වික්‍රමසිංහ ආන්ඩුව දුම්රිය ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දැමීමට සූදානම් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට දමන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙල යටතේ, ශ්‍රී ලංකා දුම්රිය සේවය පුද්ගලීකරනයට හෝ වානිජකරනයට අදාල ව පත්කරන ලද කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලබන මාසයේ දී කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මෑත දී ප්‍රකාශ කලේ ය.

1864 වසරේ දී දුම්රිය සේවය ප්‍රධාන වසයෙන් ආරම්භ කරන ලද්දේ, ඈත ප්‍රදේශවල සිට කොලඹ දක්වා අපනයන භාන්ඩ ප්‍රවාහනය මුල් කරගනිමිනි. ක්‍රමයෙන් මහජන සේවාවක් බවට පත් වූ දුම්රිය ප්‍රවාහනය, මෑත දී ගාස්තු ඉහල දැමුව ද මෙතෙකුදු කම්කරුවන්ට හා සාමාන්‍ය මහජනතාවට සාපේක්ෂ ව මිල අඩු සහ පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පවතී.

දැනට වසරකට පමන පෙර, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට අදාල දුම්රිය අධිකාරි පනත සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරනු ලැබී ය. ඒ යටතේ දැනට දුම්රිය සාමාන්‍යාධිකාරීට පවතින බලතල, කලමනාකාර අධ්‍යක්ෂවරයෙකු පුමුඛ අධ්‍යක්ෂ මන්ඩලයකට පැවරේ. තව ද දුම්රිය ප්‍රවාහනයට අදාල තීන්දු ගැනීම, ප්‍රතිපාදන වෙන් කිරීම සහ අධ්‍යක්ෂ මන්ඩලය නියාමනය කිරීම වැනි බලතල ප්‍රවාහන අමාත්‍යවරයාට පැවරෙනු ඇත.

කෙසේ නමුත්, සාකච්ඡාවට බඳුන් කෙරෙන කමිටු වාර්තාවේ අන්තර්ගත යෝජනා පිලිබඳ ව මහජනතාවට හෝ දුම්රිය සේවයේ නියුතු කම්කරුවන්ට කිසිවක් හෙලිකර නැත. විශේෂයෙන් ම දුම්රිය අධිකාරි පනත පලමු වරට 1993 දී එවක ජනාධිපති ඩී. බී. විජේතුංග ගේ ආන්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, දුම්රිය කම්කරුවන්ගෙන් හා මහජනයාගෙන් එල්ල වූ බරපතල විරෝධය හමුවේ එය හකුලා ගැනීමට සිදු විය. ඉන්පසු 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව දුම්රිය ප්‍රකාශයට පත් කල නමුත්, එය ද ආපස්සට ගැනීමට සිදු වූයේ කම්කරුවන්ගේ විරුද්ධත්වය හේතුවෙනි.

සිය පිලිවෙත ආපස්සට නො ගත් අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, කල්‍ යල් බලමින් සිට නැවත වතාවක් පනත ඉදිරිපත් කර ඇත්තේ, මහජන සේවාවක් ලෙස පවතින දුම්රිය සේවය, ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුනෙනි. මේ යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුව තුල මධ්‍යගත ව පවතින දුම්රිය ප්‍රවාහනය කොටස්වලට වෙන් කර, ලාභ පිපාසිත ධනපති සංගත කිහිපයකට පැවරීම වික්‍රමසිංහ ආන්ඩුවේ ඉලක්කය යි.

ඉන්දියානු මහා සංගතයක් වන අදානි සමාගමට සහ ලංකාවේ සංගතයක් වන තන්ත්‍රී සමාගමට මේ වන විටත් දුම්රිය එන්ජින්, මැදිරි හා දුම්රිය මාර්ග අලුත්වැඩියාව පවරා තිබෙන අතර, එහි කොටසක් ලෙස, රත්මලාන දුම්රිය වැඩපොලෙහි විශාල භූමිභාගයක් තුල, ආසියානු සංවර්ධන බැංකුවේ නය ආයෝජන මත නවීන පහසුකම්වලින් යුත් කර්මාන්තශාලාවක් ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇත. උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ මෙහෙයුම් අලුත්වැඩියාව සඳහා නතර කර ඇත. එම අලුත්වැඩියා ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන අදානි සංගතයට දුම්රිය මෙහෙයුම් කටයුතු ද පැවරීමට නියමිත ය.

දුම්රිය පුද්ගලීකරනයට සමගාමී ව, මෙතෙක් දුම්රිය සේවයට රජයෙන් කල වියදම් දැවැන්තව කප්පාදු කෙරෙමින් පවතී. රත්මලාන දුම්රිය වැඩපොලේ පිහිටි කර්මාන්තශාලා වෙත දුම්රිය අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා භාන්ඩ සැපයීම දැනට මත් නතර කර දමා හෝ කප්පාදු කර ඇත.

දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ලබාගෙන ඇති ඩොලර් බිලියන 3ක ඇප නයට හිලවු ලෙස, එහි විධානයන් යටතේ ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලෙහි ප්‍රධාන අංගයක් වන්නේ, රජයට අයත් ව්‍යවසායයන් 430ක් පුද්ගලීකරනය, වානිජකරනය හා ප්‍රතිව්‍යුහකරනයට බඳුන් කිරීම යි. මේ යටතේ සමහර ව්‍යවසායයන් වසා දැමෙන අතර, තවත් ඒවා පුද්ගලික අංශයට පවරා ලාභ ගරන කර්මාන්ත බවට පරිවර්තනය කෙරේ.

දුම්රිය ප්‍රතිව්‍යුහකරනයේ ප්‍රතිඵල, මෙම පිලිවෙත ක්‍රියාවට දමා ඇති අනෙකුත් රජයට අයත් ව්‍යවසායයන්ට සිදු වී ඇති විනාශයෙන් අවබෝධ කරගත හැකි ය. දීර්ඝ කාලීන ව සමුපකාර තොගවෙලඳ සංස්ථාවේ (සතොස) සේවය කල කම්කරුවන් 292ක් දොට්ට දමා සතොස වසා දැමුනි. ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව කොටස්වලට කඩමින් දැනට මත් පුද්ගලීකරන කටයුතු ආරම්භ කර ඇති අතර, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) කොටස් 14කට කඩා පුද්ගලික ව්‍යවසායයන් බවට පත්කිරීමට අදාල විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මේ සෑම අවස්ථාවක දී ම, ප්‍රතිව්‍යුහකරනයට එරෙහි ව කම්කරුවන්ගෙන් එල්ල වන යුක්තියුක්ත විරෝධය වාෂ්ප කර දමා, ආන්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට ඉඩ සලසා දීමේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් වෘත්තීය සමිති විසින් ඉටු කරනු ලබයි. දුම්රිය දෙපාර්තමේන්තුව තුල ශ්‍රේනිවාදී ව පිහිටුවාගෙන ඇති වෘත්තීය සමිති 108ක් පමන ඇති නමුත්, කිසිදු වෘත්තීය සමිතියක් අධිකාරි පනත හෝ ප්‍රතිව්‍යුහකරන යෝජනා පිලිබඳ ව අදහස් පලකිරීමක් කර නැති අතර, ඒවා පවත්වාගෙන යන නිශ්ශබ්ධතාවයෙන් පෙන්නුම් කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන හා පුද්ගලීකරන වැඩපිලිවෙල සමග වෘත්තීය සමිතිවලට කිසිදු මතභේදයක් නොමැති බව යි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) මූලිකත්වය යටතේ පුද්ගලීකරනය කිරීමට කම්කරුවන් අතරින් සහයෝගයක් ගොනු කරගැනීම සඳහා දුම්රිය නගා සිටුවීමේ සංසදය නමැති සමිතියක් පිහිටුවාගෙන ඇති අතර, වෘත්තීය සමිති නිලධරයන්ගේ අනුදැනුම සහිත ව තෝරාගත් කම්කරුවන් සුඛෝපභෝගී හෝටල්වල්වලට කැඳවා, ගැටලු පැන නගින සෑම අවස්ථාවකදීම වැඩවර්ජනවලට යාම අනවශ්‍ය බවත්, තමන්ගේ ගැටලු සංසදය හරහා ඉහල පාලනාධිකාරයට යොමු කර ඒවාට විසඳුම් ලබා ග.හැකි බවත් පවසා ඇත.

මෙම දුම්රිය නගාසිටුවීමේ සංසදයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ, වැඩවර්ජන පාවාදීම සම්බන්ධ කුප්‍රකට ඉතිහාසයක් සහිත සමිති නිලධරයෙකු වන දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ හිටපු ලේකම් ඉන්දික දොඩංගොඩ ය.

ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර ආයෝජකයන්ට විවෘත කල 1977 සිට බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු දුම්රිය සේවය සඳහා ප්‍රතිපාදන අඛන්ඩව කපා දමා ඇත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, දුම්රිය පීලිපැනීම්, ධාවන ප්‍රමාදයන් හා දුම්රිය අවලංගු කිරීම ආදිය බහුල වීම යි. මෙවර සිංහල-හින්දු අලුත් අවුරුදු සමයේ ධාවනය සඳහා යොදවන ලද දෛනික අතිරේක දුම්රිය ප්‍රමානය 12ට සීමා කරනු ලැබිනි. වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය, ඔවුන් විසින්ම සිදු කරන ලද මෙම පරිහානිය, දුම්රිය ප්‍රවාහනය පුද්ගලික අංශයට පැවරීම සාධාරනීකරනය සඳහා යොදා ගනී.

පලමු, දෙවන සහ තුන්වන ආදී පංති වලට බෙදා එකම දුම්රිය තුල පවත්වාගෙන ගිය අසමානතාව, ධනවතුන්ට සහ සාමාන්‍ය මහජනතාවට ගමන්කල හැකි දුම්රිය ලෙස බෙදා වෙන් කිරීම තුලින්, වඩාත් ඉහල නංවා ඇත. දැනට ක්‍රියාත්මක සුඛෝපභෝගී “ඔඩිසි” දුම්රියේ එක් ගමන් වාරයක් -යාම හා ඒම-සඳහා රුපියල් 10,000ක් වැනි ඉහල මුදලක් අය කරනු ලැබේ. එය සාමාන්‍ය මහජනතාවට කිසිසේත් දැරිය නොහැකි ගාස්තුවකි.

මේ යටතේ ඇල්ල ඔඩිසි හා සීතාවක ඔඩිසි යනුවෙන් දුම්රිය සේවාවන් දෙකක් දැනට ධාවනය කෙරෙන අතර, මහව-අනුරාධපුර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවෙන් පසු යාපනය දක්වා ද 'ඔඩිසි' දුම්රියක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන මීට මාස කිහිපයකට ඉහත දී පැවසී ය.

පුද්ගලීකරනය යටතේ මෙම අසමානතාව වඩාත් වර්ධනය කෙරෙනු ඇත.

සිය අතීත අරගලවල ප්‍රතිඵල ලෙස, දුම්රිය කම්කරුවන් යම් ප්‍රතිලාභයක් භුක්ති වින්දේ නම්, ඒ සියල්ල ආපසු හැරවීමේ දැනුවත් වැඩකටයුතු වික්‍රමසිංහ ආන්ඩුව අරඹා ඇත. විශේෂයෙන් ම දුම්රිය කම්කරුවන් දහස් ගනනක් සේවය කරන රත්මලාන දුම්රිය අංගනය ආශ්‍රිත ව තිබෙන, දුම්රි‍ය කම්කරු නිල නිවාස නඩත්තු කිරීමේ කටයුතු ක්‍රමානුකූල ව අත්හැර දමා ඇත. එබැවින්, තම පුද්ගලික මුදලින් නිල නිවාස අලුත්වැඩියාවන් කරගැනීමට කම්කරුවන්ට බල කෙරී තිබේ. මේ පිලිබඳ ව මෙන් ම තම කර්මාන්තශාලාවල තත්ත්වය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට කම්කරුවන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත පල වේ.

දුම්රිය නිල නිවාසවල තත්ත්වය පිලිබඳ ව කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය: “අපේ නිවාස නඩත්තු කරන්නෙ නෑ. ආයතනයෙන් නඩත්තු කරන තුරු අවුරුදු 2 ක් විතර පෝලිමේ ඉන්න වෙනවා. එතකොට පදිංචියට එන අය කරන්නෙ තමන්ගෙ වියදමින් ඒවා කරගන්න එකයි. ඒවාට ආයතනය කිසිදු ගෙවීමක් කරන්නෙ නෑ. මගෙ අම්මගෙ අසනීප තත්වය උඩ වැසිකිලියට කොමොඩ් එකක් හයිකරගන්න සිදු වුනා. අද වෙනකන් ආයතනය ඒ මුදල් ගෙවුවෙ නෑ.”

මේ හේතුවෙන්, කිසිවෙකු පදිංචි නැති නිල නිවාස 30 -50 ත් අතර සංඛ්‍යාවක් රත්මලානේ ඇති බව ඔහු පැවසීය.

ඒවා අලුත්වැඩියාවක් නොමැති බැවින් පදිංචියට නුසුදුසු තරමට අබලන් වී ඇත. “හොරු ඇවිල්ලා මුලින්ම දොර ජනෙල්වල පිත්තල සරනේරු ගලවගෙන යනවා. පස්සෙ වහලේ ෂීට් ගලවගෙන යනවා. ආරක්ෂක අංශ දැනුවත් කලත් බලන්න එන්නෙ කලාතුරකින්. ගොඩනැගිලි අංශය කරන්නේ දොර ජනෙල් රාමුවලට තියලා රීප්ප ගහලා යන එකයි. දැන් අහලපහල ජීවත්වෙන අපේ ආරක්ෂාවටත් මේක තර්ජනයක්. මෙවැනි බිඳවැටීම් සෑම ක්ෂේත්‍රයකම දකින්න පුලුවන්. මේවා මාධ්‍යවලට හෙලිදරවු කල යුතුයි.”

තම කර්මාන්තශාලාව ගැන අදහස් දැක්වූ කම්කරුවෙක් කියා සිටියේ: “මෙහි යන විනාශය කනගාටුදායක යි. මේ වැඩපල දැන් හැම පැත්තෙන් ම විනාශයට අතහැරල දාල. ඔබ දැන් පැහැදිලි කල අදානිලා සහ තන්ත්‍රීලා සඳහා හදන අලුත් වැඩපල පුද්ගලීකරනයේ ම කොටසක්. ඒවා හොර රහසේ සිද්ධවෙන දේවල් නෙවෙයි, එලිපිට සිද්ධවෙන දේවල්. වෘත්තීය සමිති නායකයො තියා මොකෙක්වත් ඒව ගැන කට හොල්ලන්නෙ නෑ. බන්දුල ගුනවර්ධන ඇවිල්ල මුල්ගල තියල ගියා. දැන් ගොඩනැගිල්ල ඉදි වෙනවා.

මූලික පහසුකම් පවා අහිමි වී ඇති ආකාරය ඔහු මෙලෙස විස්තර කලේ ය: “වෙනදා මෙහෙ පැය 24 ම වතුර තිබුනා. සෑම නිවසකටම රු 5 ක පොදු ජල ගාස්තුවක් යටතේ දුම්රිය වැ ඩපල මගින් වතුර ලබා දුන්නා, මාසික වැටුපෙන් කැපෙන විදිහට. ඒක විශාල සහනයක්. දැන් වතුර දෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයින්ට වගේ මීටරයට. ඉහල ජල බිල්පත් දැන් අතින් ගෙවිය යුතුයි. දැන් වැඩපල ඇතුලෙ සමහර විට බොන්නවත්, සේවකයින්ට වැඩ කරලා ඇඟ හෝදගන්නවත් වතුර නෑ.”

Loading