මයි රෙඩ් කොම්රේඩ් : ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිලිබඳ ව්‍යාජ චිත්‍රයක්

ප්‍රකට, සිනමා සහ ටෙලි නිර්මානකරුවෙකු වූ සුදත් මහදිවුල්වැව විසින් තිර රචනය කොට අධ්‍යක්ෂනය කරන ලද නවතම චිත්‍රපටය 'මයි රෙඩ් කොම්රේඩ් (My Red Comrade)' නොහොත් 'රතු අතු අග' මේ දිනවල ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ.

"මයි රෙඩ් කොම්රේඩ් (My Red Comrade)" චිත්‍රපටයේ දර්ශනයක්

මහදිවුල්වැවගේ පෙර නිර්මාන බොහොමයක දී මෙන්ම, මයි රෙඩ් කොම්රේඩ් සඳහා ද වස්තු විෂය වී ඇත්තේ දේශපාලනික ප්‍රපංචයකි. ඔහු තම නව නිර්මානය තුලින් ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සාක්ෂාත් කිරීමට වාමාංශික ව්‍යාපාරය අසමත්වූයේ මන්ද? යන්න විමසා බැලීමට යත්න දරයි.

චිත්‍රපටයේ කතා සාරය මෙසේය:

විදුලි කොටමින් වැසිවසින රාත්‍රියක, රක්ත වර්න ඇඳුමින් සැරසුනු තරුනියක් (තරින්දි ප්‍රනාන්දු), ඇය පසුපස හඹා එන පොලිස් භට කන්ඩායමකින් ගැලවී ගනුවස් දුම්‍රිය මගක් ඔස්සේ දිව එන දර්ශනයකින් චිත්‍රපටය ආරම්භ වේ. අසල වූ පැල්පත් සමූහයේ අගුලු දා නොතිබුනු පැල්පතකට අනවසරයෙන්ම ඇතුලුවන ඇය එහි සැඟවෙයි.

ලෑලි බිත්ති වලින් වට කෙරුනු පැල්පතේ, පොත් පිරුනු රාක්ක කීපයකි. අසල මේසයක  පරිගනකය ආශ්‍රයෙන් යම් කාර්යයක නිරතව සිටින, රිදී පැහැති දිගු රැවුලක් සහ දිගු කොන්ඩයක් සහිත මැදිවියේ මිනිසෙකි. තරුනියගේ හදිසි කඩා වැදීමෙන් විපිලිසර වන ඔහු (ආසිරි ඇල්ලගේ) වහා නික්ම යන ලෙස ඇයට විධානය කරන නමුත්, පසුව දෙදෙනා අතර ඇතිවන සංවාදයකින් පසු රාත්‍රිය එහි ගත කිරීමට ඇයට අවසර ලැබෙයි. තෙත බරිත ඇඳුමි උනා දමන ඇය, ඔහුගේ ඇඳුමකින් සැරසේ. මොර සූරන වැස්ස නොකඩවා ඇද හැලෙද්දී දෙදෙනා අතර සංවාදය ඉදිරියට ගලා යයි.

ඇය, 1988-89 කාල පරිච්ඡේදයේ දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දියත් කරන ලද සන්නද්ධ කැරැල්ල මැඩපැවැත්වීමේ නාමයෙන් ගම්බද තරුනයන් ලක්ෂයක් ඝාතනය කරමින් මුදා හැරුනු රාජ්‍ය මර්දනය තුල මරා දැමුනු ජවිපෙ සාමාජිකයෙකුගේ දියනිය බව සංවාදයේදී අනාවරනය කෙරේ. අනෙකා, එම කැරැල්ලට ක්‍රියාකාරීව සහභාගි වී දිවි බේරාගත් අයෙකි.

ඔහුගේ පොත් රාක්කයකින්, මැක්සිම් ගෝර්කිගේ කෙටිකතා සංග්‍රහයක් තෝරා ගන්නා ඇය, එම කෘතියේ පිටපතක් තම පියාගේ පුස්තකාලයේ තිබූ බව පවසයි. එහි එන 'මකාර් චුද්‍ර' නම් වූ කෙටිකතාවේ ඡේදයක් ඇය විසින් කටපාඩමෙන් කියවත්ම, ඉන් ඉමහත් ලෙස සංවේදීවන ඔහු ඇය වැලැඳ ගනී.

සංවාදය ඉදිරියට යත්ම, ඔහු සමාජවාදය වෙනුවෙන් කැපවූවෙකු ලෙස දකින තරුනිය, 'My Red Comrade' (මගේ රතු සහෝදරයා) නමින් ඔහු අමතනන්ට පටන් ගනී. තමා ද වෙනත් මාවතක් ඔස්සේ ඔහුගේ අරමුනටම ගමන් කරමින් සිටින බව ඇය ඔහුට පවසන අතර මෙම පොදු හැඟීම ඔවුන් දෙදෙනා එකිනෙකාට ආසක්ත කරයි.

අනතුරුව ඔවුන් අතර සිදුවන දීර්ඝ සංවාදය තුල, ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සාක්ෂාත් නොවීමට හේතු ලෙස තමා දකින, වාමාංශික ව්‍යාපාරයේ දුබලතාවන් පෙන්වාදෙන තරුනිය ඒවා ජය ගැනීමට යෝජනා ඉදිරිපත් කරයි. අවසානයේදී, ඇගේ 'නව අදහස්' වලින් ජීවය ලබන 'රතු සහෝදරයා', ඇය සමග නව මාවතක් ඔස්සේ සමාජවාදය වෙත පියනැගීමට ගිවිස ගනී.

දේශපාලන ප්‍රපංචයන් සාවද්‍ය ලෙස චිත්‍රනය කිරීම

මහදිවුල්වැව තම කෘතිය තුලින් පවරාගත් බැරෑරුම් කාර්යයට, එනම් ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සාක්ෂාත් නොවුනේ මන්ද? යන්න කලාත්මකව විමසීමට, පිවිස ඇත්තේ අතිශය නොබැරෑරුම් ආකාරයට ය. දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීම නිසා ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.

පලමු කොටම, රෙඩ් කොම්රේඩ් චිත්‍රපටයට අනුව, 1971 සහ 88-89 ජවිපෙ සන්නද්ධ නැගිටීම් වනාහි 'සමාජවාදය' අරමුනු කරගත් අසාර්ථක වූ 'විප්ලවයන්' ය. එම නැගිටීමට සහභාගිවූවන් 'විප්ලවවාදීන්' ය.

මෙය මුලුමනින්ම ව්‍යාජ වූ චිත්‍රනයකි; සමාජවාදී විප්ලවයක් යනු, කම්කරු පංතියේ නායකත්වයෙන් යුත් දැවැන්ත මහජන සහභාගිත්වයක් තුලින්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති රාජ්‍යය පෙරලා දමා, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පොදු අයිතිය තහවුරු කරමින්, මානව අවශ්‍යතා සපුරාලන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන, කම්කරු රාජ්‍යයක් ගොඩනැගීම සඳහා තබන ඓතිහාසික පියවරකි. 1917 රුසියානු සමාජවාදී විප්ලවය ඒ පිලිබඳ සම්භාව්‍ය උදාහරනයයි. එවන් විප්ලවීය ප්‍රයත්නයන් අසාර්ථක වූ අවස්ථාවන් ද ලෝක ඉතිහාසයේ පවතී. 1905 රුසියානු විප්ලවය එවැන්නකි.

මේ අර්ථයෙන් ගත්කල ජවිපෙ සන්නද්ධ නැගිටීම් අසාර්ථක වූ 'සමාජවාදී විප්ලවයන්' ලෙස ප්‍රක්ෂේපනය කිරීම මුලුමනින්ම සාවද්‍ය ය. මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ජනතාවාදයේ විසකුරු මිශ්‍රනයක් මත පාදකව 1960 ගනන්වල අගභාගයේ දි ආරම්භ වූ ජවිපෙ 1971 දී දියත් කලේ, ගම්බද තරුනයන්ගෙන් කොටසක් මෙහෙයවාගත් සුලු ධනේශ්වර සන්නද්ධ කැරැල්ලකි.

ජවිපෙ ආරම්භයේ සිටම කම්කරු පංතියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1988-89 කාල පරිච්ඡේදයේදී ඔවුන් ගෙනගිය ඊනියා ඉන්දියානු-විරෝධී ව්‍යාපාරයේදී, ඔවුන් විසින් නියම කරන ලද 'වැඩ වර්ජන' වලට සහ උද්ඝෝෂන වලට, කම්කරුවන් බලහත්කාරයෙන් තල්ලු කරනු ලැබුවේ තුවක්කුව මානමිනි. එයට එරෙහි වූ කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන් සහ කම්කරු පංතික පක්ෂවල සාමාජිකයන් අමුඅමුවේ මරා දැමුනි. සැබැව්න්ම, 1988-89 ජවිපෙ සන්නද්ධ නැගිටීම වනාහි, ෆැසිස්ට් කැරැල්ලකි.

මෙම සුලු ධනේශ්වර සහ ෆැසිස්ට් කැරලිකරුවන් 'විප්ලවවාදීන්' ලෙස චිත්‍රනය කිරීම ඒ තරමටම සාවද්‍ය ය.

ලංකාවට ගැලපෙන අයුරින් මාක්ස්වාදය යොදා ගැනීම

රුසියානු සමාජවාදී විප්ලවයට නායකත්වය දුන් බොල්ෂේවික් පක්ෂය අනුගමනය කල මූලධර්මාත්මක පිලිවෙත වන බොල්ෂේවික්වාදය ලංකාවට නොගැලපෙන බවටත්, ලංකාවේ සමාජවාදී විප්ලවය සඳහා එයට ගැලපෙන වෙනත් පිලිවෙතක් අනුගමනය කලයුතු බවටත් දිගු කාලයක සිට තොරොම්බල් කෙරෙන මාක්ස්වාද-විරෝධී ප්‍රලාපය ද මහදිවුල්වැව තම නිර්මානයෙන් ප්‍රවර්ධනය කරයි.

චිත්‍රපටයේ එන සංවාදයේදී තරුනිය මෙසේ පවසයි: 'පොප්ලර් ගස් ලංකාවෙ පැල කරන්න බෑ'. අධ්‍යක්ෂවරයා බොල්ෂේවික්වාදයට රූපකයක් ලෙස රුසියාවේ බහුල ශාඛයක් වන 'පොප්ලර් ගස' යොදා ගනී.

බොල්ෂේවික්වාදයේ මූලික හරය, කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය සහ ජාත්‍යන්තරවාදය මත පාදක වූ ප්‍රජාතන්ත්‍රවාදී-මධ්‍යගතභාවයෙන් යුත් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි. රටට ගැලපෙන ආකාරයේ ක්‍රමවේදයන් සොයා ගැනීම යනු විප්ලවවාදී පක්ෂයක් පාදක ව්‍ය යුතු මෙම ප්‍රමූලධර්ම අත්හැර දැමීමයි.

මීට දශක තුනකටත් පෙරාතුව, 1994 දී, මහදිවුල්වැව විසින්ම නිර්මානය කරන ලද 'දන්ඩේ ලූ ගිනි' නම් වූ ටෙලි නාට්‍යය මගින් ප්‍රකට කෙරෙන්නේ අද ඔහු ප්‍රකාශ කරන අදහසට හාත්පසින්ම වෙනස් වූවකි. එනම්, බෝල්ෂේවික්වාදය මත පාදකව 1942 දී පිහිටුවන ලද ඉන්දීය බෝල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) දියකර හැරීම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පරිහානියට මූලික හේතුව බවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ටි සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවතට, පියසීලි විජේගුනසිංහ විසින්, 'දන්ඩේ ලූ ගිනි' සම්බන්ධයෙන් ලියන ලද විචාරයක මෙසේ සඳහන් වේ:

'ලෙස්ලි ගුනවර්ධන සහ කොල්වින් ආර් ද සිල්වා (බීඑල්පීඅයි නායකයන්), එක්දාස් නවසිය හතලිස් ගනන්වල, ජාතිකවාදී එන්.එම්.පෙරේරා ප්‍රමුඛ කන්ඩායමට විරුද්ධව කරන න්‍යායික අරගලය රැගත් රූපරාමු වෙසෙසින් ආස්වාදජනක වන අතර, විප්ලවීය උත්තේජනයක් ජනනය කරවීමේත් සමත් වෙයි.' [පිටුව: 224, සාහිත්‍ය විචාර (තෝරාගත් ලිපි), පියසීලි විජේගුනසිංහ]

'මෙම කලාත්මක ප්‍රබලතාව ගලා එන්නේ, කලා කෘතිය යථාර්ථයට දක්වන ඓන්ද්‍රීය සම්බන්ධතාවයෙන්' බව විජේගුනසිංහ එහි දී පෙන්වා දෙයි.

නමුත් මීට විපරීතව, මහදිවුල්වැව තම නව නිර්මානයේදී යථාර්ථයෙන් වඩවඩාත් බැහැර වෙමින් තම මනසේ රජයන ව්‍යාජ සංකල්පයන් එයට ආරෝපනය කරයි.

වාමාංශික ව්‍යාපාරයේ අසමර්ථභාවය

වාමාංශික ව්‍යාපාරයේ අසමර්ථභාවයට හේතුව, මහජනතාවගේ 'පපු කුහරයට' ආමන්ත්‍රනය කිරීමට නොහැකිවීම බව තරුනිය පවසයි. මේ වනාහි, කම්කරු පංතියේ දේශපාලන විඥානය වර්ධනය කරනුවස්, න්‍යායික සහ දේශපාලනික අරගලය තීව්‍ර කිරීමට විපරීතව ජනතාවාදී දේශපාලනය ප්‍රවර්ධනය කලයුතු බවට කෙරෙන කැඳවුමකි.

කෙසේ නමුත්, ලංකා සම සමාජ පක්ෂය,එයට නායකත්වය දුන් ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගි සංශෝධනවාදී ප්‍රවනතාවක් වන පැබ්ලෝවාදයට අනුගතව, ජාතිකවාදී සහ ජනතාවාදී දේශපාලනයට වඩවඩාත් නැඹුරුවීම හේතුවෙන්, අවසානයේදී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය පාවාදුන් බවට ඉතිහාසය සාක්ෂි දෙයි. මහදිවුල්වැව තම 'දන්ඩේ ලූ ගිනි' තුලමත් පෙන්වා දීමට උත්සාහ කලේ මේ යථාර්ථය යි.

දැන් බිම්ගතව (underground) සිටින රතු සහෝදරයා හෙවත්, ජවිපෙ කැරලිකරුවා, සමස්ත වමෙහි සංකේතය ලෙස ව්‍යාජව ඉදිරිපත් කරන අධ්‍යක්ෂවරයා, එමගින් වාමාංශිකයන් බාහිර ලෝකය ගැන අසංවේදී, කලාව සමග කවර හෝ ඇසුරක් නොමැති අසංස්කෘතික මිනිසුන් ලෙස හුවා දැක්වීමටත්, එයම විප්ලවයේ අසාර්ථකත්වයට හේතු වූ බව කියාපෑමටත් යත්න දරයි.

මෙය යථාර්ථය කනපිට හැරවීමකි. 1950 දී බීඑල්පීඅයි දියකර හැරීමෙන් පසු, බෝල්ෂේවික් සම්ප්‍රදාය යලි පන ගන්වමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස 1968 දී විකොස පිහිට වූ තැන් පටන්, එය සංස්කෘතිකමය ක්ෂේත්‍රයේ කරන ලද සුවිශේෂී වැඩකටයුතු අකාමකා දැමිය හැක්කේ ඉතිහාස විරෝධියෙකුට පමනි.

විකොස හි ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, එහි සාමාජික-සාමාජිකාවන් වූ පියසීලි විජේගුනසිංහ සහ සුචරිත ගම්ලත් (ඔහු පසුව විකොස හැරපියාගොස් භ්‍රෂ්ටයෙකු බවට පත්විය) ආදීන් සංස්කෘතික ක්ෂේත්‍රයේ කරන ලද වැඩකටයුතු ඉන් ප්‍රමුඛය.

ප්‍රකට සිනමාකරුවෙකු වූ ධර්මසේන පතිරාජ, ඔහු විසින් නිර්මානය කල 'කඩුල්ල' සහ මහදිවුල්වැවගේ 'දන්ඩේ ලූ ගිනි' ආදී ටෙලි නාට්‍යයන්හි තිර රචනාවන් කල තිලක් ජයරත්න සහ නාට්‍යවේදී ධම්ම ජාගොඩ ආදී කලාකරුවන්, විකොස ට සමීපව හිඳිමින් උරුම කරගත් සංස්කෘතිය ඔවුනගේ කිර්මානයන්හි සාර්ථකත්වයන්ට ඉමහත් පිටිවහලක් වූ බව නොරහසකි.

සංස්කෘතික මිනිසා

'සංස්කෘතික මිනිසා' යන්න මහදිවුල්වැවගේ චිත්‍රපටයේ එන මුඛ්‍ය සංකල්පයකි. නවකතා, සංගීතය, චිත්‍රපට, නාට්‍යය සහ චිත්‍ර කලා ඇතුලු සංස්කෘතික අංශයන් ඇසුරු කරමින් තම ඥානය පුලුලු කර ගන්නා 'සංස්කෘතික මිනිසුන්' නිර්මානය කිරීම තම 'අරමුන' සාක්ෂාත් කිරීමේ මූලික අවශ්‍යතාවක් බව තරුනිය 'රතු සහෝදරයාට' පවසයි.

'සංස්කෘතික මිනිසුන්' නිර්මානය කරන්නේ කෙසේද? යන්න චිත්‍රපටයේ සාකච්ඡා නොකෙරෙන නමුත්, චිත්‍රපට නිර්මානයට දායකවූවන්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුලත් 'රෙඩ් කොම්රේඩ්' ග්‍රන්ථය තුල මහදිවුල්වැව එය මෙසේ පැහැදිලි කරයි:

'සංස්කෘතික මිනිසෙක් කියන සංකල්පය සිනමාවට විතරක් නෙවෙයි, සමස්ත සමාජයටම අලුත් කවුලුවක් විවෘත කිරීමක් වෙනවා. මා තුල විශාල වෙනසක් ඇතිකල ව්‍යාපෘතියක් තමයි, සංස්කෘතික නුවන (cultural fluency) වැඩ සටහන. ..........එය දින පහක නේවාසික වැඩසටහනක්. ..........ලංකාවෙ සෑම පුද්ගලයෙකුටම එම දිනපහේ පාඨමාලාව සඳහා සාමාජිකයෙකු වන්නට පුලුවන්නම්, මීට වැඩිය මිනිසුන් සමග යහපත් සමාජයක් මුනගැසෙන්නට තිබුනායැයි මම නිරන්තරයෙන් කියනවා.'

දින පහක පාඨමාලාවකින් 'සංස්කෘතික මිනිසෙක්' නිර්මානය කිරීමේ හැකියාව කෙසේ වෙතත්, අවම වශයෙන්, 'ලංකාවෙ සෑම පුද්ගලයෙකුටම එම දිනපහේ පාඨමාලාව සඳහා සාමාජිකයෙකු වන්නට' හෝ නොහැකිවන්නේ ඇයි ද යන්න ගැන හෝ මහදිවුල්වැව උත්සුක නොවේ.

ධනේශ්වර පංති සමාජය තුල, කම්කරු පංතියට සමස්ත සංස්කෘතිය අහිමිකොට ඇති බවත්, එය හිමිකරගත හැකි වන්නේ, ධනපති ක්‍රමය මිහිතලයෙන් අතු ගා දමා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමෙන් පමනක් බවත් මාක්ස්වාදයේ එන මූලික සංකල්පයකි. ඊට විපරීතව ධනවාදය තුලම දින පහක පාඨමාලාවකින් සංස්කෘතික මිනිසුන් නිර්මානය කිරීමේ විකාර සහගත සංකල්පයන්ට පවා මහදිවුල්වැව ගමන්කොට ඇත.

තම තරුන වයසේදී සමාජවාදී සංස්කෘතියෙන් ඇති කෙරුනු බලපෑම මත, 'දන්ඩේ ලූ ගිනි' වැනි කෘති තුලින් ඓතිහාසික සත්‍යය සොයා යාමට පෙලඹුනු මහදිවුල්වැව, තම නව නිර්මානය තුලින් මෙවන් ව්‍යාජ සංකල්පයන් සහ ඓතිහාසික අසත්‍යයන් වැගිරීමට තරම් පරිහානිගත වූයේ මන්ද යන්න විමසා බැලීම වටී.

යම් ඌනතාවන් සහිතව හෝ 'දන්ඩේ ලූ ගිනි' මගින් ප්‍රකට කල ඓතිහාසික සත්‍යයට මූලික වශයෙන් හේතුවූයේ, එහි තිරපිටපත රචනා කල තිලක් ජයරත්න, සසප පූර්වගාමී වූ විකොස ඇසුරෙන් අත්පත්කරගත් ඓතිහාසික ඥානය බවත්, පසුකලෙක ජයරත්න විකොස ඇසුරෙන් ඈත්වීම එහි පැවති ඌනතාවන්ට හේතු වී ඇති බවත්, විජේගුනසිහ එම කෘතිය සම්බන්ධයෙන් කල විචාරයේදී පැහැදිලිව පෙන්වා දී ඇත.

ඓතිහාසික සත්‍යය සොයායමේ මූලික යතුර, ඓතිහාසික භෞතිකවාදය යි. එය මානව සමාජයේ විකාශනය පිලිබඳ විද්‍යාවයි. එය මත පාදකව ඓතිහාසික ප්‍රපංචයන් විභාග කරනුයේ, සසප ට නායකත්වය දෙන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනි.

තම දර්පනයේ බැඳී ඇති දෘෂ්ටිවාදාත්මක දූවිලි සහ එකී දෘෂ්ටිවාදාත්මක පීඩනයන්ගෙන් දර්පනය තුල ඇති කෙරෙන ඇදකුද ඉවත්කර ගැනීම සඳහා කලාකරුවන්ට, විප්ලවවාදී පක්ෂයේ මග පෙන්වීම සහ ලෝසවෙඅ හි ඇසුර අත්‍යවශ්‍ය ය.

නමුත් මහදිවුල්වැව ඊට විපරීතව හැරී ඇත්තේ, 1991 සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසු උත්සන්න කෙරුනු මාක්ස්වාද-විරෝධී දෘෂ්ටිවාදයන් දෙසටයි. ඔහුගේ නව නිර්මානයෙන් ඉදිරිපත් කෙරෙන 'මිනිසුන්ගේ පපු කුහර වලට කතා කිරීම' සහ 'සංස්කෘතික මිනිසා' වැනි සංකල්පයන්මත් එම දෘෂ්ටිවාදයන්ගේ නිර්මිතයකි.

අවසාන වශයෙන් කිව හැක්කේ, මහදිවුල්වැව ඔහුගේ පූර්ව නිර්මානවලින් ප්‍රකට කල පරිචය සහ කුසලතා, මයි රෙඩ් කොම්රේඩ් හි දී ඉහත දැක්වූ දෘෂ්ටිවාදයන් වෙනුවෙන් කැපකිරීමෙන් තම කලාත්මක පෞරුෂයමත් පිරිහෙලාගෙන ඇති බවයි.

මයි රෙඩ් කොම්රේඩ් පිලිබඳ විචාර

මහදිවුල්වැවගේ මයි රෙඩ් කොම්රේඩ් චිත්‍රපටය අග්‍ර ගන්‍ය සිනමා කෘතියක් ලෙස උත්කර්ෂයට නැංවූවෝ බොහෝ වෙති. ගාමිනී වේරගම සහ ලයනල් බෝපගේ ඒ අතරින් ප්‍රමුඛය.

ඓතිහාසික සත්‍යය ඒ සා පරිමානව විකෘත කල මහදිවුල්වැවගේ චිත්‍රපටය 'ගතවූ දශක හතරක පමන කාලය තුල මෙරට සමාජය තුල සිදුවූ විපරීත තියුනු මෙන්ම යථාර්ථවත් දැක්මකින් අවලෝකනය කරන නිර්මානයක්' (ලංකාදීප, 2024 ජූනි 07) යැයි වේරගම පවසයි.

එයින් නොනවතින ඔහු මෙසේ ද පවසයි: 'විප්ලවය සිදුනොවූයේ මන්ද? අනාගතයේ වුව එය සිදුවේද? මේ චරිත දෙක ඇසුරින් මතු කෙරෙනුයේ මේ සංශයයි.' වේරගමගේ අතිශය ප්‍රශංසාවට ලක්වන්නේ, ඔහුම පවසන පරිදි සමාජවාදී විප්ලවය පිලිබඳ සංශය වපුරන කෘතියකි.

'මයි රෙඩ් කොම්රේඩ්: විචාරයක්' යන හිසින්, 2024 මැයි 22 දා, කලම්බු ටෙලිග්‍රාෆ් පුවත්පතට ලිපියක් ලියමින් බෝපගේ පවසන්නේ ද, මයි රෙඩ් කොම්‍රේඩ් චිත්‍රපටය 'සමාජ හා දේශපාලන යථාර්ථයන් වෙත යථාර්ථවාදී ප්‍රවේශයක් ගනිමින් ශ්‍රී ලාංකේය සිනමාවට තීරනාත්මක දායකත්වයක්' සපයන බවයි. 'එය සිදුවීම් අවංකව නිරූපනය කරයි, ප්‍රේක්ෂකයන්ට ප්‍රතිචාර දැක්වීමට සහ විවාද කිරීමට ඉඩ සලසයි.'

වේරගම සහ බෝපගේ 'යථාර්ථය' ලෙස සහතික කරන්නේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය අසාර්ථක වී ඇත්තේ, පැරනි වාමාංශිකයන් 'මිනිසුන්ගේ පපු කුහර වලට කතා කිරීමට' සහ 'සංස්කෘතික මිනිසුන්' නිර්මානය කිරීමට අසමත් වූ බැවින් ය යන ප්‍රලාපය යි.

චිත්‍රපටයේ ආකෘතිය

ලෑලි බිත්තිවලින් වට වූ ටකරන් හෙවිලිකල පැල්පතක, විදුලි කොටමින් මහවැසි වසින රාත්‍රියක් පුරා දෙදෙනෙකු අතර කෙරෙන සංවාදයක් තුලින් සමස්ත චිත්‍රපටය ගලා යාමට සැලැස්වීම අපූර්වත්වයෙන් යුත් සුවිශේෂී සිනමා ආකෘතියක් බව විචාරකයන් කීපදෙනෙකුම පවසා තිබුනි.

නමුත් කලා නිර්මානයක ආකෘතිය, රංගනය, තාක්ෂනික ක්‍රමවේද සහ සංගීතය, එහි අන්තර්ගතයෙන් වෙන්කොට විවරනය කල නොහැක. ඒවා අතර ඇත්තේ අපෝහකාත්මක සම්බන්ධයකි.

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී කලා විචාරක ඇලෙක්සැන්ඩර් වොරන්ස්කි පවසන අයුරු, 'සාවද්‍ය අන්තර්ගතයකට නිරවද්‍ය ආකෘතියක් පැවතිය නොහැක'. ඒ අර්ථයෙන් ගත්කල, මයි රෙඩ් කොම්රේඩ් හි ආකෘතිය වෙන්කොට ගෙන එය අගය කිරීමමත් සාවද්‍ය ය.

කලාකරුවාගේ යථා කාර්යභාරය

අධිරාජ්‍යවාදීන් විසින් මුලුමහත් මානව සංහතියම න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට ඇදගෙන යමින් සිටින අද දවසේ කලාකරුවාගේ යථා කාර්යභාරය ලියොන් ට්‍රොට්ස්කි තම 'නිදහස් විප්ලවවාදී කලාවක් දෙසට' නම් කෘතියේ මෙසේ සාරාංශ ගත කරයි:

'අප ජීවත්වන මෙම යුගයෙහි කලාවෙහි අති උත්කෘෂ්ට කාර්යභාරය විප්ලවය සූදානම් කිරිමට ක්‍රියාශීලීව හා දැනුවත්ව සහභාගිවීම යැයි අපි විශ්වාස කරමු. එහෙත් කලාකරුවා විමුක්තිය සඳහා අරගලයෙහි සමාජමය අන්තර්ගතය ආධ්‍යාත්මිකව සමාග්‍රහනය කර නොගන්නේනම්, එහි අර්ථය හා නාටකාකාර ජීව ගුනය තම ස්නායු පද්ධතිය විනිවිදිනු ඔහුට නොදැනෙන්නේනම්, විමුක්ති අරගලයෙහි සමාජමය අන්තර්ගතය ආධ්‍යාත්මිකව සමාග්‍රහනය කර ගැනුමෙන් ද එහි නාටකාකාර ජීව ගුනය තම ස්නායු පද්ධතිය විනිවිදිනු දැනීමෙන් ද පමනක්ම නිර්මානය වන තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයට තම කලාවෙන් නිදහසේ සම්භවය දීමට ඔහු යත්න නොදරන්නේ නම්, විමුක්තිය සඳහා අරගලයට සේවය කිරීමට කලාකරුවාට නුපුලුවන.'

Loading