රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මාර්තු මාසයේ පැවැත්වීමට යන තරඟ විභාගයෙන් රැකියා විරහිත උපාධිධාරීන් බැහැර කිරීමට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව තීන්දු කර තිබේ. ආන්ඩුවේ මෙම තීන්දුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ පුලුල් සැලසුම්වල කොටසකි.
තරඟ විභාගයට සහභාගි විය හැක්කේ දැනටමත් රජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන්ට පමනි. 2019 වසරේ ආර්ථික සංවර්ධන නිලධාරින් (ආසනි) ලෙස බඳවා ගෙන සිටින 53,000ක් උපාධිධාරීන් ගුරු විභාගය සඳහා වැඩි වශයෙන් පෙනී සිටිනු ඇති බවත්, විවිධ අමාත්‍යාංශවල සිටින අවුරුදු 35 ට අඩු වෙනත් උපාධිධාරීන්ට ද විභාගයට පෙනී සිටිය හැකි බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.
ආන්ඩුවේ මෙම තීන්දුවෙන්, වසර ගනනක් අසීරු කොන්දේසි යටතේ අධ්‍යාපනය ලබා, විරැකියාව හේතුවෙන් ඉසිලිය නො හැකි ජීවන කොන්දේසි වලට මුහුන දී සිටින 10,000 ක් පමන වන උපාධිධාරීන්ට රාජ්‍ය ගුරු සේවයේ රැකියා අවස්ථා අහිමි කෙරී ඇත.
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 කිරීමත් සමග මේ වසර ආරම්භයේ 30,000 ක් පමන රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගැන්වුනි. මේ තත්වය තුල අත්‍යාවශ්‍ය මහජන සේවාවන් වන සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, දුම්රිය වැනි අංශවල දරුනු සේවක හිගයක් නිර්මානය වී පවතී.
එලෙස විශ්‍රාම ගැන්වූවන්ගෙන් බහුතරය ගුරුවරුන් වූ අතර රටපුරා දැන් පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පමනක් 60,000ක් පමන බව වාර්තා වේ. නමුත් ආන්ඩුව තරඟ විභාගයෙන් බඳවා ගන්නා බව ප්‍රකාශ කරන්නේ ගුරුවරු 20,000 ක් පමනි. ගුරු විද්‍යාපීඨ වලින් තවත් 8,000ක් බඳවා ගන්නා බව නිවේදනය කර තිබේ.
ගුරු විභාගය හරහා ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුලු දැනට සේවයේ නිරත රාජ්‍ය සේවකයන් ගුරු සේවයට බඳවා ගැනීම මගින් ඔවුන් සේවයේ නිරතව සිටින රාජ්‍ය ආයතනවල ද සේවක හිගය තවදුරටත් වර්ධනය වන අතර, උපාධිධාරීන්ගේ විරැකියා ප්‍රශ්නය තවත් ගැඹුරුවනු ඇත.
කොවිඩ්-19 වසංගතය හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලයන් විසින් යුක්ක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර ක්‍රමයේ ආර්බූදය යටතේ ලොව පුරා සහචර ධනපති ආන්ඩු රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් කප්පාදුව වේගවත් කරමින් සමාජ-ප්‍රතිවිප්ලවයක් මුදා හැර තිබේ.
එම ලෝක අර්බූදයේ කොටසක් ලෙස, ලංකාවේ අපනයන ආදායම් පහල යමින් විදේශ නය අර්බූදය දිනනේ දින උග්‍ර වෙමින් පවතී. ජාමූඅ සමග නය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිලිවෙලකට ගමන් කොට ඇති ආන්ඩුවේ එකම විකල්පය වන්නේ අර්බූදයේ බර මහජනයා මත පැටවීමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජ සුභසාධන කප්පාදුව, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය හා මහජනයා මත බදු බර පැටවීම ඇතුලු ප්‍රහාර මාලාවක් ජාමූඅ කප්පාදු නියෝගවලට අඩංගු වේ.
“ඵලදායි නොවන සේවකයන්“ හා “අතිරික්ත සේවකයන්“ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය හඳුන්වා දෙමින් සෑම රාජ්‍ය ආයතනයක ම සේවක සංඛ්‍යාව “අඩු කිරීමට“ මේ දිනවල කටයුතු සිදු කරමින් යන බව ජනවාරි 31 දා රජයේ කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක දී ඇමති බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කලේ ය. අතිරික්ත ගුරුවරු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු යොදා ඇතැයි ගුනවර්ධන එහිදි වැඩිදුරටත් අවධාරනය කලේ ය.
'ඵලදායි නොවන' හා 'අතිරික්ත' යන්න නිර්නය කෙරෙනුයේ, රාජ්‍ය සේවක වැටුප් සඳහා රජය විසින් වැය කරන මුදල කෙතරම් කප්පාදු කලයුතුද යන්න සම්බන්ධයෙන් ජාමූඅ දෙන විධානයන් මත මිස, මහජන අවශ්‍යතාවයන් සලකා නොවේ.
කෝවිඩ්-19 වසංගතය තුල සිදු කල සීමා පැනවීම් තුල සේවයට කැඳවනු ලැබූවේ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් සියයට 30-50 අතර ප්‍රමානයක් නිසා අඛන්ඩව අවශ්‍ය වන්නේ ද එවන් සංඛ්‍යාවක් බව හුවා දක්වමින්, පසුගිය වසරේ අප්‍රේල් මස 25 දා මිනිස් බල සහ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද “සංකල්ප පත්‍රිකාවක්“ යෝජනා කලේ, රාජ්‍ය අංශය සියයට 50 කින් කප්පාදු කිරීමටයි. අතිරික්ත යයි නම් කරන සේවකයන් වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දී විදේශ රැකියාවන්හි නිරතවීමේ අවස්ථාවන් ලබා දීමට එහි දී යෝජනා වූ අතර එය දැන් ක්‍රියාත්මක වෙමින් පවති.
රාජ්‍ය අංශය මත දිගේලි කර ඇති මෙම ප්‍රහාරයේ තවත් කොටසක් වන්නේ “පාඩු ලබන හා අකාර්යක්ෂම“ යන කඩතුරාව යටතේ පෞද්ගලීකරනය වේගවත් කිරීමයි. විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය, තැපැල් වැනි රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය හරහා තවදුරටත් රැකියා හා මහජන සේවාවන් කප්පාදු කිරීම ආන්ඩුවේ එල්ලයයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පසුගිය වසරේ උපාධිය සම්පූර්න කල වයඹ පලාතේ උපාධිධාරිනියක් තම ගැටලු විස්තර කලා ය. “පසුගිය අවුරුදු කිහිපයේ අපි අධ්‍යාපනය හැදෑරුවේ විශාල අසීරුතා මැද. වසංගතය ඉන් ප්‍රධානයි. ආර්ථික ප්‍රශ්න දරුනු වෙලා තියෙන කොට තවදුරටත් දෙමාපියන්ට බරක් වෙලා ඉන්න බෑ. විවාහයක් වෙන්න රැකියාව බලපානවා “.
තම ප්‍රදේශයේ පාසල් ගනනාවක ම සෞන්දර්ය විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු පවතින බව ප්‍රකාශ කල ඇය රැකියා ලබා නොදීම සම්බන්ධව ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ හා ආන්ඩු වෛරයෙන් හෙලා දුටුවාය.
ධනපති ආන්ඩු තරුනයන්ගේ අනාගතය සම්බන්ධව දක්වන නො තැකීම 2019 දී බඳවා ගනු ලැබූ සංවර්ධන නිලධාරීන් හරහා යලි ප්‍රකාශ වී තිබේ. මාස 10 ක “පුහුනු කාලය“ තුල ඔවුන්ට ලැබුනේ රුපියල් 20,000ක දීමනාවකි. ගුරු සේවයට පැමිනීමට බලාපොරොත්තුවන ඔවුන්ට යලි තරග විභාගයට පෙනී සිටීමට බල කෙරී ඇත. සේවය සඳහා පාසල් හිමි වන්නේ ලබන ලකුනු හා අදාල දිස්ත්‍රික්කයේ පවතින ගුරු පුරප්පාඩු මතයි. හැදෑරු විෂයට අදාල පුරප්පාඩු නොමැති උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් සිය ගනනක් සමාජ මාධ්‍යවල තම දුක් ගැනිවිලි ඉදිරිපත් කර තිබේ.
ආර්ථික සංවර්ධන පත්වීම් ලැබූ උපාධිධාරියෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. “දැනට මම පාසලක ඉගැන්වීම් කටයුතු කරනවා. නමුත් උදේ 7.30 ට ආරම්භවන අපේ වැඩ දිනය අවසන් වන්නේ හවස 3.30 ටයි. පාසල් කාර්යාලයේ වැඩත් අපි කරන්න ඕන. මේ දවස්වල තරග විභාගයට සූදානම් වෙන්නත් වෙලා තියෙනවා. මගේ මුලු වැටුප රුපියල් 46,000යි. මේ වැනි වැටුපකින් පවුලක් නඩත්තු කරන්න බෑ“.
උපාධිධාරීන්ගේ විරැකියාව වැඩෙන තරුන විරැකියාවේ කොටසක් පමනි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 තුන්වන කාර්තුව වන විට උසස් පෙල හා ඉන් ඉහලට අධ්‍යාපනය හැදෑරූවන් අතර නිල විරැකියාව සියයට 8.7 කි. වයස අවුරුදු 15-24 අතර විරැකියාව සියයට 23.8 ක් වන අතර, අවුරුදු 25-29 අතර එය සියයට 13.3 කි. ගැඹුරු වන ආර්ථික අර්බූදය හමුවේ රටපුරා කුඩා කර්මාන්ත, සුලු ව්‍යාපාර බංකොලොත් වන තත්වයේ දී සැබෑ විරැකියාව මෙම නිල දත්තවලට වඩා බරපතල වනු නිසැක ය.
උග්‍රවන විරැකියාවෙන් බැටකන දහස් සංඛ්‍යාත තරුනයන් ද, උද්ධමනය, බදු බර, දීමනා කප්පාදු ආදී ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව සටන් වැද සිටින දසදහස් සංඛ්‍යාත කම්කරුවන් ද ඒකාබද්ධ කරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා එම ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි සටනක් වර්ධනය කිරීම වලක්වනුවස්, ගුරු තරග විභාගය සඳහා උපාධිධාරීන් ද සම්බන්ධ කර ගන්නැයි ඉල්ලා ආන්ඩුවට දියාරු ආයචනා කිරීම්වල ගුරු වෘත්තීය සමිති නිරත වී සිටී.
ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) එවැනි වඳ ආයාචනා කරමින් අධ්‍යාපන ඇමති ප්‍රේමජයන්ත වෙත ලිපි දෙකක් යවා තිබේ. ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජවිපෙ සහ එහි වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැගීමට මුලුමනින්ම පක්ෂ ය.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙය වන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය (ඒරැවිඋස), ගුරු විභාගය සඳහා අනෙකුත් උපාධිධාරීන්ට අවකාශ ලබදෙන විසඳුමක් නො ලැබුනහොත් “දැඩි ක්‍රියාමාර්ගවලට“ ගමන් කරන බව පවසමින් පලාත්බද විරෝධතා සංවිධානය කරයි. ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධයැයි ව්‍යාජව පවසන පෙසප, ජාමූඅ ඇතුලු ධනපති පද්ධතියට එරෙහි සටනකින් කම්කරු පංතිය වලකා, ආන්ඩුවට බලපෑම් යෙදීමේ විරෝධතාවන්හි ඔවුන් සිරකොට, ජාමූඅ හි ප්‍රහාරයන්ට යටත්කරදීමේ දැනුවත් ව්‍යායාමයක යෙදී සිටී.
'කම්කරුවනි, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය කල හැක්කේ කෙසේද?' යන හිසින්, සමාජවාදී සමානතා පක්ෂය නිකුත්කල ප්‍රකාශයේ සඳහන්වන පරිදි, 'ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අව්‍යාජ අරගලයක් දියත් කිරීමට නම් කම්කරුවන් තම අයිතීන් සඳහා සටන තමන්ගේ අතට ගැනීම අවශ්‍ය ය. මේ සඳහා, සෑම වැඩපොලකම, කම්හලකම හා නිවහන් ප්‍රදේශයක ම, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට යෝජනා කරයි. එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ගම්බද පීඩිතයන්ට ද කැඳවුම් කරමු.'