ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය අවසන් වූ තැන් පටන් දොලොස් වසරක්

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) සහ වඩාත් පුලුල් ලෙස දිවයිනේ දෙමල සුලුතරයට එරෙහිව, කොලඹ බලයට පත් හැම ආන්ඩුවක් විසින්ම ගෙන ගිය වසර 26 ක ලේවැකි වර්ගවාදී යුද්ධයේ නිමාවෙහි, 12 වන සැමරුම මැයි 18දාට යෙදී තිබුනි.

එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ, “ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම” පිලිබඳව ත්‍රිවිධ හමුදාව උත්කර්ෂයට නැංවීය. “අපි [යුද්ධයේ] යුගය අවසන් කලෙමු, අවතැන් වූ සරනාගතයින්” “ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කලෙමු” එසේම “අද උතුරු හා නැගෙනහිර මහජන නියෝජිතයෝ ගෞරවාන්විතව, නිදහසේ ජීවත් වන අතර ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිති. ”

යාපනයේ මුර සංචාරයේ යෙදෙන සොල්දාදුවන්, ඡායාරූපය 2006 ජුනි 21 වන බදාදා. (අනුග්‍රහය, AP, එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

 යුද්ධයේ අවසානය පිලිබඳ කුරිරු සත්‍යය සඟවන මෙය, ඉතිහාසය උඩු යටිකුරු කර යි. 2009 මුල් මාසවල සිදු වූ නිර්දය මිලිටරි ප‍්‍රහාර හමුවේ ලක්ෂ ගනනක් දෙමල සිවිල් වැසියන් සමඟ එල්ටීටීඊය දිවයිනේ වයඹදිග වෙරල තීරයේ මුලතිව් අසල කුඩා බිම් කඩකට කොටු විය.

හමුදාව අනුකම්පා විරහිතව ගුවනින් බෝම්බ හෙලමින් ද කාලතුවක්කු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ද හිතාමතාම රෝහල්, ආධාර මධ්‍යස්ථාන සහ සලකන ලද සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ගත්හ. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව අවම වශයෙන් සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කරන ලදී. එල්ටීටීඊයේ ආරක්ෂක වලලු කඩා වැටෙද්දී හමුදාව, යටත් වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කල අතර සිවිල් වැසියන් 300,000 ක් පමන හමුදා පාලනය යටතේ පැවති රැඳවුම් කඳවුරුවලට ගාල් කරන ලදී. “යලි අධ්‍යාපනගත කිරීමට” යැයි කියමින් නාඳුනන ස්ථානවලට  තරුන තරුනියන් සිය ගනනක් බලහත්කාරයෙන් ගෙන යනු ලැබින.

එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ, මෙම යුද අපරාධ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු විය. ඔහුගේ බාල සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස මෙම සාපරාධී මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කලේය. යටත් වී සුදු කොඩි ඔසවාගෙන ගිය එල්ටීටීඊ නායකයින් ඝාතනයට ඔහු සෘජුවම සම්බන්ධ ය.

අද දෙමල ජනතාව මුහුන දී සිටින තත්වය සම්බන්ධයෙන් ගත් කල, කඳවුරුවල සිරගත කරනු ලැබූවන් “නැවත පදිංචි කරවූ” අතර බොහෝ දෙනෙක් තවමත් ප්‍රාථමික පහසුකම් සහිතව, පැල්පත්වල දරිද්‍රතාවයේ ජීවත් වෙති. දිවයිනේ උතුරු හා නැගෙනහිර යුද වැන්දඹුවන් 90,000 ක් පමන දිවි ගැටගසා ගැනීමේ අරගලයක නිරතව සිටිති. යුද්ධයෙන් විනාශ වූ පලාත් දෙක දැඩි හමුදා වාඩිලාගැනීමට ලක්ව ඇති අතර දෙමල ජනතාව, විශේෂයෙන් තරුන තරුනියන් නිරන්තරයෙන් හිරිහැර හා බිය ගැන්වීම් වලට ලක්ව සිටියි. “අතුරුදහන් වූවන්” ගැන තොරතුරු ඉල්ලා සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පැවැත්වෙමින් තිබේ.

එල්ටීටීඊයට එරෙහි ජයග‍්‍රහනය දකුනේදී සමරමින් සිටියදී ආන්ඩුව,  උතුරු හා නැගෙනහිර මිලිටරි-පොලිස් මර්දනයක් මුදා හැරියේය. මුලතිව් ඝාතනයේදී මරා දැමුන තම ආදරනීයයන්ට ගෞරවය පුදකරමින් සිටි දුසිම් ගනනක් අත්අඩංඟුවට ගෙන ඇත.

රට තුල කොවිඩ්-19 වසංගතය නැඟෙමින් පවතිද්දී මේ මාසයේ යුද ජයග්‍රාහී සැමරුම් සුලුවට පැවැත්වීමට ආන්ඩුවට බල කෙරුනි.  වැටුප් හා රැකියා කප්පාදුවලටත් අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් මූලික භාන්ඩ  මිල ඉහල යාමටත් මුහුන දී සිටින කම්කරුවන් සහ දුප්පතුන් අතර වර්ධනය වන මහජන කෝපය ගැන කොලඹ පාලන තන්ත්‍රය නොසන්සුන්ව සිටී.

වැඩෙන සමාජ නොසන්සුන්තාවයට ආන්ඩුවේ ප්‍රතිචාරය, පන්ති යුද්ධයට සූදානම් වෙමින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමයි. ජයග්‍රාහී සැමරුම්වල කොටසක් ලෙස සෙබලුන් දහස් ගනනකට උසස්වීම් ලබාදී ඇත. එල්ටීටීඊයේ පරාජයට ප්‍රතිචාර වශයෙන් මිලිටරිය අඩුකරනවා වෙනුවට තවදුරටත් පුලුල් කර ඇති අතර, මේ වසරේ අයවැය ප්‍රතිපාදන රුපියල් බිලියන 440 (ඇමරිකානු ඩොලර් බිලියන 2.2) දක්වා දැවැන්ත ලෙස යලි ඉහල නංවා තිබේ.

පාලක පන්තියේ කොටස්වල ප්‍රීති ප්‍රමෝදයට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2009 දී මෙසේ ලිවීය: “එල්ටීටීඊයේ මිලිටරි පරාජය සිවිල් යුද්ධයට පාදක වූ ගැටලු කිසිවක් විසඳනු නැත. එය හුදෙක් ඔප්පු කරන්නේ, ධනේශ්වර පදනමක් මත ශ්‍රී ලංකා රාජ්‍යයේ එකමුතුව පවත්වා ගත හැක්කේ ලේවැකි මර්දනයෙන් හා කුරිරුකම්වලින් පමනක් බව ය. ” (WSWS ඉදිරිදර්ශනය 2009 මැයි 21).

1983 දී යුද්ධය පුපුරා යාම, 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ලැබූ නිල නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය සහ ආන්ඩු විසින් අනුගමනය කරන ලද වර්ගවාදී දේශපාලනයේ ප්‍රතිපලයකි.

වැඩකරන ජනතාව සහ පීඩිත ජනතාව මුහුන දෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජීය ප්‍රශ්නයකට විසඳුම් ලබා දිය නොහැකි කොලඹ ආන්ඩු, සෑම දේශපාලන අර්බුදයකදීම කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට, සිංහල-බෞද්ධ ආධිපතිවාදය සහ දෙමල විරෝධී ස්වෝත්තමවාදය වෙත යොමු වූහ.

නිදහසින් කෙටි කලකට පසු එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් ලාභ ශ්‍රම බලකායක් ලෙස ඉන්දියාවෙන් ගෙන එන ලද දෙමල වතු කම්කරුවන් මිලියනයකගේ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. 1956 දී කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ නැගිටීමකට තුඩු දුන් පාලනයේ ප්‍රබල අර්බුදයකින් පසුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරනය ජයග්‍රහනය කල අතර සිංහල පමනක් රාජ්‍ය භාෂාව යන ප්‍රතිපත්තිය පදනම් කරගෙන ඔවුන්, දෙමල ජනතාව දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්කලේය.

ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගත් ලංකා සමාජ සමාජ පක්ෂය මුලින් ක්‍රියාත්මක වූයේ, කම්කරු පන්තියේ සිංහල සහ දෙමල එක්සත්කම ප්‍රවර්ධනය කරමින් ජාතිවාදයට තිරිංගයක් ලෙස ය . එහෙත් 1964 දී සිරිමා බන්ඩාරනායක ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වී සිංහල ජනතාවාදය වැලඳගත් තතු හමුවේ, එහි සිදුවූ පරිහානිය සහ පාවාදීම, “සන්නද්ධ අරගලය” සහ වාර්ගික දේශපාලනය මත පදනම් වූ සුලු ධනේශ්වර රැඩිකල් සංවිධාන බිහි වීමට හේතුකාරක විය. විශේෂයෙන්ම උතුරේ දෙමල තරුන කොටස් අතර එල්ටීටීඊය සහ දකුනේ ග්‍රාමීය සිංහල තරුන තරුනියන් අතර ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බිහිවිය.

1977 දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, රටේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වූයේ, වෙලඳපල ගැති ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ ආයෝජකයින් රටේ ලාභ ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීමට දිරිමත් කිරීමෙනි. කම්කරු පන්තියේ විරෝධය පුපුරා යත්ම ජයවර්ධන, අත්තනෝමතික විධායක ජනාධිපති ධුරයක් පිහිටුවීම සඳහා ව්‍යවස්ථාව නැවත ලියූ අතර, එකකට පසුව තවෙකක් වශයෙන් දෙමල විරෝධී ප්‍රකෝප කිරීම්වල නිරත වෙමින්, 1983 දී විනාශකාරී දෙමල විරෝධී සංහාරයන්හි කූටප්‍රාප්තිය ලෙස, විවෘත යුද්ධයක් සඳහා කොන්දේසි නිර්මානය කලේය.

කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ පදනම මත වර්ගවාදී යුද්ධයට නිරන්තරයෙන් විරුද්ධ වූ එකම පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය (විකොස) යි. උතුරු හා නැගෙනහිරින් මිලිටරිය කොන්දේසි විරහිතව ඉවත් කිරීම වෙනුවෙන් පෙනීසිටිමින් අපි, දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කලෙමු. ඒ අතරම විකොස/ සසප, කම්කරු පන්තියේ වාර්ගික බෙදීම් ප්‍රවර්ධනය කල එල්ටීටීඊ බෙදුම්වාදයට ද විරුද්ධ විය.

1987 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ විකොස, දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක් සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක ඉදිරිදර්ශනය පෙරට ගෙන ගියේය. මෙම වැඩසටහන පදනම් වූයේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය මත වන අතර, එය අවධාරනය කලේ, සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳීමේදී, ග්‍රාමීය දුප්පතුන්ට හා පීඩිත ජනතාවට නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බවයි.

දිග්ගැස්සුනු හා විනාශකාරී යුද්ධයෙන් පෙන්නුම් කලේ, වර්ගවාදී දේශපාලනයේ ගැඹුරින් ගිලී සිටින ධනේශ්වරයේ කිසිදු කොටසකට වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සහ සමාජ අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාවයි. බහුතර සිංහල සංස්ථාපිතයේ බලය හා වරප්‍රසාද පවත්වා ගැනීම සඳහා කොලඹ ආන්ඩු, සිංහල තරුනයින්ගේ ජීවිත බිල්ලට දුන් අතර, ධනේශ්වර දෙමල පක්ෂ, දෙමල කම්කරු පන්තිය සූරාකෑම සඳහා වැඩි ස්වාධීනත්වයක් හෝ වෙනම දෙමල ධනපති රාජ්‍යයක් බලාපොරොත්තු වූහ.

2009 දී එල්ටීටීඊයේ පරාජය, මූලික වශයෙන් මිලිටරි ප්‍රශ්නයක් නොව එහි ධනේශ්වර-ජාතිකවාදී ඉදිරිදර්ශනයේ ප්‍රතිපලයක් බව සසප පැහැදිලි කලේය. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශේෂ කම්කරුවන්ට පමනක් නොව දෙමල කම්කරුවන්ට ද පන්ති ආයාචනයක් කිරීමට එල්ටීටීඊය ඓන්ද්‍රීයවම අසමත් විය. විනාශකාරී අවසාන හමුදා ප්‍රහාරයන් සිදුවෙමින් තිබියදී එය, “ජාත්‍යන්තර ප්‍රජාවට” එනම්, කොලඹ පාලනයේ යුද්ධයට පිටුබලය දෙන එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු එම බලවතුන් වෙතම, ඔවුන්ගේ සාපරාධී පිලිවෙත් පිලිබඳව දෑස් වසාගෙන, ශෝචනීය ආයාචනා නිකුත් කලේය.

යුද්ධය අවසන් වී වසර දොලහක් ගතවී ඇති අතර, කොවිඩ්-19 වසංගතය මගින් උග්‍ර කර ඇති හා නරක අතට හැරෙමින් තිබෙන ගෝලීය ආර්ථික තත්වය හා විශේෂයෙන් චීනය සමඟ එක්සත් ජනපදය ගැටුම හමුවේ තියුනු වන භූ-දේශපාලන ආතතීන් කරා ඇදී යමින්, මෙරට දේශපාලන අර්බුදය ඔඩු දුවමින් තිබේ. වැඩ කරන ජනතාව මුහුන දෙන නරක අතට හැරෙන සමාජ කොන්දේසි පිලිබඳ වැඩෙන නොසතුට හමුවේ, යුද්ධය අවධියේ මිලිටරිය හා එය ගෙනගිය කුරිරු ක්‍රමවේදයන් දැන් කම්කරු පන්තියට එරෙහිව භාවිතා කිරීමට සූදානම් කරමින් ඇත.

යුද්ධයේ අවසානය, 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදයට සම්පාත විය. ශ්‍රී ලංකා ආර්ථිකය ඒ වන විටත්, යුද්ධයේ අධික වියදම් බරින් ද  යුද්ධයේ  විනාශයෙන් ද දැඩි ලෙස පීඩාවට පත්ව තිබුනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය, මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරී, එහි කප්පාදු නියෝග ක්‍රියාත්මක කරමින් කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ විරෝධයට එරෙහිව මිලිටරි හා පොලිස් මර්දනය වෙත යොමු විය.

ඒ අතරම, යුද්ධය සඳහා ආයුධ හා මුදල් සැපයූ චීනය සමඟ රාජපක්ෂගේ සබඳතාවලට එක්සත් ජනපදය දැඩි ලෙස විරුද්ධ විය. වොෂිංටනයේ සිට මෙහෙයවන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමෙන් ඔහු නින්දිත පරාජයකට මුහුන දුන්  අතර, එක්සත් ජාතික පක්ෂය, ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (දෙජාස), ජනතා විමුක්ති පෙරමුන සහ ව්‍යාජ- වම් කන්ඬායම්වල සහාය ඇතිව මෛත්‍රිපාල සිරිසේන බලයට පත්විය.

ජනාධිපති සිරිසේන සහ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ජාතික එක්සත් ආන්ඩුව, “යහපාලනය” සහ ජීවන තත්ත්වය නංවාලීම පිලිබඳ එහි පොරොන්දු කඩිනමින් ඉවත දැමීය. යුද්ධයට හා එහි අපරාධ වලට ගැඹුරින්ම සම්බන්ධ අයවලුන් ලෙස සිරිසේන සහ වික්‍රමසිංහ, රාජපක්ෂ තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් අව්‍යාජ පරීක්ෂනයක් සිදු නොවන බවට වග බලාගත්හ. ආර්ථික අර්බුදය ගැඹුරු වෙත්ම, ආන්ඩුව නැවතත් ජාමූඅ වෙත හැරී, කම්කරු පන්තියට හා දුප්පතුන්ට නව බර පැටවූ අතර, සමාජ නොසන්සුන්තාව මැඬලීම සඳහා පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන් භාවිතා කලේය.

සිරිසේන සහ වික්‍රමසිංහ බලයට ගෙන ඒමට උදව් කල ව්‍යාජ වාම කන්ඬායම් සහ වෘත්තීය සමිති,  ආන්ඩුව ආරක්ෂා කිරීමට සහ වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මැඩපැවැත්වීමට සහාය වූහ. දෙමල ධනේශ්වරයේ ප්‍රධාන නියෝජිතයා වූ දෙජාස, සැබවින්ම ආන්ඩුවේ  හවුල්කරුවෙක් විය.

ජාතික එක්සත් ආන්ඩුව දේශපාලන සංස්ථාපිතය තවදුරටත් ඛාදනය කිරීමට තුඩු දෙමින්, පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ දෙක වන එජාප සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුස් කෝම්බ බවට පිරිහෙලනු ලැබින. වාර්ගික රේඛා ඔස්සේ ගැඹුරින් බෙදී ගිය 2019 ජනාධිපතිවරනය ජය ගැනීම සඳහා මිලිටරිය හා මහා ව්‍යාපාරිකයන්ගේ සැලකිය යුතු කොටස්වල සහාය ඇතිව ගෝඨාභය රාජපක්ෂ,  මෙම අතිශය අස්ථායී තත්වය තුල, මහජන අතෘප්තිය ගසා කෑවේය. යුද අපරාධවලට වගකිව යුතු රාජපක්ෂට දෙමල ජනතාව ඡන්දය නොදුන්නා සේම, ජාතික එක්සත් ආන්ඩුවේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරමින් නව සමාජ බර පැටවූ එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සිංහල වැඩකරන ජනතාව ඡන්දය නොදුන්හ.

"ජාතික ආරක්ෂාව" පිලිබඳව දැඩි පිලිවෙතක් අනුගමනය කරන ස්ථාවර හා "ශක්තිමත් ආන්ඩුවක්" පොරොන්දුවූ රාජපක්ෂ සහ ඔහුට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ), ප‍්‍රාදේශීය ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් විසින් 270 දෙනෙකු ඝාතනය කල හා තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුකල 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය, ගසා කෑමට හැකි විය.

යුද්ධයේ අවසාන මාසවල හමුදාවේ අපරාධ සහ හිංසාවන්ට විශාලතම වගකීම දරන පුද්ගලයන් දෙදෙනා වන රාජපක්ෂ සහෝදරයන් විසින් දැන් රට පාලනය කිරීම කම්කරු පන්තියට තියුනුම අනතුරු ඇඟවීමක් විය යුතුය. ගැඹුරු සමාජ අර්බුදයක් මධ්‍යයේ ධනේශ්වරය, කම්කරු පන්තියේ නැගී එන විරෝධය මැඩපැවැත්විය හැකි “ශක්තිමත් ආන්ඩුවක්” පිලිබඳ ගෝඨාභය රාජපක්ෂගේ පොරොන්දුව මත විශ්වාසය තබයි.

ජනාධිපති රාජපක්ෂ, ආන්ඩුවේ ප්‍රධාන තනතුරු සඳහා විශ්‍රාමික හා සේවයේ සිටින ජෙනරාල්වරුන් පත් කර ඇත. ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න සහ ජාතික COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා ද පත්කර තිබේ. ඒ අතරම ඔහු, දෙමල  හා මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීමට උදව් කර ඇති සිංහල අන්තවාදී කන්ඬායම් මත ද දැඩි ලෙස රැඳී සිටියි.

වර්ගවාදී දේශපාලනයේ ප්‍රතිපලයක් වන ව්‍යසනයන්ගෙන් කම්කරුවන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත යුතුය. දස දහස් සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමේදී මූලිකත්වය දැරූ ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ, කම්කරු පන්තියට මෙන්ම නාගරික හා ග්‍රාමීය දුප්පතුන්ට එරෙහිව එම ම්ලේච්ඡ ක්‍රමවේදයන්ම යොදා ගැනීමට පසුබට නොවනු ඇත.

යුද්ධයට වගකිව යුතු සිංහල-බෞද්ධ අධිපතිවාදය සහ දෙමල බෙදුම්වාදය යන සියලු ආකාරයේ ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන් ප්‍රතික්ෂේප නොකර කම්කරු පන්තියට, සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට නොහැකිය. ඔවුන්ගේ එකට බැඳී සිටින පීඩකයින් වන ධනපති පන්තියට හා එය රැඳී සිටින ලාභ ක්‍රමයට  එරෙහි ඒකාබද්ධ අරගලයක් තුලින් පමනක් කම්කරුවන්ට, ග්‍රාමීය නිර්ධනීන් තම පාර්ශවයට දිනාගෙන, කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා සටන් කල හැකිය. දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස එවැනි ආන්ඩුවක්,  ධනවතුන් ස්වල්ප දෙනෙකුගේ ලාභ අවශ්‍යතා නොව බහුතරයකගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම සඳහා  සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කරන්නේ සසප පමනි. ඊට සම්බන්ධ වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading