අගමැතිවරයා කම්කරු පන්තියට එරෙහි ව තර්ජනාත්මක කතාවක් පවත්වයි

සඳුදා හවස ජාතිය අමතා කතාවක් පවත්වමින් රටෙහි ආර්ථික හා සමාජ ව්‍යසනය පිලිබඳ ආන්ඩුවේ වගකීම ප්‍රතික්ෂේප කල අගමැති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් උද්ඝෝෂනය කරමින් සිටින වැඩකරන ජනයාට එරෙහි ව භීතිය දනවන අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය.

ආන්ඩුව බලයේ රැඳී සිටීමට වලිකන තත්වයක, හදිසියේ නිවේදනය කර පැවැත්වූ කතාව දෙරන ටීවී නාලිකාව මගින් විකාශය කරන ලදී. මන්ත්‍රීවරු 41ක් ආන්ඩුවෙන් ස්වාධීන ව ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව, පාලක සභාගයට ඇත්තේ ඉතා තුනී බහුතරයක් පමනි.

ජනාධිපතිට හා ආන්ඩුවට “ගෙදර යන” ලෙස බලකරමින්, දිවයින පුරා ලක්ෂ ගනන් ජනයා අඛන්ඩ විරෝධතාවල නියැලෙති. අහස උසට නගින උද්ධමනය, අත්‍යවශ්‍ය භාන්ඩ හා ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව මධ්‍යයේ පැවැත්වෙන විරෝධතාවන්ට මහජන සහයෝගය එක්රොක්වෙමින් පවතී.

පෝලිම්වල රැඳී සිටින “මහජනයාගේ විඩාව” හා “භාන්ඩවල අධික මිලට මුහුන දෙන මහජනයාගේ පීඩාව” තමන්ට අවබෝධ වන බව, අගමැතිවරයා නරුම ලෙස කීවේ ය. එහෙත් ඔහුගේ කතාවෙහි සැබෑ අරමුන වූයේ, විරෝධතා පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස හෙලාදකිමින්, ඒවා වහා ම නතර කරන ලෙස විධානය කිරීම යි.

අගමැති මහින්ද රාජපක්ෂ

රාජපක්ෂ මෙසේ සඳහන් කලේ ය: “‘පාර්ලිමේන්තුවේ 225 ම එපා’ යන්න අද වන විට වීදි පුරා ප්‍රතිරාවය කරනවා. එය ක්ෂනික ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමකට පරිවර්තනය වෙනවා. එය යහපත් යයි පෙනුනත්, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඓතිහාසික පර්යාලෝකයකින් එහි පවතින අන්තරාය අවබෝධ කරගන්නා ලෙසයි.”

රාජපක්ෂ කතා කරන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ද! කෝපය හා මංමුලාව විසින් වීදිවලට බැස සිටින මහජනයා, පාර්ලිමේන්තුවේ සිටින ස්වාර්ථය පමනක් තකන ආන්ඩුවේ මෙන් ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් 225 දෙනාට -- විරුද්ධ වීමට ඔවුන්ට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාවේ ලමින් සිටිති. කම්කරු පන්තියේ සමාජ කොන්දේසිවලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දශක ගනනාවක් තිස්සේ පහර දීම පිලිබඳ ව මේ සියලු ධනපති දේශපාලනඥයෝ වගකිව යුතු වෙති.

ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එක දිගට ප්‍රහාර එල්ල කරන සංස්ථා ලෙස පැවතී ඇත. ඉහල වැටුප් හා යහපත් වැඩ කොන්දේසි ඉල්ලමින් කම්කරුවන් නියැලෙන කාර්මික ක්‍රියා සාපරාධීකරනය කිරීම සඳහා, වර්තමාන ආන්ඩුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යොදවා තිබේ. නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව විරෝධතාවේ යෙදෙන ශිෂ්‍යයන්ට, ආන්ඩුව කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සමගින් පොලීසිය මුදාහැරියේය.

ආන්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ද ඇතුලුව නිදහස් ප්‍රකාශනයේ අයිතිය පවතින්නේ අනවරත තර්ජනයක් යටතේ ය. කම්කරු පන්තිය බෙදීමට උත්සාහ දරමින්, ප්‍රතිගාමී සිංහල ස්වෝත්තමවාදය අවුලුවන අතරම විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දෙමල හා මුස්ලිම් වැසියන් සිය ගනනක් අත්අඩංගුවට ගැනීමට රාජපක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියා කර ඇත.

අගමැතිවරයාගේ ඉතිහාස යාදින්න, අතීතයේ දී ලංකාවේ ආන්ඩු කර ඇතිවාක් මෙන්, ආන්ඩුව තව එහා යමින් මහජන විරෝධතාවන්ට එරෙහි ව ම්ලේච්ඡ ත්‍රස්තයක් මුදාහැරීමට සූදානම් වන බවට කෙරුනු රුදුරු අනතුරු ඇඟවීමකි.

1980 ගනන් අග දී, දිවයිනේ දකුනු ප්‍රදේශය තුල රැකියා විරහිත සිංහල තරුනයන් අතර ඉස්මතු වුනු ආන්ඩු-විරෝධී ව්‍යාපාරය ගැන රාජපක්ෂ විශේෂයෙන් සඳහන් කලේ ය. ආන්ඩු-විරෝධී කැලඹීම නතර කිරීම සඳහා 60,000ක් පමන ගම්බද තරුන ජනයා ඝාතනය කිරීම පිනිස මිලිටරියේ අනුග්‍රහය ලත් ඝාතක කල්ලි මුදාහැරීම සඳහා, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ පාලන තන්ත්‍රය, ජනතා විමුක්ති පෙරමුන දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරුවන්ට එල්ල කල මිනීමරු ප්‍රහාර ගසාකෑවේ ය. මහජනයා අතර භීතිය වැපිරීම සඳහා පුලුස්සන ලද මල සිරුරු මහා මාර්ගවල දමා ගොස් තිබුනි.

රටෙහි 26 අවුරුදු වාර්ගික යුද්ධයට තුඩු දෙමින්, දිවයිනේ උතුරෙහි ඉස්මතු වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ගැන ද අගමැතිවරයා සඳහන් කලේ ය. සිංහල ස්වෝත්තමවාදී මැරයන් විසින් යලි යලිත් සිදු කරන ලද සංහාර හා දෙමල වැසියන්ට එරෙහිව ගෙන යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා වෙනස්කම් කිරීමේ පිලිවෙත් පිලිබඳව ගැඹුරු ඉච්ඡාභංගත්වය නිසාම, දෙමල තරුනයෝ එල්ටීටීඊයට හා අනෙක් සන්නද්ධ දෙමල කන්ඩායම්වලට සම්බන්ධ වූ හ. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු මේ පිලිබඳ ව දැක්වූ ප්‍රතිචාරය වූයේ, ජීවිත ලක්ෂ ගනනක් බිලිගත් ලේවැකි යුද්ධයක් දියත් කිරීම යි.

දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් අනුකම්පා විරහිත ලෙස සංහාරයට ලක් කොට තවත් ලක්ෂ ගනනක් මිලිටරි පාලනය යටතේ පැවති රැඳවුම් කඳවුරු තුලට ගාල් කල 2009 අවසන් ම්ලේච්ඡ මිලිටරි ප්‍රහාර අධීක්ෂනය කලේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ සොහොයුරු ගෝඨාභයයි.

“මෙම ක්‍රියා හරහා අපේ ඉතිහාසයේ ඒ ආකාරයේ අඳුරු කාලපරිච්ඡේදයකට යලි වතාවක් තල්ලු වී යාමෙන් අපේ ජාතිය ආරක්ෂා කරගන්නා ලෙසත්, මේ පිලිබඳ ව පරිස්සමින් සලකා බලන ලෙසත්” අගමැතිවරයා ඔහුගේ රූපවාහිනී ශ්‍රාවකයට කීවේ ය. මෙය, හුදෙක් විරෝධතාවන්ට එරෙහි ව පමනක් නො ව, සමස්තයක් ලෙස කම්කරු පන්තියට හා ගම්බද ජනයාට එරෙහි ව තම දෑත්වල ලේ තවරා ගත් මිනිසකුගෙන් සුවිශේෂයන් එල්ලවන උන්මාදනීය තර්ජනයකි.

ආර්ථික අර්බුදය තීව්‍ර කිරීම ගැන රාජපක්ෂ විරෝධතාකරුවන්ට මෙසේ දොස් පැවරුවේ ය: “ඔබ වීදිවල විරෝධතා දක්වන සෑම තත්පරයක් පාසා ම, රට එයට ඩොලර් ලබාගත හැකි අවස්ථාවන් අහිමි කරගන්නවා.”

රාජපක්ෂ කතා කරන්නේ කාගේ ඩොලර් ගැන ද? සහතිකෙන්ම ඒ, දෛනික ජීවිතය පවත්වා ගැනීමට මංමුලා සහගත ලෙස අරගලයේ යෙදෙන කම්කරුවන්ගේ හා දුගීන්ගේ මුදල් ගැන නම් නො වේ. බොහෝ දෙනා දැනට ම කුසගින්නේ නැත්නම් නම්, කුසගින්නට ඇද වැටීමේ අද්දර, අත්‍යවශ්‍ය භාන්ඩ මෙන්ම ඖෂධ හා ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් මූලික භාන්ඩ පවා ලබා ගැනීමට නො හැකි ව සිටිති.

අගමැතිවරයා කතා කලේ, ආර්ථික අර්බුදයෙන් පහර වැදී ඇති සංගත හා මූල්‍ය ප්‍රභූව -කොටස් වෙලඳපොල සමපේක්ෂකයන්, ව්‍යාපාරික ව්‍යවසායකයන් හා සංගත ප්‍රධාන විධායකයන්- ගැන ය. ජනගහනය හරහා කෝවිඩ්-19 වසංගතයට පැතිරීමට ඉඩ දීමේ ආන්ඩුවෙහි සාපරාධී පිලිවෙත සමගින්, වසංගතය සමයේ ධනය කඳුගසා ගත්තේ මේ කොටස් ය. ආර්ථිකය උත්තේජනය කිරීමේ නාමයෙන් මුදල් අච්චු ගසා නො මසුරු බදු කප්පාදු හා දීමනා මොවුන්ට ප්‍රදානය කල රාජපක්ෂ පාලනය, අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසි යටතේ වැඩ කිරීමට කම්කරුවන්ට බල කලේ ය.

ලංකාවේ කොටස් වෙලඳපොල ජනවාරියේ දී සිය ඉතිහාසයේ ඉහල ම ලක්ෂ්‍යයට නැගුනේ, දර්ශකය 13,500 කරා ලඟා වෙමින් සමපේක්ෂකයන්ට දැවැන්ත ධනස්කන්ධයන් කඳුගසා ගැනීමට හැකියාව ලබා දෙමිනි. පසුගිය වසරේ අප්‍රේල් හා ජුනි අතර, ලංකාවේ ඉහල ම සමාගම් නවය රුපියල් බිලියන 364ක් කඳුගසා ගත්තේ, ඔවුනගේ මූල්‍ය වර්ෂයේ පලමු කාර්තුව තුල ලාභ ලෙස රුපියල් බිලියන 21ක් සාක්කුවට දමා ගනිමිනි.

විරෝධතාකරුවන්ට දොස් පවරන අතර ම, අගමැතිවරයා වසංගතයට ද වරද පැටවූයේ, ආන්ඩුව මහජනයා ඉන් ආරක්ෂා කරගත් බව කියමිනි. මෙය කෙප්පයකි! ගෝලීය ආර්ථික තත්ත්වය විදෙස් ඉපයීම්වලට බලපා ඇතැයි කියමින් ඔහු අඳෝනාවක යෙදුනි. වෙනත් වචනවලින් කියතොත්, ආන්ඩුව හැර සෑම කෙනෙක් ම වත්මන් තත්වයට වගකිව යුතු ය.

සහතිකෙන්ම ගෝලීය ආර්ථික අර්බුදය ලංකාවට දැඩි ලෙස පහර දී ඇති බව සැබෑ නමුත්, මහ ව්‍යාපාරිකයේ ලාභ හා සුපිරි ධනවතුන්ගේ ධනය ආරක්ෂා කිරීමට උත්සාහ දරමින් වැඩ කරන ජනයා මත එම අර්බුදයේ බර පැටවීම පිලිබඳ ව ආන්ඩුව මුලුමනින් වගකිව යුතු ය.

හදිසි ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) හිඟා කෑමට යන ආන්ඩුව, දැන් තව තවත් බර පැටවීමට සූදානම් වෙමින් සිටී. ඉහල මිල ගනන්, ඉහල බදු, දැවැන්ත භාන්ඩ හිඟයන් හා රජයට අයත් ව්‍යවසායයන් සංගතකරනය හා පුද්ගලීකරනය කොට විශාල රැකියා අහිමි කිරීම්වලට තුඩු දෙනු ඇති ජාමූඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා, “දේශපාලන හා සමාජ ස්ථාවරත්වය” අවශ්‍ය බව අලුතින් පත්කරන ලද මහ බැංකු අධිපතිවරයා ගිය සතියේ ප්‍රකාශ කලේ ය.

විරෝධතාකරුවන් තම අනතුරු ඇඟවීම් ගනන් නො ගන්නේ නම්, “දේශපාලන හා සමාජ ස්ථාවරත්වය” ලඟා කරගන්නේ කෙසේදැයි යන්න ගැන මහින්ද රාජපක්ෂ හොඳින් පැහැදිලි කර ඇත. තම ආර්ථික හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට උද්ඝෝෂනයේ යෙදෙන මහජනයාට එරෙහි ම්ලේච්ඡ රාජ්‍ය මර්දනවල තර්ජන එල්ල කරමින්, ප්‍රතිගාමීත්වය තම කුරිරු හිස එසවීමට පටන් ගෙන ඇත.

අප්‍රේල් 2-3 දිනවල සති අන්තයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇඳිරි නීතිය පනවා සොල්දාදුවන් හා පොලීසිය වීදිවලට බැස්සූ විට, මහජන විරෝධතා එම තර්ජනය ප්‍රතික්ෂේප කල අතර, ආන්ඩුව තාවකාලික ව අඩියක් පස්සට ගත්තේ ය. පාලන තන්ත්‍රය කල් බලමින් සිටින බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අප්‍රේල් 7දා නිකුත් කල එහි ප්‍රකාශය තුල අනතුරු ඇඟවී ය. වඩා පලල් හා වඩා ප්‍රචන්ඩ පරිමානයකින් රාජ්‍ය මර්දනය යොදා ගැනීමට අගමැතිවරයා දැන් තර්ජනය කරමින් සිටී.

තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට, කම්කරු පන්තියට තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය අවශ්‍ය ය. සෑම වැඩපොලකම, කම්හලක හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම, වෘත්තීය සමිතිවලින් හා සෑම ධනපති පක්ෂයකින් ම ස්වාධීන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට පවතින ප්‍රධාන බාධකය වන්නේ වෘත්තීය සමිති ය. පසුගිය අවුරුදු දෙක පුරා, තමන්ට රටෙහි අර්බුදය ගැන අවබෝධයක් පවතින බව කියමින්, කම්කරුවන්ගේ සෑම අරගලයක් ම පාවාදීමට වෘත්තීය සමිති කටයුතු කර ඇත. කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කර දැමීම සඳහා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති පසුගිය සතියේ දී එක්-දින වැඩ වර්ජනයක් කැඳවූ හ. “යමෙක්ට විශ්වාසය තැබිය හැකි හා පාර්ලිමේන්තුව මත පදනම් ව පාලනය ගෙන යන” ආන්ඩුවක් හෙවත් මන්ත්‍රීවරු 225 දෙනාගේ තවත් ධනපති ආන්ඩුවක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කල හ.

කම්කරු පන්තියට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් වැදිය හැකි හා ඔවුන් මෙන් ම බරපතල ලෙස පහර වැදී සිටින ගම්බද ජනයා තමන්ගේ පැත්තට ඇදගත හැකි වන ක්‍රියාකාරී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට සසප කටයුතු කර ඇත. කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ උපකරන වන ක්‍රියාකාරී කමිටු අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයට, පදනම් ස්ථාපනය කරනු ඇත. ධනවත් සුලුතරයේ ලාභ වෙනුවට බහුතරයේ අවශ්‍යතාවල පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කල හැක්කේ එමගිනි.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වදින එක ම පක්ෂය වන සසප වෙත බැඳී එය ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු.

Loading