ලංකාවේ කලාකරුවෝ රාජ්‍ය මර්දනයට එරෙහි සසප රැස්වීමට සහාය පල කරති

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ආන්ඩු විරෝධීන් දහස් ගනනක් අත්අඩංගුවට ගනිමින් ගෙනයන මර්දනයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය උද්ඝෝෂනයක් දියත් කර ඇත. මෙහි කොටසක් ලෙස, “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන මැයෙන් සැප්තැම්බර් 25දා පැවැත්වෙන ඔන්ලයින් රැස්වීම සඳහා කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා කලාකරුවන් අතර ගෙන යමින් පවත්නා උද්ඝෝෂනයට බලගතු ප්‍රතිචාර ලැබී ඇත.

රැස්වීම සඳහා පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුල පලකල කෙටි ප්‍රචාරක වීඩියෝව, දැනටමත් තුන්සියකට ආසන්න ප්‍රමානයක් බෙදාහදාගෙන (share) ඇති අතර, දහසකට ආසන්න නැරඹුම් වාර ගනනක් සටහන් වී ඇත. අත් පත්‍රිකාවක් ලෙස මහජනයා අතර දහස්ගනනින් බෙදාහරින ලද, මර්දනට එරෙහි ව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කෙරුනු සසප ප්‍රකාශයට ද උනන්දු සහගත ප්‍රතිචාර ලැබෙමින් පවතී.

මෙ මගින් පෙන්නුම් කරන්නේ, ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව නැගී සිටිම සඳහා මහජනයා තුල පවත්නා බලගතු අවශ්‍යතාවයි. පහත පල කෙරෙන්නේ, මෙම උද්ඝෝෂනයට සහාය පලකරමින්, මෙරට කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිර්මාන ගනනාවක් බිහිකල කලාකරුවන් සතර දෙනෙකු ලෝසවෙඅ වෙත ලබා දුන් ප්‍රකාශයන් ය.

***

සම්මානලාභී සිනමාකරුවෙකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වන මාලක දේවප්‍රිය:

“පශ්චාත් කෝවිඩියානු පරිසර තත්ත්වයන් තුල විවිධ සමාජ ප්‍රශ්න හා අර්බුද රැසක් නිර්මානය වෙමින් දැඩි ආර්ථික අවපාතයක ලාංකේය සමාජය පවතී. ලෝකයේ සෙසු රටවලින්ද එවන් පුවත් ඇසීමට ලැබීම පෙන්නුම් කරන්නේ, මෙම ව්‍යසනකාරී තත්වය හුදෙක් ලංකාවට පමනක් සීමා නොවූ, ගෝලීය ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ කොටසක් බවයි. තෙල්,ගෑස්, විදුලිය, ඖෂධ, ආහාර ආදී මූලික අවශ්‍යතා පවා ලබා ගැනීම ඉතා දුෂ්කර තත්වයක ඇත.

ජනතාවගේ ප්‍රශ්න දෙස බලා ඒවා විසඳීම වෙනුවට, ආන්ඩුව, ජනතාවට එරෙහි ව සූක්ෂම මර්දන යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන්නා වූ ස්වරූපය හඳුනා ගත හැකි ය. හදිසි නීති පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටිඒ), අයිසීසීපීආර් පනත යනාදී විවිධ පනත් කෙටුම්පත් යොදා ගනිමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මර්දනය රැගෙන එන අයුරු කැපී පෙනේ.

ගොරතර අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රීක අයිතීන් ආරක්ෂා කරගැනීමට ජනතාව තුලින් නැගෙන විරෝධය, ප්‍රතිවිරෝධය, විවේචන යටපත් කර දමා ඔවුන් අත්අඩංගුවට ගැනීම් රැසක් ක්‍රියාත්මක වෙයි. මර්දනකාරී පීටීඒ යොදාගෙන ආන්ඩු විරෝධී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමේ සිදුවීම මෙම විෂකුරු මර්දනයට එක් උදාහරනයක් පමනි.

මාලක දේවප්‍රිය

ධනවාදයේ අර්බුදය මගින් වත්මන් පාලනයන් අධිකාරවාදී පාලන ක්‍රමයන්ට තල්ලු කරන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ඒ මත පදනම් වූ සංස්කෘතියකට වෛෂයික ඉඩක් නැත. එයින්, පීඩිතයින් දිනා සිටින සීමිත අයිතීන්ට එරෙහි කුමන්ත්‍රන යුගයක් ද, නීති පද්ධතිය උඩු යටිකුරු කිරීමක් ද, පවතින සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අහෝසි කිරීමේ මර්දනයක් ද ඇරඹෙයි. මේ මර්දනයට ගොදුරුවූවන් අතර කම්කරු නායකයෝ, දේශපාලන නායකයෝ, මාධ්‍යවේදියෝ, කලාකරුවෝ හා සාමාන්‍ය ජනතාව සිටිති.

රාජ්‍ය විසින් සමකාලීන ව දියත් කරමින් පවතින මර්දන යාන්ත්‍රනයට විරුද්ධ ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන උනන්දුවක් දක්වන ලංකාවේ කලාකරුවන් පමනක් නොව සෙසු ජන කොටස් ද කොන්දේසි විරහිත ව පෙල ගැසිය යුතු බව මාගේ අදහසයි. මන්දයත්, සමකාලීන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගත හැක්කේ වැඩකරන ජනයා පෙරටු කර ගත් පොදු සටනක කොටසක් ලෙස බැවිනි. “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” මැයෙන් සැප්තැම්බර් 25දා සමාජවාදී සමානතා පක්ෂය පවත්වන ඔන්ලයින් රැස්වීම මෙම සටනේ මූලික පියවරක් බව විශ්වාස ය.

දෘශ්‍ය හා අභිවහන කලාකරුවකු සහ පරිවර්තකයකු වන ලොහාන් ගුනවීර:

ආන්ඩුවට එරෙහි උද්ඝෝෂනවලට සහභාගී වූවන් දඩයම් කිරීමේ ක්‍රියාදාමය දිනපතා මෙගා ටෙලි නාටකයක් මෙන රට අබියස රඟදක්වනු ලැබේ. දිනෙන් දින අලුත් අලුත් චෝදනා එලිදැක්වෙයි. එක අතකින් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම් ය; අනිත් අතින් “චෝදනා” එල්ල වූවන් සොයාගැනීම සඳහා පොලිසිය “ජනතාවගේ” සහාය පතයි. ධනපති මාධ්‍ය ද “අරගලය” වාර්තා කිරීමේ සිට අංශක 180 කින් හැරී මේ නාටකය විකාශය කරයි; වේවැල අතට ගත් ගුරුවරුන් මෙන් ධනපති මාධ්‍ය පන්ඩිතයින් අරගලකරුවන්ගේ “වැරදි” ගැන තරවටු කරනු සෑම උදෑසනක ම පාහේ රූපවාහිනී නාලිකාවලින් ඇසේ.

මෙසේ අත්ඩංගුවට ගැනෙන අය එකතු වන්නේ දසක ගනනක් තිස්සේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු විසකුරු මර්දක නීති යටතේ හිරගෙවල්වල හා කුප්‍රකට රැඳවුම් මධ්‍යස්ථානවල දුක් විඳින දේශපාලන හිරකරුවන් ගොඩට ම යි. සත්තකින් ම රාජපක්ෂ ආන්ඩුවට එරෙහි අරගලවලට කුමන ස්වරූපයකින් හෝ දායක නොවූවකු සොයාගැනීම ලෙහෙසි නැත. එනයින් මෙය ඍජුව ම සමස්ත වැඩකරන ජනතාවට හා පීඩිතයින්ට එරෙහි ව දියත් කර ඇති ප්‍රහාරයකි, තර්ජනයකි.

ලොහාන් ගුනවීර

ඒ සියල්ල එසේ වුව ද, මේ දඩයම පසුගිය මාස කිහිපයට වඩා ඉදිරි කාලපරිච්ඡේදය පිලිබඳ ප්‍රශ්නයක් බව අවධාරනය කල යුතු වෙයි. ආන්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ගෝලීය ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රයට එරෙහිව පුපුරා යාමට නියමිත මහජන විරෝධය අප්‍රේල් මාසයේ පැනනැඟි අරගලවලට වඩා බලගතු වන බවට ආන්ඩුව දැනුවත් ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දමමින්, ජනාධිපති පලවා හරිමින් පෙරට ගිය මහජන නැගිටීම පෙන්නුම් කලේ පාලක පන්තිය මොන තරම් දුබල ද යන්න යි. අරගලකරුවන්ට එරෙහි මර්දනය මේ සා පුලුල් මහජන ප්‍රදර්ශනයකට ඉදිරිපත් කර ඇත්තේ මහජනතාව ත්‍රස්ත කොට පාලක පන්තියේ දුබලතාව ජය ගැනීමේ අටියෙනි. එහෙත් ආහාර, ඖෂධ, විදුලිය, ජලය, ඉන්ධන ඇතුලු ජීවිතයේ සෑම පැතිකඩකට ම එල්ල කෙරෙන ප්‍රහාර එ මගින් අහෝසි වී නොයයි.

අරගලකරුවන්ට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදය හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිම්හ යි කියමින් මේ මර්දනයට නායකත්වය දෙන ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය හා වර්තමානය අපට කියාපාන්නේ ලෝක පරිමාන ආර්ථික අර්බුදය හමුවේ පාලක පන්තියට නිපදවිය හැකි දේවල් පිලිබඳ නිදසුනකි. ඔහුගේ පත් වීම ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. ඔහුට ඡන්දය දුන්නේ මහජනතාව එක හඬින් ප්‍රතික්ෂේප කල 225 දෙනාගේ පාර්ලිමේන්තුව පමනි. එම පත්වීම බලාත්මක කල ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව දසක ගනනක් පුරා කම්කරු පීඩිත ජනතාවන් මැඬීමට, වර්ගවාදී යුද්ධය පවත්වා ගෙන යාමට හා සියලු වැරදිවලින් නිදහස් වීමට පාලක පන්තියට අවශ්‍ය නෛතික ආවරනය සම්පාදනය කර තිබේ. ඒ සා දැවැන්ත මහජන අරගලයක උච්ඡ අවස්ථාවේ දී මේ සා ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධම ධනපති පාලකයකු බලයට පැමිනියේ කෙසේ ද? පන්ති අරගලයේ මේ සා තීව්‍ර වීමක් මැද, පෙරටත් වඩා දරුනු ප්‍රහාරයක් සඳහා පාලක පන්තියට වාරුව ලැබුනේ කෙසේ ද?

මේ ප්‍රශ්නවලට පිලිතුරු නොසොයා ආන්ඩුවේ මර්දනයට එරෙහි සටනක් සංවිධානය කල නොහැකි බව මගේ අවංක වැටහීම යි. සමාජවාදී සමානතා පක්ෂයත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියත් ආරම්භයේ දී ම මේ අර්බුදය ගැන අනතුරු ඇඟ වූ අතර, ප්‍රශ්නවලත් ප්‍රශ්නය වන්නේ “ගෝඨා ගෙදර යවන්නේ” කුමන වැඩපිලිවෙලක් මත පදනම් වෙමින් ද, කුමන සමාජ බලවේගයක ශක්තියෙන් ද යන්න බව අවධාරනය කරමින් ඊට සංයුක්ත පිලිතුරක් සම්පාදනය කලේ ඔවුන් පමනි.

25 වැනි දා සසප පවත්වන රැස්වීම අතිශය වැදගත් වන්නේ එහෙයිනි. ආන්ඩුවට එරෙහි උද්ඝෝෂනවල යෙදීමේ අයිතිය ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගත හැක්කේ එම අයිතීන් මර්දනය කරන ධනපති පන්තියේ අලුත් ආන්ඩුවක යහ ගුන ගැන විශ්වාසය තැබීමෙන් නො වේ. ජිනීවා ඇතුලු ගෝලීය ධනවාදයේ මධ්‍යස්ථානවලට ආයාචනා කිරීමෙන් ද නො වේ. සසප පැහැදිලි කරන පරිදි එය ඉටු කරගත හැක්කේ සමස්ත ධනපති ක්‍රමයේ ම, ගෝලීය ප්‍රාග්ධනයේ ම විනාශකාරී පිලිවෙත්වලට එරෙහි ව සටන් කිරීමට කම්කරු පන්තිය වෛෂයික ව ම බලමුලු ගැන්වීමෙනි.

කාටූන් ශිල්පී වසන්ත විජේසිරි:

මේ වනවිට. ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වැනි විෂකුරු නීති යොදා ගනිමින් ආන්ඩු විරෝධී පිරිස් දහස් ගනනින් දඩයම් කිරීම ආරම්භ වී ඇති අතර මෙය තම ඉල්ලීම් වෙනුවෙන් ඉදිරියට එන සියලු දෙනාට ම තර්ජනයකි. මෙතෙක් පැවති සියලු සමාජ වල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය බව මාක්ස් සහ එංගල්ස් විසින් පෙර දකින ලදී. මෑතක දී ලංකාවේ මෙන් ම ලෝකයේ පැන නගින හා පැන නගිමින් පවතින මහජන අරගල මාලාව පිලිබිඹු කරන්නේ එයයි.

වසන්ත විජේසිරි

පවතින ලෝක තත්වය නිසි ලෙස වගවිභාග කිරීමෙන් විනිර්මුක්ත ව, වර්තමානය ඉතිහාසයට ඇති සම්බන්ධය නොතකා හරිමින්, ලෝකයේ කුමන හෝ ආකාරයකින් කලාව තුල හෝ ආර්ථික, දේශපාලන බලවේග තුල විමුක්තියක් අත්කර ගැනීමට හැකි යැයි සිතන්නේ නම් එය මංමුලාවකි. පන්ති අරගලයේ ඉතිහාසයේ පාඩම් නැවත හදාරමින් වත්මන් ලෝක අර්බුදයට සමාජවාදී විසඳුමක් සෙවීමට සිතන මතන කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින් හා බුද්ධිමතුන් හැරීම මගනොහැරිය හැකි, හදිසි කර්තව්‍යයක් ලෙස දැන් ඉස්මත්තට පැමින ඇත.

ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවන ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය සඳහා බිලියන සිය ගනනින් ධනය වැය කරද්දී, එයට හිලව් ලෙස දසලක්ෂ කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් කාබාසිනියා කරනු ලබයි. එක් පැත්තකින් අතලොස්සක් බිලියනපතියන් ධනය පොදි ගසා ගනිද්දී, අනෙක් පැත්තෙන් සමාජයේ අතිබහුතරය වන කම්කරුවන් හා දුගීන් අගහිඟකම් වලින් මිරිකෙමින්, සාගින්නෙන්, මන්දපෝෂනයෙන් වසංගත වලින් මියැදෙමින් සිටී. ධනපති පන්තිය දැනුවත් ව පවත්වා ගෙන යන මේ අසමානතාවයන් අත්දකිමින් ම, ප්‍රතිසංස්කරනවාදි විකල්පයන් පිලිබඳ කතා මහජනයා දැනුවත්ව මංමුලාවට පත් කිරීමේ අරමුනින් ගොතමින් තිබේ. මෙහි පෙරමුන ගෙන ඇත්තේ, බංකොලොත් සුලුධනේශ්වර කොටස් ඇතුලු ව්‍යාජ වාම පක්ෂ ය.

සමාජ පරිවර්තනයක් උදෙසා ක්‍රියාත්මක වීමේදී මහජනයාට මෙම තීරනාත්මක ප්‍රශ්න මග හැරිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දමමින් ධනපති ආන්ඩුව සිදුකරන මර්දනයට විරුද්ධ වීමේදී ද එය පසුබිමෙහි පවතින ධනපති ක්‍රමයේ අර්බුදය නොතකා හැරිය නොහැක. කලාවේ සහ ප්‍රකාශනයේ විමුක්තිය උදෙසා සටන් කිරීම ද මෙම අරගලයේම කොටසකි. ඒ සඳහා පෙරමුන ගන්නා ලෙස, කම්කරුවන්ගෙන්, කලා කරුවන්ගෙන් හා දුගීන් ගෙන් මම ඉල්ලමි. එමෙන් ම, රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් මගේ දැඩි විරෝධය දක්වන අතරම සසප විසින් මෙම මර්දනයට එරෙහිව 25දා පවත්වනු ලබන ඔන්ලයින් රැස්වීම සඳහා සහභාගී වන ලෙස ද ඉල්ලා සිටිමි.

කිංග්ස්ලි ගුනතිලක, චිත්‍ර ශිල්පියෙක් සහ ස්ථාපන කලාකරුවෙකි.

මේ ආන්ඩුව දියත් කරලා තියෙන මර්දනය අතිශයින්ම භයානක ප්‍රවනතාවක්. මෙම තත්වය මම දකින්නේ පාලක පන්තිය උමතු සහගත ආකාරයෙන් ක්‍රියාත්මක වීම විදියට. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව තුල ෆැසිස්ට්වාදය ව්‍යාපාරයක් ගොඩනගමින් තිබීමත්, ඒ වගේ ම ඇමෙරිකාව ඇතුලු යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් යුක්‍රේනය දඩමීමා කරගනිමින් රුසියාව යටත් කරගැනීම සඳහා දියත් කර ඇති විනාශකාරී යුද්ධය ගත්තත් ඒ උමතුව ක්‍රියාත්මක වන ආකාරය පේනවා.

එය සමස්ථ මනුෂ්‍ය වර්ගයා ම බිහිසුනු තුන්වැනි ලෝක යුද්ධයකට ඇද දමන වර්ගයේ උමතුවක්. කෙසේ නමුත්, තමන්ගෙන් ගිලිහෙන ලෝක ආධිපත්‍ය රැක ගැනීම සඳහා දැරෙන ප්‍රයත්නය මෙම උමතුව පිටුපස පවතින බව පැහැදිලියි.

ලංකාවේ වික්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇති මර්දනය පිටුපස තියෙන්නේ සමස්තයක් විදියට පාලක පන්තිය මුහුන දී ඇති දැවැන්ත අර්බුදයයි. බඩුමිල මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. බස්ගාස්තු, රෝහල් ගාස්තු, අධ්‍යාපනය සඳහා දරන්න වෙලා තියෙන විදයම අහස උසට. ත්‍රස්තවාදය වැලක් වීමේ පනත ඇතුලු මර්දනකාරී නීති යොදා ගෙන ආන්ඩු විරෝධීන් දහස් ගනනක් දැනටමත් අත්අඩංගුවට අරන් තිබෙන්නේ සමස්ථයක් විදියට මහජනතාව බිය ගැන්වීමටයි.

මගේ වත්මන් කලාකෘති මගින් මෙම මර්දනය ගැන කතා කිරීමට මම උත්සහා කරනවා. කලින් පැවැති රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීමේ දී දසලක්ෂ ගනනක් ජනයා වීදිවලට බැසීම පාලක පන්තිය බිය ගන්වා තිබෙනවා. මේ මර්දනයට විරුද්ධ ව කලාකරුවන් ඇතුලු මහජනතාව බලමුලු ගැන්විය යුතුයි.

Loading