මුලතිව්හි දී එල්ටීටීඊ සටන්කාමීන් හා දෙමල සිවිල් වැසියන් සංහාරය කිරීමේ සිට වසර 12ක්:

කම්කරුවන් බෙදීම සඳහා දෙමල ජාතිකවාදියෝ, ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන අධිරාජ්‍යවාදී ගැති බොරු වපුරති

[පහතින් පලවෙන්නේ 12 years since Mullaitivu massacre of LTTE fighters and Tamil civilians:To divide workers, Tamil nationalists sow pro-imperialist lies on Sri Lankan war  මැයෙන් 2021 මැයි 17 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය මාසයේ, මුලතිව් සංහාරයේ 12වන සංවත්සරයේ මුව විට, සිවිල් යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, උතුරේ වවුනියා දිස්ත්‍රික්කයේ මාර්ගය දෙපස විරෝධතා සංවිධානය කලේ ය. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු, 2015 සිට එවන් විරෝධතා දින 1,500ට අධික ගනනක් පැවතී ඇත. ඒවාට සහභාගි වීම සඳහා පුද්ගලයන් සිය ගනනක්, පොලීසියේ බාධා කිරීම් නොතකා ඒවාට සහභාගී වෙති. දරිද්‍රතාව හා වයස්ගත භාවය නොතකා වසර ගනනාවක් තිස්සේ ඒවාට සහභාගී වන වයස්ගත වූවන්,  තමන්ගේ අතුරුදන් වූ දරුවන් කොහිදැයි දන්වන මෙන් ඉල්ලමින් හා ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විරෝධතා දක්වා ඇත.

අප්‍රේල් 15දා මාර්ගය දෙපස පැවති රැස්වීමක දී කතා කල, දෙමල ජාතික මහජන පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක හා වවුනියා පුරවැසි කමිටුවේ සාමාජික ගෝපාලක්‍රිෂ්නන් රාජ්කුමාර්ගේ බාල වර්ගයේ විවේචන තුලින්, ශ්‍රී ලංකාවේ හා ඉන් ඔබ්බේ කම්කරුවන් මුහුන දෙන ගැටලු තියුනු ලෙස ඉස්මතු කෙරින. ගෝලීය කොවිඩ්-19 වසංගතය සහ චීනයට එරෙහි එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ වැඩෙන තර්ජන හමුවේ මිලියන ගනනකගේ ජීවිත තර්ජනයට ලක්ව තිබියදී, කම්කරු පන්තිය බෙදීමට දෙමල ධනේශ්වර දේශපාලනඥයන් යොදා ගන්නා දේශපාලන බේගල්, රාජ්කුමාර්ගේ අදහස් දැක්වීම් තුල පුනරුච්ඡාරනය කෙරුනි. 

ගුවන් පරීක්ෂාවකින් පසුව කොලඹ කැලනිතිස්ස විදුලි බලාගාරයෙන් පිටත මුර සංචාරයේ යෙදෙන සොල්දාදුවෝ, ඔක්තෝබර් 29 බදාදා 2008. (අනුග්‍රහය ඒපී ඡායාරූප, එරංග ජයවර්ධන)

වසංගතය හෝ යුද තර්ජනය ගැන කිසිවක් නො කියූ රාජ්කුමාර්, ඒ වෙනුවට සිංහල ජනවාර්ගික බහුතරයට එරෙහි වර්ගවාදී දෝෂාරෝපනයකට බැසගත්තේ ය. “කුමන හෝ විසඳුමකට එලඹීමේ දී දෙමල වැසියන් බාධාවන් තුනකට මුහුන දෙනවා. පලමුවැන්න බෞද්ධ පූජක තන්ත්‍රය, දෙවැන්න සිංහල දේශපාලනඥයන් හා අවසන් වසයෙන් සිංහල මහජනයා. ඔවුන් සෑම විට ම තෝරා පත්කරන්නේ වර්ගවාදී දේශපාලනඥයන්” යයි ඔහු ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන කතා කරමිනි. 

තම ගැටලුවලට විසඳුමක් සඳහා වොෂින්ටනය, දිල්ලිය හා යුරෝපා සංගමය (ඊයූ) මත බලාපොරොත්තු තබන ලෙස, රාජ්කුමාර් ඉන්පසු දෙමල ජනයාගෙන් ඉල්ලා සිටියේ ය. “2017 පෙබරවාරියේ පටන්, අපේ අරගලයට මැදිහත් වන ලෙස අපි එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා. ...ජනසංහාරයෙන් හා පීඩනයෙන් දෙමල වැසියන් මුදාගැනීමට අපි සාමූහික ව එක්සත් ජනපදයේ සහයෝගය ඉල්ලා සිටිනවා” යි ඔහු කීවේ ය. “සුදුසු දේශපාලන විසඳුමක් හා ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා දෙමල වැසියන්ට උදව් කිරීමට මැදිහත් වන ලෙස අපි එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා” යි ඔහු සඳහන් කලේ, ටීඑන්පීඑෆ්හි අධිරාජ්‍ය-ගැති දිශානතිය ගැන ඉඟි කරමිනි.

21වන ශතවර්ෂය තුල මානව වර්ගයාට එරෙහිව සිදු කරන ලද, ප්‍රධාන අපරාධයන්ගෙන් එකකි, 2009 මුලතිවු සංහාරය. එහෙත්, මෙම සංහාරයට සහයෝගය දුන් අධිරාජ්‍යවාදී හා ධනවාදී බලවතුන් වෙතින් වගකීම ඉවතට හරවා, එයට වගකිව නො යුතු සිංහල වැඩකරන ජනයා මත වරද පැටවීමට, රාජ්කුමාර්ගේ අදහස්වල ඉලක්කයයි. මෙම ලේවැකි සංහාරය, ශ්‍රී ලංකාවේ ධනපති තන්ත්‍රයේ හා රාජ්කුමාර් ආරක්ෂා කරන, ලෝක ධනපති පද්ධතියේ අපරාධකාරීත්වය පිලිබඳ ප්‍රබල හෙලිදරව්වකි.

ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යය විසින් අතුරුදන් කරන ලද්දේ හුදෙක් දෙමල තරුනයන් හා කම්කරුවන් පමනක් නො වේ. 1983-2009 දක්වා පැවති යුද්ධය සමයේ, 200,000ට අධික ජනකායක්, එක්කෝ මරා දමන ලද නැතහොත් අතුරුදන් කර දමන ලද හ. 2009 දී මුලතිවුහි සිදුවූ අවසන් සංහාරයේ දී, බෝම්බ වරුසාවන් හා කාල තුවක්කු ප්‍රහාර යොදා ගනිමින් අහිංසක දෙමල සිවිල් වැසියන් 40,000ට අධික පිරිසක් සංහාරය කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි. කෙසේ වෙතත් 1971 පලමු ජවිපෙ නැඟිටීම අවධියේ හා 1987-90 දෙවන කැරැල්ල අවධියේ සිංහල තරුනයින් ලක්ෂයකට වැඩි පිරිසක් අතුරුදහන් විය.

ධනපති රාජ්‍යය සියලු ජන වර්ගයන්ට අයත් වැඩකරන හා පීඩිත ජනතාවට එරෙහි ව ගෙන ගිය මහා පරිමාන ඝාතනය, ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත් භාවය පිලිබඳ හෙලිදරව්වකි. 1980 ගනන් අග පටන්, ශ්‍රී ලංකාව තුල පුද්ගලයන් 60,000 සිට 100,000 දක්වා පිරිසක් අතුරුදන් ව ඇතැයි වාර්තා වේ. අතුරුදන් වී යයි වාර්තා වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව, ශ්‍රී  ලංකාව දෙවැනි වන්නේ, එක්සත් ජනපද නායකත්වයෙන් ගෙන ගිය 30 අවුරුදු යුද්ධ හා වාඩිලෑමෙන්  විනාශ කරන ලද රටක් වන ඉරාකයට පමනි.

මෙම ඉතිහාසය පසෙකට දමන රාජ්කුමාර්, සමස්ත සිංහල ජනතාව හෙලා දකිමින්, මෙම ජන සංහාරයට විසඳුමක් පතා ආයාචනා කරන්නේ නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ට හා නව දිල්ලියට  යි. තම රටවල් තුල ආසන්න වසයෙන් මිලියන 2ක්  ජනතාව මරා දමමින්, කොරෝනා වෛරසයට බහුලව පැතිරීමට ඉඩ දී තිබෙන “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් ඉදිරියට ගෙන ඇත්තේ මෙම බලවතුන්ම ය. දැනට ඉන්දියාව විනාශභාග කරමින් තිබෙන හා ඉන්දියාවේ වැනි නැඟීමකට තර්ජනය කරන ශ්‍රී ලංකාවේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් පිලිබඳ ව අනතුරු ඇඟවීමක් නො කර ටීඑන්පීඑෆ් කරමින් සිටින්නේ, ඉන්දියාව විනාශ කරන පිලිවෙත් අනුගමනය කරන හින්දු අධිපතිවාදී ආන්ඩුවට උල්පන්දම් දීම යි. 

සිංහල ජනතාවට එරෙහි රාජ්කුමාර්ගේ මඩගැසීම් සුදුසු පිලිකුල් කිරීමට පමනි. පලමුව, ඔහු උත්සාහ දරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි දෙමල ජනයා අතර පවතින පිලිකුලට ව්‍යාජ ලෙස ආමන්ත්‍රනය කිරීමට යි. 2009 සංහාරය සිදුවන විට බලයේ සිටියේ ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ ය. එහෙත්, 2019 දී බොහෝ සිංහල වැසියන් වර්තමාන රාජපක්ෂට ඡන්දය දුන්නේ, ඊට පෙර, 2015-19 සමයේ පැවති “යහපාලන” ආන්ඩුවේ කම්කරු-විරෝධී, කප්පාදු-ගැති පිලිවෙත් හේතුවෙනි. 

චීනය සමග රාජපක්ෂවරුන්ට පැවති සබඳතා ඉලක්ක කරගෙන, නව දිල්ලියේ හා ශ්‍රී  ලංකාවේ දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පිටුබලය සහිතව, එක්සත් ජනපදය නායකත්වය දුන් තන්ත්‍ර මාරු මෙහෙයුමකින් එම ආන්ඩුව බලයට පත්වි ය.

යථාර්ථය නම් 2015 වසරේ දියත් කරන ලද වර්තමාන විරෝධතා, ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමා දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට, “යහපාලන” ආන්ඩුව දුන් පොරොන්දු බිඳ දැමීමෙන් පසුව හටගැනුනි. ලොව පුරා බොහෝ දෙනා “වැලන්ටයින් දිනය” සමරන පෙබරවාරි 14, ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල් “අතුරුදන් වූ ආදරනීයයන්ගේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කලේ, ඔවුන්ගේ ආදරනීයයන්ගේ මතකය වෙනුවෙනි. කොලඹ දී ඔවුහු, අගමැති මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කරා විරෝධතා පෙලපාලි පැවැත්වූහ. 

දෙවනුව, රාජ්කුමාර්ගේ වංක ධනේශ්වර ජාතිකවාදී ආයාචනාවන්ට යටින් එක් කේන්ද්‍රීය පරස්පර-විරෝධයක් පවතී. 2009 මුලතිවු සංහාරය හෙලා දකින අතර ම, ඔහු උතුරේ හා නැගෙනහිරේ කම්කරුවන්ට හා තරුනයන්ගෙන් ඉල්ලන්නේ,  සංහාරය සිදු කිරීමට උදව් කල එම ධනපති බලවතුන් ගැන ම විශ්වාසය තබන ලෙස යි. ඇත්ත වසයෙන් ම, එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ හා ඉන්දීය පාලක ප්‍රභූවේ මූල්‍ය හා රාජ්‍යතාන්ත්‍රික සහයෝගයෙන් තොර ව, 2000 වසරේ අලිමංකඩ දී විනාශකාරී පරාජයක් අත්කරගෙන තිබුනු ශ්‍රී ලංකාවේ මිලිටරියට, 2009 වසරේ සංහාරය සිදුකිරීම කිසිදා කල  නොහැකි වනු ඇත.

මුලතිවු සංහාරයට පෙර, අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් හා ඉන්දියාවෙන් තමන්ට ලැබුනු සහයෝගය පිලිබඳව, මහින්ද රාජපක්ෂ විසින් ම කල නරුම අදහස් දැක්වීමක් තුල මෙය පෙන්නුම් කරයි. වර්ල්ඩ් ඊස් වන් නිව්ස් (ලෝකය එකම ප්‍රවෘත්තියකි-ඩබ්ලිව්අයිඕඑන්) වෙත පසුගිය වසරේ කතා කල රාජපක්ෂ මෙසේ කීවේ ය: “ඒක මානුෂීය යුද්ධයක්. හැකි සෑම ආකාරයකින් ම ඉන්දියාව අපට උදව් කලා. ඒක ප්‍රසිද්ධ කිරීමටවත්, මාධ්‍ය වෙත ඕනෑවට වැඩි දේ කීමටවත් අපට උවමනා වුනේ නැහැ. චීනය හා පකිස්තානය පමනක් නෙවෙයි, බ්‍රිතාන්‍යය හා ඇමරිකාවත් අපට උදව් කලා.”

මුලතිවු සංහාරය කෙරේ එක්සත් ජනපද-ඉන්දියානු උදාසීනත්වය විකිලීක්ස් කේබල් පනිවුඩ වලින් හෙලිදරව් කරයි

මුලතිවුහි දී දෙමල සිවිල් වැසියන් හා දෙමල ජාතිකවාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සටන්කරුවන් සංහාරයට ලක් කිරීමේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සගයන්ගේ දුස්සහායකත්වය නිෂේධනය කල නො හැකි ලෙස ස්ථාපනය කරමින්, විකිලීක්ස් විසින් පලකල රහසිගත එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කේබල් පනිවුඩ, රාජපක්ෂගේ පාපෝච්ඡාරනය තහවුරු කරයි. 

හිලරි ක්ලින්ටන්ගේ “විශ්වාසයන් හා වටිනාකම් පිලිබඳ ගුරුවරයා” ලෙස හැඳින්වෙන බර්න්ස් ස්ට්රයිඩර් නම් කොංග්‍රස් සභිකයෙක් ඇය වෙත 2009 මැයි 4දා යවන ලද ඊ-මේල් පනිවුඩයක් මෙසේ සඳහන් කරයි: “කොටින් සම්පූර්නයෙන් පරාජය කරනු ලැබීම හා ශ්‍රී ලංකාවේ ආන්ඩුව විසින් මිනිසුන් මත එහි දී ඇති කරන ඕනෑම මහා විනාශයක් පිලිගැනීම යුක්ති සහගත වන අතර ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යන දෙකේ ම සිටින අයවලුන් විශ්වාස කරන බව මගේ අදහස යි.”

එවකට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති වූ රොබට් බ්ලේක් හා එක්සත් ජාතීන්ගේ ඉන්දියානු තානාපති ටී. එස්. තිරුමූර්ති අතර 2008 අගෝස්තුවේ වූ සාකච්ඡාවක් පිලිබඳව, කාන්දු වූ තවත් රහසිගත වාර්තාවක් තුල විස්තර කෙරේ. එම සාකච්ඡාවේ දී වොෂින්ටනය හා නව දිල්ලිය එල්ටීටීඊය කෙරෙහි ඔවුන්ගේ පොදු හතුරුකම සාකච්ඡා කල අතර, වසරක් ගත වන්නටත් මත්තෙන් මුලතිවු සංහාරයේ දී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරාදැමීම සඳහා අනුමතිය කල්තියා පල කරන ලදී.

වාර්තාව මෙසේ සඳහන් කරයි: “‘රාජපක්ෂට ප්‍රභාකරන් ඉවර කර දැමීම අවශ්‍ය ය’ බව සඳහන් කල තිරුමූර්ති, එල්ටීටීඊයට යුරෝපයෙන් දිගට ම අරමුදල් ලැබෙන බව පෙන්වා දුන්නේ ය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව උත්සුක වන කරුනක් වන මෙය, බටහිර විශ්වාසවන්ත භාවය පිලිබඳ ගැටලුවක් බව ඔහු කීවේ ය. එල්ටීටීඊයේ අරමුදල් කපා හැරීම, සාකච්ඡා සඳහා එය උනන්දු කරනු ඇති බව ඔහු අවධාරනය කලේ ය. (එල්ටීටීඊ නායක වේලුපිල්ලේ) ප්‍රභාකරන් අල්ලා ගනු ලැබීම හෝ මරා දැමීම දැකගැනීමට එක්සත් ජනපදය මනාප වනු ඇති අතර, ප්‍රභාකරන්ගේ මරනය යොදාගෙන බලය බෙදාගැනීමේ එකඟතාවක් පිලිබඳ ප්‍රගතිය ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදය හා ඉන්දියාව රාජපක්ෂට අවසර නො දිය යුතු ය.”

ශ්‍රී ලංකාවේ දෙමල වැසියන්ගේ කිට්ටු සගයන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමල ධනේශ්වර පක්ෂ ද සංහාරයකට එකඟතාව පලකල බව, වාර්තාව සකස් කල එක්සත් ජනපද නිලධාරීහු සටහන් කල හ. “තමිල්නාඩුව තුල දැනට එල්ටීටීඊයට සැලකිය යුතු සහයෝගයක් නැති බවත්, සරනාගතයන් ගලා ආවහොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවත්, තිරුමූර්ති කියා සිටියේ ය” යි ඔවුහු ලිවූ හ.

ඔවුහු මෙසේ ද කී හ: “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිලිබඳව තමිල්නාඩුවෙන් ඉන්දීය ආන්ඩුව මත කිසිදු පීඩනයක් තිබෙන බව තිරුමූර්ති ප්‍රතික්ෂේප කලේ, දැන් එහි එල්ටීටීඊය සඳහා සහයෝගයක් නැති බව කියමිනි. වඩා විශාල සරනාගතයන් සංඛ්‍යාවක් තමිල්නාඩුවට පැමිනීම ආරම්භ වුවහොත්, එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ඔහු තව දුරටත් කීවේ ය.”

එනම්, ද්‍රවිඩ මුන්නේත්ර කසාගම් පක්ෂයේ (ඩීඑම්කේ) හෝ ප්‍රතිමල්ලව අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර  කසාගම් පක්ෂයේ (ඒඩීඑම්කේ) ධනපති දේශපාලකයෝ, සංහාරයකට සහයෝගය දුන් අතර, අපරාධ හා මහා පරිමාන සරනාගත ගලා ඒමක් ඉන්දීය කම්කරුවන් හා ගොවීන් අතරින් උද්ඝෝෂනයක් පැන නැංවිය හැකියාව ගැන පමනක් බිය වූ හ.

රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් එල්ටීටීඊය සංහාරය කිරීමට දුන් ඉන්දීය සහයෝගය පදනම් කරන ලද්දේ, දූෂිත මූලෝපායික හා වානිජමය ගනන් බැලීම් මත යි. නව දිල්ලිය හුදෙක් චීනයේ වියදමින් ශ්‍රී ලංකාව තුල වඩා වැඩි ආනුභාවයක් දිනා ගැනීමට උත්සුක වූවා පමනක් නොව, යුද්ධය අවසන් කරමින් විශාල ලාභ අත්කර ගැනීමට හා අලුතින් හලන ලද එල්ටීටීඊ සටන්කරුවන්ගේ රුධිරය මතින් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ආරම්භ කිරීමට ද තමිල්නාඩුවේ ධනේශ්වරය අපේක්ෂා කලේ ය.  

2009 සංහාරයේ දී තමිල්නාඩු පාලක ප්‍රභූව ලබා දුන් උදව්වට ස්තුතිය පලකිරීම සඳහා, ඩීඑම්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. ආර්. බාලුට හා හිටපු ඩීඑම්කේ තමිල්නාඩු මහ ඇමති මුතුවේල් කරුනානිධිගේ දියනිය වන කානිමෝෂිට, ත්‍යාග ලබා ගැනීමට හා අනාගත ආයෝජන ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස, රාජපක්ෂ ආරාධනා කලේ ය. ඩීඑම්කේ දේශපාලනඥ ජේ. ජගත්රාක්ශාකන්ගේ පවුලට වැඩි අයිතියක් තිබෙන අරමුදලක් වන සිල්වර් පාක් ඉන්ටර්නැෂනල්, හම්බන්තොට පිරිපහදුවක සිදුකල ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් ඇතුලුව, ශ්‍රී ලංකාව තුල බිලියන ගනන් ආයෝජනය කලේ ය. ඉන්දියාවේ හිටපු මුදල් ඇමති පී. චිදම්බරම්ගේ පුත්‍ර කාර්ති ද ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් තුල ආයෝජනය කලේ ය.

අධිරාජ්‍යවාදී බලවතුන්, තමන්ගේ කන්ඩායම ද ඇතුලු විවිධ දෙමල ජාතිකවාදී කන්ඩායම්වලින්, එල්ටීටීඊය සංහාරය කිරීමක් පිලිබඳව විමසූ බව, ටීඑන්පීඑෆ් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යුද්ධය පිලිබඳව 2012 දී පැවති රැස්වීමක දී හෙලිදරව් කලේ ය. 2009 යුද්ධයේ අවසන් දවස් ගැන සඳහන් කරමින්, අධිරාජ්‍යවාදී බලවතුන් සමග තමන් තිරයට පිටුපසින් සිදුකල සාකච්ඡා ගැන, පොන්නම්බලම් පහත දැක්වෙන ප්‍රකාශයන් කලේ ය.

යූටියුබ්හි ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රකාශයක්  තුල, වැඩකරන ජනයාට පිටුපසින් තමන්, ප්‍රධාන බලවතුන් සමග, සංහාරය පිලිබඳ රහසිගත සාකච්ඡා පැවැත්වූ බව පොන්නම්බලම් හෙලිදරව් කරයි. එය මුලතිවු සංහාරයට දුන් දුස්සහාය පිලිගැනීමකට සමාන වේ. ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය:

එම අපරාධ සිදුකරමින් තිබියදී මෙන් ම, පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් හා ඒ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස අපි, ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡා පැවැත්වූ අතර, අපට පොරොන්දු දෙකක් දෙනු ලැබී ය. ඉන් එකක්, රුධිරස්නානයක් සිදුවුව හොත් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට දරුනු විපාකවලට මුහුන දීමට සිදුවනු ඇතැයි දෙමල ජාතිකයන්ට දුන් පොරොන්දුව යි. දෙවැන්න, ජාත්‍යන්තර ප්‍රජාවගේ දෑස් අභියස ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊය, දෘෂ්ටි පථයෙන් ඉවත් කරනු ලැබූ විට, තමන්ගේ අයිතීන් සඳහා දෙමල ජනයාගේ අරගලය පිලිගනු ඇති බව හා සාමය පවතිනු ඇති බව යි.

දෙමල ජාතිකවාදීන් ජනතාවට දුන් පොරොන්දු පාවාදුන්නේ ඇයි?

දෙමල ජාතිකවාදී දේශපාලනඥයන්ගේ උපායාත්මක වරදක නිෂ්පාදිතය නො වන මෙම පාවාදීම, දේශපාලන දිශානතියක බංකොලොත්භාවයේ ප්‍රතිඵලය වේ. මුලුමනින් ම ශ්‍රී ලංකාවේ සීමාවන් ඇතුලත සන්නද්ධ ක්‍රියා සිදුකිරීමේ දෙමල ජාතිකවාදීන්ගේ ඉදිරි දර්ශනය, විශේෂයෙන් ම ඉන්දියාව ඇතුලු අනෙකුත් කලාපීය ධනේශ්වර බලයන් සමග ගනුදෙනුවක් කර ගැනීමේ දිශානතියක් උරුම කරගත්තේ ය. විවිධාකාර දෙමල ජාතිකවාදී කන්ඩායම්, ඉන්දියානු රාජ්‍යයෙන් හා ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂවලින් ආයුධ හා පුහුනුව සහිත ආධාර අපේක්ෂා කල හ. පසුගිය වසර පනහ පුරා සිදු වූ ආර්ථික ගෝලීයකරනයේ බලපෑම යටතේ මෙම සියලු බලවේග, වේගයෙන් දකුනට තල්ලුවූ හ.

ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යයට නව, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාවක් 1972 දී බලාත්මක කිරීමෙන් පනස් වසර ලබන අවුරුද්දේ දී සලකුනු කෙරේ. බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කරමින් හා දෙමල ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල තුලට ඇතුලත් වීම සීමා කරමින්, සිංහල පමනක් යන භාෂා පිලිවෙතක් අනුමත කල එය, ශ්‍රී  ලංකාව තුල වර්ගවාදී ප්‍රචන්ඩත්වය අපාලිතව පුපුරා යාමට මග පෑදී ය. ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සහයෝගය සහිතව කෙටුම්පත් කල එම ව්‍යවස්ථාව, ලසසපය විසින් ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කොට 1964 දී බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුලු වීමේ විෂකුරු ඵලය විය. 

ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තියේ ප්‍රමුඛ පක්ෂය විසින් මෙලෙස ට්‍රොට්ස්කිවාදය ගොරතර ලෙස පාවාදීම පිලිබඳව සුවිශේෂී විවේචන දෙකක් පැවතුනි. මෙම විවේචන දෙක එකිනෙකට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ පන්ති ආස්ථාන දෙකක් ප්‍රකාශයට පත් කලේ ය.

ලසසපය විසින් ආරක්ෂා කරනු ලැබූ, එහෙත් පසුව පාවාදුන් නො නවතින විප්ලවයේ ඉදිරිදර්ශනය, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී  ලංකා ශාඛාව ලෙස 1968 දී ආරම්භ කරන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) -මෙය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා ය-  විසින් ආරක්ෂා කලේ ය. අරගලයේ දී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතු කමේ සම්ප්‍රදායයන් විකොස විසින් දරා සිටියේ ය. ආසියාව පුරා ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපනය කිරීමේ අරගලයක් තුල කම්කරු පන්තිය එකමුතු කිරීම හරහා පමනක්, ජනවාර්ගික ගැටුම විසඳනු ලැබිය හැකි බව එය විස්තර කලේ ය.

1972 ව්‍යවස්ථාව හා ලසසපයේ අවස්ථාවාදය හෙලාදුටුව ද දෙමල ජාතිකවාදය, දක්ෂිනාංශික විවේචනයක් ඉදිරිපත් කලේය. නිශ්චිතව ම, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන (ද්‍රඑවිපෙ) 1976 දී පැවැත්වූ වඩුක්කොඩෙයි සම්මේලනයේ ඉදිරිපත් කල යෝජනාවෙන්, “අනාගමික, සමාජවාදී දෙමල ඊලම් රාජ්‍යයක් තුල මිනිසා විසින් මිනිසා සූරාකෑම අවසන් කරනු ඇතැ” යි පොරොන්දු විය. එහෙත්, අර්ධ-සමාජවාදී පූච්චානම් වලින් වෙස් ගන්වා තිබූ එහි බෙදුම්වාදී  ක්‍රියා මාර්ගය පිටුපස, 1947 දී බ්‍රිතාන්‍යයෙන් නාමික නිදහස ලත් රටවල දේශීය ධනේශ්වරයන් හා අධිරාජ්‍යවාදී බලවතුන් අතර එකඟතාවෙන් අටවා ගත් ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය දෙසට වූ දිශානතියක් රැඳී තිබුනි.

1983 කලු ජූලියේ දෙමල-විරෝධී සංහාරයෙන් පසුව වර්ගවාදී යුද්ධය පුපුරා ගිය අතර, යුද්ධයට විරුද්ධ වූ ද දෙමල, සිංහල හා මුස්ලිම් යන සියල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල එකම පක්ෂය වූයේ ද විකොස පමනකි. 1987 දී දිල්ලිය, කොලඹ හා දෙමල ජාතිකවාදීන් අතර ඇති කරගත් එකඟතාව මත ඉන්දියානු මැදිහත්  වීමට ද එය විරුද්ධ විය. එල්ටීටීඊය ඇතුලු සියලු දෙමල ජාතිකවාදී කන්ඩායම් ඉන්දියානු මැදිහත් වීම අනුමත කල හ. “අපේ ජනතාවගේ විමුක්තිය හා අනාගත ආරක්ෂාව වෙනුවෙන්” ඉන්දියානු හමුදාවට ආයුධ භාරදීමට ප්‍රභාකරන් පොරොන්දු විය. 

එහෙත් වසර හතරක් ඇදුනු ඉන්දියානු මැදිහත් වීම ලේවැකි විනාශයක් බවට පත්විය. ප්‍රදේශය හෝ ප්‍රාදේශීය භාෂාව දැන නො සිටි භටයන් සහිත ඉන්දියානු හමුදාව, සිය මැදිහත් වීම සංවිධානය කිරීමේදී දෙමල ජාතික හමුදාවේ (දෙජාස, මෙය කලින් පුරවැසි ස්වේච්ඡා බලකාය නම් විය) උදව්ව මත රැඳී සිටියේ ය. එහෙත් ඉන්දීය භටයන්ට දෙජාසහි සමඟ පැවති සම්බන්ධය, එල්ටීටීඊය ශ්‍රී ලංකා මිලිටරිය සමඟ තුන් පැත්තකින් පැවති ලේ  වැකි සටන නිසා අවසන් වූයේ, උතුරේ ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙමිනි.

මානව හිමිකම් පිලිබඳ දෙමල මධ්‍යස්ථානය (ටීසීඑච්ආර්), ඉන්දියානු සාම සාධක හමුදාව (අයිපිකේඑෆ්) ශ්‍රී ලංකාව තුල සිදුකල කටයුතු වලදී සිදු කරන ලද හානි පිලිබඳ ගනනය කලේ ය. අයිපීකේඑෆ් විසින් පුද්ගලයන් 8,118ක් මරා දැමී  ය; 4,184ක් අතුරුදන් කලේ ය; 10,156ක් වධයට ලක් කලේ ය; ස්ත්‍රී දූෂන 3,507ක් සිදු කලේ ය; 15,422කට තුවාල සිදුකලේ 550,250ක් අවතැන් කරමිනි. ඉන්දියානු මැදිහත් වීමට ගොදුරු වූවන් අතර, යාපනය විශ්ව විද්‍යාලයේ දිදුලන ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයෙක් හා යාපනයේ ශිෂ්‍යයන් අතර ඒ අවධියේ සුප්‍රකට පුද්ගලයෙක් වූ, එහෙත් වරදරාජා පෙරුමාල් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දුන් දෙජාස විසින් ඝාතනය කල විකොස ආධාරකාර ක්‍රිස්නානන්දන් ද  විය.

1987 දී හජාජාක හා විකොස, මෙම කටුක අත්දැකීම්වල මූලික දේශපාලන පාඩම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආස්ථානයෙන් නිගමනය කල හ. විශේෂයෙන් ම, සියලු දෙමල ජාතිකවාදී කන්ඩායම් අධිරාජ්‍යවාදයට යටත් වූ පසුගිය දශක තුනේ සිද්ධි විසින් එහි සංකල්පයන් සනාථ කෙරී ඇත. හුදෙක් එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ජාතිකවාදය පමනක් නොව, එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදය විසින් නිෂ්පන්න කර තිබුනු ආවෘත අන්තය ද එම ප්‍රකාශය තුලින් හෙලිදරව් කලේ ය. 

කොලඹ පාලනයේ එකඟතාව මත සිදු කල ඉන්දියානු මැදිහත් වීම විනාශයක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ හමුදාව දකුනේ සිංහල නැගිටීමක් මර්දනය කරද්දී හා ඉන්දියානු හමුදාව එල්ටීටීඊය හා උතුරේ දෙමල ජනතාවට විරුද්ධව හැරුනු තතු තුල හජාජාක ප්‍රකාශය මෙසේ විස්තර කලේ ය: “ජයවර්ධන සිංහල ජාතික ස්වෛරීත්වය ආරක්ෂා කිරීම මෙන් ම ගාන්ධී දෙමල ස්වාධීනත්වය රැකීම ද යන දෙකම දැන් පෙරැලී ඇත්තේ, ඔවුන්  විසින් ආරක්ෂා කරනු ලබන කියූ ජනකොටස් දෙකටම එරෙහිව මෙහෙයවුනු ඒකාබද්ධ මිලිටේරි ප්‍රහාරයක පිලිකුල් සහගත දර්ශනයකට ය.” එය මෙම අර්බුදයෙහි පන්ති මූලයන් විස්තර කලේ ය:

 අවුරුදු 70ටත්  වැඩි කාලයකට පෙර ලෙනින් අනතුරු ඇඟවූ පරිදි, පීඩිත ජාතියක ධනේශ්වර පන්තිය තම ස්වයං-නීර්නය යන්නෙන් අදහස් කර න්නේ, තමන් සඳහා ජාතික වරප්‍රසාද ලබා ගැනීම ද “ස්වාධීන” රට තුල කම්කරුවන් හා ගොවීන් සූරාකෑම සඳහා වාසිදායක ම තත්ත්වයන් තහවුරු කර ගැනීම ද වෙයි. මෙම ආත්මාර්ථකාමීත්වය වෛෂයිකව මුල් බැසගෙන ඇත්තේ, වැටුප් ශ්‍රමයෙන් අතිරික්ත වටිනාකම මිරිකා ගැනීම මත, එනම් කම්කරු පන්තිය යටත් කර තබා ගැනීම මත, පදනම් වන පන්තියක් ලෙස ධනේශ්වරයෙහි ස්වභාවය තුල ය. එල්ටීටීඊය වැනි ධනේශ්වර ජාතිකවාදයේ ඉතා ම රැඩිකල් ප්‍රවනතාවයන් ද ඇතුලු සියලු ම කොටස්වල පිලිවෙත් මෙම පන්ති අරමුන විසින් මෙහෙයවනු ලැබෙයි. එය එම ප්‍රවනතාවන්හි දේශපාලන දේහ-ව්‍යූහය නීර්නය කරයි. සෑම අවස්ථාවක දී ම ධනේශ්වර ජාතිකවාදියෝ, විමුක්ති අරගලය “සිය අත යටින් ඉවතට ගොස්”ධනේශ්වර පාලනය පවත්වා ගෙන යාමට තර්ජනයක් බවට පත්වීම වලක්වාලීමට වග බලා ගනිති. 

ඉන්දියානු උප-මහාද්වීපය තුල බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, පකිස්තානයේ, බංග්ලාදේශයේ හා බුරුමයේ සිද්ධීන් පිලිබඳ ඓතිහාසික විමර්ශනයක් සිදු කල එය මෙසේ ලිවී ය:

ධනේශ්වර රාජ්‍යයන්ගේ කුනු වන ව්‍යූහය මත ද ඔවුන්ගේ කෘතිම දේශසීමා නමැති ගෙල හිර කරන්නා වූ සීමාවන් තුල ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අපේක්ෂාවන් වත් මූලික ද්‍රව්‍යමය උවමනාවන් වත් සන්තර්පනය කල නො හැකි ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදය විවිධ භාෂාමය, ආගමික හා වාර්ගික සංරචකයන්ගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව මත පදනම් වූ එකදු ජාතික රාජ්‍යයක් වත් නිර්මානය කිරීමට ඉඩ නො දුන්නේ ය. අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් “ස්වාධීනත්වයේ” අර්ථය වූයේ, අනිවාර්යයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කරනු ලැබූ අවජාතක රාජ්‍යයන් බිහිකිරීම ය. මෙම ක්‍රියා දාමයේ දී, ජාතික ධනපති පන්තිය ක්‍රියා කොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්තිදායකයා ලෙස නො ව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ඨ හවුල්කරුවා ලෙස ය.

“දෙමල ජනයාගේ නො විසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳිය හැක්කේ, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර අරගලය හරහා පමනි” යි අවධාරනය කල ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය කෙරෙහි සිය තිරසාර විරුද්ධත්වය යලි තහවුරු කලේ ය. සිංහල හා දෙමල ජාතිකවාදීන්ට විරුද්ධ ව, දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ හා දෙමල ඊලමේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලයේ ඉදිරි දර්ශනය එමගින් පෙරට ගෙන ගියේ ය.

ශ්‍රී ලංකාවට නව ඉන්දීය මැදිහත්  වීමක් සඳහා දෙමල ජාතිකවාදීන් කරන කැඳවුමට එරෙහිව

වසර 34කට පසුව පවා, ශ්‍රී ලංකාවේ හා ආසියාව පුරා කම්කරුවන් මුහුන දෙන මූලික දේශපාලන ගැටලු මෙම සටහන් මගින් පැහැදිලි කරයි. ධනපති ගෝලීයකරනය හා අන්තර්ජාතික නිෂ්පාදනය ද 1991 දී ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය විසුරුවා හැරීම ද සමගින්, මෙම කාලය පුරා යෝධ ආර්ථික හා දේශපාලන මාරුවීම් වේගවත් කෙරී තිබේ. ආසියාව පුරා, කම්කරු පන්තියට කෝටි සංඛ්‍යාත පිරිසක් එකතු කරගනු ලැබ ඇත.

ධනපති පාලක ප්‍රභූන්ගේ බංකොලොත්කම, දූෂිතකම සහ වැඩෙන යුද අන්තරාය මෙම වෙනස්කම් මගින් ඉහල දමන අතර, ධනපති බලවතුන් වසංගතය මෙහෙයවන සාපරාධී ස්වභාවයෙන් දැන් එය තීව්‍ර කරනු ලැබේ.

වාර්ගික යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය වීම හා 2009 මුලතිවුහි සංහාරය මත්, මෙම යෝධ ජාත්‍යන්තර වෙනස්කම්වල නිෂ්පාදිතයන් විය. යුද්ධයේ වසර 23 පුරා, එය ශ්‍රී ලංකාවේ දෙමල ජනයා අතර සහයෝගය අහිමි කරගෙන තිබේ. ධීවරයන්ගේ ආදායම්, ගොවීන්ගේ අස්වනු හෝ ගුරුවරුන්ගේ වැටුප් පත්වලින් එය බදු ආදායම් ලබාගත් අතර, එය නිෂ්පන්න කලේ ලේවැකි, කිසිදා අවසන් නො වන ගැටුමක් පමනි. ඒ සමග ම, ජාත්‍යන්තර භූ-දේශපාලනයේ යෝධ මාරුවීම් වලින් තමන් අසීරු අඩියකට ඇද හෙලා ඇති බව එල්ටීටීඊය දැක ගත්තේ ය.

1991 ඉරාකයට එරෙහි ගල්ෆ් යූද්ධයෙන් අරඹා, මැද පෙරදිග තුල මිලියන ගනන් ඝාතනය කරන අසාර්ථක අධිරාජ්‍යවාදී යුද්ධ දියත් කල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, එහි කලාපීය තත්ත්වයට මුක්කු ගසා ගැනීමට මංමුලා සහගත ව ක්‍රියා කලේ ය. 1991 දී ලෝක වෙලඳපොලවලට සිය ආර්ථිකය විවෘත කල තැන් පටන්, දකුනට මාරු වී තිබුනු ඉන්දියානු ධනේශ්වරය තුලින්, එක්සත් ජනපදය නව සගයෙක් සොයා ගත්තේ ය. 2005 දී අත්සන් කල මිලිටරි ගිවිසුමක් හරහා, චීනයේ නැගෙන ආර්ථිකයට එරෙහි වොෂින්ටනයේ කලාපීය සගයා බවට පත්වීම සඳහා වූ හැරීමක්, දිල්ලිය විසින් ආරම්භ කලේ ය.

රාජපක්ෂ පාලන තන්ත්‍රය චීනය සමග ගෙන යන සන්ධානය කෙරෙහි බිය වූ වොෂින්ටනය හා දිල්ලිය, කොලඹ මත ඔවුන්ගේ ආනුභාවය පවත්වාගෙන යාම සඳහා මුලතිවු සංහාරය ගසා කෑමට පටන් ගත්හ. සංහාරයට අධිරාජ්‍යවාදී බලවතුන්, ඉන්දියානු රාජ්‍යය හා විවිධාකාර දෙමල ධනේශ්වර දේශපාලනඥයන් දැක්වූ දුස්සහායකත්වය මෙ මගින් අවධාරනය කරයි. 

කෙසේ වෙතත් උතුරු නැගෙනහිර මිනිස් සංහාරය සහ ශ්‍රී ලංකා හමුදාව එහි පැලපදියම් කිරීම, ධනවාදය යටතේ විසඳනු ලැබිය නො හැකි, ජාතික ප්‍රශ්න විසඳා නැත. මෙම සිද්ධීන් හේතුවෙන් මිලියන ගනනක් වන කම්කරු හා පීඩිත පවුල් අතර පවතින යුක්ති යුක්ත කෝපය නිහඬ කිරීමට ද එය සමත් වී නැත.

උතුරේ අතුරුදන් වූවන් ආන්ඩුව විසින් සංහාරය කල බව එය පිලිගෙන ඇත. 2020 ජනවාරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හන්නා සිංගර් සමග පැවති රැස්වීමක දී, “අතුරුදන් වූවන් ඇත්තට ම මරනයට පත් වී ඇත” යි පලමු වරට ප්‍රකාශ කල ගෝඨාභය රාජපක්ෂ, “මෙම අතුරුදන් වූ පුද්ගලයන්ට මරන සහතික නිකුත් කිරීම සඳහා ක්‍රියා කරනවා” යි ඕනෑවට එපාවට මෙන් කියා සිටියේ ය.

ඉන්දියානු හමුදා මැදිහත්වීම සමයේ උතුරු-නැගෙනහිර පලාත් සභාවේ මහ ඇමති වූ දෙමල ජාතිකවාදී වරදරාජා පෙරුමාල්, ඔහුගේ පැත්තෙන් මෙසේ කීවේ ය: “අතුරුදන් වූ පුද්ගලයන් තව දුරටත් ජීවත් නො වන බව ඔවුන්ගේ ඥාතීන් හොඳින් දන්නවා. ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමේ හැකියාවක් නැහැ, ජනාධිපති ඔවුන්ට වන්දි ගෙවා ඔවුන්ගේ ගැටලුව විසඳාවි.” එනම්, රාජපක්ෂගේ කම්පාකාරී නිවේදනයෙන් හා ගෙවිය යුතු යයි ඔහු දැක ගන්නා ඕනෑම  ලෙයින් තෙත්වූ වන්දියකින් සෑහීමට පත් වන ලෙස ඔහු අතුරුදන් වූවන්ගේ පවුල්වලට යෝජනා කලේ ය.

තවමත් රාජපක්ෂ සහෝදරයන්ගේ විරුද්ධවාදීන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින හා 2015 දී එක්සත් ජනපදය නායකත්වය දුන් තන්ත්‍ර මාරු මෙහෙයුම හරහා බලයේ පිහිටවූ කප්පාදු-ගැති “යහපාලන” ආන්ඩුවට සහයෝගය දුන් දෙමල ජාතිකවාදියෝ, සංහාරය තුල පටලැවී සිටින ධනපති බලවතුන් සමග සිය සබඳතා ගැඹුරු කරගෙන ඇත.

මේ සීත ඍතුවේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සමග දේශපාලන හා මිලිටරි සන්ධානයක් සඳහා, බොහෝ දෙමල ජාතිකවාදී දේශපාලකයෝ කැඳවුම් කල හ. ඔවුහු ශ්‍රී ලංකාවේ බිජේපීයක් (එස්එල්බීජේපී) තැනීමට ද අනුමැතිය දුන් හ. “ඊලමේ දෙමල ජාතිකයන් මේ භූමිය මත චීන සමාගම්වලට කිසි දිනක ඉඩ දෙන්නේ නැහැ” යි දෙමල ජාතික පක්ෂ නායක කේ. සිවාජිලිංගම් කියා සිටියේ, චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව “බීජේපීයේ නාමයෙන් වෙනත් ජාත්‍යන්තර බලයක්” බිහිකිරීම සඳහා කැඳවුම් කරමිනි.  1987-90 සමයේ ඉන්දියාව සිදු කල වර්ගයේ අලුත් මිලිටරි වාඩිලා ගැනීමක් ශ්‍රී ලංකාවේ උතුරේ සිදු කරන බවට සිවාජිලිංගම් රාජපක්ෂ පාලන තන්ත්‍රයට තර්ජනය කලේ ය. ඔහු මෙසේ කීවේ ය: “ඉන්දු-පැසිෆික් කලාපය තුල ඔබ ඉන්දියාවට හා එක්සත් ජනපදයට විරුද්ධ ව ක්‍රියා කිරීමට සූදානම් නම්, එවිට නිශ්චිතව ම මහා ගැටුමක් හටගනු ඇති. ...ඇමරිකානු හෝ ඉන්දියානු භට කන්ඩායම් ශ්‍රී ලංකාවේ උතුරට හා නැගෙනහිරට ගොඩ නො බසිනු ඇතැයි සහතිකයක් නැහැ.”

එවන් අදහස් දැක්වීම් විසින් සිවාජිලිංගම් හා ඔහුගේ සම-චින්තකයන්, කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම සඳහා තවත් වරක් ඉන්දියානු රජය සමග වැඩ කිරීමට සූදානම් වන දේශපාලන ප්‍රතිගාමීන් ලෙස හංවඩු ගසයි.

නව යුද්ධයකට හා ඉන්දියානු වාඩිලා ගැනීමකට තර්ජනය කරමින්, වොෂින්ටනය හා දිල්ලිය සමග සන්ධානයක් සඳහා දෙමල ජාතිකවාදීන් කරන කැඳවුමේ ප්‍රතිගාමී ස්වභාවය, වසංගතය විසින් වැඩිදුර හෙලිදරව් කරයි. ඔවුන් මෝදි පාලනයට අනුමැතිය දීමේ අර්ථය, සියල්ලන්ට ඉහලින් වොෂින්ටනය ප්‍රමුඛත්වය දරන, කොරෝනා වෛරසයට ජනතාව තුල අබාධිතව පැතිර යාමට ඉඩ දීමේ පිලිවෙතකට අනුමැතිය දීම යි. අසල්වැසි ශ්‍රී ලංකාවට ද ඇතුල් වීමට තර්ජනය කරන වසංගතයේ අලුත් පුපුරා යාමක් පවතිද්දී, සෑම දිනක ම ආසන්න වසයෙන් මිලියන බාගයක් වන ඉන්දියානුවන්ට මාරාන්තික රෝගය වැලඳෙයි. එහෙත් දෙමල ජාතිකවාදීන් මෝදි පාලන තන්ත්‍රයට තවමත් අත්පොලසන් දෙයි.

රාජපක්ෂ පාලනයට, එහි “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත්වලට හා අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කිරීම යි. මෙහි අර්ථය වන්නේ, ජාතිකවාදයෙන් සවිඥානික ව බිඳීමකි.

අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමේ හා සංහාරයට වගකිව යුත්ත්නට දඬුවම් දීමේ අරගලය, සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ජාත්‍යන්තරව සංවිධානය කරනු ලැබිය යුතු ය. ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනයක් සඳහා සටන් වදින සසප පමනක්, සමාජවාදී විප්ලවය හරහා යල් පැන ගිය ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දමා, වැඩ කරන හා පීඩිත ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සටන් වදියි. කම්කරුවන්, තරුනයන් හා පීඩිතයන් සඳහා ඉදිරි මාවත වන්නේ, ශ්‍රී ලංකාවේ සසප හා ලොව පුරා හජාජාක ශාඛා ගොඩනැගීම යි.

Loading