රැකවරනය පැතීමට සිදුවිය.

'ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය' (International Socialist Organization) 2012 දී මහජනතාවගෙන් ඉල්ලා සිටියේ 'අසාන්ජ්ට එරෙහි මෙම දූෂන චෝදනා බැරෑරුම් ලෙස සලකන' ලෙසයි. 'සමාජවාදී විකල්පය' (Socialist Alternative) අවධාරනය කලේ අසාන්ජ්ට එරෙහි 'ස්ත්‍රී දූෂන පිලිබඳ බරපතල චෝදනා පරීක්ෂා කල යුතු' බවයි.

රුසියාවට පලා යාමෙන් පමනක් ම අසාන්ජ්ගේ ඉරනමෙන් බේරුනු එඩ්වඩ් ස්නෝඩන් සහ ඔබාමා පාලනාධිකාරය විසින් වසර හතක් සිරගත කරන ලද චෙල්සි මෑනින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ පලිගැනීමේ ව්‍යාපාරයට සමගාමීව ජූලියන් අසාන්ජ්ට එරෙහි දඩයම සිදු විය.

2016 දී, විකිලීක්ස් විසින් පොඩෙස්ටා ඊමේල් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 2016 ප්‍රාරම්භක [මැතිවරනයේදී] බර්නි සැන්ඩර්ස්ට හානි වන පරිදි සහ හිලරි ක්ලින්ටන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රයෝග කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය විසින් ක්‍රමානුකූලව ගත් උත්සාහයන් ලේඛනගත කලේය. හෙලිදරව් කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ අපකීර්තියට පත් වූ සභාපති ඩෙබී වාසර්මන් ෂුල්ට්ස් ඉල්ලා අස්විය.

එහෙත් 2016 ජනාධිපතිවරනයට බලපෑම් කිරීම සඳහා රුසියානු ආන්ඩුව සමග විකිලීක්ස් “එකතු වූ” බවට බොරු චෝදනා කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රති-ප්‍රහාරයක් දියත් කලේය. 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිලරි ක්ලින්ටන් පරාජය වීමෙන් පසුව, ඩිමොක්‍රටික් සංස්ථාපිතය සහ එක්සත් ජනපද මාධ්‍ය, හැකි සෑම අවස්ථාවක් ම යොදා ගනිමින්, අසාන්ජ්ට වඩාත් දරුනු ලෙස සතුරු විය.

එක්සත් ජනපද මාධ්‍යවල සහ ව්‍යාජ වම්මුන්ගේ, අසාන්ජ්ට එරෙහිව මහජන මතයට විෂ කැවීමේ වසර ගනනාවක ක්‍රමානුකූල ව්‍යාපාරය, ට්‍රම්ප් පරිපාලනයට 2018 දී ඔත්තු බැලීම සම්බන්ධයෙන් විධිමත් ලෙස අසාන්ජ්ට චෝදනා කිරීමට කොන්දේසි නිර්මානය කලේය. 2019 අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍ය පොලිසිය ඉක්වදෝර තානාපති කාර්යාලයට කඩා වැදී අසාන්ජ් පිටතට, බෙල්මාර්ෂ් බන්ධනාගාරයට ඇදගෙන ගියේය. ඔහු එහි වසර පහක් සිරගත කරන ලදී.

නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය අසාන්ජ් අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට පිටුවහල් කිරීම උද්‍යෝගයෙන් අනුමත කලේය. ජෙෆ් බෙසොස්ගේ වොෂින්ටන් පෝස්ට් වඩාත් පැහැදිලිව ප්‍රකාශ කලේ, අසාන්ජ් “පුද්ගලික වගවීම සඳහා දැනටමත් බොහෝ ප්‍රමාද” බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔහුව අත්අඩංගුවට ගැනීම පැසසුමට ලක් කරමින් මෙසේ ප්‍රකාශ කලේය: “අසාන්ජ් මහතාට අවිවාදිත අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් පරිපාලනය හොඳින් ආරම්භ කර තිබේ.” ට්‍රම්ප් ජනාධිපතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේ ආධාරකරුවෙකු වූ පෝල් මැනෆෝර්ට් අසාන්ජ් මුන ගැසුනු බවට අසත්‍ය හා අභූත ලෙස පවසමින් ගාඩියන් පුවත්පත පලිගැනීමේ අවලාද නැගීමේ ව්‍යාපාරය මෙහෙයවීය.

සෑම ප්‍රධාන ධනේශ්වර පුවත්පතක්ම ආන්ඩුවේ අන මත බොරු මුද්‍රනය කරමින් අසාන්ජ් අපකීර්තියට පත් කිරීම පිනිස කානුවට බැස්සේය. අන් කිසිදු හෙලාදැකීමක් මෙතරම් විකාර සහගත නොවීය.

අසාන්ජ්ගේ ආධාරකරුවෙකු සහ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින ජෙරමි කෝබින්, 2015 සිට 2020 දක්වා ලේබර් පක්ෂයේ නායකයා ලෙස සිටි කාලය තුල අසාන්ජ් බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත කිරීම ගැන මුලුමනින්ම පාහේ නිහඬ විය.

දඩයමට සම්බන්ධ වූ හෝ මුනිවත රැකි ව්‍යාජ වාම සංවිධානවලට ප්‍රතිවිරුද්ධව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය—ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක)—ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තියේ සහයෝගය බලමුලු ගැන්වීමේ ව්‍යාපාරයක් දියත් කලේ ය. අතිවිශාල තාඩන පීඩන අත්විඳ ඇති ව්‍යාපාරයක් ලෙස, අපි වහාම අසාන්ජ් සමඟ සහයෝගයෙන් සිටිගත්තෙමු. ඔහුගේ ආරක්ෂාවට අපගේ දායකත්වය සම්බන්ධයෙන් අපි ඉමහත් ලෙස ආඩම්බර වෙමු.

ලිපි සිය ගනනක් තුල ලෝසවෙඅ අසාන්ජ්ට එරෙහි දක්ෂිනාංශික දඩයම හෙලිදරව් කලේය. අසාන්ජ්ගේ පීඩාව පිලිබඳ අපගේ ලිපි සිය දහස් වාරයක් කියවා තිබුනි. ලෝසවෙඅ සහ හජාජාක ලොව පුරා රැලි සංවිධානය කල අතර, සහභාගිවන්නන් සිය ගනනක් සහ පිල්ගර් වැනි ප්‍රමුඛ මාධ්‍යවේදීන් කථිකයන් ලෙස සම්බන්ධ කර ගතිමු. 2018 දී, අපි “අන්තර්ජාල වාරනයට විරුද්ධ සටන සංවිධානය කිරීම” යන මැයෙන් වෙබ්නාර් රැස්වීමක් පැවැත්වුවෙමු; අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ අන්තර්ජාල ප්‍රවේශය කපා හැරීමට ටිකකට පෙර එයට සුබපැතුම් එවීය. (මෙම ලිපි වලින් තෝරා ගත් ඒවා සඳහා මෙතැනින් පිවිසිය හැක.)

අසාන්ජ් නිදහස් වුවද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ගෝලීය ධනේශ්වර ප්‍රහාරය වේගවත් වෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ සෑම උපක්‍රමශීලී පසුබැසීමක් සමගම වඩාත් ම්ලේච්ඡ ප්‍රතිප්‍රහාරයක් පවතී. අසාන්ජ් නිදහස් කිරීමට බයිඩන් පරිපාලනය ගත් තීරනය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මගින් පෙලඹවූවක් බවට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඇති අනතුර පහව ගොස් ඇති බවට මිත්‍යාවක් නොතිබිය යුතුය. සත්‍යය නම්, මෙම කොන්දේසි පවතින තාක්, අසාන්ජ් අනතුරෙන් මිදී නැත.

ඇත්ත වශයෙන්ම, මහජන යහපත සඳහා සත්‍ය තොරතුරු බෙදා හැරීමෙන් ඔත්තු බැලීමේ පනත උල්ලංඝනය කර ඇතැයි පිලිගැනීමට මාධ්‍යවේදියෙකුට බලවත් සේ වධහිංසා පැමිනවීමෙන්, බයිඩන් පරිපාලනය මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරය සම්බන්ධයෙන් භයානක නව පූර්වාදර්ශයක් ලබා දී තිබේ.

අසාන්ජ්ට හිංසා පීඩා කිරීම පිටුපස යටින් ඇති මූලික කොන්දේසි—ගෝලීය යුද්ධය සහ සමාජ අසමානතාවයේ ආන්තික මට්ටම්—පවතිනවා පමනක් නොව, තීව්‍ර වෙමින් තිබේ. පලස්තීනුවන් 47,000 කට වඩා මරා දැමූ ගාසා තීරයේ ජන සංහාරයකට එක්සත් ජනපදය සහ නැටෝ බලවතුන් සහාය දක්වා ඇත. නැටෝ හමුදා සෘජුව යෙදවීම ඇතුලුව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා සැලසුම් මනාව සිදුවෙමින් පවතී.

යුක්‍රේනයේ දී, සමාජවාදය වෙනුවෙන් ධෛර්ය සම්පන්න සටන්කරුවා සහ යුද්ධයේ විරුද්ධවාදියා වන බොග්ඩාන් සයිරොටියුක්, සෙලෙන්ස්කි පාලනයට විරුද්ධ වීම නිසා සිරගත කොට ඇත. සාමකාමී විරෝධතාකරුවන් දහස් ගනනක් ප්‍රචන්ඩ ලෙස අත් අඩංගුවට ගනිමින් ගාසාවේ ජන සංහාරයට එරෙහි විරෝධය අපරාධකරනය කිරීමේ ව්‍යාපාරයක් බයිඩන් පරිපාලනය දියත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය කම්කරු පන්තිය තුල මුල් බැස ගත යුතු බවත් සමාජවාදය සඳහා සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සමග සම්බන්ධ විය යුතු බවත් ලෝසවෙඅ, අසාන්ජ් නිදහස් කර ගැනීමේ සිය ව්‍යාපාරය තුලදී පැහැදිලි කලේය. උත්සන්න වන ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධයක් මධ්‍යයේ මෙම කේන්ද්‍රීය පාඩම වඩ වඩාත් වැදගත් වේ: ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි ය.

Loading