දේශගුන වෙනස සහ ව්‍යාකූලතා න්‍යායය පිලිබඳ ප්‍රමුඛ පෙලේ පර්යේෂනයට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමේ

[මෙහි පලවන්නේ Nobel Prize in Physics awarded for pioneering research in climate change and chaos theory යන මැයෙන් 2021 ඔක්තෝබර් 7දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය, පෘථිවියෙහි දේශගුනය සහ ව්‍යාකූලතා හා අක්‍රමවත් පද්ධති පිලිබඳ විද්‍යාත්මක කර්තව්‍යයන් සඳහා, මේ වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත. ත්‍යාගයෙහි පලමු අර්ධය, අපගේ වායුගෝලය හා මානව වර්ගයා එය වෙනස් කරන ආකාරය පිලිබඳ ව, සියුකුරෝ මනාබේ හා ක්ලෝස් හැසල්මාන්ගේ ආරම්භක වැඩකටයුතුවලට පිරිනමනු ලැබී ය. ත්‍යාගයෙහි දෙවන බාගය, අහඹු ලෙස පෙනෙන ප්‍රපංචයන් නියාමනය කරමින් ඒවාට යටින් දිවෙන නීති හෙවත් ව්‍යාකූලතා න්‍යායය අවබෝධ කරගැනීම පිලිබඳ ව කල ප්‍රතිපදානයන් අරබයා, ගියෝර්ගියෝ පැරිසිට පිරිනමනු ලැබිනි.

2021 වසරේ භෞතික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගලාභීන් වන සියුකුරෝ මනාබේ, ක්ලෝස් හැසල්මාන් සහ ගියෝර්ගියෝ පැරිසි (නොබෙල් ත්‍යාග වීඩියෝ දේශනයෙන් ලබාගත් තිර රූපයකි)

ත්‍යාගයෙහි විද්‍යාත්මක පසුබිම තුල විස්තර කෙරෙන පරිදි, එහි අර්ධයන් දෙක අතර සම්බන්ධය වන්නේ, “භෞතික පද්ධතීන්වල සංකීර්නත්වය” යි. “මානවයන් විසින් අත්දකිනු ලබන විශාලතම පරිමානයන්ගේ සිට,” “අන්වීක්ෂීය ව්‍යුහ හා ගතිවිද්‍යාව” දක්වා, ගනිතමය වසයෙන් විස්තර කිරීමට දුෂ්කර බව සනාථ කර ඇති ගනන් නැති අන්තර්ක්‍රියාකාරී කොටස් සහිත ක්‍රියාවලීන් බහුල වසයෙන් පවතී. කාලගුනය හා දේශගුනය අතර සබඳතාවන් නිරූපයන කිරීමත්, ඒවාට යටින් දිවෙන ව්‍යාකූල අනුක ව්‍යුහයන් අවබෝධ කරගැනීමත් ඇතුලු එවන් පද්ධති අවබෝධ කරගැනීමේ මූලික සැතපුම් කනුවලට මේ වසරෙහි නොබෙල් ත්‍යාගය විසින් උපහාර පුදයි.

සංකීර්න පද්ධතිවල මූලික ලක්ෂනය වන්නේ, කාලයත් සමග ආරම්භක කොන්දේසිවල ඇති වන ඉතා කුඩා වෙනස්කම් පවා, ඉතා වෙනස් ප්‍රතිඵල නිෂ්පන්න කිරීමයි. උදාහරනයක් ලෙස, උෂ්නත්වයේ, පීඩනයේ හෝ ආර්ද්‍රතාවේ කුඩා වෙනස්කම්වලට, ඉතා වෙනස් කාලගුන රටාවන් ඉස්මතු වීම ජනනය කල හැකි ය. මේ ප්‍රශ්නය වෙත අවධානය යොමු කල මුල් කාලීන පරිඝනක අනුකරන, ගනිතඥ එඩ්වඩ් ලොරෙන්ට්ස් විසින් 1960 ගනන්වල දී සිදු කල අතර, ආරම්භක කොන්දේසි 0.506127 සිට 0.506 දක්වා වටයනු ලැබූ විට, කාලගුන රටාවන් බරපතල ලෙස වෙනස් වූ බව ඔහු නිරීක්ෂනය කලේ ය.

“ව්‍යාකූලතාව: වර්තමානය අනාගතය නීර්නය කරන නමුත්, සන්නිකර්ෂනීය වර්තමානය අනාගතය සන්නිකර්ෂනීය ලෙස නීර්නය කරන්නේ නැත” යි ලොරෙන්ට්ස් මෙය සම්පින්ඩනය කලේ ය.

ජනප්‍රිය සංස්කෘතියේ දී, මෙය නිරන්තරයෙන් සඳහන් කරනු ලබන්නේ සමනල ආචරනය ලෙස ය. “බ්‍රසීලයේ සමනලයෙකුගේ තටුගැසීම, ටෙක්සාස් ප්‍රදේශය තුල සුලි කුනාටුවක් ජනනය කරන්නේ දැ” යි කාලගුන විද්‍යාඥ ෆිලිප් මෙරිලීස් 1972 දී විමසූ ප්‍රශ්නයක් තුල මෙම යෙදුම ඉස්මතු කොට දක්වනු ලැබී ය. මෙම රූපකය අඛන්ඩ ව ගෙන යමින් මෙසේ විමසමු; සමනලයෙකුගේ තටුගැසීමෙන් ජනනය වන කුඩා සුලං පහර, අවසානයේ දී සුලි කුනාටුවක් දක්වා වර්ධනය වන බොහෝ අන්තර්-සම්බන්ධිත සිද්ධීන්ගෙන් එකක් ද? මෙම සිද්ධිය, කාලගුන පද්ධතියක විශාල-පරිමාන වෙනස්කම්වලට හේතු වන සිද්ධි මාලාවක කොටසක් ද? තටුගැසීමකින් තොර ව ම සුලි කුනාටුවක් තැනෙන්නේ නම්, එහි පරාවක්‍රය වෙනස් වනු ඇත්තේ කෙසේ ද?

මෙම පරීක්ෂන, මනාබේගේ වැඩකටයුතුවලට වටාපිටාව සම්පාදනය කලේ ය. 1931 දී උපත ලද මනාබේ, දෙවන ලෝක යුද්ධය සමයේ එක්සත් ජනපදය විසින් ජපානය මත ඇති කරන ලද විනාශය සමයේ හා ඉන් ඉක්බිති ව ඇති දැඩි විය.1958 දී ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු, (දැන් එන්ඕඒඒහි භූ-භෞතික තරල ගතිවිද්‍යා රසායනාගාරය නම් වන) එක්සත් ජනපද කාලගුන කාර්යාංශයේ පොදු ප්‍රචාලන පර්යේෂන අංශය විසින් ඔහු ව සේවයට බඳවා ගනු ලැබී ය. වායුගෝලය තුල පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානයන්ගේ වෙනස්කම් ගෝලීය උෂ්නත්වයන්ට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කරමින්, දේශගුන මාදිලි වර්ධනය කිරීම එහි දී ඔහු ආරම්භ කලේ ය.

පොලව මත වදින සූර්ය විකිරන ප්‍රමානය හා පෘථිවි පෘෂ්ටය විසින් ප්‍රති-විමෝචනය කරනු ලබන ශක්ති ප්‍රමානය අතර තුලනය සහ එම තුලනය වායුගෝලයෙහි උෂ්නත්වය නීර්නය කලේ කෙසේදැයි අධ්‍යයනය කල, ප්‍රන්ස ජාතික භෞතික විද්‍යාඥ ජෝසෆ් ෆොරියර් 1800 ගනන්වල දී මුල් ම කාලීන දේශගුන මාදිලිය වර්ධනය කලේ ය.

වායුගෝලය විසින් අල්ලාගනු ලබන තාප ප්‍රමානය, පවතින වායූන් මත රඳා සිටින බව පෙන්වා දුන් ස්වාන්ටේ ආහීනියස් විසින් 1896 දී වැඩිදුර වැඩකටයුතු කරනු ලැබී ය. වායුගෝලය තුල පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානය දෙගුන කිරීම, සෙල්සියස් අංශක 6දක්වා වන උෂ්නත්ව වෙනස්කම් ජනනය කල බව ඔහු සොයාගත් අතර, ඒ සමයේ පැවති වායුගෝලීය මිනුම්වල නිරවද්‍යතාව හේතුවෙන් එය අධිතක්සේරුවක් විය. දැන් මෙම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ හරිතාගාර ආචරනය නමිනි.

සංවහනය හේතුවෙන් වාතයේ ඇති වන සිරස් ගලායාම සහ ජල වාෂ්පයේ වාෂ්පීකරනය හා ඝනීභවනය ආහීනියස් මාදිලියට එක් කරමින්, මනාබේ මෙම වැඩකටයුතු ගොඩනැගී ය. අහඹු මතකය යන්තම් මෙගාබයිට් බාගයක් වූ තාක්ෂන පරිඝනකයක් භාවිතා කරමින්, වායුගෝලීය උෂ්නත්වය, චලනය හා විකිරනය සඳහා සම්පූර්න සමීකරන විසඳීම මෙයට ඇතුලත් විය. මෙම වඩා සංකීර්න නමුත් තවමත් සාපේක්ෂ ව සරල වන දේශගුන මාදිලිය, වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානයේ ඉහල යාම ගෝලීය සාමාන්‍ය පෘෂ්ටීය උෂ්නත්වය ඉහල දමන්නේ ය යන 1896 ප්‍රතිඵලය තහවුරු කලේ ය. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානය දෙගුන වීම මගින් සෙල්සියස් අංශක 2ත් 3ත් ප්‍රමානයක උෂ්නත්ව වෙනසක් ජනනය කරන බව, වඩා සූක්ෂම ගනනය කිරීම් විසින් පුරෝකථනය කලේ ය.

අප හුස්ම ගන්නා දේවලින් සියයට 99ක් ම සමන්විත කරන, වායුගෝලයේ ඔක්සිජන් හා නයිට්‍රජන් මට්ටම් වෙනස් කිරීම, පෘෂ්ටීය උෂ්නත්වය මත නිෂ්පන්න කලේ නො ගිනිය හැකි බලපෑම් බව, පරිඝනක ආකෘති තව දුරටත් අනාවරනය කලේ ය. පෘෂ්ටියේ උෂ්නත්වයන් වඩා උනුසුම් වන අතරතුර, වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානය ඉහල යද්දී, ඉහල වායුගෝලයේ උෂ්නත්වයන් වඩා සීතල වන්නේ, ඉහල යන සූර්ය විකිරනය උෂ්නත්වයේ වැඩි වීම් ජනනය කරන්නේ ය යන උපන්‍යාසය බැහැර කරමිනි. මෙම ප්‍රතිඵල දෙක ම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානයේ ඉහල යාම්, පෘථිවි පෘෂ්ටීය උෂ්නත්වයන් ඉහල යාම ජනනය කරන බව 1967 දී තීරනාත්මක ලෙස සනාථ කල අතර, අද දින අප මෙය හඳුන්වන්නේ භූගෝලීය උනුසුම නමිනි.

එහෙත්, දෛනික ව අත්දකිනු ලබන ක්ෂනික ව වෙනස් වන කාලගුන කොන්දේසි සහ වඩා දිග්ගැස්සුනු දේශගුනයට සිදුවන සමස්ත වෙනස්කම් අතර සබඳතාවක් තවමත් නො තිබුනි. අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලද ලෝකයේ භෞතික නීතිවල යාන්ත්‍රික සූත්‍රගත කිරීම තුල, යමෙක්ට දේශගුනය හා කාලගුනය යන දෙක ම නිරවද්‍ය ව පුරෝකථනය කල හැකි වේ. නිව්ටන්ට හා පසුව පියරේ-සිමොන් ඩි ලප්ලාස්ට අනුව, යම් පුද්ගලයෙක් විශ්වය තුල පවතින සෑම අංශුවක ම පිහිටීම හා ගම්‍යතාව දන්නේ නම්, ලෝකය රේඛීය වන අතර, සිදු වී ඇත්තේ කුමක් ද යන්න හා සිදුවනු ඇත්තේ කුමක් ද යන්න යන දෙක ම නිරවද්‍ය ව ගනනය කිරීමට හැකියාවක් තිබිය යුතු ය.

පෘථිවියේ දේශගුනය දශක ගනනාවක් පුරා නිරවද්‍ය ව පුරෝකථනය කල හැකි බව හා එසේ කර තිබෙන අතර, යමෙක්ට දවස් දහයකට කලින් කාලගුනය හොඳින් පුරෝකථනය කල හැක. සෑම ලක්ෂ්‍යයක දී ම, වායු උෂ්නත්වය, ආර්ද්‍රතාව, සුලං ප්‍රමානය හා පීඩනය දැන ගැනීමට මාවතක් නැති ය යන ප්‍රායෝගික සලකා බැලීම සත්‍ය වසයෙන් ම පවතී. වඩා මූලික ගැටලුවක් වන, ඉහතින් විස්තර කරන ලද සමනල ආචරනය ද තිබේ. එනම්, වායුගෝලය තුල කුඩා හා ප්‍රාදේශීය වෙනස්කම් වඩා විශාල වෙනස්කම් බවට හේතුවිය හැකි බවයි. ගනිතමය ව්‍යවහාරයේ දී, කාලගුන පද්ධතියක (හා වෙනත් බොහෝ ස්වාභාවික ප්‍රපංචවල) පරිනාමය, ව්‍යාකූල හා අරේඛීය වේ.

සංඥාවක් හා එහි ශබ්බදයට ප්‍රතිසමයක් තැනීම මගින්, ක්ලෝස් හැසල්මාන් දේශගුනය හා කාලගුනය සම්බන්ධ කලේ ය. ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) සමග දේශපාලනික ව ක්‍රියාකාරී වූ පවුලක, එරටේ හැම්බර්ග් නුවර දී හැසල්මාන් 1931 උපත ලැබී ය. කොමියුනිස්ට්වරුන්ට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහි නාසි පීඩාවන්ගෙන් පලා යාමට ඔවුන් 1934 දී එංගලන්තයට ගිය අතර, අවසානයේ එංගලන්තයේ වෙල්වින් ගාඩන් නගරයේ පැලපදියම් විය. සෝවියට් සංගමය හා අනෙකුත් මිත්‍ර හමුදා විසින් නාසීන් පරාජය කිරීමෙන් බොහෝ කලකට පසුව, 1949 දී පමන හැසල්මාන් පෙරලා හැම්බර්ග් නුවරට පැමිනියේ ය. හැම්බර්ග් විශ්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය අවසන් කල ඔහු, තම වෘත්තීය ජීවිතයෙන් බොහෝ කාලයක්, එම විශ්ව විද්‍යාලයේ හා ඔහු ආරම්භ කල මැක්ස් ප්ලාන්ක් කාලගුන විද්‍යා ආයතනයේ වැඩ කර තිබේ.

හැසල්මාන්ගේ මුල් කාලීන පර්යේෂන පදනම් වූයේ, සාගරයේ පෘෂ්ටය සහ විශාල රැලිති හා ධාරා අතර කුඩා උච්චාවචනයන් අතර සබඳතා අධ්‍යයනය කිරීම මතයි. ජලයේ සෑම කුඩා තරංගයක ම ප්‍රගමනය විමසා බැලීමට උත්සාහ කරනු වෙනුවට, මෙම රැලිති විසින් ජනනය කරනු ලබන අපගමනයන් හෙවත් “ශබ්දය” අවසානයේ බොහෝ විශාල පරිමානයේ සාගරික ගුන හෙවත් “සංඥා” සඳහා සාමාන්‍ය ප්‍රතිඵලයක් නිෂ්පන්න කිරීම ඔහුගේ නිරීක්ෂනයට බඳුන් විය. මෙම අනුමානීය (සම්භාවීය) විධික්‍රමය, ක්ෂනික ව වෙනස් වන ප්‍රාදේශීය කොන්දේසි සමස්තයක් ලෙස සාගරය තුල මන්දගාමී වෙනස්කම් නිෂ්පන්න කරන බව පෙන්නුම් කිරීමට සමත් විය.

එතැන් සිට ඔහු, ඔහුගේ ප්‍රතිඵල සමස්තයක් ලෙස දේශගුනය සඳහා සාමාන්‍යකරනය කලේ ය. සාගරයේ කුඩා වෙනස්කම් හඳුනාගනු වෙනුවට, සූර්ය විකිරනයේ, හරිතාගාර වායුවල මට්ටම් හා අනෙකුත් සාධකවල වෙනස්කම් හුදකලා කල හැසල්මාන්, සමස්තයක් ලෙස දේශගුනයේ වෙනස්කම් යනු කාලය ගතවීමත් සමග සාමාන්‍යකරනය වූ ශබ්දය ලෙස සැලකී ය. එසේ කිරීම මගින් ඔහු, දේශගුන පද්ධතිය සමග විශේෂයෙන් මානවයන් විසින් ඇති කරනු ලබන වෙනස්කම් හඳුනාගනු ලැබීමට ද මාවතක් සම්පාදනය කලේ ය. සියලු පසුකාලීන දේශගුන පර්යේෂන, විවිධාකාර ස්වාධීන නිරීක්ෂනයන් හරහා දේශගුනය මත මානව කෘෂිකාර්මික හා කාර්මික ක්‍රියාකාරීත්වය විසින් ඇති කරන බොහෝ බලපෑම් සොයා ගැනීමට හැසල්මාන්ගේ වැඩකටයුතු යොදාගෙන තිබේ.

කාලගුනය දේශගුනයට සම්බන්ධ කරන ගනිතය, හුදෙක් කාලගුන විද්‍යා අධ්‍යයනයන්ට සීමා නො වේ. ඒවා වනාහි, සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාව ලෙස හැඳින්වෙන භෞතික විද්‍යාවේ වඩා පලල් ක්ෂේත්‍රයක සහ ව්‍යාකූලතා න්‍යායය ලෙසින් හැඳින්වෙන ව්‍යාකූල පද්ධති පිලිබඳ ගනිතමය අධ්‍යයනයන්ගේ උපකුලකයකි.

සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාව, 19වන ශතවර්ෂයෙහි දෙවන බාගයේ දී ජේම්ස් සී. මැක්ස්වෙල්, ලුද්විග් බෝල්ට්ස්මාන් හා ජේ. විලාඩ් ගිබ්ස් විසින් වර්ධනය කරන ලදී. වායු, ද්‍රව හා විශාල අංශු සංඛ්‍යාවක් අඩංගු වන ඕනෑ ම පද්ධතියක චලනය විස්තර කිරීමට නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවට තිබෙන නො හැකියාව විසින් ඔවුන් ව ධාවනය කරනු ලැබී ය. සෑම අංශුවක ම ආරම්භක ස්ථානය හා ගම්‍යතාව සොයා ගැනීමට උත්සාහ කරනු වෙනුවට, සෑම අංශුවක ම චලනය අහඹු ලෙස සැලකූ ඔවුහු, සමස්ත පද්ධතියේ සාමාන්‍ය භෞතික ගුනාංග ගනනය කිරීම දක්වා ඉදිරියට ගිය හ.

උදාහරනයක් ලෙස, උෂ්නත්වය යනු, සෑම අන්වීක්ෂීය වායු අංශුවක සාමාන්‍ය ශක්තිය ලෙස ගනනය කරනු ලැබිය හැකි මහේක්ෂීය ගුනයකි. පීඩනය යනු, ගනන් නැති අන්වීක්ෂීය අංශු පෘෂ්ටයක් මත වදිමින් පොලා පනිද්දී නිෂ්පන්න කරනු ලබන මහේක්ෂීය ගුනයයි.

ව්‍යාකූලතා න්‍යායය යලිත් තහවුරු කරන්නේ, සංකීර්න පද්ධතියක අහඹු ලෙස පෙනෙන චලිතයට යටින් රටාවන් හා සංවිධානයක් පවතින බවයි. සීමා කරන ලද ග්‍රහලෝක වස්තූන් තුනක් හෝ වැඩි ගනනක පන්තීන්ගේ පථවලට ඒ හා සමගාමී ව අස්ථාවර මාවත්වලින් ස්ථීර නමුත් අවබෝධ කරගත හැකි සීමාවන් ඇතුලත වෙනස්කම් ඇති කල හැකි බව පෙන්වා දුන්, මහා ප්‍රාඥ හෙන්‍රි පොයින්කැරේ විසින් එය ආරම්භයේ දී බොහෝ සෙයින් වර්ධනය කරනු ලැබී ය.

භ්‍රමන වීදුරු නමින් හැඳින්වෙන ද්‍රව්‍යයෙහි ප්‍රහේලිකාව විසඳීමට, ගියෝර්ගියෝ පැරිසි විසින් මෙම ක්ෂේත්‍ර දෙක භාවිතා කරනු ලැබී ය.1948 දී රෝමයේ උපත ලද පැරිසි, 1970 දී රෝමේ ල සැපියෙන්සා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලබාගත්තේ ය. එතැන් පටන් ඔහු, ප්‍රැස්කාටි ජාතික රසායනාගාරයේ, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තවත් බොහෝ ආයතනවල පර්යේෂකයෙක් ලෙස වැඩ කර ඇත. වර්තමානයේ දී රෝමයේ සැපියෙන්සා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ඔහු, යුරෝපීය විද්‍යාත්මක සංවිධානයන්ගෙන් පැරනි ම එකක් වන ඇකඩමියා ඩේ ලින්සෙයිහි සභාපති වරයා ය.

භ්‍රමන වීදුරු පිලිබඳ පැරිසිගේ න්‍යායික වැඩ කටයුතු ඔහු ව ජාත්‍යන්තර ව ප්‍රචලිත කලේ ය. තඹ පරමානු, යකඩ පරමානු කිහිපයක් සමග අහඹු ලෙස මිශ්‍ර කල ලෝහයක් සලකන්න. සෑම යකඩ අනුවක් ම කුඩා චුම්භකයක් ලෙස ක්‍රියාකාරී වන අතර, පූර්ව භෞතික න්‍යායය යෝජනා කලේ ඒවායේ දිශානතිය එක ම දිශාවකට පැවතිය යුතු බවයි. තඹ පරමානු පුරා විසිරී තිබෙන යකඩ පරමානු ඒ වෙනුවට භග්නාපේක්ෂී වන්නේ, එක් ලක්ෂ්‍යයක් එක් දිශාවකට යොමු වෙමින් අනෙක් ඒවා විරුද්ධ දිශාවට යොමු වෙද්දී ය. 1970 ගනන් පුරා, ලෝහය තනමින් නිරීක්ෂනය කල හැකි වූ නමුත්, යකඩ පරමානු සාමාන්‍ය චුම්භකයකට වෙනස් ව ප්‍රාදේශීය ව ස්වයං-සංවිධානය නො වෙමින්, ඒවායේ දිශානතිය අහඹු ස්ථාවර අවදියක නැවතී තිබීම විස්තර කල හැකි භෞතික ආදර්ශනයක් තිබුනේ නැත.

පැරිසිගේ විසඳුම සරල හා කාර්යශූර විය; හුදෙක් ඉහල හා පහල යන අවස්ථා දෙකකට පමනක් අවසර නො දෙමින්, යකඩ පරමානු සඳහා ගිනිය නො හැකි දිශානතීන් සංඛ්‍යාවකට ඔහු ඉඩ දුන්නේ ය. වෙනත් ආකාරයකින් වෙනස් කල නො හැකි ගැටලුවක් පහසුවෙන් විසඳීමට ඉඩ ලබා දෙන “ප්‍රතිගුනක ප්‍රයෝගය” නමින් හැඳින්වෙන, කාර්යශූර ගනිතමය සරලකරනයක් ද ඔහු විසින් සොයාගත්තේ ය. ක්වොන්ටම් ක්ෂේත්‍ර න්‍යායයේ සිට යන්ත්‍ර-ඉගෙනීම් ඇල්ගොරිදම වර්ධනය කිරීම දක්වා වන බොහෝ අනෙකුත් ක්ෂේත්‍රවලට මෙම තාක්ෂනය එතැන් පටන් යොදාගනු ලැබ ඇත.

සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාවෙන් හා ව්‍යාකූලතා න්‍යායයෙන් තවත් ප්‍රශ්නයක් පැනනගී: පද්ධතියක අහඹු භාවය හා අපිලිවෙල පැහැදිලි ව අර්ථ දැක්වීම මගින්, යමෙක්ට අරේඛීය පද්ධතිවල නිශ්චිත පලල් ප්‍රතිඵල පුරෝකථනය කල හැකි ය. මෙම පුරෝකථනයන් බිඳ වැටෙන්නේ හා යලි විභාග කිරීම අවශ්‍ය වන්නේ කවර විටදැයි ඉහල නිශ්චිත භාවයකින් යුතු ව මැනීම ද යමෙක්ට කල හැකි ය. වෙනත් වචනවලින් කියතොත්, පදාර්ථයෙහි පෙනෙන අහඹු පරිනාමයට හා ව්‍යාකූල ස්වභාවයට තවමත් අවබෝධ කරගත හැකි ගුනාංගවලට ඉඩ දිය හැකි ය.

මෙය අපූර්ව අවස්ථාවකි. මෙම න්‍යායයන් සහ සාමාන්‍යයෙන් විද්‍යාව සෑම තැනක දී ම සෑම දෙයක් දැනගත හැකි යයි ප්‍රකාශ නො කරයි. ඒ වෙනුවට, කොතරම් සංකීර්න වුවත්, ස්වභාව ධර්මයේ සෑම අංශයක් ම, ප්‍රපංචයන් අවබෝධ කරගෙන ඒවා පුරෝකථනය කිරීම සඳහා භාවිතා කරනු ලැබිය හැකි නීති මගින් පාලනය කරනු ලබයි. වඩාත් වැදගත් ලෙස, යථාර්ථය පිලිබඳ වඩා නිරවද්‍ය සන්නිකර්ෂනයන් වර්ධනය කරන මානවයන් විසින් මෙම නීති අවබෝධ කරගනු ලබන අතර, ඒ සියල්ල ස්වභාව ධර්මය මත අපගේ ආධිපත්‍යය අනවරත ව ඉහල දමා ඇත.

ස්වභාව ධර්මය අවබෝධ කරගත හැකි ය යන්නට සමාජීය ගම්‍යයන් ද තිබේ. දේශගුන වෙනස විසින් ප්‍රේරනය කරනු ලබන පාරිසරික විනාශයක් වැලැක්වීමේ අවශ්‍යතාව එක් උදාහරනයකි. දැනට පවතින කොරෝනා වෛරස් වසංගතය විසින් ඉදිරිපත් කරනු ලබන යෝධ අන්තරායන් තවත් එකකි.

අන්වීක්ෂීය පරිමානයේ දී රෝගයේ පැතිරීම පලල් ලෙස පාලනය කරන්නේ, එහි ප්‍රතිනිෂ්පාදිත අංකය හෙවත් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් කී දෙනෙකුට ආසාදනය වේ ද යන්න විසිනි. සාර්ස්-කොව්-2 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සතුව ආරම්භයේ දී තිබෙන්නේ යයි තක්සේරු කරන ලද ප්‍රතිනිෂ්පාදිත අංකය හයකි. මහේක්ෂීය පරිමානයේ දී, මාරාන්තික වෛරසය පලමු වරට හඳුනාගනු ලැබීමෙන් වසර දෙකකට පසුව ද නො නැසී පැවතීම පිලිබඳ කරුන, ලෝකය ප්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන්ට බෙදී පැවතීම හා පුද්ගලික ලාභය සමුච්ඡය කරගැනීම සඳහා යන ධාවනය හෙවත් ධනවාදය විසින් පාලනය කරනු ලබන වඩ වඩා සංකීර්න සමාජ බැඳීම් පද්ධතිය සමග සම්බන්ධ වී තිබේ.

Loading