රැකියා විනාශය සහ සංගත ලාභ ප්‍රසාරනය එල්ල කරගත් ලංවිම ප්‍රතිව්‍යුහකරන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

රාජ්‍යය ව්‍යවසායක් ලෙස පවතින ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 25 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනි. ඉදිරි සතිවලදී පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාදයකින් පසු එය සම්මත කර ගැනීමට නියමිත ය.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය මත සිදු කෙරෙන මෙම ප්‍රතිව්‍යුහකරනය මගින්, සමාගම් දහයකට අධික සංඛ්‍යාවකට ලංවිම බෙදා වෙන්කොට, බලශක්ති ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සංගතයන්ට සහ ලංකාව තුල ඔවුන්ගේ තැරැව්කාර පෞද්ගලික සමාගම් වලට ආයෝජනය සඳහා කොන්දේසි විවරකර දෙනු ඇත.

ලාභ පිපාසිත ආයෝජක සංගතයන්, තම ලාභ ප්‍රසාරනය කරනුවස්, රැකියා, වැටුප් සහ දීමනා දැවැන්තව කප්පාදු කරමින්, වැඩ වේගවත් කරනු ඇත. එනයින් ගත්කල, ලංවිම “ප්‍රතිව්‍යූහකරනය” යනු, එහි සේවයේ නියුතු 23,000ක් වූ සේවකයන්ට එල්ල කරන මරු පහරකි.

වෘත්තීය සමිති නිලධරය පසුගිය වසර ගනනාව පුරා කම්කරුවන්ගේ අරගල අවහිර කලහ. නැතිනම් එම අරගල ආන්ඩුවලට පීඩනය යෙදීමේ නිස්සාර විරෝධතාවලට කොටු කලහ. මෙයින් වාරුව ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රතිව්‍යූහකරනය ඇතුලු ජාමූඅ හි කප්පාදු ක්‍රියාවට නැංවීම වේගවත් කලේය.

“විදුලිබල කර්මාන්තයට අලුත් ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා වන අවශ්‍යතාව යථා පරිදි හඳුනාගනු ලබන” බව සහ ඒ සඳහා සැලසුම් කරනු ලබන, “විදුලිබල කර්මාන්තයේ ආයතනික ව්‍යූහය සඳහා ප්‍රතිසංස්කරන අවශ්‍ය” බව පනත් කෙටුම්පත කියා සිටී.

පනතට අනුව, ලංවිම ප්‍රතිව්‍යූහකරනය මගින්, වර්තමානයේ දී “රජයට හිමි තනි අස්තිත්වයක්” වන ලංවිම වෙත පැවරී ඇති විදුලිබල කර්මාන්තයේ සියලු කටයුතු, එනම් “විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදා හැරීම, වෙලඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය” ආදිය, “කාර්යක්ෂම ලෙස කලමනාකරනය කිරීම සඳහා සහ මෙම කටයුතු සම්බන්ධයෙන් වෙලඳපොල තරඟකාරීත්වය නිර්මානය කිරීම සඳහා වගකිව යුතු වන ස්වාධීන සංස්ථාමය අස්තිත්ව සංස්ථාගත කිරීම” සිදු කෙරේ.

කෙටුම්පත, සමාගම් වර්ග තුනක් යෝජනා කරයි: රජයට කොටස් අහිමි “සමාගම්”, සියයට 50 කට අධික කොටස් රජයට හිමි රාජ්‍ය සමාගම් සහ කොටස් සියයට සීයක්ම රජයට හිමි, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත රාජ්‍ය සමාගම් එම තෙවර්ගය වේ.

පලමුව දැක්වෙන “සමාගම්” නිශ්චිතව “පෞද්ගලික සමාගම්” ලෙස අර්ථකතනය කෙරී නොතිබුනද මෙම පනතේ යතා අරමුන වනුයේ, ගෝලීය මෙන්ම දේශීය පෞද්ගලික සමාගම් සහ සංගතවලට විදුලිබල කර්මාන්තය විවෘත කිරීම බව පනත් කෙටුම්පතේ “විදුලිබල කර්මාන්තයේ සෑම කටයුත්තකදී ම පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් සැලැස්වීම” ප්‍රතිව්‍යූහකරනයේ ප්‍රධාන අරමුනක් ලෙස සඳහන් කිරීමෙන් පැහැදිලි වේ.

පලමු වර්ගයට අයත් සමාගම්වලට, විදුලිය බෙදාහැරීම, ගල් අඟුරු විදුලි ජනනය, තාප විදුලි ජනනය සහ සුලං විදුලි ජනනය මුලුමනින්ම පැවරීමට නියමිතය. ඒ අනුව, ලංවිම සතු විදුලිය “බෙදා හැරීම් අංශවල බෙදා හැරීමේ කර්තව්‍ය පවරා ගැනීමට වෙන් වූ සමාගම්” කීපයක් ද, ලංවිම “මෙන්ම ලංකා ගල් අඟුරු සමාගම විසින් හිමිකාරීත්වය දරන සහ ක්‍රියාත්මක කරනු ලබන ගල් අඟුරු විදුලි පිරියතය [plant] පවරා ගැනීම සඳහා එක් සමාගමක්” ද, ලංවිම සතු “තාප විදුලි උත්පාදන වත්කම් පවරා ගැනීම සඳහා එක් සමාගමක්” ද, ලංවිම “විසින් හිමිකාරීත්වය දරන, සන්තකය [possessed] දරන සහ ක්‍රියාත්මක කරනු ලබන සුලං විදුලි පිරියතය පවරා ගැනීම සඳහා එක් සමාගමක්” ද ස්ථාපිත කෙරේ.

දෙවන වර්ගයට අයත් සමාගමකට, එනම් සියයට 50 කට අධික කොටස් හිමි රාජ්‍ය සමාගමකට, “ජාතික ජාලය (National Grid) සැකසෙන්නා වූ භෞතික යටිතල පහසුකම් වැඩි දියුනු කිරීම, පවත්වාගෙන යාම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ලංකා විදුලිබල මන්ඩලයේ කර්තව්‍ය” පැවරේ.

තෙවන වර්ගය හෙවත් රාජ්‍ය සමාගම් වලට, ජලවිදුලි ජනන අංශය, ජාතික පද්ධති ක්‍රියාකරු අංශය සහ අර්ථ සාධක සහ විශ්‍රාමික වැටුප් ගෙවීමේ අංශය පවරනු ඇත.

මෙම පනත් කෙටුම්පත සම්මත වූවායින් පසු එය, 2024 අංක දරන ශ්‍රී ලංකා විදුලිබල පනත යනුවෙන් හැඳින්වෙන අතර, “1969 අංක 17 දරන ලංකා විදුලිබල මන්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත” පනත් දෙකම අහෝසි වන්නේ රාජ්‍ය ආයතනයක් ලෙස ලංවිමෙහි පැවැත්ම අහෝසි කෙරෙමින් එහි සේවකයින්ට ඉහත දැ ක්වූ ආකාරයේ රුදුරු ප්‍රහාරයක් දියත් කරමිනි.

පනතට අනුව, ලංවිම සේවකයින් තමන්ට දැනට හිමි වැටුප් තල යටතේ නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන අතර යමෙකු මෙයට අකමැති නම් ඔහු හෝ ඇය ස්වයං-විශ්‍රාමික ක්‍රියාපටිපාටිය යටතේ විශ්‍රාම ගැන්වේ. විදුලිබල ඇමති කංචන විජේසේකර 2022 වසරේ පවසා තිබුනේ ස්වයං-විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාපටිපටියක් යටතේ සේවකයින්ගෙන් අඩකට එනම් එවක සිටි සේවකයින් 26,000 න් 13,000 කට පමන රැකියා අහිමි වනු ඇති බවයි.

අලුතෙන් පිහිටුවනු ලබන සමාගම්වල ක්‍රියාත්මකවීම් ආරම්භ වන්නේ “පනත් කෙටුම්පත පාර්ලිමේන්තු පනතක් බවට පත් වන දිනයේ සිට මාස හයක් පසු නොවන දිනයක ය”.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ මෙලෙස පෞද්ගලීකරනයේ දංගෙඩියට හසුවී ඇති ලංවිම ට අමතරව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා දුම්රිය සේවය, එයාර් ලංකා, ජල සම්පාදන මන්ඩලය ආදී කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් ගනනාවක්ම පුද්ගලීකරනයේ ඉලක්කයන් බවට පත්ව ඇත.

දුම්රිය පෞද්ගලීකරනයේ පියවරක් ලෙස දුම්රිය අධිකාරි පනත ඉදිරිපත් කෙරී ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් මන්ඩලය මාර්තු මාසයේ අනුමැතිය ලබා දුන්නේ ය.

වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව, සේවකයන්ගේ බරපතල විරෝධය නොතකමින්, රක්ෂන සංස්ථාව රාජ්‍ය සමාගම් දෙකකට කඩා වෙන් කර එහි සේවකයන් නවක සේවකයින් ලෙස එම සමාගම් දෙකට අනුයුක්ත කර ඇත. කම්කරුවන් 292ක් රැකියාවලින් දොට්ට දමා, යන එන මං නැති තත්ත්වයකට ඔවුන් ඇද දමමින් පසුගිය සැප්තැම්බරයේ සමූපකාර තොග වෙලඳ සංස්ථාව (සතොස) වසා දැමිනි.

ප්‍රතිව්‍යුහගතකරනය යටතේ සිදු කෙරෙන පෞද්ගලීකරනය, වානිජකරනය, විකුනා දැමීම හෝ වසා දැමීම යටතේ මිලියන භාගයකට අධික රාජ්‍ය කම්කරුවන්ගේ රැකියා අනතුරේ පවතී. එසේ වුව ද, ප්‍රතිව්‍යූහකරනය ගැන සාකච්ඡා කිරීමට පවා ඉඩක් නොමැති (non-negotiable) බව රාජ්‍යය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ සුරේෂ් ෂා පසුගිය දා පැවසීය. ඔහු තවදුරටත් පවසා ඇත්තේ ලබන අගෝස්තු වන විට රාජ්‍ය ව්‍යවසායන් ගනනාවක්ම ප්‍රතිව්‍යූහගත කෙරෙන බව යි.

ආන්ඩුවට පීඩනය යෙදීමේ වඳ උද්ඝෝෂන ක්‍රියාදාමයේ තවත් එකක් ලෙස, විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අප්‍රේල් මාසයේ 25 දින, පනත හකුලා ගන්නා ලෙස ඉල්ලා ‘ලංවිම සියලු වෘත්තීය සමිති' විරෝධතාවක් කැඳවා තිබුනි. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල් මෙම විරෝධතාවයට පෙරාතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සියලුම වෘත්තීය සමිති එක්ව මෙම පනතට එරෙහිව “දැඩි උද්ඝෝෂනයක” දියත් කරන බව යි. ඒ කෙසේ වෙතත්, 25 දා උදය වරුවේ කොලඹ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වූ ප්‍රධාන උද්ඝෝෂනය සඳහා රැස් කර තිබුනේ යන්තම් 100 ඉක්මවූ සංඛ්‍යාවක් පමනි.

මෙම උද්ඝෝෂනයේදී මාධ්‍යවලට කතා කරමින් ජයලාල් පැවසුවේ “අද පනත පාර්ලිමේන්තුවේ ටේබල් කරලා, ඊටපස්සෙ ආන්ඩුව මේක සම්මත කරනවා. .........මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කලාට අපි එලියෙ පරද්දනවා,” යනුවෙන්ද, මෙම පනත “මාස හයක් යනවා සක්‍රීය වෙන්න. මාස හයක් කියන්නේ නොවැම්බර් මාසයේ. රනිලුත් නැහැ, කාංචනත් නැහැ, ආන්ඩුවත් නැහැ” යනුවෙනි.

ජයලාල් මීට පෙර කයිවාරු ගැසුවේ වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන් තොරව පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදෙන බවත්, මේ සඳහා දැවැන්ත අරගල දියත් කරන බවත් පවසමිනි. ඔවුනගේ වඳ තර්ජන තිබියදී වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රතිව්‍යූහකරනය ඉදිරියටම ගෙන යද්දී දැන් ජයලාල් කියන්නේ, පනත සම්මත කරගත්තත්, 'නොවැම්බර් මාසයේ' ජනාධිපතිවරනයෙන් පසු පිහිටුවන ජවිපෙ ආන්ඩුවකින් එය ආපසු හරවන බවයි. ජයලාල් ගේ පූච්චානම් වලට විපරීතව, ධනපති සංස්ථාපිතයේ අන් සියලු පක්ෂ මෙන්ම ජවිපෙ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වෙනුවෙන් මුලුමනින්ම කැප වී සිටී.

Loading