[මෙය 2021 ජූලි 18 වැනි දින This week in history: July 19–25 යන මැයෙන් පල වූ ලිපියේ 25 years ago: LTTE train bombing kills dozens of workers in Sri Lanka යන කොටසේ පරිවර්තනයයි.]
වසර 25 කට පෙර: එල්ටීටීඊ දුම්රිය බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ කම්කරුවන් දුසිම් ගනනක් මිය යති
1996 ජුලි 24 වන දින කොලඹ නගරයේ දකුනු සීමාවට මඳක් එපිටින් පිහිටි දෙහිවල දුම්රිය ස්ථානයේ දී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයකින් දුම්රිය මගීන් 64 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 400 දෙනෙකු තුවාල ලැබූහ. දුම්රිය තුල අධික ම තදබදයක් තිබූ එම අවස්ථාවේ දී එල්ටීටීඊ ක්‍රියාකාරීන් විසින් පුපුරන ද්‍රව්‍ය රාත්තල් 200 කට වැඩි ප්‍රමානයක් අඩංගු සූට්කේස් බෝම්බ මැදිරි හතරක තබා තිබිනි. මෙය හිතාමතාම ඉලක්ක කලේ ශ්‍රී ලංකාවේ අගනගරය තදාසන්න පෙදෙස් වෙත ගමන් කරමින් සිටි කම්කරුවන් ය. පස්වරු 5 ට පසු කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන මෙම දුම්රිය දිවා වැඩ මුරයෙන් පසු කොලඹ නගරය තුල රැකියාවේ නිරත ශ්‍රමිකයන් නිවාස වෙත ගෙන යයි. “කාර්යාල දුම්රිය” ලෙස හැඳින්වෙන ඒ තුල ප්‍රහාරය සිදු වූ දිනයේ අසාමාන්‍ය ලෙස පිරී ගොස් දෙදහසකට අධික පිරිසක් එහි ගමන් කොට තිබිනි.
ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව සහ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) විසින් එල්ටීටීඊයේ කුරිරු කම්කරු විරෝධී ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කල අතර මෙම සිදුවීම ශ්‍රී ලංකා රජය විසින් තීව්ර කරන ලද දෙමල ජනතාවට එරෙහි ජාතිවාදී යුද්ධයේ සෘජු ප්‍රතිඵලයක් බව පැහැදිලි කලේ ය.
එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ 'පොදු ජන එක්සත් පෙරමුන' (“පොදු පෙරමුන”) සමන්විත වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකෙන් එකක් වන ඇයගේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ 1963-64 දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය ලංකා සම සමාජ පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, සහ කුඩා ධනේශ්වර-ජනතාවාදී පක්ෂ කිහිපයකිනි. ජනතාවාදී භාෂාව භාවිතා කරන අතර ම, පොදු ජන එක්සත් පෙරමුන, කම්කරුවන් සහ දුප්පත් ගොවීන්ට දරුනු ප්‍රහාර එල්ල කල අතර දෙමල සුලුතරය කෙරෙහි ස්වෝත්තමවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේ ය. මෙමගින් එල්ටීටීඊයට වාසි සහගත තත්වයක් ඇති විය.
බෝම්බ ප්‍රහාරය සිදු වූ දිනයේ දී ම කුමාරතුංග කුඩා වතු හිමි තේ වැවිලිකරුවන්ගේ රැස්වීමක් ඇමතුවා ය. එම සිද්ධි දෙක යුද්ධය හා කම්කරු පන්තියේ තත්වයන්ට පහරදීම අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්නකි. එම රැස්වීමේ දී, ආර්ථික සහනාධාර ඉවත් කිරීමට තම රජයේ අධිෂ්ඨානය ප්‍රකාශ කල ඇය, වැටුප් වැඩි කිරීම සඳහා සටන් කරන සේවකයින් සේවයෙන් පහ කීරීමට තර්ජනය කලා ය. “මේ මොහොතේ අවශ්‍යතාවය සහ සමාජ වෙනස්කම් පිලිබඳ ව අවබෝධයකින් තොර ව සිය පැරනි සටන් දිගට ම කර ගෙන යන උදාසීන රාජ්‍ය සේවකයින්ට සහ ගුරුවරුන්ට සේවයෙන් පහ කිරීම ඇතුලු දැඩි දඬුවම් වලට මුහුන දීමට සිදුවනු ඇත.” යැයි ඇයි ප්‍රකාශ කලා ය.
බෝම්බ පිපිරීමෙන් පසුව පාලක පන්තිය විසින් ඇති කල ජාතිවාදී දෙමල විරෝධී ව්‍යාපාරය දෙසට ඇදී නොයන ලෙස විකොස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සංවිධානය කිරීම සඳහා තමන්ගේ ම ස්වාධීන ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර රජයේ ජාතිවාදී යුද්ධයට සහ ආන්ඩුවේ මිලිටරිකරනයේ වර්ධනයට විරුද්ධ වන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙම බෝම්බ ප්‍රහාරය, මහ බැංකු සේවකයින්ට එල්ල කල බෝම්බ ප්‍රහාරය, සහ දෙමල ජනාකීර්න ප්‍රදේශ වන උතුරු හා නැගෙනහිර පලාත්වල සිටින සිංහල ගොවීන්ට දිගින් දිගට ම හිරිහැර කිරීම වැනි දෑ මගින් පෙන්නුම් කලේ සිංහල හා දෙමල මහජනතාවගේ එක්සත්කමට එල්ටීටීඊයේ ඇති විරුද්ධත්වය යි. ශ්‍රී ලංකා පාලන තන්ත්රයට එරෙහි ව කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීමට එල්ටීටීඊය උත්සාහ කලේ ය.