නුවරඑලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුද්ගලික අංශයට පැවරීමට එරෙහිව තැපැල් සේවකයෝ දෙදින වර්ජනයක යෙදෙති

නුවරඑලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා පෞද්ගලික අංශය ට විකිනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීන්දුවට එරෙහිව තැපැල් සේවකයෝ නොවැම්බර් 8 සහ 9 දෙදින සංකේත වර්ජනයක නිරත වූ අතර 9 වෙනිදා නුවරඑලිය නගරයේ දී විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වූහ.

වර්ජනය බිඳීම සඳහා ජනාධිපති සහ තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීහු උත්සාහ කලහ. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති වික්‍රමසිංහ විසින් 8 වෙනිදා නිකුත් කල අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශය ට පත් කරනු ලැබූ අතර එදිනම තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත්කුමාර විසින් 8, 9,සහ 10 තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරුනි.

එහෙත් එම නියෝග නොතකා 27,000 ආසන්න වූ සමස්ත තැපැල් සේවකයෝ වර්ජනය ට සහභාගී වුහ. වර්ජනය හේතුවෙන් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410 වසා දැමුනු අතර තැපැල් සේවාව මුලුමනින් ම ඇනහිටියේ ය. ජනාධිපතිගේ තීරනයට විරෝධය පලකරමින් සියලු තැපැල් කාර්යාල ඉදිරිපිට කලු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කෙරුනි. නුවරඑලිය නගරයේ 9 වෙනිදා පැවති විරෝධතා පෙලපාලියට සහ උද්ඝෝෂනය ට තැපැල් සේවකයෝ සහ සිවිල් සංවිධාන සාමාජිකයෝ 4000 ක් පමන සහභාගී වූහ.

තැපැල් සේවකයන් ගේ වර්ජනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ශ්‍රී ලංකාව තුල වර්ධනය වන කම්කරු පන්තික අරගල මාලාවේ කොටසකි. එමෙන්ම එය, අධිරාජ්‍යවාදී බලයන් ගේ පිටුබලය සහිතව ඊස්රායල, පලස්තීනය තුල ගෙනයන ජනඝාතක යුද්ධයට ද, එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල ගෙනයන යුද්ධයට ද, ලොවපුරා ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට එරෙහිව ගෝලීය පරිමානව වර්ධනය වන කම්කරු පන්තියේ සහ පීඩිත මහජනතාවන් ගේ අරගල සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයට සහ රැකියා විනාශය ට එරෙහිව ද, වැටුප් ඉල්ලීම් මත ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ අරගල හා අත්‍යාවශ්‍ය භාන්ඩ මිල හා විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධව මහජන අරගල පුපුරා යමින් පවතී.

වර්ජනය සහ විරෝධතා උද්ඝෝෂනය කැඳවුම් කලේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන (ඒතැවෘසපෙ) විසිනි. ඒතැවෘසපෙ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ((තැවිසනිස), සමස්ත ලංකා තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය, නිදහස් තැපැල් වෘත්තීයවේදීන්ගේ සංගමය හා විදුලි සංදේශ සේවක සංගමය ඇතුලු සමිති කිහිපයක එකතුවකි.

සේවක විරෝධය නොතකා තම තීරනය ක්‍රියාවට දමන බව නොවැම්බර් 4 වෙනිදා පැවති නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරන රැස්වීමේ දී වික්‍රමසිංහ අවධාරනය කලේ ය. එම රැස්වීමේදී ආඥාදායකයෙකු ලෙස හැසුරුනු වික්‍රමසිංහ ගොඩනැගිල්ල පවරා ගැනීම පිලිබඳ තම තීරනයට එකඟ වන ලෙසත් සතියක් තුල වෙනත් ස්ථානයක් සොයාගෙන දැනුම් දෙන ලෙසත් තැපැල් බලධාරීන් ට නියෝග කලේ ය. ගොඩනැගිල්ලේ පිටුපස කොටස පමනක් පුද්ගලික අංශයට දීමට තැපැල් බලධාරීන් ගේ යෝජනාව ප්‍රතික්ෂේප කල වික්‍රමසිංහ තමන් ට මුලු ගොඩනැගිල්ල ම අවශ්‍ය බව සඳහන් කලේ ය. එම තීන්දුවට එකඟ වෙන්නේ නැත්නම් තැපැල්පති ධුරයෙන් ඉවත්කරන බවට ඔහු තර්ජනය කලේ ය.

ඔහු එහි දී මෙසේ පැවසීය: 'ජනාධිපතිගේ තීන්දුවට එකඟ වෙන්නේ නැත්නම් මට වෙනත් තැපැල්පති කෙනෙක් සොයා ගන්න වෙයි. අද යන්න ඉස්සරවෙලා එකඟවෙලා යන්න. වෙනතැනක් හොයා ගන්න. කිව්වට පස්සේ සෙල්ලන් කරන්න එපා. 2017-2019 දී ත් විරුද්ධ වුනා වෘත්තීය සමිතිය විරුද්ධයි කියල. නැත්නම් මෙතන මේ වෙන කොට හෝටලයක්. මෙතෙනදී ත් යුනියන් එක විරුද්ධයි කියල කියන්නෙ. මේ සෙල්ලම මාත් එක්ක නම් කරන්න එපා. මහනුවර ගොඩනැගිල්ලත් ඕන හෝටලයක් කරන්න. ඔක්කොම සතියකින් ඉවර කරන්න'.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන කාලය තුල පිලිවෙලින් වර්ෂ 1820 දී සහ 1894 දී ඉඳි කරන ලද අලංකාර ගෘහ නිර්මානයන් වන මහනුවර පැරනි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ නුවරඑලිය ගොඩනැගිල්ල පෞරානික වටිනාකමක් සහිත ගොඩනැගිලි දෙකකි. ජනාධිපතිගේ සැලස්ම එම ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය ට පවරා ගෙන සංචාරක හෝටල් බවට පරිවර්තනය කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයන් ට පැවරීමයි. නුවරඑලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා ඉන්දියානු ටාජ් සමුද්‍ර හෝටල් සමාගම කැමැත්ත පලකර ඇති බව ඇති මාධ්‍ය වල සඳහන් වෙයි.

සංචාරක කර්මාන්තය දියුනු කිරීමේ නාමයෙන් මෙම ගොඩනැගිලි පුද්ගලික අංශය ට පැවරීම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය /පුද්ගලීකරනය සහ ඒ යටතේ ඒවා සතු දේපොල පුද්ගලික අංශයට විකිනීමේ කොටසකි. සතොස සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ දේපොල විකිනීම ට ද ආන්ඩුව දැනටමත් සැලසුම් කර තිබේ.

ධනපති පාලක පන්තිය එරී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා වික්‍රමසිංහ ආන්ඩුවට ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබාදීමට ජාමූඅ එකඟ වී ඇත. එම එකඟතාවය යටතේ ජාමූඅ විසින් නියෝග කර තිබෙන කප්පාදු වැඩපිලිවෙල ට රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය/පුද්ගලීකරනය, රැකියා කප්පාදුව, බදු ජාලය පුලුල් කිරීම, විදුලිය හා ජලය සඳහා ගාස්තු ඉහල දැමීම ඇතුලුව වැඩකරන ජනතාවට එරෙහිව රුදුරු ප්‍රහාර මාලාවක් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමිය යුතුය.

එහෙත් වෘත්තීය සමිති හෝ සමගි ජන බලවේගය (සජබ) ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු 'විපක්ෂයේ” කිසිදු පක්ෂයක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ට විරුද්ධ නැත.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට හා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ සහ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කරන තැපැල් සමිති නිලධරය ඇතුලු සියලුම සමිති නායකයෝ, වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන සහ බොරු තර්ජන වලින් එය පරාජය කලහැකියයි බරපතල මිත්‍යාවක් කම්කරු පන්තිය තුල වපුරති. ඔවුන් උනන්දු වන්නේ එකී අරගල වටා කම්කරු පංතික ශක්තිය බලමුලු ගැන්වීමට නොව, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති විපක්ෂ සහ ධනේශ්වර ක්‍රමයට බැඳීගත් සිවිල් සංවිධාන හැකි තරම් ඒකාබද්ධකර ගනිමින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම වලකාලනුයේ කෙසේද යන්න සම්බන්ධයෙනි. නුවරඑලියේ පැවති විරෝධතාවයේදී මෙම සියලු ලක්ෂන ප්‍රකට විය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම විරෝධතාවට ප්‍රමුඛ වශයෙන් සහභාගි කරගෙන ඇත්තේ, ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑලියේ ඒකාබද්ධ වෙලඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් ය.

තැවිසනිස ලේකම් සහ ඒතැවෘසපෙ සම කැඳවුම්කරු සම්පත් සී. ලියනගේ 7 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය: 'අපි ජනාධිපතිගේ තර්ජනවලට බය නැහැ. තැපැල් සේවකයෝ පමනක් නෙමෙයි සියලු රාජ්‍ය සේවකයෝ සහ ජනතාව එකතුකරගෙන විකුනන් කන රජයේ ප්‍රතිපත්තිය පරාජය කරන්න අපි සටන් කරනව'. මේ කතා හුදෙක් ම බොරු පූච්චානම් ය. පසුගිය දශක දෙකක පමන කාලය තුල තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමට සහ තම අයිතීන්ට එල්ල කෙරුන ප්‍රහාරවලට විරුද්ධව තැපැල් සේවකයන් අතරින් පැන නැගුන සෑම අරගලයක් ම නිස්සාර උද්ඝෝෂන තුල දියකර හැරීමෙන් සහ ධනපති ආන්ඩුවල බොරු පොරොන්දු වලට යටත් කර පාවා දීමට තැපැල් සමිති නායකයෝ ක්‍රමානුකූලව වැඩ කලහ.

ජමූඅ වැඩපිලිවෙල වික්‍රමසිංහ ආන්ඩුව ට බලපෑම් දැමීමෙන් හෝ වෘත්තීය සමිති නිලධරයේ බොරු තර්ජනයන්ගෙන් පරාජය කල නොහැකිය. වික්‍රමසිංහ ආන්ඩුව ජමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කිසිදු විරුද්ධත්වයක් නො ඉවසයි. එවන් කවර හෝ විරුද්ධත්වයක් රුදුරු ලෙස මර්දනය කිරීමට එහි පවතින සූදානම කම්කරුවන්ගේ හා ශිෂ්‍යන්ගේ මෑත උද්ඝෝෂන වලට එරෙහිව හමුදාව සහ පොලීසිය මුදාහරිමින් කල පහරදීම් මගින් පෙන්නුම් කරයි. ඔහු ස‍ූදානම් වෙමින් සිටින්නේ ජනාධිපති ආඥාදායක පාලනයක් තුලින් කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය ක්‍රියාවට දැමීමට යි.

ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට හා වික්‍රමසිංහ ආන්ඩුව ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යවෙයි. එවන් අරගලයක් සංවිධානය කිරීම කම්කරු පන්තිය විසින් තමන්ගේ අතට ගත යුතු ය. ඒ සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය ඡන්දයෙන් කම්කරු ක්‍රියා කමිටු සියලුම වැඩපොලවල්, කම්හල්, වතුකරය තුල හා කම්කරු නිවහන් ප්‍රදේශ වල පිහිටුවා ගැනීම අවශ්‍යවෙයි. එවන් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාලයක් හරහා ජාමූඅ කප්පාදු වැඩපිවෙලට හා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා පෙරට යායුතු ය.

එය වික්‍රමසිංහ ආන්ඩුව පලවා හැරීමේ සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටනකි. එවන් කම්කරු-ගොවි ආන්ඩුවක් විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කර, ධනපති රාජ්‍ය සහ පුද්ගලික ධනපතියන් විසින් පාලනය කරනු ලබන බැංකු, කර්මාන්ත, වතු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු ඇත.

Loading