ජනාධිපති “ජාතික සංහිඳියාවේ” සමුලුව පවත්වයි

[මෙය Sri Lankan president holds “national reconciliation” conference යන මැයෙන් 2023 ‌ ජනවාරි 02 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

දෙසැම්බර් 13 දා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ජාතික ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නේ” කෙසේදැයි සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුලුවක් කැඳවීය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට එරෙහි ව නැගෙන සමාජ කෝපය මධ්‍යයේ විරුද්ධ පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ විසින් කරන ලද තවත් මංමුලා සහගත උපාමාරුවකි.

සමුලුවට සහභාගී වූවන් අතර පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොජපෙ), විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ එහි සහයෝගී පක්ෂ වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහ දෙමල ජනතා ජාතික සංසදය ඇතුලත් විය. මෙම මාසයේ සපාස රැස්වීම් කිහිපයක් පැවැත්වෙනු ඇත.

පෙබරවාරි 4 දා පැවැත්වීමට නියමිත රටේ 75 වැනි නිදහස් සැමරුමට පෙර “ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා පොදු එකඟතාවකට” එලැඹෙන ලෙස වික්‍රමසිංහ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ ය. ඔහු “රටේ දෙමල සුලුතරයේ දුක්ගැනවිලිවලට කල්පවත්නා විසඳුමක්” ඉල්ලා සිටී.

වික්‍රමසිංහගේ උජාරු ප්‍රකාශයන් තිබිය දී, සර්වා පාක්ෂික සමුලුව සම්පූර්න වංචාවක් වන අතර දෙමල සුලුතරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත. 1948 ඊනියා නිදහසේ සිට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු ක්‍රමානුකූල ව දෙමල ජනයාට වෙනස් කොට සැලකීම් කර ඇත. කම්කරු පන්තිය සිංහල හා දෙමල රේඛා ඔස්සේ බෙදා ධනේශ්වර පාලනයට මුක්කු ගැසීම සඳහා වර්ගවාදය දිගින් දිගට ම සූරා කෑමට පාලක පන්තිය කටයුතු කර ඇත.

1983 දී, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), දශක ගනනාවක දෙමල-විරෝධී වෙනස්කම් කිරීම් වලින් පසු ව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව වර්ගවාදී යුද්ධයක් අවුලුවාලී ය. එම එජාප ආන්ඩුවල ඇමතිවරයෙකු වූ වික්‍රමසිංහ, ශ්‍රී ලාංකික දෙමල ජනයාට එරෙහි ව මුදා හරින ලද ලේ වැකි සාහසිකත්වයේ වගකීම බෙදා ගනී. දිවයිනේ දකුන පදනම් කරගත් සහ පසුගිය මාසයේ රැස්වීමට සහභාගී වූ අනෙකුත් සියලුම පක්ෂ, මෙම යුද්ධය දිගට ම ගෙන ගිය ආන්ඩුවලට නායකත්වය දී හෝ එහි ආධාරකරුවන් ව සිට ඇත.

එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව, 26 වසරක ගැටුමේ දී ලක්ෂ සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ඝාතනය කරන ලද අතර, එහි අවසන් මාසවල දී හමුදාව විසින් 40,000 ක් සමූලඝාතනය කරන ලදී. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊ පරාජයත් සමඟ යුද්ධය අවසන් වූ විට, හමුදාව යටත් වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කර, සිවිල් වැසියන් 300,000 ක් පමන හමුදා පාලනය යටතේ පවතින රැඳවුම් කඳවුරුවලට ගාල් කලේ ය. දෙසැම්බර් 13 රැස්වීමේ සියලු ම දේශපාලන පක්ෂ මෙම අපරාධ ආරක්ෂා කර ඇත්තේ, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක දී” ඒවා නීත්‍යානුකූල යැයි පවසමිනි.

2006 ජූනි 21 බදාදා, ශ්‍රී ලංකා සොල්දාදුවන් යාපනයේ මුර සංචාරයේ යෙදෙමින්. [AP Photo/Eranga Jayawardena]

උතුරේ සහ නැඟෙනහිර පදිංචිකරුවන්ට එරෙහි ව මුදා හරින ලද විනාශය ඔවුන් අවසානයක් නැති දුක්ඛිත තත්වයකට ඇද දමා ඇත. දහස් ගනන් යුද වැන්දඹුවන් ඇතුලු බොහෝ දෙනෙක් මූලික පහසුකම් නොමැති ව කුරිරු දරිද්‍රතාවයේ ජීවත් වෙති. යුද්ධයෙන් විනාශ වූ පලාත් තවමත් දැඩි මිලිටරි ආක්‍රමනයක් යටතේ පවතින අතර දෙමල ජනගහනය, විශේෂයෙන් ම තරුනයින් නිරන්තර හිරිහැරවලට සහ බිය ගැන්වීම්වලට ලක් වේ.

දෙසැම්බර් 13 රැස්වීම අමතමින් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ, “අතුරුදහන් වූවන් සඳහා” වන්දි ලබා දීම, ඔවුන්ගේ පවුල්වලට මරන සහතික නිකුත් කිරීම සහ දැනට හමුදාව විසින් අල්ලා ගෙන සිටින ඉඩම් නිදහස් කිරීම සඳහා ප‍්‍රමුඛතාවය දෙන බවයි. “අතුරුදහන් වූවන්” ඇත්ත වශයෙන් ම, යුද සමයේ දී හමුදාව විසින් පැහැර ගෙන ගොස් රහසිගත ව ඝාතනය කර ඇත. උතුරු නැගෙනහිරට “බලය බෙදා හැරීම” වැනි ප්‍රධාන කරුනු පසු ව සාකච්ඡා කල හැකි බව ද ඔහු පැවසී ය. බලය බෙදීම යනු කම්කරු පන්තිය ඒකාබද්ධ ව සූරා කෑම තුල උතුරු හා නැගෙනහිර පලාත් පාලනය කිරීම සඳහා දෙමල ප්‍රභූව සමග සීමිත බලය බෙදා ගැනීමේ විධිවිධාන ස්ථාපිත කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටින විපක්ෂ සජබ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සාකච්ඡාවට “ඉතා වැදගත්කමක්” ඇති බවත්, “වැඩසටහන සඳහා කාල රාමුවක් තිබීම ගැන තමා සතුටු වන බවත්... [සහ එය] රටට විශාල ප්‍රයෝජනයක් වනු ඇති බවත්‍ ය.” අනෙක් සියලු ම සහභාගිවන්නන් වික්‍රමසිංහගේ ඉල්ලීම් පිලිගත්හ.

සැලකිය යුතු කරුනක් වන්නේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හෝ එය නායකත්වය දෙන ජාතික ජන බලවේගය සපාස සඳහා සහභාගී නොවීමයි. ජවිපෙ වර්ගවාදී යුද්ධයට මුලුමනින් ම පිටුබලය දුන් අතර එහි සියලු අපරාධ ආරක්ෂා කර ඇත.

මෑත වසරවල දී, තම වර්ගවාදී දේශපාලනය වසන් කිරීමේ උත්සාහයක යෙදී සිටින ජවිපෙ, වාර්ගික වෙනස්කම්වලට විරුද්ධ වන බව කියා සිටියේ ය. මේ වන විට දකුනේ සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පාර්ලිමේන්තු සහාය ශක්තිමත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුනට සර්ව පාක්ෂික සමුලුව සමඟ අනන්‍ය වීමට අවශ්‍ය නැත.

වික්‍රමසිංහගේ වංචනික සර්ව පාක්ෂික සමුලුව යනු රටේ ආර්ථික ව්‍යසනය ජනතාව මත පැටවීම සඳහා දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවල, විශේෂයෙන්ම දෙමල පක්ෂවල සහයෝගය දිනා ගැනීමේ උත්සාහයකි.

අනෙකුත් රටවල මෙන් ම, ශ්‍රී ලංකාවේ අර්බුදය කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් තීව්‍ර කර ඇත. ජාමූඅ ඉල්ලීම් වලට අනුකූල ව, වික්‍රමසිංහගේ 2023 අයවැයට රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පුද්ගලීකරනය, රැකියා දස දහස් ගනනක් කප්පාදු කිරීම, සහනාධාර කප්පාදුව, වැඩකරන ජනතාව මත ඉහල බදු සහ උපයෝගිතා මිල ඉහල දැමීම ඇතුලත් වේ.

ප්‍රධාන දෙමල පාර්ලිමේන්තු පක්ෂය වන දෙජාස, ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුලුව කැඳවුමේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකි. පසුගිය නොවැම්බරයේ අයවැය ඡන්ද විමසීමේ දී, එය පාර්ලිමේන්තුවේ දැඩි පියවරයන් සම්මත වීමට ඉඩ සලසා දෙමින් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටියේ ය. නරුම උපාමාරුවක දී, දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් එහි ඡන්දය දීමෙන් වැලකී සිටීම යුක්ති සහගත කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි මෙම අයවැයට විරුද්ධ වෙමු, නමුත් එක් හේතුවක් නිසා අපි එයට විරුද්ධ ව ඡන්දය නොදීමට තීරනය කර ඇත්තෙමු. … අපට සැක සහිත වුවත්, දිගුකාලීන ව පවතින දෙමල ජාතික ප්‍රශ්නය විසඳීමට තමන් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා පවසා තිබේ.”

දෙජාස ක්‍රියාමාර්ග, වැඩකරන ජනතාවගේ සහ දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජ අයිතීන් පිලිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන නමුත්, කොලඹ සමග බලය බෙදාගැනීමේ සැලැස්මක් හරහා තමන්ගේම වරප‍්‍රසාද ලබා ගැනීමට මුලුමනින්ම නියැලී සිටින බවට තවත් ඇඟවීමකි.

“ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම ගැන පසුව කතා කරමු” යනුවෙන් වික්‍රමසිංහ සර්ව පාක්ෂික සමුලුවේ දී ප්‍රකාශ කල විට සුමන්තිරන් පිලිතුරු දුන්නේ: “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියෝගවලට ප්‍රධාන සංශෝධන කිසිවක් නොමැති ව, බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් වන අනෙකුත් නීති ක්‍රියාත්මක කල යුතු අතර පලාත් සභා මැතිවරනය පැවැත්විය යුතු ය.” යනුවෙනි.

මෙය, 1987 දී දිවයිනේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ පලාත්වලට බලය බෙදා හැරීම සඳහා විධිවිධාන සලසන ගැඹුරු අර්බුදයක් මධ්‍යයේ හඳුන්වා දුන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ගැන සඳහන් කිරීමකි. එය එල්ටීටීඊය නිරායුධ කිරීම සහ වැඩකරන ජනතාවගේ විරෝධය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරට ඉන්දීය සාම සාධක භටයන් එවන ලද ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසකි.

වික‍්‍රමසිංහගේ සර්ව පාක්ෂික සමුලුව, එක්සත් ජනපදයට සහ දකුනු ආසියාව තුල වොෂින්ටනයේ ප‍්‍රධාන සගයා වන ඉන්දියාවට සංඥාවක් වන අතර ඔවුන් සියල්ලෝ ම ශ‍්‍රී ලංකාව තුල “වාර්ගික සංහිඳියාව” සඳහා කැඳවුම් කර ඇත. කොලඹ වර්ගවාදී යුද්ධයට පිටුබලය දුන් මෙම රටවල්, ශ්‍රී ලාංකික දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ව කිසිදු සැලකිල්ලක් නොදක්වන නමුත් කොලඹ මත පීඩනය යෙදීම සඳහා ප්‍රශ්නය ගසා කෑහ.

එක්සත් ජනපදය හා ඉන්දියාව, කොලඹ සමග බීජිනයේ ආර්ථික සබඳතා ගැන සැලකිලිමත් වේ. විශේෂයෙන්ම වොෂින්ටනය, බීජිනය සමග එහි සබඳතා බිඳ දැමීමට කොලඹ ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් භාවිතා කරයි. දෙජාස සහ අනෙකුත් දෙමල පක්ෂ ද චීනයට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යාපාරයට පිටුබලය දෙන අතර ඊට ප්‍රතිඋපකාර වශයෙන් වොෂින්ටනය සහ නවදිල්ලිය කොලඹ සමග බලය බෙදාගැනීමේ ගනුදෙනුවක් ලබා ගැනීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කරති. මෙම දෙමල පක්ෂ කොලඹ ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපදයේ අනුග්‍රහය ඇති මානව හිමිකම් යෝජනා වලට සහය දක්වා ඇත.

පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මාසවල දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින්, වාර්ගික රේඛා කපාගෙන පැමිනි කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ මහජන විරෝධතා අතරතුර දෙජාස නායකත්වයේ නීච භූමිකාව හෙලිදරව් විය. සුමන්තිරන් පසු ගිය දා හෙලිදරව් කලේ වෛරයට පාත්‍ර වූ රාජපක්ෂ පාලනය සහ අනෙකුත් ප්‍රමුඛ පෙලේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සමඟ තම පක්ෂය සාකච්ඡා කල බවයි. දේශපාලන “ස්ථාවරත්වය” නිර්මානය කිරීම, විරෝධතා අවසන් කිරීම සහ ජාමූඅ කප්පාදු නියෝග පැනවීම සාකච්ඡාවල අරමුන විය.

අතීතයේ දී මෙන්ම, වික‍්‍රමසිංහගේ සපාසහි දෙමල පක්ෂවල සහභාගීත්වය, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ධනේශ්වර ප‍්‍රභූවේ සියලු කොටස්වල එකමුතුව අවධාරනය කරයි. ඔවුන්ගේ බිය පවතින්නේ, ධනේශ්වර පාලනයට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් පිලිබඳවයි.

දෙමල ජාතිකවාදී පක්ෂවල තුච්ඡ දේශපාලන උපාමාරුවලට වාර්ගික වෙනස්කම් කිරීම නැවැත්වීම සමග යම් සම්බන්ධයක් ඇතැයි දෙමල කම්කරුවන්ට හා තරුනයින්ට කිසිදු මිත්‍යාවක් නොතිබිය යුතු ය.

සුලුතර දෙමල ජනතාවට එරෙහි ව දශක ගනනාවක් තිස්සේ පවතින වාර්ගික වෙනස්කම් කිරීම් අවසන් කල හැක්කේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය තුල, ශ්‍රී ලංකාවේ—සිංහල, දෙමල සහ මුස්ලිම් යන භේදයකින් තොරව—කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් තුලින් පමනි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) වැඩපිලිවෙලයි.

1917 රුසියානු විප්ලවයේ ලෙනින් සමග සම-නායකත්වය දැරූ ලියොන් ට්‍රොට්ස්කි, ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුලින් විස්තාරනය කල පරිදි, පමා වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරයේ කිසිදු කොටසක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මූලික කර්තව්‍යයන් දිනා නොගනු ඇත. සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් වන ඒවා සාක්ෂාත් කරගත හැක්කේ, අනෙකුත් පීඩිත ජනතාව පෙලගස්වා ගන්නා කම්කරු පන්තියට පමනි.

මෙම ඉදිරිදර්ශනය මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය එක්සත් කිරීම හා බලමුලු ගැන්වීම සඳහා සටන් කරන එකම පක්ෂය සසප යි. එම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා සසප, සියලු ධනේශ්වර පක්ෂ හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සෑම වැඩපලක ම, කම්හලක ම, වතුකරයේ, අසල්වැසි ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශයකින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම් ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත්තේ මේ නිසා ය.

Loading