ලංකාවේ මිලියන හයකට වැඩි ජනයා ආහාර අනාරක්ෂිතභාවයට ඇද වැටේ

ඉන්දන, ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල ගනන් පිම්මේ ඉහල යෑම හා පාරිභෝගික භාන්ඩවල පොදුවේ පවතින හිඟය හේතුවෙන් ලංකාවේ මිලියන 6.26ක් හෙවත් සෑම පවුල් දහයකින් තුනක් ආහාර අනාරක්ෂිතභාවයට ඇද වැටී ඇති බව ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය සතියේ නිකුත් කල ආහාර අනාරක්ෂිතාව පිලිබඳ තක්සේරු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ආහාර වේල් තුන ම ගත් ජනයා වේල් දෙකකටත්, වේල් දෙකක් ගත් අය එක් වේලකටත් සීමාවීම ආදී වශයෙන් මෙම ජනයා කුසගින්නට මුහුන දී සිටී. ආහාර වේලක් ලබා ගතහොත් ඊලග වේල සම්පාදනය කර ගන්නේ කෙසේ ද යන්න පිලිබඳව මෙම මිලියන සංඛ්‍යාත ජනයාට ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි.

වාර්තාව වැඩි දුරටත් කියා සිටින්නේ, ඉදිරි දිනවල දී ආහාර අනාරක්ෂිතභාවයේ පසුවන ජන සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවයි. වාර්තාවට අනුව, ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දී සිටින ජනයා අතරින් පවුල් 65,600 ගේ තත්වය දරුනු මට්ටමේ පවතී.

ආහාර මිල ගනන් ඉහල යෑම හමුවේ ලංකාවේ ජනගහනයෙන් සියයට 61 ක් තරම් ඉහල ප්‍රතිශතයක්, ඔවුන් පෙර ආහාර සඳහා වියදම් කල මුදල් අඩු කිරීමට, ආහාරවල ප්‍රමානය අඩු කිරීමට හා ගුනාත්මකභාවයෙන් තොර ආහාර සඳහා යොමු වීමට හුරු වී ඇත.

ගර්භනි මව්වරුන්ද ආහාර වේල් අතහැරීම හා ගුනාත්මකභාවයෙන් තොර ආහාර ගැනීම කුසේ සිටින දරුවාටත් මවටත් දීර්ඝ කාලීනව බරපතල අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව ආහාර වැඩසටහනේ ආසියා පැසිපික් කලාපීය උප අධ්‍යක්ෂිකා ඇන්තියා වෙබ් ප්‍රකාශ කලා ය.

මේ අතර අවුරුදු 05 ට අඩු ලංකාවේ දරුවන් මිලියන 1.7 ක් මන්දපෝෂනයට ගොදුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල (යුනිසෙෆ්) ප්‍රකාශ කරයි. වයසට සරිලන බර අඩුවීම හා ප්‍රතිශක්තිය හීන වී මන්දපෝෂනය ආශ්‍රිත රෝගවලින් දරුවන් මිය යා හැකි බව යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය බිස්මාච් ස්වාජින් අනතුරු අඟවා තිබේ. ප්‍රවාහන පහසුකම් අකර්මන්‍ය වීමෙන් පාසල් වසා දමා ඇත. පසුගිය මාස කිහිපයේ දරුවන්ගේ පාසල් පැමිනීම අඩුවීමට ආහාර හිගය ද බලපෑවේ ය.

ආහාර අනාරක්ෂිතභාවය දරුනු ලෙස බලපා ඇත්තේ වතු කම්කරු පවුල් ආශ්‍රිතවයි. තේ වතු ආශ්‍රිත ජනතාවගෙන් සියයට 50 කටත් වැඩි ප්‍රමානයක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දී සිටි. නාගරික හා ගම්බද දිලිඳු ජනයාගේ තත්වය ඊට යහපත් නැත.

හැටන්හි තේ වත්තක ලයින් කාමර (ලෝසවෙඅ මාධ්‍ය)

පසුගිය මාසයේ ලංකාවේ උද්දමනය සියයට 54.5 ක මට්ටමේ පැවති අතර ආහාර ද්‍රව්‍යවල උද්ධමනය සියයට 70 කට ඉහල නැංගේ ය. උද්ධමනයේ මෙවන් ඉහල යෑමක් වාර්තා වන්නේ 1954 වර්ෂයෙන් පසුව බව වාර්තාව පෙන්වා දෙයි.

ආනයන සීමා කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගත් මංමුලා සහගත පියවරේ කොටසක් ලෙස රසායනික පොහොර සහ කෘමි නාෂක ගෙන්වීම නතර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශීය සහල්, එලවලු සහ පලතුරු අස්වැන්න මේ වසරේත් ඉදිරි වසරේත් දරුනු ලෙස පහත වැටීමේ ලකුනු දැනටමත් මතු වී තිබේ. අඛන්ඩව ඉන්ධන, සහල්, පෝර හා අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා විදේශ සංචිත නොමැති බංකොලොත්භාවයක රට පසුවෙයි.

ලංකාවේ මිලියන සංඛ්‍යාත ජනයා එදා වේල සපයා ගැනීමට නොහැකි ව ජීවිත අවදානමට මුහුන දී සිටිය දී පසුගිය දෙවසරක කාලය තුල ලංකාවේ ඉහල ම පෙලේ සමාගම් පෙර නොවු විරූ ලාභ අත්පත් කර ගනිමින් සිටී. ආහාර, සිසිල් බීම, දුම්කොල ආශ්‍රිත සමාගම් සියයට 303 කින් ද, ප්‍රාග්ධන භාන්ඩ සමාගම් සියයට 202.2 න්, මූල්‍ය සමාගම් සියයට 138.8 කින්, ප්‍රවාහන අංශය සියයට 682.1 කින් සහ පාරිබෝගික සේවා සම්පාදන සමාගම් සියයට 173.6 කින් ද, පෙර වර්ෂයට සාපේක්ෂව මේ වසරේ පලමු කාර්තුවේ සමස්ත ඉපැයීම් වාර්තාගත ලෙස වැඩි කර ගෙන තිබේ.

සමාගම් කිහිපයක පමනක් ලාභ සඳහන් කලහොත්, එල්ඕඑල්සී මූල්‍ය සමාගම රුපියල් බිලියන 39.3 ක ලාභයක් මේ වසරේ භුක්ති වින්දේ ය. හැටන් නැෂනල් බැංකුවේ නය සහ උකස් සේවා මගින් රුපියල් මිලියන 515.6 ක් ද ලංකා පෞද්ගලික රෝහල වාර්තාගත රුපියල් බිලියන 2.8 ක් ද ආදී වශයෙන් ලාභ උපයා තිබේ. හේලීස් පුද්ගලික සමාගම රුපියල් බිලියන 28.1 ක් පසුගිය වසරට උපයා තිබේ. සමාගමේ සභාපති මොහාන් පන්ඩිතගේට අනුව එය වසර 144 ක සමාගමේ ඉතිහාසය තුල ඉහලම වාර්ෂික ලාභය වෙයි.

ලංකාව පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බූදයකට මුහුන දී සිටී. නමුත් මෙම අර්බූදය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ලංකාවේ අර්බූදය, ගෝලීය වසංගතය හා ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් යුක්ක්‍රේනය හරහා රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය මගින් ගැඹුරු කෙරෙමින් තිබෙන ලෝක ධනේෂ්වර අර්බූදයේ එක් තියුනු ප්‍රකාශනයක් පමනි.

වසංගතයෙන් එල්ල විය හැකි බලපෑමෙන් මහා ව්‍යාපාරිකයන් හා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ලොව පුරා ආන්ඩු මහ බැංකු හරහා පොම්ප කරන ලද මුදල් කන්දරාවන් මගින් ලෝකයේ බිලයනපතියන් ඔවුන් වසංගතයට පෙර වසර 14 දී එකතු කර ගත් ඒකාබද්ධ ධනයට වැඩි ධනයක් රැස්කර ගැනීමට කොන්දේසි සකසා දී තිබේ.

දනපතියන් මෙලෙස දැවැන්ත ලාභ සමුච්ඡය කර ගනිද්දී, 2021 වසරේ ලොව පුරා ආහාර අනාරක්ෂිතභාවයට ඇද වැටී ඇති සංඛ්‍යව බිලියන 2.3 ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 30ක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ නිකුත් කල වාර්තාවක් පවසයි. ඉන් සියයට 12 ක් දරුනු තත්වයේ පසු වෙයි. අප්‍රිකානු රටවල් ගනනාවක, මැද පෙරදිග යේමනය, සිරියාව හා දකුනු ආසියාවේ ඇෆ්ඝනිස්ථානයේ දරුනු ආහාර අනාරක්ෂිත තත්වයක් උද්ගත කෙරී දරුවන් මරනයට පත් වෙමින් තිබේ.

ලෝක ආහාර සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොනල්ඩ් ටාරන් ට අනුව වසංගතය ආරම්භවීමට ප්‍රථම මිලියන 135 ක් ජනයා ලොව පුරා ආහාර අනාරක්ෂිතභාවයේ සිටියහ. යුක්ක්‍රේනය තුල යුද්ධය දියත් වීමට ප්‍රථම එම අගය මිලියන 276 කට ඉහල නැගුනි.

රුසියාවට එරෙහි යුද්ධය සහ එරටට පනවා ඇති රුදුරු සම්බාධක හේතුවෙන් ලොවපුරා ආහාර, ඉන්ධන හා ගෑස් හිඟයක් නිර්මානය කරමින් නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ සැපයුම් දාම අඩපන කර ඇත. ඒ හේතුවෙන් ඉහත අගය මේ වසරේ දී මිලියන 335 ක් හා රටවල් 82 ක් දක්වා පැතිරෙනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තක්සේරු කරයි.

යුද්ධය සඳහා බිලියන සිය ගනන් වැය කරන ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ ධනවත් රටවල්, ලබන දෙසැම්බර් මාසය දක්වා ලංකාවේ කුසගින්නට ලක්ව සිටින ජනතාවට ආධාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩසටහන දියත් කර ඇති ඩොලර් මිලියන 63 ක හදිසි අරමුදලට මෙතෙක් ලබා දී ඇත්තේ මිලියන 18 ක් පමනි.

කුසගින්න ඇතුලු ඉහිලිය නොහැකි ජන පීඩාව මගින් පුපුරා ගිය මහජන නැගිටීම රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව ද ඉතා කෙටි කාලයකින් අර්බූදයේ හෙලා පලවා හැර තිබේ. නමුත්, බලයට පත්වීමට යන සර්ව පාක්ෂික ආන්ඩුවලින් සිදු කිරීමට නියමිතව ඇත්තේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නිර්දේශිත රුදුරු කප්පාදු තවදුරටත් කම්කරු පන්තිය හා පීඩිත දුගීන් මත පැටවීමයි.

වසංගතය, තුන් වන ලෝක යුද්ධයක අන්තරාය හා ලෝකය පුරා වර්ධනය වන කුසගින්න ඇතුලු සමාජ කාලන්නිභාවය පරාජය කිරීම සඳහා ධනපති ක්‍රමයට හා යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියට බැඳී ගත් කිසිදු විසඳුමක් නැත. දැවෙන හදිසිභාවයකින් මතු කර ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ කම්කරුවන් හා තරුනයන් බලමුලුගන්වා ගැනීමයි.

හැටන් අප්කෝට් ෆෙයාර්ලෝන් වත්තේ කම්කරුවෙකුගේ බිරිඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවාය: 'වර්තමාන ජීවන වියදම යටතේ අපි කුසගින්නෙන් පෙලෙනවා, මගේ සැමියාගේ වැටුප කෑමට පවා ප්‍රමානවත් නැහැ. අපි වාසය කරන නිවාසය හෙට අනිද්දා කඩා වැවෙයි. වතු කලමනාකාරීත්වය අපට උදව් කරන්නේ නෑ. අපි කිහිප වතාවක්ම නිසි නිවසක් ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කලා“.

ගැබිනි තත්වයේ පසු වන ඇය තම ආහාරයට මාලු, එලවලු හා පලතුරු වැනි මූලික පෝෂන ද්‍රව්‍ය නොලැබෙන බව ප්‍රකාශ කලා ය: “මට දැන් ත්‍රිපෝෂ ලැබෙන්නෙත් නෑ. වෘත්තීය සමිති මේවට මොකුත් කරන්නේ නෑ. ඡන්දය කාලයට විතරයි එන්නේ“ යනුවෙන් ඇය වෛරයෙන් ප්‍රකාශ කලා ය.

ග්ලෙනියුජ් වතුයායේ ලක්ෂ්මි මෙසේ කීවාය: “ඉදිරි කාලය තුල බොහෝ මිනිස්සු කුසගින්නේ මිය යයි. අපිට රුපියල් 1,000 ක් දිනක වැටුප ලෙස ලැබෙන්නේ කිලෝ ග්‍රැම් 18 ක දලු නෙලුවොත් විතරයි. පවතින දේශගුන තත්වය නිසා අපිට නෙලන්න පුලුවන් කිලෝ 12ක් විතරයි. එතකොට දිනකට ලැබෙන්නේ පඩියෙන් භාගයයි. අපේ වත්තේ ගැබිනි කාන්තාවන් 12 ක් ගිය මාසේ දොස්තරලා පරීක්‍ෂා කලා. ඒ අයගෙන් ලමයි 04 ක්ම ගබ්සා වෙලා හරියට කෑම නැති නිසා“.

නාත්තන්ඩිය ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක රැකියාවේ නිරත කම්කරුවෙකු වන නන්දන දිනකට රුපියල් 1,800 ක මුදලක් ඉපයීම සඳහා ඉරිදා දිනත් ඇතුලුව මසකට දින 28 ක් වැඩ කල යුතු ය. පසුගිය මාසයේ වෛරස උන වැලදීමෙන් රැකියාවට යෑමට හැකිව ඇත්තේ දින කිහිපයක් පමනි.

“මට පාසල් යන වසසේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ දවස්වල වැඩිපුර ආහාරයට ගන්නේ පරිප්පුයි බතුයි විතරයි. මාලු කන්නේ ඉදලා හිටලා. මාලු ගෑම් 500 ක් රුපියල් 600 ක් විතර වෙනවා. එලවලුත් එහෙමයි. ලමයින්ට කිරිපිටි දුන්න කාලයක් මතක නෑ. පොඩි බිස්කට් පැකට් එකක් රුපියල් 120 ක් වෙනවා. මම වැඩපලේ දී මොනවා හරි කනවා, දරුවන්ට තුන්වේල කන්න දෙන්න ඕනා නිසා“ නන්දන ප්‍රකාශ කලේ ය.

Loading