වත්මන් ආර්ථික අර්බුදය “නොවිසඳී පවතිනතෙක්” සහ ආර්ථිකය “මුලුමනින්ම ප්‍රකෘතියට පත්වනතෙක්”, රජයේ සේවකයන්ට සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට වැඩි වැටුප්, අතිකාල දීමනා සහ බෝනස් ඉල්ලීම් කිසිවක් ලබා නොදීමට අමාත්‍ය මන්ඩලය තීරනය කල බව, එහි ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන දෙසැම්බර් 13 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.
ආන්ඩුව මෙම තීරනය ගනු ලැබුවේ, අදාල ඉල්ලීම් මත රාජ්‍ය සේවක අරගල මාලාවක් පුපුරා යමින් පවතින තත්වයක යි. පසුගිය සති දෙක තුල, ටෙලිකොම්, රක්ෂන, බැංකු, විදුලිය, දුම්රිය, සෞඛ්‍ය සේවා සහ නිදහස් වෙලඳ කලාප ඇතුලු විවිධ ක්ෂේත්‍රයන්හි දහස් සංඛ්‍යාත කම්කරුවෝ අයවැය විධිවිධානවලට එරෙහි ව කොලඹ සහ අනෙකුත් නගරවල විරෝධතාවලට සහභාගී වූහ. වැඩි වැටුප් සහ වැඩි අතිකාල සේවා ඇතුලු ඉල්ලීම් කීපයක් මත, 20,000කට අධික තැපැල් සේවක සහභාගිත්වයකින් දියත් කෙරුනු එක්දින වැඩ වර්ජනය එහි මෑත ම පුපුරා යාමයි.
“රට ඉතා දරුනු තත්වයකට” මුහුන දී සිටියදී තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ලබාදීම කවර තත්වයක් යටතේ හෝ සිදුකල නොහැක්කක් බව, ඉහත මාධ්‍ය හමුවේ දී ගුනවර්ධන ප්‍රකාශ කලේය. ඔහු මෙසේ ද පැවසීය: “මිලියන සංඛ්‍යාත පවුල් තම ජීවිත ගැට ගසා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදී සිටිය දී, මේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතිශය අසාධාරනයි, අයුක්තිසහගතයි සහ අධමයි.”
ගුනවර්ධනගේ මෙම ප්‍රකාශය මුලුමනින්ම කුහක ය. මිලියන සංඛ්‍යාත ජනයා මුහුන දෙන දුක්ඛිත තත්වය සම්බන්ධයෙන් වගකිවයුත්තේ, රාජ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පංතිය නොව, ගුනවර්ධන ද ඇතුලත් වික්‍රමසිංහ ආන්ඩුව සහ ධනපති පාලක පංතියයි. විදුලිය, ජලය සහ ඉන්ධන මත තිබූ මිල සහන කපා දමමින් ද, බදු ඉහල නංවමින් ද ඉසිලිය නොහැකි ජීවන බරක් මහජනතාව මත පටවා ඇත්තේ ගුනවර්ධන ඇමතිකම් දරන ආන්ඩුවයි. එයට ධනපති පාලක පංතියේ සියලු කොටස් සහාය දක්වති.
කෙසේ හෝ දිවි ගැට ගසා ගැනීමට වෙර දරන මහජනතාව සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක්, ගුනවර්ධන ඇතුලු පාලක පංතියේ කිසිවෙකුට නොමැත. ඔහුගේ ප්‍රකාශයේ සැබෑ අරමුන වනුයේ, ආන්ඩුවේ ප්‍රහාර හමුවේ අරගලයට පිවිසෙන කම්කරුවන්ට එරෙහි ව, අනෙකුත් කම්කරුවන් සහ පීඩිතයන් පිහිටුවාලීමයි. එය තවදුරටත් විදාරනය කරමින් ගුනවර්ධන මෙසේ කියයි: “ඒ නිසා මම රටේ ජනතාවට ආරාධනා කරනවා මාසෙකට පැය 80 සිට පැය 240 දක්වා අතිකාල වැඩි කරන්න කියන ඉල්ලීම සාධාරනද කියලා තීරනය කරන්න කියලා.”
ආන්ඩුවේ මෙම තීරන ගලා එන්නේ, මිලියන සංඛ්‍යාත මහජනතාවගේ දැවෙන අවශ්‍යතාවයන්ගෙන් නොව, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ලාභ පිපාසිත අවශ්‍යතාවන්ගෙනි. ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලි සිටින වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඉල්ලා සිටින එජ ඩොලර් බිලියන 2.9 ක හදිසි නය වෙනුවෙන් එම ආයතනය පනවා ඇති විධානයන් අතර, රාජ්‍ය වියදම් කපා හැරීම ප්‍රමුඛ ය. වැඩි වැටුප් ඇතුලු අනෙකුත් ඉල්ලීම් කිසිවක් ලබා නොදීමට ආන්ඩුව ගෙන ඇති තීරනය ඒ හා බැඳී පවතී.
සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දුගී සහනාධාර ඇතුලු සමාජ සුබසාධන වියදම් දැවැන්ත පරිමානයෙන් කපා දැමීම මෙන්ම, පුද්ගලීකරනය වේගවත් කිරීම ජාමූඅ විධානයන් මගින් නිර්නිත අනෙකුත් ප්‍රහාරයෝ වෙති.
2023 අයවැය විවාදය අවසන් කරමින් දෙැසැම්බර් 08 දා ජනාධිපති වික්‍රමසිංහ කල කතාව තුල, මෙම ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමේ නිර්දයභාවය පෙන්නුම් කරමින් මෙසේ පැවසී ය: “රටේ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරන ගැනීමට සිදුවී ඇත. … අපි දැඩි තීරන ගත යුතුයි. අපි මෙතන සිටින්නේ දැඩි තීරන නොගත් නිසා.”
වික්‍රමසිංහගේ කතාවෙන් දින පහකට පසු වැටුප් ඉල්ලීම් ලබා නොදීමට ආන්ඩුව ගත් “දැඩී තීරනය” හුදෙක් රාජ්‍ය අංශයේ සේවකයන්ට පමනක් නොව, පුද්ගලික අංශයට ද ඝෘජුව බලපානු ඇත. දැනටමත් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සිටින පුද්ගලික අංශයේ හාම්පුතුන්, ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම සඳහා ආන්ඩුවේ තීරනය පිනුම්පිත්තක් සේ යොදාගනු නිසැක ය.
කෙසේ නමුත්, ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් එහි ප්‍රහාර ආපසු හැරවිය හැකි වෙතැයි යනුවෙන්, වෘත්තීය සමිති නිලධරය කම්කරුවන් අතර වපුරන මිත්‍යාව ආන්ඩුවේ මෙම තීරනයෙන් කීතු කෙරී ඇත. අවම වසයෙන්, සොච්චම් වැටුප් වැඩිවීමක් හෝ ලබා නොදීමට තීරනය කිරීම මගින් ආන්ඩුව විවෘත ව ම ප්‍රකාශයට පත් කොට ඇත්තේ පන්ති යුද්ධය යි.
ඒ සඳහා තම සූදානම ජනාධිපති වික්‍රමසිංහ යලියලිත් පෙන්වා ඇත. නොවැම්බර් 23 දා අයවැය විවාදයේදී ඔහු තර්ජනාත්මකව කියා සිටියේ, හදිසි නීතිය පනවා, මිලිටරිය සහ පොලීසිය යොදවමින්, ආන්ඩු-විරෝධී අරගල තලා දමන බවයි. විදුලිබල, ඛනිජතෙල් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි වැඩ වර්ජන තහනම් කිරීම සඳහා රුදුරු 'අත්‍යවශ්‍ය සේවා පනත' යොදා ගත් වික්‍රමසිංහ, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් දඩයම් කිරීම සඳහා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් සිටී.
කෝවිඩ් වසංගතයෙන් සහ යුක්රේනය තුල යුද්ධයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, වික්‍රමසිංහ ඇතුලු ලොවපුරා පාලකයන් කම්කරු පංතියට එල්ල කරනු ලබන ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩුවලට සහ ගෝලීය ධනවාදයට එරෙහිව කම්කරුවන් විසින් දියත් කරනු ලබන ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි.
ධනේශ්වර පද්ධතියට බැඳී සිටින වෘත්තීය සමිති එවන් අරගලයකට පරම වසයෙන් ම සතුරු ය. ජාමූඅ ප්‍රහාර අනුමත කරන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු ධනපති පක්ෂ වලින් ද, එම පක්ෂවල අත යටට කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් තල්ලු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන වලින් ද, වෘත්තීය සමිති වලින් ද බිඳී තමාගේ ම ස්වාධීන බල සංස්ථා ගොඩනගා ගැනීමට කම්කරුවන් පෙරට පැමිනීම මෙහි දී අත්‍යවශ්‍ය ය.
කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන, ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු තීරන ගැනෙන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක ම, කම්හලක ම සහ නිවස්නා ප්‍රදේශයක ම ගොඩනගාගන්නා ලෙසත්, ඒ වටා අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින් පහත ඉල්ලීම් මත සටන් වදින ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කරයි.
- ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු! වැටුප් කප්පාදු එපා! විශ්‍රාම වැටුප් කප්පාදු එපා!
කුසගින්න සහ මන්දපෝෂනය එපා! සැමට ප්‍රමානවත් ආහාර සහ පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනු!
සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත් කරගනු! ප්‍රධාන බැංකු සහ සංගත කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!
ඉහත ක්‍රියාකාරී කමිටු දිවයින පුරා විස්තාරනය කොට, ඒවායේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ සම්මේලනයක් කැඳවීමට ද එය තුලින් සමාජවාදී ඉදිරිදර්ශනයක් සාකච්ඡා කොට අනුමත කර ගැනීමට ද, එම වැඩපිලිවෙල මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි.