සසප (ශ්‍රී ලංකාව) සිය ජනාධිපතිවරන උද්ඝෝෂනය නිම කරමින් බලගතු රැස්වීමක් පවත්වයි

[මෙය 2024 සැප්තැම්බර් 20 වැනි දින SEP (Sri Lanka) holds powerful meeting to conclude its presidential election campaign මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), තම පක්ෂයේ ජනාධිපති මැතිවරන උද්ඝෝෂනය නිම කරමින්, පසුගිය බදාදා, කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී මනා සහභාගිත්වයක් සහිත රැස්වීමක් පැවැත් වූ හ. මැතිවරනය සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

2024 සැප්තැම්බර් 18 වැනි දින සසප (ශ්‍රී ලංකා) කොලඹ රැස්වීමට සහභාගි වූ ප්‍රේක්ෂකයන්ගෙන් කොටසක් (ඡායාරුප ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

අගෝස්තු 16දා එම ස්ථානයේ දී ම ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සිය උද්ඝෝෂනය දියත් කිරීමෙන් පසුව, සසප තම පක්ෂයේ විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය පිලිබඳ දේශපාලන සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල රැස්වීම් දුසිමක් පැවැත්වීය. සසප සාමාජිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ කන්ඩායම් දිවයින පුරා විවිධ නගරවල සහ පලාත්වල කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් අතර උද්ඝෝෂනයක නිරත වෙමින් පක්ෂයේ මැතිවරන ප්‍රකාශයේ සිංහල සහ දෙමල භාෂාවන්ගෙන් මුද්‍රිත පිටපත් දහස් ගනනක් බෙදා හරින ලදී.

බදාදා පැවති ප්‍රසිද්ධ රැස්වීමේ ප්‍රධාන අංගයක් වූයේ සසප (එක්සත් ජනපද) ජනාධිපති අපේක්ෂක ජෝ කිෂෝර් විසින් අන්තර්ජාල සබැඳියක් හරහා කල කතාවකි. ශ්‍රාවකයන් ට ඔහුගේ කතාවේ සිංහල හා දෙමල භාෂා පරිවර්තන ලබා දෙන ලදී. කිෂෝර්ගේ කථාවෙන් පසු සසප ජනාධිපති අපේක්ෂක රැස්වීම ඇමතීය. පක්ෂ සාමාජිකයින්, ආධාරකරුවන් සහ උද්ඝෝෂනය අතරතුර දිවයින පුරා හමු වූ සම්බන්ධතා ඇතුලු 100 කට අධික පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූ අතර, එය සසප ෆේස්බුක් පිටුව හරහා ද සජීවීව විකාශය විය.

රැස්වීමේ මුලසුන දැරූ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ශ්‍රාවකයන් ට මෙසේ පැවසීය: “මෙම සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් කවුරුන් ජයග්‍රහනය කලත් ඔවුන්ගේ විවිධ පොරොන්දු කුනු කූඩයට දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද දරුනු කප්පාදු වැඩපිලිවෙල කුරිරු ලෙස ක්‍රියාත්මක කරන බවට සසප පැහැදිලිවම කම්කරු පන්තියට, තරුනයින්ට සහ ගම්බද දුගීන්ට අනතුරු අඟවයි. මෙය කම්කරුවන්ගෙන් හා පීඩිතයන්ගෙන් අතිමහත් බහුතරයක් දුක්ඛිත දරිද්‍රතාවයට තල්ලු කරනු ඇත.'

අධිරාජ්‍යවාදී යුද්ධයට, ධනේශ්වර පාලක පන්තියේ දුෂ්ට කප්පාදු වැඩපිලිවෙල ට සහ ආඥාදායක පාලන රුපාකාරයන් සඳහා එහි සුදානම ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක සහ ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය පැහැදිලි කිරීම සසප උද්ඝෝෂන ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව බව ජයසේකර පැවසිය.

“අනෙක් සියලුම පක්ෂ සහ අපේක්ෂකයින්ට ප්‍රතිකූලව අපගේ පක්ෂය පමනක් ම සත්‍යය ප්‍රකාශ කරයි: කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න - ගැඹුරු වන දරිද්‍රතාවය, විරැකියාව සහ අනෙකුත් සමාජ ගැටලු - ජාතික පදනමක් මත හෝ මෙම ධනේශ්වර ලාභ පද්ධතිය තුල විසඳිය නොහැකි යි. විප්ලවවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා අරගලයක් තුලින් ගෝලීය පරිමානයෙන් ධනේශ්වර පාලනය පෙරලා දමා කම්කරු පන්තිය බලයට ගෙන ඒම එකම විසඳුම” බව ජයසේකර සඳහන් කලේ ය. .

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් රැස්වීම අමතමින් මැතිවරනය තුල ව්‍යාජ වමේ ප්‍රතිගාමී භූමිකාව පැහැදිලි කලේය: පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “ඇත්ත වශයෙන්ම කප්පාදුව සහ ආඥාදායකත්වය පාලක පන්තියේ න්‍යාය පත්‍රය තුල පවතිද්දී මෙම පක්ෂ දෙකම ප්‍රවර්ධනය කරන්නේ ධනේශ්වර ක්‍රමය තුල ප්‍රතිසංස්කරන සිදු කල හැකිය යන ප්‍රෝඩාව යි. භාවිතයේ දී ඔවුහු සමාජවාදය සඳහා සටන ප්‍රතික්ෂේප කරමින්, එය ඈත අනාගතයකට පවරති.”

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් කොලඹ රැස්වීම අමතමින්

රුසියාවට එරෙහි යුක්‍රේනයේ, එජ-නේටෝ යුද්ධය, ගාසා තීරයේ පලස්තීනුවන් ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරය සහ චීනයට එරෙහි ව්‍යසනකාරී ගැටුමක් සඳහා වොෂින්ටනයේ සූදානම ඇතුලු තුන්වන ලෝක යුද්ධයක වැඩෙන අන්තරාය ගැන පීරිස් පැහැදිලි කලාය. අවසානයේ දී, ඔවුන්ගේ බංකොලොත් ජාතිකවාදී සහ යුද ගැති වැඩපිලිවෙලවල් වලට අනුකූලව, අනෙකුත් සෑම පක්ෂයක්ම මිලිටරි තර්ජනය පිලිබඳ සාකච්ඡාව යටපත් කරන බව ඇය සඳහන් කලා ය.

සසජාතශි සහ සසප දේශපාලන කමිටු සාමාජික සකුන්ත හිරිමුතුගොඩ ජාමූඅ විධානයන් යටතේ නිදහස් අධ්‍යාපනයට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර ගැන කථා කලේය. සියලුම ධනේශ්වර පක්ෂ විසින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති අධ්‍යාපනය පුද්ගලීකරනය යුක්තිසහගත කරන බවත් එමගින් එම මූලික සමාජ අයිතියට මහජනතාවගේ ප්‍රවේශය තවදුරටත් සීමා කරන බවත් ඔහු පැවසීය,

සසජාතශි සහ සසප දේශපාලන කමිටු සාමාජික සකුන්ත හිරිමුතුගොඩ 2024 සැප්තැම්බර් 18 සසප ජනාධිපති මැතිවරන ප්‍රචාරක රැස්වීම අමතමින්

පසුගිය සතියේ විරෝධතාවයේ නිරත වූ සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන සඳහන් කල හිරිමුතුගොඩ කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සහ අරගලවලට ඊලඟට බලය ට පත්වන ආන්ඩුව ප්‍රතිචාර දක්වන ආකාරය මෙම පහරදීම්වලින් පැහැදිලි වන බවට අනතුරු ඇඟවී ය. 'නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පන්තිය වටා පෙල ගැසී සමාජවාදය සඳහා සටන් කල යුතුයි' ඔහු පැවසීය.

අන්තර්ජාල සබැදිය හරහා කතා කල සසප (එක්සත් ජනපදය) ජනාධිපති අපේක්ෂක ජෝ කිෂෝර් තීව්‍ර වන ගෝලීය යුද්ධයේ තර්ජනය ගැන සඳහන් කරමින් ඔහුගේ කථාව ආරම්භ කලේ, ය. 'පංති අරගලයේ මතුවීම අප මුහුන දෙන සියලු ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය පදනම යි. අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවීම සහ තුන්වන ලෝක යුද්ධය කරා යන උමතු තල්ලුව නැවැත්වීම සඳහා පදනම එයයි. අන්ත දක්ෂිනාංශයට වල කැපීමට සහ එහි ෆැසිස්ට් වාචාලකම හෙලිදරව් කල හැකි එකම මාර්ගය එයයි. සමස්ත සමාජ හා ආර්ථික ජීවිතය මත කතිපයාධිකාරීන්ගේ ආධිපත්‍යය ට අභිමුඛ කල හැකි හා පෙරලා දැමිමෙහි ලා අවශ්‍ය මාධ්‍යය එයයි.”

එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක සහ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර්

කිෂෝර් එක්සත් ජනපදයේ නවතම දේශපාලන වර්ධනයන් ගැන සඳහන් කලේ ය: “ඇමරිකාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය එහි අවසානය කරා ලඟා වී ඇත. පාලක පන්තියේ ප්‍රධාන පක්ෂයක් වන රිපබ්ලිකන් පක්ෂය, වසර හතරකට අඩු කාලයකට පෙර ජනාධිපති මැතිවරන ප්‍රතිඵලය සහ සමස්ත ව්‍යවස්ථාපිත පර්යාය පෙරලා දැමීමේ අරමුන සහිත කුමන්ත්‍රනයක් උසිගැන්වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් වඩ වඩා ෆැසිස්ට් ස්වභාවයක් අත්පත් කරගෙන තිබේ.”

“කම්කරු පන්තිය තුල දැවැන්ත අතෘප්තියක් පවතී. ශ්‍රී ලංකාවේ සහ සෑම රටකම කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න වලටම මෙහි කම්කරුවන් ද මුහුන දී සිටියි. සියලුම දියුනු ධනේශ්වර රටවල් අතුරින් වඩාත්ම සමාජීය වශයෙන් අසමාන රට එක්සත් ජනපදයයි. සෑම දෙයක්ම ධනේශ්වර කතිපයාධිකාරයේ අවශ්‍යතාවලට යටත් කර ඇත. මිනිසුන්ට ජීවත් වීමට හැකියාවක් නොමැත. සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටෙමින් තිබේ. අධ්‍යාපන ක්‍රමය අවුල් වී ඇත. සංගත විශාල දොට්ට දැමීම් රැල්ලක නියැලී සිටිති”.

“කෙසේ වෙතත් පන්ති අරගලයේ වර්ධනය සියල්ලටම වඩා රඳා පවතින්නේ දේශපාලන නායකත්වයක්, සමාජවාදී හා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම මත යි. වෙනත් මාර්ගයක් නැත. කෙටිමං හෝ පහසු පිලිතුරු නොමැත”. කිෂෝර් අවධාරනය කලේ ය.

අවසන් කතාව කල විජේසිරිවර්ධන ශ්‍රී ලංකාවේ ධනේශ්වර අර්බුදයට එකම හේතුව වංචාව සහ දූෂනය බවට ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ ප්‍රකාශයන් තුල කරන අවධාරනය ප්‍රතික්ෂේප කලේ ය.

“සෑම රටකම පාලක පන්තිය කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා ඒකාධිපති පාලන රූප කරා ගමන් කරමින් සිටී. යුද්ධය, කප්පාදුව සහ ආඥාදායකත්වය ගලා එන්නේ එකම මූලයකින් වන අතර එම මූලය ගෝලීය ධනේශ්වර පද්ධතියේ ගැඹුරුම අර්බුදයයි.

“මෙම බිඳවැටීම 2008 මූල්‍ය කඩාවැටීම මගින් ප්‍රකාශයට පත් වූ අතර, එය කෝවිඩ්-19 වසංගතය සහ අධිරාජ්‍යවාදීන් විසින් දියත් කරනු ලැබ ඇති පෙරමුනු දෙකක යුද්ධය මගින් උත්සන්න වී තිබේ. ශ්‍රී ලංකාවේ අර්බුදය මෙම ගෝලීය අර්බුදයේ තියුනු ම ප්‍රකාශනයන්ගෙන් එකකි”. ඔහු පැවසීය.

සසප (ශ්‍රී ලංකා) ජනාධිපති අපේක්ෂක පානි 2024 සැප්තැම්බර් 18 කොලඹ පැවති පක්ෂයේ අවසන් මැතිවරන ප්‍රචාරක රැස්වීමේදී කථා කරමින්

ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී සිටින සියලු ධනේශ්වර තරඟකරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දරුනු කප්පාදු වැඩපිලිවෙල ප්‍රවර්ධනය කරන බව විජේසිරිවර්ධන පැහැදිලි කලේය. කඳුරට වතුකරයේ දිස්ත්‍රික්ක පදනම් කරගත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වතු කම්කරුවන් සුවිශේෂී ප්‍රජාවක් බව පවසමින් දිවයින පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගෙන් දෙමල කථා කරන වතු කම්කරුවන් බෙදීමට දරන උත්සාහය ද ඔහු හෙලා දුටුවේය. විජේසිරිවර්ධන ධනේශ්වරයේ වර්ගවාදයට එරෙහිව සසප අධිෂ්ඨානශීලී සටන සහ සමාජවාදී ප්‍රතිපත්ති මත කම්කරු පන්තියේ එකමුතුකම සඳහා පක්ෂයේ ප්‍රතිපත්තිමය අරගලය පැහැදිලි කලේ ය.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කෙටි කාලීන මූලෝපාය සහ ධනේශ්වරය හා පාර්ලිමේන්තුව වෙත එහි දිශානතිය ගැන කථිකයා සඳහන් කලේ ය: “ඔවුන් සමාජවාදය දිගුකාලීන වැඩපිලිවෙලක් ලෙස ඉදිරිපත් කර එය ඈත අනාගතයට තල්ලු කරයි. එනම් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට ඔවුන් කිසිවිටෙක කම්කරු පන්තිය සූදානම් නොකරනු ඇති බවයි. මෙය සෝවියට් ස්ටැලින්වාදීන් විසින් මුලින් වර්ධනය කරන ලද අවධි දෙකේ විප්ලව න්‍යායයි. ඊට ප්‍රතිකූලව, සසප සටන් කරන්නේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සහ ධනේශ්වර පාලනය පෙරලා දැමීමෙන් එය බලයට ගෙන ඒමට යි. සමාජවාදය සඳහා මාවත එයයි'.

විජේසිරිවර්ධන කම්කරු හා ගම්බද දුගීන්ගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සසප උද්ඝෝෂනය ගෙනහැර දැක්වීය. සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, කර්මාන්තශාලා, සේවා ස්ථාන, අසල්වැසි ප්‍රදේශවල, වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල කම්කරු පාලිත ක්‍රියාකාරී කමිටු නියෝජිතයින්ගෙන් එය සමන්විත වනු ඇත. එවන් සම්මේලනයක අරමුන වන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කොන්දේසි නිර්මානය කිරීමයි.

Loading