විජේ ඩයස්ගේ අභාවයේ ප්‍රථම සංවත්සරයේදී සසප ඔහුට උපහාර දක්වයි

(මෙය Sri Lankan SEP pays tribute to Wije Dias on first anniversary of his death මැයෙන් 2023 අගෝස්තු 3දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

2023 ජූලි 29දා කොලඹ දී පැවති විජේ ඩයස් අනුස්මරන ප්‍රසිද්ධ රැස්වීමේ කොටසක්.

විජේ ඩයස් සහෝදරයාගේ අභාවයෙන් පලමු වසර සැමරීම පිනිස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), ජූලි 29දා මනා සහභාගීත්වයක් සහිත රැස්වීමක් පැවැත්වී ය. එය පවත්වන ලද්දේ, කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවනාගාරයේ දී ය.

විජේ සහෝදරයා, ඔහුගේ 81වැනි උපන් දිනයට හරියටම මාසයකට පෙර, හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් පසුගිය වසරේ ජූලි 27දා උදෑසන මිය ගියේ ය.

විජේගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ව පුද්ගලයන් 150ක් පමන රැස්විමට සහභාගි වූ අතර, එය ආරම්භ වූයේ විජේට ගෞරව පිනිස විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වමිනි. උතුරේ යාපනය, මධ්‍යම කඳුකරයෙහි වතුකරයේ හැටන් හා බන්ඩාරවෙල සහ දකුනේ අම්බලන්ගොඩ ද මහනුවර ද සිට සසප හා සසජාතශි සාමාජිකයෝ හා ආධාරකරුවෝ රැස්වීමට සහභාගි වීම සඳහා පැමිනිය හ.

සසප හා සසජාතශි සාමාජිකයන්, ආධාරකරුවන් හා පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, කොලඹ බොරැල්ල ප්‍රසිද්ධ සුසානභූමියේ දී, විජේ හා ඔහුගේ ජීවිත-කාලීන සහකාරිය හා බිරිඳ වූ පියසීලී විජේගුනසිංහගේ මතකය වෙනුවෙන්, ජූලි 27 බ්‍රහස්පතින්දා ස්මාරකයක් විවෘත කෙරුනි.

කොලඹ බොරැල්ල පොදු සුසානභූමියේ දී, විජේ ඩයස් සහ ඔහුගේ ජීවිත-කාලීන සහකාරිය හා බිරිඳ වූ පියසීලී විජේගුනසිංහ වෙනුවෙන් ඉදි කරන ලද ස්මාරකය අභියස සිටින විජේගේ පවුල. වමේ සිට දකුනට: විජේගේ බාල සහෝදරිය වන ශ්‍රියා විජේගුනසිංහ, දියනිය අංජනා, මිනිපිරිය ජනාර්ථි සහ පුත් කීර්ති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ හා එක්සත් ජනපදයේ සසප සභාපති ඩේවිඩ් නෝර්ත් සහ ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ හා ජර්මනියේ සසප නායකයන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) විජේ කල ප්‍රතිපදානයට උපහාර දක්වමින් එවන ලද පනිවුඩ රැස්වීමේදී කියවන ලදී. තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමෙන් ද පනිවුඩයක් ලැබුනි.

එක්සත් ජනපදයේ පැවැත්වෙන සසප ගිම්හාන පාසල ඩයස්ගේ මතකයට කැප කරනු ලබන බව නෝර්ත් කීවේ ය. “විජේ සහෝදරයාගේ ජීවිතය පිලිබඳ පූර්න විමර්ශනයක්, තනි පුද්ගලයෙකුගේ චරිතාපදානයට වැඩි දෙයක් වනු ඇත. එය අවශ්‍ය ලෙසින් ම, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සහ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නවීන ඉතිහාසය අලලා ගනු ඇත.

“දශක ගනනක් පුරා ට්‍රොට්ස්කිවාදය සඳහා ගෙන ගිය දීර්ඝ-කාලීන අරගලයේ පදනම මත ලංකාවේ කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් බවට වර්ධනය වී තිබුනු ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) තරුන ව්‍යාපාරයෙහි සාමාජිකයෙකු ලෙස ඔහු ට්‍රොට්ස්කිවාදියෙකු බවට පත් විය. එහෙත්, පාර්ලිමේන්තු අවස්ථාවාදයට දශක ගනනක් තිස්සේ වඩා විවෘත ව අනුගත වීමෙන් පසු, ට්‍රොට්ස්කිවාදයේ විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කල ලසසප, 1964 ජුනි මාසයේ දී, අගමැතිනි බන්ඩාරනායක නායකත්වය දුන් ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාග ආන්ඩුවකට ඇතුල් විය.

“මෙම පාවාදීමට විරුද්ධ වෙමින්, ලසසප අවස්ථාවාදීන්ට එරෙහි වෙහෙස නො තකන අරගලයක් හරහා, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යලි ගොඩනැගීමට අධිෂ්ඨානවත් වූ මූලධර්මාත්මක හා ධෛර්යය සම්පන්න තරුන විප්ලවවාදීන්ගේ කීර්තිමත් පරම්පරාවක ඉදිරියෙන් ම විජේ සහෝදරයා සිටියේ ය.

“විජේ ඩයස් සහෝදරයා හජාජාක ඇතුලත විශාල අධිකාරයක් දැරුවේ ය. ඔහු සහභාගි වුනු සියලු සාකච්ඡාවල දී, අපට කල හැකි වූයේ, ඔහුගේ යෝධ අත්දැකීම, වෛෂයිකත්වය සහ දැනුම මත පදනම් වීම පමනි. ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයට විජේ පිවිස ඇති අතර, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයෙහි කේඩරය සඳහා අනුප්‍රාන මූලාශ්‍රයක් ලෙස ඔහුගේ ආදර්ශය සදාකල් පවතිනු ඇත.”

කේ. රත්නායක

රැස්වීමේ මුලසුන දැරූ ලෝසවෙඅ ලංකාවේ ජාතික කර්තෘ කේ. රත්නායක මෙසේ කීවේ ය: “විජේ සහෝදරයාගේ මරනය අපේ පක්ෂයට හා ජාත්‍යන්තරයට විශාල පාඩුවක්. අප මෙම රැස්වීම පවත්වන්නේ වතාවත් ඉටු කරන සිද්ධියක් ලෙස නො ව, ඔහු සටන් වැදුනු ඉදිරි දර්ශනය සහ මූලධර්ම මත අවධානය යොදවමින්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා පක්ෂයේ අරගලය ශක්තිමත් කිරීමට හා කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් සම්පාදනය කිරීමට යි.”

ලසසපය ට්‍රොට්ස්කිවාදය අතහැරීම විභාග කර තිබුනු, 'ලංකාව: මහා පාවාදීම' නමැති ජෙරී හීලිගේ ලේඛනයෙන් රත්නායක උපුටා දැක්වීය: “මෙයට පිලිතුර තිබෙන්නේ ලංකාව තුල නො ව, පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයක් තුල යි. සභාගයේ සැබෑ නිර්මාපකයන් සිටින්නේ පැරිස් නුවර යි.”

ලසසපය ධනපති ආන්ඩුවට ඇතුල් වීමට විරුද්ධ වූ කීර්ති බාලසූරිය සහ විජේ ඇතුලු තරුනයන් කන්ඩායමක් හජාජාකට ආකර්ශනය වූ හ. එම තරුනයන් විසින් පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලය දෘඪතරව අධ්‍යයනය කිරීම, 1968 දී, හජාජාක හි ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කිරීම සඳහා පදනම දැමු බව රත්නායක කීවේ ය.

“විකොස ආරම්භක ප්‍රධාන ලේකම් වූ කීර්ති සහෝදරයා, 1987 දෙසැම්බරයේ දී අකාලයේ මිය යාමෙන් පසුව, ප්‍රධාන ලේකම් තනතුරට තෝරාගනු ලැබූ විජේ වසර 35ක් පක්ෂයට නායකත්වය දුන්නා. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික පාඩම්වල පදනම මත පක්ෂයේ අරගලය සංවර්ධනය කිරීමට කීර්ති සහ විජේ සටන් වැදුනා.”

විලානි පීරිස්

සසප දේශපාලන මන්ඩල සාමාජිකා විලානි පීරිස් රැස්වීම අමතා ප්‍රකාශ කලේ, විජේ සහෝදරයාගේ ජීවිතය අනුස්මරනය කිරීමේ සැබෑ ම මාවත වන්නේ, සමාජවාදී විප්ලවය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියට නායකත්වය සම්පාදනය කිරීම පිනිස, ඔහු සටන් වැදුනු ට්‍රොට්ස්කිවාදී මූලධර්ම මත පදනම් වීම බව යි.

“විජේ සහෝදරයාට ජාත්‍යන්තරවාදය කෙරෙහි තිබුනු දෘඪතර ඒත්තු ගැනීම සහ දේශපාලන මූලධර්ම කෙරේ ඔහුගේ සම්මුති විරහිත කැපවීම, ඔහු ගැන දැන සිටි සියලු දෙනාට අනුප්‍රානයක් වුනා. ඔහු සියලු ආකාරවල ජාතිකවාදයන්ට සහ අවස්ථාවාදයන්ට විරුද්ධ වුනා. මෙම පක්ෂය තුල වසර 60ක් පුරා දිවුනු ඔහුගේ දේශපාලන ජීවිතයේ මූලික පාඩම එයයි” යි පීරිස් කීවා ය.

එම්. දේවරාජා

තරුන විජේගේ දේශපාලන අත්දැකීම්, අද දින තරුන පරම්පරාවට වැදගත් පාඩම් දරා සිටින බව සසප දේශපාලන මන්ඩල සභික එම්. දේවරාජා කීවේ ය: “ධනපති ශ්‍රීලනිපය සමග ලසසපය සභාග ආන්ඩුවකට ඇතුල් වීමෙන් පසුව, බොහෝ තරුන ජනයා මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා හා හෝ චි මිං වැනි පුද්ගලයන් දෙසට හැරුනා. එහෙත් ට්‍රොට්ස්කිවාදයේ ධජය අතට ගත් කීර්ති හා විජේ යන සහෝදරවරු, මේ යුගයේ එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරුනා. හජාජාක ශාඛාව ලෙස විකොස බිහිකරන ලද්දේ නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ පදනම මතයි” යි දේවරාජා සඳහන් කලේ ය.

සසජාතශි වෙනුවෙන් සකුන්ත හිරිමුතුගොඩ රැස්වීම ඇමතුවේ ය. විජේගේ මරනයෙන් දිනකට පසුව හජාජාක ප්‍රකාශයට අවධානය යොමු කල හිරිමුතුගොඩ, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායයේ පදනම මත කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා විජේ අප්‍රතිහත ලෙස සටන් වැදුනු බව සඳහන් කලේ ය. “විජේ සහෝදරයාගේ සමස්ත විප්ලවවාදී ජීවිතය කම්කරු පන්තියට, තරුනයන්ට හා පීඩිත ජනයාට ආදර්ශයක්” බව ඔහු කීවේ ය.

සකුන්ත හිරිමුතුගොඩ

ලසසප පාවාදීම ලංකාවේත් ජාත්‍යන්තර වත් දැවැන්ත දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මානය කලේ ය. “ලසසප පාවාදීමෙන් පසුව ලංකාව තුල හතු පිපෙන්නාක් මෙන් වැඩී ගිය, දකුනේ ජනතා විමුක්ති පෙරමුන හා උතුරේ එල්ටීටීඊ වැනි සියලු දේශපාලන ප්‍රවනතා මධ්‍යම පන්තිය මත පදනම් වූ අතර, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කලා” යි හිරිමුතුගොඩ කීවේ ය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර අවසාන කථිකයා විය. තමන්ගේ ජීවිතයෙන් හතරෙන් තුනක් ම ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම සඳහා අරගලයට කැප කල අත්‍යසාමාන්‍ය සහෝදරයෙකුගේ ජීවිතය සැමරීම මෙම රැස්වීමේ අරමුන බව ඔහු සඳහන් කලේ ය.

1964 දී ලසසපය ජාත්‍යන්තර සමාජවාදය පාවාදීමට එරෙහි වත්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහාත් වන අරගලය සියතට ගත් දේශපාලනික ව දීප්තිමත් තරුන කන්ඩායමක් තුල විජේගේ පුරෝගාමී භූමිකාව ගැන ඔහු සඳහන් කලේ ය.

කොලඹ රැස්වීම අමතන සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර

“ලසසපයේ පාවාදීමෙහි සැබෑ මූලයන් තිබෙන්නේ ලංකාවේ නො ව, හතරවන ජාත්‍යන්තරය ඇතුලත ඉස්මතු වී ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම පාවාදුන් ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංශෝධනවාදය තුල බව විස්තර කල හජාජාක මැදිහත් වීම, මෙම වර්ධනයෙහි වඩාත් ම වැදගත් සාධකය වුනා. විජේ හා කීර්ති ඇතුලු එම සහෝදරවරු, හජාජාක දේශපාලනික හා න්‍යායික මග පෙන්වීම යටතේ, එහි ලංකා ශාඛාව ලෙස 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ආරම්භ කිරීම දක්වා ඉදිරියට ගියා” යි ඔහු කීවේ ය.

කීර්ති බාලසූරියගේ අකල් ඛේදජනක මරනයෙන් පසුව විජේ විකොස නායකත්වය භාරගන්නා විට ලංකාව තුල තිබුනු තත්ත්වයට ජයසේකර අවධානය යොමු කලේ ය.

“එම කාලපරිච්ඡේදයේ දී, එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධ්‍ය තීව්‍ර කිරීම, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ මිලිටරි මර්දනය සහ ජවිපෙහි ෆැසිස්ට් ත්‍රස්තය යන ඒවාට පක්ෂය මුහුන දුන්නා.

“මෙම අති දුෂ්කර තත්ත්වයට සාර්ථක ව මුහුන දී, එහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගය වර්ධනය කරමින් කම්කරු පන්තිය දෙසට දිශානත වීමට විකොස සමත් වීම, පොදුවේ පක්ෂ නායකත්වයේ දේශපාලනික ඒකාග්‍රභාවයත් විශේෂයෙන් ම විජේ සහෝදරයා පක්ෂ නායකත්වය තුල ඉටු කල තීරනාත්මක භූමිකාවත් බලගතු ලෙස සනාථ කරනවා” යි ඔහු කීවේ ය.

වෛරයට පාත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට එරෙහි ව පසුගිය වසරේ පැනනැගි මහජන නැගිටීම සමයේ, විජේ ඉටු කල කේන්ද්‍රීය භූමිකාව ජයසේකර විසින් විස්තර කලේ ය. ඔහුගේ වයස හා දුර්වල සෞඛ්‍ය තත්ත්වය නො තකා, විජේ “ඔහුගේ ජීවිතයේ අවසන් දවස දක්වා ම පක්ෂ නායකත්වය ඇතුලත දේශපාලනික ව ක්‍රියාශීලී ව සිටි අතර, ඔහුගේ යෝධ දේශපාලනික ඥානය හා අත්දැකීම මත පදනම් ව නායකත්වයට මග පෙන්වූවා.”

පක්ෂයේ 2022 ජූලි 20 ප්‍රකාශය කෙටුම්පත් කිරීමේ දී, ජාත්‍යන්තර කමිටුවේ සහෝදරවරුන් සමග විජේගේ සහභාගීත්වය හා ඒකාබද්ධතාව ගැනත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා උද්ඝෝෂනය දියත් කිරීමත් ගැන කථිකයා සඳහන් කලේ ය. “කම්කරු පන්තියට එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාකාරී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීමට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා කම්කරු පන්තියේ ම පාලනයට පදනම් දමා ගැනීමටත්,” එම ප්‍රකාශනය කම්කරුවන්ට දේශපාලන මූලෝපාය සම්පාදනය කල බව ඔහු කීවේ ය.

ශ්‍රාවකයේ සිටි සසප සාමාජිකයන් නො වන අයගෙන්, පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර එයට බැඳෙන ලෙස ඉල්ලමින්, ජයසේකර තම කථාව සමාප්ත කලේ ය. “විජේ ඩයස් සහෝදරයාට උපහාර කල හැකි හොඳ ම මාවත එයයි” ඔහු සඳහන් කලේ ය.

සසප ඉදිරි දිනවල දී ජාත්‍යන්තර සුභපැතුම් හා රැස්වීමට සහභාගි වූවන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡා පලකරනු ඇත.

විජේ ඩයස්ගේ කථාව: කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල හා නොනවතින විප්ලව න්‍යාය පිලිබඳ ඉදිරිදර්ශනය https://www.wsws.org/sinhala/2014/2014may/imdw-15m.html

Loading