මාර්ග සංවර්ධන අධිකාරියේ 11,000 කට අධික සේවකයෝ වර්ජනය කරති

ඉල්ලීම් තුනක් මත මාර්ග සංවර්ධන අධිකාරියේ (මාසඅ) 11,000 කට අධික සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කොට බදාදා පෙරවරු 7 සිට එදින පස්වරු 7 දක්වා පැය 12 ක සංකේත වර්ජනයක නිරත වුහ. අධිවේගී මාර්ග ජාලය පුද්ගලීකරනය නතර කිරීම, 2022 වසරේ භාවිතා නොකල අසනීප නිවාඩු සඳහා මුදල් ගෙවීම සහ ප්‍රමාද වූ ප්‍රශස්ථ උසස්වීම් පරිපාටිය වහා ක්‍රියාවට දැමීම ඔවුන්ගේ ඉල්ලීම් වේ. අධිවේග මාර්ග අයකැමිවරුන් සහ කලමනාකරන සේවකයන් 1400 ක් සහ මාර්ග සංවර්ධන, ඉංජිනේරු, ගනකාධිකාරී, විගනන, කාර්මික, මාර්ග නඩත්තු, කාර්යාල සේවකයන් සහ රියදුරන් ඇතුලු සියලුම ශ්‍රේනිවලට අයත් සේවකයෝ වර්ජනය ට සම්බන්ධ වූහ.

නොවැම්බර් 1 "මග නැගුම මහමැදුර" ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය (සමස්ත ලංකා අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරයේ මුහුනුපොත)

ප්‍රතිව්‍යුකරනය සහ පුද්ගලීකරනය යටතේ රැකියා අහිමිවීමේ තර්ජනය ට අධිවේගී මාර්ග ජාලයේ ඇතුලු මාසඅ යේ සේවකයෝ මුහුන දී සිටිති. භාවිතය ට නොගත් අසනීප නිවාඩු සඳහා පසුගිය වසර 30 තුල මුදල් ගෙවීම කර ඇතත් 2022 වසරේ අදාල ගෙවීම් කර නැත. පසුගිය වසර 12 තුල උසස්වීම් පරිපාටිය අනුව නියමිත උසස්වීම් ලබා නොදීම හේතුවෙන් වැටුප් වර්ධක සහ අනෙකුත් සේවක අයිතීන්ට එමගින් බලපෑමක් ඇති වී තිබේ.

බදාදා සංකේත වර්ජනය ට පෙරාතුව ඉහත ඉල්ලීම් වලට අමතරව රුපියල් 20,000 මාසික වැටුප් වැඩිවීමක් සහ අනියම් සේවකයන් ස්ථීර කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මත නොවැම්බර් 1 වෙනිදා සියගනනක් සේවකයෝ බත්තරමුල්ල මාසඅ යේ ප්‍රධාන කාර්යාලය වන 'මග නැගුම මහමැදුර' ඉදිරිපිට දහවල් කෑම පැයේ උද්ඝෝෂනයක නිරත වූහ.

මෙම විරෝධතා උද්ඝෝෂන කැඳවුම් කලේ මාසඅ වෘත්තීය සමිති එකමුතුව (මාසඅවෘසඑ) විසිනි. මාසඅවෘසඑ යනු, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස), ජාතික සේවක සංගමය, (ජාසේස) පොදුජන ප්‍රගතිශීලී සංගමය (පොප්‍රස), මාර්ග සංවර්ධන සේවක සංගමය ( මාසසේස) සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය (සලඅමාසේස) ඇතුලු වෘත්තීය සමිති 27 ක සංධානයකි. ශ්‍රීලනිසේස, ජාසේස, පොප්‍රස සහ මාසසෙස පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පාලනය කරනු ලබන අතර සලඅමාසේස ඇතුලු අනෙක්වා 'ස්වාධීන' යයි කියා ගන්නා සමිති කිහිපයකි.

වර්ජනය බිඳීමේ පියවරක් ලෙස වික්‍රමසිංහ ආන්ඩුව මුදල් අයකිරීම ඇතුලු අධිවේගී මාර්ග වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යෙදවී ය. වර්ජනය, 'වෘත්තීය සමිති ක්‍රියාවක් නොව; හිතාමතා රජයට පාඩු කිරීමේ උත්සාහයක්' බව කියමින් මහා මාර්ග සහ ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන 22 වෙනිදා පාර්ලිමේන්තුවේ දී එයට පහර ගැසීය. අධිවේගී මාර්ග අයකැමියන් මුදල් අයකිරීමේ දී රිසිට් පත් නිකුත් කරන යන්ත්‍ර රැගෙන ගොස් ඇති බවත් එය 'බරපතල අපරාධයක්' භා ඒ සම්බන්ධව පොලීසියට පැමිනිලි කර ඇති බවත් ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කලේ ය.

ගුනවර්ධනගේ චෝදනාව අසත්‍යක් බවත්, එම යන්ත්‍ර අයකැමියන් හැර වෙනත් අය පාවිච්චි කිරීම නීති විරෝධී හෙයින් මුද්‍රා තබා සුරක්ෂිතව තබා ඇති බවත් සලඅමාසේස සභාපති යොහාන් හසිත මුනසිංහ මාධ්‍යයට පැවසීය.

ප්‍රවාහන සේවය මුලුමනින් ඩිජිටල් කිරීම කඩිනම් කල යුතු බව තමන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවත් එහි කොටසක් ලෙස අධිවේගී මාර්ග පද්ධිතියේ මුදල් අයකිරීම ස්වයංක්‍රීය කිරීම ද ඊට ඇතුලත් වන බවත් ඇමති ගුනවර්ධන 22 වෙනිදා මාධ්‍යට පැවසීය. එමගින් ආන්ඩුවේ ආදායම 'අවහිර කරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් වැලක්වීමට මැදිහත්' වන බව ද ඔහු එහි දී සඳහන් කලේ ය.

අධිවේගී මාර්ග බදුදීමක් හෝ විකිනීමක් නොකරන බව හා සේවක රැකියාවලට බලපෑමක් නොවන බව ඇමති ගුනවර්ධන බදාදාපාර්ලිමේන්තුවේ දී පැවසූ නමුත් අධිවේගී මාර්ග ජාලය මාසඅ යෙන් වෙන්කොට රාජ්‍ය සමාගමක් වන සීමා සහිත සහස්‍යා ආයෝජන සමාගමට පැවරීමට ආන්ඩුව තීරනය කර තිබේ. ඒ හරහා පුද්ගලීකරනය ක්‍රියාවට දැමේ.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනයට අමාත්‍ය මන්ඩල අනුමැතිය සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරන හා ජාතික ප්‍රතිපත්ති ඇමති රන්ජිත් සියඹලාපිටිය ඉදිරිපත් කල පත්‍රිකාවට 2023 ජුනි 26 අමාත්‍ය මන්ඩල අනුමැතිය ලැබුනි. මාසඅ එම ලැයිස්තුවේ තිබෙන එක් ව්‍යවසායකි. ඒ අනුව මාසඅ හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය ශක්තිමත් කරන විස්තීර්න සැලැස්මක් මාස තුනක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස ප්‍රවාහන සහ මහා මාර්ග ඇමති ගුනවර්ධන විසින් අමාත්‍යංශයේ ලේකම් වරයාට උපදෙස් දී ඇති බව ජුනි 29 වෙනිදා සන්ඩේ මොර්නින් පත්‍රය වාර්තා කලේ ය.

අධිවේගී මාර්ග ජාලය, එහි ඉඩම් සහ කාර්ය මන්ඩලය මාසඅ න් වෙන්කොට 'වඩාත් වානිජමය ආකාරයෙන් කලමනාකරනය කිරීම' සඳහා සහස්‍යා ආයෝජන සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති යෝජනාවලට ඇතුලත් වේ. ඒ අනුව ආන්ඩුවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පිලිවෙත යටතේ අධිවේගී මාර්ග ගොඩ නැගීම සහ තිබෙන අධිවේගී මාර්ග පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය හවුල් කරගැනේ.

ජාමූඅ සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව, මග නැගුම ඉදිකිරීම් උපකරන සමාගම, මග නැගුම ඉමල්ෂන් නිෂ්පාදන සමාගම, සහ මග නැගුම උපදේශන සහ කලමනාකරන සමාගම යන සමාගම් තුන ඈවර කිරීමට සම්බන්ධව එම සමාගම් වල වත්කම් ශේෂය ප්‍රතිව්‍යුහගත කෙරෙන බව අගෝස්තු 19 ද මෝර්නින් පත්‍රයේ වාර්තාවක සඳහන් වෙයි

ජාමූඅ සමග එවන් එකඟතාවයක් ඇතිකරගෙන ඇති බව මාසඅ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් ප්‍රතික්ෂේප කර ඇති නමුත් එම සමාගම් ඈවර කර සේවකයන් දොට්ට දමන බව ඔහු පවසා තිබේ. එහි දී ඔහු මෙසේ සඳහන් කර ඇත: “අපිට ඔවුන්ගේ වැටුප් දිගට ම ගෙවන්න බැහැ. එබැවින් මෙම සේවකයින්ට වන්දි ගෙවීමෙන් පසු සමාගම් වසා දැමීම ගැන අප සලකා බලනවා”.

ශ්‍රී ලංකාව ට ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබාදීමේ ගිවිසුම අනුව ජාමූඅ විසින් ශ්‍රී ලංකා ආන්ඩුව ට විධානය කර තිබෙන කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස දුම්‍රිය, රක්ෂන, විදුලි බල, තෙල් සංස්ථාව ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යුහකරනය හෝ පුද්ගලීකරනය කිරීමට වික්‍රමසිංහ-පොදු පෙරමුන ආන්ඩුව තීරනය කර තිබේ.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය/ පුද්ගලීකරනය යටතේ 500.000 අධික සේවකයන් ගේ රැකියා අහිමිවීමේ සහ ඔවුන්ගේ දරු-පවුල් මහමගට ඇදවැටීමේ අන්තරාය ට ඔවුහු මුහුන දී සිටිති. එය වික්‍රමසිංහ-පොදු පෙරමුන ආන්ඩුව ට ආයාචනා කිරීමෙන් හෝ බලපෑම දමන හුදු විරෝධතා වලින් නතර කල නොහැකිය. ඒ සඳහා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය /පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ සමස්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පොදු අරගලයක අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ මතුකර ඇත. එය වික්‍රමසිංහ-පොදු පෙරමුන ආන්ඩුව සමග මුහුනට මුහුන ගැටෙන අරගලයකි.

එහෙත් මාසඅ හි වෘත්තීය සමිති එකතුවේ නිලධරය ඇතුලුව සියලුම වෘත්තීය සමිති නිලධරය එවන් අරගලයක් සංවිධානය කිරීම ට සුදානම් නැත. ඒ වෙනුවට ඔවුහු ආන්ඩුවට ආයාචනය කිරීමේ සහ බලපෑම් දමන නිස්සාර උද්ඝෝෂන වලට කොටු කර කම්කරුවන්ගේ සටන් විසුරුවා හරිති. බදාදා මාසඅ සේවක වර්ජනය පැය 12 ක සංකේත වර්ජනයක ට සීමා කෙරුනේ ද ඒ අනුව ය. ඒ අතර ආන්ඩුව තමන් ට ඇහුම් කන්දෙන්නේ නැත්නම් 'දැවැන්ත' අරගල කරන බවට පුහු තර්ජන කරමින් ඔවුහු කම්කරුවන් නොමග යැවීමට උත්සාහ කරති. අවසාන වශයෙන් ඔවුන් කරන්නේ ධනපති ආන්ඩුවේ ප්‍රහාරය ට එරෙහිව කිසිවක් කල නොහැකිය යන තැන ට සාමාජිකයන් තල්ලු කොට එයට යටත් කිරීම යි.

මාසඅ හි ප්‍රතිව්‍යුහකරනය ගැන ආන්ඩුව මාසඅ වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡා නොකිරීම ගැන සලඅමාසෙස සභාපති මුනසිංහ කනස්සල්ල පල කලේ ය. 'ආන්ඩුව අපිත් එක්ක ඒ ගැන සකච්ඡා කරන්නේ නැහැ. අවුරුදු 12 අපි වැඩ කරලා තියෙනවා. අපේ රක්ෂා වලට වෙන්නේ මොකක් ද කියල කියන්නේ නැහැ' යි ඔහු පැවසීය. රක්ෂා වලට වෙන්නේ මොකක් ද කියන එක ආන්ඩුවේ සැලස්මෙන් ඇති තරම් පැහැදිලිය. රැකියා අහිමිවීම ගැන අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. මුදල් අයකිරීම ඩිජිටල්කරනය කලවිට අයකැමියන් අවශ්‍ය නැත. මග නැගුම සමාගම් වසා දමා ඒවායෙහි කම්කරුවන් දොට්ට දමන බව මාසඅ අධ්‍යක්ෂ ජනරාල් පවසා ඇත. මුනසිංහ ඇතුලු මාසඅ සමිති නායකයන් තම සාමාජිකයන්ට වසන් කරන්නේ එම සත්‍යයයි.

හේතුව, වෘත්තීය සමිති නිලධරය මෙන් ම, ඔවුන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වී සිටින සමගි ජන බලවේගය, ජවිපෙ, ශ්‍රී ලනිප ඇතුලු 'විපක්ෂයේ' පක්ෂ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නොවීමයි. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ බරපතල අරගල වර්ධනය වීම කෙරෙහි ආන්ඩුව මෙන් ම 'විපක්ෂයේ' පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරය සැබවින් ම භීතිය ට පත්ව සිටිති.

මාසඅ හි සේවකයන් ඇතුලු කම්කරු පන්තියට තම රැකියා හා සමාජ අයිතීන් රැකගත හැක්කේ, වික්‍රමසිංහ-පොදු පෙරමුන තන්ත්‍රය පලවා හැර සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් වැදීමෙන් පමනි.

Loading