කැනන්ගේ “විවෘත ලිපියේ” පටන් වසර හැත්තෑවක්

ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්- 1953 නොවැම්බර් 16

ජේම්ස් පී. කැනන්

අදින් වසර හැත්තෑවකට පෙර, එනම් 1953 නොවැම්බර් 16දා, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) ලොව පුරා ට්‍රොට්ස්කිවාදීන්ට “විවෘත ලිපියක්” ප්‍රකාශයට පත් කළේය. එස්ඩබ්ලිව්පී ජාතික ලේකම් ජේම්ස් පී. කැනන් විසින් ලියන ලද ලිපිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීම සඳහා ක්‍රියාමාර්ගික පදනම සකස් කලේය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ එකල ඇමෙරිකානු ශාඛාව වූයේ, එස්ඩබ්ලිව්පීය යි.

පරදුවට තබා තිබුනේ, 1938දී ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය පදනම් වූ අත්‍යවශ්‍ය දේශපාලන මූලධර්ම ආරක්ෂා කිරීම සහ ස්වාධීන විප්ලවවාදී සංවිධානයක් ලෙස එහි පැවැත්ම යි.

හතරවන ජාත්‍යන්තරයේ එකල ලේකම්ව සිටි මයිකල් පැබ්ලෝ විසින් වර්ධනය කරන ලද පැබ්ලෝවාදය- එහි මූලික නායකයා සහ යෝජකයාවූයේ පැබ්ලෝ ය- ලෙස හඳුන්වන සංශෝධනවාදයේ සහ අවස්ථාවාදයේ ස්වරූපයකට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර කමිටුව පිහිටුවන ලදි.

අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදයයි: එනම්, සමාජවාදී විප්ලවය තුල නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්‍රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”

පැබ්ලෝවාදයේ මූලාරම්භය සහ වැදගත්කම සහ කැනන් ගේ 'විවෘත ලිපිය' සම්පූර්න ලිපිය පිලිබඳ විස්තීර්න සමාලෝචනයක් අප රක්නා උරුමය තුල අන්තර්ගත වේ.

***

ට්‍රොට්ස්කිවාදීන්ට,

හිතවත් සහෝදරවරුනි,

එක්සත් ජනපදයෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිහිටුවීමේ විසිපස් වන සංවත්සරයෙහි දී සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුවේ සම්මේලනය, ලොව පුරා සිටින සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් වෙත තමන්ගේ විප්ලවවාදී සමාජවාදී සුභපැතුම් එවයි.

ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් විසින් සම්මත කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නීති හේතුවෙන්, සමාජවාදී කම්කරු පක්ෂය තවදුරටත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ දෙවන ජාත්‍යන්තරය හා ස්ටැලින්වාදීන්ගේ තුන්වන ජාත්‍යන්තරය විසින් පාවා දෙන ලද ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයට නිල වසයෙන් සම්බන්ධ නො වුනත්, අපගේ දිවිපිදූ නායකයාගේ මග පෙන්වීම යටතේ නිර්මානය කල ලෝක-පරිමාන සංවිධානයේ අභිවෘධිය ගැන අපි උනන්දු වන්නෙමු.

විසිපස් වසරකට පෙර, පුරෝගාමී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන්, ක්‍රෙම්ලිනය විසින් යට ගසන ලද ට්‍රොට්ස්කිගේ ක‍්‍රියාමාර්ගය, ලෝක මහජන මතයේ අවධානයට පාත‍්‍ර කල බව සුප‍්‍රකට කරුනකි. මෙම ක‍්‍රියාව ස්ටැලින්වාදී නිලධරය විසින් ට්‍රොට්ස්කි මත පැටවුනු හුදකලාව බිඳීමේ දී හා හතරවන ජාත්‍යන්තරයට පදනම දැමීමෙහි දී තීරනාත්මක විය. ඉන් කෙටි කලකට පසුව තමන් පිටුවහල් කරනු ලැබීමත් සමග ට්‍රොට්ස්කි, සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වය සමග, තමන්ගේ මරනය සිදු වූ දිනය දක්වා ම පැවතුනු, සමීපස්ථ හා විශ්වාසවන්ත සහයෝගිතාවකට මුල පිරුවේ ය.

මෙම සහයෝගිතාවට, රටවල් ගනනාවක් තුල විප්ලවීය සමාජවාදී පක්ෂ සංවිධානය කිරීමට ගත් ඒකාබද්ධ ප‍්‍රයත්න ද ඇතුලත් විය. ඔබ දන්නා පරිදි එය කූටප‍්‍රාප්ත වූයේ 1938 දී හතරවන ජාත්‍යන්තරය දියත් කිරීමෙනි. සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් සමග සහයෝගීව, ට්‍රොට්ස්කි විසින් ලියා, ඔහුගේ ඉල්ලීම මත ආරම්භක සම්මේලනයේ දී සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අද්‍යතන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක‍්‍රියාමාර්ගයෙහි මුල්ගල ලෙස පවතින්නේ, සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය යි.

ට්‍රොට්ස්කි හා සමාජවාදී කම්කරු පක්ෂ නායකත්වය අතර සමීප හා පූර්න සහයෝගිතාව, බර්න්හැම් හා ෂැට්මන් විසින් නායකත්වය දෙන ලද සුලු ධනේශ්වර විපාර්ශවයට එරෙහිව සාධර්මික ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද අරගලයේ වාර්තාවෙන් විනිශ්චය කල හැකි ය. ගත වූ වසර 13 තුල හතරවන ජාත්‍යන්තරය හැඩගැන්වීම කෙරෙහි එම වාර්තාව ප‍්‍රගාඪ බලපෑමක් ඇති කොට තිබේ.

ස්ටැලින්ගේ රහස් පොලිසියේ ඒජන්තයකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව, ට්‍රොට්ස්කිගේ ඉගැන්වීම් ආරක්ෂා කිරීමේ හා ප‍්‍රචාරය කිරීමේ නායකත්වය සමාජවාදී කම්කරු පක්ෂය තමන් අතට ගත්තේ ය. අප නායකත්වය ගත්තේ කැමැත්ත හේතු කොට ගෙන නොව, අවශ්‍යතාව නිසා ය - දෙවන ලෝක යුද්ධය, බොහෝ රටවල, විශේෂයෙන් ම නාසින් යටතේ යුරෝපයෙහි, සාධර්මික ට්‍රොට්ස්කිවාදීන්ට රහසිගතව කටයුතු කිරීමට බල කලේ ය. දුෂ්කර යුද්ධ කාලය මුලුල්ලේ, අපි, ලතින් ඇමරිකාවෙහි, කැනඩාවෙහි, එංගලන්තයෙහි, ලංකාවෙහි, ඉන්දියාවෙහි, ඕස්ටේ‍්‍රලියාවෙහි, හා වෙනත් තැන්වල ට්‍රොට්ස්කිවාදීන් සමග සාධර්මික ට්‍රොට්ස්කිවාදයේ ධජය ඔසවා තැබුමට අපට හැකි දේ කලෙමු.

හතරවන ජාත්‍යන්තරය සංවිධානාත්මකව යලි ව්‍යවස්ථා ගත කිරීමට උර දුන් ට්‍රොට්ස්කිවාදීන් යුද්ධය අවසන් වීමත් සමග ම යුරෝපය තුල රහසිගතව කටයුතු කිරීමේ තත්වයෙන් ඉස්මත්තට එනු දුටු අපි ඉමහත් සතුටට පත් වීමු. ප‍්‍රතිගාමී නීති මගින් හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධ වීමෙන් අප වලක්වනු ලැබුනු හෙයින්, අප ලෝක ව්‍යාපාරයට ට්‍රොට්ස්කි විසින් දායාද කෙරුනු මහා සම්ප‍්‍රදාය දිගට ම පවත්වා ගෙන යාමෙහි සමත් නායකත්වයක ඉස්මතු වීම කෙරෙහි අපි වඩාත් ම අපේක්ෂා රැඳවීමු. යුරෝපය තුල හතරවන ජාත්‍යන්තරයේ තරුන අලුත් නායකත්වයට පූර්න විශ්වාසය හා සහයෝගය පුද කල යුතු යයි අපි සිතුවෙමු. සහෝදරවරුන් තමන් ම ගත් ආරම්භකත්වයෙන් බැරෑරුම් වැරදි පිලිබඳ ස්වයං-නිරවද්‍ය වීම් ඇති කර ගැනෙන විට අප ගත් මාවත යුක්ති සහගත කෙරෙන බව අපට හැඟී ගියේ ය.

කෙසේවෙතත්, අප, අනෙක් අයත් කැටුව, මෙම නායකත්වයට, තියුනු විවේචන නොකිරීමෙන් ලබා දුන් නිදහස ම ට්‍රොට්ස්කිවාදයේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ගය අත්හල, පරිපාලනයෙන් තොර, රහසිගත, පුද්ගලික කන්ඩායමකට හතරවන ජාත්‍යන්තරයේ පරිපාලනය පිලිබඳ ක්ෂේත‍්‍රයෙහි තහවුරු වීමට දොර විවර කිරීමට ආධාරක වූ වග අප දැන් පිලිගත යුතු ය.

පැබ්ලෝ වටා සංකේන්ද්‍රනය වූ මෙම කන්ඩායම දැන් දැනුවත්ව හිතාමතා ම ක‍්‍රියා කරනුයේ, විවිධ රටවල පවතින ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ව නිර්මිත කේඩරයන් කඩාකප්පල් කොට, භේද භින්න කොට, විසුරුවා හැර, හතරවන ජාත්‍යන්තරය දිය කර හැරීමට ය.

ට්‍රොට්ස්කිවාදයේ ක‍්‍රියාමාර්ගය

මෙහි දී අභියෝගයට ලක් ව ඇත්තේ කුමක් දැයි නිශ්චිතව ගෙන හැර දක්වනු වස්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැංවීමට පදනම් වූ මූලධර්ම යලි ප‍්‍රකාශ කරමු:

1. ධනේශ්වර ක‍්‍රමයේ මර ලතෝනිය, එන්ට එන්ට ම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට්වාදය බඳු ම්ලේච්ඡ ප‍්‍රපංච මගින් ශිෂ්ටාචාරය විනාශ වී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අනතුර අවධාරනය කරයි.

2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම් ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරීමෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප‍්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.

3. මෙය සාක්ෂ්‍යාත් කර ගත හැකි වනුයේ, සමාජයෙහි විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම්, අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.

4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරා ගනු වස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටක ම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විප්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැංවිය යුතු ය: එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන ප්‍රහාරක පක්ෂයකි—එනම්, තීන්දුවලට එලඹීමෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමෙහි මධ්‍යගත භාවයත්. අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවෙහි ද විනය ගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක් සහිත පක්ෂයකි.

5. මෙයට පවත්නා ප‍්‍රධාන බාධකය ස්ටැලින්වාදය යි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි කීර්තිය ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගන්නේ, හුදෙක් පසු ව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට, ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක‍්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලුත් යුද පිපිරුම්වල රූපාකාරයෙන් කම්කරු පන්තිය, මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එහි ආරම්භයේ පටන් ම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත් කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුලත්, ඉන් බැහැරත් ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීම යි.

6. හතරවන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක‍්‍රියා මාර්ගයට හිතපක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී, අධිරාජ්‍යවාදයටත් (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු) එහි සියලුම සුලුධනපති ආයතනවලටත්, අනෙක් අතට අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග‍්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ සුලුධනේශ්වර ඒජන්සියක් වන) ස්ටැලින්වාදයටත්, විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත් ම අනිවාර්ය භාවයට පත් කෙරේ.

ලියොන් ට්‍රොට්ස්කි විසින් තහවුරු කෙරුනු මෙම මූලික මූලධර්ම වර්තමාන ලෝකයෙහි එන්ට එන්ට ම වඩවඩා සංකීර්න හා ද්‍රවශීලී වන දේශපාලනය තුල පූර්න වලංගුභාවය රඳවා ගෙන සිටී. සත්තකින් ම, ට්‍රොට්ස්කි විසින් පෙර දකිනු ලැබුනු පරිදි සෑම අතින් ම විවෘත වන විප්ලවීය අවස්ථා එක්තරා කාලයක් සමකාලීන ජීවමාන යථාර්ථය හා සමීපස්ථ වසයෙන් නො බැඳුනු එක්තරා දුරකට දුරස්ථ, වියුක්තයක් සේ පෙනී යාමට අවකාශ පැවති දේවලට, පූර්න සංයුක්ත භාවයක් අත්පත් කර දී ඇත්තේ දැන් ය. සත්‍යය නම්, මෙම මූලධර්ම, දේශපාලන විශ්ලේෂනයෙහි හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයෙහි ගමන් මග නීර්නය කිරීමෙහි දැන් වැඩෙන බලයකින් යුතු ව පිහිටා සිටීම යි.

පැබ්ලෝගේ සංශෝධනවාදය

මෙම මූලධර්ම පැබ්ලෝ විසින් අත්හැර දමනු ලැබ ඇත. නව ම්ලේච්ඡත්වයක අනතුර අවධාරනය කරනු වෙනුවට, ඔහු, සමාජවාදය දිශාවට ඇති තල්ලුව “ආපසු නොහැරවිය හැක්කක් සේ” දකී; එසේ වූවත් ඔහු, අපගේ පරම්පරාවෙහි දී හෝ එලඹෙන පරම්පරා කිහිපයක දී හෝ සමාජවාදය සම්ප‍්‍රාප්ත වන බවක් ද නොදකී. ඒ වෙනුවට, ඔහු “විකෘති” එනම් ශතවර්ෂ ගනනාවක් පවතින, ස්ටැලින් වර්ගයේ කම්කරු රාජ්‍යවලට විනා අනෙකකට සම්භවය නොසපයන “ගලා බස්නා” විප්ලව රැල්ලක් පිලිබඳ සංකල්පය ඉදිරිපත් කොට ඇත.

මෙය කම්කරු පන්තියේ ශක්තීන් පිලිබඳ පරිපූර්න අසාර දැක්ම අනාවරනය කරයි; එය ස්වාධීන විප්ලවීය සමාජවාදී පක්ෂ ගොඩනැංවීමේ අරගලය සම්බන්ධයෙන් ඔහු මෑත දී කල සරදම් හා සපුරා ගැලපෙන්නේ ය. සියලුම උපායාත්මක ක‍්‍රම මගින් ස්වාධීන විප්ලවීය සමාජවාදී පක්ෂ ගොඩනැංවීමේ ප‍්‍රධාන මාවතට බැඳී සිටිනු වෙනුවට, ට්‍රොට්ස්කිවාදයේ “අදහස්” හා “ක‍්‍රියාමාර්ගය” පිලිගැනීමට හැකි වන පරිදි මහජන පීඩනය යටතේ ස්ටැලින්වාදී නිලධරය නැතහොත් එහි තීරනාත්මක කොටසක් වෙනස් වනු ඇතැයි කියමින් ඔහු ඒ වෙත බලාපොරොත්තු රඳවයි. ප‍්‍රන්සය බඳු රටවල ස්ටැලින්වාදයේ කඳවුරෙහි කම්කරුවන් වෙත එලඹීමට ඕනෑ වන උපායාත්යමක උපාමාරුවල දී අවශ්‍ය වන නම්‍යභාවයෙහි ආවරනය යටතේ, ඔහු දැන් ස්ටැලින්වාදයේ පාවාදීම් ආවරනය කරයි.

මෙම මාවත, දැනට මත්, ට්‍රොට්ස්කිවාදයේ සේනාංක කෙරෙන් ස්ටැලින්වාදයේ කඳවුරට පලායාම් උද්ගත කර ඇත. මෙය බැරෑරුම් කොට තැකිය යුතු ය. ලංකාවේ පක්ෂය තුල ඇති වූ ස්ටැලින්වාදයට නැඹුරු භේදය, පැබ්ලෝවාදය විසින් ස්ටැලින්වාදය පිලිබඳව වගා දිගා කෙරෙන මිථ්‍යාවන්හි ඛේදජනක ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සියලු තන්හි සිටින ට්‍රොට්ස්කිවාදීන්ට අනතුරු ඇඟවීමක් කරයි.

වෙනත් ලියවිල්ලක් තුල අපි, පැබ්ලෝගේ සංශෝධනවාදය පිලිබඳ සවිස්තර විශ්ලේෂනයක් ඉදිරිපත් කරන්නෙමු. එම ලිපිය තුල අපි, තීරනාත්මක ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ දී, ස්ටැලින්වාදය කෙරෙහි සමාදාන ආකල්පයක් ගැනීම කරා පැබ්ලෝවාදය කොතෙක් දුර ගොස් ඇද්ද යන්න හා එය හතරවන ජාත්‍යන්තරයේ පැවැත්මට කොතරම් අන්තරාදායක ද යන්න පෙන්වන මෑත පරීක්ෂන කිහිපයකට සීමා වන්නෙමු.

ස්ටැලින්ගේ මරනයත් සමග ම, ක්‍රෙම්ලිනය, ස්වරූපයෙන් දේශපාලනික නොවූ සහන මාලාවක් ම සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල ප‍්‍රකාශයට පත් කලේ ය. මේවා, බලය කොල්ලකා ගත් නිලධරය, තවදුරටත් බලසම්පන්න වීමේ අරමුනින් ක‍්‍රියාත්මක කරන උපාමාරුවක කොටසක් හා නායක නිලධරයෙකුට ස්ටැලින්ගේ අක්තපත‍්‍ර අත්පත් කර ගැනුමේ සූදානමෙහි කොටසක් ද විනා අන් කිසිවක් නොවන්නේ යයි පෙන්වා දෙනු වෙනුවට, පැබ්ලෝවාදී කන්ඩායම, මෙකී සහන වලංගු කාසි හැටියට රැගෙන, දේශපාලනික සහන හැටියට පින්තාරු කොට, ස්ටැලින්වාදී නිලධරයට කම්කරුවන් හා “බලය බෙදා හදා ගැනුමෙහි” හැකියාවක් ද ප‍්‍රක්ෂේපනය කලේ ය. FourthInternational ෆෝත් ඉන්ටර්නැෂනල්, (ජනවාරි-පෙබරවාරි, 1953), පි. 13]

පැබ්ලෝ ලබ්ධියෙහි අග‍්‍ර පූජකයෙකු වූ ක්ලාක්, කිසිම ගරුසරුවකින් තොර ව ප‍්‍රචාරය කල, “බලය බෙදා හදා ගැනුම” පිලිබඳ සංකල්පය, පිලිතුරු නොසැපයුනු එහෙත් පැහැදිලිව ම ප‍්‍රමුඛත්වය දැරූ ප‍්‍රශ්නයක ලා පැබ්ලෝ විසින් ම ධර්ම පාඨයක් හැටියට වක‍්‍ර ලෙස සම්මත කරනු ලැබුනි: පැබ්ලෝ, මෙසේ ප‍්‍රශ්න කරයි - ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රය දිය කර හැරීම, “ආපසු හැරීමට නොවේ නම් පවතින තත්වය රැක ගැනීමට සටන් වදින කොටස් හා මහජනතාවගේ බලගතු පීඩනයෙන් ආකර්ෂනය කරනු ලැබෙන එන්ටඑන්ට ම සංඛ්‍යාත්මක ව වැඩි වන කොටස් අතර ප‍්‍රචන්ඩ අන්තර්-නිලධාරී තාන්ත‍්‍රික අරගලවල ස්වරූපය ගනී ද?” FourthInternational ෆෝත් ඉන්ටර්නැෂනල්, (මාර්තු-අපේ‍්‍රල්, 1953), පි. 39]

මෙම චින්තන ක‍්‍රමය, ක්‍රෙම්ලින් නිලධරයට විරුද්ධ දේශපාලනික විප්ලවය පිලිබඳ සාධර්මික ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය, නව අන්තර්ගතයකින් පුරවාලයි; එනම්, ට්‍රොට්ස්කිවාදයේ “අදහස්” හා “ක‍්‍රියාමාර්ගය” නිලධරයට නැතහොත් එහි තීරනාත්මක කොටසක් තුලට පෙරී ගොස්, ව්‍යාප්ත ව, ඒ අයුරින් පෙර නොදක්නා ලද ආකාරයකට ස්ටැලින්වාදය “පෙරලා දමනු ලැබේ ය” යන සංශෝධනවාදී ආස්ථානය යි.

ජුනි මාසය තුල නැගෙනහිර ජර්මනියේ කම්කරුවෝ ජර්මානු ඉතිහාසයෙහි ඇති වූ දැවැන්ත ම පෙලපාලියකින් ස්ටැලින්වාදී ආධිපත්‍යයෙන් යුත් ආන්ඩුවට විරුද්ධව නැගී සිටියහ. මෙය ස්ටැලින්වාදය සෝවියට් සමූහාන්ඩුව තුල බලය කොල්ලකා තහවුරු වීමෙන් පසු ව, එයට විරුද්ධ ව උද්ගත වූ ප‍්‍රථම කම්කරු පන්තික මහජන නැගිටීම යි. පැබ්ලෝ මෙම යුගකාරක සිදුවීමට ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?

කැරලිකාර නැගෙනහිර ජර්මානු කම්කරුවන්ගේ විප්ලවීය දේශපාලනික අවශ්‍යතාවන්ට පැහැදිලි ප‍්‍රකාශනයක් දෙනු වෙනුවට, නැගිටීම මර්දනය කරනු වස් සෝවියට් සේනාංක බලමුලු ගැන් වූ ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී ප‍්‍රාදේශික බලකාරයන්ට පැබ්ලෝ ආවරනය සැපයීය. (“...සෝවියට් නායකයන්ට, විවිධාකාර වූ ‘ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්’හි හා කොමියුනිස්ට් පක්ෂවල නායකයන්ට, තවදුරටත් මෙම සිදුවීම්වල ගැඹුරු අර්ථය මුසාකරනය කිරීමට හෝ නොතකා හැරීමට නුපුලුවන් විය. මහජනතාවගේ සහයෝයෙන් තමන් සදහට ම පරත්වාරෝපනය වීමේ අනතුර වැලැක්වීමට හා වඩාත් බලසම්පන්න පිපිරීම් ප‍්‍රකෝප කරවීමෙන් වැලකීම පිනිස වඩාත් විශාල වූ ද නිර්ව්‍යාජ වූ ද සහන සැලසීමේ මාවත දිගේ ම පෙරට යාමට නිලධරයට සිදු වී ඇත. මෙතැන් සිට ඔවුන්ට භාග දුරක් ගොස් නතර වීමට නුපුලුවන් වනු ඇත. ආසන්න අනාගතයෙහි වඩාත් බැරෑරුම් පිපිරීම් ඇති වීම වැලැක්වීම සඳහාත් හැකිනම්, වර්තමාන තත්වයෙන් මහජනයාට වඩා ඉවසා දරා සිටිය හැකි තත්වයකට මාරු වීමක්, ‘ඇල්මැරුනු ආකාරයකින්’ ලබා දීම සඳහාත් සහන බෙදා හැරීමට ඔවුන්ට බල කෙරෙනු ඇත.”) (හතරවන ජාත්‍යන්තරයේ [ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ] ප‍්‍රකාශය. ජූලි 6 දාTheMilitant( ද මිලිටන්ට් පුවත්පතෙහි ප‍්‍රසිද්ධ කෙරුනි.)

සෝවියට් සේනාංක - ස්ටැලින්වාදී ආන්ඩුවට පිටුබලය සැපයූ එක ම බලවේගය- ඉවත් කර ගත යුතු යයි උද්ඝෝෂනය කරනු වෙනුවට, පැබ්ලෝ, “වඩාත් විශාල වූත් නිර්ව්‍යාජ වූත් සහන” ක්‍රෙම්ලිනයේ ප‍්‍රධානීන්ගෙන් ලැබෙනු ඇතැයි යන මිථ්‍යාව වගා දිගා කලේ ය. කැරලි ගසන කම්කරුවන් “ෆැසිස්ට්වාදීන්” හා “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒජන්තයන්” ලෙස හංවඩු ගසමින්, ඔවුන්ට විරුද්ධ ව ම්ලේච්ඡ මර්දන රැල්ලක් දියත් කරමින්, මෙම සිදුවීම්වල ගැඹුරු අර්ථය දැවැන්ත ලෙද මුසාකරනය කිරීමට පෙරට යන මොස්කෝවට මීටත් වඩා හොඳ ආධාරෝපකාරයක් අපේක්ෂා කල හැකි ද?

...

කල යුත්තේ කුමක් ද

හකුලුවා දක්වතොත්: පැබ්ලෝගේ සංශෝධනවාදය හා සාධර්මික ට්‍රොට්ස්කිවාදය අතර බෙදුම් කඩන කොතරම් ගැඹුරු දැයි කිවහොත්, දේශපාලනික ව හෝ සංවිධානාත්මක ව හෝ කිසිදු සම්මුතියක් ඇති කර ගැනුමට පුලූවන් කමක් නැත. සැබවින් ම බහුතර මතය පිලිබිඹු කරන ප‍්‍රජාතාන්ත‍්‍රික තීන්දුවලට එලඹීමට අවසර නො දෙන බව පැබ්ලෝ කන්ඩායම පෙන්නුම් කර ඇත. ඔවුන්ගේ සාපරාධී පිලිවෙතට පූර්න යටත් වීමක් ඔවුහු ඉල්ලා සිටිත්. සියලුම සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරයෙන් එලවා දැමීමට හෝ ඔවුන්ට මුකවාඩම් බැඳීමට හා මාංචු දැමීමට ඔවුහු අදිටන් කරගෙන සිටිත්.

ඔවුන්ගේ උපක‍්‍රමය වූයේ, ඔවුන් තුල ස්ටැලින්වාදය කෙරෙහි වූ මිත‍්‍රශීලීත්වය ටිකෙන් ටික එන්නත් කිරීම හා එසේ ම සිදු වන දෙය දැක එයට විරෝධය පාන්නට පැමිනෙන්නන්ගෙන් ටිකෙන් ටික නිදහස් වී ගැනීම ය. පැබ්ලෝවාදී සූත‍්‍ර හා උපායික මගහැරීම් බොහොමයක අපූරු දෙබිඩි ලක්ෂන පැහැදිලි කල හැකි වනුයේ එපරිද්දෙනි.

පැබ්ලෝ කල්ලිය, මෙම මූලධර්ම විරහිත හා මැකියාවෙලියානු උපාමාරු දැමීම්වලින් මේ දක්වා කිසියම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත. එහෙත් වෙනස් වීමේ ගුනාත්මක ලක්ෂය එලඹී ඇත. දේශපාලනික ප‍්‍රශ්න උපාමාරු පුපුරාගෙන ඉස්මතු වී ඇති අතර, මෙතැන් පටන් සටන එලිමහනෙහි කෙරෙනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ අනුගාමිකත්වයෙන් බැහැර ව සිටීමට අපට බලකෙරී ඇති තත්වයක, එවන් බාහිර ආස්ථානයක සිටිමින් හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවලට උපදෙසක් දීමට අපට හැකි නම්, ක‍්‍රියා කිරීමට, තීරනාත්මකව ක‍්‍රියා කිරීමට, කාලය එලඹ ඇතැයි අප සිතන බව අපි පවසමු. පැබ්ලෝ විසින් අධිකාරය පැහැර ගනු ලැබීමට විරුද්ධ ව, හතරවන ජාත්‍යන්තරයේ සාධර්මික ට්‍රොට්ස්කිවාදී බහුතරයට තමන්ගේ අධිෂ්ඨානය තහවුරු කිරීමට කාලය එලඹ තිබේ.

ඊට අතිරේකව ඔවුන් පැබ්ලෝ හා ඔහුගේ ඒජන්තයන් තනතුරුවලින් ඉවත් කොට, සාධර්මික ට්‍රොට්ස්කිවාදය ඔසවා තබමින් දේශපාලනික හා සංවිධානාත්මක වසයෙන් නිරවද්‍ය මාවතක ව්‍යාපාරය තබා ගැනුමට තමන් දන්නා බව භාවිතයෙහි දී ඔප්පු කල කේඩර මගින්, එම තනතුරු පුරවාලිය යුතු ය.

සහෝදරාත්මක ට්‍රොට්ස්කිවාදී සුභ පැතුම් සමග,

සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුව

Loading