ටික්ටොක් හි යුද විරෝධී වීඩියෝ වාරනය නවතනු!

[මෙය Stop the censorship of anti-war videos on TikTok! මැයෙන් 2023 පෙබරවාරි 1 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

නැරඹුම් වාර 150 000 ඉක්මවමින් ඉතා සීඝ්‍රයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් තිබුනු යුද විරෝධී වීඩියෝවක් සඳුදා ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයෙන් මකා දමනු ලැබුනි. ඊට හේතුව වශයෙන් සමාජ මාධ්‍ය ජාලය සඳහන් කලේ එම වීඩියෝව “ඒකාබද්ධතාවය සහ අව්‍යාජත්වය” සම්බන්ධ නිර්නායක උල්ලංඝනය කර ඇති බවයි. මෙම යුද විරෝධී වීඩියෝව නිෂ්පාදනය කරනු ලැබුනේ හතර වැනි ජාත්‍යන්තරයේ ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසිනි.

සසප අපේක්ෂක උල්රිච් රිපර්ට් යුක්රේනයට ලෙපාර්ඩ් යුද්ධ ටැංකි සැපයීමට එරෙහි ව කතා කරයි (වීඩියෝව සිංහල උපසිරැසි ගන්වා ඇත. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.)

එලඹෙන බර්ලින් ප්‍රාන්ත මැතිවරනයේ අපේක්ෂක සහ සසප දිගුකාලීන සභාපතිවරයා වන උල්රිච් රිපර්ට් එම වීඩියෝවේ දී, ජර්මානු ආන්ඩුව යුක්රේනයට ලෙපාර්ඩ් 2 යුද්ධ ටැංකි සැපයීම හෙලා දකිමින් වත්මන් යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් කරා තීව්‍ර වීමේ අන්තරාය ගැන අනතුරු අඟවයි. ප්‍රතිගාමී ආක්‍රමනයක් දියත් කල පුටින් පාලන තන්ත්‍රය නියෝජනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ අවශ්‍යතාවන් පමනයි; නේටෝව රුසියාවට සහ පුටින් තන්ත්‍රයට එරෙහි ව යුද්ධයක් ගෙන යන්නේ යුක්රේනියානු ජනතාව බිල්ලට ගනිමින් බව ඔහු පැහැදිලි කරයි.

මේ උමතුව සහ මහ විනාසයක් වලකාලීමට ඇති එක ම මාවත නම් යුද්ධයට සහ එහි මූලය වන ධනවාදයට එරෙහි කම්කරුවන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් බව රිපර්ට් පැහැදිලි කරයි. එම අරමුන වෙනුවෙන්, පෙබරවාරි 4 වැනි දා, උදෑසන 11.30ට බර්ලිනයේ පොට්ස්ඩැමර් ප්ලැට්ස්හි සසප සංවිධානය කරන යුද විරෝධී රැලියට වීඩියෝව නරඹන සියලු දෙනාට සහභාගී වන්නැයි ඔහු කැඳවුම් කරයි.

වීඩියෝව අරමුනු කල පරිදි ම යුද විරෝධී හැඟීම් ඇවිල වීමට සමත් විය. සසප ආධාරකරුවෙකු “යලි කිසිදිනක යුද්ධය එපා” යන මැයෙන් තම පුද්ගලික ටික්ටොක් ගිනුමට මෙම වීඩියෝව උඩුගත (අප්ලෝඩ්) කල පසු එය දින කීපයක් තුල නැරඹුම්වාර 150 000ක් කරා ලඟා වෙමින් ලයික් කිරීම් 10 500ක් වාර්තා කලේ එම ප්‍රවනතාව දිනෙන් දින ඉහල යන තත්ත්වයක් තුලයි. 1000කට ආසන්න වූ අදහස් දැක්වීම් අතරේ බොහෝමයක් සාධනීය ප්‍රතිචාර වූ අතර සසප යුද විරෝධී රැලියට තමන් සහභාගී වන බවට බොහෝදෙනෙක් පොරොන්දු වූහ.

වීඩියෝව උඩුගත කල සසප ආධාරකරුවා වාරනයට වහා ම තම විරෝධය පල කලේ වීඩියෝව කිසිදු සමූහ නිර්නායකයක් උල්ලංඝනය කරන්නේ නැති බව දන්වමිනි. මේ වන තුරුත් ඔහුට පිලිතුරක් හෝ පැහැදිලි කිරීමක් හෝ ලැබී නැත. මකා දමනු ලැබූ වීඩියෝවක් යැයි නිවේදනය කරන සම්මත පනිවිඩය සඳහන් කරන්නේ “නොමග යැවීම” සහ “දැනුවත් ව ම අසත්‍ය තොරතුරු පැතිර වීමේ ව්‍යාපාරයක්” විය හැකි නිසා මකා දැමීමට ලක් වූ බවයි.

මේ චෝදනා පැහැදිලි ව ම අර්ථවිරහිතයි. මෙම වාරනය වටහා ගත හැක්කේ ජර්මානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල යුද ප්‍රතිපත්තිවලට එරෙහි ව ජනතාව තුල වැඩෙන විරෝධය යටපත් කිරීමේ දේශපාලන වාරනයක් වශයෙන් පමනයි. සසප මෙම නිර්ලජ්ජිත වාරනය දැඩි ලෙස හෙලා දකිමින් ටික්ටොක් වහා ම තම ක්‍රියාව පැහැදිලි කර වාරනය ඉවත් කර ගත යුතු යැයි කියා සිටියි. මෙම වාරනයට එරෙහි වන ලෙසත් ඔබගේ සමාජ මාධ්‍ය ගිනුම් සහ වෙනත් ආකාර මගින් ඔබගේ විරෝධය පල කරන ලෙසත් අපි අපගේ සියලු ම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු .

බර්ලින් ප්‍රාන්ත මැතිවරනයේ දී, යුද්ධයේ සහ යලි සන්නද්ධ කිරීමේ දේශපාලනයට එරෙහි වන එක ම පක්ෂය සසප පමනි. වාම පක්ෂයේ සිට අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) දක්වා සංස්ථාපිතයේ සියලු ම පක්ෂ ජර්මන් මිලිටරිය යලි සන්නද්ධ කිරීමටත් ජර්මානු මහා බල දේශපාලනයටත් සහය වන්නේ ජාතික ධනේශ්වර ප්‍රභූවේ නාමයෙනි. ඔවුහු දෛනික ව යුද්ධය උත්සන්න කරන්නේ තම අධිරාජ්‍යවාදී ඉලක්කයන් හඹා යාමට න්‍යෂ්ටික සමූලෝත්පාඨනයක තර්ජනය දැනුවත් ව නිර්මානය කරමිනි. දැන් ලෙපාර්ඩ් 2 යුද්ධ ටැංකි සැපයීමට තීරනය කර අවසන්; ප්‍රහාරක ගුවන් යානා සහ නාවික යාත්‍රා සැපයීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතී.

සසප වීඩියෝවලට ලැබෙන ජනප්‍රියතාවය පෙන්නුම් කරන පරිදි ජනතාවගෙන් අතිබහුතරය මේ උමතුව ප්‍රතික්ෂේප කරයි. වාරනය, ධනේශ්වර මාධ්‍ය ගෙන යන යුද ප්‍රචාරනයන්ට ජනතාව ඒත්තු ගන්වා ගැනීමට අසමත්වීම සහ වැඩකරන ජනතාව යුද්ධ යට එරෙහි ස්වාධීන ඉදිරිදර්ශනයක් සොයමින් සිටින තතු තුල දක්වන මංමුලා සහගත ප්‍රතිචාරයකි. වාරනයේ අරමුන වැඩෙන අනුකූලත්වයක් දිනා ගනිමින් තිබෙන සසප මැතිවරන උද්ඝෝෂනයට බාධා කිරීමයි.

යුද්ධයට එරෙහි සසප අරගලය වාරනය කිරීමට තොරතුරු තාක්ෂන සංගත උත්සහ දැරූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2022 මාර්තුවේ දී, පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබූ ජනප්‍රිය වූ වීඩියෝවක් මකා දැමුවේ ය. එම වාරනය ඉවත් කර ගනු ලැබුනේ දැවැන්ත ජාත්‍යන්තර විරෝධයකින් පසු ව පමනි. ඊට පෙර ගූගල් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාරනයට ඉලක්ක කර ගෙන තිබුනි.

මේ සම්බන්ධයෙන් සංගත, ආන්ඩු සමග සමීප ව වැඩකරති. සමාජ මාධ්‍ය පනතේ (Netzwerkdurchsetzungsgesetz) දැඩි දඬුවම්වලට යටත් කිරීමේ බරපතල තර්ජනය යටතේ නීතියට පෙර-අවනත වීමක් ලෙස අනතර්ගතයන් තොග පිටින් මකා දැමීමට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට බල කරනු ලැබ සිටිති.

ටික්ටොක් වාරනය දැක ගත යුත්තේ සසප නිහඬ කිරීමටත් යුද විරෝධය සාපරාධී කිරීමටත් ජර්මානු ආන්ඩුව ගෙන යන ප්‍රයත්නයේ කොටසක් හැටියටයි. 2018 දී, ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රථම වරට ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධ (Verfassungsschutzbericht) එහි වාර්ෂික වාර්තාවට සසප ඇතුලත් කලේ ය. එනයින් සසප ජර්මානු ව්‍යවස්ථාවට ප්‍රතිපක්ෂ ව සිටී යැයි අපකීර්තියට ලක් කරනු ලැබුනි. සසප මෙම පියවරට එරෙහි ව අධිකරන ක්‍රියාමාර්ගයකට යොමු වූ පසු අමාත්‍යාංශය බුද්ධි අංශවල සෝදිසියට පක්ෂය ලක් ව තිබීම හුදෙක් සාධාරනීයකරනය කලේ පක්ෂය “ප්‍රජාතන්ත්‍රවාදී, සමානාත්වයෙන් යුතු සමාජවාදී සමාජයක් උදෙසා පෙනි සිටීම” සහ “‘අධිරාජ්‍යවාදය’ සහ ‘මිලිටරිවාදය’ යැයි කියන දේවලට එරෙහි ව විරෝධය ඇවිලවීම” ව්‍යවස්ථා විරෝධීය යන තර්කය ඉදිරිපත් කරමිනි.

මෙම රුදුරු තර්කය අධිකරන දෙකක් විසින් පිලිගනු ලැබීමෙන් පසු පසුගිය ජූනියේ දී සසප ශ්‍රේෂ්ඨාධිකරනයේ දී එම තීන්දුවට එරෙහි අභියාචනාවක් ගොනු කලේ ය. පක්ෂය ඉදිරිපත් කල තර්කය නම් සසපට එරෙහි ව ලබා දී ඇති නඩු තීන්දුව මගින් ආන්ඩුව සහ අධිකරනය පූර්වාදර්ශයක් සම්පාදනය කිරීමට කටයුතු කරනු ඇති බවයි: “ජර්මන් ආන්ඩුව රුසියාවට එරෙහි ව දියත් කර ඇති වක්‍ර යුද්ධයත්, හිට්ලර්ගෙන් පසු පුලුල් ම පරිමානයේ සන්නද්ධ කිරීමත්, හැල්මේ ඉහල යන උද්ධමනය, වැටුප් කප්පාදු සහ රැකියා විනාශය තුලින් කම්කරුවන්ට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරත් ඉදිරියේ මෙම ප්‍රහාරාත්මක පන්ති ප්‍රතිපත්තීන්ට එරෙහි ව කතා කරන අය නිහඬ කිරීම එහි අරමුනයි. මේවා මේ නම්වලින් හැඳින්වීම පවා ඔවුහු නොඉවසති.”

ටික්ටොක් වාරනය මගින් මේ කරුන සනාථ වෙයි. බර්ලින් පරිපාලන අධිකරනය සසපට එරෙහි ව ලබා දුන් තීන්දුව දැනටමත් වාමාංශික දිනපතා පුවත්පතක් වන යුන්ග් වෙල්ට් පුවත්පතට එරෙහි ව යොදා ගෙන ඇත. හරියට ම ජනවාරිය අවසානයේ ටියෙර්ගාර්ටෙන් දිස්ත්‍රික් අධිකරනය සාම ක්‍රියාකාරී හෙයින්රික් බුකර් යුක්රේනයේ ජර්මන් යුද ප්‍රතිපත්තියට එරෙහි ව ආස්ථානයක් ගැනීම සම්බන්ධයෙන් දඬුවම් නියම කලේ ය.

අවසානයේ දී නිල යුද ප්‍රතිපත්තියට එරෙහි ඕනෑ ම විරෝධත්වයකට එරෙහි ව එල්ල වනු ඇති සසපට එරෙහි ප්‍රහාරයට එරෙහි ව සටන් කිරීම අතිශය ඉහල වැදගත්කමක් අත්පත් කර ගනී. ටික්ටොක් සහ ආන්ඩුවේ වාරනය නතර කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැන්වීමෙන් පමනි. මෙම ලිපිය බෙදා ගනිමින් සියලු ම මාධ්‍යවල වාරනයන්ට එරෙහි ව විරුද්ධත්වය පල කරන්න. #defendSGP සහ #StopCensoringSocialism යන හෑෂ් ටෑග් භාවිතා කරමින් වාරනය කල වීඩියෝව බෙදා ගන්න.