සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු! ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව එක්සත් අරගලයක් සඳහා සටන් කරමු!

සෞඛ්‍ය, වතු, ඇඟලුම්, වරාය, හෝටල්, කුරුඳු, දුම්රිය, ධීවර කම්කරුවන් සහ ගුරුවරුන් අතර ක්‍රියාත්මක වන අපගේ ක්‍රියාකාරී කමිටු, වික්‍රමසිංහ ආන්ඩුව මහා ව්‍යාපාරිකයන් වෙනුවෙන්, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව ඒකාබද්ධ අරගලයක් තුල කම්කරු පන්තිය බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටියි.

2022 අප්‍රේල් 28 වැනි දින පැවති ආන්ඩු විරෝධී උද්ඝෝෂන අතරතුර, සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පුවරු රැගෙන එන මහනුවර රෝහල් සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

වෘත්තීය සමිති විසින් කැඳවන ලද එක්දින හා වරුවක වැඩවර්ජන සහ විරෝධතාවලට අප සහභාගී වූයේ එම ක්‍රියාවන් වෘත්තීය සමිති නිලධාරීන් විසින් දැඩි ලෙස පාලනය කර තිබූ තතු යටතේ ය. මෙම ක්‍රියාවන් කැඳවීම හෝ නතර කිරීම ගැන අපගෙන් විමසා නැත. අපගේ ඉල්ලීම් කුමක් විය යුතුද යන්න පිලිබඳව වෘත්තීය සමිති අපගෙන් උපදෙස් විමසුවේ ද නැත.

මාර්තු 1 දින ක්‍රියාමාර්ග සංවිධානය කරන ලද්දේ ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුවට (වෘසසක) අනුබද්ධ වෘත්තීය සමිති විසිනි. මෙම පෙරමුනේ බොහෝ වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධිත ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිසං) සහ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාමාර්ගවල යෙදුනු අනෙකුත් වෘත්තීය සමිති අතරට ඇතුලත් වේ.

මෙම සමිති හෙට දින මහා වර්ජනයක් කැඳවා ඇත. ලංකාගුරු සංගමය හා සමස්ත ලංකා ගුරු සේවා සංගමය ද මහා වර්ජනයක් කැඳවන බව ප්‍රකාශ කර තිබේ.

තවත් පෙරමුනකට අනුබද්ධ වෘත්තීය සමිති—වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන (වෘසබස)—මාර්තු 1 වර්ජනයට සහභාගී නොවූ නමුත්, වෘසසක ට සමාන ඉල්ලීම් සහිතව මාර්තු 8 වෙනිදා තමන්ගේම විරෝධතා සංවිධානය කලහ.

මෙම වෘත්තීය සමිති පෙරමුනු, තමන් දිනයක හෝ වරුවක වැඩ වර්ජන වෙනවෙනම සහ විසිරුනු ක්‍රියා ලෙස කැඳවති. සමහර වෘත්තීය සමිති ලෙඩ-නිවාඩු විරෝධතා කැඳවයි. තවත් ඒවා කලු ඇඳුම් ඇඳගෙන සහ අකුරට වැඩ කරමින් විරෝධතා දක්වති. මෙම සමිති මෙලෙස විසිරුනු ක්‍රියාවන් සිදුකරන්නේ මන්දැයි තම සාමාජිකයින්ට පැහැදිලි කල යුතුය.

බොහෝ සමිති ආන්ඩුවේ ආදායම් බදු ඉහල දැමීම් වලට විරුද්ධ වීමට තම ඉල්ලීම් සීමා කර ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව විසින් මුදා හරින අනෙකුත් ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන් මතු කිරීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි මෙම වෘත්තීය සමිති පිලිතුරු දිය යුතුය.

විශාල ලෙස ඉන්ධන සහ විදුලි පිරිවැය වැඩිවීම, වැට් බදු වැඩි කිරීම සහ ආනයනික ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කප්පාදු ඊට ඇතුලත් ය. තව තවත් කප්පාදු පැමිනීමට ඇත: දහස් ගනනින් රාජ්‍ය් අංශයේ රැකියා විනාශ කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව සහ රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද ඇතුලුව රාජ්‍ය අංශ පුද්ගලීකරනය කිරීම ආදිය මෙයින් කිහිපයක් පමනි.

වෘත්තීය සමිති, උද්ධමනය මුලුමනින්ම නොතකා හරින අතර, එය පසුගිය වසරේ සියයට 70 කට ආසන්න ප්‍රොමානයකට ලඟා විය. දැන් සියයට 50 ක පමන අගයක කැරකෙමින් කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ආදායම තියුනු ලෙස කපාහෙලයි.

වෘත්තීය සමිති මෙම මූලික ප්‍රශ්නවලට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කරති; මෙම සමිති නිලධරයෝ ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම ඒකාබද්ධ කම්කරු පන්ති ක්‍රියාමාර්ගයකට සතුරු වන අතර කම්කරුවන්ගේ කෝපය හා විරෝධය පීලි පැන්නීමට හා යටපත් කිරීමට උත්සාහ කරති. තම ඉල්ලීම් පිලිගැනීමට ජනාධිපති වික්‍රමසිංහට සහ ඔහුගේ ආන්ඩුවට බලපෑම් කල හැකි බව වෘත්තීය සමිති නිලධරයෝ කියති. එහෙත් වික්‍රමසිංහ ඔහුගේ ම්ලේච්ඡ සමාජ ප්හාරවල මොනයම් හෝ වෙනසක් කිරීමක් තරයේ ම ප්‍රතික්ෂේප කර ඇත.

2023 මාර්තු 1 වැනි බදාදා, ශ්‍රී ලංකාවේ කොලඹ වරායේ පිවිසුම් දොරටුවෙන් පිටත, අලුතින් වැඩි කරන ලද උපයන විට ගෙවීමේ ආදායම් බද්දට එරෙහිව ශ්‍රී ලංකා වරාය සේවකයෝ විරෝධතාවයේ නිරත වෙති. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

මාර්තු 1 දා එක්දින වැඩ වර්ජනයෙන් පසුව, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පුවත්පත්වලට මෙසේ පැවසීය: “අපි කම්කරුවන්ට ඒකාබද්ධ අරගලයකට සහභාගී වන ලෙස ඉල්ලා සිටියොත්, සියල්ලෝම පාරට ඒවි. අපි මිනිසුන් අරගලයට ඒම මැඩලමින් ඔවුන්ට කියා සිටියේ අපට මෙවැනි වැඩ වර්ජන කැඳවිය නොහැකි බවයි.”

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියේ ඕනෑම ඒකාබද්ධ බලමුලු ගැන්වීමකට වෘත්තීය සමිති තරයේම විරුද්ධ වන අතර ඔවුන් එවැන්නකට බියෙන් සිටින බව කුමුදේශ්ගේ ප්‍රකාශය සෘජුව ම හෙලි කරයි. ඇත්ත වශයෙන්ම, වෘත්තීය සමිති නිලධරයන් සම්බන්ධව සිටින සහ මෙම වෘත්තීය සමිති පාලනය කරන දේශපාලන පක්ෂ, කප්පාදු පියවරයන්ට සෘජුව හෝ වක්‍ර ව සහාය දක්වති.

වෘත්තීය සමිති කම්කරු අරගල මැඩලීමට හා බෙදීමට තම උපරිමය කරමින් සිටින අතරේ, ආන්ඩුව සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් වේගවත් කරයි.

අඟහරුවාදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති වික්‍රමසිංහ ඍජුවම ප්‍රකාශ කලේ ජාමූඅහි “ආර්ථික ප්‍රතිසංස්කරන ඉදිරියට ගෙනයාම ඉතා වැදගත්” බවයි. ඔහු මෙසේ අනතුරු ඇඟවීය: 'මෙම වැඩපිලිවෙල උද්ඝෝෂන මගින් කඩාකප්පල් කලහොත්, මේ ආන්ඩුව ඊට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරනවා.'

මාර්තු 1 විරෝධතාවලට එරෙහිව වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පැනවීම සහ මෑත කාලීන ශිෂ්‍ය විරෝධතාවලට එල්ල වූ ප්‍රචන්ඩ පොලිස ප්‍රහාර, සියලු මහජන ප්‍රතිරෝධයන් රුදුරුලෙස තලා දැමීම සඳහා ඔහු ක්‍රියාකරන ආකාරය පෙන්නුම් කර තිබේ.

සහෝදර සහෝදරියනි!

අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය වෘත්තීය සමිති යකඩ සැට්ටය තුල සිර කර තැබිය නොහැක. වෘත්තීය සමිති සීමිත විරෝධතා කැඳවා ඇත්තේ අපගේ කෝපය වාෂ්ප කිරීමට පමනි.

ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම ජාතික ප්‍රශ්නයක් නොව, කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් නරක අතට හැරුනු ලෝක ධනේශ්වර අර්බුදයේ කොටසකි.

මේ තත්වය තුල ආන්ඩුවට බලපෑම් කර අපේ ඉල්ලීම් දිනාගත නොහැකි බව වඩ වඩාත් පැහැදිලි වේ. අවශ්‍ය වන්නේ අපගේ අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ එක්සත්, දේශපාලනිකව සවිඥානික අරගලයකි. මෙම අරගලය ඉදිරියට ගෙන යාමට අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු:

* විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

* ජාමූඅ කප්පාදු එපා!

* පුද්ගලීකරනය නතර කරනු!

* රැකියා සහ වැටුප් කප්පාදු නවත්වනු!

* රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ආරක්ෂා කරනු!

* ජීවන වියදමට අනුව ඉහල යන, රුපියල් 75,000 ක අවම මාසික වැටුපක්!

* කම්කරුවන් සහ වෘත්තිකයන් මත පනවා ඇති ඉහල ආදායම් බදු අහෝසි කරනු!

සටන් කිරීම සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ අධිෂ්ඨානය වනාහි, එක සමාන සමාජ ප්‍රහාරවලට මුහුන දෙන ජාත්‍යන්තරව මිලියන ගනන් කම්කරුවන්ගේ නැගී එන ව්‍යාපාරයක කොටසකි. ගෝලීය ධනවාදයට එරෙහි පොදු සටනක් සඳහා අපගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග අප එක්සත් විය යුතුය.

පසුගිය අප්‍රේල්-ජූලි මාසවල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පැන යාමට සහ ඉල්ලා අස්වීමට බල කල මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව සම්බන්ධ වූ මහජන නැගිටීමේ දී, අපි ද කොටසක් වීමු. එහෙත් වෘත්තීය සමිති මෙම මහජන ව්‍යාපාරය විපක්ෂයේ සමගි ජන බලවේගය සහ ජවිපෙ පිටුපසට හා ධනේශ්වර අන්තර්වාර පාලනයක් සඳහා වූ ඔවුන්ගේ කැඳවුම් දෙසට හරවා යැවීය. මෙය වික්‍රමසිංහට බලයට පැමිනීමට සහ ආන්ඩුවේ ප්‍රහාර තීව්‍ර කිරීමට මග පෑදීය.

සහෝදරවරුනි, සහෝදරියනි!

ධනේශ්වර ක්‍රමයට දහසක් හුයපට වලින් බැඳුනු වෘත්තීය සමිතිවල පාලනය යටතේ අපේ අරගල පැවතියහොත් නිසැකව ම අපව පාවා දෙනු ඇත. අපගේ අයිතීන් සඳහා වන අරගලය අප අතට ගත යුතුය. මෙය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩබිමකම, කම්හලකම, වතුකරයකම සහ අපගේ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.

අපි දැනටමත් මෙම ව්‍යාපාරය කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ගොවීන් සහ අනෙකුත් කම්කරුවන් අතර ආරම්භ කර ඇති අතර, ඔබගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සඳහා අපි ඔබට අපගේ උපරිම සහයෝගය ලබා දීමට සූදානම් ව සිටිමු.

කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂනය කෙරෙහි ද අපි ඔබගේ අවධානය යොමු කරමු. සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ දී, ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තියට සිය ශක්තිය බලමුලු ගැන්වීමට එවන් සම්මේලනයක් දේශපාලන මාධ්‍යයන් සපයනු ඇත. සම්මේලනයේ පදනම් වනු ඇත්තේ දිවයින පුරා සිටින කම්කරුවන්ගේ සහ ඩහදිය හෙලන ගම්බද ජනතාවගේ ක්‍රියාකාරී කමිටුවලින් තේරී පත් වූ නියෝජිතයින් මතය.

ශ්‍රී ලාංකීය කම්කරු පන්තියේ මිතුරන් සහ සටන් සගයින් වන්නේ දැන් අරගලවලට පැමිනෙමින් සිටින ලොව පුරා කම්කරුවන් ය. ගෝලීය මට්ටමින් කම්කරුවන් එක්සත් කිරීමේ රාමුව සපයන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද ක්‍රිියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ශ්‍රී ලංකා වේ කම්කරු ක්‍රිියාකාරී කමිටු එක්විය යුතුය. අපගේ ක්‍රිියාකාරී කමිටු මෙම ප්‍රබල මුලපිරීම මුලුමනින්ම අනුමත කරන අතර එයට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස උදක්ම ඉල්ලා සිටී.

කරුනාකර පහත ඊමේල් ලිපිනයෙන් අප හා සම්බන්ධ වන්න:

action.committees.sl@gmail.com

2023 මාර්තු 14

Loading