ස්ටාලින්ගේ මහා භිෂනයේ ප්‍රධාන ඝාතන කඳවුරක කැනීම් කටයුතු අවසන් වෙයි

මැයි 20 වැනි දා, මොස්කව්හි පිහිටි ගුලැග් ඉතිහාසය පිලිබඳ කෞතුකාගාරය (GULAG History Museum) රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට පිටතින් පිහිටා ඇති ස්ටැලින්වාදී මහා භීෂනයේ සමූහ ඝාතන පිටියක් ලෙස කුප්‍රකට “කොමියුනර්කා” (Kommunarka) හි තොරතුරු කේන්ද්‍රයක් විවෘත කලේ ය. එම භූමිය වෙත චාරිකාවක යෙදීමට නරඹන්නන්ට හැකි අතර එහි ඉතිහාසය සහ එම සොහොන් පාදා ගැනීමට ගන්නා පරිශ්‍රමය පිලිබඳ අදහසක් ලබාගැනීමට ද අවස්ථාව ඇත.

කොමියුනර්කා වෙත පිවිසීමේ දොරටුව

පුරාවිද්‍යාඥයෝ සහ ඉතිහාසඥයෝ 1937 සිට 1941 දක්වා එහි දී ඝාතනය කරන ලද පුද්ගලයින් 6,609 දෙනෙකුගේ හඳුනාගෙන ඒවා ගොඩගැනීමේ කටයුතු අවසන් කලේ මෑතකදී ය. ඉන් වැඩි දෙනෙක් 1936-1938 මහා භීෂනයේ (Great Terror) ගොදුරු වෙති. 1917 ඔක්තෝබර් විප්ලවය සිදු කල බොල්ෂෙවික් පක්ෂ සාමාජිකයන් සියලු දෙනාම පාහේ ස්ටැලින්වාදී නිලධරය විසින් එම භීෂනය තුල දී ඝාතනය කෙරුනු අතර බොල්ෂෙවික් නායකත්වය යටතේ 1919 දී ආරම්භ කරන ලද තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) සැලකිය යුතු කොටසක් ද ඝාතනය කෙරිනි.

මෙම අපරාධ සිදුකල නිලධරය වනාහී සෝවියට් කම්කරු රාජ්‍යයේ ජාත්‍යන්තර හුදකලාව සහ ආර්ථිකයේ සාපේක්ෂ පසුගාමීත්වය යන කොන්දේසි තුල පැන නැගුනු වරප්‍රසාදිත කුලය යි. 1917 ඔක්තෝබර් විප්ලවය අනුගමනය කල වැඩපිලිවෙල, එනම් ජාත්‍යන්තරවාදී හා සමානතා වැඩපිලිවෙල සහ සෝවියට් කම්කරු පන්තියේ සමාජවාදී අභිලාෂයන්, සමග වඩා ඍජු ගැටුමකට ජෝසප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් මෙම පරපෝෂිත ප්‍රභූව ප්‍රවේශ විය. ස්ටාලින් වටා සිටි එම කල්ලිය “තනි රටේ සමාජවාදය” නම් වූ ජාතිකවාදී වැඩපිලිවෙල මත පදනම්ව, එකකට පසු එකක් ලෙස කම්කරු විප්ලව පාවා දුන් අතර, ඒ සියල්ලට ඉහලින්, ජර්මනියේ හා චීනයේ විප්ලවයන් පාවා දුනි.

ලෝක විප්ලවය පාවාදීමට කටයුතු කල ස්ටැලින්වාදී ජාතිකවාදයට එරෙහිව කටයුතු කිරීමට, ලෙනින් සමඟ සම නායකත්වය දී රුසියානු විප්ලවය මෙහෙය වූ ලියොන් ට්‍රොට්ස්කි පෙරට පැමිනියේ ය. ඔහු 1923 දී වාම විපාර්ශ්වය පිහිටු වීය. ස්ටැලින්වාදයට යටත් වූ කොමින්ටර්නයේ විනාශකාරී ප්‍රතිපත්තිවල ඍජු ප්‍රතිඵලයන් වූ ජර්මානු කම්කරු පන්තියේ විනාශකාරී පරාජය හා 1933 දී නාසිවාදය බලයට පැමිනීම යන සිදු වීම් වලින් පසු, 1938 දී, ට්‍රොට්ස්කි විසින් සිව්වන ජාත්‍යන්තරය ආරම්භ කලේ ය.

1936-1938 මොස්කව් නඩු (Moscow Trials) ත්‍රිත්වය තුල දී, විප්ලවයේ ප්‍රමුඛ නායකයෝ දැඩි වධහිංසාවන්ට ලක් කරනු ලැබ “ප්‍රති-විප්ලවවාදී” ක්‍රියාකාරකම් පිලිබඳව අභූත පාපොච්චාරනයන් බලහත්කාරයෙන් ලබා ගෙන අති දුෂ්ඨ නඩු විභාග කිරීම් තුලින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබූහ.

කොමියුනර්කාවේ ඉතිහාසය

නඩු වලට ගොදුරු වූ සමහර ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් “කොමියුනර්කා” ඝාතන භූමිය තුල වල දමා ඇත. එය අවම වශයෙන් 700,000 ක් මරා දැමූ ඒ භීෂනයේ පරිමානය පිලිබඳ අවබෝධයක් ලබා දෙයි. මෙහි වෙඩි තබා වලලනු ලැබූ කිහිපදෙනෙක් නම්:

• නිකොලායි බුහාරින් (1888-1938) සහ ඇලෙක්සි රිකොව් (1881-1938): දෙදෙනාම 1917 ට පෙර ම බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයන් වූහ. ඔවුන් 1928-29 දී, ස්ටාලින්ගේ කන්ඩායමට එරෙහිව, කෙටි කලක් පැවති, “දක්ෂිනාංශික විපාර්ශවය' (“Right opposition”) නම් වූ කන්ඩායම පිහිටුවා ගත්හ. 1938 දී පැවති තුන්වන මොස්කව් නඩු විභාගයේ විත්තිකරුවන් වූ ඔවුන්ට මරන දඬුවම නියම විය.

• ලෙව් ලෙවින් (1870-1938): ව්ලැඩිමීර් ලෙනින්, ෆීලික්ස් ඩෙසර්ජින්ස්කි සහ ලේඛක මැක්සිම් ගෝර්කි ඇතුලු ප්‍රමුඛ සෝවියට් දේශපාලන හා සංස්කෘතික චරිතවලට ප්‍රතිකාර කල ක්‍රෙම්ලිනයේ වෛද්‍යවරයෙකි. ඔහු ද තෙවැනි මොස්කව් නඩු විභාගයේ විත්තිකරුවෙකි.

• නිකොලායි ක්‍රෙස්ටින්ස්කි (1883-1938): 1917 දී බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. විප්ලවයෙන් පසු පක්ෂ මධ්‍යම කාරක සභාවේ පලමු ලේකම් මන්ඩලයේ සාමාජිකයෙකු විය. ඔහු 1923 සිට 1928 දක්වා වාම විපාර්ශවයේ ආධාරකරුවෙකි. ඔහු ද තුන්වන මොස්කව් නඩු විභාගයේ විත්තිකරුවෙකු විය.

නිකොලායි ක්‍රෙස්ටින්ස්කි (දකුනේ) ජෝර්ජි චිචෙරින් සමඟ, 1925 දී බර්ලිනයේ දී

• ව්ලැඩිමීර් ඇන්ටනොව්-ඔව්සෙන්කෝ (1883-1938): ඔහු 1917 ඔක්තෝබරයේ වින්ටර් මාලිගාවට (Winter Palace) පහරදීමට නායකත්වය දුන්නේ ය. ක්‍රෙස්ටින්ස්කි මෙන්ම ඇන්ටනොව්-ඔව්සෙන්කෝ ද 1920 ගනන්වල වාම විපාර්ශවයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර ඔහු එහි ආරම්භක ලේඛනය වූ හතලිස්-හය-දෙනාගේ ප්‍රකාශනයට (Declaration of the Forty-Six) අත්සන් තැබූ එක් අයෙකි. ඔහු 1927 දෙසැම්බරයේ දී බොල්ෂෙවික් පක්ෂයෙන් විරේක කරනු ලැබ ටික කලකට පසු ස්ටැලින්වාදයට යටත් විය. පසුව 1936-37 ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ස්ටැලින්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙකු ලෙස නින්දිත කාර්යභාරයක් ඉටු කල ඔහු එහි සිට නැවත මොස්කව් වෙත කැඳවනු ලැබූ අතර 1938 පෙබරවාරි 10 වන දින ඝාතනය කෙරිනි.

• වැලරියන් ඔසින්ස්කි-ඔබොලෙන්ස්කි (1887-1938): 1907 සිට බොල්ෂෙවික්වරයෙකි. 1917 බලය අත්පත් කර ගැනීමෙන් පසු සෝවියට් සංගමයේ ජාතික ආර්ථිකයේ ඉහල කවුන්සිලයේ (High Council of the National Economy - VSNKh) පලමු ප්‍රධානියා බවට පත්වූ පුහුනු ආර්ථික විද්‍යාඥයෙකි. “ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදියෙකු' [ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදීන් යනු 1919 දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 8 වැනි පක්ෂ සමුලුවේ දී නිලධාරීකරනයට එරෙහි ව ගොඩ නගනු ලැබූ විසම්මතික කන්ඩායමකි. මෙහි බොහෝ නායකයෝ පසු ව වාම විපාර්ශ්වය හෝ ඒකාබද්ධ වාම විපාර්ශවය හෝ සමග එක් වූහ.-සංස්] වූ ඔහු 1923-24 දී වාම විපාර්ශ්වයට සහාය දුන් නමුත් වැඩි කල් නොගොස් ඉන් බිඳී විවිධ රාජ්‍ය ආර්ථික ආයතනවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. ඔහු ඝාතනය කරනු ලැබීමට පෙර විද්‍යා ඇකඩමියට (Academy of Sciences) අයත් විද්‍යා හා තාක්ෂන ඉතිහාසය පිලිබඳ ආයතනයේ (History of Sciences and Technology) අධ්‍යක්ෂක ලෙස සේවය කලේය.

වැලරියන් ඔසින්ස්කි-ඔබොලෙන්ස්කි

• බොරිස් මැල්කින් (1891-1938): 1918 දී බොල්ෂෙවිකයන්ට සම්බන්ධ වූ වාම සමාජවාදී විප්ලවවාදීන්ගේ හිටපු නායකයෙකි. ඔහු ලෙනින්ගේ කතා ප්‍රථම වතාවට පටිගත කරගැනීමේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වූ අතර පසුව සෝවියට් සංස්කෘතික ජීවිතයේ ප්‍රධාන චරිතයක් බවට පත්විය. ඔහු කවියෙකු වූ සර්ජි එසෙනින් සමඟ වැඩ කලේය. ඔහුගේ මිතුරකු වූ ව්ලැඩිමීර් මායාකොව්ස්කි කවියා සමග විවිධ සඟරා සංස්කරනය කල අතර 1920 ගනන්වල දී වෙසෙවොලොඩ් මේයර්හෝල්ඩ්ගේ නාට්‍ය අධ්‍යක්ෂනයට ද සහාය විය.

• ටුරාර් රිස්කුලොව් (1894-1937) සහ කයිකිසිස් සර්දාරොවිච් අටබයෙව් (1887-1938): දෙදෙනාම ටක්මෙනිස්තානයේ ප්‍රමුඛ කොමියුනිස්ට්වාදීන් වූහ.

• රිහෝරි රින්කෝ (Hryhoriy Hrynko) (1890-1938): යුක්‍රේනයේ කොමියුනිස්ට්වාදියෙකි. පෙර දී බොරොට්බිස්ට් සමාජවාදී විප්ලවවාදී (Socialist Revolutionary Borotbist) ව්‍යාපාරයේ සාමාජිකයෙකු ව සිටියේ ය. ඔහු 1930 සිට 1937 දක්වා සෝවියට් සංගමයේ මුදල් ඇමති විය.

• පවෙල් ෂ්වෙට්කොව් (1906-1938): බල්ගේරියාව තුල තුන්වන ජාත්‍යන්තරයේ තරුන ව්‍යාපාරයේ නායකත්වයට උර දුන් බල්ගේරියානු කොමියුනිස්ට්වාදියෙකි. පසුව සෝවියට් දේශයට සංක්‍රමනය වී මොස්කව් හි කර්මාන්ත ශාලාවක සේවය කලේය.

බොරිස් මැල්කින්

ඝාතනයට ලක් වූවන් අතර චීන හා කොරියානු කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයින්, මොස්කව් විශ්ව විද්‍යාලවල සිසුන්, මොස්කව් හා ඒ ආසන්න ප්‍රදේශවල විවිධ කර්මාන්තශාලාවල කම්කරුවන්, විද්‍යාඥයින්, ආර්ථික විශේෂඥයින්, සහ සාහිත්‍යකරුවන් ද වූහ. රතු හමුදාවේ විරේක කිරීම්වල දී මරා දැමුනු ඉහල පෙලේ අන දෙන නිලධාරීන් දුසිම් ගනනක් ඇතුලු රතු හමුදා භටයන් විශාල ප්‍රමානයක් කොමියුනර්කාව තුල වල දමා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රුසියානු සිවිල් යුද්ධයේ දී ට්‍රොට්ස්කි විසින් පුහුනු කරනු ලැබූ අය වූහ. එලෙස රතු හමුදාවේ හිස ගසා දැමීමේ විනාශකාරී ප්‍රතිවිපාක ඉන් වසර කිහිපයකට පසුව, 1941 දී නාසීන් විසින් සෝවියට් සංගමය ආක්‍රමනය කෙරෙමින් අවම වශයෙන් මිලියන 27 ක සෝවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් යුද්ධයක් දියත් කෙරුනු විට, ඔප්පු විය.

කොමියුනර්කා ඝාතන භූමිය පිහිටා තිබුනේ සෝවියට් රහස් සේවයෙහි (NKVD) දිගුකාලීන ප්‍රධානියා වූ ගෙන්රික් යගෝඩා (Genrikh Yagoda) ගේ සුඛෝපභෝගී නිවස සහිත භුමි ප්‍රදේශය තුල ම ය. ඔහු මහා භීෂනය තුල දුෂ්ට හා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. 1938 දී ඔහු සහ ඔහුගේ නිලධාරීන් ද විරේක කිරීමට ලක් වූ අතර ඔහුගේ දේහය “කොමියුනර්කා” හි ම වල දැමුනි. අවසානයේ දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය දියකර හැරීමට මාස කිහිපයකට පෙර, එනම් 1991 දී හෙලිදරව් වන තුරු, මෙම ඝාතන අඩවිය මුලුමනින් ම රහසක් ලෙස පැවතිනි.

දශක ගනනාවක් තිස්සේ, ඒ මහා භීෂනය (Great Terror) සිදු වූ අනෙකුත් ස්ථාන සේම, මෙම භුමිය ද නිශ්චිතව අනාවරනය වී නො තිබිනි. ඝාතනයන් සිදු කරන “වේලාව හා ස්ථානය පිලිබඳ සම්පූර්න රහස්‍යභාවය පවත්වා ගනිමින් ඉදිරියට යා යුතු” බවට “සෝවියට් විරෝධී කොටස් වලට එරෙහිව” NKVDය විසින් නිකුත් කල නියෝගය හරහා අවධාරනය කිරීමෙන් පසු මහා භීෂනයේ මහා පරිමාන මෙහෙයුම ආරම්භ කෙරිනි. කොමියුනර්කාව සහ වෙනත් සමූහ ඝාතන භූමීන් “රාජ්‍ය රහසක්” වූ අතර ඒවා පිලිබඳ ලේඛනමය සාක්ෂි ක්‍රමානුකූලව විනාශ කෙරිනි.

ස්වේච්ඡා සේවකයන් සහ ඉතිහාසඥයින් 2012 සිට මේ දක්වා එම භූමිය තුල ක්ෂේත්‍ර කටයුතු කලත් මෙම සුසාන පිහිටි නිශ්චිත ස්ථාන ගැන වසර ගනනාවක් තිස්සේ නොදැන සිටියහ. පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් සම්බන්ධ වූ වෘත්තීයමය පර්යේෂන ආරම්භ වූයේ 2018 දී ගුලාග් ඉතිහාස කෞතුකාගාරය (GULAG History Museum) ආරම්භ කිරීමෙන් පසුව ය. ඉතිහාසඥයන් හට එම සමූහ මිනී වලවල් හඳුනා ගැනීමට හැකි වූයේ, එක්සත් ජනපද ජාතික ලේඛනාගාරයේ දී තිබී හමු වූ, 1942 අගෝස්තු 26 වන දින ජර්මානු ගුවන් හමුදාව (German Luftwaffe) විසින් ගන්නා ලද, ගුවන් නිරීක්ෂන ඡායාරූප ඔස්සේ කරන ලද පරීක්ෂන තුලිනි.

මෙම පර්යේෂනය සිදු වන්නේ, ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසය මුසාකරනයකට ලක් කිරීමටත්, ස්ටැලින්වාදය උත්කර්ෂයට නැංවීමටත්, සහ එහි නායකයන්ට, විශේෂයෙන් ම ලියොන් ට්‍රොට්ස්කිට, එරෙහිව නීච යුදෙව් විරෝධී අපහාසකරනයක් යොදාගැනීමේත් අරමුනු ඇතිව, රුසියානු රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලබන දේශපාලන හා සංස්කෘතික පසුබිමක් තුල ය. ඝාතනයන්ට ගොදුරු වූවන් සම්බන්ධ ලේඛන රාජ්‍යය විසින් රහසිගතව විනා‍ශ කර තිබේ.

මෙම කෞතුකාගාරය විවෘත කිරීම සිදුවන්නේ, කරෙලියා නම් ප්‍රදේශයේ සැන්ඩර්මොක් නම් ස්ථානයේ ( Sandarmokh, Karelia) පිහිටි තවත් මෙවන් ඝාතක බිමක් සොයාගත් යූරි දිමිත්‍රිව්ට එරෙහිව ක්‍රියාත්මක වන නඩුවේ තෙවැනි විභාග කිරීම සිදු වන අවස්ථාවේ දී ය. බාල වයස්කරුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත 65 හැවිරිදි දිමිත්‍රිව්ට වසර 13 ක සිර දඬුවමක් නියම වී ඇත. ඔහුට එරෙහි රාජ්‍ය බද්ධ වෛරයේ පරමාර්ථය වන්නේ ස්ටැලින්වාදයේ අපරාධ පිලිබඳ සත්‍ය තොරතුරු අනාවරනය කර ගැනීමට උත්සාහ කරන සියලු දෙනා බිය වැද්දීම යි.

දිමිත්‍රිව්ගේ සිද්ධිය මෙන් ම ගුලාග් කෞතුකාගාරයේ දේශපාලනය ද කොමියුනිස්ට් විරෝධී දිශානතියක් ඇති ව සිදු වේ. කෞතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනය තුල වාම විපාර්ශවය ගැන කිසිදු සඳහනක් නොමැත. ඒ අතර, එය, සෝවියට් සංගමය තුල සිටි සියලු විරුද්ධ පාර්ශවයන් මර්ධනය කල ස්ටැලින්වාදයේ දේශපාලන ස්වභාවය සඟවා තැබීමට නැඹුරු වේ. ඒ වෙනුවට භීෂනය නිරූපනය කෙරෙන්නේ ඔක්තෝබර් විප්ලවයේ ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස ය. කොමියුනර්කාවේ පිහිටි නව තොරතුරු මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුල ඝාතනයට ලක්වූවන්ගේ නම් සමග පල කොට ඇත්තේ අතිශය කෙටි චරිතාපදානයන් පමනි. ඔක්තෝබර් විප්ලවයට සහ වාම විපාර්ශවයට ඔවුන් සහභාගී වූවා ද (හෝ නැද්ද) යන්න එහි දී නොසලකා හැර ඇත.

මහා භීෂනයේ මූලාරම්භය

එවැනි ප්‍රවේශයක් තුල සඟවා තබන්නේ මහා භීෂනයේ සැබෑ ඓතිහාසික මූලාරම්භය සහ එහි සුවිශේෂත්වය යි. එම භීෂනය ඔක්තෝබර් විප්ලවයේ අඛන්ඩතාව නියෝජනය කරන්නේ නැත. එය නියෝජනය කරන්නේ, ඔක්තෝබර් විප්ලවයට හාත්පසින් ම එරෙහි වූ ස්ටැලින්වාදී හා ජාතිකවාදී ප්‍රතිචාරයේ කූටය යි. එම විරේකකරනය හරහා ට්‍රොට්ස්කිවාදීන් දස දහස් ගනන ඉක්මවා මරා දැමූ අතර එය මූලික වශයෙන්, සෝවියට් ඉතිහාසඥ වඩීම් රොගොවින්ගේ වචනවලින්, “දේශපාලන සංහාරයක්” විය. මොස්කව් අවනඩු වල ප්‍රධාන විත්තිකරු වූයේ ලියොන් ට්‍රොට්ස්කි ය. ඔහු වෙනත් කිසිවෙකුට සම කල නොහැකි ආකාරයට ස්ටැලින්වාදයට එරෙහිව සමාජවාදය සහ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල නියෝජනය කලේය. මිනීමරු විරේකකරනයේ කේන්ද්‍රයේ පිහිටියේ “ප්‍රති-විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ක්‍රියාකාරකම්” ලෙස හැඳින්වූ චෝදනාව යි.

ස්ටැලින්වාදී නිලධරයේ සියලු චෝදනාවලින් ට්‍රොට්ස්කි සහ ඔහුගේ පුත් ලියොන් සෙඩොව් ඩිව් කොමිසම මගින් නිදහස් කෙරුනේ එම චෝදනා ව්‍යාජ ගොතන ලද ඒවා බව සඳහන් කරමිනි. 1937 දී එම කොමිසමට කල තම අවසන් කතාවේ දී ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබර් විප්ලවයේ නායකයින්ට “කඩාකප්පල්කරුවන්” සහ “ප්‍රති-විප්ලවවාදීන්” ලෙස තමන්ව ම හෙලාදැකීමට බල කෙරුනු, එම භීෂනයට හා නරුම ව්‍යාජ චෝදනා වලට යටින් දිවෙන හේතූන් පැහැදිලි කලේ ය:

තමන් සමාජවාදීන් යැයි හඳුන්වාගන්නා වරප්‍රසාදිත නිලධරයක් සිටින සමාජයක එම වරප්‍රසාදිත නිලධරයේ ඒ ස්ථාවරය පරස්පර විරෝධී මෙන් ම අසත්‍යයක් ද වේ. සියලු සමාජ අසත්‍යයන් හෙලිදරව් කල ඔක්තෝබර් විප්ලවයේ සිට වර්තමාන තත්ත්වය දක්වා වූ පිම්මේ වේගයට සාපේක්ෂව, එම ඉහල-පෙල කුලයේ සමාජ කුනුවීම වසා ගැනීමට, දෙසා බෑ යුතු තර්මිඩෝරියානු මුසාවන්ගේ අශික්ෂිත බව ඉහල දැමිය යුතු වේ. ඒ අනුව එය, ඒ හෝ මේ තැනැත්තාගේ පුද්ගලික දුශ්චරිතය පිලිබඳ ප්‍රශ්නයක් නොව, බොරු කීම අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයක් බවට පත්ව ඇති සමස්ත සමාජ කන්ඩායමක් තුල ඇති වූ කුනුවීම පිලිබඳ ප්‍රශ්නයකි. අලුතින් ලබාගත් තනතුරු රැකගැනීම සඳහා කරන අරගලයේ දී, මෙම කුලය නැවත තමන්ව ම අධ්‍යාපන-ගත කර ගත්තේ ය. ඔවුන්, ඒ සමඟම, එහි නායකයන් ද නැවත අධ්‍යාපන-ගත කොට, හෝ සත්තකින්ම අධෛර්යට පත් කලේ ය. වඩාත් ම දැඩි ලෙස සහ නිර්දය ලෙස එම අවශ්‍යතාවය ඉටු කරන පුද්ගලයා එහි දී ඉහලට එසවෙයි. මේ අනුව, කලක් විප්ලවවාදියෙකු ව සිටි ස්ටාලින් තර්මිඩෝරියානු කුලයේ නායකයා බවට පත්විය.

නිලධරයේ අවශ්‍යතා වලට ඍජුවම එරෙහි, මහජනතාවගේ වුවමනාවන් නියෝජනය කරන්නා වූ මාක්ස්වාදී සුත්‍රයන් නිසා නිලධරය වඩ වඩාත් අපහසුතාවයට පත් විය. මා නිලධාරිවාදයට විරුද්ධ වූ දා සිට නිලධර-ගැති න්‍යායාචාර්යවරුන් විසින් මාක්ස්වාදයේ එම විප්ලවීය සාරය “ට්‍රොට්ස්කිවාදය” ලෙස හැඳින්වීමට පටන් ගත්හ. ...[1920 ගනන් වල] දිගින් දිගටම සිදු වූ පක්ෂයේ විරේක කිරීම්, අන් සියල්ලට ම ඉහලින්, යොමු වූයේ “ට්‍රොට්ස්කිවාදය” මුලිනුපුටා දැමීම දෙසට ය. මෙම විරේක කිරීම්වලදී අතෘප්තියට පත් වූ කම්කරුවන් හැඳින්වුනේ 'ට්‍රොට්ස්කිවාදීන්' ලෙස ය. එපමනක් නොව, නව නිල ප්‍රමිතිකරනයට පටහැනි වූ ඓතිහාසික කරුනු හෝ උපුටා දැක්වීම් අවංකව ඉදිරිපත් කල සියලුම ලේඛකයින් ද 'ට්‍රොට්ස්කිවාදීන්' ලෙස හැඳින්වුනි. නවකතාකරුවන් හා කලාකරුවන් එම තන්ත්‍රයේ යටත්වැසියන් බවට පත් කෙරිනි. විසකුරු සම්මුතිවාදයෙන්, මුසාවන්ගෙන්, සහ සෘජු ව්‍යාජ නඩු ඇටවීම් වලින් රටේ සමස්ත අධ්‍යාත්මික පරිසරය ම වෙලා ගැනිනි.

මේ ක්‍රම සියල්ල උපරිම ලෙස භාවිතයට ගත් අතර ඒවා තව දුරටත් භාවිතා කල නොහැකි මට්ටමට පත් විය. න්‍යායික හා ඓතිහාසික මුසාකරනය ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අරමුනු සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි විය. සිදු වන දේ පිලිබඳ හොඳ අවබෝධයක් මිනිසුන් අතර වර්ධනය වී තිබිනි. නිලධාරිවාදී මර්දනය සඳහා වඩා විශාල පදනමක් සකස් කර දීමේ අවශ්‍යතාව පැන නැගිනි. මුසාකරනයන් සත්‍යයන් මෙන් උද්දීපනය කිරීම සඳහා (ශක්තිමත් කිරීම සඳහා) 'සාපරාධකාරී චරිත' පිලිබඳ චෝදනාවන් ඉදිරිපත් කරන ලදී. ... මර්දනය සාධාරනීකරනය කිරීම සඳහා, ව්‍යාජ චෝදනා එල්ල කල යුතු විය. අසත්‍ය චෝදනාවල බර වැඩි කිරීම සඳහා ඒවා වඩාත් කෘර මර්දනයන්ගෙන් ශක්තිමත් කල යුතු විය. මේ අනුව, එම අරගලය තර්කානුකුල ලෙස දැවැන්ත අධිකරන ක්‍රියාමාර්ගයකට ස්ටාලින්ව ගෙන ගියේ ය.

විරේකකරනයේ වැඩ පිලිවෙලත් සමග නිලධරය තමන්ව කුලයක් ලෙස තහවුරු කර ගත්හ. සමාජවාදී විප්ලවයක සහ තවත් ඔක්තෝබරයක අපේක්ෂාවන් ලෝකයේ කොතැනක හෝ ඇති වීමට ඔවුන් විරුද්ධ බව අධිරාජ්‍යවාදය ඉදිරියේ ඔප්පු කොට පෙන්වීය. එපමනක් නොව, විප්ලවයේ නායකයින් ඝාතනය කිරීමට පෙර දැඩි නින්දා අපහාස වලට ලක් කිරීම හරහා ලොව පුරා මිලියන ගනනක් ඉදිරියේ ඔක්තෝබර් විප්ලවය අපකීර්තියට පත් කිරීමට නිලධරය කටයුතු කලේය. ඒ ඔස්සේ සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ඓතිහාසික හා සමාජවාදී විඥානය විනාශ කලේය. දශක තුනකට පෙර 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් විසුරුවා හරිනු ලැබීමත්, එයින් ම පුටින්ගේ පාලනය පැන නැඟීමත්, යන කාරනා තේරුම් ගත හැක්කේ මෙවන් පුලුල් සන්දර්භයක් තුල පමනි.

මෙක්සිකෝවේ කොයෝවාකාන්හි පැවති ඩූවි කොමිසමේ දී විභාගය අතරතුර දී සිය නීතිඥයා වන ඇල්බර්ට් ගෝල්ඩ්මන්ගෙන් උපදෙස් ගන්නා ලියොන් ට්‍රොට්ස්කි. ඔහුගේ වම් පසින් සිටින්නේ බිරිඳ නතාලියා ය.

මෙම පසුබිම තුල, සමූහ මිනීවලවල් සොයා ගැනීම සහ ඝාතනයට ලක් වූවන් පිලිබඳ තොරතුරු තහවුරු කිරීම වැනි මෑතක දී සිදු වූ මෙවැනි පරිශ්‍රමයන් ඔස්සේ ඓතිහාසික වාර්තාවට වැදගත් හා අත්‍යවශ්‍ය දායකයකත්වයක් සැපයේ. කෙසේ වුවද, මෙම කාරනාවේ පවතින පුර්න ඓතිහාසික සත්‍යය සහ එහි අත්දැකීම අවබෝධ කර ගත හැක්කේ, ස්ටැලින්වාදයට එරෙහිව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී දෘෂ්ටි කෝනයකින් යුතුව ට්‍රොට්ස්කි සහ වාමාංශික විපාර්ශවය ගෙන ගිය අරගලය සමඟ සම්බන්ධ වීමෙන් පමනි.

Loading