ශ්‍රී ලංකාවේ ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරනයට තර්ජනය කරයි

[මෙය Sri Lankan president threatens the Supreme Court යන මැයෙන් 2024 ජූලි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් රටේ ඉහලම අධිකරනය වන ශ්‍රේෂ්ඨාධිකරනය “අධිකරනමය මිනිස් මාංශභක්ෂනයේ යෙදෙන (judicial cannibalism)” බවට චෝදනා කලේය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

ජූනි 18 දා වික්‍රමසිංහ මෙම රුදුරු ප්‍රකාශය කලේ, ආන්ඩුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිලිබඳ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කිරීමෙන් පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු බහුතරයක මෙන්ම ජනමත විචාරනයක අනුමැතියකින් තොරව පනත් කෙටුම්පත බලාත්මක කල නොහැක.

ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ, එම තීරනය පාර්ලිමේන්තුව “අනුගමනය නොකල යුතු විකෘති තීන්දුවක්” බවයි. එය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “පාර්ලිමේන්තුවේ බලතල උල්ලංඝනය කරන” තීන්දුවක් යැයි පවසමින් ඔහු “පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්” කැඳවිය යුතු යැයි කියා සිටියේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට පුද්ගලයින් කැඳවා ප්‍රශ්න කිරීමටත්, එහි සොයාගැනීම් මත ක්‍රියා කිරීම සඳහා නැවත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් බලය ඇත. තේරීම් කාරක සභාවක් ඉදිරියට විනිසුරුවන් කුදලාගෙන ඒමට තමන් යෝජනා නොකරන මුත්, නීති සම්පාදනය සමඟ කල යුත්තේ කුමක්ද යන්න සලකා බැලීමට එයට පුලුල් බලතල ඇති බව වික්‍රමසිංහ පැවසීය.

මෙම පනත් කෙටුම්පත කාන්තා, ලමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා විසින් මැයි 9 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එහි ව්‍යවස්ථානකූලභාවය තීරනය කිරීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරනය වෙත යවන ලදී.

පනත් කෙටුම්පතේ ප්‍රකාශිත පරමාර්ථය වන්නේ, “සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ තාක්‍ෂනික ප්‍රතිපත්ති සැකසීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතා මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීමත්, සෑම පුද්ගලයෙකුම ලිංගිකත්වය හෝ ස්ත්‍රීපුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීමකින් තොරව, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳීම සහතික කිරීමත් ය.”

තවද, එය “ස්ත්‍රීපුරුෂ සමාජ අසමානතාවයේ සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීමේ පද්ධතිමය සහ ව්‍යුහාත්මක හේතූන් ඉවත් කිරීම” සහ “අවාසිසහගතබව, කොන්කිරීම, සුපිරිලිංගිකත්වවාදය, අපකීර්තිමත්බව සමනය කිරීමට පියවර ගැනීම” අරමුනු කර ගෙන ඇත.

මෙම නීති සම්පාදනය, රටේ “සංස්කෘතියට සහ සදාචාරයට” සහ “පවුල් වටිනාකම්වලට” පටහැනි බව කියා සිටි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ දැඩි විරෝධයක් අවුලුවාලූ අතර එය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස බල කෙරිනි. එය සමලිංගික විවාහවලට ඉඩ සලසන අතර ස්ත්‍රී-සමලිංගිකයන්ට සහ පුරුෂ-සමලිංගිකයින්ට පිරිවෙන්වල (ප්‍රධාන වශයෙන් බෞද්ධ භික්ෂූන් සඳහා වන අධ්‍යාපන ආයතන) රැකියා සඳහා අයදුම් කිරීමට පවා අවසර දෙනු ඇතැයි පැවසිනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති නිමල් වාකිෂ්ට මාධ්‍ය වෙත පැවසුවේ, පනත් කෙටුම්පත බලාත්මක වුවහොත් දේශීය සංස්කෘතිය, ආචාර ධර්ම සහ සාරධර්මවලට පටහැනිව එය එල්ජීබීටීකිවු [LGBTQ යනු ස්ත්‍රී-සමලිංගික, පුරුෂ-සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, සහ අසාමාන්‍ය හෝ ගැටලුසහගත ලිංගිකත්ව යන්නට කෙටි යෙදුමකි] අයිතිවාසිකම් සහ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන බවයි.

“ලෝකය පුරා ගබ්සාවට සහ ගනිකා වෘත්තියට එරෙහිව සටන් කිරීමට කැප වූ” කතෝලික සංවිධානයක් වන කල්චුරා විටේ (Cultura Vitae) මෙම නීතියට විරුද්ධ වෙමින් ප්‍රකාශ කර සිටියේ, එය විවාහයේ සහ පවුල් වටිනාකම් වල පාරිශුද්ධත්වය නැති කරන බවයි.

සමස්තයක් ලෙස පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්තිවලට, විශේෂයෙන් බුද්ධාගම ආරක්ෂා කිරීම සම්බන්ධ වගන්ති වලට “පටහැනි” බව ප්‍රකාශ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරනය මෙම වර්ගවාදී ස්ථරයන්ට අනුගත විය.

“සමලිංගික සබඳතා සාපරාධීකරනය ඉවත් කිරීම සහ සමලිංගික විවාහ පිලිගැනීම ශ්‍රී ලාංකේය සමාජයේ වර්තමාන සදාචාරාත්මක ව්‍යුහයට සැලකිය යුතු සංස්කෘතික හා සදාචාරාත්මක ගම්‍යයන් ඇති කරයි. එය දැනට අපේ ජාතියේ පිලිගත් සදාචාර හා සංස්කෘතික ප්‍රමිතීන්ට පටහැනි වනු ඇත. ඒවා බුද්ධාගමට සහ වෙනත් ආගමික වත්පිලිවෙත්වලට නොගැලපේ' යයි එය ප්‍රකාශ කලේය.

රාජ්‍යයේ සහ දේශපාලන සංස්ථාපිතයේ සෑම අංශයකම ආධිපත්‍යය දරන ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ප්‍රතිගාමී ස්වභාවය මෙම තීන්දුව මගින් අවධාරනය කරයි. 1972 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙසත්, බුද්ධාගම “ප්‍රමුඛතම ආගම” ලෙසත් පිලිගෙන ඇති අතර එමඟින් සුලුතර ප්‍රජාවන්, විශේෂයෙන් දෙමල ජනතාව, දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කරයි.

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නාමික නිදහස ලැබීමෙන් පසු, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු, කම්කරු පන්තිය බෙදීම සඳහා සහ ධනේශ්වර පාලනයට අඩ තැබීම සඳහා, බහුතර සිංහල-බෞද්ධ ජනගහනයේ පිහිට පැතීමට දෙමල සහ අනෙකුත් වාර්ගික සහ ආගමික ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීම ගසා කෑවේය.

1983 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ඇරඹුනු ලේ වැකි වාර්ගික යුද්ධය තුල නිහීන වාර්ගික වෙනස්කම් කිරීම් සහ සංහාරයන් පැන නැගිනි; 2009 වන තෙක් ම පැවති එහි ප්‍රතිඵලයක් ලෙස දෙමල සිවිල් වැසියන් ලක්ෂ ගනනක් ඝාතනය විය.

වික්‍රමසිංහටමත්, සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදයට සහ දෙමල විරෝධී වෙනස්කම් කිරීම්වලට මෙන්ම මර්දනයටත් යුද්ධයටත් සම්පූර්න පිටුබලය දීමේ දීර්ඝ ඉතිහාසයක් ඇත. ස්ත්‍රීපුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිලිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාවේදී ඔහු සිංහල හා කතෝලික කන්ඩායම් විසින් ගෙන යන ප්‍රතිගාමී ව්‍යාපාරයට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කලේ නැත.

පනතට ඔහුගේ සහාය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා හිතපක්ෂපාතිත්වයකින් ගලා ආවා නොව, එය ස්ත්‍රීවාදී අයිතීන් සහ සමලිංගික විවාහ සඳහා උද්ඝෝෂනය කරන මධ්‍යම පන්තියේ කොටස්වල සහයෝගය බලමුලු ගැන්වීම සඳහා ගනනය කරන ලද මැතිවරන උපායකි. ඉදිරි ජනාධිපතිවරනයට සූදානම් වන ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීම කිසිවෙකු විශ්වාස නොකල යුතුය.

වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රතිගාමී වර්ගවාදී බලවේගවල දුෂ්ට ව්‍යාපාරයට විරුද්ධ වන අතර කාන්තාවන්ට ගබ්සා කිරීමට ඇති අයිතියත්, එල්ජීබීටීකිවු ප්‍රජාවට එරෙහි වෙනස්කම් කිරීම් අවසන් කර දැමීමත් ආරක්ෂා කරයි.

වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව ගසාකමින් සිටින්නේ අධිකරනයේ ස්වාධීනත්වය ඛාදනය කිරීමට ය. “ජනතාවගේ පරමාධිපත්‍යය රැකිය යුතු බවත්, මෙම පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සතුව පවතින බවත්” ප්‍රකාශ කල ඔහු “අධිකරනය බලය ලබා ගන්නේ පාර්ලිමේන්තුව හරහා” යැයි පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමයට දැනටමත් විශාල බලතල පවතින බැවින්, අධිකරනය යටපත් කිරීම අත්තනෝමතික පාලනයක් කරා ගෙන යන තවත් පියවරක් වනු ඇත.

මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් අප්‍රේල් මසදී, ඔක්තෝබර් 4 වැනිදා දක්වා නිකුත් කල අතුරු නියෝගයකින් ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරුන් පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට සහ විධායකයට ඇති බලතල අත්හිටුවීම සම්බන්ධයෙන් අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරනය හෙලා දුටුවේය. “අපි මේකට ඉඩ දෙනවද?” අමාත්‍යවරයා විමසීය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත අධිකරනයට කඩා පැන්නේ “මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය ලෙස අපට ක්‍රියාමාර්ග ගත හැකියි” යනුවෙන් පවසමිනි. හිටපු අගවිනිසුරුවරුන් වන නෙවිල් සමරකෝන්ට සහ ශිරානි බන්ඩාරනායකට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝගය පිලිබඳව ඔහු පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ ය.

1980 දශකයේ මුල් භාගයේදී, රාජ්‍ය විරෝධී සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ලෙස පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු දීමෙන් පසු, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරනය බිය ගැන්වීමට උත්සාහ කලේය. අගවිනිසුරු සමරකෝන්ට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝගය අසාර්ථක විය.

කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් ව්‍යවස්ථා විරෝධී බවට අග විනිසුරු ශිරානි බන්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කරනු ලැබීමෙන් පසුව, 2013 දී, ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුව සමත් වීය.

ශ්‍රේෂ්ඨාධිකරනයට එරෙහි වත්මන් පියවර ගනු ලබනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින දැඩි කප්පාදු පියවර වික්‍රමසිංහ ආන්ඩුව නිර්දය ලෙස ක්‍රියාවට නංවන අතරතුරය. එහි නවතම තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝග තර්ජනය, නවතම ආධිපත්‍යධාරී පියවරක් පමනි.

තවත් කැපී පෙනෙන උදාහරනයක් නම්, ශ්‍රේෂ්ඨාධිකරනයේ නිර්දේශ ඇතුලත් නොකර, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව හරහා බලහත්කාරයෙන් නීති සම්මත කරමින්, අන්තර්ජාල ආරක්ෂන පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරන තීරනය ආන්ඩුව නොසලකා හැර ඇති ආකාරයයි.

මෙම පනත, ධනේශ්වර ක්‍රමයට එරෙහිව හඬ නැගීමට සමාජ මාධ්‍ය භාවිතා කරන ඕනෑම අයෙකු අපරාධකරුවෙකු කරන, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි දුරදිග යන ප්‍රහාරයකි. ආන්ඩුව ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව නොසලකා හරිමින් සිටින බව පෙන්වා දුන් විට අධිකරන අමාත්‍යවරයා පනත් කෙටුම්පතට සංශෝධන ඇතුලත් කරන බව ප්‍රකාශ කල නමුත් එය කිසි විටෙකත් සිදු නොවීය.

අධිකරනයට වික්‍රමසිංහගේ ප්‍රහාරය එල්ල වන්නේ ඉමහත් තීව්‍ර දේශපාලන තත්වයක් මධ්‍යයේ ය. ජාමූඅ කප්පාදු නියෝග වලට එරෙහිව ප්‍රධාන අංශවල සිය දහස් ගනන් කම්කරුවන් සම්බන්ධ කරගත් විරෝධතා හා වැඩ වර්ජන පැන නැගී ඇත. ජාමූඅ න්‍යාය පත්‍රය ප්‍රජාතන්ත්‍රවාදීව හෝ සාමකාමීව පැනවිය නොහැකි බවත්, ඒකාධිපති පාලන රූපයන් අවශ්‍ය බවත් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව හා ඊට සම්බන්ධ දේශපාලන සංස්ථාපිතයේ සෑම කන්ඩායමක්මත් හොඳින් දනිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද 2022 අප්‍රේල්-මැයි මහා මහජන නැගිටීම, ධනේශ්වර පන්තියේ සහ එහි දේශපාලන පක්ෂවල සෑම කොටසක්ම බියපත් කර තිබේ.

විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරනයට ගරු කල යුතු අතර “කිසිම ආකාරයක බාහිර පීඩනයකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට” ඊට ඉඩ දිය යුතු බවට ප්‍රකාශ කරමින්, ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවෙන් පසුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, වික්‍රමසිංහගේ ප්‍රකාශය හෙලා දුටුවේය.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරනය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුවක් නොවේ. එහි තීරන නිසා ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුවද ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩුවලට, වැඩ වර්ජන කරන කම්කරුවන්ගේ, විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ අනෙකුත් අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට නිහීන හේතූන් මත අමු අමුවේ ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇත. විරෝධතා තහනම් කිරීමට සහ විරෝධතාකරුවන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට හැකි වන ලෙස නියෝග නිකුත් කරන්නැයි පොලිසියෙන් කල ඉල්ලීම් වලට ඉඩ දෙන නියෝග එමඟින් ලබාදී ඇත.

එසේම, විරුද්ධ පක්ෂ—සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන—ශ්‍රේෂ්ඨාධිකරනයට සහයෝගය ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට නොවේ. ඒ වෙනුවට ඔවුන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත් කෙටුම්පතට එරෙහි ස්වෝත්තමවාදී ව්‍යාපාරයට මුලුමනින්ම පිටුබලය දෙති.

මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තියේ සහ දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් පෙනී නොසිටියි. තම පන්ති අවශ්‍යතා සඳහා කරන දේශපාලන අරගලයේ අනිවාර්ය අංගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලයක් දියත් කිරීමට හැකි වන්නේ කම්කරු පන්තියට පමනි. එය කල හැක්කේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත පාලක පන්තියේ සෑම කොටසකින්මත්, එහි ව්‍යාජ-වාම හෙංචයියන්ගෙන් සහ වෘත්තීය සමිති ගෝලබාලයන්ගෙනුත් ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.

Loading